මෙම ලිපිය “Oppose Communally Driven State-Sponsored Demographic Engineering in the North and East of Sri Lanka: The Way Forward” යන හිසින් theSocialist.lk හි ඉංග්‍රීසි බසින් 2026 ජුලි 6 දින පළ වුණි.
සංජය ජයසේකර විසිනි.

2026 ජූලි 3 වන දින “යාපනය මාධ්‍ය සමාජය” පරිශ්‍රයේ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී, සිංහල ජාතික කථිකයෙකු විසින් පොදුවේ පිළිගැනෙන සිංහල-බෞද්ධ වාර්ගිකවාදී (communal/communalist) තර්කයක් මතු කරන ලදී. එනම්, ශ්‍රී ලංකාවේ අගනුවර වන කොළඹ තුළ දෙමළ, සිංහල සහ මුස්ලිම් ජනයා එකට ජීවත් වන බැවින්, එම අයුරින්ම යාපනය ඇතුළු උතුරු සහ නැගෙනහිර පළාත්වල ද සිංහල ජනතාව සාමකාමීව පදිංචි කරවිය හැකි බවයි. මෙය දෙමළ බහුතරයක් වෙසෙන ප්‍රදේශ රජයේ අනුග්‍රහය ඇතිව සිංහලීකරණය කිරීම සාධාරණීකරණය කිරීම සඳහා ගොඩනගන ලද වැරදි සහගත මතයකි. මෙම තර්කය වංචනිකය. මෙය පොදු මූලධර්මයක් ලෙස පිළිගතහොත්, දකුණේ ප්‍රධාන වශයෙන් සිංහල ජනයා වෙසෙන ප්‍රදේශ වන මාතර, වීරකැටිය, දික්වැල්ල, තංගල්ල, අම්බලන්තොට, මිරිස්ස, ගාල්ල සහ දෙනියාය වැනි ප්‍රදේශවල දෙමළ ජනතාවට ඉඩම් ලබාදීමට රජය කටයුතු කිරීම ද ඒ හා සමානවම සාධාරණීකරණය කළ හැකිය. මෙම කථිකයා එය කිසිසේත්ම පිළිගනු නැත. මන්ද, රජයේ අනුග්‍රහය සහිත පදිංචිකිරවීම්/ජනාවාසකරණය (settlement) යනු ස්වේච්ඡා සහජීවනය සඳහා කෙරෙන ආරාධනයක් නොව, බලය ක්‍රියාත්මක කිරීමේ මෙවලමක් බව ඔහු මැනවින් දන්නා බැවිනි. බහු-වාර්ගික සහජීවනයේ මූලධර්මයක් ලෙස මෙහිදී ඉදිරිපත් කෙරෙන්නේ, සැබවින්ම රජයේ අනුග්‍රහය ඇතිව සිංහල වාර්ගික ආධිපත්‍යය පැතිරවීම සාධාරණීකරණය කිරීමකි. මෙම ගැටලුව ජනවාර්ගිකත්වය පිළිබඳ හෝ සිංහල, දෙමළ සහ මුස්ලිම් ජනයාට ස්වේච්ඡාවෙන් එකට ජීවත් විය හැකිද යන්න පිළිබඳ ප්‍රශ්නයක් නොවේ. මෙහි ඇති සැබෑ ප්රශ්නය නම්, රජය විසින් මෙහෙයවනු ලබන ජනගහන සංයුතිය වෙනස් කිරීමේ දේශපාලන ස්වභාවය සහ එය සේවය කරන ධනේශ්වර පාලනයේ වාර්ගිකවාදී මූලෝපාය යි.
ඓතිහාසික වාර්තාව
1948 දී ලැබූ ව්‍යාජ නිදහසේ සිට, බලයට පත් වූ අනුප්‍රාප්තික ශ්‍රී ලංකා ආණ්ඩුවල වාර්ගිකවාදී පාලනයේ ප්‍රධාන කුළුණක් ලෙස උතුරු සහ නැගෙනහිර පළාත්වල ජනගහන සංයුතිය වෙනස් කිරීමේ උපක්‍රමය (demographic engineering) අඛණ්ඩව ක්‍රියාත්මක කරන ලදී. ඩී. එස්. සේනානායක ආණ්ඩුවේ පළමු ක්‍රියාමාර්ගවලින් එකක් වූයේ වතුකරයේ දෙමළ භාෂාව කතා කරන ලක්ෂ දහයකට අධික ජනතාවකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමයි. එක්සත් ජාතික පක්ෂය ආරම්භයේ සිටම මෙම වාර්ගිකවාදී මූලධර්මය ක්‍රියාවට නැංවූ අතර, ඒ පිළිබඳව කොල්වින් ආර්. ද සිල්වා 1948 දී පුරවැසි පනතට විරුද්ධව කළ දේශනයේදී මෙසේ අනාවැකිමය ප්‍රකාශයක් කළේය: “රාජ්‍යය ජාතිය (nation) සමඟ ද, ජාතිය වර්ගය (race) සමඟ ද කාල සමපාත විය යුතුය.” මෙය “යල් පැන ගිය මතයක් සහ බිඳ වැටුණු දර්ශනයක්” බවට අනතුරු ඇඟවූ ඔහු, වැඩිදුරටත් මෙසේ ද පැවසීය: “ජාතිය වර්ගය සමඟ සමපාත කිරීමටත්, වර්ගය රාජ්‍යයේ ව්‍යුහය තීරණය කරන ප්‍රධාන සාධකය බවට පත් කිරීමටත් කටයුතු කෙරුණේ හරියටම ෆැසිස්ට්වාදය යටතේ ය.[1]
මහ වැඩවර්ජනය හේතුවෙන් ධනේශ්වර පාලනයේ පදනම සෙලවී ගිය 1953 හර්තාලයෙන් පසුව මෙම රටාව වඩාත් තීව්ර විය. කම්කරු පන්තිය තුළ ට්‍රොට්ස්කිවාදීන්ට තිබූ බලපෑමට වැට බැඳිය හැක්කේ දෙමළ විරෝධී පටු ආකල්ප ඇවිස්සීමෙන් පමණක් බව බණ්ඩාරනායක නිගමනය කළේය. කෙසේ වෙතත්, මෙම වාර්ගිකවාදී ව්‍යාපෘතිය නීති පැනවීමට සහ පරිපාලනමය වෙනස්කම්වලට පමණක් සීමා නොවීය. රටේ ජනගහන සිතියම භෞතිකව වෙනස් කිරීම මඟින් ද එය එලෙසම දැඩි වීර්යයකින් යුතුව ඉදිරියට ගෙන යන ලදී.
1950 දශකයේ සිට ඉදිරියට, බලයට පත් වූ අනුප්‍රාප්තික ආණ්ඩු විසින් තෙත් කලාපයේ ජීවත් වූ සිංහල ගොවි ජනතාව වියළි කලාපයට අයත් උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචි කරවීම සඳහා රජයේ අනුග්‍රහය සහිත වාරිමාර්ග හා භූමි ජනපදකරණ (coloniztion) ව්‍යාපෘති භාවිත කරන ලදී. 1949 දී ඩී. එස්. සේනානායක යටතේ ආරම්භ කරන ලද ගල්ඔය ව්‍යාපෘතිය මඟින්, ගල්ඔය ගඟ හැරවීමෙන් සංවර්ධනය කරන ලද ඉඩම්වල දසදහස් සංඛ්‍යාත සිංහල පදිංචිකරුවන් පිරිසක් පදිංචි කරවන ලදී. ඒකාබද්ධ මඩකලපුව-අම්පාර දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1911 දී 4,702 ක් වැනි සුළු අගයක පැවති අතර, එය 1981 වන විට 150,000 ඉක්මවන තෙක් ඉහළ ගියේය. මෙය සාමාන්‍ය ස්වාභාවික ජනගහන වර්ධන වේගයකින් සිදුවිය නොහැකි, කැපී පෙනෙන වර්ධනයකි. සිංහල බහුතරයක් වෙසෙන දකුණු පළාත්වලින් රැගෙන ආ පදිංචිකරුවන්ට රජයේ ඉඩම්, වාරිමාර්ග යටිතල පහසුකම් සහ වගා අයිතීන් ක්‍රමවත්ව ලබාදීම මඟින් මෙම වර්ධනය අත්පත් කරගන්නා ලදී. 1961 අප්‍රේල් මාසයේදී මඩකලපුවෙන් අම්පාර පරිපාලනමය වශයෙන් වෙන් කිරීම ඉදිරිපත් කෙරුණේ, එම කලාපයේ වර්ධනය හේතුවෙන් අවශ්‍ය වූ නිලධාරිවාදී විමධ්‍යගත කිරීමේ පියවරක් ලෙසය. නමුත් සැබවින්ම එය දශකයකට වැඩි කාලයක් තිස්සේ සැලසුම්සහගතව සිදුකළ ජනගහන සංයුතිය වෙනස් කිරීමේ වැඩපිළිවෙළේ දේශපාලන ස්ථාවරීකරණයකි. දිස්ත්‍රික් සීමා නැවත ඇඳීම මඟින් එතෙක් දෙමළ සහ මුස්ලිම් බහුතරයක් ජීවත් වූ භූමියෙන් සිංහල බහුතරයක් සහිත නව අභ්‍යන්තර ප්‍රදේශයක් වෙන් කරගත් අතර, දෙමළ සහ මුස්ලිම් ජනතාව බහුලව වෙසෙන වෙරළබඩ ප්‍රදේශවලින් එය පරිපාලනමය වශයෙන් වෙන් කරන ලදී. එතෙක් දෙමළ බහුතරයක් සිටි පළාතක් තුළ සිංහල පාර්ලිමේන්තු නියෝජනයක් කෘත්‍රිමව නිර්මාණය කිරීම සඳහා මැතිවරණ සීමා නැවත සකස් කිරීම හරහා සිදුකළ අම්පාර බෙදීම, සංවර්ධන ප්රතිපත්තියක අහඹු අතුරු ඵලයක් නොවීය; එය සිංහල ධනේශ්වර පන්තියේ ජාතිය ගොඩනැඟීමේ ව්‍යාපෘතියේ අත්‍යවශ්‍ය යාන්ත්‍රණයක් විය. තාක්ෂණික පරිපාලනයක් සහ ග්‍රාමීය සංවර්ධනයක් ලෙස හඳුන්වා දුන් දෙය, එහි ආරම්භයේ සිටම පාලක පන්තිය විසින් කම්කරු පන්තිය වාර්ගික පදනමින් කැබලි කිරීම සඳහා භාවිත කළ මූලෝපාය සමඟ බද්ධ වී තිබූ බව මින් තහවුරු වේ.
ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයෙන් බැහැරින් කැඳවාගෙන ආ ගොවි ජනතාව, එතෙක් දෙමළ බහුතරයක් ජීවත් වූ කන්තලේ ප්‍රදේශයේ පදිංචි කරවීම මඟින් ද මෙවැනිම ක්‍රියාවලියක් සිදු විය. අනුරාධපුර නගරයේ සිට කිලෝමීටර් 65ක් දුරින් පිහිටි පදවිය වැව ව්‍යාපෘතිය හරහා මෙම ක්රියාපිළිවෙතම වයඹ දෙසින් පිහිටි අනුරාධපුර දිස්ත්‍රික්කයේ දෙමළ බස කතා කරන ප්‍රදේශ දක්වා ද ව්‍යාප්ත කරන ලදී. මෙම ව්‍යාපෘති පුරාම ඉඩම් බෙදාදීමේ රටාව එක හා සමාන මෙන්ම පැහැදිලි එකක් විය: අල්ලෙයි ව්‍යාපෘතිය මඟින් පදිංචිකරුවන් සඳහා වෙන් කළ ඉඩම් කොටස්වලින් සියයට 65ක් ද, කන්තලේ ව්‍යාපෘතිය මඟින් සියයට 77ක් ද සිංහල පදිංචිකරුවන් වෙත ලබා දෙන ලද අතර, ඒ සෑම අවස්ථාවකදීම එහි සිටි දෙමළ සහ මුස්ලිම් ජනතාවට ඉතිරි වූයේ ඉතා සුළු ඉඩම් ප්රමාණයකි. මෙහි සමස්ත ජනගහන බලපෑම අතිශයින්ම කැපී පෙනුණි. එනම්, 1946 දී සියයට 15ක් පමණ වූ ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ සිංහල ජනගහනය 1981 වන විට සියයට 33ක් දක්වා ඉහළ ගියේය. මෙම වර්ධනය ස්වාභාවික ජනගහන වර්ධනයක් ලෙස සැලකිය නොහැකි අතර, එයින් පැහැදිලි වන්නේ සිංහල-බෞද්ධ ජාතිය ගොඩනැඟීමේ මෙවලමක් ලෙස රාජ්‍ය මැදිහත් වීමෙන් සිදුකළ ජනපදකරණයේ ක්රමාණුකූල ස්වභාවයයි.
1969 එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP) සහ ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ (FAO) මූලික සැලැස්මකට අනුව 1960 දශකයේ අගභාගයේදී ඩඩ්ලි සේනානායක රජය යටතේ නව අදියර ආරම්භ වූ, පසුව 1977 දී එක්සත් ජාතික පක්ෂය (UNP) යළි බලයට පත්වීමෙන් පසු සැලසුම්ගත වසර තිහක කාලය වසර හතක් දක්වා කැපී පෙනෙන ලෙස වේගවත් කරන ලද මහවැලි සංවර්ධන වැඩසටහන විසින්, මෙම සැලසුම් සහගත ජනගහන ව්‍යුහය වෙනස් කිරීමේ ක්‍රියාවලිය ගුණාත්මක වශයෙන් නවතම මට්ටමකට ගෙන යන ලදී. බී (B), සී (C), එච් (H) සහ එල් (L) කලාපවල ජනාවාස පිහිටුවීම මඟින් උතුරු සහ නැඟෙනහිර පළාත් වෙත අතිමහත් බහුතරයක් වූ සිංහල පදිංචිකරුවන් රැගෙන එන ලදී: එවකට දෙමළ බහුතරයක් සිටි ප්‍රදේශයක් වූ නැඟෙනහිර පළාතට මෙම භූමිය අයත් වුවද, එච් (H) සහ සී (C) කලාපවල පදිංචිකරුවන්ගෙන් සිංහල සහ මුස්ලිම් ජාතිකයන් පිළිවෙලින් සියයට 90 ක සහ සියයට 10 ක ජනතාවක් වූ අතර දෙමළ ජනතාව වෙත කිසිදු ඉඩමක් වෙන් කර නොතිබුණි. මෙම සංයුතිය අහඹු එකක් නොවීය; මහවැලි අධිකාරියේ හිටපු ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පසුව පිළිගෙන තිබුණේ, විශේෂයෙන්ම වැලිඔය (මනාල් ආරු) ප්‍රදේශයේ එල් (L) කලාපය ජනාවාස කිරීම සැලසුම් කර තිබුණේ “දෙමළ ඊළාමේ පැවැත්මට ඇති ඉඩම් පදනම විනාශ කිරීම” සඳහා බවයි. එනම්, උතුරේ දෙමළ ප්‍රදේශ සහ නැඟෙනහිර දෙමළ හා මුස්ලිම් වැසියන් සිටින ප්‍රදේශ වෙන් කරන පටු භූමි තීරුව තුළට රජයට පක්ෂපාතී සිංහල ජනගහනයක් ඇතුළු කර, ඔවුන් (දෙමළ ජනතාව) තම මව්බිම ලෙස හිමිකම් කියන ප්‍රදේශය භූගෝලීය වශයෙන් ස්ථිර ලෙසම දෙකඩ කිරීම සඳහාය.[2] වැලිඔය යනු සිංහල ජනපදකරණයේ වඩාත්ම මිලිටරීකරණය වූ ස්වරූපය වූ අතර, 1980 දශකයේ මැද භාගයේ සිට ජනාධිපති ජයවර්ධනගේ සමීපතමයන්ගේ කවයේ සහාය ඇතිව, බෞද්ධ භික්ෂූවකගේ නායකත්වයෙන් යුත් බලමුලු ගැන්වීමක් යටතේ රහසිගතව එහි ජනාවාස පිහිටුවන ලදී. එහිදී පදිංචිකරුවන්ට ආයුධ ලබා දී හමුදාව සමඟ එක්ව ග්රාමාරක්ෂකයන් ලෙස යොදවන ලදී.
1985 නොවැම්බර් කලාපයේ ටැමිල් ටයිම්ස් (Tamil Times) පුවත්පත වාර්තා කළ පරිදි, 1985 වසරේදී රජය විසින් පත් කරන ලද “අධ්‍යයන කණ්ඩායමක්” (study group) විසින් දෙමළ බහුතරයක් වෙසෙන උතුරු සහ නැඟෙනහිර පළාත් අතර පවතින භූමිය සම්බන්ධ කරන සබැඳිය බිඳ දැමීම සඳහා සිංහල ජනපදකරණය භාවිත කිරීමට පැහැදිලිවම නිර්දේශ කරන ලදී. එම වාර්තාව යෝජනා කළේ, “මෙම ප්‍රදේශය [ත්‍රිකුණාමල දිස්ත්‍රික්කය] ජන වර්ග යා කරන පාලමක් බඳු වන අතර, මෙම කලාපය තුළ සිංහල ජනගහනය පදිංචි කරවීම මඟින් දිස්ත්‍රික්ක අතර පවතින මෙම වාර්ගික [දෙමළ] සබැඳිය බිඳ දැමිය හැකි” බවයි. පළාත් සීමා වෙනස් කරමින් සහ නව දිස්ත්‍රික්ක නිර්මාණය කරමින් ශ්‍රී ලංකා සිතියම නැවත ඇඳීම හරහා, උතුරු සහ නැඟෙනහිර දෙමළ ප්‍රදේශවල වාර්ගික සංයුතිය වෙනස් කර එහි සිංහල ජනතාව බහුතරය බවට පත් කිරීම ඇතුළු නිර්දේශ අටක් එහි වාර්තා කර තිබුණි. 1985 ජනවාරි 21 වන දින ලොස් ඇන්ජලීස් නිව්ස් (Los Angeles News) පුවත්පත වාර්තා කළ පරිදි, උතුරු පළාතේ ප්‍රමාණවත් තරම් සිංහල ජනතාව පදිංචි කරවීමේ සැලසුම් ජනාධිපති ජයවර්ධන විසින්ම ප්‍රකාශයට පත් කරන ලදී. ආනමඩුව ප්‍රදේශයේ පැවැති ප්‍රසිද්ධ රැස්වීමකදී ඔහු කියා සිටියේ, “අපි ශ්‍රී ලංකාව සලකන්නේ සියයට 75ක් සිංහල සහ සියයට 25ක් වෙනත් ජාතීන්ගෙන් සමන්විත, සියලු පුරවැසියන්ට අයිති එකම භූමියක් ලෙසයි. ඒ අනුව, අපි රජයේ ඉඩම්වල මෙම ප්‍රතිශතයට අනුව දිවයින පුරා ශ්‍රී ලාංකිකයන් පදිංචි කරනු ලබනවා,” යනුවෙනි.
මෙය යුද සමයට පමණක් සීමා වූ වැඩපිළිවෙළක් නොවීය. 2009 වසරේදී එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානය යුදමය වශයෙන් පරාජය කිරීමෙන් පසුව ද මෙය යළි ආරම්භ වූ අතර, එහිදී මහවැලි අධිකාරිය සහ ආරක්ෂක අංශ මැදිහත් වී ප්‍රධාන වශයෙන්ම හම්බන්තොට ප්‍රදේශයෙන් ඉඩම් නොමැති සිංහල ජනතාවගේ නව කණ්ඩායම්, පෙර පරිදිම රහසිගත ආකාරයෙන් වැලිඔය ප්‍රදේශයට රැගෙන එන ලදී. තවද, ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ශ්‍රී ලංකා කැබිනට් මණ්ඩලය විසින් 2026 ජනවාරි මාසයේදී මහවැලි එල් (L) කලාපයේ කිවුල් ඔය ජලාශ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට අනුමැතිය ලබා දීමත් සමඟ මෙම ක්‍රියාවලිය වර්තමානය දක්වාම අඛණ්ඩව සිදුවේ. වාර්තාවලට අනුව මෙම ව්‍යාපෘතිය මඟින් දෙමළ ජනතාවට අයත් කුඹුරු ඉඩම් අක්කර 1,600කට වඩා වැඩි ප්‍රමාණයක් පවරා ගැනීමට නියමිත අතර, එහි පදිංචි කිරීමට අපේක්ෂිත 7,000කට අධික පිරිස සම්පූර්ණයෙන්ම පාහේ සිංහල ජාතිකයන් බව පැවසේ. එහිදී දශක ගණනාවක් තිස්සේ එම ප්‍රදේශයේ වගා කටයුතුවල නිරත වූ දෙමළ ප්‍රජාව වෙනුවෙන් කිසිදු ඉඩමක් වෙන් කර නොමැති බව වාර්තා වේ.

මෙම වැඩසටහන් ක්‍රියාත්මක කරන ලද්දේ ජාතික සංවර්ධනය සහ ඉඩම් ප්‍රතිසංස්කරණය යන ලේබලයන් යටතේය. නමුත් ඒවා කිසිසේත්ම එවැනි දේ නොවීය. ඒවා මඟින් සමස්ත දිස්ත්රික්කවලම වාර්ගික සංයුතිය වෙනස් කරන ලද අතර, දෙමළ බහුතරයක් වෙසෙන භූමියේ පවතින භූගෝලීය අඛණ්ඩතාව කැබලි කර දමන ලදී. මෙය දෙමළ ජාතිකවාදී දේශපාලනයට සහ පසුව ඇති වූ සන්නද්ධ ගැටුමට පාදක වූ ප්‍රධානතම දුක්ගැනවිලිවලින් එකක් බවට පත් විය. 1983 දී පුපුරා ගිය යුද්ධය සහ උතුරු-නැඟෙනහිර ප්‍රදේශවල පැවැති හමුදා පාලනය මෙම ජනාවාසකරණ ක්‍රියාවලිය වේගවත් කිරීම සඳහා ආවරණය සපයා දුන්නේය. 2012 වසරේදී ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) වාර්තා කළ පරිදි, යුද පශ්චාත් සමයේදී රාජපක්ෂ රජය විසින් ක්රමානුකූල ‘සිංහලීකරණ’ ප්‍රතිපත්තියක් අනුගමනය කරන ලදී. එහිදී දෙමළ ග්‍රාම නාම සිංහල භාෂාවට හැරවීම, බුදු පිළිම ඉදිකිරීම සහ “දේශපාලනික මෙන්ම සමාජීය වශයෙන් බලපෑම් සහගත වන අයුරින් ජනගහන සමතුලිතතාව වෙනස් කිරීම” [3] සඳහා සිංහල පදිංචිකරුවන් උතුරු දෙසට සංක්‍රමණය කරවීම සිදු කරන ලදී. එහිදී හමුදාව විසින් ඉඩම් බෙදාදීමේ කටයුතු පාලනය කළ අතර, අවතැන් වූ දෙමළ ජනතාවට නැවත ඔවුන්ගේ ගම්බිම් වෙත පැමිණීම වළක්වන ලදී.
මෙම ජනපදකරණ ව්‍යාපෘති හරහා උතුරු සහ නැඟෙනහිර පළාත්වල පදිංචි කරවන ලද සිංහල ගොවි ජනතාව ද මෙම වාර්ගිකවාදී මූලෝපායේම ගොදුරු බවට පත් වූවෝ වෙති. ආරම්භක පෙළඹවීම් ලෙස ඔවුන් වෙත ඉඩම් සහ රාජ්‍ය ආධාර ලබා දුන්නද, පසුව ඔවුන්ගෙන් බොහෝ දෙනෙකුට දැඩි දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු විය. මිලිටරිමය වශයෙන් අනාරක්ෂිත මායිම් කලාපවල ඔවුන්ව පදිංචි කරවීම හේතුවෙන්, ඔවුහු LTTE සහ අනෙකුත් සන්නද්ධ කණ්ඩායම්වල මාරාන්තික ප්‍රහාරවලට නැවත නැවතත් ලක් වූහ. එසේ වුවද, ඔවුන්ට ප්‍රමාණවත් ආරක්ෂාවක් හෝ දිගුකාලීන ආර්ථික සුරක්ෂිතතාවක් ලබා දීමට රජය නිරන්තරයෙන්ම අසමත් විය. බොහෝ පදිංචිකරුවන්ගේ පවුල්වලට පොරොන්දු වූ ජීවන තත්ත්වයන්ගේ දියුණුව කිසිදා උදා නොවීය. එසේ වුවද, මෙම ව්‍යාපෘති මඟින් ඓතිහාසිකව දෙමළ බහුතරයක් සිටි ප්‍රදේශවල ජනගහන සංයුතිය දැඩි ලෙස සහ ස්ථිර ලෙසම වෙනස් කරන ලදී. පර්යේෂණ විශාල ප්‍රමාණයකින් ලේඛනගත කර ඇති පරිදි, මෙම ප්‍රතිඵලය අහඹු එකක් නොවූ අතර එය අනුප්‍රාප්තික රජයන්හි ප්‍රධාන දේශපාලන අරමුණක් විය. මෙම වෛෂයික වාර්තා මඟින් පැහැදිලි වන්නේ, වාර්ගිකවාදී බෙදීම් හරහා භෞමික සහ දේශපාලන අධිකාරිය තහවුරු කර ගැනීමේ පුළුල් මූලෝපාය වෙනුවෙන්, මෙම සිංහල-ස්වෝත්ත්තමවාදී රාජ්‍යය විසින් දෙමළ ජනතාවගේ මෙන්ම දුප්පත් සිංහල පදිංචිකරුවන්ගේ ද සුභසාධනය යටපත් කරන ලද බවයි. මෙහිදී සිංහල ගොවි ජනතාව යොදවන ලද්දේ මෙම ව්‍යාපෘතිවල ප්‍රධාන ප්‍රතිලාභීන් ලෙස නොව, වාර්ගික ධ්‍රැවීකරණය හරහා ධනේශ්වර පාලනය රැක ගැනීම මුල් කරගත් ප්රතිගාමී රාජ්‍ය ප්රතිපත්තියක මෙවලම් ලෙසය.

දෙමළ ඊළාමය යනු ශ්‍රී ලංකාවේ ගාසා තීරයයි
ශ්‍රී ලංකාවේ උතුරු සහ නැඟෙනහිර පළාත් තුළ අඛණ්ඩව සිදුවන මිලිටරීකරණය, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදී රාජ්‍යයේ අනුග්‍රහය ඇතිව සිදු කෙරෙන ඉඩම් කොල්ලකෑම් සහ සිංහල ජනාවාස පිහිටුවීම් මෙන්ම, 1980 දශකයේ මුල් භාගයේ සිට දෙමළ ජනතාවට එරෙහිව සිදු කරන ලද ම්ලේච්ඡ ක්‍රියා, ආක්‍රමණයට ලක්ව ඇති පලස්තීනය (occupied Palestine) සමග පැහැදිලි සමානකමක් පෙන්නුම් කරයි. මෙම සමානකම අහම්බයක් නොවේ. ශ්‍රී ලංකාවේ පාලක පන්තිය සයොන්වාදී ජනාවාස-යටත්විජිතවාදය (Zionist settler-colonialism) පූර්වාදර්ශයක් ලෙස අධ්‍යයනය කර තමන්ට ගැළපෙන පරිදි සකස් කරගත් බවත්, 1980 දශකයේ දී ඊශ්‍රායල සහ ශ්‍රී ලංකා රාජ්‍ය ආයතන අතර සෘජු උපදේශන සබඳතා පැවති බවත් සාක්ෂි සහිතව වාර්තා වී ඇත. මේවායේ දෘෂ්ටිවාදී පදනම් පුදුමාකාර ලෙස සමාන ය. 1948 නක්බා (Nakba) ජන හිංසනයේ සිට සයොන්වාදී දෘෂ්ටිවාදය ගොඩනැඟී ඇත්තේ, පලස්තීනයේ ස්වදෙශික (indigenous) ජනගහනයේ පැවැත්ම අතුගා දමමින්, භූමිය සඳහා තමන්ට දිව්‍යමය සහ ඓතිහාසික අයිතියක් ඇති බවට කෙරෙන යටත්විජිතවාදී කියාපෑම මත ය. එලෙසම, සිංහල-බෞද්ධ ස්වෝත්තමවාදය පදනම් වී ඇත්තේ දෙමළ ජනතාව ඓතිහාසිකව මේ දිවයින ආක්‍රමණය කළ පිරිසක්ය යන අසත්‍ය සහ කාල විරෝධී (anachronistic) කියාපෑම මත ය. මෙම මිථ්‍යා ප්‍රබන්ධය මඟින් උතුරු සහ නැඟෙනහිර පළාත්වල සියවස් ගණනාවක් පුරා පැවති දෙමළ ජනතාවගේ පැවැත්ම ප්‍රතික්ෂේප කෙරෙන අතර, ඔවුන් සතු දේ අහිමි කිරීමට අවශ්‍ය දෘෂ්ටිවාදී ආවරණය ද සපයයි. මෙම දෘෂ්ටිවාද දෙකෙහිම ප්‍රායෝගික ස්වරූපය එක හා සමාන වී ඇත: එනම් රාජ්‍ය අනුග්‍රහය සහිතව ජන සංයුතිය වෙනස් කිරීමේ අරමුණින්ම ජනාවාස පිහිටුවීමයි. පලස්තීනයේ, පලස්තීන භූමිය කැබලි කිරීමට, ජලය හා ඉඩම් සම්පත් අත්පත් කර ගැනීමට සහ ස්වෛරී පලස්තීන රාජ්‍යයක් බිහිවීම වැළැක්වීමට සයොන්වාදී ජනාවාස ක්‍රමානුකූලව ස්ථාපිත කර ඇත. ශ්‍රී ලංකාව තුළ, 1949 ගල්ඔය ව්‍යාපාරයේ සිට මහවැලි සංවර්ධන වැඩසටහන හරහා පශ්චාත් යුද සමයේ මිලිටරි ජනාවාස දක්වා, රාජ්‍යය විසින් ඓතිහාසිකව දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වූ ප්‍රදේශවල සිංහල ගොවීන් පදිංචි කරවා ඇත. ඒ, ජනගහන සිතියම වෙනස් කිරීමට, භූගෝලීය අඛණ්ඩතාව බිඳ දැමීමට සහ “දෙමළ ඊළාමේ පැවැත්මට ඇති ඉඩම් පදනම විනාශ කිරීම” ට ය. මෙම අවස්ථා දෙකේදීම දේශපාලන අරමුණ වූයේ හුදෙක් භූමිය අත්පත් කර ගැනීම පමණක් නොව, කම්කරු පන්තියේ එකමුතුකම වැළැක්වීම සඳහා වාර්ගිකවාදී බෙදීම් හිතාමතාම ශක්තිමත් කිරීමයි. එමෙන්ම මෙම අවස්ථා දෙකේදීම, ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් – එහිදී, විශේෂයෙන්ම ඇමරිකා එක්සත් ජනපදය – මෙම ව්‍යාපෘති සඳහා දේශපාලන ආවරණය, මිලිටරි සහාය සහ රාජ්‍ය තාන්ත්‍රික ආරක්ෂාව සපයා දී ඇත. මේ අවස්ථා දෙකේදීම, සිවිල් ජනතාව ජාතික පීඩනයට එරෙහිව නැඟී සිටි විට ඔවුන්ව දැඩි මිලිටරි ප්රහාරයන්ට ලක් කරන ලදී. ගාසා තීරයට එල්ල කෙරෙන ජන සංහාරක ප්‍රහාරය මෙන්ම, 2009 වසරේ මුල්ලිවයික්කාල්හිදී දස දහස් සංඛ්‍යාත දෙමළ ජනතාවක් ඝාතනය කිරීම ද දශක ගණනාවක් තිස්සේ පැවති ආක්‍රමණය, ජනාවාසකරණය සහ වාර්ගික ශුද්ධකිරීම්වල ලේවැකි උච්චතම අවස්ථාව විය. දෙමළ ඊළාමය යනු ශ්‍රී ලංකාවේ ගාසා තීරයයි. එය හුදු අලංකාරෝක්තියක් නොවේ. එය පලස්තීනයේ හෝ ශ්‍රී ලංකාවේ වේවා, පීඩිත ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මර්දනය කිරීමට සහ කම්කරු පන්තිය වාර්ගික පදනමින් බෙදා වෙන් කිරීමට, ජනාවාස-යටත්විජිතවාදය, වාර්ගිකවාදී යුද්ධය සහ ස්ථිර මිලිටරි ආක්‍රමණයන් භාවිත කරන ධනේශ්වර ජාතික රාජ්‍යයේ එකම තර්කනයේ ප්රතිඵලයකි.
වර්ගිකවාදයේ පන්තිමය තර්කනය
ජනගහන ව්‍යුහය වෙනස් කිරීමේ ප්‍රතිපත්ති මඟින් දෙමළ සහ සිංහල කම්කරුවන් අතර එකමුතුකමක් ප්‍රවර්ධනය වී නැත. ඒ වෙනුවට ඒවා මඟින් සිදු වී ඇත්තේ අන්‍යෝන්‍ය අවිශ්වාසය සහ වාර්ගික බෙදීම් තවදුරටත් දැඩි වීමයි. මෙය කම්කරු පන්තියේ ස්වාධීන එකමුතුකම දුර්වල කරමින් සිංහල පාලක පන්තියේ අවශ්‍යතාවලට සේවය කරන අතර, එමඟින්ම වාර්ගික බෙදීම් තවදුරටත් තහවුරු කිරීමට සහ බෙදුම්වාදය සඳහා වන සහයෝගය ශක්තිමත් කිරීමට දෙමළ ජාතිකවාදී ධනේශ්වර නායකයන්ට අවශ්‍ය දේශපාලන මෙවලම් ද සපයයි. සිංහල පාලක පන්තිය සහ දෙමළ ධනේශ්වර ජාතිකවාදීන් යනු සැබෑ ප්‍රතිවාදීන් නොවේ. ඔවුහු එකිනෙකා මත යැපෙන්නෝ වෙති. එක් පාර්ශවයක් අනෙක් පාර්ශවය මත පෝෂණය වන අතර, ඔවුන් දෙපාර්ශවයේම පැවැත්ම රඳා පවතින්නේ දෙමළ, සිංහල සහ මුස්ලිම් කම්කරුවන් පන්තිමය පදනමක් මත එකමුතු වීම වැළැක්වීම මත ය.
උතුරු සහ නැගෙනහිර පළාත්වල සිදුකරන ජනගහන ව්‍යුහය වෙනස් කිරීම මගින් නිශ්චිත පන්තිමය කාර්යභාරයක් ඉටු කෙරේ. එමගින් සිංහල පදිංචිකරුවන්ට ඉඩම් සහ අනුග්‍රහය ලබා දෙන අතර, එම වාර්ගික ක්‍රමවේදය තුළින් ද්‍රව්‍යමය ප්රතිලාභ ලබන සමාජ පදනමක් ද ගොඩනගයි. මෙය වැඩකරන ජනතාව වාර්ගික පදනමින් බෙදා වෙන් කරන අතර, එමගින් දෙමළ සහ සිංහල කම්කරුවන්ට තමන්ට පොදු වූ අවශ්‍යතා හඳුනා ගැනීම වඩාත් දුෂ්කර කරයි. තවද, ස්වාධීන කම්කරු පන්ති දේශපාලනයක් මතු වීම වළක්වන බෙදීම් තවදුරටත් ශක්තිමත් කරමින්, වාර්ගික සහයෝගීතාවය ගොඩනැගීම සඳහා දෙමළ ජාතිකවාදී ධනේශ්වර පන්තියට අවශ්‍ය ප්‍රධානම අඩිතාලම ද මෙයින් සපයා දෙයි.
මෙය වළක්වා ගත නොහැක්කක්ව තිබුණේ නැත. සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) සහ ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ට්‍රොට්ස්කිවාදී පූර්වගාමියා වූ ඉන්දියානු බෝල්ෂෙවික් ලෙනින්වාදී පක්ෂය (BLPI), 1940 ගණන්වලදී වඩාත්ම පන්ති-විඥානික (පන්ති හැඟීමක් ඇති) කම්කරුවන්ගේ පක්ෂපාතිත්වය දිනාගෙන තිබුණි. බ්‍රිතාන්‍ය යටත්විජිත කාර්යාලය විසින් සූදානම් කරන ලද ව්‍යාජ නිදහස ප්‍රතික්ෂේප කිරීම සඳහා, 1948 පෙබරවාරි 4 වන දින එම පක්ෂය ගාලු මුවදොර පිටියට දෙමළ, සිංහල සහ මුස්ලිම් කම්කරුවන් 50,000ක් බලමුලු ගැන්වීය. වතුකරයේ දෙමළ කම්කරුවන්ගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම මගින් වෙනස්කොට සැලකීමේ දාමයක් ආරම්භ වන බවට BLPI පක්ෂය අනතුරු ඇඟවීය. මෙහි විනාශය ළඟා වූයේ ලංකා සමසමාජ පක්ෂයේ (LSSP) දේශපාලන පිරිහීමත් සමගය. හතරවන ජාත්‍යන්තරයේ පැබ්ලෝවාදී සංශෝධනවාදීන්ගේ දිරිගැන්වීම මත, සමසමාජ පක්ෂ නායකයෝ බණ්ඩාරනායකගේ සිංහල ජනතාවාදයට ක්‍රමයෙන් අනුගත වෙමින්, 1964 දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ (SLFP) ආණ්ඩුවට ඇතුළු වූහ. 1972 වන විට, හිටපු ට්‍රොට්ස්කිවාදියෙකු වූ කොල්වින් ආර්. ද සිල්වා, බුද්ධාගම රාජ්‍ය ආගම ලෙසත් සිංහල භාෂාව එකම රාජ්‍ය භාෂාව ලෙසත් තහවුරු කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කරමින් සිටියේය. මෙය 1948 දී ඔහු සටන් කළ සෑම දෙයක්ම සෘජුවම ප්‍රතික්ෂේප කිරීමක් විය. සමසමාජ පක්ෂයේ මෙම පාවාදීම, කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක වර්ධනය අඩාල කළ අතර,එය සිංහල ග්‍රාමීය තරුණයන් අතර ජනතා විමුක්ති පෙරමුණත් (JVP), දෙමළ තරුණයන් අතර එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයත් ඇතිවීමේ මග පාදා දුන්නේය.
ඉදිරි මාවත
රාජ්‍යය මැදිහත් වී සිදුකරන ජනගහන ව්‍යුහය වෙනස් කිරීම් මගින් කිසිදු ජනකොටසක ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරක්ෂිත කළ නොහැක. ඒ සඳහා, තමන්ගේම පැවැත්ම වෙනුවෙන් ක්‍රමානුකූලව වාර්ගික බෙදීම් උපයෝගී කරගත් ධනේශ්වර රාජ්‍යයට සහ වර්ගවාදයට එරෙහිව දෙමළ, සිංහල සහ මුස්ලිම් කම්කරුවන්ගේ සවිඥානික දේශපාලන එක්සත්කමක් අවශ්‍ය වේ.
දේශපාලන අභිප්රායන් මත ක්‍රියාත්මක වූ ජනාවාස ව්‍යාපෘති මගින් ජනකොටස් නැවත පදිංචි කර ඇති ස්ථානවල, අනාගතයේදී සිදුකරන ඕනෑම විසඳුමක් ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සුරකින, ස්වේච්ඡාවෙන් සිදුවන, ප්‍රමාණවත් වන්දි සහ ජීවනෝපාය සහතික කෙරෙන, මෙන්ම පීඩාවට පත් ජනතාව සමග සාකච්ඡා කර තීරණය කරනු ලබන එකක් විය යුතුය; එය ජාතිවාදී අරමුණු මුදුන්පත් කරගැනීම වෙනුවෙන් රාජ්‍යය විසින් බලයෙන් පටවනු ලැබූවක් නොවිය යුතුය. එහෙත්, එවැනි ප්රජාතන්ත්රවාදී පියවරයන් පවා සම්පූර්ණයෙන්ම සාක්ෂාත් කරගත හැක්කේ, පාලන මෙවලමක් ලෙස ජාතිවාදය උපදවන්නා වූ ධනේශ්වර ක්‍රමයට එරෙහි පුළුල් දේශපාලන අරගලයක් තුළින් පමණි.
සිංහල අධිපතිවාදය හෝ දෙමළ බෙදුම්වාදය වේවා, කම්කරු පන්තිය විසින් සියලු ආකාරයේ ජාතිකවාදයන් සහ වර්ගවාදයන් ප්‍රතික්ෂේප කළ යුතුය. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (ICFI) සමාජවාදී ජාත්‍යන්තරවාදී වැඩපිළිවෙලට සහයෝගය දක්වමින්, ශ්‍රී ලංකාවේ සහ දකුනු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) කම්කරු-ගොවි ආණ්ඩුවක් වෙනුවෙන් සහ ආගම, ජාතිය, කුලය මෙන්ම ස්ත්‍රී-පුරුෂ භාවය මත පදනම් වූ දශක ගණනාවක වෙනස්කොට සැලකීම් හා පීඩනයන් අහෝසි කිරීම සඳහා සැබෑ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාදායක සභාවක් කැඳවීම වෙනුවෙන් සටන් කරයි. ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහතික කළ හැක්කේ සමාජය සමාජවාදී පරිවර්තනයකට ලක් කිරීම තුළින් සමාජ අසමානතාවය අවසන් කිරීමෙන් පමණි.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI), දකුණු ආසියානු එක්සත් සමාජවාදී රාජ්‍යයන්ගේ කොටසක් ලෙස, ශ්‍රී ලංකාවේ සහ [දෙමළ] ඊළාම් එක්සත් සමාජවාදී රාජ්‍යයන් පිළිබඳ ඉදිරිදර්ශනය ඉදිරිපත් කරයි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) පවසන ‘දෙමළ ඊළාමය’ යනු එල්.ටී.ටී.ඊ. (LTTE) සංවිධානයේ ධනේශ්වර ඊළාමය නොවේ. එය කම්කරු රාජ්‍යයක් මගින් සහතික කරනු ලබන, ස්වේච්ඡාවෙන් එකතු වූ සමාජවාදී සමූහාණ්ඩුවක ව්‍යවස්ථාපිත කොටසක් වන, සමාජවාදී දෙමළ ඊළාමයකි. මෙය ධනේශ්වර ජාතික රාජ්‍යයන් අතර සාකච්ඡා සඳහා වූ රාජ්‍ය තාන්ත්‍රික සූත්‍රයක් නොවේ. එය විප්ලවවාදී ක්‍රියාමාර්ගයක් සඳහා වූ මගපෙන්වීමකි. එනම්, සිංහල සහ දෙමළ කම්කරුවන් තමන්ගේ පොදු පන්ති සතුරාට එරෙහිව පොදු අරගලයකට ඒකාබද්ධ කිරීමයි. 1987 හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ප්‍රකාශය පැහැදිලි කළ පරිදි, කම්කරු පන්තිය පීඩිත ජනතාවගේ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් වෙනුවෙන් සටන් කරන්නේ “ජාතික ධනේශ්වර පන්තියේ අනුගාමිකයෙකු ලෙස නොව, එහි නොනැමෙන සතුරා ලෙසය.”[4] ජාතීන්ට ස්වයං-නීර්ණ අයිතිය ලබා ගැනීම ධනේශ්වර සහ සුළු-ධනේශ්වර ව්‍යාපාර හරහා සාක්ෂාත් කරගත නොහැක; ඒ සඳහා ඔවුන් කෙතරම් නිර්භීත හෝ සටන්කාමී වුවද එය කළ නොහැක. එය සාක්ෂාත් කරගත හැක්කේ නිර්ධන පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවයේ අතුරු ඵලයක් ලෙස පමණි. එමගින් තමන්ගේ ඒකාධිපතිත්වය (පාලනය) පිහිටුවීමෙන් පසු, ස්වේච්ඡාවෙන් එක්සත් වූ සමාජවාදී සමූහාණ්ඩුවක් තුළ සියලු පීඩිත ජනතාවට ඔවුන්ගේ නීත්‍යානුකූල ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් සහතික කෙරේ.
එසේ නම්, මෙම ප්රතිගාමී වැඩපිළිවෙලවල් යටතේ උතුරු සහ නැගෙනහිර පළාත්වල පදිංචි කරවා ඇති සිංහල ගොවි ජනතාවට ඇති ඉදිරි මාවත කුමක්ද? ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් දශක ගණනාවක් එහි ජීවත් වී ඇති, පවුල් හැදූ සහ වෙනත් කිසිදු නිවසක් ගැන නොදන්නා දැනටමත් එහි පදිංචි කරවා වසර ගණනාවක් තිස්සේ සින්නක්කර ඔප්පු ලබා දී ඇති අය සඳහා වන ඕනෑම විසඳුමක් ප්රජාතන්ත්රවාදී සහ ස්වේච්ඡාවෙන් සිදුවන එකක් විය යුතු අතර, එය දඬුවම් දීමේ ස්වභාවයක් නොගත යුතුය. ඔවුන්ගේ පුද්ගලික සහ දේපළ ආරක්ෂාව, පූර්ණ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම් මෙන්ම ඔවුන්ගේ දෙමළ සහ මුස්ලිම් අසල්වැසියන් සමග එම කලාපයේ ආර්ථික හා සමාජීය ජීවිතයට සමාන ලෙස දායක වීමේ අයිතිය ඔවුන්ට සහතික කළ යුතුය. එහි පදිංචි කරවා ඇති නමුත් කිසි දිනක විධිමත් සින්නක්කර ඔප්පු ලබා නොදුන් අය සඳහා, පීඩාවට පත් සියලුම ජනකොටස් සමග සාකච්ඡා කර තීරණය කරනු ලබන කොන්දේසි මත රාජ්‍යය විසින් ඔවුන්ගේ භුක්ති විඳීමේ අයිතිය විධිමත් කළ යුතුය; නැතහොත් ඔවුන් වෙනත් ස්ථානයක පදිංචි වීමට තෝරා ගන්නේ නම්, ඔවුන්ට ප්‍රමාණවත් වන්දි සහ ජීවනෝපාය සහතිකයන් සැපයිය යුතුය.දැනට පවතින වාර්ගික ව්‍යාපෘතියේ වඩාත්ම සක්‍රීය පෙරමුණ වන, නව ජනාවාස ව්‍යාපෘති වෙත රාජ්‍යය විසින් මේ දිනවල පොළඹවා ගනු ලබන සිංහල ජනතාව සඳහා ඇති පිළිතුර වන්නේ එය ප්‍රතික්ෂේප කිරීමයි. සිංහල-ජාතිවාදී රාජ්‍යය විසින් ජනගහන ව්‍යුහය වෙනස් කිරීමේ ඉත්තන් ලෙස තමන්ට පවරා ඇති කාර්යභාරය සිංහල කම්කරුවන්, තරුණයන් සහ ගොවියන් විසින් ප්‍රතික්ෂේප කළ යුතුය. අද ඔවුන්ට ඉඩම් ලබා දෙන රාජ්‍යය, ඔවුන්ට පෙර සිටි පදිංචිකරුවන්ගේ පරම්පරා ගණනාවක් අත්හැර දැමුවා සේම,ඔවුන්ගේ දේශපාලන ප්‍රයෝජනය අවසන් වූ පසු හෙට දින ඔවුන්ව ද අත්හැර දමනු ඇත. සිංහල ගොවීන්ගේ සැබෑ උනන්දුව හා යහපත පවතින්නේ දෙමළ සහ මුස්ලිම් වැඩකරන ජනතාව අහිමි කළ ඉඩම් ලබා ගැනීම තුළ නොව, තමන් සියලු දෙනාම සූරාකන සහ බෙදා වෙන් කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි පොදු අරගලයකදී එම වැඩකරන ජනතාව සමග අත්වැල් බැඳගැනීම තුළය.
සුවිශේෂී වාර්ගික පදනමක් මත සීමා මායිම් ලකුණු කිරීමට හෝ එක් ජනකොටසකට එරෙහිව තවත් ජනකොටසක් යොදවමින් සිදුකරන ජනගහන ව්‍යුහය වෙනස් කිරීම් කෙරෙහි කම්කරු පන්තියේ කිසිදු උනන්දුවක් නැත. විවිධ ජනවාර්ගික කණ්ඩායම් විවිධ රාජ්‍යයන් ලෙස වෙන් විය යුතුය යන අදහස ඔවුන් ප්‍රතික්ෂේප කළ යුතුය. අපගේ භාවිතයේදී “දෙමළ ඊළාමය” යන භූමියෙන් අදහස් කරන්නේ උතුරු සහ නැගෙනහිර පළාත්ය. එනම් දෙමළ ජනතාව ඓතිහාසිකව සාන්ද්‍රගත ප්‍රජාවක් ලෙස ජීවත් වූ, ජාතික පීඩනය වඩාත්ම උග්‍ර වූ සහ දෙමළ ජාතිකවාදී ව්‍යාපාරය විසින් ඓතිහාසිකව වෙනම දෙමළ රාජ්‍යයක් සඳහා වූ ඉල්ලීම මතු කරන ලද ප්රදේශයන්ය. එහෙත්, අප එසේ කරන්නේ ස්වයං-තීරණ අයිතිය පිළිබඳ ප්රජාතන්ත්රවාදී අයිතිවාසිකම සහ සමාජවාදය සඳහා වූ අරගලය පදනම් කරගනිමින්, එක්සත් සමාජවාදී රාජ්‍යයන් පිළිබඳ රාමුව තුළය; එය දෙමළ ජනතාවගේ වාර්ගික සුවිශේෂීභාවය, වාර්ගික අනන්‍යතාවය මත පදනම් වූ පාරම්පරික උරුමයක් පිළිබඳ ජාතිකවාදී “මව්බිම්” හිමිකම් පෑම් හෝ දෙමළ ධනේශ්වර පන්තියේ සිතියම්ගත මවාපෑම් මත පදනම් වූවක් නොවේ.
කම්කරු පන්තියේ සැබෑ යහපත පවතින්නේ සමාජය සමාජවාදී පරිවර්තනයකට ලක් කිරීම තුළින් සමස්ත ධනේශ්වර වාර්ගික පාලන ක්රමයම අහෝසි කිරීම තුළය. සිංහල කම්කරුවන්, තරුණයන් සහ ගොවියන්, රාජ්‍ය අනුග්‍රහය ලත් ජනාවාස ප්රතිපත්තිවල ප්රතිගාමී ස්වභාවය සහ දශක ගණනාවක් තිස්සේ ඒවායින් ඇති කර ඇති විනාශකාරී ප්‍රතිඵල හඳුනාගත යුතුය. දෙමළ කම්කරුවන්ගේ මිතුරන් සොයාගත හැක්කේ දෙමළ ධනේශ්වර පන්තියේ බෙදුම්වාදී නායකත්වයන් තුළ නොව, ඔවුන්ගේ සිංහල සහ මුස්ලිම් පන්ති සහෝදර සහෝදරියන් අතරය. වාර්ගික අරමුණු මත පදනම් වූ ජනගහන ව්‍යුහය වෙනස් කිරීමට එරෙහි සටන, සමාජවාදය සඳහා වූ සටනෙන් වෙන් කළ නොහැක.
[1] Permanent Revolution and the National Question Today, David North (1993), (16 May 1998) <https://www.wsws.org/en/articles/1998/05/dnkb-m16.html>
[2] The Lure of Land: Peasant Politics, Frontier Colonization and the Cunning State in Sri Lanka, Thiruni Kelegama and Benedikt Korf (2023) Modern Asian Studies 1, Cambridge University Press <https://doi.org/10.1017/S0026749X22000506>
[3] ICG reports detail the militarisation in Sri Lanka’s North, Sampath Perera (24 March 2012) <https://www.wsws.org/en/articles/2012/03/sril-m24.html>
[4] The Situation in Sri Lanka and the Political Tasks of the Revolutionary Communist League, Statement of the International Committee of the Fourth International, David North, Keerthi Balasuriya (19 November 1987) <https://www.wsws.org/en/special/library/fi-15-1/05.html>
