ඉන්දීය ආරක්ෂක ඇමතිගේ ශ්‍රී ලංකා සංචාරය අවලංගු කෙරුනේ ඇයි?

එල්.පී. උදයප්‍රේම විසිනි.

ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං සැප්තැම්බර් 2-3 දිනවල ශ්‍රී ලංකාවේ සිදු කිරිමට නියමිතව පැවති සිය සංචාරය හදිසියේ අවලංගු කලේ ය. ඉන්දීය ආරක්ෂක අමාත්‍යාංශය, එහි විදේශ අමාත්‍යාංශය මෙන්ම ලංකාවේ බලධාරීන් ද, මේ වන තෙක් ඊට හේතු වූ කරුනු සඳහන් කොට නැත. 

Singh
ඉන්දීය ආරක්ෂක අමාත්‍ය රාජ්නාත් සිං (වමේ) සහ එක්සත් ජනපද ආරක්ෂක ලේකම් ජෙනරාල් ලොයිඩ් ඔස්ටින් (දකුනේ) අතර 2021 මාර්තු මස පැවති සාකච්ඡාවේදී ඉන්දියාව සහ එක්සත් ජනපදය ඔවුන්ගේ හමුදා කටයුතු පුළුල් කිරීම කෙරෙහි අවධානය යොමු කලහ.

එක්සත් ජනපදය, ජපානය, ඕස්ට්‍රේලියාව හා ඉන්දියාව එක් වී තනාගෙන තිබෙන ක්වෝඩ් (QUAD) මිලිටරි සංවිධානය යටතේ ඉන්දියාව, සමස්ත දකුනු ආසියාව ඒ තුලට ඇද ගැනීමට වෙර දරයි. තම ආරක්ෂක ඇමතිවරයා දෙදින නිල සංචාරයක් සඳහා ලංකාවට එවීමට තීන්දු කොට, දෙ රටේ ආරක්ෂක සම්බන්ධතා යලි අලුත් කරගැනීමට යත්න දරන්නේ එබැවිනි. ජනාධිපති හා ආරක්ෂක අමාත්‍ය රනිල් වික්‍රමසිංහ, සහ අගමැති දිනේෂ් ගුනවර්ධන ඇතුලු ආන්ඩුවේ බලධාරීන් සමග සිදු කරනු  ලබන සාකච්ඡා මගින් එකී සම්බන්ධතා තර  කර ගැනීමට සැලසුම් කර තිබුනි.

රාජ්නාත් සිංගේ සංචාරය සූදානම් කෙරුනේ, ජනාධිපති වික්‍රමසිංහ ඉන්දියාවට කල සංචාරයේ දී, ආරක්ෂක සම්බන්ධතා වැඩිදියුනු කිරීමට අගමැති මෝදි සමග ඇති කරගත් එකඟතාවයන්ගේ දිගුවක් ලෙස ය. 

අමාත්‍ය රාජ්නාත් සිංගේ මේ සංචාරය හදිසියේ අවලංගු කෙරුනේ, චීන ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව ලංකාවට පැමිනීමට අවසර ගෙන සිටින තතු යටතේ, ඒ පිලිබඳ ව විශේෂයෙන් ම ඉන්දියාවේ  බලධාරීන් අතර බලගතු විරුද්ධත්වයක් පැන නැගී ඇති තත්ත්වයක දී ය. 

Ship
ෂී යැන් 6 (shi yan 6) පර්යේෂන නෞකාව

ඉන්දියාවේ මතභේදයන්ට තුඩු දී තිබෙන ෂී යැන් 6 චීන පර්යේෂන නෞකාවට, ඔක්තෝබර් 26දා සිට නොවැම්බර් 10දා දක්වා දින 17ක් ලංකාවේ රැඳී සිටීමට හා  ක්‍රියාකාරකම්වල නිරත වීමට ආරක්ෂක අමාත්‍යාංශය අවසර දී තිබෙන්නේ ඒ තතු තුල ය. ඊටත් වඩා, ගිය වසරේ චීන යුවාන් වැන්ග් 5 නෞකාව හම්බන්තොට වරායේ නැංගූරම් ලෑමට එරෙහි ව දිල්ලි ආන්ඩුව බලගතු විරුද්ධත්වය පෑමෙන් අනතුරුව ය.

වසර ගනනාවක සිට ම චීනය හා ලංකාව අතර වැඩෙන මිලිටරි සබඳතාවන්ට ඉන්දියානු බලධාරීන්ගේ බලගතු විරුද්ධත්වයක් එල්ල වී තිබේ. සැප්තැම්බර් 01දා Economynext වෙබ් අඩවියේ සඳහන් කර තිබුනේ, ඉන්දීය සාගරයේ චීන ක්‍රියාකාරිත්වය ඉහල නැඟීම පිලිබඳ ව ඉන්දියාවේ අවධානය යොමු වී පවතින බවයි. ඉන්දියාවේ ‘ද වීක්’ (The week) සඟරාව, චීන නෞකාවේ සිද්ධිය පිලිබඳ සඳහනේ දී, ඉන්දියාවේ ආරක්ෂක අංශයේ ප්‍රධානියෙකුගේ ප්‍රකාශයක් උපුටමින් අවධාරනය කර තිබුනේ, ‘ඉන්දියාවේ හා ලංකාවේ ද්විපාර්ශවික සබඳතාවල ඉරි තැලීමක් වන බව’ යි.

ලෝක බලවතුන් හා  ලංකාව අතර මිලිටරි සහයෝගීතා හා ආරක්ෂක සම්බන්ධතා වැඩි දියුනු වීම වර්තමානයේ වෙන කවරදාටත් වඩා වැඩියෙන් දැකිය හැකිය. ඉන්දියානු කලාපයේ මෙය සිදු වන්නේ, ලොව පුරා යුද ආතතිය, විශේෂයෙන්ම චීනයට එරෙහි ව සිදු කරන යුද ප්‍රකෝපකාරීත්වය මධ්‍යයේ ය.  චීනයට එරෙහි ඉන්දියාවේ මිලිටරි උත්සුකතා එහි කොටසකි. සැප්තැම්බර් 4දා දිවයින පුවත්පතේ පල කරනු ලැබූ ලිපියකට අනුව, පසුගිය වසර 3 දී, ලංකාවේ වරායට ආ යුද නැව් 126න් 45ක්ම ඉන්දියාවෙන් වීම කැපී පෙනෙන සංසිද්ධියකි.

ඉන්දියාව  පෙල ගැසී සිටින්නේ ඇමරිකාව ඇතුලු අධිරාජ්‍යවාදී බලයන් චීනයට එරෙහි ව සකස් කරමින් සිටින ආර්ථික හා මූලෝපායික සැලසුම් සමග ය. එකී පිලිවෙත පිටුපස ශ්‍රී ලංකාව, බංග්ලාදේශය, නේපාලය හා මාල දිවයින යන දුගී රටවල් පෙල ගස්සා ගැනීමට ඉන්දියාව තම ආර්ථික හා මිලිටරි බලයන් ඍජුව හා වක්‍රව යොදා ගනී. ඊට සිත් කාවදින උදාහරනයකි, 2015 ජනවාරි 8දා ජනාධිපති මහින්ද රාජපක්ෂ නෙරපා හැර මෛත්‍රීපාල සිරිසේන බලයට ගෙන ඒමට ලංකාවේ සිදු කල තන්ත්‍ර මාරුව. එය ඉන්දියාවේ අනුදැනුම සහිතව වොෂින්ටනය හරහා සැලසුම්කර ක්‍රියාත්මක කල මෙහෙයුමකි.

ලෝකයේ බලවත් ම මිලිටරි බලයක් ඇති ඉන්දියාවේ එබඳු බලහත්කාරයන්ට දකුනු  ආසියාවේ රටවල් නිරන්තරව මුහුන දී සිටිති.

මේ මූලෝපායික අක්ෂයෙන් ස්වාධීන වීමට ලංකාව බඳු බෙලහීන පාලන තන්ත්‍රයන්ට නො හැකි ය. එබැවින් ඔවුන්ගේ කටයුත්ත වී ඇත්තේ ලෝක බලවතුන් අතර දෝලනය වෙමින් තම පැවත්ම සහතික කර ගැනීම ය. රාජපක්ෂ තන්ත්‍රය මෙන් ම රනිල් වික්‍රමසිංහගේ ආන්ඩුව ද මුහුන දී සිටින්නේ එම කොන්දේසිවලට ය. 

ජාතික ධනපති පංතියේ ඊනීයා ස්වාධීනත්වයේ වංචනික කතා වෙනුවට ඔවුහු, අධිරාජ්‍යවාදී උවමනා එපාකම් වෙනුවෙන් එලිපිටම පෙනී සිටින පාලක ප්‍රභූවන් බවට හැරී සිටිති. සෑම තැනකම පාලක නඩ කම්කරු පංතිය ප්‍රමුඛ පීඩිත මහජනයාට එරෙහි ඒකාධිපති පාලනයන්ට පාර කපා ගනිමින් සිටින්නේ ඒ නිසා ය. රනිල් වික්‍රමසිංහගේ අධිරාජ්‍ය ගැති, ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින් පෙන්නුම් කෙරෙන්නේ එම සූදානම යි.

අධිරාජ්‍යවාදී ක්‍රමයේ පුපුරා යන අර්බුදය යුද්ධයටත් ලෝක පරිමාන පංති අරගලයටත් තුඩු දී පවතින තතු යටතේ පාලක පංතිය වඩවඩාත් ප්‍රතිගාමීත්වයට ගමන් කරනු ඇත. ඉන්දීය උප මහාද්වීපයේ කම්කරුවන් මෙන් ම සෑම රටකම කම්කරු ජනයා මුහුන දී සිටින්නේ එම අනතුරටය. එම අනතුර පරාජය කල හැක්කේ අධිරාජ්‍යවාදී මූලෝපාය පරාජය කිරීමේ ශක්‍යතාව ඇති ජාත්‍යන්තර කම්කරු පන්තිය, ධනේශ්වරයෙන් ස්වාධීනව සමාජවාදී පිලිවෙත මත සංවිධානය වීමෙනි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top