එක්සත් ජනපදය හා ඊශ්‍රායලය, විශ්වාස කළ හැකි සාක්ෂි නොමැති සමූහ ස්ත්‍රී දූෂණ ප්‍රචාර ගාසා ජන සංහාරය යුක්ති සහගත කිරීම සඳහා  යොදා ගනී

පැට්‍රික් මාර්ටින් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 07  දින පල වූ ‘US and Israeli mass rape propaganda, without credible evidence, is being used to justify Gaza genocide‘ යන පැට්‍රික් මාර්ටින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

එක්සත් ජනපද-ඊශ්‍රායල ප්‍රචාරක යන්ත්‍රය ගාසා තීරයේ ඊශ්‍රායලයේ සමූහ ඝාතනය ආරක්ෂා කිරීම සඳහා නව තර්කයක් දියත් කර ඇත: එනම්, වත්මන් යුද්ධයට පෙරටුව ඔක්තෝම්බර් 7දා ඊශ්‍රායලයට දේශසීමා හරහා ප්‍රහාරයක් දියත් කල හමාස් සංවිධානය, එම නැගිටීම තුලදී ඊශ්‍රායල කාන්තාවන් සමූහ ලෙස දූෂණය කිරීමේ වරදකරුයැයි කියා සිටීමයි.

මෙම චෝදනා සනාථ කිරීමට සෘජු සාක්ෂි නොමැතිය යන කරුණ, ගාසා තීරයේ ජන සංහාරයේ අපරාධකරුවන්ට සහ එහි ආරක්ෂකයින්ට අදාළ නොවේ. හමාස් විසින් රඳවාගෙන සිටින ලද ප්‍රාණ ඇපකරුවන් ඊශ්‍රායල සිරගෙවල් වල රඳවා ගෙන සිටි පලස්තීනුවන් සමග හුවමාරු කර ගැනීම සඳහා ඇති කළ සීමිත “විරාමය” අවසන් වීමෙන් පසු හදිසියේ ම මෙම කියාපෑම මාධ්‍ය හරහා ඝෝෂාකාරී ලෙස පතුරුවා හැරුනේ, ව්‍යසනකාරී ආකාරයෙන් තීව්‍ර කර ඇති ගාසා තීරයේ ජනයාට එරෙහි ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වලින් මහජන අවධානය වෙනතකට යොමු කිරීම සඳහා ය.

ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් සති අන්තයේ පලස්තීනුවන් 1000කට වැඩි පිරිසක් මිය ගියහ. පලස්තීනුවන් මිලියන 2ක් පමණ ගාසා තීරයේ කුඩා කොනකට ගාල් කර ඇත. එය ප්‍රමාණයෙන් ෆිලඩෙල්ෆියා හෝ ඩෙට්‍රොයිට් නගරවලට වඩා විශාල නොවන නමුත්, ඊට වඩා බොහෝ වැඩි ජනගහණයකින් යුතුය. ඊශ්‍රායල හමුදා මෙහෙයුම්වල අරමුන වඩ වඩාත් පැහැදිලි වී ඇත: එනම්, ගාසා තීරයේ සමස්ත ජනගහනය ඊජිප්තු දේශසීමා හරහා සීනායි කාන්තාරයට පලවා හැරීම, ගාසා තීරය හිස් කිරීම සහ එය යුදෙව් පදිංචිකරුවන් සඳහා ලබා දීමයි.

 Refugee
2023 ඔක්තෝම්බර් 31 වන දින ගාසා තීරයේ නුසෙයිරාත් සරණාගත කඳවුරට එල්ල වූ ඊශ්‍රායල ගුවන් ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සොයන පලස්තීනුවන් [AP Photo/Doaa AlBaz]

සඳුදා, දකුණු ගාසා තීරයේ විශාලතම නගරය වන ඛාන් යූනිස් වෙත ඊශ්‍රායල ආරක්ෂක හමුදාව විසින් පූර්ණ පරිමාන භූමි ප්‍රහාරයක් එල්ල කිරීමට සමගාමී ව, ඊශ්‍රායලයේ ධනවත් සහ බලගතු ආධාරකරුවන් 150ක කන්ඩායමක් හමාස් වෙත සමූහ ස්ත්‍රී දූෂණය පිලිබඳ චෝදනා ප්‍රවර්ධනය කිරීම සඳහා නිව්යෝර්ක් නගරයේ එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ රැස්වීමක් පැවැත්වූහ. හිටපු ඩිමොක්‍රටික් ජනාධිපති අපේක්ෂක හිලරි ක්ලින්ටන් දුරස්ථව කණ්ඩායම ඇමතූ අතර, ප්‍රකෝටිපතියෙකු වූ හිටපු ෆේස්බුක් විධායක ෂෙරිල් සැන්ඩ්බර්ග් ද සෙනෙට් සභික කිර්ස්ටන් ගිලිබ්‍රෑන්ඩ් (ඩිමොක්‍රටික්-නිිව්යෝක්) සමඟ එක්ව ඇගේ සහයෝගය ලබා දුන්නාය.

ඔබාමා පාලනයේ රාජ්‍ය ලේකම්වරිය ලෙස ලිබියාවට එරෙහි ම්ලේච්ඡ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට නායකත්වය දුන් ක්ලින්ටන් ඇගේ පටිගත කරන ලද ප්‍රකාශය තුල කියා සිටියේ, “යුක්තිය වෙනුවෙන් පෙනී සිටිනවා යැයි කියන ඇතැමුන් හමාස් වින්දිතයන් හමුවේ තම දෑස් සහ හදවත් වසාගෙන සිටීම පිළිකුල් සහගතය,” යනුවෙනි. යුද්ධයෙන් පසු බලය සඳහා තරඟ වදින ප්‍රතිවාදී ප්‍රතිගාමී ජුන්ටාවන් යටතේ ලිංගික වහල්භාවයට විකුණා දැමූ දහස් ගනන් කාන්තාවන් ද ඇතුලුව, ලිබියාවේ එක්සත් ජනපද යුද්ධයේ ගොදුරු වූ දස දහස් ගනනක් ගැන ඇය කිසිවක් කීවේ නැත. එක්සත් ජනපදය සැපයූ බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් මිය ගිය හා ආබාධිත වූ, ගාසා තීරයට එරෙහි ඊශ්‍රායල ප්‍රහාරයේ ගොදුරු බවට පත් දස දහස් ගනනක් ගැන ද ඇය සඳහන් කළේ නැත.

මෙම අවස්ථාවට එක්සත් ජාතීන්ගේ ඊශ්‍රායලයේ නිත්‍ය දූත මණ්ඩලය විසින් අනුග්‍රහය දක්වන ලද අතර, ඊශ්‍රායල රජය සහ IDF විසින් සපයන ලද යැයි කියනු ලබන සාක්ෂි සහ ලේඛන ඔවුන් විසින් එකට එක කරන ලදී. ගාසා තීරයේ යුද අපරාධ විමර්ශනය කරන එක්සත් ජාතීන්ගේ විමර්ශන කොමිසමක්, ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ ඕනෑම සාක්ෂියක් තමන් විසින් ජාත්‍යන්තර අපරාධ අධිකරණයට ලබා දෙනු ඇති බව පවසා ඇති අතර, එක්සත් ජනපද යුද අපරාධ සම්බන්ධයෙන්චෝදනා ඉදිරිපත් වනු ඇතැයි පවතින බිය නිසා එක්සත් ජනපද රජය එම අධිකරණය පිළිගන්නේ නැත. ඊශ්‍රායලය අල්ලා ගෙන සිටින බටහිර ඉවුරේ ඊශ්‍රායල යුද අපරාධ පිළිබඳ සාක්ෂිවලට ICCයේ දොර විවෘතව තිබීමේ හේතුවෙන්, ඊශ්‍රායල විරෝධී නැඹුරුවක් ඇති බව පවසමින් ඊශ්‍රායලය එය සමඟ සහයෝගයෙන් කටයුතු නොකරයි.

ඊළඟ දවසේ, ජනාධිපති ජෝ බයිඩන් බොස්ටන්හි අරමුදල් රැස් කිරීමේ උත්සවයකදී ස්ත්‍රී දූෂණ චෝදනා ඉස්මතු කලේය.  “පසුගිය සති කිහිපය තුළ, ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් අය සහ සාක්ෂිකරුවන්, සිතාගත නොහැකි තරමේ කුරිරුකම්වල බිහිසුණු වාර්තා බෙදා ගෙන ඇත,” බයිඩන් වෙස්ටින් හෝටලයේ රැස්ව සිටි ඔහුගේ කෝටිපති ආධාරකරුවන්ට පැවසීය. ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරවලට මහා පරිමාණයෙන් ගොදුරු වූවන් ගැන වෛද්‍යවරුන් දුසිම් ගනනක් ද ඇතුලත් ගාසා තීරයේ පලස්තීන ජාතික “දිවි ගලවා ගත් අය සහ සාක්ෂිකරුවන්ගේ” වාර්තා එක්සත් ජනපද ජනාධිපතිවරයා කලින් ප්‍රතික්ෂේප කළේ, ඔවුන් හමාස් හරහා පැමිණි නිසා ඒවා විශ්වාස කළ නොහැකි බව පවසමිනි.

එදින රාත්‍රියේ, NBC නිවුස් විකාශය සිය “රාත්‍රී ප්‍රවෘත්ති” හි ප්‍රධාන අයිතමය ලෙස ස්ත්‍රී දූෂණ චෝදනා පිළිබඳ මිනිත්තු පහක වාර්තාවක් විකාශනය කළ අතර, නිව්යෝර්ක් ටයිම්ස් සහ වොෂින්ටන් පෝස්ට් හි මුල් පිටුවේ වාර්තා සහ අනෙකුත් රූපවාහිනී ජාල වල වාර්තා සමඟ මාධ්‍ය කුණාටුවක් ඇති විය. සීඅයිඒ මාධ්‍ය මෙහෙයුම් පිළිබඳ එක් ඉතිහාසඥයෙකු වරක් එය හැඳින්වූ පරිදි, මෙය ඇමරිකානු ආන්ඩුවේ ප්‍රචාරනයේ “මහා ව’ලිස්ටරය (Wurlitzer- වර්ලිස්ටර් පියානෝව)” එහි උපරිම හඬින් වාදනය කිරීමක් විය.

හමාස් සංවිධානයට එරෙහි ව විශාල වාද්‍ය වෘන්දයක් යොදවා පවත්වා ගෙන යනු ලබන මෙම අඛණ්ඩ සමූහ වාදනයට අනුබල දෙන සැබෑ සාක්ෂිය කුමක්ද? ඒ සියල්ල ඊශ්‍රායල රජයෙන් සහ IDF වෙතින් ඉදිරිපත් වූ ඒවා ය; කිසිවෙකුගේ ස්වාධීන තහවුරු කිරීමක් නොමැත; වින්දිතයන්ගෙන් හෝ ඇසින් දුටු සාක්ෂිකරුවන්ගෙන් කිසිදු සාක්ෂියක් ඉදිරිපත් කර නොමැත. ඊශ්‍රායල නිලධාරීන්ට අනුව, ඔක්තෝබර් 7 ප්‍රහාරයෙන් දිවි ගලවා ගත්, ස්ත්‍රී දූෂණයට ගොදුරු වූවන් කිහිප දෙනා ඒ ගැන කතා කිරීමට නොහැකි තරම් කම්පනයට පත් ව සිටිති. ඊශ්‍රායල පොලිස් ප්‍රධානී යාකොව් ෂබ්තායි බ්‍රිතාන්‍ය ගුවන්විදුලි සංස්ථාවට පැවසුවේ “ප්‍රහාරවලින් දිවි ගලවා ගත් බොහෝ දෙනෙකුට කතා කිරීමට අපහසු වූ අතර ඔවුන්ගෙන් සමහරෙක් ඔවුන් දුටු හෝ අත්විඳින දේ ගැන කිසි විටෙකත් සාක්ෂි නොදෙනු ඇතැයි ඔහු සිතන” බවයි.

වයස්ගත වූවන් සහ කලින් සිටම දුර්වලව සිටි අය හැර, පසුගිය සතියේ හමාස් විසින් මුදා හරින ලද ප්‍රාණ ඇපකරු කාන්තාවෝ යහපත් සෞඛ්‍ය තත්ත්වයකින් පසු වූහ. ඔවුන්ගෙන් කිසිවෙකු, රඳවා ගෙන සිටි කාල සීමාව තුල දී ලිංගික අතවර සිදු වූ බවක් වාර්තා කළේ නැත. කෙසේ වෙතත්, ඔවුන්ගෙන් කිහිප දෙනෙක්, ඊශ්‍රායල බෝම්බ සහ මිසයිල ප්‍රහාරවලින් යන්තම් ගැලවී ගිය බව වාර්තා වූ අතර, ඊශ්‍රායල නිලධාරීන් ඔවුන්ගේ මතකයන් “අවිශ්වාසනීය” ලෙස බැහැර කරන ලදී. මේ අනුව, විශ්වාස කළ යුත්තේ නෙතන්යාහු රජයේ ප්‍රචාරක අවශ්‍යතා වෙනුවෙන් සේවය කරන සාක්ෂිකරුවන් පමණි.

පලස්තීනුවන්ට පක්ෂපාතී වෙබ් අඩවියක් වන මොන්ඩෝවයිස් (Mondoweiss) ට අනුව, නොවැම්බර් 13 දින , ලිංගික ප්‍රචණ්ඩත්වය පිළිබඳ නව සාක්ෂි සැපයීම සඳහා කැඳවන ලදැයි කියනු ලබන ඊශ්‍රායල පොලිස් සාකච්ඡාවක්, “නව තොරතුරු සහ පැහැදිලි සාක්ෂි නොමැතිකම” නිසා පොලිස් නිලධාරීන් සහ මාධ්‍යවේදීන් අතර ගැටුමකට තුඩු දුන්නේය. පොලිස් ප්‍රධානියා කිසිදු ප්‍රශ්නයකට පිළිතුරු දීම ප්‍රතික්ෂේප කළ අතර, පොලිස් මාධ්‍ය නිලධාරි මෙරිට් බෙන් මයර් හා මාධ්‍යවේදීන් අතර උණුසුම් කතාබහක් ඇති විය. ඔහු එම සාකච්ඡාවේ අපේක්ෂිත පණිවිඩය පැහැදිලි කරමින්, මෙසේ ප්‍රකාශ කළේය: “මළ සිරුරුවල තත්වයන් මත පදනම්ව, දූෂණයක් සිදු වී ඇත. මෙම සිදුවීම් ප්‍රශ්න කිරීමට ඉඩක් නැත.”

මෙම සමූහ දූෂණ චෝදනා වල දී අනුගමනය කෙරෙන්නේ, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව වැඩෙන මහජන විරෝධයේ කොන්දේසි යටතේ මහජන මතය හැසිරවීමට පෙර පැවති එක්සත් ජනපද ආන්ඩුව අනුගමනය කළ “විශාල බොරු” පැවසීමේ රටාව ම ය. ඉරාකය ආක්‍රමණය කර විනාශ කිරීමට ගත් තීරණය සාධාරණීකරණය කිරීම සඳහා බුෂ් පරිපාලනය ඉරාකයේ “සමූහ විනාශක අවි” පවතින බව කියා සිටියේය. ඔබාමා සහ හිලරි ක්ලින්ටන් ලිබියාවට එක්සත් ජනපද-නේටෝ බෝම්බ හෙලීමේ කඩතුරාව ලෙස බෙන්ගාසිහි සමීපස්ථ සමූහ ඝාතන පිලිබඳ චෝදනා ප්‍රවර්ධනය කළහ. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ඉලක්ක කරන ලද රටවල නායකයන් – පැනමාවේ නොරීගා, ලිබියාවේ මුවම්මර් ගඩාෆි, ඉරාකයේ සදාම් හුසේන්, සිරියාවේ අසාද් සහ දැන් රුසියාවේ පුටින් – ඇමරිකානු මාධ්‍යවලින් එකසේම නිරූපණය කෙරෙන්නේ නරක ම සැලකිල්ල ලැබීමට උචිත වූවන් සේ ය.

ස්ත්‍රී දූෂණ චෝදනා, ඊශ්‍රායල රාජ්‍යය තුල ෆැසිස්ට් බලවේග විසින් ප්‍රවර්ධනය කරනු ලබන අතර ඇමරිකාවේ අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ වියරු අනුගාමිකයින් විසින් භාරගනු ලැබේ. ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයට තම හෘදයාංගම විරෝධය ප්‍රකාශ කිරීමට උත්සාහ කරන ඕනෑම අයෙකු බිය ගැන්වීම ඔවුන්ගේ එකම අරමුණයි. ඔවුන්ට කිසිම විශ්වාසනීයත්වයක් නැත.

තව ද, ඉදින් ඔක්තෝබර් 7 ප්‍රහාරයේදී සමහර හමාස් සටන්කාමීන් ලිංගික ප්‍රචණ්ඩත්වය සිදු කළේ වී වුව, එයින් ඊශ්‍රායල හමුදාව විසින් ගාසා තීරයේ දහස් ගණන් කාන්තාවන් සහ ළමුන් ඝාතනය කරනු ලැබීම සාධාරණීකරණය වන්නේ කෙසේද? ලෝසවෙඅ සඳුදා කර්තෘ මණ්ඩල ප්‍රකාශයක ප්‍රකාශ කළ පරිදි, ඊශ්‍රායලය “කාන්තාවන්ට හා ළමයින්ට එරෙහි යුද්ධයක” යෙදී සිටින බවට වන අනභියෝගී කාරනය සලකන විට හමාස් විසින් කරන ලදැයි කියන සමූහ දූෂණ පිලිබඳ කියාපෑම් විශේෂයෙන් නරුම ය.

බයිඩන්, ක්ලින්ටන් සහ කොම්පැනිය ඔක්තෝම්බර් 7 සිදුවීම්වලින් “බියට” පත්ව සිටින බවට කරන ප්‍රකාශවලට ද කිසිදු විශ්වසනීයත්වයක් නොමැත. 1945 දී නාසි ජර්මනියේ පරාජයෙන් මෙපිට, එක්සත් ජනපදය තරම් යුද්ධයේදී පිරිමින්, කාන්තාවන් සහ ළමයින් ඝාතනය කර ඇති වෙනත් රටක් නැත. ස්ත්‍රී දූෂණ පිළිබඳ ප්‍රකාශයන් සම්බන්ධයෙන් ගත් කල, සමූහ දූෂණය , වියට්නාමයේ මයි ලායි සංහාරය වැනි සාහසික ක්‍රියාවන්හි මකා ලිය නොහැකි අංගයකි. ඉරාකයේ යුද්ධය අබු ග්‍රයිබ්හි ලිංගික ප්‍රචණ්ඩත්වයේ අමතක නොවන රූප නිර්මාණය කළ නමුත්, ඊට සමාන හෝ ඊටත් වඩා නරක සිදුවීම් දහස් ගණනක් වින්දිතයන්ගේ මතකයන් – ඉදින් ඔවුන් දිවි ගලවා ගත්තේ නම් – සහ අපරාධකරුවන්ගේ මතකයන් තුල හැර වෙනත් ස්ථානයක ඉතිරි නොවූ, වාර්තා නොවූ සිදුවීම් බවට පත් ව ඇත.

hooded detainee imprisoned at Abu Ghraib
අබු ග්‍රයිබ් හි සිරකර තබන ලද මුහුණු වැසුම් ලූ රැඳවියෙක්. ඔහුගේ වම් සහ දකුණු අතට වයර් සවි කර ඇති අතර, පෙට්ටියක් මත සිටුවා ඇත; පෙට්ටියෙන් වැටුණොත් විදුලි සැර වැදෙන බව ඔහුට කියා තිබුණි. [ඡායාරූපය: එක්සත් ජනපද රජය]

ගාසා තීරයේ ඊශ්‍රායල ජන සංහාරයේ යථාර්තය වසන් කිරීමට බයිඩන් පරිපාලනය සහ සංගත මාධ්‍ය දරන නවතම ප්‍රයත්නයෙහි අඳුරු අසාර්ථක බව ඔප්පු වනු ඇත. මැද පෙරදිග ඇමරිකානු හා යුරෝපීය අධිරාජ්‍යවාදයේ තෝමර තුඩ ලෙස ක්‍රියා කරමින් ඊශ්‍රායලය කරමින් සිටින අපරාධ සම්බන්ධයෙන් ලොව පුරා වැඩෙන කෝපය එයට වැළැක්විය නොහැක. යුද විරෝධී ව්‍යාපාරයේ කේන්ද්‍රීය දේශපාලන කර්තව්‍යය වන්නේ, ගාසා තීරයේ යුද්ධය නැවැත්විය හැකි සහ අධිරාජ්‍යවාදී යුද්ධයේ උල්පත වන ධනේශ්වර පද්ධතියට තිත තැබිය හැකි එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත හැරීමයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top