ඉතිහාසයේ මෙම සතිය: මැයි 29-ජුනි 4

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 මැයි 28 දින ඉංග්‍රීසියෙන් පලවූ This Week in History යන ඉතිහාසය පිලිබඳ විශේෂාංග තීරුවේ සිංහල පරිවර්තනය යි.  පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

මීට වසර 25 කට පෙර, වසර 50 කට පෙර, වසර 75 කට පෙර සහ වසර 100 කට පෙර මෙම සතිය තුළ සිදු වූ වැදගත් ඓතිහාසික සිදුවීම් මෙම තීරුවේ පල කෙරේ.

වසර 25 කට පෙර: කෙනත් ස්ටාර් ක්ලින්ටන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට කෙටි චෝදනා ලිපියක් ගොනු කරයි

clinton
1997 ජනවාරි 20 වන දින , බිල් ක්ලින්ටන් එක්සත් ජනපද ජනාධිපති ලෙස දෙවන ධුර කාලය සඳහා දිවුරුම් දෙයි.

1998 ජූනි 2 වෙනිදා, ස්වාධීන නීතීඥ කෙනත් ස්ටාර් , එක්සත් ජනපද ශ්‍රේෂ්ඨාධිකරනය වෙත කෙටි චෝදනා ලිපියක් ගොනු කරමින්, එක්සත් ජනපද ජනාධිපති බිල් ක්ලින්ටන්ට දෝෂාභියෝගයක් ඉදිරිපත්වීමේ හැකියාව ද ගැන විමසිලීමත් වෙමින්, හැකි ඉක්මනින් එය විමර්ශනය කරන ලෙස ඉල්ලා සිටියේය. “ඉතා කඩිනම් පදනමක්” මත ක්‍රියා කිරීම සඳහා වූ ඔහුගේ බලකිරීම්වලට එකඟ වූ එක්සත් ජනපද පර්යන්ත අභියාචනාධිකරණය, ජූනි 15 වන විට නීතිපති-සේවාදායක වරප්‍රසාද සහ රහස් සේවා නියෝජිත වරප්‍රසාද පිළිබඳ සිය අභියාචනය ගොනු කරන ලෙස ධවල මන්දිරයට නියෝග කළේය.

පහළ උසාවි මඟහැර වරප්‍රසාද ප්‍රශ්න පිළිබඳව සෘජුවම තීන්දු කරන ලෙස ඉල්ලා සිටි ස්ටාර්ගේ යෝජනාව ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබීමෙන් දිනකට පසුව සිදුවූ අභියාචනාධිකරණයේ නිවේදනය, ශ්‍රේෂ්ඨාධිකරණයේ උක්ත තීන්දුව නෛතික ජයග්‍රහණයක් ලෙස හුවා දක්වන ලද ධවල මන්දිරයේ ප්‍රකාශ අධෛර්යමත් කළේය. ස්ටාර්ගේ විමර්ශනය විසින් මෙහෙයවනු ලබන ක්ලින්ටන් පරිපාලනයට එරෙහි ප්‍රහාරය වඩාත් වේගවත්ව ඉදිරියට යන  බව උසාවි ක්‍රියාමාර්ගයෙන් පැහැදිලි විය. 

ස්ටාර් ජූනි 2 දා ශ්‍රේෂ්ඨාධිකරණයට කළ නෛතික ඉදිරිපත් කිරීම, ඔහුගේ විමර්ශනයේ අරමුන වූයේ ක්ලින්ටන් ධුරයෙන් පහ කිරීම බවට මේ දක්වා වූ පැහැදිලිම ප්‍රකාශයයි. ඔහු මෙසේ ලිවීය:

එක්සත් ජනපදයේ ජනාධිපතිවරයාගේ මෙම අපරාධ විමර්ශනය හැකි ඉක්මනින් අවසන් වීම, අධිචෝදනා ගෙන ඒම සහ දෝෂාභියෝග ක්‍රියාදාමයන් සඳහා භාවිතා විය හැකි වාර්තා නිකුත් කිරීමත්, අනභිචෝදන තීන්දු ප්‍රකාශයට පත් කිරීමත් දැකීමට ජාතියට බලගතු උනන්දුවක් ඇත. 

ඔහුගේ විමර්ශනය බරපතල අපරාධ චෝදනා පිළිබඳ නීත්‍යානුකූල පරීක්ෂණයක් බවත්, ධවල මන්දිරයේ ආරක්ෂක නෛතික උපක්‍රම වරද පිළිගැනීමකට සමාන බවත් සදහන් කරමින් ස්ටාර්ගේ ප්‍රකාශයන් මාධ්‍ය විසින්  විශාල ලෙස ප්‍රතිරාවය කරනු ලැබීය. මොනිකා ලෙවින්ස්කිගේ නීතීඥ විලියම් ගින්ස්බර්ග් ඉල්ලා අස්වීමත් සමඟම, ප්‍රවෘත්ති විචාරකයින් අවධානය යොමු කළේ හිටපු ධවල මන්දිර සීමාවාසික නිලධාරියාගේ නව නීති කණ්ඩායම ඉක්මනින් ස්ටාර් සමඟ අන්‍යෝන්‍ය වශයෙන් ශක්තිමත් වීමේ ගනුදෙනුවක් ගැන සාකච්ඡා කරනු ඇති බවට වන අනුමාන කිරීම් කෙරෙහි ය. එමඟින්, ඔවුන් අතර ලිංගික සබඳතාවක් නොතිබූ බවට ක්ලින්ටන්ගේ අවධාරනයට පටහැනිව මහා ජූරි සභාවේ දී සාක්ෂි දීමට ලෙවින්ස්කිට මග පෑදින.  

ස්ටාර්ගේ සිව් අවුරුදු පරීක්ෂණය ගැඹුරින්ම ප්‍රජාතන්ත්‍ර විරෝධී එකක් විය. විශාල බලතල සහිත තේරී පත් නොවූ කාර්යාලයක් වන ස්වාධීන උපදේශක ආයතනය, ඇමරිකානු ආන්ඩුව තුළ දුරදිග යන වෙනස්කම් ඇති කිරීමට භාවිතා කරන ලදී.

වසර 50 කට පෙර: ග්‍රීක ආඥාදායකයා ජනරජයක් ප්‍රකාශ කරයි

Papadopoulos
ජෝර්ජිඔස් පැපඩපලොස්

 1973 ජූනි 1දා, තම ආන්ඩුව රාජාණ්ඩුව විධිමත් ලෙස අහෝසි කරන බවත් ජුන්ටාව ජනරජයක් බවට පරිවර්තනය වෙමින් පවතින බවත් ,1967 එක්සත් ජනපදයේ පිටුබලය ලත් කුමන්ත්‍රණයෙන් පසු ග්‍රීසිය පාලනය කළ මිලිටරි ජුන්ටාවෙහි ප්‍රධානියා වූ ජෝර්ජියෝස් පැපඩොපොලොස් විසින් නිවේදනය කළේය. ඔහුගේ ප්‍රකාශය තුළ පැපඩොපොලොස් තවදුරටත් නිවේදනය කළේ තමා ජනාධිපති පදවිය භාර ගන්නා බවත් මැතිවරණ සංවිධානය කරන තුරු බලයේ සිටින බවත්ය. 

ග්‍රීක මිලිටරි පාලන තන්ත්‍රයේ නායකත්වයේ අර්බුදයක් මෙම නිවේදනයට හේතු විය. ඊට ඉහත මාස ගණනාව තුල, ආන්ඩුව විසින් ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් මර්දනය කරනු ලැබීමට එරෙහිව දහස් ගනන් විශ්ව විද්‍යාල සිසුන් විරෝධතා දැක්වීමත් සමග, පැපඩෝපොලොස් වෙත මහජන විරෝධය මතු වන්නට විය.

පැපඩෝපෝලෝස් ප්‍රතිසංස්කරණ හඳුන්වාදීම ආරම්භ කළේ, විප්ලවවාදී ඇඟවුම් සහිත මහජන කැරැල්ලක පෙරික්සුම පිලිබඳව බියෙන් මෙම තර්ජනය වළක්වා ගැනීම සඳහා මහජනතාව සතුටු කිරීමේ අදහසිනි. කෙසේ වෙතත් හමුදාව තුල සිටි දක්ෂිනාංශික දැඩි මතධාරීහු මෙම මෘදු ප්‍රකාශයන්ට දැඩි ලෙස විරුද්ධ වූහ. ජනරජය ප්‍රකාශයට පත් කිරීමට සතියකට පෙර ග්‍රීක නාවික හමුදාවේ නිලධාරීන් විසින් පැපඩෝපොලොස්ට එරෙහිව කුමන්ත්‍රණයක් දියත් කිරීමට උත්සාහ ද කරන ලදී.

1967 කුමන්ත්‍රණයෙන් පැපඩෝපොලොස්  බලයට පත් වූ දා සිට ග්‍රීක රජ II වන කොන්ස්ටන්ටයින් රෝමයේ පිටුවහල්ව ජීවත් විය. එසේ තිබියදීත්, මිලිටරි ජුන්ටාව තවමත් ජුන්ටාව විසින් පත් කරන ලද රීජන්ට් විසින් ග්‍රීසියේ රාජාණ්ඩුව නියෝජනය කෙරෙන බව නිල වශයෙන් පිළිගෙන තිබුණි.

නාවික හමුදා කැරැල්ල සංවිධානය කිරීම පිටුපස කොන්ස්ටන්ටයින් සිටි බව  පැපඩෝපෝලෝස් විශ්වාස කළ අතර, ප්‍රතිගාමිත්වයේ විරුද්ධවාදියෙකු ලෙස තමා ඉහලට ඔසවා  ගැනීමට එමඟින් අවස්ථාව ලබා ගත්තේය. “ආණ්ඩුව විසින් සිදු කළ අනතුරු ඇඟවීම් නොතකා, සියලු ආකාරයෙන් විස්තර කළ හැකි ප්‍රතිගාමීන් සමඟ නැවත නැවතත් සහයෝගයෙන් කටයුතු කළ, පසුගිය යුගයට අයත් යල් පැන ගිය ඉතිරියක්” ලෙස වැඩි දුරටත් රජු හඳුන්වා දුන්නේය.

එහෙත්, “විප්ලවයේ අභිප්‍රාය වූයේ පාලන තන්ත්‍රයේ රැඩිකල් වෙනසක් කරා ගමන් කිරීම නොවේ,”යැයි එකතු කිරීමට ඔහු ප්‍රවේශම් විය. රජු තබා ගැනීමට ජුන්ටාව කැමැත්තෙන් සිටීමට ඉඩකඩ පැවැති නමුත් කොන්ස්ටන්ටයින්ගේ ක්‍රියාවන් මගින් රාජාණ්ඩුව විසුරුවා හැරීමට බල කෙරුණු බව ඔහු පැහැදිලි කළේය.

ජනරජය ප්‍රකාශයට පත් කිරීමත් සමඟ පැමිණි නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මඟින් ග්‍රීසියේ සැබෑ බලය බෙදා හැරීමේ වෙනසක් සිදු කලේ නම්, ඒ අල්ප වශයෙනි. ජනාධිපති කාර්යාලය රාජ්‍යයේ ව්‍යවස්ථාදායක, විධායක සහ මිලිටරි පාලනය මුළුමනින්ම පාහේ පවත්වාගෙන ගියේය. නව ජනරජය පිළිබඳ ජනමත විචාරණයක් 1973 ජූලි 29 වන දින පවත්වන බවත් වසරක් ඇතුළත මහ මැතිවරණය පැමිණෙන බවත් පැපඩෝපොලෝස් ග්‍රීකයින්ට පැවසීය.

පැපඩෝපෝලෝස් පාලන තන්ත‍්‍රයේ කුරිරු කොමියුනිස්ට් විරෝධී මර්දනයන් හෙළා දකින ග‍්‍රීක ජනතාව සනසන්නට එම නිවේදනයෙන් එතරම් දෙයක් සිදු නොවීය. විශේෂයෙන්ම පැපඩෝපෝලෝස්ට පක්ෂව ආන්ඩුව විසින් වංචා කරන ලද බවට පුළුල් ලෙස දක්නා ලද ජූලි 29 ජනමත විචාරණයෙන් පසුව විරෝධතා ව්‍යාපාර වේගයෙන් වර්ධනය විය.

නොවැම්බරයේ ඇතන්ස් පොලිටෙක්නික් විශ්ව විද්‍යාලය කේන්ද්‍ර කර ගනිමින් ඒ වටා කැරලිකාරී තත්වයක් මතු විය. අර්බුදය මධ්‍යයේ, හමුදා නිලධාරීන් විසින්ම නෙරපා හරිනු ලැබූ පැපඩෝපෝලෝස්ගේ ඇද වැටීමට මෙම කැරැල්ල හේතු විය. 1974 ජූලි මාසයේදී, ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වූ මහජන ඉල්ලීම් සහ තුර්කිය විසින් සයිප්‍රසය ආක්‍රමණය කිරීමේ පීඩනය යටතේ හමුදා පාලනය අවසන් වීමට නියමිත ව තිබිණ.

වසර 75කට පෙර: හෙන්රි වොලස් එක්සත් ජනපද කොමියුනිස්ට් විරෝධී නීති ෆැසිස්ට්වාදී ලෙස හෙලා දකී

Wallace
හෙන්රි වොලස්

1948 මැයි 29දා සෙනෙට් අධිකරණ කමිටුවක් ඉදිරියේ කතා කරමින් හිටපු උප ජනාධිපති හෙන්රි ඒ. වොලස්, කොමියුනිස්ට් විරෝධී නීතිවල ප්‍රමුඛ කොටසක් සම්පාදනය කරනු ලැබ ඇත්තේ, ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ සිටි “යුධ ලෝලීන්, භීතියට පත්වන්නන් සහ වෛර කරන්නන්” විසින්යැයි හෙලා දුටුවේය. දෙවන ලෝක යුද්ධය අවසන් වී යන්තම් වසර තුනකට පසුව, වොලස් අනතුරු ඇඟවූයේ, මෙම පියවර ඉදිරියට ගෙන යන්නන් “මුසෝලිනිගේ සහ හිට්ලර්ගේ ඇමරිකානු සගයන්” ලෙස ඉතිහාසයට එක් විය හැකි බවයි.

වොලස් යනු ෆ්‍රෑන්ක්ලින් රූස්වෙල්ට්ගේ තුන්වන වාරයේ දී උප ජනාධිපති වී සිටි තැනැත්තා බැවින්, මෙම හෙලාදැකීම විශේෂ බරක් දැරීය. ඔහු කතා කරමින් සිටියේ, මැයි 19දා එ.ජ. සෙනෙට් සභාව විසින් සම්මත කරන ලද මුන්ඩ්ට්-නික්සන් පනතට එරෙහිව ය. එය නම් කරන ලද්දේ එහි රිපබ්ලිකන් අනුග්‍රාහකයන් හා නියෝජිතයන් වූ දකුණු ඩැකෝටාහි කාල් ඊ. මුන්ඩ්ට් සහ කැලිෆෝනියාහි රිචර්ඩ් නික්සන්ගේ නමිනි. 

මෙම පනත මගින් ඇමරිකානු කොමියුනිස්ට් පක්ෂයේ සියලුම සාමාජිකයින්ට ඔවුන්ගේ දේශපාලන සම්බන්ධය එක්සත් ජනපද නීතිපති කාර්යාලයේ ලියාපදිංචි කිරීමට බල කරනු ලැබීමට නියමිත විය. වොලස් ඇඟවුම් කල පරිදි, එවැනි පියවරක්, පළමු සංශෝධනය සහ නිදහස් භාෂණයේ සහ දේශපාලන අනුබද්ධතාවයේ අනෙකුත් ව්‍යවස්ථාපිත ආරක්ෂාවන්ට යටින් වල කපමින්, ඉහත දී දේශපාලන විරුද්ධවාදීන් සමූහ වශයෙන් වටකර මරා දැමීමට පූර්ව සමයේ විවෘත ෆැසිස්ට්වාදී පාලන තන්ත්‍රයන් විසින් අනුයන ලද්දා වූ මීට සමාන ප්‍රතිපත්තීන් පිළිබිඹු කරන එකක් විය.  

නික්සන් ප්‍රකාශ කළේ මෙම පනත් කෙටුම්පත “අභ්‍යන්තර කොමියුනිස්ට් පෙරලිකාරීත්වයේ සංකීර්ණ ගැටලුවට නව ප්‍රවේශයක් ඉදිරිපත් කර ඇති බවයි … සියලුම කොමියුනිස්ට් පක්ෂ සාමාජිකයින් ලියාපදිංචි කිරීම සඳහා නීති සම්පාදනය කර දුන් එය, කොමියුනිස්ට් පෙරමුණු බව හඳුනාගත් සංවිධාන විසින් නිකුත් කරන ලද සියලුම මුද්‍රිත සහ විකාශන ද්‍රව්‍යවල මූලාශ්‍ර ප්‍රකාශයක් ඉල්ලා සිටියේය. නිව් යෝර්ක් ටයිම්ස් සඳහන් කළේ එහි යෝජකයින් එම නීතිය විස්තර කර ඇත්තේ “කොමියුනිස්ට්වාදීන් පාලනය කිරීමේ” සහ ඔවුන් “සහ ඔවුන්ගේ සහචරයින් එළිමහනට” තල්ලු කිරීමේ මාධ්‍යයක් ලෙස බවයි.

කොමියුනිස්ට් පක්ෂය සම්පූර්ණයෙන්ම නීති විරෝධී කිරීම ඇතුළු අනෙකුත් විභව ක්‍රියාමාර්ග සාකච්ඡා කරන ලද අතර, නීති සම්පාදනය සදහා සභා සම්මත විය. සෙනෙට් සභාව පනත සම්මත කළේය.

වොලස් 1941 සහ ජනවාරි 1945 අතර ෆ්‍රෑන්ක්ලින් ඩී. රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂ පරිපාලනයේ එක්සත් ජනපදයේ උප ජනාධිපතිවරයා විය. එම ධුරය තුළ, ඔහු යුද විරෝධී හා ට්‍රොට්ස්කිවාදී සමාජවාදී කම්කරු පක්ෂයට හිංසා පීඩා කිරීම සහ වැඩවර්ජන ක්‍රියාකාරකම් සපුරා තහනම් කිරීම ඇතුළුව ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එරෙහි ප්‍රහාර රාශියකට සම්බන්ධ වී සිටියේය.

රූස්වෙල්ට්ගේ ඩිමොක්‍රටික් පක්ෂය දකුණට මාරුවීමත් සමඟ වොලස්ට එතුල පැවැති ප්‍රසාදය අහිමිව ගිය අතර, 1944 මැතිවරණයේදී රූස්වෙල්ට්ගේ සහකරු ලෙස හැරී එස්. ටෲමන්  ආදේශ කරන ලදී. රූස්වෙල්ට් මාස හයකට පසුව මිය ගිය විට ටෲමන් ජනාධිපති ධුරයට පත් විය. ටෲමන්ගේ පරිපාලනය බැඳී ගත්තේ, සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය සමග එක්සත් ජනපදයේ යුද කාලීන සන්ධානයේ සිට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අපාලිත ගෝලීය ආධිපත්‍යය තහවුරු කිරීම අරමුනු කරගත්, ආක්‍රමණශීලී සීතල යුද්ධ පිලිවෙතකට මාරුවීම සමග ය.

වොලස් නියෝජනය කළේ, එක්සත් ජනපදය තුල සහ ජාත්‍යන්තරව කම්කරු පන්තිය සීමාවන් තුල රඳවා ගැනීම සඳහා සෝවියට් සංගමයේ ස්ටැලින්වාදී නිලධරය කෙරෙහි සහනශීලී ආකල්පයක් පවත්වා ගැනීම අවශ්‍ය බවට විශ්වාස කළ, පාලක පන්තියේ  වඩවඩාත් කොන් වෙමින් සිටි කන්ඩායමකි. එබැවින් ඔහු මොස්කව් සමඟ පෙලගැසීමේ ප්‍රතිපත්තිය සමඟ සමීපව අනන්‍ය වී තිබුණි.

වසර 100 කට පෙර: නිව් ජර්සි නගරයේ ජනකාය කූ ක්ලුක්ස් ක්ලෑන් කථිකයා කතා කිරීම වළක්වති 

klu
1920 දී පමණ චිකාගෝ අසල ප්‍රදේශයේ පැවැති කූ ක්ලුක්ස් ක්ලෑන් රැලියක්

1923 ජූනි 4 වන දින, නිව් ජර්සි මුහුදුබඩ නගරයක් වන පර්ත් ඇම්බෝයි හි පැවති රැස්වීමක් අමතා කතා කිරීමෙන් කු ක්ලුක්ස් ක්ලැන් ( Ku Klux Klan -KKK ) කථිකයෙකු වැලක්වීමට කළු හා සුදු ජාතිකයන්ගෙන් සමන්විත වූ 500 ක පමණ පිරිසක් ක්‍රියා කලෝය. කථිකයා වූයේ, මුල් පදිංචිය උතුරු කැරොලිනාවේ වූ, නිව් යෝර්ක් නගරයේ ක්ලැන් මෙහෙයුම් ආරම්භ කල, ක්ලෑන් කල්ලියේ ජාතික මට්ටමේ චරිතයක් වූ ඔස්කාර් හේවුඩ් පූජකවරයා ය.  සිදුවීම වන විට නිව් ජර්සි හි KKK සංවිධානය ගොඩනැගීම සඳහා ඔහු පර්ත් ඇම්බෝයිහි ජූනියර් ඕඩර් ශාලාවේදී කතා කරමින් සිටියේය.

ප්‍රමුඛ පුරවැසියන් මෙන්ම කම්කරුවන් ද ඇතුළු සමූහයක් පිටත එක්රැස් වීමට පටන් ගත්හ. හේවුඩ් කතා කිරීමට පටන් ගත්තා පමණෙකි. කළු ජාතිකයන්, යුදෙව්වන් සහ කතෝලිකයන් ඇතුළු සිය ගණනක් විරුද්ධවාදීහු, ඔවුන් ඇතුළුවීම වැලැක්වීමට ගත් උත්සාහයකින් පසුව, ශාලාවට ඇතුළු වූවෝය. සමූහයා හේවුඩ්ට බාධා කිරීමට පටන් ගත් අතර, එහි සාමාජිකයින් ඇතැමෙකු කුඩා වේදිකාව වෙත ළඟා වන විට, සියලු දෙනා ශාලාවෙන් ඉවත් කිරීමට පොලිසිය සමත් විය. හේවුඩ් පොලිස් නිලධාරීන් දෙදෙනෙකු සමඟ පිටුපස කාමරයකට පලා ගිය අතර, ක්ලෑන් ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් අතර පිටත කෝලාහලයක් ඇති විය.

අගෝස්තු මස අගදී, පර්ත් ඇම්බෝයි හි තවත් රැස්වීමක් පැවැත්වීමට උත්සාහ කිරීමෙන් පසුව, මිනිසුන් 100කට වැඩි පිරිසක් ක්ලෑන්වරුන් 30 දෙනෙකුට පොලුවලින් පහර දුන්හ.

KKK යනු සුදු ආධිපත්‍යය සහ වාර්ගික වෙන් කිරීම දේශනා කිරීමෙන් නොනැවතී, උග්‍ර ලෙස යුදෙව් විරෝධී සහ කතෝලික විරෝධී ද වූ ෆැසිස්ට් සංවිධානයක් විය. එහි ප්‍රධාන ඉලක්කය වූයේ කම්කරු පන්තියයි. ක්ලෑනය සමාජවාදී කම්කරුවන්ට, වැඩ වර්ජිත කම්කරුවන්ට සහ ලෝකයේ කාර්මික කම්කරුවෝ (IWW) සංවිධානයේ සාමාජිකයින්ට නිරතුරුව තර්ජනය කළේය. 1920 ගණන්වල දී එය උතුරු කාර්මික ප්‍රාන්තවල විශාල වශයෙන් සංකේන්ද්‍රණය වූ අතර, ඇතැම් ඇස්තමේන්තු වලට අනුව මිලියන 4 ක් වූ සාමාජික සංඛ්‍යාවක් සහිත ව, සිය විශාලතම වර්ධනය අත් දුටුවේය. 

දකුණේ දී අනීතික ඝාතන ගණනාවකට වගකිව යුතු වූ එය, කන්ෆෙඩරසියේ (1860 ගණන්වල දී දක්ෂින එක්සත් ජනපදයේ පැවැති, රාජ්‍යය විසින් නොපිළිගන්නා ලද වර්ගවාදී ප්‍රජාතන්ත්‍රවාදයක් ඉදිරිපත් කළ කණ්ඩායමකි) පරාජයෙන් පසුව ඩිමොක්‍රටික් පක්ෂයේ පැරා මිලිටරි හස්තය ලෙස 1860 ගණන්වල පළමුවෙන්ම ඉස්මතු වූයේය. ඩිමොක්‍රටික් පක්ෂය සමඟ KKK හි සමීප සබඳතා දිගටම පැවතුනි. 1927 වන විට ඔස්කාර් හේවුඩ් උතුරු කැරොලිනාවට ආපසු ගොස් ප්‍රාන්ත නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට ඩිමොක්‍රටිකයෙකු ලෙස තේරී පත් විය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top