‘කොටස් ආපසු මිලදී ගැනීම්’ සහ එක්සත් ජනපද ධනවාදයේ පරපුටු භාවය 

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 අගෝස්තු 25 දින පල වූ ‘Share buybacks and the parasitism of US capitalism’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.

අර්ථශාස්ත්‍රඥ විලියම් ලැසොනික් වනාහි ප්‍රධාන සංගතයන් තම  කොටස් – ආපසු මිලදී ගැනීම් වලට එරෙහි දිගු කාලීන උද්ඝෝෂකයෙකි. මෙම ප්‍රති මිලදී ගැනීම්, ආන්තික පරපුටු භාවයේ, මූල්‍ය කොල්ලකෑමේ සහ සමාජ අසමානතාවයේ ප්‍රධාන සාධකයක් ලෙස ඔහු නිවැරදිව හඳුනා ගනී. 

කෙසේ වෙතත්, ඔහුගේ දේශපාලන ඉදිරිදර්ශනය සම්පූර්නයෙන්ම ප්‍රතිසංස්කරනවාදී එකකි. අනෙකුත් නියාමන ප්‍රතිසංස්කරන සමඟින්, කොටස් වෙලෙන්දන්, මූල්‍ය ආයෝජකයින්, ආයතනික විධායකයින් සහ සමපේක්‍ෂකයින් සමෘද්ධිමත් කිරීම සඳහා සංගත ලාභ යොදා ගැන්ම වෙනුවට සැබෑ ආර්ථිකයට වැඩි ආයෝජනයක් ගෙන ඒම අරමුනු කරගත්, කොටස් ආපසු මිලදී ගැනීම් සම්පූර්නයෙන් තහනම් කිරීමකින් පටන් ගෙන, වැඩි නියාමනයක් දැකීමට ඔහු කැමතිය. 

Exchange Stock
මෙම ඔක්තෝබර් 14, 2020 ගොනු ඡායාරූපයෙහි, පදිකයින් නිව් යෝර්ක් හි නිව් යෝර්ක් කොටස් හුවමාරුව පසුකර යන ආකාරය දැක්වේ. [AP ඡායාරූපය/Frank Franklin II, ගොනුව]

එහෙත්, ඔහු “කොල්ලකාරී වටිනාකම් නිස්සාරනය” ලෙස හඳුන්වන දෙය ආරම්භ වීමට පෙර, “අතීත හොඳ දවස් ” වෙත ආපසු යාමට ඔහුගේ ලොල් බව නොතකා, එමෙන්ම කෙසේ හෝ ඩිමොක්‍රටික් පක්ෂය එය මැඩලීමේ ස්ථාවරයක් ගනු ඇතැයි යන ඔහුගේ මායාමය බලාපොරොත්තු නොතකා, ඔහුගේ විශ්ලේෂනය වැදගත් කරුනු සහ සංඛ්‍යාවන් සපයයි. .

ඔහු සපයන දත්ත එක්සත් ජනපද ආර්ථිකයේ හදවතේම ඇති කුනුවීම හා දිරාපත්වීම හෙලිදරව් කරයි, නමුත් ඒ සමගම ඉතා වැදගත් කරුන වන්නේ – සංගත ලාභ සංඛ්‍යා වලින් පිලිබිඹු වන – කම්කරු පන්තියේ ශ්‍රමය මගින් උත්පාදනය කරන ලද සම්පත්, ජීවන තත්වයන්ගේ විශාල උන්නතියක් සම්පාදනය කිරීමට ප්‍රමානවත් වන බවයි. .

වෙනත් වචන වලින් කිවහොත්, ඉතාමත් මෘදු සමාජ ප්‍රතිසංස්කරනවල දී පවා විරුද්ධවාදියා විසින් බොහෝ විට මතු කෙරෙන -“ඒවට මුදල් කොහෙන්ද?” – යන ප්‍රශ්නයට ලැසොනික් සපයන දත්ත වලින්  අවම ලෙස අර්ධ වශයෙන් හෝ පිලිතුරු සපයයි.

නව ආර්ථික චින්තනය (New Economic Thinking) නම් වාම-ප්‍රතිසංස්කරනවාදී ආයතනයේ වෙබ් අඩවියේ ලිපියක, ‘නවෝත්පාදන සඳහා ආයෝජනය කිරීම: එක්සත් ජනපද සංගතවල කොල්ලකාරී වටිනාකම් නිස්සාරනයට මුහුන දීම’ ( Investing in Innovation: Confronting Predatory Value Extraction in the US Corporation) යන නොබෝ දා පල වූ ග්‍රන්ථය මත පදනම්ව ඔහු තම සොයාගැනීම්වල සාරාංශයක් ඉදිරිපත් කරයි.

ලැසොනික් ආරම්භ කරන්නේ 2022 දී ඔක්ස්ෆැම් (Oxfam) ට අනුව, උද්ධමනය සැබෑ වැටුප් ඛාදනය කිරීමත් සමඟම , එක්සත් ජනපද ශ්‍රම බලකායෙන් සියයට 32 ක් පමන පැයකට ඩොලර් 15 හෝ ඊට අඩු වැටුපක් ලබා ඇති බව සඳහන් කිරීමෙනි. එමෙන්ම ඉහල වැටුප් සහිත රැකියා විශාලම සංඛ්‍යාවක් අඩංගු අධි තාක්‍ෂනික අංශයේ පවා අනාරක්ෂිත භාවය වර්ධනය වෙමින් පවතින්නේ, 2022 දී 165,000  ලෙස පැවැති දොට්ට දැමීම්, මේ වසරේ පලමු මාස ​​හත තුල 225,000 ක් දක්වා ඉහල නැඟීම සමඟය.

ඔහු ලියා ඇති පරිදි, “කොල්ලකාරී වටිනාකම් නිස්සාරනයේ” ප්‍රධාන මෙවලම වන්නේ කොටස් මිල හැසිරවීම සඳහා සංගතයක කොටස්, විවෘත වෙලඳපොලෙන් ඔවුන් විසින් ම නැවත මිලදී ගනු ලැබීමයි.

“2012-2021 අතරතුර, 2022 ජනවාරියේ S&P 500 දර්ශකයට ඇතුලත් ව තිබු හා, එම දශකය පුරා ම ලැයිස්තුගතව සිටි සංගත 474, ඔවුන්ගේ ඒකාබද්ධ ශුද්ධ ආදායමෙන් සියයට 55 ට සමාන වූ ඩොලර් ට්‍රිලියන 5.7 ක මුදලක් ප්‍රතිමිලදී ගැනීම් ලෙස, කොටස් වෙලඳපොලට වත් කල අතර සියයට 41 ක් වන තවත් ඩොලර් ට්‍රිලියන 4.2 ක මුදලක් කොටස් හිමියන්ට ලාභාංශ වශයෙන් ගෙවා ඇත.

කොටස් ආපසු මිලදී ගැනීම, “විශාල වූ ද, කොටස් මත පදනම් වූ ද වැටුප් සහිත ජ්‍යේෂ්ඨ සංගත විධායකයින්ගේ සහ, කොටස් වෙලඳපොලේ කොටස් මිලදී ගැනීමේ සහ විකිනීමේ කාල නිර්නය කිරීමේ ව්‍යාපාරයේ යෙදී සිටින හෙජ්-අරමුදල් කලමනාකරුවන් ඇතුලු” කොටස් විකුනුම්කරුවන්ගේ ලාභ වැඩි කරන බව ඔහු සඳහන් කරයි. 

කොටස් වෙලඳපොල හැසිරවීමේ නීති විරෝධී ආකාරයක් ලෙස කලින් නිර්නයකර තිබීමෙන් පසුව, 1980 ගනන්වල දී ඒවා පුලුල්ව පැතිර ගිය දා සිට, කොටස් මිලදී ගැනීම්, “අසාධාරන ලෙස ආදායම් බෙදීයාම, අස්ථායී රැකියා අවස්ථා සහ එක්සත් ජනපද ආර්ථිකයේ බිඳෙනසුලු ඵලදායිතා වර්ධනයට දායක වී ඇත.”

මෙම සංසිද්ධියෙහි වඩාත්ම බරපතල ප්‍රකාශයට පත්වීම් අතරින් එකක් දැකිය හැක්කේ ඖෂධ කර්මාන්තය තුල ය. ප්‍රති මිලදී ගැනීම් මෙහෙයුමේ යෙදී සිටින විශාලතම කාර්මික සමාගම් පහක් – Aman, Gilead Sciences, Johnson & Johnson, Merck සහ Pfizer – මෙම කර්මාන්ත අංශයට අයත් වේ.

ලෝකයේ සමහරක් ඉහලම ඖෂධ මිල ගනන් ගෙවීමට ඇමරිකානු ජනගහනයට සිදුවී ඇත. යෝධ ඖෂධ සමාගම් මෙය “සාධාරනීකරනය” කිරීම සඳහා, පවතින ඖෂධ සඳහා ඉහල මිලක් අවශ්‍ය කරන්නේ එමඟින් ඔවුන් උත්පාදනය කරන ලාභය නව ඖෂධ පර්යේෂන සඳහා එම  මූල්‍යය භාවිතා කල හැකි බැවින් බවට තර්ක කරති.  

ලැසොනික්ගේ දත්ත හෙලි කරන පරිදි, මෙය සම්පූර්න ප්‍රබන්ධයකි. ඇත්තෙන්ම මෙම ලාභ කොටස් යොදා ගැනෙන්නේ, වෙලඳපොල අගයන් ඉහල නැංවීම සඳහා ය.

2012-2021 දශකයේ S&P 500 ඖෂධ සමාගම් 14 හි ලාභාංශ සහ කොටස් මිලදී ගැනීම් හරහා කොටස් හිමියන්ට සහ කොටස් විකුනුම්කරුවන්ට බෙදා හැරුනු ආදායම, සාමාන්‍යය වූ සියයට 96 ට සාපේක්ෂව, ශුද්ධ ආදායමෙන් සියයට 110ක් නියෝජනය කලේය.

“ඖෂධ සමාගම් විසින් කොටස් හිමියන්ට/කොටස් වෙලෙන්දන් වෙත බෙදා හරින ලද ඩොලර් බිලියන 747, දශකය පුරා මෙම සංගත පර්යේෂන හා සංවර්ධන කටයුතු සඳහා වැය කල ඩොලර් බිලියන 600ට වඩා සියයට 13කින් වැඩි” බව ලැසොනික් පවසයි.

කොටස් ප්‍රතිමිලදී ගැනීමේ මෙහෙයුම් බලශක්ති, අධි තාක්‍ෂනික සමාගම් සහ ගුවන් යානා නිෂ්පාදක බෝයිං ඇතුලුව සම්පූර්ණ ක්ෂේත්‍රය  පුරා විහිදේ.

“1997 දී මැක්ඩොනල් ඩග්ලස් සමඟ ඒකාබද්ධ වීමෙන් පසු බෝයිං, ඉහලම  මූල්‍යකරනයට බදුන් විය. එහි ජ්‍යෙෂ්ඨ විධායක නිලධාරීන් සමාගමේ කොටස් ප්‍රතිලාභ (stock yield) කෙරෙහි දක්වන දැඩි ඇල්ම 2018 ඔක්තෝම්බර් සහ 2019 මාර්තු මාසයේදී එහි 737 MAX ගුවන් යානා කඩාවැටීම සම්බන්ධයෙන් බොහෝ වගකීමක් දරයි.”

2013 ආරම්භයේ සිට 2019 මාර්තු 10 වැනි දින දෙවන කඩාවැටීම දක්වා, ලාභාංශ ලෙස බෙදා හරින ලද සියයට 43 ට අමතරව,  බෝයිං සමාගම විසින් බිලියන $ 43.4 කොටස් ප්‍රති මිලදී ගැනීම් සිදු කර ඇති අතර, එය මෙම කාල සීමාව තුල එහි ශුද්ධ ආදායමෙන් සියයට 118 ට සමාන වේ. වෙනත් වචන වලින් කිවහොත්, එහි ගුවන් යානා සඳහා හැකි ඉහලම ප්‍රමිතීන් සුරක්ෂිත කිරීම සඳහා වියදම් කල යුතු මුදල් සමාගම් විධායකයින් ඇතුලු කොටස් වෙලඳපොල ක්‍රීඩකයින් අතට පත් වී ඇත. 

ඇපල් සමාගම, තවත් ප්‍රධාන කොටස් ප්‍රති මිල දී ගැනීමේ යෙදෙන්නෙකි. ට්‍රම්ප් පරිපාලනය විසින් සම්මත කරන ලද නීති හේතුවෙන් 2018 දී ඩොලර් බිලියන 285 ක මුදල් ආපසු  (එජ යට) ගෙන්වා ගැනීමට හැකි වූ විට, ප්‍රධාන විධායක නිලධාරී ටිම් කුක් පැවසුවේ සමාගම “අපගේ කොටස් වලින් යම් ප්‍රමානයක්” මිලදී ගන්නා බවයි.

පෙනී යන පරිදි, 2018 දී සිදු කල කොටස් මිලදී ගැනීම් ඩොලර් බිලියන 72.7 ක් වූ අතර, එය 2014 දී ඩොලර් බිලියන 45 ක් වූ වාර්තාගත ඉහලම අගය දිගු පමණකින් ඉක්මවා යන්නක් විය. එහි ප්‍රධාන ප්‍රතිලාභියෙකු වූයේ ලෝකයේ ධනවත්ම මිනිසුන්ගෙන් කෙනෙකු වන වොරන් බෆට් ය.

කොටස් ප්‍රතිමිලදි ගැනීම් පිලිබඳ ඔහු නිරත වෙමින් සිටින කටයුතු තුලදි, ලැසොනික් එහි ගැඹුරු වන ඓතිහාසික අර්බුදයේ කේන්ද්‍රය වන ඇමරිකානු ධනවාදයේ හදවතේ කුනු වීමේ හා දිරාපත්වීමේ සැලකිය යුතු අංගයක් ලේඛනගත කර ඇත.

නමුත් ඔහු ඒ ගැන විග්‍රහයක් කොතැනකවත් ඉදිරිපත් කරන්නේ නැත. පශ්චාත් යුද උත්පාතය තුල අවම වශයෙන් යම් ප්‍රමානයකට සිදු වූ පරිදි කර්මාන්තවල ලාභ, ප්‍රතිආයෝජනය සඳහා සහ වඩා යහපත් වැටුප් සඳහා නොයොදන්නේ මන්දැයි ඔහු පැහැදිලි කිරීමක් සපයන තාක් දුරට, එය පදනම් කෙරෙන්නේ ප්‍රතිපත්තිවල මාරුවීම් මත ය, විශේෂයෙන්ම, 1982 දී රේගන් පරිපාලනය විසින් පෙර නීති විරෝධී වූ කොටස් ආපසු මිලදී ගැනීම් නීත්‍යානුකූල කරන ලද නීති සම්පාදනය මතය.

ඔහුගේ මෙම දිශානතිය දේශපාලන ඉදිරිදර්ශනයක් මත –  එනම්  ප්‍රතිවිරුද්ධ දිශාවට සිදුකරන වෙනස්කම්, ආරම්භයක් ලෙස, කොටස් ආපසු මිලදී ගැනීම් තහනම් කිරීම සහ ආයතනික විධායකයින්ට ගෙවන සහ පාරිතෝෂ පිරිනමන ආකාරය වෙනස් කිරීම මඟින් මෙම වර්ධනයන්හි ගමන් මාවත නිවැරදි කල හැකි බවට වන ඉදිරි දර්ශනය මත – පදනම් වී ඇත.

සංගත ක්‍රියාත්මක වූ ආකාරයේ සහ නියාමන රාමුවේ වෙනස්කම් වල ගාමක බලවේගය වී ඇති ධනේශ්වර ආර්ථිකයේ අත්තිවාරම් වලම ගැඹුරින් සිදු වූ මාරුවීම් පිලිබඳ කිසියම්ම හෝ විග්‍රහයක් ඔහු සැලකීමට බඳුන් නොකරයි.

1970 ගනන්වල පශ්චාත් යුද උත්පාතයේ අවසානය, ලාභ අනුපාතිකය පහත වැටීමේ ප්‍රතිඵලයක් විය. මෙය හුදු සිදුවීම් කිහිපයක් සම්පාත වීමේ ප්‍රතිඵලයක් වශයෙන් වූ පසුබෑමක් නොව ධනේශ්වර ආර්ථිකය තුලම ආවේනික ප්‍රතිවිරෝධතා වලින් පැන නගින ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මාක්ස් විසින් සොයා ගන්නා ලදී.

එය ආර්ථික ජීවිතයේ මතුපිටට පුපුරා ඒම ප්‍රධාන ප්‍රතිවිපාක ඇති කලේය.

1970 ගනන්වල අගභාගයේ පටන් ඊලඟ දශකය දක්වා, 1980 ගනන්වල කම්කරු පන්තියට පහර දීම, කර්මාන්තවල සමස්ත අංශයන්ම වසා දැමීම සහ ‘මලකඩ යායන්’ (වසා දැමූ කර්මාන්ත ශාලා සහිත භූගෝලීය ප්‍රදේශ) නිර්මානය කිරීම, ලාභ ශ්‍රම මූලාශ්‍රවලින් ප්‍රයෝජන ගැනීම සදහා  නිෂ්පාදනයේ ගෝලීයකරනය වශයෙන්, ආර්ථික හා පන්ති සබඳතාවල දැවැන්ත ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු විය   

මෙම “ප්‍රතිව්‍යුහගත කිරීමේ” ප්‍රධාන අංගයක් වූයේ, මූල්‍යකරනයේ  අනවරත නැගීම; එනම්, පශ්චාත් යුද උත්පාතයේ දී සිදු වූවාක් මෙන් නිෂ්පාදනය හා ආයෝජන ප්‍රසාරනය කිරීම හරහා නොව, මූල්‍ය වෙලඳපොල මෙහෙයුම් හරහා ලාභ සමුච්චය වීම ය.

කොටස් ආපසු මිලදී ගැනීම් සඳහා වූ තහනම ඉවත් කිරීම, 1980 දශකයේ බොහෝ වෙනස්කම් වලින් එකක් පමනි. එනම්, වරක් නීතිවිරෝධී හෝ අවම වශයෙන් ඉතා සැක සහිත ලෙස සලකනු ලැබූ මූල්‍ය මෙහෙයුම් අද මූල්‍ය ලෝකයේ සම්මත මෙහෙයුම් ක්‍රියා පටිපාටි වේ.

මාක්ස් සඳහන් කල පරිදි, ලාභ අනුපාතිකයේ පහත වැටීමක් “වංචා කිරීම සහ වංචාව පොදුවේ ප්‍රවර්ධනය කිරීම” සමග අත්වැල් බැඳගනී. මෙය තවදුරටත් යලි යලිත් පුනර්කරනය වන හෝ නැවත ආපසු සිදුනොවන හෝ  සංසිද්ධියක් නොවන අතර ඊට විපරීතව පසුගිය දශක තුනේ වඩ වඩාත් ගැඹුරුවන මූල්‍ය අර්බුද විසින් හෙලි කෙරෙන පරිදි, එජ ආර්ථිකය තුලම ගැබ්ව තිබෙන්නකි.

කොටස් ආපසු මිලට ගැනීම් එහි ප්‍රකාශනයක් වන මෙම පරපුටුවාදය, හුදු දිනෙන් දින පුලුල් වන සමාජ අසමානතාවයට හේතුවනු  පමනක් නොවේ. එහි පරිපූර්න ප්‍රකාශනය එය අත්කර ගන්නේ, එක්සත් ජනපදයේ  ආර්ථික පරිහානියට එරෙහිව කටයුතු කිරීම සඳහා  කොල්ලකෑමේ යුද්ධ  වල යෙදීමේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ  ධාවනය තුලය .

මානව වර්ගයාගේ අනාගතයටම තර්ජනයක් වන ඇමරිකානු ධනවාදයේ ඓතිහාසික අර්බුදය, ප්‍රතිසංස්කාරකයන් වීමට කැමති අය විශ්වාස කිරීමට හා ප්‍රකාශ කිරීමට සතුටු වන පරිදි, නීති සම්පාදනය මගින් ජය ගැනීමට හැකි වනු නැත. ඒ වෙනුවට එය පෙන්වා දෙන්නේ සමාජවාදය සඳහා වන දේශපාලන අරගලය තුල කම්කරු පන්තිය විසින් සමස්ත ලාභ පද්ධතියම පෙරලා දැමීමේ අවශ්‍යතාවයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top