This week in history: May 15-21 | ඉතිහාසයේ මෙම සතිය: මැයි 15-21

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 15 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල වේ.

වසර 25 කට පෙර: ඉන්දුනීසියානු පාලකයා වූ සුහර්තෝ ඉල්ලා අස්වෙයි

Image
(Photo)සුහර්තෝ

1998 මැයි 21 දින, තීව්‍ර වූ දේශපාලන අර්බුදයක් සමනය කිරීමේ මංමුලා සහගත උත්සාහයක් ලෙස, ඉන්දුනීසියානු ආඥාදායක සුහර්තෝ ජනාධිපති ධූරයෙන් ඉල්ලා අස්වී, එතැනට තමන් විසින් ම නම් කර ගත් අනුප්‍රාප්තිකයා වන උප ජනාධිපති B. J. හබීබි, පත් කළේ ය. හමුදා ප්‍රධානීන්ගේ අනුග්‍රහය ඇතිව මෙම පියවර ගෙන තිබුණි.

දශක දෙකකට වැඩි කාලයක් සුහර්තෝගේ සමීපතම සහචරයෙකු වූ හබීබි, සුහර්තෝගේ ඉතිරි පස් අවුරුදු ධූර කාලය – 2003 දක්වා – සමස්ථ දේශපාලන ව්‍යුහයම නො වෙනස්ව තබා ගැනීම සදහා හා  අන දෙන නිලධාරී ධූරය සදහා වහාම දිවුරුම් දුන්නේ ය.

මෙම උපාමාරුව, නව දේශපාලන සුජාතභාවයකින් මිලිටරි තන්ත‍්‍රය වසා ගැනීමටත්, පහළින් සමාජ පිපිරීමක් ඇති වීම වැලැක්වීමට උත්සාහ කිරීම සඳහා අමියන් රයිස් සහ මෙගාවතී සුකර්නොපුත්‍රි වැනි ධනේශ්වර විපක්ෂයේ ස්ථර ඇද ගැනීමටත් ගත් උත්සාහයකි.

නායකත්වය වෙනස් කිරීම අනුමත කිරීමට සන්නද්ධ හමුදා ප්‍රධානී ජෙනරාල් විරන්ටෝ, හබීබිට පෙර ජාතිය ඇමතීමේදී, මෙම ක්‍රියා දාමයේ දී සුහර්තෝගේ හමුදා යාන්ත්‍රණයේ කේන්ද්‍රීය කාර්යභාරය ඉක්මනින් ප්‍රදර්ශනය විය. විරන්ටෝ කෙලින්ම කියා සිටියේ කිසිවකු වරදවා වටහා නො ගත යුතු බව ය: ජෙනරාල්වරු දේශපාලන පර්යාය පමණක් නොව සුහර්තෝ සහ ඔහුගේ පවුලේ අය ද ආරක්ෂා කරනු ඇත.

එම සතිය මුලදී, සුහර්තෝ වහා ඉල්ලා අස්විය යුතු යැයි බලකරමින්, දැවැන්ත මිලිටරි බලමුලු ගැන්වීමට විරුද්ධව, ප්‍රධාන ඉන්දුනීසියානු නගරවල පැවති උද්ඝෝෂණවලට, නිවසේ රැඳී සිටින ලෙස විපක්ෂ නායකයින් කළ ඉල්ලීම් නො තකා  සම්බන්ධ වූ ලක්ෂ සංඛ්‍යාත සිසුන්ට, කම්කරුවන්ට සහ වෘත්තීය පුද්ගලයින්ට, විරන්ටෝගේ ප්‍රකාශය සිහින් වැස්මකින් ආවරනය කල තර්ජනයක් විය. 

ජකර්තාහි ජාතික සභා ගොඩනැගිල්ල වාඩිලාගෙන සිටින සිසුහු “අන්තිමේ දී නිදහස” තමන්ට ලැබුනේ යයි ප්‍රකාශ කරමින් සුහර්තෝගේ නිවේදනයට ප්‍රීතියෙන් ප්‍රතිචාර දැක් වූහ. ජකර්තාහි වීදිවල පුළුල් සතුටක් පැවති බව වාර්තා විය.

සුහර්තෝ ධූරයෙන් නෙරපා හැරීම මිලිටරිය විසින් පමනක් නො ව ඊටත් වඩා පාලන තන්ත්‍රයේ පතුලෙන් ආර්ථික ලනු පැදුර සාරථකව ඇද දැමූ ජාත්‍යන්තර මූල්‍ය වෙලඳපොලවල් සහ ජාමූඅ විසින් සංවිධානය කරන ලදී. “වෙළඳපොල බලවේග” විසින් සුහර්තෝව බලහත්කාරයෙන් ඉවත් කර ඇති බව සුහර්තෝගේ එක් ඇමතිවරයෙක් ප්‍රකාශ කළේ ය.

1997 මැද භාගයේ සිට ආර්ථිකයේ සහ මුදල් ඒකකයේ බිඳවැටීම තුල ප්‍රකාශිත මෙම ක්‍රියාවලිය, සුහර්තෝ පැත්තකට වීමට පෙර, අවසන් පැය කිහිපය තුල තීව්‍ර විය. මීට පෙර බොහෝ නගරවල මහජන පෙළපාලි සහ රැස්වීම් තිබියදීත්, ජාතික සභාවේ නායකයින් විසින් සුහර්තෝට ඉල්ලා අස්වන ලෙස කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබුණි.

1965-66 දී, 500,000 සිට මිලියනයක් දක්වා ප්‍රමානයක් කම්කරුවන්, දේශපාලන ක්‍රියාකාරීන් සහ ගොවීන් ඝාතනය කල විසිවන සියවසේ දැවැන්තම දේශපාලන සමූලඝාතනයකින් බලය අල්ලා ගත් කුරිරු මිලිටරි ප්‍රබලයා හුදෙක් තනි පුද්ගල කුරිරු පාලකයෙකු නො වීය. ඔහුගේ ලේවැකි තන්ත‍්‍රය වසර 32ක් පුරා පවත්වා ගෙන යනු ලැබුනේ සුහර්තෝ විසින් කම්කරු පන්තිය සහ ග්‍රාමීය ජනතාව මත පටවන ලද ස්වදේශික පාලක පන්තියේ සහ බටහිර අධිරාජ්‍යවාදයේ ලාභ අවශ්‍යතා විසිනි. ඔහුගේ නෙරපා හැරීමත් සමඟම, මෙම බලවේගම තම අවශ්‍යතා වඩා හොඳින් ආරක්ෂා කර ගැනීම සඳහා වෙනස් හැඩයක් පමනක් සොයා ගත්තේ ය.

වසර 50 කට පෙර: බ්‍රෙෂ්නෙව් බටහිර ජර්මනියට යයි.

Image
(Photo) ලියොනිඩ් බ්‍රෙෂ්නෙව්, (වමේ) විලී බ්‍රැන්ඩ් සමඟ, 1981 දී

1973 මැයි 18 වන දින සෝවියට් සංගමයේ කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් ලියොනිඩ් බ්‍රෙෂ්නෙව් බටහිර ජර්මනියේ අගනුවර වන බොන් වෙත රාජ්‍ය තාන්ත්‍රික සංචාරයක නිරත විය. සංචාරය, දෙවන ලෝක සංග්‍රාමය අවසානයේ මිත්‍ර පාක්ෂික බලවතුන් විසින් ජර්මනිය බෙදීමෙන් පසු සෝවියට් නායකයෙකු බටහිර ජර්මනියට ගිය පළමු අවස්ථාව ලෙස සටහන් වේ.

මෙම සංචාරයේ අරමුණ වූයේ බටහිර ජර්මනියේ චාන්සලර් විලී බ්‍රැන්ඩ්ට් හමුවී දෙරට අතර නව වෙළඳ ගනුදෙනු පිළිබඳව සාකච්ඡා කිරීමයි. බටහිර ජර්මනිය සෝවියට් සංගමයේ ප්‍රමුඛ බටහිර වෙළඳ හවුල්කරුවා වූ අතර දෙදෙනාම මෙම වාසිදායක සම්බන්ධතාව පුළුල් කිරීමට බලාපොරොත්තු වූවෝ ය.

බ්‍රෙෂ්නෙව්ගේ සංචාරය, සෝවියට් සංගමය සහ නේටෝ- වටා පෙළගැසුනු රටවල් අතර තීව්‍ර යුද සූදානම තාවකාලිකව දියවී ගිය සීතල යුද්ධයේ “සතුරුකම් ලිහිල් කිරීමේ “කාල පරිච්ඡේදයේ කොටසකි. වසරකට පෙර, 1972 මැයි මාසයේදී, එක්සත් ජනපද ජනාධිපති රිචඩ් නික්සන්, ආයුධ සීමා කිරීම සහ වෙළඳ ගිවිසුම් යන දෙකම අත්සන් කිරීම සඳහා බ්‍රෙෂ්නෙව් හමුවීමට මොස්කව් වෙත ගොස් තිබුණි.

වසර මුලදී ධනේශ්වර බටහිර ජර්මනිය ස්ටැලින්වාදී නැගෙනහිර ජර්මනිය සමඟ ගිවිසුමක් අත්සන් කර ඇති අතර එය වඩාත් සාමාන්‍ය දේශපාලන සබඳතා සඳහා දොර විවර කර නැගෙනහිර සහ බටහිර බර්ලිනය අතර ගමන් සඳහා ඇති සීමාවන් ලිහිල් කර තිබුණි.

බොන් හි සංචාරය කරන බ්‍රෙෂ්නෙව් ආරක්ෂා කිරීම සඳහා බ්‍රැන්ඩ්ට් අවම වශයෙන් ආරක්ෂක නිලධාරීන් 6,000කින් යුත් දැවැන්ත පොලිස් බලකායක් බලමුලු ගැන්වී ය. ඔහු අට වැදෑරුම් ආහාර (eight-course meal) වේලක් භුක්ති විඳ, පසුව ප්‍රසිද්ධ දේශනයක් පැවැත්වි ය. ජර්මානු ජාතික ගීය සඳහා අවධානය යොමු කිරීමෙන් පසු, සිය රූපවාහිනී කතාවේදී බ්‍රෙෂ්නෙව් ප්‍රේක්ෂකයන්ට මෙසේ පැවසීය.

“චන්සලර් බ්‍රැන්ඩ්ට් සමඟ අපගේ සාකච්ඡා අනාගතය සඳහා හොඳ ඉදිරි දැක්මක් ඇති බව තහවුරු කරයි… සියවස් කාර්තුවක සීතල යුද්ධයේ කාලපරිච්ඡේදය දැන් නැගෙනහිර සහ බටහිර රාජ්‍යයන් අතර සාමය, අන්‍යෝන්‍ය ගෞරවය සහ සහයෝගීතාවයේ සබඳතාවලට තැනක් ලබාදෙමින් තිබේ.”

එහෙත් අධිරාජ්‍යවාදී රටවල් සහ ස්ටැලින්වාදී නිලධරය අතර සාමකාමී සහජීවනය පිලිබඳ බලාපොරොත්තු සහගත ප්‍රකාශයන්ට යටින් පැවතියේ, ජර්මනිය සහ සෝවියට් සංගමය ඇතුලු සියලුම ජාතික ආර්ථිකයන් මත මිල ගනන් ඉහල යාමට සහ දැවැන්ත පීඩනයන් ඇති කිරීමට හේතු වූ ගෝලීය මූල්‍ය අර්බුදයයි.

බ්‍රැන්ඩ්ට් සඳහා, සෝවියට් සංගමය සමඟ සබඳතා විවෘත කිරීම, සෝවියට් වෙලඳපොලවලට ප්‍රවේශය ලබා ගැනීමෙන් මෙම අර්බුදය තරමක් සමනය කිරීමට අවස්ථාවක් ලබා දුන් අතර, බ්‍රෙෂ්නෙව්ට වෙළඳ ගනුදෙනු සඳහා ජර්මානු කාර්මික භාණ්ඩ වෙත ප්‍රවේශය සහ සෝවියට් කම්කරු පන්තියේ ශ්‍රමය විකිණීම සඳහා අනෙකුත් බටහිර යුරෝපීය රටවලට සමීප වීමට වේදිකාවක් ලබා දුන්නේ ය.

වසර 75 කට පෙර: පලස්තීනුවන් සමූහ ලෙස ජනවාර්ගික ශුද්ධ කිරීමට ලක් කිරීම මධ්‍යයේ අරාබි-ඊශ්‍රායල යුද්ධය ආරම්භ වේ

Image
(Photo) පලස්තීනය බෙදීම සඳහා එක්සත් ජාතීන්ගේ යෝජනාව නිරූපණය කරන සිතියම

1948 මැයි 15 වන දින, අලුතින් ප්‍රකාශයට පත් කරන ලද ඊශ්‍රායලය සහ අසල්වැසි අරාබි බහුතර රාජ්‍යයන්ගේ සභාගය අතර යුද්ධයක් ඇති විය. පලස්තීනයෙහි  බ්‍රිතාන්‍ය යටත් විජිත සන්තකය විධිමත් ලෙස අවසන් වූ වහාම ගැටුම ආරම්භ විය. පෙර සතියේ, එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය ඇතිව ඊස්රායලය නිදහස ප්‍රකාශ කර තිබුණි.

 මෙම යුද්ධය ආරම්භ වූයේ, පලස්තීනය තුල පුලුල්ව පැතිරුනු වාර්ගික පවිත්‍ර කිරීමේ කොන්දේසි යටතේය. නව ඊශ්‍රායල රාජ්‍යය විසින් මෙහෙයවන ලද ත්‍රස්තවාදී කල්ලි ගමින් ගමට ගොස් භීතිය සහ මහජන ප්‍රචණ්ඩත්වය හරහා ඔවුන්ව ජනශූන්‍ය කළහ.

ඒ වනවිට, මාස ගනනාවක් තිස්සේ සිදුවෙමින් පැවති මෙම මෙහෙයුම, අනෙකුත් සියලුම ජනවාර්ගික කන්ඩායම් හැර, යුදෙව් ජනවාර්ගිකත්වය සහ ආගම මත නව රාජ්‍යය පැහැදිලිවම පදනම් වූ ඊශ්‍රායල ස්වාධීන ප්‍රකාශනයට මුලුමනින්ම අනුකූල විය. විශේෂයෙන් කුප්‍රකට සිදුවීමක් ලෙස, මැයි 20 වන දින ඊශ්‍රායල හමුදා පලස්තීනයේ අල්-කබ්රි නගරය අත්පත් කර ගත්හ. 1,500කට වඩා වැඩි පිරිසක් සිටින එහි අනාරක්ෂිත ජනගහනය දිනක් ඇතුළත ඉවත් කරන ලද අතර, බොහෝ දෙනෙක් පලා ගිය අතර ගණන් කළ නොහැකි සංඛ්‍යාවක් ඝාතනය කරන ලදී.

ප්‍රධාන අරාබි රාජ්‍යයන්ගෙන් සමන්විත අරාබි ලීගය 1947 දී පලස්තීනය ජනවාර්ගික පදනමක් මත බෙදීමක් සඳහා වූ එක්සත් ජාතීන්ගේ පිටුබලය ලත් සැලැස්මට විරුද්ධ විය . බ්‍රිතාන්‍ය පාලනය අවසන් වූ පසු ඔවුහු වහාම යුද්ධය ප්‍රකාශ කළහ.

අරාබි නායකයන් ප්‍රකාශ කළේ ඔවුන්ගේ අරමුණ වූයේ, නීතිය හා සාමය යථා තත්ත්වයට පත් කිරීමත් , සමූලඝාතන මධ්‍යයේ  තවදුරටත් ලේ වැගිරීම වැළැක්වීම සහ  ඒකීය පලස්තීන රාජ්‍යයක් පිහිටුවීමට උදව් කිරීම බවයි; බ්‍රිතාන්‍ය පාලනය අවසන් වීම යන්නෙන් අදහස් කෙරෙන්නේ, එම ප‍්‍රදේශය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව පිහිටුවන ලද අධිකාරියක් නොමැති වීමේ කොන්දේසි යටතේ මෙම මැදිහත් වීම සිදුවන බවයි.

 ගැටුමට සම්බන්ධ අරාබි රාජ්‍යයන් වූයේ ඊජිප්තුව, ඉරාකය, සිරියාව, ජෝර්දානය, ලෙබනනය, යේමනය සහ සෞදි අරාබිය යි. මැයි 15 දා ඊජිප්තු ප්‍රමුඛ හමුදා පලස්තීනයේ දකුණේ සිට ආක්‍රමණයක් ආරම්භ කළහ. ඊශ්‍රායල ජයග්‍රහණයකට පෙර මෙම ගැටුම මාස දහයකට ආසන්න කාලයක් පැවතීමට නියමිත විය.

කලාපය පුරා කොල්ලකාරී මෙහෙයුම් සඳහා වෙරළ තීරයක් ලෙස ඔවුන් විසින් සැලකූ ඊශ්‍රායලයට එක්සත් ජනපදයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සහයෝගය සමග මෙම ප්‍රතිඵලය බැඳී තිබුනි. එයට අරාබි රාජ්‍යයන් අතර ගැටුම් ද ආධාර විය. ඒ සෑම එකක්ම තමන්ගේම ධනේශ්වර පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යමින් සිටියහ. සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය, කම්කරු පන්තිය තවත් නොමනා පාවාදීමකට ගොදුරු කර  දී, සියොන්වාදී රාජ්‍යය පිහිටුවීමට සහාය දුන්නේ ය. 

වසර 100 කට පෙර: මියුනිච් හි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට් නාට්‍යයේ වේදිකා දැක්මට නාසි ප්‍රහාරක් එල්ල කෙ⁣රේ 

Image
(Photo) බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්,1954 දී

1923 මැයි 18 වෙනිදා, මියුනිච්, රෙසිඩෙන්ස්තියටර් හි බර්ටෝල්ට් බ්‍රෙෂ්ට්ගේ “ඉන් ද ජංගල් ඔෆ් සිටි” නාට්‍යයේ දර්ශනයක් නාසි පක්ෂයේ සාමාජිකයින් විසින් කඩාකප්පල් කරන ලදී.

නාට්‍යයේ එක් නළුවෙකු වන අර්වින් ෆේබර් පසුව මෙසේ පැවසීය.

 “ප්‍රේක්ෂකයෝ කුණු බිත්තර සහ දුගඳ හමන බෝම්බ වේදිකාවට විසි කළ අතර, නාට්‍ය දර්ශනය නතර කිරීමට සිදු විය, රඟහල විනාශ කර දැමූහ, නාට්‍යයේ මංගල දර්ශනයට පවා පොලිසිය පැමිණිය යුතු වූ අතර, ඔවුන් රඟහලේ සෑම පේළියකම වාඩි වී සිටින අතර, අපි මද ආලෝකය සහිත රගහලේ, රගපෑවෙමු. පසුකාලීන දර්ශනවලදී ද එය එසේම විය.”

බ්‍රෙෂ්ට් එකල ජර්මානු කොමියුනිස්ට් පක්ෂයේ (කේපීඩී) අනුගාමිකයෙක් විය. ඔහු ජර්මනියේ 1919 විප්ලවය විවේචනය කළ නමුත් කෙටි කාලීන බැවේරියානු සෝවියට් සමූහාණ්ඩුව තුළ ඔග්ස්බර්ග් සෝවියට් සභාවට සහභාගී විය.

මෙම නාට්‍යය එකිනෙකා විනාශ කිරීමට මැර කල්ලියක් වැනි අරගලයක යෙදෙන මිනිසුන් දෙදෙනෙකු ගැන වූ අතර එහි ප්‍රකාශිත දේශපාලන පණිවිඩයක් නො තිබුණි, නමුත් නාසීහු මෙම මුල් අවධියේ දී පවා වාමාංශික කලාකරුවන් සහ ප්‍රගතිශීලී සංස්කෘතිය කෙරෙහි වෛරය ප්‍රකාශ කළහ.

නාට්සි ක්‍රියාකාරකම් නැවතත් බ්‍රෙෂ්ට්ගේ වැඩවලට බාධා කළේ ය. නොවැම්බර් මාසයේ දී බ්‍රෙෂ්ට් මියුනිච් චේම්බර් රඟහලේදී සිය එඩ්වඩ් II නාට්‍යයේ  පෙරහුරුවකට පැමිණි විට, නළුවන් හිට්ලර්ගේ කුමන්ත්‍රණය පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව ඔහුට දැනගැනීමට ලැබුනි. බ්‍රෙෂ්ට් පෙරහුරුව අවලංගු කර, සිය යුදෙව් සහ කොමියුනිස්ට් මිතුරන් මුණගැසුණේ හිට්ලර් බලයට පත්වීම සාර්ථක වූ අවස්ථාවක ඔවුන් කළ යුතු දේ සාකච්ඡා කිරීමට ය. බලධාරීන් විසින් මෙම බලය පැහැර ගැනීමේ කුමන්ත්‍රණය මැඩ පවත්වන ලද අතර පසුදින පුහුනුවීම නැවත ආරම්භ විය.

බ්‍රෙෂ්ට් ඊළඟ වසරේ බර්ලිනයට ගියේ ය. නමුත් නාසි ප්‍රකෝප කිරීම ඔහුගේ නාට්‍ය සහ ඔපෙරා විවෘත කිරීමේ චාරිත්‍රානුකූල අංගයක් බවට පත් විය. 1933 කුප්‍රකට පොත් ගිනි තැබීමේදී නාසීන් විසින් පුළුස්සා දැමූ පොත් අතර ඔහුගේ පොත් ද විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top