ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලය විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 30 දින “Is the world on the brink of nuclear war?” යන හිසින් පළවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

පෝලන්තය සහ ලිතුවේනියාව අතර බෝල්ටික් (Baltic) කලාපයේ පිහිටි රුසියානු භූමියක් වන කාලිනින්ග්‍රාඩ් (Kaliningrad) වටලෑමට නැටෝව (NATO) පියවර ගන්නේ නම්, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමට තමන් සූදානම් බව රුසියාව මේ සතියේ ප්‍රකාශ කළේය. මෙම අනතුරු ඇඟවීම සෙප්තැම්බර් 28 සහ 29 යන දිනවල බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය යන රටවල පිහිටි රුසියානු තානාපති කාර්යාල හරහා මෙන්ම නැටෝව වෙත යැවූ රාජ්‍යතාන්ත්‍රික සටහනක් (diplomatic note) මගින් ද නිකුත් කරන ලදී.
නැටෝ සංවිධානය කාලිනින්ග්‍රාඩ්හි “ගුවන් සහ නාවික වටලෑමක්” සඳහා සූදානම් වන බව පවසමින් අයර්ලන්තයේ රුසියානු තානාපති කාර්යාලය මෙසේ ප්‍රකාශ කළේය: “කිසිදු වරදවා වටහාගැනීමක් තිබිය නොහැක — නැටෝ රටවල් කාලිනින්ග්‍රාඩ් කලාපය රටේ සෙසු කොටස්වලින් හුදෙකලා කිරීමට උත්සාහ කළහොත්, තමන්ගේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික ආයුධ ඇතුළු සියලු ආයුධ ගබඩාවන් භාවිතා කිරීමට රුසියාව සූදානම් වනු ඇත.”
නැටෝ මාධ්‍ය ප්‍රකාශිකා ඇලිසන් හාට් (Allison Hart) අඟහරුවාදා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, “නැටෝව යනු ආරක්ෂක සන්ධානයක් (defensive alliance) වන අතර අපගේ කිසිදු ක්‍රියාකාරකමක් හෝ අභ්‍යාසයක් රුසියාවේ කිසිදු කොටසකට තර්ජනයක් එල්ල නොකරයි” යනුවෙනි. තවද ඇය, “බලය භාවිතා කිරීමේ තර්ජනය සහ ඕනෑම වගකීම් විරහිත න්‍යෂ්ටික වාචාලකමක්” (nuclear rhetoric) හෙළා දුටුවාය.

මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වේ, මන්ද නැටෝ සන්ධානය රුසියාව අභ්‍යන්තරයට එල්ල කරන යුක්‍රේන ප්‍රහාර සන්නද්ධ කරමින් සහ මෙහෙයවමින් සිටින බැවිනි. ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් “රුසියාව තුළ පිහිටි තෙල් සහ ගෑස් පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට” කියෙව් (Kiev) පාලනයට උපකාර වන බුද්ධි තොරතුරු සපයනු ඇති බව NBC News 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළේය. ජූලි 30 වන දින යුරෝපීය කොමිසම විසින් “දිගු දුර ජෙට් බලගැන්වූ ඩ්‍රෝන යානා” (long-range jet-powered drones) සඳහා වන අරමුදල් ද ඇතුළුව යුරෝ බිලියන 3.47 ක් කියෙව් වෙත ගෙවන ලදී. සැප්තැම්බර් 19-20 රාත්‍රියේ, යුක්‍රේනය විසින් මොස්කව් නගරයට සහ ඊට අවට කලාපයට යුද්ධයේ සිදු කල විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරන ලදී. අගෝස්තු 28 වන දින, යුක්‍රේන බලකායන් විසින් එංගල්ස් (Engels) ගුවන් හමුදා කඳවුරේ තිබූ, රුසියාවේ න්‍යෂ්ටික බලකායන්ගේ කොටසක් වන ‘Tu-95’ මූලෝපායික බෝම්බ හෙලන යානයකට (strategic bomber) ප්‍රහාර එල්ල කළේය.
එපමණක් නොව, නැටෝවේ “ක්‍රියාකාරකම් සහ අභ්‍යාස” එල්ල වී ඇත්තේ කාලිනින්ග්‍රාඩ් දෙසටමය. රොයිටර් පුවත් සේවය උපුටා දැක්වූ බටහිර හමුදා මූලාශ්‍රයකට අනුව, අගෝස්තු මැද භාගයේදී නැටෝ ගුවන් යානා දුසිම් ගණනක් මෙම බාහිර භූමිය (enclave-රටට පිටින් පිහිටි) වටා පූර්ව දැනුම්දීමකින් තොර මෙහෙයුමක නිරත විය. එමගින් එහි රේඩියෝ සහ රේඩාර් මෙන්ම ගුවන් ආරක්ෂක පද්ධති අක්‍රිය කළ හැකි බව එම මෙහෙයුමෙන් පෙන්නුම් කෙරිණි. ජනවාරි මාසයේ සිට, කොඩි වෙනස් කරන හෝ තමන්ගේ ට්‍රාන්ස්පොන්ඩර් (transponders) අක්‍රිය කරන රුසියානු සබඳතා සහිත තෙල් නැව්, බලහත්කාරයෙන් ගොඩවීමට විවෘත, “රාජ්‍යයක් නොමැති නාවික යාත්‍රා” (stateless vessels) ලෙස යුරෝපීය රාජ්‍යයන් 14 ක් විසින් සලකනු ලබන අතර, මාර්තු මාසයේදී ස්වීඩනය විසින් එවැනි එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.
සෙප්තැම්බර් 11 වන දින පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radosław Sikorski), කාලිනින්ග්‍රාඩ් ගැන සඳහන් කරමින් කියා සිටියේ, “එහි හමුදා ඇත්තේම නැති තරම්” බවයි. නැටෝව “අපගේ පාර්ශවයෙන් කොතරම් ආක්‍රමණශීලී ලෙස අභ්‍යාසයන්හි නිරත විය යුතුද යත්, අප කරන්න යන්නේ කුමක්ද පිළිබඳව [පුටින්ට] අවිනිශ්චිතතාවයක් ඇති කල යුතුය” යි ඔහු යෝජනා කළේය. “රුසියාව සමඟ අපගේ ගැටුම යුක්‍රේනයට පමණක් සීමා වූවක් ලෙස අප නොසිතිය යුතුය” යි ද ඔහු තවදුරටත් පැවසීය.
යුරෝපීය බලවතුන් ක්‍රියා කරන්නේ මොස්කව් කරන්නේ හිස් තර්ජනයක් යන උපකල්පනය මත ය. බ්‍රසල්ස් නුවර පැවැති යුරො නිව්ස් ආරක්ෂක සහ අභ්‍යවකාශ සමුළුවේදී (Euronews Defense and Space Summit) නැටෝ මහලේකම් මාර්ක් රූටේ (Mark Rutte) බදාදා මෙසේ ප්‍රකාශ කළේය: “මම මෙය බරපතල ලෙස ගණන් ගන්නේ නැහැ. … [පුටින්ට] නැටෝවට එරෙහිව කිසි විටෙකත් ජයග්‍රහණය කළ නොහැකි බව කවුරුත් දන්නවා.”
මෙහි තර්කනය වන්නේ නොකඩවා සිදුවන යුද උත්සන්නියයි. යුරෝපීය බලවතුන් තමන්ගේ ප්‍රතිපත්තිය යුක්‍රේන ජයග්‍රහණයක් සමඟ ගැටගසා ඇත. “යුද්ධය රුසියාවටම පැමිණෙන බව පුටින්ට දැනෙන්නට සැලැස්විය යුතුය” යි යුරෝපීය සංගමයේ ආරක්ෂක කොමසාරිස් අන්ද්‍රියුස් කුබිලියුස් (Andrius Kubilius) බදාදා ප්‍රකාශ කළේය.
මේ අතර, යුක්‍රේනයේ හමුදාමය තත්ත්වය පිරිහෙමින් පවතී. ජූලි මාසයේදී එය වළක්වා ගත්තේ රුසියානු බැලස්ටික් මිසයිල (ballistic missiles) 195 න් 29 ක් පමණක් වූ අතර, තමන්ගේ බලශක්ති පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ගුවන් ආරක්ෂණ නොමැතිව එය ශීත ඍතුවට ඇතුළු වෙයි. සිදුවන සෑම පසුබැසීමකටම මුහුණ දෙනු ඇත්තේ තවදුරටත් මිලිටරි උත්සන්න කිරීමෙනි: එනම් ගොඩබිම් හමුදා ඇතුළු කිරීම හෝ කාලිනින්ග්‍රාඩ් ඇතුළු නව පෙරමුණු විවෘත කිරීම මගිනි.
මොස්කව් පාලනයට මුහුණ දීමට සිදුව ඇති පරදු මීට වඩා වැඩි විය නොහැක. ක්‍රිමියාව යනු කළු මුහුදට යම් සේද, කාලිනින්ග්‍රාඩ් බෝල්ටික් කලාපයට එසේමය. එය බෝල්ටික් නාවික බලඇණියේ මූලස්ථානය වන අතර රුසියාවේ න්‍යෂ්ටික අවි දැරිය හැකි ‘ඉස්කන්දර්’ (Iskander) මිසයිල පිහිටුවා ඇති මධ්‍යස්ථානයයි. ෆින්ලන්තය සහ ස්වීඩනය නැටෝවට එකතු වූ තැන් පටන්, ගොඩබිමෙන් සහ මුහුදෙන් එම සන්ධානය විසින් වට කරනු ලැබ ඇත.
එක් අතකින් බලන කල, මෙම බාහිර භූමිය (exclave) ක්‍රිමියාවට වඩා සංවේදී වේ. 1945 පොට්ස්ඩෑම් සමුළුව මගින් එය සෝවියට් සංගමයට පවරනු ලැබූ තැන් පටන් එහි තත්ත්වය ජාත්‍යන්තරව පිළිගෙන ඇත. කාලිනින්ග්‍රාඩ්ට එරෙහි ක්‍රියාමාර්ගයක් යනු, රුසියානු භූමියක් බවට කිසිදු ආණ්ඩුවක් අභියෝගයට ලක් නොකරන භූමි ප්‍රදේශයකට එල්ල කරන ප්‍රහාරයකි. රුසියාවේ න්‍යෂ්ටික මූලධර්මයට (nuclear doctrine) අනුව, තමන්ගේ භෞමික අඛණ්ඩතාවයට “තීරණාත්මක තර්ජනයක්” එල්ල කරන සම්ප්‍රදායික ආක්‍රමණයකට (conventional aggression) න්‍යෂ්ටික ප්‍රතිචාරයක් දැක්වීමට අවසර ඇත.
හිටපු රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු සහ වියන්නාහි වෙසෙන න්‍යෂ්ටික විශ්ලේෂකයෙකු වන නිකොලායි සොකොව් (Nikolai Sokov), බදාදා ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී රොයිටර් පුවත් සේවයට මෙසේ පැවසීය: “ඔවුන් (රුසියාව) බෝල්ටික් මුහුද වටලෑම ඇතුළු තවත් [හතුරු] ක්‍රියාමාර්ගයන් අපේක්ෂා කරයි — යුරෝපීය ගණන් බැලීමට අනුව එය යුද්ධයක මට්ටමට වඩා යන්තම් මෙපිටින් විය හැකිය, නමුත් ඔවුන්ට [රුසියාවට] මෙය විවෘත යුද්ධයක් වනු ඇත. මම දෙපාර්ශවයේම පරස්පර වැරදි ගණන් බැලීමේ (mutual miscalculation) පිළිබඳ අවදානමක් දකිමි.”
රුසියාව වටලෑම “යුරෝපීය ගණන් හැදීමට අනුව යුද්ධයක මට්ටමට වඩා යන්තම් මෙපිටින්” විය හැකිය, නමුත් ජාත්‍යන්තර නීතියට අනුව එය යුද ක්‍රියාවකි. 1974 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ආක්‍රමණය (aggression) පිළිබඳ අර්ථ නිරූපණයට “වෙනත් රාජ්‍යයක සන්නද්ධ බලකායන් විසින් රාජ්‍යයක වරායන් හෝ වෙරළ තීරයන් වටලෑම” ඇතුළත් වේ.
පවතින අවදානම් හමුවේ, සාකච්ඡා සඳහා කිසිදු කැඳවුමක් නොමැති වීමත්, විසඳුමක් ගැන කිසිදු කතාබහක් නොමැති වීමත් තිගැස්ම ඇති කරවන්නකි. යුරෝපීය අගනගරවල පවතින එකම විවාදය වන්නේ කෙතරම් දුරකට සහ කෙතරම් වේගයෙන් මිලිටරි උත්සන්න කිරීම කරන්නේද යන්නයි.
මෙය වූකලී, ගැඹුරු වන සමාජීය, ආර්ථික සහ දේශපාලන අර්බුදයකින් වෙලී සිටින අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවධානම් පිළිබඳ නොසැලකිලිමත්කමයි; ඔවුන් එය කොතැනකට ගෙන යන්නේද යන්න ගැන කිසිදු තැකීමක් නොමැතිව යුද්ධය ඉදිරියට තල්ලු කරයි. ධනපති කතිපයාධිකාරය (capitalist oligarchy) වෙනුවෙන් පෙනී සිටින සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කිසිදු සැබෑ ආයාචනයක් කිරීමට අසමත් වන පුටින් පාලනය, ඊට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ටික තර්ජනවලිනි.
මෙම වර්ධනයන්ට 1962 සිද්ධීන් සමඟ වන වෙනස කැපී පෙනෙයි. කියුබාවේ පිහිටුවූ සෝවියට් මිසයිල හේතුවෙන් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය (යුද්ධයේ) මුවවිටම පැමිණි විට, එම අනතුර ප්‍රසිද්ධියේ පිළිගන්නා ලදී. ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඔක්තෝබර් 22 වන දින ජාතික රූපවාහිනිය ඔස්සේ මෙම අර්බුදය ප්‍රකාශයට පත් කළ අතර, ඊළඟ සතිය පුරා ලෝකය සෑම වර්ධනයක් දෙසම අවධානයෙන් සිටියේය. කෙනඩි සහ සෝවියට් නායක නිකිටා කෲෂ්චෙව් (Nikita Khrushchev) ලියුම් හුවමාරු කරගත් අතර, ආණ්ඩු දෙකම එහි ප්‍රතිවිපාකවලට බියෙන්, පසුබැසීමට මගක් සොයා ගන්නා තෙක් පසුපස දොරටු (back channels) හරහා සාකච්ඡා කළහ. [මීට හාත්පසින්ම වෙනස්ව] අද දින පිළිගැනීමක් හෝ සාකච්ඡාවක් ඇත්තේම නැත.
අනතුරේ ප්‍රමාණය සහ ඒ පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය අතර විශාල අගාධයක් ඇත. යම් බරපතල වරදක් පවතින බව මිලියන සංඛ්‍යාත ජනතාවකට දැනුනද, තමන්ගේ ආණ්ඩු න්‍යෂ්ටික යුද්ධයක් සමඟ සූදුවේ නියැලෙනු ඇතැයි විශ්වාස කිරීමට ඔවුන්ට නොහැක. මාධ්‍ය තුළ මෙම අනතුර ඉදිරිපත් කෙරෙන තාක් දුරට, එය රුසියානුවන්ගේ පැහැදිලි කළ නොහැකි තර්ජනයක්, පුටින්ගේ “න්‍යෂ්ටික වාචාලකම” සහ “දෙමුහුන් යුද්ධය” (hybrid warfare) ලෙස පෙන්නුම් කරයි. නැටෝ බලවතුන් කරමින් සිටින දෙයට [රුසියාව] දක්වන ප්‍රතිචාරයක් ලෙස එය කිසි විටෙකත් ඉදිරිපත් නොකෙරේ.
බදාදා සන්ධ්‍යාව වන විටත්, නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) සහ සීඑන්එන් (CNN) මොස්කව්හි අනතුරු ඇඟවීම වාර්තා කර තිබුණේ නැත. මාධ්‍ය තුළ අදහස් දක්වන අය තවදුරටත් මිලිටරි උත්සන්න කිරීම සඳහා තල්ලු කරමින් සිටිති. වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පත සඳහන් කළේ, “ට්‍රම්ප්ගෙන් නිකුත්වන වඩා හොඳ පණිවිඩය වනු ඇත්තේ, රුසියාව ලිහිල් නොවන්නේ නම්, යුක්‍රේනයට තවත් දේ කිරීමට එක්සත් ජනපදය ඉඩ දෙන බවයි.”
රුසියාවට එරෙහිව ප්‍රමාණවත් තරම් ආක්‍රමණශීලී නොවීම ගැන ඩිමොක්‍රැටිකයින් විසින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කර ඇත. සැප්තැම්බර් 24 වන දින ඩිමොක්‍රැටික් සෙනෙට් සභිකයින් 21 දෙනෙකු ප්‍රකාශ කළේ, චීන ජනාධිපති ෂී ජින්පිං සමඟ පැවැති ට්‍රම්ප්ගේ සමුළුවේදී කළ “මිලිටරි උත්සන්න කිරීම ලිහිල් කිරීම සඳහා වන ආයාචනා” මගින්, “වැලැඩීමිර් පුටින්ගේ යුද යන්ත්‍රය පණගන්වා තබන චීන ද්විත්ව භාවිත භාණ්ඩ (dual-use goods) ගැලීම නැවැත්වීමට කිසිවක් සිදු නොවන” බවයි. ඊට අත්සන් තැබූ අයට ඩිමොක්‍රැටික් නායක චක් ෂුමර් (Chuck Schumer), එලිසබෙත් වොරන් (Elizabeth Warren) සහ ඇඩම් ෂිෆ් (Adam Schiff) ඇතුළත් විය.
රුසියාවේ දේශසීමා දක්වා පුරා දශක තුනක නැටෝ ව්‍යාප්තිය මගින් ඇවිලවූ යුක්‍රේන යුද්ධය, සෑම මහද්වීපයකම දියත් කෙරෙමින් පවතින ගෝලීය ආධිපත්‍යය සඳහා වන අරගලයක කොටසකි. යුද්ධයට වසර හතරකට වඩා වැඩි කාලයක් ගතවී ඇති තැන, ජනතාවගෙන් පිටුපසින් අලුත් සහ විනාශකාරී අදියරක් සූදානම් කෙරෙමින් පවතී. මෙහි වන්දිය ගෙවන කම්කරු පන්තිය, මේ පිළිබඳව දැනුවත් කළ යුතුය. නැවත සන්නද්ධ වීම සඳහා අරමුදල් සම්පාදනය කිරීමට රැකියා සහ සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කරන ආණ්ඩු, න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්විය හැකි යුද්ධයක් කරා රැගෙන යන එම ආණ්ඩුම වේ.
යුද්ධයට එරෙහි සටන, දැනටමත් වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයට සම්බන්ධ කළ යුතුය. පාලක පන්තිය යුද්ධය දෙසට තල්ලු කරමින් සිටින එම අර්බුදයම, රැකියා අහිමි කිරීම්වලට එරෙහිවද, සමාජ සුභසාධන වැඩසටහන් විනාශ කිරීමට එරෙහිවද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිවද කම්කරුවන් අරගලයට තල්ලු කරමින් සිටියි.
එය නැවැත්වීමට සමත් එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි, නමුත් එය කළ හැක්කේ සූදානම් කෙරෙන්නේ කුමක්දැයි වටහාගෙන, යුද්ධයට සහ එය නිර්මාණය කරන ධනපති ක්‍රමයට එරෙහිව දැනුවත්ව අරගල කළහොත් පමණි. පළමු කාර්යය වන්නේ අනතුර පිළිබඳ නිශ්ශබ්දතාවය බිඳ දැමීමයි. මෙම ප්‍රකාශනය හැකි තරම් පුළුල් ලෙස සංසරණය කරන ලෙස අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.
මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI ගෙන් අසන්න:

What is the historical background to NATO’s eastward expansion since the early 1990s that the article says provoked the Ukraine war?
යුක්‍රේන යුද්ධය ඇවිලවූ බව ලිපියේ සඳහන් වන, 1990 ගණන්වල මුල් භාගයේ සිට නැටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමේ ඓතිහාසික පසුබිම කුමක්ද?
Can you explain how the Cuban Missile Crisis of 1962 was resolved and why that process of negotiation seems absent today?
1962 කියුබානු මිසයිල අර්බුදය විසඳුනේ කෙසේද සහ එම සාකච්ඡා ක්‍රියාවලිය අද නොමැති බව පෙනෙන්නේ මන්දැයි පැහැදිලි කළ හැකිද?
How does the drive toward war with Russia connect internationally to the austerity and attacks on jobs and social programs that workers face in their own countries?
රුසියාව සමඟ යුද්ධය කරා යන ධාවනය, කම්කරුවන් තම තමන්ගේ රටවල මුහුණ දෙන වියදම් කප්පාදුවලට සහ රැකියා හා සමාජ සුභසාධන වැඩසටහන්වලට එල්ල වන ප්‍රහාරවලට ජාත්‍යන්තරව සම්බන්ධ වන්නේ කෙසේද?
තවත් ප්‍රශ්න SocialismAI.com වෙතින් අසන්න
