ගාසා ජන සංහාරය අඛන්ඩව සිදුවෙද්දී, එක්සත් ජනපදය මැද පෙරදිග පුරා යුද්ධයේ ප්‍රධාන උත්සන්න කිරීමක් සඳහා සූදානම් වෙයි

ආන්ඩ්‍රේ ඩේමන් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 දෙසැම්බර් 17  දින පල වූ ‘As Gaza genocide continues, US prepares major escalation of war throughout Middle East’ යන ආන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය මිගාර මල්වත්ත විසිනි.

Carrier
මැද පෙරදිග පුලුල් ඇමරිකානු යෙදවීමක කොටසක් ලෙස, යූඑස්එස් ඩ්වයිට් ඩී අයිසන්හවර් ගුවන් යානා වාහක නෞකාව 2023 නොවැම්බර් 26 ඉරිදා හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා පර්සියානු බොක්ක වෙත ගමන් කරයි. (තොරතුරු තාක්ෂන ශිල්පී-දෙවන පන්තිය රස්කින් නාවික/එක්සත් ජනපද නාවික හමුදාව AP හරහා)

සෑම දිනකම ඊශ්‍රායලය  ගාසා හි වැසියන් සිය ගනනක් ඝාතනය කරමින් මිලියන 2.2 ක මුලු ජනගහනයම සාගින්නෙන් පෙලද්දී, ජන සංහාරයට එක්සත් ජනපද සහයෝගය සම්බන්ධීකරනය කිරීමට සහ මැද පෙරදිග පුරා මිලිටරි උත්සන්න කිරීමක් සූදානම් කිරීම සඳහා එක්සත් ජනපද නිලධාරීන් පෙලක් ඊශ්‍රායලයට ගමන් කරමින් සිටි.

පසුගිය සතියේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක උපදේශක ජේක් සලිවන් ඊශ්‍රායල නිලධාරීන් සමඟ ඉහල මට්ටමේ රැස්වීම් පැවැත්වීමට ඊශ්‍රායලයට ගියේය. සංචාරය අතරතුර, ගාසා තීරයේ ජනගහනයට එරෙහිව ඊශ්‍රායලයේ ප්‍රහාරයට එක්සත් ජනපදයේ විවෘත සහයෝගය සලිවන් විසින් නැවත අවධාරනය කලේය.

“හමාස් සංවිධානයට එරෙහි ව්‍යාපාරයේ දී අපි ඊශ්‍රායලයට දිගටම සහය දක්වන්නෙමු, මක්නිසාද යත්, හමාස් ඊශ්‍රායල රාජ්‍යයට පවත්නා  තර්ජනයක් ලෙස අප දකින නිසාත්, ඊශ්‍රායලයට එය පසුපස හඹා යාමට අයිතියක් පමනක් නොව යුතුකමක් ඇති නිසාත්, එක්සත් ජනපදය ඒ සඳහා ඊශ්‍රායලයට සහාය වනු ඇත,” සලිවන් ප්‍රකාශ කලේය.

ඔහුගේ සංචාරය අතරතුර, සලිවන් ප්‍රකාශ කලේ, “මෙම යුද්ධය තවත් අදියරකට සංක්‍රමනයක් සිදුවනු ඇති අතර, එය නායකත්වය ඉලක්ක කර ගැනීම සඳහා වඩාත් නිවැරදි  ක්‍රම සහ රහස් තොරතුරු මත මෙහෙයවීම්  කෙරෙහි අවධානය කේන්ද්‍ර ය කොට ඇත.” නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “එක්සත් ජනපද නිලධාරීන් හතර දෙනෙකු පැවසුවේ සති තුනක් පමන ඇතුලත, ඊශ්‍රායලය වඩාත් නිවැරදි උපක්‍රම වෙත මාරු වීම ,  බයිඩන් මහතාට අවශ්‍ය බවයි.

ඊශ‍්‍රායලයේ දකුනු ගාසා තීරයේ ප‍්‍රහාරයට පෙරාතුව මීට සමාන ප‍්‍රකාශ බහුල විය, එක්සත් ජනපදය අවධාරනය කලේ ඊශ්‍රායලය විසින් මරා දමන සිවිල් වැසියන් සංඛ්‍යාව අඩු කරනු ඇති  බවයි.එහෙත් දකුනු ගාසා තීරයට එල්ල වූ ප්‍රහාරය, උතුරේ සමූලඝාතන වලටත් වඩා- එසේ විය හැකි නම්- කුරිරු ය.

ජන සංහාරය ආරම්භයේ සිට ගත වූ දින 71 තුල, ගාසා වැසියන් 18,787ක් හෝ දිනකට 265ක් මරා දමා ඇත – ඔවුන්ගෙන් සියයට 70ක් කාන්තාවන් සහ ලමුන්ය. එම අනුපාතයට අනුව, ටයිම්ස් අනුමාන කරන දෙයට “අඩු තීව්‍රතා” ගැටුමක් වෙත ඊශ්‍රායලය ගමන් කිරීමට පෙර, කාන්තාවන් සහ ලමුන් 3,800ක් ඇතුලුව තවත් පුද්ගලයන් 5,500ක් ඝාතනය කරනු ඇත. 

Gzza
2023 දෙසැම්බර් 16 වැනි සෙනසුරාදා, දකුනු ඊශ්‍රායලයෙන් පෙනෙන පරිදි , ගාසා තීරයේ ඊශ්‍රායල බෝම්බ ප්‍රහාරයකින් පසු දුම් නගියි. [AP Photo/ඒරියල් ෂාලිට්]

සති අන්තයේ, හමාස් විසින් කලින් රඳවාගෙන සිටි ප්‍රාන ඇපකරුවන් තිදෙනෙකු සුදු කොඩියක් ලෙලවමින් ඊශ්‍රායල හමුදා දෙසට ගමන් කරමින් සිටියදී, වෙඩි තබා මරා දමන ලදී.  ඊශ්‍රායල හමුදා විසින් සිදු කරන ලද මෙම  ඝාතනය, ගාසා  තීරයේ ඊශ්‍රායලයේ “යුද්ධයේ” මූලික යථාර්ථයක් පෙන්නුම් කරයි: හමාස් සටන්කාමීන් සහ සිවිල් වැසියන් අතර වෙනස හඳුනා ගැනීමට කිසිදු උත්සාහයකින් තොරව, හෝ මේ අවස්ථාවේ දී මුදා හල ප්‍රාන ඇපකරුවන් හඳුනා ගැනීමට, කිසිදු උත්සාහයකින් තොරව ඔවුන් දකින සෑම කෙනෙකුටම වෙඩි තැබීමේ හිතාමතාම සිදුකරන ප්‍රතිපත්තියක් ඊශ්‍රායල හමුදාවන්ට ඇත.

තවද, ඊශ්‍රායලය දැනටමත් ගාසා තීරයේ නිවාසවලින් සියයට 60ක් විනාශ කර හෝ හානි කර ඇති අතර රෝහල්වල සිට පාසල්, බේකරි සහ විදුලි බෙදා හැරීමේ මධ්‍යස්ථාන දක්වා මිනිස් ජීවිතයට පවත්වා ගැනීමට ආධාර කල හැකි බොහෝ සිවිල් යටිතල පහසුකම් විනාශ කර ඇත. සලිවන්ගේ “සංක්‍රාන්තිය” සිදු වන විට, වෙනත් වචන වලින් කිවහොත්, ගාසා තීරය මුලුමනින්ම පාහේ නටබුන් වනු ඇත.

සලිවන් ඊශ්‍රායලයේ සිටින අතර, බ්‍රහස්පතින්දා IDF විසින් ගාසා තීරයේ සියලුම විදුලි සන්නිවේදන කපා දැමුවේය. එය අද දක්වාම වූ දීර්ඝතම වසා දැමීමයි. සෙනසුරාදා, ඊශ්‍රායලය ගාසා තීරයේ කමල් අද්වාන් රෝහලට පහර දුන්නේය. ප්‍රහාරය අතරතුර, ඊශ්‍රායල බුල්ඩෝසර් සරනාගතයින්ගේ කූඩාරම් හරහා ධාවනය කරමින් එහි  සුන්බුන් තුල මිනිසුන් පනපිටින් වලලමින් අවම වශයෙන් නව දෙනෙකුවත් මරා දැමීය.

ජබාලියා සරනාගත කඳවුරට ඉරිදා ඊශ්‍රායල ප්‍රහාරයකින් පලස්තීනුවන් 90 දෙනෙකු මිය ගිය බව ගාසා සෞඛ්‍ය අමාත්‍යාංශය වාර්තා කලේය. ඊශ්‍රායලය ගාසා තීරයේ සිය දෛනික ඉලක්කගත මාධ්‍යවේදීන් ඝාතනය කිරීම දිගටම කරගෙන ගිය අතර මේ වන විට මාධ්‍යවේදීන් 64 දෙනෙකු ඝාතනය කර ඇත. සිකුරාදා ඊශ්‍රායල හමුදා විසින් අල් ජසීරා කැමරා ශිල්පී සමර් අබුඩකා මරා දමා අල් ජසීරා ගාසා කාර්යාංශයේ ප්‍රධානී වේල් ඩහ්ඩෝහ් ට තුවාල කලේය.

ඊශ්‍රායල නිලධාරීන් ප්‍රසිද්ධියේ සමූල  ජන ඝාතක  වාචාල කතා භාවිතය වැඩි කර ඇත. ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඊශ්‍රායලයේ ප්‍රාදේශීය මෙටූලා කවුන්සිලයේ ප්‍රධානී ඩේවිඩ් අසෝලායි, පලස්තින ජනගහනය ලෙබනනයට විතැන් කරන ලෙස ඉල්ලා සිටි අතර ගාසා තීරය “අවුෂ්විට්ස්” ලෙස පෙනෙන පරිදි  කටයුතු කල යුතු බව පැවසීය.

ගාසාවේ ඉන්න හැමෝටම මුහුදු වෙරලට යන්න කියන්න. නාවික හමුදාවේ නැව් ත්‍රස්තවාදීන් ලෙබනනයේ වෙරලට පැටවිය යුතුය. අවුෂ්විට්ස් හි මෙන් මුලු ගාසා තීරයම හිස් කර සමතලා කල යුතුය.

“ඊශ්‍රායලය විසින් මැද පෙරදිග පුරා දිගින් දිගටම ප්‍රහාර දියත් කරයි. ඉරිදා අගභාගයේදී, එහි ප්‍රහාරක ගුවන් යානා සිරියාවේ ඩැමස්කස් නගරයට නුදුරින් ප්‍රහාරයක් සහ ලෙබනනයට දිගු දුර ප්‍රහාර එල්ල කලේය.”

සති අන්තයේ ඔහුගේ ප්‍රකාශයන්හිදී, සලිවන් පැහැදිලි කලේ, යේමනයේ හවුති කැරලිකරුවන් සහ ඊටත් වඩා කේන්ද්‍ර වශයෙන් ඉරානය,  යන දෙකම ඉලක්ක කර ගනිමින්, ඊශ්‍රායලයේ ජන සංහාරය එක් සංරචකයක් පමනක් වන වඩාත් පුලුල් ගැටුමකට එක්සත් ජනපදය සූදානම් වන බවයි.

සලිවන් ප්‍රකාශ කලේ, “හවුතිවරුන් කරන්නේ ඊශ්‍රායලයට පමනක් නොව සමස්ත ජාත්‍යන්තර ප්‍රජාවටම තර්ජනයකි; එය නාවික නිදහසට තර්ජනයකි, එය වානිජ නැව්ගත කිරීමට තර්ජනයකි; එය ගෝලීය වානිජ්‍යයේ තීරනාත්මක ප්‍රධාන මාර්ගයක වන තීරනාත්මක කපොල්ලකට  තර්ජනයකි. එබැවින් එක්සත් ජනපදය විසින් නාවික නිදහස ආරක්ෂා කිරීමට උදව් කිරීම සඳහා රටවල් අතර සන්ධානයක් ගොඩනඟමින් සිටී.”

ඔහු තවදුරටත් පැවසුවේ, “අපි කතා කරන්නේ හවුතිවරුන් ගැන. නමුත් හවුතිවරුන් පිටුපස සිටින්නේ කවුද? ඔවුන්ට අවි ආයුධ ලබාදෙන්නේ, සන්නද්ධ කරන්නේ සහ සක්‍රීය කරන්නේ කවුද? ඒ ඉරානයයි. ”

සති අන්තයේ, ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින් සහ ඒකාබද්ධ මාන්ඩලික ප්‍රධානීන්ගේ සභාපති කනිෂ්ඨ චාල්ස් ක්යු. බ්‍රවුන්, ඊශ්‍රායලයේ සහ මැද පෙරදිග අනෙකුත් එක්සත් ජනපද මිත්‍ර රටවල බහුදින සංචාරයක් සඳහා පිටත්ව ගියහ.

ඉරිදා, ගාඩියන් වාර්තා කලේ, ඉරානය සමඟ පෙලගැසී සිටින යේමනයේ හවුති කැරලිකරුවන් ඉලක්ක කර ගනිමින්, එක්සත් ජනපදය විසින් තාවකාලිකව ප්‍රොස්පෙරිටි ගාර්ඩියන්  නමින් නව මිලිටරි මෙහෙයුමක් නිවේදනය කරන බවයි.

සිකුරාදා, ඇසෝසියේටඩ් ප්‍රෙස් වාර්තා කලේ, ඔස්ටින් විසින්, එය කලින් නිවාඩු කාලය සඳහා එක්සත් ජනපදයට යාමට නියමිතව තිබූ යූඑස්එස් ජෙරල්ඩ් ආර්. ෆෝර්ඩ්  ගුවන් යානා වාහක නෞකාවට මධ්‍යධරනී මුහුදේ රැඳී සිටින ලෙස නියෝග කර ඇති බවය.

මැද පෙරදිග පුරා ස්ථානගත කර ඇති නැව් 19 කින් සමන්විත ආමඩාවක (යුධ නැව් කන්ඩායමක) කොටසක් ලෙස එක්සත් ජනපදය කලාපය තුල ගුවන් යානා වාහක නෞකා දෙකක් පවත්වාගෙන යනු ඇත. මධ්‍යධරනී මුහුදේ එක්සත් ජනපද යුද නැව් හතක් සහ රතු මුහුද, අරාබි මුහුද සහ පර්සියානු බොක්ක පුරා තවත් යුධ නැව් දුසිමක් ඇත.

යේමනයේ වෙරලට ඔබ්බෙන් වූ මුහුදු තීරයේ වෙඩි තබා ගැනීමේ යුද්ධයක් දැනටමත් ආරම්භ වී තිබේ. එක්සත් ජනපද මධ්‍යම විධානය ට්විටර්/එක්ස් සටහනක වාර්තා කලේ, දෙසැම්බර් 16 වන දින එක්සත් ජනපදයේ ආර්ලී බර්ක් පන්තියේ යූඑස්එස් කාර්නි නියමු මිසයිල  ඩිස්ට්‍රෝය  නෞකාව, යේමනයේ සිට, දියත් කල ඩ්‍රෝන යානා දුසිමකට අධික ප්‍රමානයක් සමග නියැලුනු  බවයි.

මේ අතර එක්සත් ජනපද මාධ්‍ය , බයිඩන් පරිපාලනයට යේමනය සහ ඉරානය යන දෙකම ඉලක්ක කර ගැනීම සඳහා උද්ඝෝෂන කරයි. කතුවැකියක, වෝල් ස්ට්‍රීට් ජර්නලය ලිවූ පරිදි, “යේමනයේ හවුති මිලීෂියාව විසින් වානිජ නැව් ප්‍රවාහනයට දිගින් දිගටම එල්ල කරන ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් බයිඩන් පරිපාලනය මිලිටරි බලය යෙදවීම ගැන කල්පනා කරමින් සිටින බව පුවත්පත් වාර්තා කරයි. ඒ සඳහා කල් පමා වූවා වැඩි සේ ය. හවුති මිසයිල ප්‍රහාර  ගෝලීය නාවික ගමනාගමනයට දශක කිහිපයකින් එල්ල වූ වඩාත්ම සුවිශේෂී තර්ජනයක් වන අතර ගෝලීය සභාගය ඒකාබද්ධව ඔවුන් නැවැත්වීමට කටයුතු නොකලහොත් ඒවා දිගටම පවතිනු ඇත.”

ජර්නලය දිගටම කියා සිටියේ, “ප්‍රශ්නය වන්නේ හූතීන් සටන සඳහා කොන්දේසි සකස් කරද්දි, එක්සත් ජනපදය සහ අනෙකුත් බටහිර  නාවික හමුදාවන් හුදෙක් ආරක්ෂක ක්‍රීඩාවේ යෙදෙමින් සහ මිසයිල අල්ලා ගැනීමට යන්නේද යන්නයි. ඉක්මනින් හෝ පමා වී, හවුති මිසයිලයක් එක්සත් ජනපද නාවික ආරක්ෂක වලල්ල පසු කර විත් ඇමරිකානු නැවියන් මරා දැමිය හැකිය. එවිට ධවල මන්දිරයට ආපසු පහර දීම හැර වෙනත් විකල්පයක් නැත.”

එක්සත් ජනපදය ඉරානයට එරෙහිව උත්සන්න කල යුතු බව ජර්නලය ඉල්ලා සිටී, “ඔවුන් දිගටම අවුල්  කරන්නේ නම්, එක්සත් ජනපද සහචරයින්ට පහර දීම සහ ඇමරිකානු කඳවුරු හෝ නැව් ඉලක්ක කරන්නේ නම්, අවසානයේ දී, ඉරානයේ පාලකයින් ඔවුන්ගේ වත්කම් – මිලිටරි සහ න්‍යෂ්ටික –  අවදානමට ලක්ව ඇති බව දැනගත යුතුය.”

එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ ප්‍රමුඛ කන්ඩායම් ගාසාවේ ජන සංහාරයට එක්සත් ජනපදයේ සහය දැක ගන්නේ, ඉරානය කේන්ද්‍රීය ඉලක්කයක් කර ගත්, මිලිටරි ප්‍රචන්ඩත්වය හරහා මැද පෙරදිග ආධිපත්‍යය දැරීමට එය  දශක ගනනාවක් තිස්සේ දරන උත්සාහයේ තීරනාත්මක සංරචකයක් ලෙස බව මෙම ප්‍රකාශයන් පැහැදිලි කරයි.

තවද, බයිඩන්  පරිපාලනය මෙම ගැටුම දකිනු ලබන්නේ , යුරෝපයේ රුසියාව සහ පැසිෆික් කලාපයේ චීනය ඉලක්ක කර ගනිමින්, ගාසා තීරයේ සිදු වන රුධිර ස්නානය පවා  මුලුමනින් ම ඉක්මවා යන මහා ජන ඝාතනයක් දක්නට ලැබෙනු ඇති,  ලෝක ආධිපත්‍යය සඳහා වන ගෝලීය යුද්ධයේ   එක් වේදිකාවක්  ලෙස පමනි.

ගාසා තීරයේ ඊශ්‍රායලයේ ජන සංහාරයට එරෙහිව සෑම මහද්වීපයකම මිලියන සංඛ්‍යාත කම්කරුවන් සහ තරුනයින් පෙලපාලි ගොස් ඇත. එහෙත් මෙම ව්‍යාපාරය මුහුන දී සිටින්නේ යුද්ධයේ හා මිලිටරිවාදයේ ගෝලීය ව්‍යාප්තියකට කැපවී සිටින අධිරාජ්‍යවාදී ආන්ඩුවලටය.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top