බර්ලින් සමුළුවේදී යුරෝපීය අධිරාජ්‍යවාදීන් රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීමට කුමන්ත්‍රණය කරන අතරතුර, ට්‍රම්ප් චීනයේදී පුටින් සහ ෂී හමුවෙයි

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. 

මෙහි පළ කෙරෙන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 නොවැම්බර් 20 දින “Trump meets Putin and Xi in China, while European imperialists plot escalation of war on Russia at Berlin summit” යන හිසින් පළවූ ගෙබ්‍රියෙල් බ්ලැක් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3814
චීනයේ ෂෙන්සෙන්හි (Shenzhen) කයිලින් විලාහි (Kylin Villa) 2026 නොවැම්බර් 19 වන බ්‍රහස්පතින්දා පැවැත්වෙන ත්‍රෛපාර්ශ්වික හමුවක් සඳහා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (දකුණේ), චීන ජනාධිපති ෂී ජින්පින් (මැද) සහ රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පැමිණෙන අයුරු. [AP ඡායාරූපය/වින් මැක්නමී (Win McNamee)]

ජනාධිපතිවරුන් වන ෂී ජින්පින්, ව්ලැඩිමීර් පුටින් සහ ඩොනල්ඩ් ට්‍රම්ප් අතර බ්‍රහස්පතින්දා පැවති ත්‍රෛපාර්ශ්වික හමුවෙන් අනතුරුව චීනය, රුසියාව සහ එක්සත් ජනපදය විසින් නිකුත් කරන ලද “සාමය කරා වූ ප්‍රකාශනය” (“Declaration Toward Peace”) යන උජාරු නමින් යුත් ලියවිල්ල එවැන්නක් නොවීය. ඉදිරි වසර ගණනාව පුරා රුසියාවට එරෙහි යුද්ධය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ජර්මානු ආණ්ඩුව රාජ්‍ය නායකයින් 30 කට අධික සංඛ්‍යාවක් බර්ලිනයට රැස් කළ දිනයේදීම නිකුත් කෙරුණු මෙම ප්‍රකාශනය සහ ෂෙන්සෙන්හි පැවති ත්‍රෛපාර්ශ්වික හමුව මගින් පෙන්නුම් කළේ, ලෝකයේ අමුද්‍රව්‍ය, වෙළඳපොළවල් සහ ශ්‍රමය පාලනය කිරීම සඳහා වන තුන්වන ලෝක යුද්ධයක් වේගවත් වෙමින් පවතින පසුබිමක, උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් අතර පවතින පසමිතුරුකම් තියුණු වෙමින් පවතින බවයි.

වසර 35 කට අධික කාලයක් පුරා ලොව පුරා අඛණ්ඩව යුද්ධ දියත් කර ඇති එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ නායකයා මෙම හමුවට සහභාගී වූයේ, පෙබරවාරි 28 වන දින ඉරානයට එරෙහිව සමූලඝාතන යුද්ධයක් දියත් කර මාස නවයකටත් අඩු කාලයකදීය. යුද්ධය ආරම්භ වී පැය කිහිපයක් ඇතුළත ඉරාන රාජ්‍ය නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) සහ ඔහුගේ පවුලේ සාමාජිකයන් ද, ඉන් අනතුරුව එළඹි සති කිහිපය තුළ සිවිල් වැසියන් දහස් ගණනක් ද ඝාතනය කිරීම ට්‍රම්ප් විසින් අධීක්ෂණය කරනු ලැබීය. මේ ඊනියා “සාමය ඇති කරන්නා” 2027 වසර සඳහා ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් ඉල්ලා ඇති අතර, එය පෙර වසරට සාපේක්ෂව සියයට 42 ක වැඩිවීමකි.

යුරෝපීය බලවතුන් සහ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් අරමුදල් සපයනු ලබන සහ ලබා දෙන යුක්‍රේන මිසයිල සහ ඩ්‍රෝන යානා රුසියානු නගර මතට ඇද හැලෙමින් තිබියදී, ට්‍රම්ප් පුටින් හමුවී ඔහුව තම “මිතුරා” ලෙස හැඳින්වීය. ආක්‍රමණශීලී යුද සන්ධානය වන නේටෝවේහමුදා බෝල්ටික් කලාපයේ, පෝලන්තයේ සහ ෆින්ලන්තයේ රුසියානු දේශසීමා ඔස්සේ ඒකරාශී වී සිටින පසුබිමක, නේටෝ සංවිධානය රුසියාවට අයත් කලිනින්ග්‍රෑඩ් (Kaliningrad) භූමි ප්‍රදේශය අවහිර කළහොත් න්‍යෂ්ටික අවිවලින් ප්‍රතිප්‍රහාර එල්ල කරන බවට මොස්කව් පාලනය සැප්තැම්බර් මාසයේදී අනතුරු ඇඟවීය.

තීරුබදු සඳහා ලබා දී ඇති තාවකාලික සහනය කල් ඉකුත් වන ජනවාරි මාසයේදීම යළිත් පුපුරා යා හැකි පරිදි වොෂින්ටනය සහ බීජිං අතර උණුසුම් වෙමින් පවතින ආර්ථික ගැටුම් මධ්‍යයේ පැවති ද්විපාර්ශ්වික හමුවකින් අනතුරුව, එක්සත් ජනපද ජනාධිපතිවරයා ෂී සමඟ තමාට ඇති “ඉතා සුවිශේෂී සබඳතාව” වර්ණනා කළේය. ට්‍රම්ප්ගේම පරිපාලනයේ කණ්ඩායමක් ද ඇතුළුව ඇමරිකානු පාලක පන්තියේ සැලකිය යුතු කොටස්, චීනයේ ආර්ථික නැගීම අවහිර කිරීමට සහ එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යය (US global hegemony) ආරක්ෂා කර ගැනීමට චීනයට එරෙහිව වඩාත් ආක්‍රමණශීලී ආර්ථික ක්‍රියාමාර්ග සහ අවසානයේ යුද්ධයක් ඉල්ලා සිටිති. සමුළුවට පෙරාතු දිනවලදී, තුන්වන රටවල් හරහා චීනයට එන්වීඩියා (Nvidia) චිප් අපනයනය කිරීම සීමා කරමින් වොෂින්ටනය නව ක්‍රියාමාර්ග පැනවීය.

ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් (Friedrich Merz) බ්‍රහස්පතින්දා සවස බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ අනෙකුත් නේටෝ සාමාජිකයින් සහ මිත්‍ර පාක්ෂිකයින් සමඟ එක්ව බර්ලිනයේදී ඊනියා “කැමැත්තන්ගේ සන්ධානයට” (Coalition of the Willing) සත්කාරකත්වය සැපයීය. කියෙව් (Kiev) වෙත ලබා දෙන සෘජු මූල්‍ය හා යුදමය ආධාර වොෂින්ටනය විසින් කප්පාදු කරන බවත්, ඇමරිකානු ප්‍රාග්ධනය සඳහා රුසියාව විවෘත කර ගැනීමට රුසියාව සමඟ ද්විපාර්ශ්වික එකඟතාවකට එළඹෙන බවත්, යුරෝපීය බලවතුන් ඒ සඳහා මුදල් ගෙවන ප්‍රමාණයට පමණක් යුක්‍රේනයට යුද උපකරණ අඛණ්ඩව සපයන බවත් ට්‍රම්ප් පැහැදිලි කිරීමෙන් පසුව, 2025 මුල් භාගයේදී මෙම සන්ධානය පිහිටුවන ලදී.

යුක්‍රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි, ට්‍රම්ප්ගේ නියෝජිත ස්ටීව් විට්කොෆ් (Steve Witkoff) සහ බෑණා වන ජැරඩ් කුෂ්නර් (Jared Kushner) ද සහභාගී වූ එම රැස්වීමෙන් අනතුරුව මර්ස් ප්‍රකාශ කළේ, “අවශ්‍ය තාක් කල් අපි කියෙව් වෙත සහාය දෙනවා” යනුවෙනි. “නමුත් මෙම යුද්ධය අවසන් විය යුත්තේ තම භෞමික අඛණ්ඩතාව රැකගත්, තම පාර්ශ්වයට ශක්තිමත් ආරක්ෂක සහතික ඇති සහ සියල්ලටම වඩා යුරෝපීය ආරක්ෂාව තුළ තහවුරු වූ යුක්‍රේනයක් සමඟයි.” සාකච්ඡා සඳහා මොස්කව් වෙත පැමිණෙන ලෙස එදින මුල් භාගයේදී පුටින් යුරෝපීය නියෝජිතයන්ට කළ ආරාධනයට සරදම් කරමින්, ඔහු එක්සත් ජනපදය, රුසියාව, යුක්‍රේනය සහ යුරෝපය අතර “මධ්‍යස්ථ භූමියක” සිව්-පාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට යෝජනා කළේය. “අපට අවශ්‍ය වන්නේ යුක්‍රේනයට සාධාරණ සහ ස්ථිර සාමයකි” යනුවෙන් මර්ස් වැඩිදුරටත් පැවසීය.

ඇත්ත කාරණය නම් යුරෝපය යුද්ධය සඳහා සන්නද්ධ වෙමින් සිටීමයි. ජර්මනිය සිය හමුදාව සහ ඊට අදාළ යටිතල පහසුකම් නවීකරණය කිරීම සඳහා යුරෝ ට්‍රිලියන 1 කට අධික මුදලක් වැය කරමින් සිටින අතර, යුරෝපා සංගමය (European Union – EU) සමස්ත කලාපය පුරා මිලිටරිකරණය සඳහා යුරෝ බිලියන 800 ක් පමණ වෙන් කර ඇත. යුද්ධයට ඉන්ධන සැපයීම සඳහා පසුගිය වසරේ යුරෝපා සංගමය ලබා දුන් යුරෝ බිලියන 90 ක ආධාර පැකේජයට අමතරව, 2027 වසර දක්වා යුක්‍රේන පාලන තන්ත්‍රයට අඛණ්ඩව මූල්‍ය ආධාර සැපයීම සඳහා යුරෝ බිලියන 45 ක ණයක් ලබා දීමට යුරෝපීය කොමිසම (European Commission) මෙම සතියේ යෝජනා කළේය. මිලිටරිවාදයට (militarism) සහ යුද්ධයට මුදල් ගෙවීම සඳහා සමාජ වැඩසටහන්වලින් සහ මහජන සේවාවන්ගෙන් ඉතිරිව ඇති දේ විනාශ කිරීම සාධාරණීකරණය කිරීමට දේශපාලන සංස්ථාපිතය උත්සාහ කරන්නේ, වසර තුනක් ඇතුළත යුරෝපා මහාද්වීපය ආක්‍රමණය කිරීමට රුසියාව සූදානම් වන බවට වන බියකරු  ප්‍රකාශ ඉදිරිපත් කරමිනි.

“සාමය” සහ “රාජ්‍ය තාන්ත්‍රිකභාවය” පිළිබඳ සියලු වාක්‍ය ඛණ්ඩ පිටුපසින්, බ්‍රහස්පතින්දා පැවති සමුළු දෙකෙහි නියෝජනය වූ අධිරාජ්‍යවාදී බලවතුන් ලෝකය ප්‍රචණ්ඩකාරී ලෙස යළි බෙදා ගැනීමේ නව ක්‍රියාවලියකට ආක්‍රමණශීලී ලෙස අනුබල දෙමින් සිටිති. 2023 වසරේ සිට ගාසා තීරයේ (Gaza) පලස්තීනුවන්ට එරෙහිව ඊශ්‍රායලය සිදු කරන සමූල ජන සංහාරයට ඔවුන් දක්වන ඒකමතික සහයෝගය, ඔවුන්ගේ ආර්ථික සහ භූ-මූලෝපායික (geostrategic) අවශ්‍යතා ඉටු කර ගැනීම සඳහා ඔවුන් යොමු වී සිටින ම්ලේච්ඡ විධික්‍රමවලට සාක්ෂි දරයි.

අගෝස්තු මාසයේ පැවති සිය පක්ෂ සම්මේලනයේදී සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) සඳහන් කළ පරිදි, තුන්වන ලෝක යුද්ධය යනු අනාගත පුරෝකථනයක් නොව, වේගයෙන් පැතිර යමින් පවතින යථාර්ථයකි. “එය නිදන්ගත හා ප්‍රසාරණය වන තත්වයක් ලෙස ගෝලීයව පැතිරෙමින්, නව කලාප යටත් කර ගනිමින්, මීට පෙර වෙන්ව පැවති ගැටුම් එකට ඒකාබද්ධ කරමින්, සහ එය ගමන් කරමින් සිටින පොදු මහා විනාශය සඳහා සූදානම් වීමක් ලෙස ලෝක ආර්ථිකය සහ සෑම ජාතික රාජ්‍යයක්ම ක්‍රමයෙන් පරිවර්තනය කරමින් සිටී,” යනුවෙන් ඩේවිඩ් නෝර්ත් (David North) ප්‍රකාශ කළේය.

ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍යය ප්‍රමුඛ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ට, ලෝකයේ දෙවන විශාලතම න්‍යෂ්ටික බලවතා වන රුසියාවට මූලෝපායික පරාජයක් අත්කර දීම සඳහා යුද්ධය ගෙන යාම අත්‍යවශ්‍ය දෙයක් ලෙස සැලකේ. ඔවුන්ගේ ගෝලීය අභිලාෂයන් සපුරා ගැනීම සඳහා, යුක්‍රේනයේ සහ රුසියාවේ පවතින තීරණාත්මක ඛනිජ සම්පත් නිධි, බලශක්ති සම්පත්, ලාභ ශ්‍රමය වෙත ප්‍රවේශ වීම සහ යුරේසියානු (Eurasian) භූමි ප්‍රදේශය මත භූ-මූලෝපායික ආධිපත්‍යය තහවුරු කර ගැනීම ඔවුන්ට අවශ්‍ය වේ. පුටින් සමඟ එකඟතාවකට ඒමට ට්‍රම්ප් දරන උත්සාහය නිසා යුද්ධයෙන් ලැබෙන කොල්ලයෙන් යුරෝපීය ධනපතියන් කපා හැරෙනු ඇතැයි ද, ගෝලීය බලවතෙකු වීමට ඔවුන් තුළ ඇති අභිලාෂයන් විනාශ වනු ඇතැයි ද ඔවුහු බිය වෙති.

යුක්‍රේනය “යුරෝපීය ආරක්ෂාව” තුළ “අන්තර්ගත කිරීම” සහ යුක්‍රේනය සඳහා “ශක්තිමත් ආරක්ෂක සහතික” රුසියාව විසින් පිළිගැනීම යන පදනම මත “සාමය” ගැන මර්ස් කතා කරන විට, ඔහු ඉන් අදහස් කරන්නේ යුරෝපීය හමුදා යෙදවීමේ පිටුබලය ඇතිව, ජර්මානු සංගත සහ බැංකු සඳහා අධික ලාභ උපයා දෙන පශ්චාත්-යුද සැකැස්මක් මත ජර්මානු අධිරාජ්‍යවාදී ආධිපත්‍යය පිහිටුවීමයි. බර්ලිනය සිකුරාදා නවවන ජර්මානු-යුක්‍රේන ආර්ථික සංසදයට (German-Ukrainian Economic Forum) සත්කාරකත්වය සපයනු ඇත.

ට්‍රම්ප්ගේ “පළමුව ඇමරිකාව” (“America first”) ප්‍රතිපත්තිය මගින් එක්සත් ජනපද ධනවාදයේ ඓතිහාසික අර්බුදය ප්‍රකාශයට පත් කරන අතර, එය පදනම් වී ඇත්තේ එක්සත් ජනපදයේ ගෝලීය ප්‍රමුඛත්වයට ඇති ප්‍රධාන තර්ජනය වන චීනය සමඟ යුද්ධයකට සූදානම් වීමක් ලෙස බටහිර අර්ධගෝලය මත වොෂින්ටනයේ අනභියෝගී  ආධිපත්‍යය තහවුරු කර ගැනීම මතය. මේ සඳහා ඔහු කැනඩාව ඈඳා ගන්නා බවට තර්ජනය කර ඇති අතර, වෙනිසියුලානු ජනාධිපතිවරයා පැහැර ගැනීම සඳහා එරට ආක්‍රමණය කිරීමට ද පියවර ගත්තේය. පුටින් සමඟ ගනුදෙනුවක් ඇති කර ගැනීමට ඔහු දක්වන නැඹුරුව මගින් පෙන්නුම් කරන්නේ, උත්සන්න වෙමින් පවතින ලෝක යුද්ධය මධ්‍යයේ අත්ලාන්තික් සාගරය දෙපස පිහිටි  (Transatlantic) පැරණි අධිරාජ්‍යවාදී මිත්‍ර පාක්ෂිකයින් අතර පවතින තියුණු ලෙස වෙනස් වූ අවශ්‍යතාවන්ය.

පුටින් සහ ෂී හමුවීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් පක්ෂය ට්‍රම්ප්ව හෙළා දැකීම ද ඇතුළුව, අධිරාජ්‍යවාදී බලවතුන්ගේ පාලක පන්තීන් තුළ පවතින කන්ඩායම්වාදී ගැටුම් කුමන ආකාරයකින් දිග හැරුණද, ගැඹුරු වෙමින් පවතින ධනේශ්වර අර්බුදයේ තර්කනය යොමු වී ඇත්තේ අන්තර්-අධිරාජ්‍යවාදී සහ මහා බලවතුන්ගේ ගැටුම් තවදුරටත් තීව්‍ර වීම දෙසටය.

යළි සන්නද්ධ වීමට සහ යුද්ධයට අරමුදල් සැපයීම සඳහා, යුරෝපය සහ උතුරු ඇමරිකාව පුරා ආණ්ඩු මහජන වියදම් කප්පාදු කරමින් කම්කරුවන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජ අයිතීන් විනාශ කරමින් සිටී. මෑත සති කිහිපය තුළ යුරෝපය පුරා විරෝධතාවලට එක් වූ ප්‍රධාන වශයෙන් තරුණ තරුණියන් ලක්ෂ සංඛ්‍යාත පිරිස ද, ප්‍රංශය, ඉතාලිය, ග්‍රීසිය, ස්පාඤ්ඤය යන රටවල වැඩ වර්ජනවලට සහ ඔක්තෝබර් 30 වන දින පැවති ජාත්‍යන්තර වරාය කම්කරුවන්ගේ වැඩ වර්ජනයට සම්බන්ධ වූ මිලියන සංඛ්‍යාත කම්කරුවන් ද තහවුරු කරන්නේ පාලක පන්තියට එරෙහි මහජන විරෝධයේ ගැඹුර සහ අවදානම් නොතකා  යුද්ධය උත්සන්න කරන පාලන තන්ත්‍රයන්ට මහජන සහයෝගයක් නොමැති බවයි. පන්ති අරගලය වර්ධනය වීම සහ අධිරාජ්‍යවාදී ආණ්ඩුවල අස්ථාවරත්වය ඉහළ යාම නිසා, සමාජ ආතතීන් පිටතට හරවා යැවීම සඳහා යුද්ධය නමැති අත්හදා බලා තහවුරු කරගත් ක්‍රමය ද ඇතුළුව මංමුලා සහගත ක්‍රියාමාර්ගවලට ඔවුන් යොමු වීමට ඇති ඉඩකඩ වැඩිය.

මෙම තත්වයන් යටතේ, තම පාලන තන්ත්‍රයන් විසින් නියෝජනය කරනු ලබන ධනේශ්වර කතිපයාධිකාරීන්ට (capitalist oligarchies) අධිරාජ්‍යවාදය සමඟ කිසියම් ආකාරයක සාමකාමී සම්මුතියක් ඇති කර ගත හැකි යැයි ෂී සහ පුටින් තුළ පවතින බලාපොරොත්තුව විකාර සහගතය. සෝවියට් සංගමය ස්ටැලින්වාදීන් විසුරුවා හැරීමේ සිටම වොෂින්ටනය සහ එහි යුරෝපීය සගයන් අධිෂ්ඨාන කරගෙන සිටින්නේ, රුසියාව අර්ධ-යටත්විජිත තත්වයකට යටත් කිරීම සඳහා එය කැබලි කර වෙන් කිරීමටයි. ආර්ථික වශයෙන් චීනය විසින් අභිබවනු ලැබීමට  වඩා වොෂින්ටනය යුද්ධයට කැමැත්තක් දක්වයි. සිය තියුණු ආර්ථික පරිහානිය පියවා ගැනීම සඳහා ඉතිරිව ඇති යුදමය ආධිපත්‍යය යොදා ගැනීමේ අසාර්ථක උත්සාහයක් ලෙස එය පසුගිය දශක තුනහමාර පුරා යළි යළිත් යුද මෙහෙයුම් දියත් කර ඇත. තවද, අනුප්‍රාප්තික එක්සත් ජනපද පරිපාලනයන් බීජිං ට එරෙහිව වඩ වඩාත් ආක්‍රමණශීලී වෙළඳ ක්‍රියාමාර්ග පනවා ඇති අතර, ඉන්දු-පැසිෆික් කලාපය පුරා ක්වාඩ් (Quad) සහ ඕකස් (AUKUS) වැනි කලාපීය සන්ධාන ගොඩනඟා ඇත.

එසේ වුවද, ධවල මන්දිරයේ නිල වාර්තාවකට අනුව, “ගෝලීය අභියෝගවලට වඩාත් ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමට සහ ජාත්‍යන්තර සාමය  ආරක්ෂාව පිළිබඳ එහි මූලික මෙහෙවරට අනුකූල වීමට හැකි වන පරිදි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රතිසංස්කරණය කිරීමට තමන් කැපවී සිටින” බවට ෂී සහ පුටින් ට්‍රම්ප් සමඟ එකඟ වූහ. මෙම හමුව “රාජ්‍ය තාන්ත්‍රික ඉතිහාසයේ නව පිටුවක්” ලියා ඇති බව පුටින් අවධාරණය කළ අතර, ෂී ප්‍රකාශ කළේ “ලෝක සාමය ආරක්ෂා කිරීම පිළිබඳ පොදු දැක්මක් මෙම රටවල් තුන බෙදා ගන්නා” බවයි.

20 වන සියවසේ ලෝක යුද්ධ දෙක ගැන කතා නොකළත්, පසුගිය වසර 35 ක අත්දැකීම්වලින් පසුව කෙරෙන මෙම ප්‍රකාශ මුළාවන් වේ. ප්‍රබල විප්ලවවාදී සම්ප්‍රදායන් ඇති කම්කරු පන්තීන් අනුකම්පා විරහිත ලෙස සූරාකෑම මගින් ඉන්ධන සැපයෙන සමාජ වෙඩි බෙහෙත් පීප්ප මත හිඳගෙන සිටින චීනයේ සහ රුසියාවේ ධනපති පන්තියට, අධිරාජ්‍යවාදයට එරෙහිව කිසිදු ශක්‍ය විකල්පයක් ඉදිරිපත් කිරීමට ඇති නොහැකියාවේ ප්‍රතිඵලයක් ලෙස මෙම ප්‍රකාශ බිහි වී තිබේ.

දෙවන ලෝක යුද්ධය ආරම්භයේදී සියලුම ප්‍රධාන යුදවාදී පාර්ශ්වයන් විසින් කුමන හෝ ආකාරයකින් පොරොන්දු වූ “සාම වැඩපිළිවෙළ” පිළිබඳව ට්‍රොට්ස්කි එල්ල කළ චෝදනාව අදටත් නොඅඩුව බලපායි. ඔහු 1940 මැයි මාසයේදී “අධිරාජ්‍යවාදී යුද්ධය පිළිබඳ හතරවන ජාත්‍යන්තරයේ ප්‍රකාශනය සහ අධිරාජ්‍යවාදී යුද්ධය සම්බන්ධ නිර්ධන පන්ති විප්ලවය පිළිබඳ ප්‍රකාශනය” (Manifesto of the Fourth International on the Imperialist War and the Proletarian Revolution) තුළ මෙසේ ලිවීය:

“පසුගිය දශක කිහිපයේ අත්දැකීම් මගින් මුළුමනින්ම අපකීර්තියට පත් වූ ගැලවීමේ වැඩපිළිවෙළක් යළි පණ ගැන්වීමට ඉරණමේ අධිරාජ්‍යවාදී ස්වාමිවරු නිෂ්ඵල උත්සාහයක යෙදී සිටිති. බොහෝ කලකට පෙර එහිම විකාරී රූප (caricature) බවට පත් වූ සාමවාදී සර්වරෝග නිවාරණ ඖෂධ යළි උණුසුම් කිරීමට ඔවුන්ගේ සුළු ධනේශ්වර අතවැසියෝ නිෂ්ඵල උත්සාහයක යෙදී සිටිති. දියුණු කම්කරුවන් රැවටෙන්නේ නැත. දැන් යුද්ධ කරමින් සිටින එම බලවේග විසින් සාමය ඇති නොකරනු ඇත. කම්කරුවන් සහ සොල්දාදුවන් තමන්ගේම සාම වැඩපිළිවෙළ නියම කරනු ඇත.”

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top