සමාජ සමානතාවය සඳහා ජාත්‍යන්තර තරුනයෝ සහ ශිෂ්‍යයෝ (සසජාතශි) සංවිධානයට එරෙහි මැර තර්ජන හෙලා දකිමු!

2023 පෙබරවාරි 23 වන දින ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය තුල දී එහි මානව ශාස්ත්‍ර පීඨ ශිෂ්‍ය සංගමයේ සාමාජික පිරිසක් එම විශ්ව විද්‍යාලයෙන් ම මෑතක දී පිට වූ ආදී ශිෂ්‍යයෙකු හා සසජාතශි සාමාජිකයෙක් වන සකුන්ත හිරිමුතුගොඩට සහ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) හා ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) කර්තෘ මන්ඩල සාමාජිකයන් දෙදෙනෙකුට පහර දීමට තැත් කරමින් ද, ඔවුන්ගේ ජංගම දුරකථන උදුරා ගනිමින් ද සිදු කර ඇති මැර ක්‍රියාව කොලඹ ක්‍රියාකාරී කමිටුව (කොක්‍රික) පිලිකුලෙන් යුතුව හෙලා දකී. 

Image

සරසවිය තුල සසජාතශි සංවිධානයේ දේශපාලන අයිතිය පැහැර ගැනීමට මින් පෙරද උත්සාහ දරා ඇති අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මන්ඩලයට (අවිශිබම) සම්බන්ධ මෙම ශිෂ්‍ය සංගම් නායකයන්  හිරිමුතුගොඩ වැලැක්වීම සඳහා සරසවි විනය පාලක නිලධාරීන්ගේ සහය ද නිර්ලජ්ජිතව ලබාගෙන ඇත. ආන්ඩුව හා විශ්ව විද්‍යාල පරිපාලනය ප්‍රජාතන්ත්‍ර විරෝධී ලෙස වෙනත් දේශපාලන මත වලකන වාතාවරනය විශ්ව විද්‍යාලය තුල නිර්මනය කිරීම සම්බන්ධයෙන් අවිශිබමය හා ඊට සම්බන්ධ ශිෂ්‍ය සංගම් සමග ගිවිසුම් ගතව සිටී. විනය පාලකයන්ගේ ක්‍රියාකලාපය නැවතත් ඔප්පු කර ඇත්තේ මෙම සත්‍යය යි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (ජාමූඅ) සමඟ එකඟතාවයකට එලඹීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රමුඛ ආන්ඩුව සියලු දේ කරමින් සිටින්නේ කම්කරු හා පීඩිත ජනතාව  මත පෙර නොවූ විරූ කප්පාදුවේ බර කඩා පාත් කරවමින් ද, නිදහස් සෞඛ්‍යය හා අධ්‍යාපනය මුලුමනින් කාබාසිනියා කර දමා දුගියන්ගේ සහනාධාර කපා දැමීමේ ද පියවරයන් සහිතව ය.

මේ තත්වයන් යටතේ, තමන් අභිමුඛයේ ඇති ප්‍රහාරය සමඟ මුහුනට මුහුන දී සිටින ශිෂ්‍යයන්ගේ, කම්කරුවන්ගේ, දුගීන්ගේ සහ පීඩිත ජනයාගේ ඉහල ම සටන් සමඟිය හා ඒකාබද්ධතාවය ඉල්ලා සිටින කාලයක ම, ශිෂ්‍යයන්ට දේශපාලනය සාකච්ඡා කිරීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උදුරා ගනිමින් එම ඒකාබද්ධතාවය කඩාකප්පල් කිරීමේ ප්‍රහාරයකට පෙරටුගාමී සමාජවාදී පක්ෂ (පෙස) යටතේ ක්‍රියාත්මක වන විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය සංගම් නායක ක්‍රියාකාරීන් හා පාලනාධිකාරය අත්වැල් බැඳ ගැනීම මෙම මධ්‍යම පන්තික රැඩිකල් සංවිධානවල කම්කරු පන්තියට හා එහි ස්වාධීන වැඩපිලිවෙලකට දක්වන ඓන්ද්‍රිය සතුරු කම විදාහා පායි. 

සසජාතශි සාමාජිකයාට තර්ජනය කල කන්ඩායම, “පක්ෂ දේශපාලනය  ගෙන ඒමෙන්  ශිෂ්‍යයන් බෙදෙනවා” යැයි කියා සිටි බව ලෝසවෙඅ වාර්ථා කර ඇත. ශිෂ්‍යයන් බෙදෙන්නේ දේශපාලන අදහස් නිදහසේ සාකච්ඡා කිරීමට සිසුන්ට ඇති අයිතිය අවහිර කිරීමෙන් බව අපි අවධාරනය කරමු. ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින අභියෝග හුදෙක් එක් සරසවියකට, එක් ක්‍ෂේත්‍රයකට හෝ සිසුන්ට පමනක් හෝ එල්ල වූ ඒවා නොවේ. සෑම පාසලකම, සරසවියකම,  අධ්‍යාපන හා පුහුනු ආයතනයකම ශිෂ්‍යයන්, ආචාර්යවරුන්, අනධ්‍යයන සේවකයන්, මෙන්ම කම්කරුවන්, සුලු ව්‍යාපාරිකයන්, දෙමව්පියන් හා රැකියා විරහිතයන් එකම ධනපති ප්‍රහාරයකට මුහුන දී සිටින තතු හමුවේ, ඊට මුහුන දිය හැකි බලගතු කම්කරු හා මහජන ව්‍යාපාරයක ප්‍රජාතන්ත්‍රවාදී සාකච්ජාව, ඒකාබද්ධතාව හා නායකත්වය තහවුරු කිරීම යුගයේ අත්‍යවශ්‍යතාවය බවට පත් ව තිබේ. 

ඒ නයින්, එවන් ව්‍යාපාරයක පදනම වන, සිය දේශපාලන වෙනස්කම් විවෘතව සාකච්ඡා කිරීමේ, අදහස් ප්‍රකාශ කිරීමේ හා ඒවා වෙනුවෙන් වාදවිවාද කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය උල්ලංගනය කිරීම එවන් සංවිධිත දේශපාලන ව්‍යාපාරයකට හරයෙන්ම හතුරුව පිහිටයි. විශ්ව විද්‍යාල සිසුන් මෙම ප්‍රිතිගාමී කඳවුරු හඳුනාගෙන ඒවා ප්‍රතික්ශේප කල යුතු අතර දේශපාලන ප්‍රජාතන්ත්‍රවාදය සඳහා දෘඩතරව උද්⁣ඝෝෂනය කල යුතු යැයි අපි කියා සිටිමු.

වික්‍රමසිංහ ආන්ඩුවේ කප්පාදු මගින් මරිකී සිටින විශ්ව විද්‍යාල ශිෂ්‍යයන් මේ මොහොතේ මුහුන දී සිටින ප්‍රහාරයන්ට එරෙහිව හා නිදහස් අධ්‍යාපන අයිතිය රැකීම සඳහා සිසුන්ගේ, ආචාර්යවරුන්ගේ හා අනධ්‍යයන සේවකයන්ගේ ඒකාබද්ධ ක්‍රියාකාරී කමිටු පිහිටුවන ලෙසත්, සියලු විශ්ව විද්‍යාලවල පිහිටුවනු ලැබෙන එම ක්‍රියාකාරී කමිටුවල ඒකාබද්ධතාවය ගොඩ නැඟීමට හා අවසානයේ සෑම ක්ෂේත්‍රයක් ම අලලා ගත් ක්‍රියාකාරී කමිටු ඒකාබද්ධ කරමින් ආන්ඩුවේ ප්‍රහාරවලට ප්‍රතිප්‍රහාරය සංවිධානය කිරීමට මූලිකත්වය ගන්නා ලෙසත් අපි ශිෂ්‍යයන්ගෙන් ඉල්ලා සිටිමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව සටන් වැද සිටින්නේ එම වැඩපිලිවෙල සමඟ යි.

මෙම සිද්ධිය සම්බන්ධව සසජාතශි කැඳවුම්කරු කපිල ප්‍රානාන්දු අවිශබම හා අනෙක් ශිෂ්‍ය සංගම් නායකයන් අමතා  ලෝසවෙඅට ලියා ඇති විවෘත ලිපිය තුල මෙසේ සඳහන් කරයි:

“ඔබ විසින් මෙම මැර ක්‍රියාවන් මෙහෙයවනු ලබන්නේ විශ්ව විද්‍යාල “උප සංස්කෘතිය” ආරක්ෂා කිරීම යන කඩතුරාව යටතේ ය. සසජාතශි ට එරෙහි කඩා පැනීමෙන් එම ‘උප සංස්කෘතියේ’ පවත්නා අසංස්කෘතිකභාවය ගැඹුරෙන්ම ප්‍රකාශයට පත්වෙයි. ඔබේ ‘උප සංස්කෘතිය’ සම්බන්ධයෙන් ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයට ඇත්තේ අපකීර්තිමත් ඉතිහාසයකි. 2002 වසරේ නොවැම්බරයේදී, “නවක වදයට” එරෙහි වූ සමන්ත විතානගේ නම් වූ ශිෂ්‍යයාගේ හිසට පරිගනක මොනිටරයකින් ගසා ඝාතනය කිරීමට ශිෂ්‍ය කන්ඩායමක් පොලඹවනු ලැබුවේ ‘නවක වදය’ ආරක්ෂා කරන මෙම ‘උප සංස්කෘතිය’ ඉදිරියට දමමිනි.”

සැබවින්ම මෙම ‘උප සංස්කෘතිය’ යනු අවිශිබමයට හා ඊට සම්බන්ධ ශිෂ්‍ය සංගම්වලට පමනක් අනිත් දේශපාලන ප්‍රවනතා යටපත් කොට තම දේශපාලනය විශ්වවිද්‍යාල තුල කරගෙනයාමට තනාගත් වහන්තරාවකි. නවක වදය ද ඊට ඇතුලත් ය.  අනෙකුත් ඊනියා සංස්කෘතික අංග මේ මර්දනකාරී භීෂනය විශ්වවිද්‍යාල තුල පවත්වාගැනීමට යොදාගන්නා ඇස්බැන්දුම් පමනි.   විශ්වවිද්‍යාල පරිපාලනය සමග එක්ව රජය විශ්වවිද්‍යාල තුල විප්ලවවාදී දේශපාලන භාවිතාවන් මර්දනය කිරීම සදහා මෙම ‘ශිෂ්‍ය දේශපාලනයේ’ ‘උප සංස්කෘතිය’ යහමින් යොදා ගනී. ආන්ඩුවේ එම  මර්දනය සදහා අවශ්‍ය පසුබිම මෙම සුලු ධනේශ්වර ශිෂ්‍ය සංවිධාන සකසා දෙයි. මර්දනය පෙනි පෙනී ආන්ඩුවලට බලපෑම් දැමීමේ පුහු විරෝදතාවලට සිසුන් කැදවන්නේ  ප්‍රතිගාමී බලපෑම් දැමීමේ දේශපාලනය හරහා පාර්ලිමේන්තුවාදය ශක්තිමත් කිරීමේ ධනපති වැඩපිලිවෙල මත පදනම් වෙමිනි.

කෙසේ නමුත්, මෙම උප සංස්කෘතියේ කොටසක් ලෙස සමන්ත විතානගේ ශිෂ්‍යයා ඝාතනය කිරීමේ චෝදනාව තම ප්‍රතිවාදියෙකු වන ශිෂ්‍ය සංවිධානයකට එරෙහිව දමා ගැසීම සසජාතශි සංවිධානයට තරමි නොවේ යැයි අපි කියා සිටිමු. ආන්ඩුවේ භාෂාවම  ශක්තිමත් කරන මෙම චෝදනාව, කෙලින්ම එහි මර්දන යාන්ත්‍රනය මෙම ශිෂ්‍ය සංවිධාන වලට එරෙහිව පිහිටුවයි.

ප්‍රජාතන්ත්‍රවාදී  අයිතීන් ආරක්ෂා කරගැනීමට හෝ කප්පාදුවට එරෙහිව ශිෂ්‍යයින්ට ‘ශිෂ්‍ය දේශපාලනය’ යනුවෙන් පිලිවෙතක් නැත. ආන්ඩුවලට බලපෑම් දැමීමේ දේශපාලනය මගින් මර්දනය හෝ කප්පාදුව අවසන් කල නොහැක. එය තොරම්බල් කරන ඊනියා ශිෂ්‍ය නායකයෝ දැනුවත්වම ශිෂ්‍යයන්ගේ දේශපාලන දැනුවත්භාවයට වල කපති. 

ඉදිරි අරගල කම්කරු පන්ති නායකත්වය යටතේ සංවිධානය කිරීමට එහි ස්වාධීන බල සංස්ථාවක් වන  අප කමිටුව සමඟ ඒකාබද්ද වන ලෙස අපි සිසුන්ට ආරාධනා කරන්නෙමු.

කොලඹ ක්‍රියාකාරී කමිටුව

09 මාර්තු 2023

#CACPS @PK&SJ

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top