සමාජවාදී සංවිධානය සහ සැලසුම් පිලිබඳ ප්‍රශ්න

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2003 ජනවාරි 20 දින පල වූ ‘Questions on socialist organisation and planning’ යන නික් බීම්ස් විසින් ලියන ලද  ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය සුනිල් ප්‍රනාන්දු විසිනි. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පාඨකයෙක් අසන ලද මූලික ප්‍රශ්න කිහිපයකට එහි මාක්ස්වාදී ආර්ථික විශ්ලේෂක නික් බීම්ස් ලබා දෙන පිළිතුරකි මෙය. සමාජවාදී ආර්ථික හා සමාජ සංවිධානය පිළිබඳ මූලික ප්‍රශ්න විසඳා ගැනීමේ පිටුවහලක් වශයෙන් වැදගත් වන මෙම ලිපිය වෙත අපි අපගේ පාඨකයන්ගේ අවධානය යොමු කරමු. ⁣

2003 ජනවාරි 20

හිතවත් සර්/මැඩම්,

ඔබ පිලිතුරු දෙනු ඇතැයි මා බලාපොරොත්තු වූ ප්‍රශ්න කිහිපයක් මට තිබේ.

  • ධනපතියා ඔවුන්ගේ යටිතල පහසුකම් ස්වේච්ඡාවෙන් අත්නොහරිනු ඇත, එවිට ජනතාව එය අත්පත් කර ගැනීමට යන්නේ කෙසේද?
  • ප්‍රාදේශීය, පලාත්  සහ ජාතික මට්ටමින් කම්කරු සභා ඇති වනු ඇති බව මට වැටහේ. මෙම සභා පිහිටුවන්නේ, නායකත්වය දෙන්නේ සහ පවත්වාගෙන යන්නේ කෙසේද?
  • ජාතික මට්ටමේ සභාව ආන්ඩුව පිහිටුවනවාද? එසේ නම් තනි පුද්ගලයෙක් ආන්ඩුවට නායකත්වය දෙයිද, නැතිනම් නියෝජිත කන්ඩායමක් නායකත්වය දෙයිද?
  • ඔබ කම්කරු සභා පිහිට වූවද, නියෝජිතයින්ට තම වාසිය සඳහා කම්කරුවන් කෙරෙහි බලපෑම් කිරීමට තවමත් හැකි ද? එබැවින්, නිලධාරි තන්ත‍්‍රයක් ගොඩනැගීමට ප‍්‍රතිවිරෝධය දක්වන්නේ කෙසේද?
  • ප්‍රතිපත්ති සැකසීමේ ආදී කටයුතු සිදු කරන්නේ කවුරුන්ද, එය සිදු කරන්නේ කෙසේද සහ ඔවුන් කෙරෙහි ආසන්න අධිකාරය ඇත්තේ කාටද?
  • නීති සම්පාදනය කරන්නේ කෙසේද, එනම්, එම ක්‍රියාවලියට ජනතාව ක්‍රියාකාරීව සම්බන්ධ වන්නේ කෙසේද?
  • ජාතික සැලැස්ම සකස් කරන්නේ කවුද සහ එය සංවර්ධනය කරන්නේ කෙසේද?

මම ඔබේ පිලිතුර පිළිබඳ උනන්දුවෙන් සිටිමි.

HSB

එච්එස්බී

***

හිතවත් එච්එස්බී,

ධනපති පන්තිය ස්වේච්ඡාවෙන් දේශපාලන බලය අත් නොහරින අතර සමාජවාදය ස්ථාපිත කිරීම විප්ලවයක් හරහා සිදුවනු ඇති බව නිසැක ය. එවැනි අරගලයක් ඉදිරියට යන්නේ කෙසේද යන්න කලින් කිව නොහැක. කෙනෙකුට කිව හැකි දෙය නම්, නව රාජ්‍ය ව්‍යුහය නිසැකවම පැරනි පාලක පන්තීන්ට එරෙහි දේශපාලන අරගලය තුල ගොඩනැගුනු සංවිධාන මත පදනම් වනු ඇති බවයි.

ඓතිහාසිකව මෙම සංවිධාන කම්කරු සභාවල ස්වරූපය ගෙන ඇත. 21 වැනි සියවසේදී ඔවුන් කුමන ස්වරූපයක් ගනීවිද යන්න නිශ්චිතවම කීමට අපහසුය. 1917 රුසියානු විප්ලවයෙන් සහ 1920 ගනන්වල යුරෝපයේ කම්කරු පන්තියේ විප්ලවවාදී අරගල වලින් පසු ආර්ථික සංවිධානයේ සහ ශ්‍රම බලකායේ ව්‍යුහයේ බොහෝ වෙනස්කම් සිදුවී ඇත.

ආර්ථික හා දේශපාලන අරගල මාලාවක් තුල පැන නගින සංවිධානයේ ආකෘතින්  කල්තියා තීරනය කල නොහැකි වුවද, පසුගිය දශක කිහිපය තුල ආර්ථිකයේ සිදු වූ විශාල වෙනස්කම් සැලකිල්ලට ගෙන, ජනගහනයේ පුලුල් ස්කන්ධය ඒවාට සම්බන්ධ වනු ඇති බවට විවාදයක් නැත.  සමහරක් රැකියා ස්ථාන මත පදනම් විය හැකි අතර තවත් සමහරක් නිශ්චිත ප්‍රදේශවල මිනිසුන් සම්බන්ධ කර ගන්නා අරගල අතරතුර හෝ  විශේෂිත ප්‍රශ්න ආශ්‍රිතව මතු විය හැක.

ඔබේ ප්‍රශ්න මාලාව වෙත හැරීමට පෙර, සාමාන්‍ය කරුනක් ඉදිරිපත් කරමු. සමාජයේ සමාජවාදී පරිවර්තනයේ කේන්ද්‍රය වන්නේ, වෙන කවරදාකටත් වඩා දැන්, ජනගහනයෙන් අතිමහත් බහුතරය වන වැඩකරන ජනතාව අතට දේශපාලන හා ආර්ථික බලය නැවත පැමිනීමයි.

මාක්ස් පැහැදිලි කල පරිදි,  1871 පැරිස් කොමියුනය, “තමන්ව මර්ධනය කරන සංවිධිත බලය වෙනුවට තමන්ගේම දේශපාලන බලය සකස් කරගන්නා පොදු මහජනතාවන් විසින්ම, තමන්ව මර්දනය හා පාලනය කරන බලවේගයන් වෙනුවට තමන්ගේම සජීවී බලය ලෙස සමාජය විසින් රාජ්‍ය බලය යලි අවශෝෂනය කර ගැනීම”, සම්බන්ධ වූවක් විය (Marx, On the Paris Commune p.153). එබැවින් එය ජනතාව විසින් කරවන  ජනතාව ගේ  ආන්ඩුවක් විය. 

Pariscomune
පැරිස් කොමියුනය – 1871 මාර්තු 18 දින කොමියුනාඩ් ජාතික ආරක්ෂක බලකාය විසින් බිම හෙළන ලද බාධකයක්. (ෆොටෝ: විකිපීඩියා)

මාක්ස්ගේ මෙම විග්‍රහය අප දැනට මුහුන දෙන තත්වය සඳහා අතිමහත් වැදගත්කමක් ලබා ඇත. එදිනෙදා ජීවිතයේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස ආර්ථිකය සහ සමාජය පවත්වාගෙන යාම සඳහා ජනගහනයේ පුලුල් මහජනතාව තම දෛනික ජීවිතයේ සංඝටක කොටසක් ලෙස සක්‍රීයව සම්බන්ධ වන නව ආකාරයේ සමාජ සංවිධානයක් පිහිටුවීම යම් ආකාරයක සිහිනයක් නොව ප්‍රායෝගික අවශ්‍යතාවයක් බවට පත්ව ඇත.

21 වැනි සියවසේ මානව සමාජය, පසුගිය වසර 200 තුල නිෂ්පාදනයේ සිදු වූ දැවැන්ත වෙනස්කම්වලින් සහ එහි ප්‍රතිඵලය වූ සියල්ලෙන් වර්ධනය වන අතිශය සංකීර්න සජීවී ව්‍යුහයක් වන අතර එය වර්ධනය වූ ධනේශ්වර සමාජ සබඳතා අභිබවා ගොස් ඇත.

ඇත්ත වශයෙන්ම, ධනේශ්වර වෙලඳපොලේ තර්කනයට සමාජය තවදුරටත් යටත් කිරීම- එනම්, පුද්ගලික ලාභ රැස්කර ගැනීමේ තල්ලුව මගින්, සෞඛ්‍යය, අධ්‍යාපනය, වයස්ගත පුද්ගලයින්ගේ රැකවරනය, සම්පත් බෙදා වෙන් කිරීම, නගර සැලසුම් කිරීම, භූමිය සහ පරිසරය රැකබලා ගැනීම, සියල්ලන්ටම යහපත් ජීවන තත්වයන් සම්පාදනය කිරීම වැනි සංකීර්න ප්‍රශ්න  තීරනය කරනු ලැබීම – ගෙන ආ හැක්කේ එක් ව්‍යසනයක් පසුපස තවත් ව්‍යසනයක් පමනි. යම් ආකාරයක නිලධර යාන්ත්‍රනයක් සමාජ හා ආර්ථික සංවිධානය භාර ගන්නා, ප්‍රතිසංස්කරනය කරන ලද සුබසාධන රාජ්‍යයක් නිර්මානය කිරීමෙන්ද මෙම ගැටලු විසඳිය නොහැක.

සංවිධානයේ ආකාර සහ ඒවා අතර ඇති සම්බන්ධතා පිලිබඳ ඔබේ ප්‍රශ්නවලට කල්තියා පිලිතුරු දීමට නොහැකි බව මෙම කෙටි ප්‍රකාශය පැහැදිලි කරනු ඇතැයි මම විශ්වාස කරමි. මක්නිසාද යත්, දේශපාලන බලය‌ේ මෙම නව රෑපාකාර, සමාජය අනුගත විය යුතු, දැනටමත් සකස් කර ඇති යම් සැලැස්මකට අනුව වර්ධනය නොවනු ඇති  බැවිනි.

ඒ වෙනුවට, ඒවා මතුවනු ඇත්තේ මිලියන සංඛ්‍යාත ජනතාවක් සම්බන්ධ සමාජ හා දේශපාලන අරගලවල ප්‍රතිඵලයක් ලෙස ය. එනයින් බලන කල, 1905 රුසියාවේ විප්ලවයේ දී ප්‍රථම වරට දර්ශන පථයට ආ සෝවියට් සභා හෝ කම්කරු කවුන්සිල වර්ධනය වූයේ බෝල්ෂෙවික් පක්ෂය විසින් සකස් කරන ලද සැලැස්මකට අනුව නොව සාර්වාදී පාලනයට එරෙහි අරගලය තුල ය. පැරිස් කොමියුනයේ රහස එය, “කම්කරු පන්ති ආන්ඩුවක්, එනමි අතිරික්ත ශ්‍රමයේ වටිනාකම් ගොඩගසා ගන්නා පන්තියට එරෙහි ඒවා නිෂ්පාදනය කරන පන්තියේ අරගලයේ නිෂ්පාදිතයක්, ශ්‍රමයේ ආර්ථික විමුක්තිය ක්‍රියාවට නැගීම සඳහා අවසානයේ සොයාගත් දේශපාලන ස්වරූපයක්” බව මාක්ස් පැහැදිලි කලේය. (මාක්ස්, පැරිස් කොමියුනය පිලිබඳ, p.75).

මෙම කර්තව්‍යය ඉටු කිරීම සඳහා අවශ්‍ය දේශපාලන රූපාකාරයන් 21 වැනි සියවසේදී ධනවාදයට එරෙහි පුලුල් සමාජ අරගලයේ ගමන් මගෙහි “සොයා ගැනීමට” සිදුවනු ඇත. යම් ආකාරයක  නිශ්චිත සැලැස්මක් සැකසීමට නොහැකි වුවද, ඇතැම් පොදු මූලධර්ම ස්ථාපිත කර ඇත.

නිලධාරි තන්ත‍්‍රය ගොඩනැගීමට එරෙහි ප‍්‍රධාන ආරක්‍ෂාව වන්නේ සමාජය පවත්වාගෙන යාමට සමස්ථ ජනගහනයේ සක්‍රීය මැදිහත්වීමයි. සත්තකින්ම, ඇතැම් නියෝජිත සංවිධාන තවමත් අවශ්‍ය වනු විය හැක. එම නියෝජිතයින් ඔවුන් තෝරා පත් කර ගත් අය විසින් නැවත කැඳවීමට යටත් වන අතර ඔවුන්ගේ වැටුප් සාමාන්‍යයට වඩා වැඩි නොවනු ඇත. 

අද දියුනු සන්නිවේදන පද්ධතිවල දියුනුවත් සමඟම අඛන්ඩ පදනමක් මත ප්‍රතිපත්ති සාකච්ඡා කිරීම සම්පාදනය කිරීම හා කෙටුම්පත් කිරීම සඳහා සමස්ත ජනතාවම සම්බන්ධ කර ගැනීමට නිසැකවම හැකි වනු ඇත. වෙනත් වචන වලින් කිවහොත්, ඔබ පවසන පරිදි ප්‍රතිපත්ති සැකසීම සහ එය ක්‍රියාත්මක කිරීම “අධීක්ෂනය” (“policing”) සිදු කරනු ලබන්නේ, ඔවුන් විසින් නිර්මානය කරන ලද විවිධ සංවිධාන හරහා ක්‍රියා කරන මහජනතාව විසිනි.

ඔබ විසින් මතු කර ඇති කරුනු තවදුරටත් පැහැදිලි කර ගැනීම සඳහා රිචඩ් එන් හන්ට් (Richard N. Hunt ) ගේ අතිශය වටිනා කෘතියක ඡේදයක් උපුටා දැක්වීමට මට ඉඩ දෙන්න.

අපි කිසියම් සමාජයක් ගැන කියවද්දී එහි, ‘නගරය සහ රටෙහි එකමුතුවක්’ පැවතියේ නම්; ‘සිවිල් වගකීම් සිවිල් අයිතීන් මගින් ගම්‍ය’ වේ නම්; එහි  පරමාදර්ශී ප්‍රජාතන්ත්‍රවාදය, ‘සියලු පුරවැසියන් ස්වෛරී බලය වනවා පමනක් නොව ඇත්ත වශයෙන්ම පාලනය කිරිමේ නිරත විම’ අවශ්‍ය කරන්නේ නම්; මෙම ඉලක්කය, සියලුම කාර්යාල වලට  ‘සාමාන්‍යයෙන් ප්‍රවේශ විය හැකි වීම’  සහ ‘නිලතල හිමිකරුවන් නිරන්තරයෙන් වෙනස් කිරීම’ මගින් සපුරා ගත්තේ නම්; එහිදී ‘සියලු නිලධාරීන් තේරී පත් වූ’ සහ පුරවැසි ආයතනය තුල සිදුකල  හැකි උපරිම පරිමානයෙන් නිලතල දරන්නන් වෙනස් වෙමින් අලුතින් පත්වීම’ සිදුවන්නේ නම්; එහි ප්‍රතිඵලයක් ලෙස ‘නිලධාරී ධුරාවලියක්’ නොතිබෙනා’තර, ‘සෑම නිලධාරියෙක්ම පුරවැසියෙකුට වඩා වැඩි යමෙක් නොවී, අහම්බෙන් පාහේ සීමිත කාලයක් රාජ්‍යය වෙනුවෙන් යම් විශේෂ සේවයක නිරත වූවාක් මෙන් වන’; මේ සියලු භාවිතයන් ‘පුරවැසියන්ගේ ජීවිතය සහ ස්වභාවයම වන්නාවූ දේශපාලන ජීවිතයක්’, ‘රාජ්‍යය සමඟ පුරවැසියන්ගේ අනන්‍යතාවයක්’, ‘රාජ්‍යයේ සහ සමාජයේ අනන්‍යතාවයක්’ නිර්මානය කිරීමක් – අපට මේ දේවල් කියවා බැලුවහොත්, අපට එය මාක්ස් විස්තර කල පන්ති විරහිත සමාජය බව නිසැක වනු ඇත. නමුත් ඇත්ත වශයෙන්ම එය ජර්මානු-උගත් සම්භාව්‍ය ලේඛක වික්ටර් එරන්බර්ග් විසින් ලියන ලද පෙරික්ලියානු ඇතන්ස් පිලිබඳ විස්තරයකි” (හන්ට්, මාක්ස් සහ එංගල්ස්ගේ දේශපාලන අදහස්, වෙලුම II, p. 254).

සත්තකින්ම, ග්‍රීක ප්‍රජාතන්ත්‍රවාදය වහල්භාවය මත රැඳී සිටි අතර, එමඟින් පුරවැසියන්ට පොදු කටයුතුවලට සහභාගී වීමට හැකි විය. පොදුවේ ගත් කල, එංගල්ස් පෙන්වා දෙන පරිදි, මානව ඉතිහාසය පුරා ශ්‍රමයේ අඩු ඵලදායිතාවයක් ඇති විට, සමාජයේ පොදු කටයුතු සොයා බලන විශේෂ පන්තියක් වර්ධනය වේ.

කෙසේ වෙතත් මේ තත්ත්වය දැන් වෙනස් වී ඇත. අද, “නූතන කර්මාන්තය විසින් අත්පත් කර ගෙන ඇති නිෂ්පාදන බලවේගවල දැවැන්ත වැඩිවීම නිසා සමාජයේ සියලුම සාමාජිකයන් අතර ව්යතිරේකයකින් තොරව ශ්‍රමය බෙදා හැරීමට හැකි වී ඇති අතර, එමගින් සෑම සාමාජිකයෙකුගේම ශ්‍රම කාලය සීමා කිරීමට කොතරම් ප්‍රමානයකට හැකි වී තිබේද යත් සියලු දෙනාටම, සමාජයේ න්‍යායික සහ ප්‍රායෝගික යන දෙඅංශයේම පොදු කටයුතුවලට සහභාගී වීමට ඇති තරමට නිදහස් කාලය තිබේ” (එංගල්ස්, ඩුරිං විරෝධය, පිටු. 217-218).

ජාතික සැලැස්මක් සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් ඔබේ ප්‍රශ්නය පිලිබඳව එක් කරුනක්: සමාජවාදී සමාජය තමන්ගේම ජාතික සැලැස්මක් ඇති ජාතීන් මාලාවක් ලෙස සංකල්පනය කිරීම වැරදියි. ඊට පටහැනිව, සමාජවාදී සමාජය මතුවනු ඇත්තේ, ගෝලීය ධනවාදයට එරෙහි අරගලය ක්‍රියාත්මක කිරීම සඳහා ගෝලීය සංවිධානයේ නව ආකාර වර්ධනය කිරීමට සිදුවනනු ඇති කම්කරු පන්තියේ ජාත්‍යන්තර අරගලයක ප්‍රතිඵලයක් ලෙස ය. එපමනක් නොව, ගෝලීයකරනය වූ නිෂ්පාදනයේ වර්ධනය, ජාත්‍යන්තර ශ්‍රම විභජනයේ ඉහල වර්ධනය සහ සමස්ත ගැටලු රාශියකට මුහුන දීගත  නොහැකි වීම – දෙකක් පමනක් සඳහන් කරන්නේ නම්, පරිසරය පාලනය කිරීම, රෝග වලට එරෙහිව සටන් කිරීම යනාදිය – යන්නෙන් අදහස් වන්නේ සැලසුම් කිරීම (planning) ගෝලීය පරිමානයෙන් ද සිදු කිරීමට සිදුවන බවය.

ඔබේම විශ්වාසි, 

නික් බීම්ස්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top