ඊශ්‍රායල හමුදාව ගාසා තීරය වටලයි

ඇලෙක්ස් ලැන්ටියර් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 ඔක්තෝබර් 10 දින ඉංග්‍රීසියෙන් පලවූ ‘Israeli army lays siege to Gaza’ යන ඇලෙක්ස් ලැන්ටියර් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනයයි. පරිවර්තනය කිත්රුවන් මොලදන්ඩ විසිනි.

ගාසා තීරයේ , පලස්තීන සටන්කාමීන් විසින් කලාපය අවහිර කරමින් ඊශ්‍රායල ආක්‍රමණික හමුදාවන්ට එරෙහිව ප්‍රහාරයක් දියත් කර දින තුනකට පසු ඉරිදා, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ පාලන තන්ත්‍රය ගාසා තීරය වැටලීමක් නිවේදනය කළේය. ගාසා තීරයේ පලස්තීනුවන්ගෙන් ජීවිතවලින් “පෙර නොවූ විරූ මිලක්” ලබා ගැනීමට නෙතන්යාහු ප්‍රතිඥා දීමෙන් පසුව, ඔහුගේ සියොන්වාදී තන්ත්‍රය ලේවැකි මහජන මර්දනයක් සූදානම් කරමින් සිටී.

Gaza
පලස්තීනුවන් , 2023 ඔක්. 9 සඳුදා උදෑසන, ගාසා නගරයේ ෂාටි සරණාගත කඳවුරේ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයකින් විනාශ වූ යසින් පල්ලියේ සුන්බුන් පරීක්ෂා කරති. [ඡායාරූපය: ඇඩෙල් හනා/WSWS]

ඉහල ඊශ්‍රායල නිලධාරීන්ගේ ෆැසිස්ට්වාදී දැක්ම ආරක්ෂක අමාත්‍ය යෝආව් ගැලන්ට් විසින් පැහැදිලිව ප්‍රකාශ කරන ලදී. දැනට ගාසා තීරයට මහා පරිමාණ බෝම්බ ප්‍රහාර එල්ල කරමින් සිටින , බීර්ෂෙබා හි ඊශ්‍රායල ආරක්ෂක හමුදාවේ (IDF) දක්ෂිණ අණදෙන නිලධාරීන්ගේ සඳුදා උදෑසන රැස්වීමකින් පසු ගැලන්ට් මෙසේ ප්‍රකාශ කළේය: “මම ගාසා තීරය සම්පූර්ණයෙන් වැටලීමට නියෝග කර ඇත. විදුලිය නැත. ආහාර නැත. ඉන්ධන නැත. සියල්ල වසා ඇත.”

මිලියන 2ක් වූ ගාසා තීරයේ මුළු ජනගහනයම ඉලක්ක කර ගැනීමේ ඔහුගේ තීරණය සාධාරණීයකරණය කිරීම සඳහා, ගැලන්ට් ඔවුන් සතුන්ට සංසන්දනය කරමින් මෙසේ පැවසීය: “අපි සටන් කරන්නේ මිනිස් සතුන් සමඟ , අපි ඒ අනුව ක්‍රියා කරනවා.”

ඊශ‍්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන වත්මන් බෝම්බ ප‍්‍රහාර ගාසා තීරයට එරෙහි සැලසුම් සහගත ප‍්‍රහාරයේ “ආරම්භය පමනක්” බව ඊයේ ජාතික රූපවාහිනියේ විකාශය වූ කතාවක දී නෙතන්යාහු අවධාරනය කලේය. ඔහු ප්‍රකාශ කළේ, “හමාස් සංවිධානය ක්‍රියාත්මක වන සෑම ස්ථානයක්ම නටබුන් බවට පත් වන බව මම කීවෙමි. එය අද සිදුවෙමින් පවතී. අනාගතයේදී එය තවත් සිදුවනු ඇත.” ඔහු පලස්තීනුවන් “සතුන්” ලෙස හඳුන්වමින් ගැලන්ට්ගේ භාෂාව ප්‍රතිරාවය කළේය.

නෙතන්යාහු ට්විටර් හි සටහනක් තබමින්, “ඉදිරි දශක කිහිපය තුළ ඔවුන්ගෙන් සහ ඊශ්‍රායලයේ අනෙකුත් සතුරන්ගෙන් මතක සිටින මිලක් අපි  ලබා ගන්නෙමු. ඔවුන් ම්ලේච්ඡයන්ය.”

නෙතන්යාහුගේ සහ ගැලන්ට්ගේ මෙම පහත් පෙළේ තර්ජන ඊස්රායලයේ, මැද පෙරදිග හා ජාත්‍යන්තරව කම්කරුවන්, තරුනයින් සහ සමාජවාදී අදහස් ඇති බුද්ධිමතුන් විසින් අනතුරු ඇඟවීමක් ලෙස ගත යුතුය. ඊශ්‍රායල ආක්‍රමණයට එරෙහි ප්‍රතිරෝධය තලා දැමීම සඳහා, ගාසා තීරයේ ජනගහනයෙන් සැලකිය යුතු කොටසක් ඝාතනය කිරීම හෝ අවතැන් කිරීම, ඉතාමත් නිර්දය පියවරයන් ක්‍රියාත්මක කිරීමට නෙතන්යාහු අදහස් කරයි. ලේ වැගිරීමේ දැවැන්ත උත්සන්න වීම නැවැත්වීමට නම්, මෙම ප්‍රහාරය සහ ඊශ්‍රායලයේ පලස්තීනුවන් මර්දනය කිරීම නැවැත්වීමට කම්කරු පන්තියේ, ඊශ්‍රායලයේ සහ ජාත්‍යන්තරව ව්‍යාපාරයක් ගොඩනැගීම අවශ්‍ය වේ.

නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික තන්ත්‍රය ගාසා තීරයට එරෙහිව දේශපාලනිකව සාපරාධී යුද්ධයක් දියත් කිරීමට සැලසුම් කරයි. ඊයේ, හියුමන් රයිට්ස් වොච් හි ඊශ්‍රායල සහ පලස්තීන අධ්‍යක්ෂ ඕමාර් ෂකීර් මෙසේ පැවසීය: “ආරක්ෂක ඇමති ගැලන්ට්ගේ ප්‍රකාශ පිළිකුල් සහගත ය. වාඩිලාගෙන සිටින ප්‍රදේශයක ජනගහනයට ආහාර සහ විදුලිය අහිමි කිරීම සාමූහික දඬුවමක් වන අතර එය යුධ අපරාධයක් වන කුසගින්න, යුද්ධයේ ආයුධයක් ලෙස භාවිතා කරයි. ජාත්‍යන්තර අපරාධ අධිකරණය,  යුද අපරාධයක් කිරීමට කරන මෙම කැඳවුම සැලකිල්ලට ගත යුතුය.”

අසල්වැසි ඊජිප්තුවේ නිලධාරීන් අනතුරු අඟවන්නේ IDF විසින් ගාසාවේ සමස්ත පලස්තීන ජනතාව ඝාතනය කිරීමට හෝ පලවා හැරීමට ඉඩ ඇති බවයි. රජයට අයත් අහ්රම් (Ahram) ඔන්ලයින් මෙසේ ලිවීය: “පලස්තීන සිවිල් වැසියන් ඊජිප්තු දේශසීමා දෙසට තල්ලු කිරීමට සහ මහා පරිමාණයෙන් අවතැන් වීම සඳහා කෙරෙන කුලප්පු කිරීමේ  කැඳවීම්වලට එරෙහිව ඉහළ මට්ටමේ ඊජිප්තු මූලාශ්‍ර සඳුදා අනතුරු ඇඟවීය …ඊජිප්තුව පලස්තීන ජනතාවගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට සහ  තත්වය උත්සන්න වීම වැලැක්වීම සඳහා  ජාත්‍යන්තර ප්‍රජාවේ සියලුම අදාළ පාර්ශ්ව සමඟ සිය සන්නිවේදන තීව්‍ර කළේය.”

යථාර්ථය නම්, නෙතන්යාහු ආන්ඩුව ගාසා තීරයට එල්ල කරන ප්‍රහාරයට සහාය දෙන සහ සක්‍රීය කරන කේන්ද්‍රීය බලවේගයන් වන්නේ නේටෝව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතුන්ය. ඊයේ ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්, ජර්මානු චාන්සලර් ඔලාෆ් ෂෝල්ස්, ඉතාලි අගමැතිනී ජෝර්ජියා මෙලෝනි, බ්‍රිතාන්‍ය අගමැති රිෂි සුනක් සහ ඇමෙරිකා ජනාධිපති ජෝ බිඩෙන් ගාසා අර්බුදය සම්බන්ධයෙන් ඒකාබද්ධ සාකච්ඡාවක් පැවැත්වීය. පසුව , ඔවුහු නෙතන්යාහු අනුමත කරමින් සහ ගාසාවේ හමාස් බලධාරීන් හෙලා දකිමින් නරුම ප්‍රකාශයක් නිකුත් කළහ.

“ඊශ්‍රායල් රාජ්‍යයට අපගේ ස්ථීර සහ එකමුතු සහයෝගය සහ හමාස් සහ එහි බිහිසුණු ත්‍රස්තවාදී ක්‍රියාවන්ට අපගේ නිසැක හෙළා දැකීම” අවධාරණය කරමින් එය ප්‍රතිඥා දුන්නේය: “ ඉදිරි දිනවලදී, ඊශ්‍රායලයට තමන්ව ආරක්ෂා කර ගැනීමට හැකි බව සහතික කිරීම සඳහා අපි මිත්‍ර පාක්ෂිකයින් ලෙස සහ ඊශ්‍රායලයේ පොදු මිතුරන් ලෙස එක්සත්ව හා සම්බන්ධීකරණයෙන් සිටිමු.”

දැඩි ලෙස සන්නද්ධ නෙතන්යාහු ආන්ඩුව හුදෙක් “තම ආරක්‍ෂාව සඳහා කරන” බව පවසමින් “ත්‍රස්තවාදීන්” ලෙස ගාසා තීරයේ පීඩිත ජනතාව වෙත එල්ල කරන මෙම අපවාදය පිළිකුල් සහගත දේශපාලන බොරුවකි. ප්‍රධාන නේටෝ බලවතුන් විසින් පොම්ප කරන ලද , ඩොලර් බිලියන ගනනක මුදල් වලින් සන්නද්ධ වූ සියොන්වාදී තන්ත‍්‍රය විසින් දශක ගනනාවක් තිස්සේ ලේ වැකි ප‍්‍රචන්ඩත්වයට ලක් කල පලස්තීනුවන්ගේ නැගිටීමක් පිලිබඳව ලොව පුරා ජනතාව සහාය පල කරති.

සිකුරාදා රාත්‍රියේ සිට සෙනසුරාදා දක්වා , සටන ආරම්භයේ සිට ගාසා තීරයේ සිය ගුවන් හමුදාව ඉලක්ක 2,400කට පහර දුන් බවට ඊයේ IDF පුරසාරම් දෙඩුවේය. මධ්‍යධරණී මුහුදේ ඊශ්‍රායල යුද නැව් ද ගාසා තීරයට  මිසයිල ප්‍රහාර එල්ල කරන අතර, ඊශ්‍රායල හමුදා සුදු පොස්පරස් බෝම්බ භාවිතා කරන බවට වාර්තා තිබේ. එයට ගොදුරු වූවන්ට වේදනාකාරී පිළිස්සුම් ලබා දෙන තහනම් රසායනික අවියකි. බෝම්බ ප්‍රහාර හේතුවෙන් දැනටමත් 123,000කට අධික පිරිසක් අවතැන්ව ඇති බව ගාසා බලධාරීන් ඊයේ වාර්තා කළේය.

IDF හමුදා විසින් නිතිපතා නිවාස සංකීර්ණ සහ රෝහල් පවා ඉලක්ක කරන බැවින්, ඊශ්‍රායල බෝම්බ හෙලීම යටතේ ජීවිතය ගැන මොහොමඩ් සයිඩම්, ලි මොන්ඩි ( Le Monde) පුවත් පතට   පැවසුවේ, “මුලදී එය වෙනත් ඕනෑම උග්‍රවීමක් වැනිය. නමුත් පසුව එය භයානක විය. අපට ඉතා ආසන්නයෙන් පිපිරුම් ඇසේ, භූමිකම්පාවක් සිදු වූ විට මෙන් බිත්ති කම්පනය වේ. අපට නිදා ගත නොහැක, සහ අපගේ ධෛර්යය ඉතා කුඩා ශබ්දයකින් පවා බිඳ වැටේ.”

ගාසා තීරයේ අවතැන් වූවන් රැකබලා ගන්නා එක්සත් ජාතීන්ගේ සහන සහ වැඩ සංගමයේ (unrwa) ප්‍රකාශක අද්නාන් අබු හස්නා පැවසුවේ තම ආයතනය අති මහත් දුෂ්කරතාවයකට පත්ව ඇති බවයි.  “අප තවමත් 2014 හෝ 2021 දී යුද්ධ කළමනාකරණය කර ගැනීමට සමත් වී නැත. මේ සියල්ල unrwa හි හැකියාවන් ඉක්මවා ඇත.” 

ඊශ්‍රායලයේ ගාසා තීරය අවහිර කිරීම , 2007 දී ආරම්භ වූ දා සිට සියොන්වාදී පාලන තන්ත්‍රය ගාසා තීරයේ ජනතාවට එරෙහිව නැවත නැවතත් යුද්ධයක් දියත් කර ඇත. 2014 දී ඊශ්‍රායලය විසින් ගාසා තීරයට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරවලින් පුද්ගලයන් 2,251 ක් මිය ගිියේය. 2018 දී, අවම වශයෙන් පලස්තීනුවන් 270 ක් මිය ගොස් 7,000 ක් තුවාල ලැබූ අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් සදාකාලික ආබාධිත තත්ත්වයට පත් වූහ. ඊශ්‍රායලයේ වත්මන් මායිම් තුළ තිබෙන තම මුතුන් මිත්තන්ගේ දේශයට ආපසු යාමට ඇති අයිතිය ඉල්ලා ගාසා හි වැසියන්  විසින්  සාමකාමී පාගමනක් කල විට, ඊට  ඊශ්‍රායල හමුදා වෙඩි තැබීය.

ගාසා තීරයේ වත්මන් නැගිටීම ත්‍රස්තවාදී ක්‍රියාවක් නොව, ගාසා තීරයේ මහජනතාව විසින් නීත්‍යානුකූලව දකින්නේ මෙම අපරාධවලට එරෙහි වීරෝධාර ක්‍රියාවක් ලෙසය.

“පළස්තීන ප්‍රතිරෝධය , ඊශ්‍රායල හමුදාව සමඟ නව බලවේග පිලිබඳ සබඳතාවක් ඇති කිරීමට සමත් වී ඇත. නමුත් එහි දහස් ගුණයක් උසස් ආයුධ සහ තාක්‍ෂණය ඇත.” චිත්‍රපට නිෂ්පාදක ඉයාඩ් ඇලස්ටොල්  ගාසාව ඇතුළත සිට ලි මොන්ඩි පුවත් පත  වෙත පැවසීය. “මෙය ගාසා තීරයට එහි යම් ගෞරවයක් ලබා දී ඇත. එය ,  එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අරාබි රටවල් අපට ලබා දීම ප්‍රතික්ෂේප කළ දෙයකි.”

ඊශ්‍රායල ආක්‍රමණය අවසන් කිරීම සහ 2007 සිට ගාසා තීරය අවහිර කිරීම , එහි ප්‍රහාරයේ අරමුන බව ප්‍රකාශ කර ඇති හමාස්  සංවිධානය, ඊශ්‍රායල ඉලක්ක වෙත දිගටම ප්‍රහාර එල්ල කරමින් සිටී. එහි රොකට් ජෙරුසලම, ටෙල් අවිව්, ස්ඩෙරොට්, අෂ්ඩෝඩ්, අෂ්කෙලොන්, රිෂොන් ලෙසියන් සහ බෙයර්ෂෙබා ඇතුළු ඊශ්‍රායලය පුරා නගරවලට පතිත විය. ඊශ‍්‍රායල ජාතිකයන් විශාල සංඛ්‍යාවක් බෝම්බ වලින් ආරක්ෂා විය හැකි කූඩාරම්වල සිටින අතර ඊශ‍්‍රායලයේ පාසල් සහ විශ්ව විද්‍යාල ඊයේ සහ අද වසා දමා ඇත.

ගාසා තීරය ඊශ්‍රායලයෙන් වෙන් කරන කුප්‍රකට දේශසීමා තාප්පයේ ආරක්ෂිත කැමරා විනාශ කරන පලස්තීනුවන් සහ ඔවුන් ඊශ්‍රායල යුද ටැංකිවලට ඩ්‍රෝන් ප්‍රහාරවලින් පහර දෙන අයුරු වීඩියෝ ඔන්ලයින් මගින් පෙන්නුම් කෙරුණි. ඊශ්‍රායල හමුදා හිස්බුල්ලා සටන්කාමීන් තිදෙනෙකුට වෙඩි තබා මරා දැමීමත් සමඟ ඊශ්‍රායල හමුදා සහ ලෙබනනය අතර ඊශ්‍රායලයේ උතුරු මායිම දිගේ ද සටන් ආරම්භ වූ අතර හිස්බුල්ලා ඒකක ඊශ්‍රායල හමුදා ස්ථාන වෙත ප්‍රතිප්‍රහාර එල්ල කළේය.

IDF පැහැදිලිවම ගාසා තීරයට ගොඩබිම් ප්‍රහාරයක් සූදානම් කරමින් සිටී. ඔවුන් පෙර නොවූ විරූ ලෙස 300,000ක අතිරේක භට පිරිසක් කැඳවමින්, ඊශ්‍රායල-ගාසා දේශසීමාවේ කාලතුවක්කු ස්ථානගත කිරීම් සූදානම් කරමින්, ටැංකි සහ සන්නද්ධ පිරිස් ප්‍රවාහනය කරමින් සිටිති. එවැනි ප්‍රහාරයක්  මිලියන 2 ක ජනගහණයෙන් යුත් කුඩා ප්‍රදේශයක, එය රටක් නම්, ලෝකයේ තුන්වන වැඩිම ජනගහණයෙන් යුත් රට වනු ඇත. නොවැලැක්විය හැකි ලෙසම බිහිසුණු සිවිල් ජීවිත හානිවලට තුඩු දෙනු ඇත.

ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල රාජ්‍ය ප්‍රචණ්ඩත්වය උත්සන්න වීම ලොව පුරා වැඩෙන විරුද්ධත්වය සහ කෝපය අවුලුවයි.

පලස්තීනුවන්ට සහාය දැක්වීම සඳහා මැදපෙරදිග සහ ජාත්‍යන්තරව විරෝධතා පැවැත්වේ. ගාසා තීරයට එරෙහි මර්දනයට එරෙහිව යේමනයේ අගනුවර වන සානා වෙත දස දහස් ගණනක් ද බැග්ඩෑඩ්, ඉස්තාන්බුල් සහ ටෙහෙරානයේදී තවත් දහස් ගණනක් ද පෙළපාලි ගියහ. නිව් යෝර්ක්, ලන්ඩන්, සිඩ්නි සහ අනෙකුත් නගරවල කුඩා විරෝධතා පැවති අතර, බ්‍රහස්පතින්දා පැරිසියේදී ගාසාව ආරක්ෂා කිරීමේ විරෝධතා කැඳවන ලදී. ඉරාක පූජක මොක්ටාඩා අල්-සද්ර් සිකුරාදා බැග්ඩෑඩ් හි “මිලියනක මිනිසුන්ගේ පා ​​ගමනක්” කැඳවා තිබේ.

තීරනාත්මක ප්‍රශ්නය වන්නේ, නෙතන්යාහුගේ අන්ත දක්ෂිනාංශික ආන්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී පිලිවෙත් මගින්, මේ වසර මුලදී ඊශ්‍රායලය තුළ මහජන විරෝධතා අවුලුවාලූ ,කම්කරු පන්තිය තුල වැඩෙන ව්‍යාපාරය පලස්තීන ජනතාව ආරක්ෂා කිරීම සඳහා සමාජවාදී හා ජාත්‍යන්තරවාදී ඉදිරි දර්ශනයකින්,  සන්නද්ධ කිරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top