තෙවන ලෝක යුද සූදානම ගැඹුරට: නෝටෝව රුසියාව වට කරද්දී, චීනයට එරෙහි ඇමරිකානු-නේටෝ ප්‍රමුඛ යුද පෙරමුණ තර කෙරේ

Weekly Political Report | සතියේ දේශපාලන වාර්තාව 

සංජය ජයසේකර විසින් සම්පාදනය කෙරුනි

Image
අග්‍රාමාත්‍ය ඇන්තනි ඇල්බනීස් එක්සත් ජනපද ජනාධිපති ජෝ බිඩෙන් සමඟ 2023 මාර්තු 13 වන දින සැන් ඩියාගෝ හි පොයින්ට් ලෝමා නාවික කඳවුරේදී.  [AP ඡායාරූපය/Evan Vucci]

ජෝ බයිඩන් තන්ත්‍රය හා නේටෝව රුසියාවට එරෙහිව යුක්‍රේනය බලල් අතක් කරගෙන ගෙනයන ප්‍රකෝපකාරී යුද්ධයේ ගැඹුරු ඇඟවුම් පසුගිය වාර්තාවල අප සලකා බැලීමු. මෙම යුද්ධයේදී රුසියාවේ මිලිටරි ශක්තිය ක්ෂීන වීම හා යුක්‍රේනයේ මිලිටරි ‘ජයග්‍රහන’ පිලිබඳ වාර්තා බුරුතු පිටින් බටහිර මාධ්‍ය පල කරනු ලැබිනි.  එහෙත් පසුගිය දා සමාජ මාධ්‍ය ඔස්සේ මහජනයාට හෙලිදරව් කරනු ලැබූ පෙන්ටගනයේ විඛේතනය කරන ලද රහස් මිලිටරි ලේකන දුසිම් ගනනාවකින් හෙලිදරව් කරනු ලැබ ඇත්තේ සමස්ථ යුද ප්‍රචාරනයම මහජනයා නොමඟ යැවීම අරමුනු කරගත් බොරු බවයි.  

මේ අතර, තායිවානයේ ජනාධිපතිනය එක්සත් ජනපදයේ සංචාරයෙන් ප්‍රකෝපකරනය කරනු ලැබූ චීනය මිලිටරි අභ්‍යාස උත්සන්න කන විට  චීනයේ සංචාරය කල ප්‍රංස ජනාධිපති මැක්‍රොන් තායිවානය සම්බන්ධ ඇමරිකානු ප්‍රතිපත්ති විවේචනය කලේ ය. ඔස්ට්‍රේලියා, එක්සත් ජනපද හා ඇමරිකානු AUKUS මිලිරි සබ්මැරීන ගිවිසුම චීනය සමග යුද්ධයකට සූදානම් වීමට බව ඇමරිකානු නාවික ලේකම් පිලිගන්නා අතර, ඕස්ට්‍රේලියානු ආරක්ෂක ලේකම් නවසීලන්තයබලා ගියේ චීනයට එරෙහි සංධානය ශක්තිමත් කිරීමට යි. ඇමරිකානු මන්ත්‍රී මන්ඩලයේ කතානායක කෙවින් මැකාති තායිවානයට කරනු ලබන යුධඋපකරන වෙලඳාම වේගවත් කරන ලෙස අවධාරනය කලේය. ඕස්ට්‍රේලියානු පාර්ලිමේනතු වාර්තාවක් යුද්ධය සඳහා වියඳම් වැඩි කිරීමට නිර්දේශ කලේය. 

ලෝක යුද තත්වය කෙරෙහි තවත් වැදගත් වර්ධනයක් වූයේ පින්ලන්තයේ නව පාලනය යටතේ රුසියානු දේශ සීමාවෙන් විශාල කලාපයක් නේටෝ හමුදාවේ අධීක්ෂනයට නතු කරමින් පින්ලන්තයට නේටෝ සාමාජිකත්වය ලබා දීමයි. තුර්කිය මෙයට සහාය පලකර තිබේ. 

යුක්රේන යුද්ධයෙන් දැනටමත් සිය දහස් ගණන් ජනයා ජීවිතක්ෂයට පත්ව සිටියද, එක්සත් ජනපදය, සමස්ත යුරෝපයට සහ සමස්ත මානව වර්ගයාටම ව්‍යසනයක තර්ජනය කරමින්, ගැටුම දැවැන්ත ලෙස ව්‍යාප්ත කිරීමට නැඹුරු වී ඇත.  මේ යුද්ධය නැවැත්විය යුතුයි.  කම්කරු පන්තියේ වැඩෙන අරගල වෙත නැඹුරු වූ ද සමාජවාදී වැඩපිලිවෙලකින් සන්නද්ධ වූ ද යුද්ධයට එරෙහිව මහජන ජාත්‍යන්තර ව්‍යාපාරයක් ගොඩනැගීම හදිසි අවශ්‍යතාවයකි.

මෙම දේශපාලන වාර්ථාව  ද වර්ධනය වන ලෝක යුද්ධ අන්තරාය පිලිබඳව අවධානය යොමු කරන අතර, වාර්තාව සැකසීමේ දී ලෝක සමාජවාදී වෙබ් අඩවියේ පලවූ ලිපි ප්‍රධාන වශයෙන් පාදක කර ගන්නා ලදී. මෙම වාර්තාව පසුගිය දේ්ශපාලන වාර්තා සමඟ සැබැඳෙන අතර මේ දක්වා වූ ප්‍රධාන වර්ධනයන් සලකනු ලැබ ඇත. 

පෙන්ටගන් යුධ ලේඛන හෙලිදරව් කරන්නේ කුමක් ද ?

යුක්‍රේන හමුදාව කුලී හේවා ප්‍රොක්සි බලකායක් ලෙස සේවය කරන යුද්ධයේ ප්‍රධාන ගාමක බලවේගය එක්සත් ජනපදය හා නේටෝව බව කාන්දු වූ ලේඛන පැහැදිලි කරයි.  නේටෝව යුක්රේනයට හමුදා භටයින් 150 කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බව ඒවා පෙන්වා දෙන අතර නේටෝව විසින් යුක්රේන හමුදාවට අරමුදල්, ආයුධ, දුම්රිය සහ සෘජුවම අණ දෙන මට්ටම පෙන්නුම් කරයි.

යුක්‍රේන දේශපාලන පද්ධතිය පැහැරගෙන සිය දහස් ගනනක් රුසියානු සහ යුක්‍රේන ජීවිත හානි වලට තුඩු දුන් විනාශකාරී යුද්ධයක් සඳහා එහි ජනගහනය තුවක්කු උන්ඩ බවට පත් කිරීමට ඩොලර් බිලියන ගනන් වියදම් කර ඇති නේටෝව යුද්ධයේ නිර්මාපකයා බව ලේඛන සනාථ කරයි.

නේටෝව යුද්ධයට සම්බන්ධ නැත යන බයිඩන් පරිපාලනයේ බොරුව ක්‍රමානුකූලව ප්‍රවර්ධනය කර ඇති එක්සත් ජනපද මාධ්‍ය, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ප්‍රචාරක හස්තය මිස අන් කිසිවක් නොවන බව ලේඛන හෙලිදරව් කර ඇත.

2022 මැයි මාසයේදී ධවල මන්දිර ප්‍රකාශක ජෙන් සාකිගෙන් යුක්රේනයේ යුද්ධය “නේටෝ ප්‍රොක්සි යුද්ධයක්”දැයි විමසන ලදී.  සාකි පිළිතුරු දෙමින්, “මේ ගැන රුසියානු තර්කය එය බව මම දනිමි, නමුත් එය ප්‍රොක්සි යුද්ධයක් නොවේ… මෙය රුසියාව සහ යුක්රේනය අතර යුද්ධයකි.  නේටෝව සම්බන්ධ නැහැ.”

කාන්දු වී තිබෙන ලේකන පහත කරුනු හෙලිදරව් කරන්නේ මෙම තොරතුරු කිසිවක් ඇමරිකාන ආන්ඩුව හෝ නිවයෝක් ටයිම්ස් ප්‍රමුඛඛ මාධ්‍ය හෙලිදරව් කර හෝ පිලිගෙන නැති තත්වයක් යටතේ ය:

  • නේටෝ විශේෂ මෙහෙයුම් භටයන් 97ක් දැනට යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදා සාමාජිකයින් 71 ක් ඇතුළුව එක්සත් ජන.පද භටයින් 100 ක් යුක්රේනය තුළ යොදවා ඇත.
  •  එක්සත් ජනපද හමුදාව යුක්‍රේන හමුදා පුහුණුව, යුරෝපයේ නේටෝ යෙදවීම් සහ යුක්‍රේනය තුල එක්සත් ජනපද හමුදා යෙදවීම් අන්තර් ක්‍රියාකාරී ලෙස දකින අතර, ඒ සියල්ල තනි පිටුවක වාර්තා කරයි.
  •  එක්සත් ජනපදය විසින් ක්‍රිමියාව රුසියාව විසින් අත්පත් කරගෙන සිටින යුක්‍රේන භූමියෙන් කපා දැමීමේ අරමුණින් සැලසුම් කරන ලද ප්‍රහාරක මෙහෙයුමක් සඳහා සවිස්තරාත්මක සිතියම් සකස් කර ඇති අතර, මැයි මස මැද භාගයේ ආරම්භ වන ප්‍රහාරය සඳහා “හිතකර” කොන්දේසි ඇත.
  • එක්සත් ජනපදය සහ එහි නේටෝ සහචරයින් මෙම ප්‍රහාරයේ කොටසක් ලෙස සටනට ඇද දැමීමට නියමිත හමුදාවන්ගෙන් හතරෙන් තුනක් පුහුණු කිරීම, අරමුදල් සැපයීම සහ සන්නද්ධ කිරීම සිදු කරයි.  එක් ලේඛනයක් ප්‍රකාශ කරන්නේ “වසන්තයේ ප්‍රතිප්‍රහාර සඳහා විශ්වාස කළ හැකි යුධ [බ්‍රිගේඩ] 12ක් උත්පාදනය කළ හැකි බවයි: යුක්රේනය විසින් ජාත්‍යන්තර වශයෙන් 3ක්, සහ එක්සත් ජනපදය, ‘මිත්‍ර පාක්ෂික සහ හවුල්කාර’ කඳවුර විසින් පුහුණුකරනු ලැබූ  සහ සන්නද්ධකරනු ලැබූ 9ක්”.

පෙබරවාරි 2දා, එක්සත් ජනපද නිලධාරීන් උපුටා දක්වමින්, නිව් යෝර්ක් ටයිම්ස් වාර්තා කලේ, “යුක්රේනයේ මියගිය සහ තුවාල ලැබූ රුසියානු හමුදා සංඛ්‍යාව 200,000 ට ආසන්න වෙමින් පවතී”යනුවෙනි.  ඊට වෙනස්ව, අභ්‍යන්තර ලේඛන පෙන්වා දුන්නේ සටනේ දී මියගිය රුසියානු සොල්දාදුවන් ගණන 35,000 ත් 43,000 ත් අතර සංඛ්‍යාවකි

යුක්‍රේනය නේටෝ සන්ධානයට ගෙන ඒමේ උත්සාහයන් යුක්‍රේන ජනතාවට ව්‍යසනකාරී ප්‍රතිවිපාක සමග රුසියාවෙන් මිලිටරි ප්‍රතිචාරයක් අවුලුවාලන බව එක්සත් ජනපදය හොඳින්ම දැන සිටි බව ලේඛන පෙන්නුම් කරයි.

ලේඛනවල අනෙකුත් කොටස්, ලොව පුරා සිටින එහි “මිතුරන් සහ හවුල්කරුවන්” පිළිබඳ එක්සත් ජනපදය ඔත්තු බැලීමේ තරම හෙළි කරයි.

මෙම හෙළිදරව් කිරීම් උද්දීපනය කරනවා වෙනුවට, මාධ්‍ය අවධානය යොමු කර ඇත්තේ ලේඛන කාන්දුවේ මූලාශ්‍රය යැයි කියනු ලබන ඒවා හඹා යාමට පෙන්ටගනය දරන උත්සාහයන් සොයා බැලීමයි 

සමස්ත එක්සත් ජනපද මාධ්‍ය ක්‍රමානුකූල ස්වයං-වාරණයක නිරත වී ඇත.  නීතිවිරෝධී සහ ප්‍රකාශ නොකළ යුද්ධයක් දියත් කිරීමේදී බයිඩෙන් පරිපාලනය විසින් දැවැන්ත බොරු කීම සහ සාපරාධී බව පෙන්නුම් කළත්, ඔවුන් ලේඛන හෝ ඒවායේ උද්ධෘත පවා ප්‍රකාශයට පත් කිරීම ප්‍රතික්ෂේප කර ඇත.

එක්සත් ජනපදය ගැටුමට වඩා ගැඹුරු මැදිහත්වීමක් සූදානම් කරමින් සිටින විටය මේ ලේඛන කාන්දු වූ⁣යේ.  ලේඛනවල දක්වා ඇති වසන්ත ප්‍රහාරයක් සඳහා සැලසුම් ක්‍රියාවට නැංවුවත් නැතත්, එක්සත් ජනපදය හා නේටෝව, ෆින්ලන්තය සන්ධානයට ඇතුල් වීමෙන් පසු රුසියාවට මායිම්ව ඇති නේටෝ රාජ්‍යයන් වෙත දැවැන්ත හමුදාවන් යෙදවීමට සැලසුම් කරමින් සිටිති.

අවසාන වශයෙන්, යුද්ධය පිලිබඳ ආන්ඩුව සහ මාධ්‍ය විසින් ක්‍රමානුකූලව කරන බොරුවල අරමුන වන්නේ, ලේ වැගිරීමකට ඇද දැමෙනු ලැබෙමින් සිටින “ගෙදර සිටින සතුරා”, එනම් කම්කරු පන්තිය නොමග යැවීමයි.

මෙම ලේඛන පෙන්නුම් කරන්නේ රුසියාවට එරෙහි එක්සත් ජනපද යුද්ධයක් මුලුමනින්ම මහජනයාට හොරෙන් ආරම්භ කර ඇති බවයි.  පැහැදිලි නිගමනය නම්, නේටෝ හමුදා සෘජුවම යුක්‍රේනයට යැවීමට අවශ්‍ය බව එක්සත් ජනපදය තීරණය කරන්නේ නම්, එය මෙතෙක් යොදවා ඇති ක්‍රම භාවිතා කරමින් එය සිදු කරනු ඇත: එනම්, ක්‍රමානුකූලව මාධ්‍ය හැසිරවීම හා ඒ හරහා ගෙන යන බොරුවල ව්‍යාපාරයක් මගිනි.

රුසියාව වටකිරීමට ෆින්ලන්තය නෙටෝවට ඈදා ගැනේ  

අප්‍රේල් මස මුලදී, යෝජනාව අනුමත කිරීමට අවශ්‍ය නේටෝවේ අවසාන සාමාජිකයා වූ තුර්කි පාර්ලිමේන්තුව විසින් එකදු විරෝධී ඡන්දයකින්වත් තොරව අනුමත කිරීම kසම්මත කිරීමෙන් පසුව, ෆින්ලන්තය  එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ හමුදා සන්ධානයේ 31 වැනි සාමාජිකයා බවට පත්විය.

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, නේටෝවේ දශක ගනනාවක් තිස්සේ ආක්‍රමණශීලී නැගෙනහිර දෙසට ව්‍යාප්ත කිරීමේ කොටසකි.  එය රුසියාව සමඟ යුද්ධයක දී සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටිකව සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

ෆින්ලන්තය ඇතුළත් කිරීමින් නේටෝව තවදුරටත් ව්‍යාප්ත කිරීම, විශාලතම න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් දෙදෙනා වන එක්සත් ජනපදය හා රුසියාව අතර සෘජු යුද්ධයක තර්ජනය නව තලයකට ඔසවා තබයි.  ෆින්ලන්තයේ කිලෝමීටර් 1,300ක දේශසීමාව දැන් රුසියාව අර්ධ යටත් විජිතයක තත්ත්වයට යටත් කර එහි ස්වභාවික සම්පත්වල පාලනය අල්ලා ගැනීමේ අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යුද්ධයේ පෙරමුණේ කොටසකි.

ආක්‍රමණශීලී මිලිටරි සන්ධානයට රට සීඝ්‍රයෙන් ප්‍රවේශ වීම සිදුවූයේ, අන්ත දක්ෂිනාංශික ෆින්ස් පක්ෂය සමග විභව සභාග ආන්ඩුවකට වේදිකාව සකසමින්, අප්‍රේල් 2 වැනිදා පැවති මහා මැතිවරනයේ දී දක්ෂිනාංශික ජාතික සභාග පක්ෂය (National Coalition Party) ජයග්‍රහණය කර දින දෙකකට පසුවය.  නව ජනාධිපති Sauli Niinistö පැවසුවේ, “අපේ ඉතිහාසයේ හමුදා නොබැඳි යුගය අවසන් වී ඇත.  නව යුගයක් ආරම්භ වේ,” යනුවෙන් ය.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, පසුගියදා පැවති මහ මැතිවරනයේදී පරාජයට පත් වූ, ඉවත්ව යන සමාජ-ප්‍රජාතන්ත්‍රවාදී නායකත්වයෙන් යුත් සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය. මැතිවරණයේ ප්‍රධාන ජයග්‍රාහකයින් වූයේ කොන්සර්වේටිව් ජාතික සභාග පක්ෂයයි.

හිටපු අගමැතිනි සනා මාරින්ගේ යුද ගැති වැඩපිලිවෙලට ඇයගේ ආන්ඩුවේ විදේශ ඇමති තනතුර දැරූ හරිතයන් සහ ෆින්ලන්ත කොමියුනිස්ට් පක්ෂයේ අනුප්‍රාප්තික සංවිධානය වන වාම සන්ධානය විසින් සහාය දක්වන ලදී.

ප්‍රධාන කම්කරු පන්තික අරගලවල ඇඟිලි ගැසීම්වලින් තොරව ඡන්දය ඉදිරියට යන බව සහතික කර ගනිමින් දක්ෂිණාංශික පක්ෂවලට ජයග්‍රාහී ලෙස මැතිවරනයෙන් මතුවීමට කොන්දේසි නිර්මානය කිරීමට ෆින්ලන්ත වෘත්තීය සමිති ද ප්‍රමුඛ විය.  මෑත මාස කිහිපය පුරා, උද්ධමනය විසින් මෙහෙයවනු ලබන විවිධ කම්කරුවන්ගේ සටන්කාමී වැඩ වර්ජන පුපුරා ගොස් ඇත.  කෙසේ වෙතත්, සියලු අරගල සාමූහික කේවල් කිරීමේ ක්‍රමයේ රාමුව තුළ යටපත් කර එකිනෙකින් වෙන්ව තබා ගන්නා ලදී.

ෆින්ලන්තයේ ප්‍රවේශය යුක්රේනයේ වසන්ත කාලයේ ප්‍රහාරයක් සඳහා වන එක්සත් ජනපද සැලසුම් සමඟ සමීපව බැඳී ඇති අතර, එය රුසියානු දේශසීමාවේ ප්‍රධාන මිලිටරි ගොඩ නැගීමක් සමඟින් සිදුවනු ඇත.

නේටෝ රාජ්‍ය පහක් දැනට රුසියාවට මායිම් වේ: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, පෝලන්තය සහ නෝර්වේ.  ෆින්ලන්තය එක් වූ පසු නේටෝ දේශ සීමාව දෙගුණයක් වනු ඇත.  යුරෝපයේ රාජ්‍යයන් අතරින් රුසියාව සමඟ විශාලතම ගොඩබිම් මායිම, සැතපුම් 830 ක දුරක්, ෆින්ලන්තය සතුව ඇත.

ෆින්ලන්ත දේශ සීමාව රුසියාවේ වැදගත්ම ආර්ථික හා දේශපාලන මධ්‍යස්ථානයක් වන ශාන්ත පීටර්ස්බර්ග් සිට සැතපුම් 100 ක් දුරින් පිහිටා ඇත.  ෆින්ලන්තය රුසියාව විසින් භාවිතා කරන වැදගත් මුහුදු සන්නිවේදන මංතීරු පාලනය කරන අතර එය බෝල්ටික් මුහුදේ සහ ආක්ටික් ප්‍රදේශයේ ආධිපත්‍යය සඳහා පොරබැදීමේ ප්‍රධාන කාර්යභාරයක් ඉටු කරයි.

රුසියාව සමඟ නේටෝවේ පුළුල් කළ ගොඩබිම් දේශසීමාව දැවැන්ත ලෙස මිලිටරීකරනය වෙමින් පවතී.  මාර්තු 18දා Politico වාර්තා කලේ, “ඉදිරි මාසවලදී, සන්ධානය සන්ධානයේ නැගෙනහිර මායිමේ ආයුධ ගබඩා කිරීමේ ප්‍රයත්නයන් වේගවත් කරන අතර කෙටි දැනුම්දීමකින් මිත්‍ර පාක්ෂිකයින්ගේ ආධාර සඳහා මැදිහත් විය හැකි දස දහස් ගනනක් හමුදා පිහිටවනු ඇත.”

නේටෝවේ “නැගෙනහිර බලඇනිය” වැඩි වැඩියෙන් ෆින්ලන්තයේ සිට යුක්රේනය දක්වා විහිදී ගිය දෙවන ලෝක සංග්‍රාමයේ නැගෙනහිර පෙරමුණේ යුධ රේඛාවලට සමාන වේ.  දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනියේ ප්‍රධාන මිතුරෙකු වූ අතර, දැන් ශාන්ත පීටර්ස්බර්ග් වන ලෙනින්ග්‍රෑඩ් වටලෑම ඇතුළුව සෝවියට් සංගමයට එරෙහි සමූලඝාතන යුද්ධයේදී තීරනාත්මක කාර්යභාරයක් ඉටු කළ බැවින්, ෆින්ලන්තය නේටෝ සන්ධානයට ඇතුළත් කිරීමේ පියවරට දැවැන්ත ඓතිහාසික වැදගත්කමක් ඇත. .

නේටෝව තවදුරටත් පුලුල් කිරීමේ පියවර බයිඩෙන් පරිපාලනය සහ මාධ්‍ය විසින් “ප්‍රකෝප නොකළ යුද්ධයක්” පිලිබඳ ප්‍රවර්ධනය කරන ලද සියලුම ප්‍රකාශයන් ද යටපත් කර ඇත.  ධවල මන්දිරයේ ගොතනලද ආඛ්‍යානයට අනුව, යුක්‍රේනයේ යුද්ධය 2022 පෙබරවාරි මාසයේදී තනි මිනිසෙකු (රුසියානු ජනාධිපති පුටින්) විසින් දියත් කරන ලද “තෝරාගත් යුද්ධයකි”. 

එහෙත් එක්සත් ජනපදය/නේටෝව සහ රුසියාව අතර ගැටුම යුක්‍රේන දේශසීමාව සම්බන්ධයෙන් පුපුරා ගිය අතර, එය ඇත්ත වශයෙන්ම, චීනය සමඟ ගැටුමක් සූදානම් කිරීම සඳහාවන කොටසක් වශයෙන්, රුසියාව වටකර, දුර්වල කිරීමට සහ අවසානයේ කපා කොටා කඩා බිඳ දැමීමට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් ගෙන යන දශක ගනනාවක නැගෙනහිර දසට කෙරෙන ප්‍රකෝපකාරී ව්‍යාප්තකරනයක ප්‍රතිපලයකි.  

රුසියාවට එරෙහිව එක්සත් ජනපදය ප්‍රමුඛ නේටෝ බලවතුන් විසින් තීව්‍ර කෙරෙන යුද්ධය මධ්‍යයේ මෙම පියවර, සමස්ත නෝර්ඩික් කලාපයම විභව යුධ පිටියක් බවට පත් කරන අතර න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධයක අන්තරාය වැඩි කරයි.

සෝවියට් සංගමය විසුරුවා හැරීම මධ්‍යයේ සහ ඉන් පසුව, එක්සත් ජනපදය නැගෙනහිර යුරෝපීය රාජ්‍යයන් නේටෝවට ඇතුළත් කිරීම සක්‍රීයව ක්‍රියාත්මක කළ අතර, රට අස්ථාවරත්වය ඇති කිරීමට සහ රට ඛණ්ඩනය කිරීමට රුසියාව තුළ ජාතිකවාදී ව්‍යාපාරවලට ඉන්ධන සපයයි.

1990 සිට, රටවල් 13ක් නේටෝවට සම්බන්ධ වී ඇති අතර, එහි සාමාජිකත්වය ඵලදායී ලෙස දෙගුණ කරයි.  එම කාලය තුළ නේටෝ දේශ සීමාව සැතපුම් 800 ක් නැගෙනහිර දෙසට ගෙන ගොස් ඇත.

1998 දී, එක්සත් ජනපද සෙනෙට් සභාව පෝලන්තය, හංගේරියාව සහ චෙක් ජනරජය අන්තර්ග්‍රහනය කර නේටෝව ව්‍යාප්ත කිරීමට පක්ෂව ඡන්දය දුන්නේය.  “ඇත්ත වශයෙන්ම, මෙය තවත් වසර 50ක සාමයේ ආරම්භයයි,” එවකට සෙනෙට් සභික වූ  බයිඩන් පැවසීය.  2001 ජූනි 15දා, පෝලන්තයේ වෝර්සෝ හි පැවති දේශනයකදී එක්සත් ජනපද ජනාධිපති ජෝර්ජ් ඩබ්ලිව්. බුෂ්, “බෝල්ටික් සිට කළු මුහුද දක්වා” විහිදෙන රටවල වළල්ලක් නිර්මාණය කිරීම සඳහා ඔහුගේ “නේටෝව විශාල කිරීමේ සැලැස්ම” ප්‍රකාශ කළේය.

2004 දී නේටෝව තවත් රටවල් හතක් එකතු කරමින් නැවතත් පුළුල් විය: එස්තෝනියාව, ලැට්වියාව, ලිතුවේනියාව, ස්ලෝවැකියාව, ස්ලෝවේනියාව, බල්ගේරියාව සහ රුමේනියාව එම රටවල් වේ. මෙම නැගෙනහිර යුරෝපීය රටවල් සියල්ලම සීතල යුද්ධයේදී සෝවියට් සංගමයේ කොටසක් හෝ එහි පරිවාර රාජ්‍යයන් විය.

ක්‍රොඒෂියාව සහ ඇල්බේනියාව 2009 දී නේටෝවට සම්බන්ධ විය.  මොන්ටිනිග්‍රෝව 2017 දී එක් වූ අතර උතුරු මැසිඩෝනියාව 2020 දී එක් විය.

යුක්රේනය නේටෝවේ සාමාජිකයෙකු බවට පත් නොවන බවට රුසියාව සහතිකයක් ඉල්ලා සිටීම පිලිබඳව සාකච්ඡා කිරීම බයිඩෙන් පරිපාලනය ප්‍රතික්ෂේප කිරීම මගින් යුක්රේනයට එරෙහි යුද්ධයම උසිගන්වන ලදී.  ආක්‍රමණය, අධිරාජ්‍යවාදී වටලෑමට ප්‍රතිචාරයක් ලෙස රුසියානු කතිපයාධිකාරයේ කන්ඩායමක් නියෝජනය කරන පුටින් ආන්ඩුව දැක්වූ ප්‍රතිගාමී සහ අදූරදර්ශී ප්‍රතිචාරයයි.

1997 දී, ක්ලින්ටන් පරිපාලනය චෙක් ජනරජය, හංගේරියාව සහ පෝලන්තය නේටෝවට ඇතුළත් කිරීමේ ව්‍යාපාරයක් ආරම්භ කරමින් සිටියදී, සීතල යුද්ධයේ මූලෝපායඥයා සහ “පාලනය කිරීම” පිළිබඳ න්‍යායේ කර්තෘ ජෝර්ජ් එෆ්. කෙනන් “එය කෙසේ හෝ සිදු වී ඇති බව” පිළිගත්තේය.  රුසියාවේ දේශසීමා දක්වා නේටෝව ව්‍යාප්ත කිරීමට කොතැනක දී හෝ තීරණය ගෙන තිබේ.  “නේටෝව පුලුල් කිරීම සමස්ත පශ්චාත් සීතල යුධ යුගයේ ඇමරිකානු ප්‍රතිපත්තියේ වඩාත්ම දෛවෝපගත වැරැද්ද වනු ඇති” බවට ඔහු අනතුරු ඇඟවීය.

ඉනික්බිති දශක දෙකක කාලය තුල, සමස්ත එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතය සහ මාධ්‍ය නේටෝවේ ව්‍යාප්තිය සහ රුසියාව සමග ගැටුමක් අවුලුවාලීමේ උත්සාහයන් වැලඳගෙන ඇත.  නේටෝවේ ව්‍යාප්තියට එරෙහි ඕනෑම විරුද්ධත්වයක් “රුසියානු ප්‍රචාරකයක්” බව ප්‍රකාශ කිරීමත් මෙම යුද උණ රෝගය සමඟ සමපාත විය.

තුර්කි ව්‍යාජ වමේ සහාය ආන්ඩුවට:

එලඹෙන මැයි 14 ජනාධිපතිවරනය සහ පාර්ලිමේන්තු මැතිවරනයට පෙර, තුර්කි ජනාධිපති අර්ඩොගන් (Recep Tayyip Erdoğan)  ෆින්ලන්තයේ NATO සාමාජිකත්වය අනුමත කිරීම ඔහුගේ NATO සහචරයින්ට සංඥාවක් විය.  “ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් තීරණය, ‘තුර්කිය සන්ධානයේ ව්‍යාප්තියට බාධාවක්’ බවට බටහිර රටවල, විශේෂයෙන් එක්සත් ජනපදයේ වැඩෙන විවේචනවලට එරෙහිව පියවරකි,” යි BBC හි Türkçe ලිවීය. මෙම පියවර  “අපි නේටෝවට කැපවී සිටිමු” යි යන පණිවිඩයක් යවන ලදී.

ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වය අනුමත කරන ප්‍රොටෝකෝලය ඡන්දයට සහභාගී වන සියලුම පක්ෂවල ඡන්දයෙන් සම්මත විය. පාලක යුක්තිය සහ සංවර්ධන පක්ෂය (AKP) සහ එහි සගයා වන ෆැසිස්ට් ජාතික ව්‍යාපාර පක්ෂය (MHP) මෙන්ම කෙමාලිස්ට් රිපබ්ලිකන් ජනතා පක්ෂය (CHP) සහ ධනේශ්වර විරුද්ධ ජාතික සන්ධානයට නායකත්වය දෙන අන්ත දක්ෂිනාංශික “හොඳ පක්ෂය” (Good Party) සියල්ලෝම පක්ෂව ඡන්දය දුන්හ.

එර්ඩොගාන්ට “විකල්පයක්” ලෙස දක්වමින් ව්‍යාජ-වාම පක්ෂ සහාය දෙන CHP, ෆින්ලන්තයේ නේටෝ සාමාජිකත්වයට උද්‍යෝගයෙන් සහයෝගය දැක්වීය.  2022 පෙබරවාරියේ රොයිටර් පුවත් සේවයට කතා කරමින්, CHP නායක Kılıçdaroğlu අධිරාජ්‍යවාදී යුද සන්ධානයක් වන නේටෝව “ප්‍රජාතන්ත්‍රවාදයේ සහතිකයක්” ලෙස වර්ණනා කළේය.

ව්‍යාජ වාම පක්ෂ CHP හි විවෘත නේටෝ ගැති ආස්ථානය නොතකා, එයට දෙන සහාය, අධිරාජ්‍යවාදයට ඔවුන්ගේ සහයෝගය හෙලිදරව් කරයි.

ෆින්ලන්තයේ නාසි සහයෝගීත්වයේ වාර්තාව:

1917 ඔක්තෝබර් විප්ලවයෙන් ටික කලකට පසු බොල්ෂෙවික්වරුන් විසින් ප්‍රදානය කරන ලද නිදහසින් පසු දශක කිහිපය තුළ ප්‍රධාන අධිරාජ්‍යවාදී බලවතුන් සම්බන්ධයෙන් ෆින්ලන්තය තමන් දැරූ ආස්ථානය වෙත නැවත පැමිණෙමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි හිට්ලර්ගේ සමූලඝාතන යුද්ධයේ කොටසක් ලෙස දෙවන ලෝක සංග්‍රාමයේදී නාසි ජර්මනිය සමඟ සන්ධානයක් පිහිටුවීමට පෙර, ෆින්ලන්තය මුලින්ම සේවය කළේ  සිවිල් යුද්ධයේදී ප්‍රතිවිප්ලවවාදී සුදු ජාතිකයින්ගේ  මෙහෙයුම් වල ප්‍රධාන යුද කඳවුරක් ලෙසය.  ෆින්ලන්තයේ මිලිටරි නොබැඳිකම (military nonalignment), නාසි හමුදා සමඟ එක්ව ෆින්ලන්ත හමුදා ආක්‍රමණය කිරීමට සහ ෆින්ලන්ත දේශසීමාවේ සිට කිලෝමීටර් 250ක් දුරින් පිහිටි ලෙනින්ග්‍රෑඩ්, එනම් දැන් ශාන්ත පීටර්ස්බර්ග්, වටලෑමට ඔවුන්ගේ සහභාගීත්වයට ප්‍රතිචාර වශයෙන් සෝවියට් සංගමය විසින් කරන ලද ඉල්ලීමකි.  1945 න් පසු සෝවියට් සංගමයට එරෙහිව මිලිටරි මෙහෙයුම් දියත් කිරීමට ජර්මානු හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් ෆින්ලන්තය භාවිතා කළ හැකි බවට ස්ටැලින්වාදී නිලධරයේ භීතිය විය.

නිනිස්ටේ (Niinistö) ද අසම්භාව්‍ය ප්‍රකාශයක් කළේය: “ෆින්ලන්තයේ සාමාජිකත්වය කිසිවකුට එරෙහිව ඉලක්ක කර නැත.  එය ෆින්ලන්තයේ විදේශ සහ ආරක්ෂක ප්‍රතිපත්තියේ පදනම් හෝ අරමුණු වෙනස් නොකරයි.  ෆින්ලන්තය යනු ආරවුල් සාමකාමීව විසඳා ගැනීමට උත්සාහ කරන ස්ථාවර සහ පුරෝකථනය කළ හැකි නෝර්ඩික් රටකි.”

යථාර්තය නම්, ෆින්ලන්තය නේටෝවට ඇතුල් වීම, නෝර්ඩික් සහ බෝල්ටික් කලාපය පුරා දැවැන්ත මිලිටරි ගොඩ නැගීමක් සමග අත්වැල් බැඳගෙන තිබීමයි.  මාර්තු මාසයේදී, එක්සත් ජනපදය ප්‍රකෝපකාරී ලෙස න්‍යෂ්ටික බලය සහිත B-52 බෝම්බ හෙලන යානයක් ෆින්ලන්ත වෙරළට කිලෝමීටර් 40ක් ඔබ්බෙන් රුසියානු දූපතක් වන ගොග්ලන්ඩ් ආසන්නයට පියාසර කළේය.  නේටෝ හමුදා කලාපය තුළ ඔවුන්ගේ පැවැත්ම විශාල වශයෙන් පුළුල් කරනු ඇති අතර, එක්සත් ජනපදය ෆින්ලන්ත භූමියේ මිලිටරි මෙහෙයුම් සඳහා වැඩි ඉඩක් ලබා දීම සඳහා තමන්ගේම ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමකට එළැඹීමට අපේක්ෂා කරයි.  රට තුලට එන සංක්‍රමණිකයන්ගෙන් එල්ලවන “දෙමුහුන් යුද්ධ” පිලිබඳ  තර්ජනය උපුටා දක්වමින් හෙල්සින්කි රුසියාව සමග දේශසීමා වැටක් ඉදිකිරීමට ද පටන් ගෙන ඇත.  ස්වීඩනය නේටෝව තුලට ගෙන ඒමට ගෙනයමින් පවතින තල්ලුවෙන් අදහස් වනු ඇත්තේ රුසියාව මුලුමනින්ම මූලෝපායික වශයෙන් වැදගත් බෝල්ටික් මුහුදේ සතුරු විරුද්ධවාදීන් විසින් වට කර ඇති බවයි.

ෆින්ලන්තයේ නේටෝ ප්‍රවේශය, හිටපු අගමැති සන්නා මරින් විසින් නායකත්වය දෙන ලද පැවති සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආන්ඩුවේ යුද ගැති උරුමයේ කූටප්‍රාප්තිය විය.  යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට ඔවුන්ගේ සහයෝගය අවධාරනය කිරීමට මාරින් සහ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් මැතිවරන ව්‍යාපාරය යොදා ගත්හ.  ලොව ලාබාලතම අගමැතිවරියක ලෙස පුළුල් ලෙස ප්‍රශංසාවට ලක් වූ සහ සමලිංගික දෙමව්පියන් විසින් ඇය හදා වඩාගත් නිසා විවිධත්වයේ සංකේතයක් ලෙසින් ඔසවා තැබූ Marin, ෆින්ලන්තය අන්තයටම සන්නද්ධ කරමින් සහ එය නේටෝවට බද්ධ කිරීම සඳහා කටයුතු කරමින් කම්කරු පන්තියට ප්‍රහාර එල්ල කළ ආන්ඩුවකට නායකත්වය දුන්නාය. 

චීනයට එරෙහි ඇමරිකානු කඳවුරේ  යුද සැලසුම් තීව්‍ර කෙරේ

තායි ජනාධිපතිනියගේ ප්‍රකෝපකාරී ඇමරිකානු සංචාරය:

චීනය සමග හිතාමතාම ආතතීන් මතු කරන තවත් පියවරක් ලෙස, තායිවාන ජනාධිපති ට්සායි ඉන්ග්-වෙන් (Tsai Ing-wen) මාර්තු මස අවසානයේ නිව් යෝර්ක් හි ඇමරිකානු දේශපාලනඥයන් සහ නියෝජිතයින් සමඟ ඉහළ මට්ටමේ රැස්වීම් මාලාවක් පැවැත්වීය.

මෙම සංචාරය සම්බන්ධයෙන් චීනය කෝපයෙන් ප්‍රතිචාර දක්වා ඇත.  චීනයේ තායිවාන කටයුතු කාර්යාලයේ ප්‍රකාශක Zhu Fenglian අනතුරු ඇඟවූයේ Tsai සභානායක McCarthy හමුවුවහොත් එය “එක් චීනයක්” මූලධර්මය බරපතල ලෙස උල්ලංඝනය කරන, චීනයේ ස්වෛරීභාවයට සහ භෞමික අඛණ්ඩතාවයට හානි කරන සහ තායිවාන් සමුද්‍ර සන්ධිය කලාපයේ සාමය සහ ස්ථාවරත්වය විනාශ කරන තවත් ප්‍රකෝප කිරීමක් වනු ඇති බවයි. ”

ඇගේ රැස්වීම් මාධ්‍යයෙන් වසා තැබුනි. මාධ්‍ය වෙත කාන්දු වූ තොරතුරු පැහැදිලි කරන්නේ, චීනය සමඟ ආර්ථික හා මූලෝපායික ගැටුම උග්‍ර කරන විට ට්සායි එක්සත් ජනපදය සමග සබඳතා තහවුරු කරන බවයි.

‘එක් චීනයක්’ මූලධර්මය යටතේ, බීජිං තායිවානය සලකන්නේ චීනයේ අවියෝජනීය කොටසක් වනමුත් එය වෙතින් පලා යන පළාතක් ලෙස ය.  එය “එක් රටක්, ක්‍රම දෙකක්” පදනම මත සාමකාමී යලි එකමුතු කිරීම සඳහා කැඳවුම් කර ඇති නමුත්, තායිවාන ආන්ඩුව චීනයෙන් නිදහස නිල වශයෙන් ප්‍රකාශ කළහොත් එය බලහත්කාරයෙන් දිවයින ඈඳාගනු ඇති බවට දිගු කලක් තිස්සේ අනතුරු අඟවා ඇත.

බයිඩන් පරිපාලනය ප්‍රතිචාර දැක්වූයේ චීනයේ උත්සුකයන් බැහැර කිරීමෙනි.  ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක ප්‍රකාශක ජෝන් කර්බි වාර්තාකරුවන්ට පැවසුවේ ට්සායිගේ සංචාරය ඇය සහ පෙර තායිවාන ජනාධිපතිවරුන් කළ දේට අනුකූල බවයි.  ඇගේ “සංක්‍රමණය”[සංචාරය] තායිවානය සමඟ අපගේ දිගුකාලීන නිල නොවන සබඳතාවයට අනුකූල වන අතර එක්සත් ජනපදයේ ඒක-චීන ප්‍රතිපත්තියට අනුකූල වේ, එය නොවෙනස්ව පවතී,” ඔහු පැවසුවේය. “චීනය තායිවාන් සමුද්‍ර සන්ධිය වටා යම් ආක්‍රමණශීලී ක්‍රියාකාරකමක් වේගවත් කිරීමට කඩතුරාවක් ලෙස එය භාවිතා කිරීම” ට එරෙහිව ඔහු චීනයට අනතුරු අඟවීය.

යථාර්ථය නම්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා ආතතීන් අවුළුවන්නේ, චීනය සමග යුද්ධය සඳහා එහි සැලසුම් වේගවත් කරන එක්සත් ජනපද අධිරාජ්‍යවාදයයි.  ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, වොෂින්ටනය 1979 දී බීජිං සහ වොෂින්ටනය අතර විධිමත් රාජ්‍යතාන්ත්‍රික සබඳතා පිහිටුවීමට තුඩු දුන් සියුම් සමතුලිත හැසිරීම මූලික වශයෙන් වෙනස් කර ඇත.

එම අවස්ථාවේ දී, චීනය තායිවානය තම භූමියේ කොටසක් ලෙස සලකන බව එක්සත් ජනපදය පිළිගත් නමුත් බීජිං හි ස්ථාවරය නිල වශයෙන් අනුමත නොකළේය.  කෙසේ වෙතත්, එහි ක්‍රියාවන් ප්‍රායෝගිකව වැළඳ ගත්තේ One China මූලධර්මයයි: වොෂින්ටනය විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා කපා හැර තායිපේ සමග එහි මිලිටරි සන්ධානය අවසන් කර එක්සත් ජනපද හමුදා දිවයිනෙන් ඉවත් කර ගත්තේය.

දශක ගනනාවක් තිස්සේ, තායිවානයට ආරක්ෂක අවි අලෙවි කරන අතරතුර, ගැටුම් ඇති වූ විටක චීනයට එරෙහිව යුද්ධ කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවීම ප්‍රතික්ෂේප කළේය.  එය තායිවානයේ  අර්ධ තානාපති කාර්යාලයක් ලෙස ක්‍රියාත්මක වන ඇමරිකානු ආයතනය හරහා තායිපේ සමඟ පහත් නිල නොවන සම්බන්ධතා පවත්වා ගෙන ගියේය.  ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ මෙම රාජ්‍යතාන්ත්‍රික ප්‍රොටෝකෝල ඉරා දමා ඇත.

1995 ජූනි මාසයේදී තායිවානයේ එවකට ජනාධිපති ලී ටෙන්ග්-හුයි විසින් එක්සත් ජනපදයේ කල සංචාරයට, එනම් “තෙවන තායිවාන සමුඳු සංධීය අර්බුදය” සමඟ ට්සායිගේ සංචාරය සසැඳිය හැකිය.

නිව් යෝර්ක් වෙත පැමිණීමෙන් පසු, මාර්තු 30 වන දින, දක්ෂිණාංශික චින්තන පර්ශදයක් වන හඩ්සන් ආයතනය විසින් සංවිධානය කරන ලද රැස්වීමක දී සායි දේශනයක් පැවැත්වූ අතර, ට්සායි ප්‍රකාශ කළේ “තායිවානය ආරක්ෂා කිරීම ඇත්ත වශයෙන්ම ඇමරිකාවේ ආරක්ෂාවයි” යනුවෙනි.  වෙනත් වචන වලින් කිවහොත්, තායිවානය සම්බන්ධයෙන් චීනය සමග යුද්ධයකක් කිරීමට එක්සත් ජනපදය පැහැදිලි ලෙස කැපවිය යුතුය.

2022 අගෝස්තු මාසයේදී, ඩිමොක්‍රටිකයින් විසින් නියෝජිත මන්ත්‍රී මන්ඩලය පාලනය කරන විට, සභා කථානායක ලෙස නැන්සි පෙලෝසි, තායිවානය අවට මුහුදේ විශාල මිලිටරි ගැටුමක අන්තරාය මතු කරමින් තායිපේ වෙත ප්‍රකෝපකාරී සංචාරයක් කළේය.  චීන මිලිටරිය තායිවාන් සමුද්‍ර සන්ධිය තුලට මිසයිල අත්හදා බැලීම් සහ යුධ නෞකා යෙදවීමත් සමග, එක්සත් ජනපදය සහ එහි සහචරයින් තායිවානයට යාබදව ප්‍රධාන නාවික මෙහෙයුම් දියත් කලහ.

රුසියාවට එරෙහිව යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධයට සමාන ආකාරයකින්, වොෂින්ටනය සිය ගෝලීය ආධිපත්‍යයට ප්‍රධාන තර්ජනය ලෙස සලකන චීනය අස්ථාවර කිරීමේ සහ අවසානයේ බිඳ දැමීමේ මාධ්‍යයක් ලෙස තායිවානය සම්බන්ධයෙන් විනාශකාරී ගැටුමකට බීජිනය ඇද ගැනීමට එක්සත් ජනපදය උත්සාහ කරයි.

ට්සායි – මැකාති හමුව: 

ඇය තායිවානයට ආපසු යාමට සූදානම් වෙමින්, ට්සායි එක්සත් ජනපද වත්මන් සභා කථානායක කෙවින් මැකාති සහ කැලිෆෝනියාවේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන් සමඟ ඉහළ මට්ටමේ රැස්වීමක් සහ මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වීය.

මෙම රැස්වීම “එක-චීන” ප්‍රතිපත්තිය අවසන් කිරීමට, තායිවානය සමඟ විධිමත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට සහ චීනය සමඟ එක්සත් ජනපදයේ ගැටුම තීව්‍ර කිරීමට ධවල මන්දිරය සහ කොන්ග්‍රසයේ ද්විපාර්ශ්වික උත්සාහයේ නවතම පියවර විය.  උප ජනාධිපති කමලා හැරිස්ට පසුව, ජනාධිපති පදවියේ දෙවන අනුප්‍රාප්තිකයා වන මැකාති සමඟ හමුවීම, වොෂින්ටනය 1979 දී තායිපේ සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා විධිමත් ලෙස බිඳ දමා බීජිං සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ගොඩනඟා ගැනීමෙන් පසු එක්සත් ජනපද භූමියේ ඉහළම මට්ටමේ හමුවීම විය.  එකල, එක්සත් ජනපදය තත්‍යානුකූලව, තායිවානය ඇතුළු සමස්ත චීනයේ නීත්‍යානුකූල ආන්ඩුව ලෙස බීජිනය පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියක් අනුගමනය කළේය.

රැස්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මැකාති, තායිවානයට ආයුධ පොම්ප කිරීමට එක්සත් ජනපදය දිරිමත් කළේය.  “අපි තායිවානයට ආයුධ අලෙවිය දිගටම කරගෙන යා යුතු අතර ඒවා ඉතා කාලෝචිත පදනමක් මත තායිවානය වෙත ළඟා වන බවට වග බලා ගත යුතුය,” ඔහු පැවසීය.  “ඉතිහාසය හරහා අපි දන්නා පාඩම නම්, යුද්ධය වැලැක්වීමට හොඳම ක්‍රමය” යනු “යුද්ධය වැලැක්වීමට මිනිසුන්ට ඉඩ දෙන ආයුධ සැපයීමයි” ඔහු ඕවෙලියානු ස්වරයෙන් ප්‍රකාශ කළේය. ඔහු පැවසුවේ යුක්රේනය සන්නද්ධ කර පැවතීම යුද්ධය වළක්වනු ඇතිව පැවති බවය. එහෙත්, සත්‍යය නම් එවැනි ආයුධ සන්නද්ධවීමක් කිසි විටෙකත් යුද්ධය වැළැක්වා නැති බවත්, නමුත් තවත් යුද්ධ අවුලුවා ඇති බවත් ය.

චීනයට එරෙහි ඩිමොක්‍රටික්-රිපබ්ලිකන් දෙකට්ටුව:

තායිවානය සන්නද්ධ කිරීම සම්බන්ධයෙන් ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකානුවන් අතර මතභේද තිබේදැයි වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් මැකාති පැවසුවේ, “එය ද්විපාර්ශ්වික ආස්ථානයක් බව මම විශ්වාස කරමි…  ඔවුන්ගෙන් [ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගෙන්] මට ඇති වූ හැඟීමම එයයි… චීනය සම්බන්ධයෙන් ගත්කල අපි එක හඬින් කතා කරන්නෙමු, ”ඔහු වැඩිදුරටත් පැවසීය.

චීන කොමියුනිස්ට් පක්ෂය (සීසීපී) සම්බන්ධ පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවේ ඩිමොක්‍රටික් සාමාජිකයෙක් වන රාජා ක්‍රිෂ්ණමූර්ති, ධවල මන්දිරයේ සටන්කාමී චීන විරෝධී ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් සම්පූර්ණ ඒකමතිකත්වයේ ස්වරයම ප්‍රකාශ කළේය.

සෙනෙට් සන්නද්ධ සේවා කමිටුවේ ද්විපාර්ශ්වික සෙනෙට් සභිකයින් පිරිසක් මාර්තු 31 සිකුරාදා නිව් යෝර්ක් නගරයේ දී ට්සායි හමුවූ බව හෙළි කළහ.  රැස්වීම ගැන ඔවුන්ගේ අදහස්, මැකාතිගේ අදහස්වලට වඩා යුද ධාවනකාරී විය.

“බෙයිජිංහි ආඥාදායකයින් කොංග්‍රසයේ සාමාජිකයින්ට, විශේෂයෙන්ම ඇමරිකානු භූමියේදී, හමුවිය හැකි හෝ නොහැකි කුමන විදේශීය නායකයින්ද යන්න තීරණය නොකළ යුතුය,” යනුවෙන් රිපබ්ලිකන් සෙනෙට් සභික ඩෑන් සුලිවන් පැවසීය.  “එක්සත් ජනපද සෙනෙට් සභාව … චීන කොමියුනිස්ට් පක්ෂයේ නියෝග පිලිපදින්නේ නැත.  තායිවානය හුදකලා යයි ලෝකය විශ්වාස කිරීමට සීසීපීයට අවශ්‍ය වුවද, සත්‍යය එය හුදෙකලා නොවන බවයි”.

“අපි දන්නවා කොමියුනිස්ට් චීනය, එනම් අපගේ නැගඑන තර්ජනය, ඔවුන්ගේ අසල්වැසි සහ ප්‍රධාන එක්සත් ජනපද හවුල්කරු වන තායිවානය දෙස නෙත් යොමා සිටින බව,” ඔහු පැවසීය, “තායිවානය සමඟ ඇමරිකාවේ හවුල්කාරිත්වය වැඩි දියුණු කළ හමුදා පුහුණුව සහ වේගවත් ආයුධ හුවමාරුව හරහා ශක්තිමත් කළ යුතුය.”

එක්සත් ජනපද ගුවන් හමුදාවේ ජෙනරාල් මයිකල් මිනිහාන් මේ වසර මුලදී 2025 වන විට චීනය සමඟ ඇමරිකානු යුද්ධයක් පුරෝකථනය කළේය.

‘එක-චීනයක්’ ප්‍රතිපත්තිය අවසානයකට ගෙන එමින්:

මැකාති ට්සායි සමඟ හමුවීම, චීනය සහ එක්සත් ජනපදය අඩසියවසකට ආසන්න කාලයක් යුද්ධයෙන් වැළකී සිටීමට සමත් වූ ඒක-චීන ප්‍රතිපත්තිය ඉරා දැමීම ඉලක්ක කරගත් පියවර මාලාවක නවතම එක පමණි.

ඉහල මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික හුවමාරු දිරිමත් කිරීම, තායිවානයට ආයුධ අලෙවිය වේගවත් කිරීම සහ පටු තායිවාන් සමුද්‍ර සන්ධියේ සහ දකුනු චීන මුහුදේ නාවික ප්‍රකෝප කිරීම් සිදු කිරීම මගින් දශක හතරක් තිස්සේ එක්සත් ජනපද-චීන ​​සබඳතා පදනම් වූ  එක්-චීනයක් ප්‍රතිපත්තිය බිඩෙන් පරිපාලනය බලාත්මකව අත් හැර දමමින් තිබේ.

මාර්තු 24 වන දින, එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය “තායිවානයට සහතිකවීම ක්‍රියාත්මක කිරීමේ පනත” (Taiwan Assurance Implementation Act) සම්මත කරන ලද අතර, එය “එක්සත් ජනපද-තායිවාන සබදතා මත ඉතිරිව ඇති ඕනෑම ස්වයං-පනවා ඇති සීමාවන් ඉවත් කිරීමට සහ ඒ සඳහා සැලැස්මක් ප්‍රකාශ කිරීමට” අවස්ථාවන් හඳුනා ගැනීමට රාජ්‍ය දෙපාර්තමේන්තුවට පවරයි.  මෙය එක්-චීනයක් ප්‍රතිපත්තිය විධිමත් ලෙස අවසාන කිරීම ක්‍රියාවට දමයි.

චීනය අනතුරු අඟවයි:

තායිවානය තම රටින් ඉවතට පලා යන පළාතක් ලෙස සලකන චීනය, දිවයින සාමකාමීව යලි ඒකාබද්ධ කිරීමට අවශ්‍ය බව පැහැදිලි කර ඇති නමුත්, අවශ්‍ය නම්, විශේෂයෙන්, තායිපේ විසින් විධිමත් ලෙස නිදහස ප්‍රකාශ කිරීමකදී බලය භාවිතා කරන බව පැහැදිලි කර ඇත.

ට්සායිගේ සංචාරයට ප්‍රතිචාර වශයෙන් චීනය දින තුනක් (9-11) පුරා හමුදා අභ්‍යාස මාලාවක් සමඟ ප්‍රතිචාර දක්වා ඇත.  සටන් මෙහෙයුම් පෙරහුරු කිරීම සඳහා සෑම දිනකම මිලිටරි ගුවන් යානා විශාල ප්‍රමාණයක් සහ චීන යුද නැව් බලමුලු ගන්වන ලද අතර, ඒවායින් බොහොමයක් ජාත්‍යන්තර නීතියේ පිලිගැනීක් නොමැති තායිවානයේ ගුවන් ආරක්ෂක හඳුනාගැනීමේ කලාපය සහ තායිවාන් සමුද්‍ර සන්ධියේ මධ්‍ය රේඛාව හරහා ගමන් කළහ.

බීජිං හි අනතුරු ඇඟවීම් නොතකා පසුගිය අගෝස්තු මාසයේදී එවකට සභා කථානායක නැන්සි පෙලෝසි තායිවානයට ගිය විට, චීන හමුදාව, එනම් මහජන විමුක්ති හමුදාව (PLA), දිවයින වටා ඇති ගුවන් අවකාශයේ සහ ජලයේ සතියක ප්‍රධාන අභ්‍යාස පැවැත්වීය.  නවතම අභ්‍යාසයන් එතරම්ම විශාලත්වයක් නොතිබුණද, එය තායිවාන රජයට පණිවිඩයක් ලබා දීම අරමුණු කෙරුනි.

“මෙය විදේශ බලවේග සමඟ හවුල් වී සිටින ‘තායිවානයේ ස්වාධීනත්වය’ පිලිබඳ බෙදුම්වාදීන්ගේ ප්‍රකෝප කිරීම්වලට එරෙහිව බරපතල අනතුරු ඇඟවීමක් වන අතර ජාතියේ ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ක්‍රියාමාර්ගයකි,” යි PLA හි නැගෙනහිර නාවික විධානය පැවසීය.  ජනාධිපති ට්සායි සහ ඇගේ තායිවාන ජාතිකවාදී ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රගතිශීලී පක්ෂය (DPP) බීජිං වෙතින් වැඩි නිදහසක් ඉල්ලා සිටියි.

චීනයේ ප්‍රතිචාරය සාපේක්ෂ වශයෙන් නිශ්ශබ්ද වුවද, එක්සත් ජනපදය මිලිටරි සහ රාජ්‍යතාන්ත්‍රික වශයෙන් සිය ප්‍රකෝප කිරීම් දිගටම කරගෙන ගියේය.  එක්සත් ජනපද නාවික හමුදාවේ හත්වන බලඇණිය  අප්‍රේල් 10 සඳුදා නිවේදනය කළේ එහි  මිසයිල විනාශ කරන්නා වූ Milius නැව දකුණු චීන මුහුදේ ස්ප්‍රැට්ලි දූපත් වල චීන පාලිත දූපත් වලට සමීපව “නාවික ගමනේ නිදහස” යන කඩතුරාව යටතේ බව යාත්‍රා කළ බවයි.

දශක ගනනාවක් තිස්සේ, එක්සත් ජනපදය චීනය සහ අග්නිදිග ආසියාවේ අසල්වැසි රටවල් අතර දකුනු චීන මුහුදේ භෞමික එදිරිවාදිකම් නොසලකා හැරියේය.  කෙසේ වෙතත්, ජනාධිපති ඔබාමාගෙන් පටන්ගෙන, පසුව ට්‍රම්ප් සහ බිඩෙන් යටතේ, එක්සත් ජනපද මිලිටරිය, බීජිනය සමග එහි ආක්‍රමණශීලී ගැටුමේ කොටසක් ලෙස, මෙම ගැටුම්කාරී සාගර කලාපය  තුළ චීනයට එරෙහිව එහි “නාවික ගමනාගමනයේ නිදහස” යන්න යටතේ ප්‍රකෝප කිරීම් උග්‍ර කර ඇත.

PLA හි දකුනු නාවික විධානය ඇමරිකානු නාවික හමුදාවේ මෙම මෙහෙයුම “නීති විරෝධී” ලෙස හෙලා දුටු අතර චීන නාවික යාත්‍රා “නැව (මිලියුස්) අධීක්ෂනය කර ඇති අතර නාවික සහ ගුවන් හමුදා සෑම මාර්ගයකම සීරුවෙන් තබා ඇති” බව නිවේදනය කලේය.

ප්‍රකෝපකරනය ඉදිරියටම: 

ඒ සමගම තවත් එක්සත් ජනපද නියෝජිත පිරිසක් ට්සායි සහ අනෙකුත් රජයේ නිලධාරීන් සමග ඉහල මට්ටමේ සාකච්ඡා සඳහා තායිපේ වෙත පැමිණියහ.  මෙම සංචාරයට අප්‍රේල් 08 සෙනසුරාදා තායිවාන ජනාධිපතිවරයා හමුවූ නියෝජිත මන්ත්‍රී මන්ඩලයේ විදේශ කටයුතු කමිටුවේ සාමාජිකයින් සම්බන්ධ විය.

වොෂින්ටනයේ එක්-චීනයක් ප්‍රතිපත්තිය යටතේ, එක්සත් ජනපදය තායිවානය සමඟ සාමාන්‍යයෙන් පවත්වාගෙන ගියේ නොසලකා හරින ලද සම්බන්ධතාවයන්ය.   ට්‍රම්ප් සහ දැන් බිඩෙන් යටතේ, හමුදා නිලධාරීන් ඇතුළු සියලු මට්ටම්වල අසීමිත සංචාර සඳහා ඉඩ සැලසීම පිණිස රාජ්‍යතාන්ත්‍රික රීති පොත ඉරා දමා ඇත.

විශේෂයෙන් ප්‍රකෝපකාරී ප්‍රකාශයක් කරමින්, කමිටු සභාපති මයිකල් මැකෝල්, තායිවානයේ මිලිටරියට එක්සත් ජනපද පුහුණුව සඳහා සහය ලබා දෙන බවට පොරොන්දු විය.  එක්සත් ජනපදය 1979 දී තායිවානය සමඟ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා අවසන් කිරීමත් සමඟ, එය දිවයින සමඟ තිබූ මිලිටරි සන්ධානය අවලංගු කර සියලු හමුදා ඉවත් කර ගත්තේය. එහෙත්, එක්සත් ජනපදය දැන් තායිවානයේ තම නිලධාරීන් සංඛ්‍යාව වැඩි කරමින් සිටී.

මැකෝල් චීනයේ “ඔබේ ජාතියට එරෙහි ආක්‍රමණශීලී ක්‍රියා” හෙළා දුටුවේය: “මම අපේ ජාතීන් දෙක එක්ව, සාමය සහ සමෘද්ධියෙන් යුත්  විශිෂ්ට අනාගතයක් බලාපොරොත්තු වෙමි.  අපි තායිවානය සමඟ සිටිමු” යි පැවසීය.

මෙම  ප්‍රකාශවල වංචනීයභාවය බේරෙයි.  එහි ලෝක ආධිපත්‍යය පවත්වා ගැනීමේ උත්සාහයේදී, එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පසුගිය දශක තුන පුරා මැද පෙරදිග, මධ්‍යම ආසියාව, උතුරු අප්‍රිකාව සහ බෝල්කන් ප්‍රදේශවල අඛණ්ඩව ආක්‍රමනකාරී යුද්ධ දියත් කර ඇත.  දැන් එක්සත් ජනපදය හා එහි නේටෝ සහචරයෝ න්‍යෂ්ටික සන්නද්ධ රුසියාව සමග නොසැලකිලිමත් ලෙස යුක්‍රේනය බලල් අතක් ලෙස යොදාගෙන යුද්ධයක යෙදී සිටිති. එය වොෂින්ටනය සලකන්නේ එහි ගෝලීය තත්වයට ප්‍රධාන තර්ජනයක් ලෙස පවතින චීනය සමග යුද්ධයේ පූර්විකාවක් ලෙස ය.

චීනයට එරෙහි බිඩෙන් පරිපාලනයේ ක්‍රියාන්විතය රුසියාවට එරෙහි ක්‍රියා පටිපාටියට සමාන ය: තායිවානයට පහර දීමට බීජිං පොළඹවා චීනය දුර්වල කිරීමට හා ඛණ්ඩනය කිරීමට ඉවහල වන යුද්ධයකට ඇද දැමීම.  තායිවානය ආරක්ෂා කරන බවට වොෂින්ටනයේ ප්‍රකාශයන් යුක්‍රේනයට සහය දැක්වීමේ ප්‍රකාශ මෙන් ම ව්‍යාජ ය.  එහි අතිමූලික මූලෝපායික අරමුන වන්නේ යුරේසියානු භූමි ප්‍රදේශයේ සහ එහි අතිවිශාල ස්වභාවික හා මානව සම්පත්වල ආධිපත්‍යය යි.

“චීනය පරාද කිරීමේ” AUKUS මිලිටරි ගිවිසුම:

ඔස්ට්‍රේලියානු කම්කරු පක්ෂ මන්ත්‍රී මෙරිල් ස්වන්සන් සහ ලිබරල් සෙනෙට් සභික ජේම්ස් පැටර්සන්, පසුගිය මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ඩොලර් බිලියන 368 ක සබ්මැරීන ගනුදෙනුව, චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් රාජධානිය-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ක්‍රියාත්මක කිරීම ගැන සාකච්ඡා කිරීමට අප්‍රේල් මස මුලදී වොෂින්ටනයට පැමිණ සිටියහ.  ගිවිසුම යටතේ, ඕස්ට්‍රේලියාව ලබන දශකය තුළ න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන බල ඇණියක් එක්සත් ජනපදයෙන් අත්පත් කර ගනු ඇත. බ්‍රිතාන්‍යය සමඟ සහයෝගයෙන් සබ්මැරීනයේ නව සැලසුමක් මත ඒකාබද්ධ ඉදිකිරීම් ආරම්භ කිරීමට පෙර මේවා ඔස්ට්‍රේලියාවට ලැබීමට නියමතය.

න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන අත්පත් කර ගැනීම සඳහා ඕස්ට්‍රේලියාව සඳහා වූ AUKUS ගිවිසුම “අපගේ ජීවිත කාලයටම තර්ජනයක්” ලෙස ඔවුන් විස්තර කළ චීනය “පරාජය කිරීම” අරමුනු කරගත් බව බයිඩන් පරිපාලනයේ ඉහල නිලධාරීහු ප්‍රකාශ කළෝය.

මාර්තු මාසයේදී, බයිඩන් පරිපාලනයේ එක්සත් ජනපද ජාතික ආරක්ෂක සම්බන්ධීකාරක කර්ට් කැම්බල් ද නවසීලන්තයේ වෙලින්ටන් වෙත ගොස්, ඉදිරි යුද මෙහෙයුම් වලදී නවසීලන්තය මූලික කොටසක් බවට පරිවර්තනය කල හැකි AUKUS මිලිටරි ගිවිසුමේ භූමිකාවක් එරටටද ඉටු කළ හැකිද යන්න සාකච්ඡා කළ බව වාර්තා වේ.  

අධිරාජ්‍යවාදී සන්ධානය රුසියාව සමඟ සෘජු යුද්ධයකට සමීප වෙමින් තිබියදී පවා, නේටෝ මහලේකම් ජෙන්ස් ස්ටෝල්ටන්බර්ග්, අප්‍රේල් 4දා මාධ්‍යවේදීන්ට පැවසුවේ, “[චීනය] රුසියානු ප්‍රචාරණය ප්‍රතිරාවය කරන අතර එය රුසියාවේ ආර්ථිකයට මුක්කු ගසයි”  යනුවෙනි.  නේටෝව “දැන් ඉන්දු-පැසිෆික් කලාපයේ අපගේ හවුල්කරුවන් වන ජපානය, දකුණු කොරියාව, නවසීලන්තය සහ ඕස්ට්‍රේලියාව සමඟ අපගේ සහයෝගීතාවය ඉහළ නංවමින් සිටින බව” ඔහු පැවසීය.

ඕස්ටේ‍්‍රලියාව සබ්මැරීන අත්පත් කර ගැනීම, කම්කරු ආන්ඩුව අවධාරනය කර ඇති පරිදි, “ප්‍රහාර වළක්වන්නක්” ලෙස අදහස් කරන ලද  ආරක්ෂක පියවරක් බවට කරන ප්‍රකාශයන්ට පටහැනිව, එක්සත් ජනපදයේ ඉහල නිලධාරීන් AUKUS මෙන්ම සබ්මැරීන ද ඇමරිකානු විදේශ ප්‍රතිපත්තියේ ආක්‍රමණශීලී මෙවලමක් ලෙස ඉදිරිපත් කළහ. 

රාත්‍රී භෝජන සංග්‍රහයේදී අදහස් දක්වමින් එක්සත් ජනපද නාවික හමුදා ලේකම් කාලෝස් ඩෙල් ටෝරෝ මෙසේ ප්‍රකාශ කළේය: “කියුබාවේ උපත ලැබීමෙන් මම කොමියුනිස්ට්වාදය යනු කුමක්දැයි පෞද්ගලිකව වටහාගෙන සිටිමි. ඇත්ත වශයෙන්ම  චීනයේ තර්ජනය සහ ඔවුන් ලෝක පර්යාය විනාශ කිරීම හැකි සෑම ආකාරයකින්ම පරාජය කිරීම සඳහා අප රාජ්‍යයන් තුන කැපවී සිටිමු.”

දශක ගණනාවකට පෙර ධනවාදය ප්‍රතිෂ්ඨාපනය කළ චීන තන්ත්‍රයක් ගැන ඩෙල් ටෝරෝගේ උමතු කොමියුනිස්ට් විරෝධී ප්‍රකාශය, එක්සත් ජනපදයේ ෆැසිස්ට්වාදී කියුබානු සංක්‍රමණික ප්‍රජාව තුළ ඔහුගේ පසුබිම සමඟ බැඳී ඇති බවට සැකයක් නැත.

එම ප්‍රකාශ එක්සත් ජනපද ආන්ඩුවේ සහ පෙන්ටගනයේ මූලධර්මවලට සම්පුර්ණයෙන්ම අනුකූල විය.  2018 දී, පෙන්ටගනයේ යුද මූලෝපායික ලේඛනයක් ප්‍රකාශ කළේ: “මහා බල තරඟය – ත්‍රස්තවාදය නොවේ – දැන් එක්සත් ජනපද ජාතික ආරක්ෂාවේ මූලික අවධානයයි.”  එය පැහැදිලිවම චීනය සහ රුසියාව එක්සත් ජනපද ගෝලීය ආධිපත්‍යයට තර්ජනයක් ලෙස හඳුනා ගත්තේය.

බයිඩන් පරිපාලනයේ 2022 ජාතික ආරක්ෂක උපායමාර්ගය ප්‍රකාශ කළේ: “අපි මහජන චීන සමූහාණ්ඩුව සමඟ ප්‍රතිථලදායී ලෙස තරඟ කරන්නෙමු. චීනය ජාත්‍යන්තර පර්යාය නැවත හැඩගැස්වීමේ අභිප්‍රාය සහ වැඩි වැඩියෙන් හැකියාව ඇති එකම තරඟකරුවා වේ.”

ඇමරිකානු හමුදාවේ ගෝලීය ක්‍රියාකාරකම්වලට චීනය තර්ජනයක් නොවන බව අනෙකුත් එක්සත් ජනපද රජයේ ලේඛන පිළිගෙන ඇත.  නිදසුනක් වශයෙන්, පසුගිය වසරේ, ආරක්ෂක දෙපාර්තමේන්තු වාර්ෂික වාර්තාව ප්‍රකාශ කළේ චීනයේ එකම මිලිටරි අභිලාෂය වූයේ “එක්සත් ජනපදය චීනයේ පරිධියේ වාඩිලෑම සීමා කිරීම” බවයි.

යථාර්ථයේ දී, “ජාත්‍යන්තර පර්යාය” පිලිබඳ සඳහන් කිරීම්, එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ දිග්ගැස්සුනු පරිහානිය මධ්‍යයේ සිදුවන චීනයේ ආර්ථික වර්ධනය ඇමරිකානු ධනවාදයේ ප්‍රමුඛත්වයට තර්ජනයක් වේ යැයි බිය මතු කරයි.

ඕස්ට්‍රේලියානු සංචාරයේ එක් අංගයක් වූයේ, ආසියාවෙන් දියත් කරන ලද ආක්‍රමණයක තර්ජනයට ඕස්ට්‍රේලියාව මුහුණ දී නොමැති බවට වන හිටපු අගමැති පෝල් කීටින්ගේ ස්ථාවරයට සහ AUKUS වෙත එල්ලවී ඇති පුලුල් විරුද්ධත්වයට තමන් එරෙහි වන බවට බයිඩන් පරිපාලනයට සහතික කිරීම බව පෙනේ.

දක්ෂිනාංශික චරිතයක් වන කීටින් යුද්ධයට හෝ ඇමරිකානු අධිරාජ්‍යවාදයට කිසිම ආකාරයකින් විරුද්ධ නොවේ.  ඔහු ඕස්ට්‍රේලියාවේ විශාලතම වෙලඳ සහකරු වන චීනය සමග පූර්න යුද්ධයක ප්‍රතිවිපාක පිලිබඳ බියෙන් සිටින පාලක ප්‍රභූවේ සුළුතර කොටසක් නියෝජනය කරයි.

පසුගිය දශකය පුරා චීනය සමග යුද්ධය සඳහා එක්සත් ජනපද සැලසුම් තුල ඔස්ට්‍රේලියාවේ තීව්‍රවන භූමිකාව පිලිබඳව සාමාන්‍ය ජනයා අඳුරේ තැබීමෙන් පසුව AUKUS නිවේදනය පුලුල්ව පැතිරුනු කම්පනය සහ කෝපය අවුලුවා ඇත.  සබ්මැරීන සඳහා වියදම් කරන ඩොලර් බිලියන 368, සමාජ වියදම් සඳහා දැවැන්ත කප්පාදුවක් පටවනු ඇති අතර යුද්ධයට එරෙහිව වඩ වඩාත් යොමු වෙන පන්ති අරගලයේ වර්ධනය වන නැගිටීමක් උත්සන්න කරනු ඇත.

ඔස්ට්‍රේලියාව ජාත්‍යන්තර නීතිය නොතකා ඇමරිකානු-නේටෝවේ චීනයට එරෙහි යුද්ධයට කරබදු වීමට අරඅඳියි:

මාර්තු අග, ඕස්ට්‍රේලියානු රජය විසින් ආරම්භ කරන ලද පාර්ලිමේන්තු විමර්ශනයක් , විශේෂයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ අනුමැතියකින් තොරව යුද්ධ දියත් කිරීමට වැඩි විධායක බලයක් යෝජනා කර සිටියේය.  කෙසේ වෙතත්, නැගී එන යුද විරෝධී මනෝගතිය වෙනතකට යොමු කිරීමට උත්සාහ කිරීම සඳහා සුලු සැරසිල්ලක් වශයෙන් එවැනි යුද්ධ සඳහා පාර්ලිමේන්තු අනුමැතිය ලබා ගැනීමට අවශ්‍ය යැයි ද එය යෝජනා කලේය.  නමුත් එම අනුමැතිය ද දැනටමත් යුද්ධය ආරම්භ වූ පසුව ලබා ගත යුත්තක් ලෙස පමණි!

පසුගිය සැප්තැම්බරයේ ආරක්ෂක ඇමති රිචඩ් මාර්ල්ස් විසින් පත් කරන ලද විමර්ශන වාර්තාව, කම්කරු ආන්ඩුව චීනයට එරෙහි එක්සත් ජනපදයේ නායකත්වයෙන් යුත් ආක්‍රමණශීලී යුද්ධයකට සම්බන්ධ වීමට සූදානම් වන බවට තවත් අනතුරු ඇඟවීමකි. ඒ ජාත්‍යන්තර නීතියට අනුව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක මන්ඩලයෙන් ඒ සඳහා අනුමැතිය ලබාගත යුතු යැයි යන්නට අවනත වන බවේ බොරු මවාපෑමක් පවා නොසලකා හරිමිනි. 

පාර්ලිමේන්තු වාර්තාව ලිලිබඳව සංගත මාධ්‍යවල නිවැරදිව වාර්තා නොකෙරුනු අතර යන්තම් සඳහනක් පමනක් කර ඇත.  එය ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධී යුද දියත් කිරීමේ යාන්ත‍්‍රණය ශක්තිමත් කිරීම ප‍්‍රසිද්ධ කිරීම පිලිබඳව පාලක කවයන් තුල නලියන සැබෑ චකිතය පිලිබිඹු කරයි.

එක්සත් ජනපද සහ එක්සත් රාජධානියේ ආන්ඩු සමඟ ඇති චීනයට එරෙහි යුද්ධයට සූදානම් වීමේ AUKUS ගිවිසුමේ කොටසක් ලෙස, න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන ප්‍රහාරක සබ්මැරීන, හයිපර්සොනික් මිසයිල සහ අනෙකුත් ප්‍රහාරක අවි මිලදී ගැනීම සඳහා වසර 30ක් පුරා ඩොලර් බිලියන 368ක් වෙන් කිරීම ජනාධිපති ඇල්බේනියානු ආන්ඩුව විසින් ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව මෙම විමර්ෂන වාර්තාව නිකුත් කෙරුණි.

කම්කරු පක්ෂ බහුතරයක් සහිත කමිටුවක් විසින් සකස් කරන ලද පාර්ලිමේන්තු වාර්තාව, “යුද්ධය හෝ යුධමය මෙහෙයුම් ඇතුළු සන්නද්ධ ගැටුම් සම්බන්ධ තීරණ මූලික වශයෙන් විධායකයේ පරමාධිකාරී බලයක්” බව අවධාරණයෙන් ප්‍රකාශ කරයි.

වාර්තාව නිර්දේශ කරන්නේ,  එම බලතල, විශේෂයෙන්ම “එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකින් හෝ ස්වෛරී ජාතියක ආරාධනයකින් සහාය නොදක්වන” යුද්ධ සඳහා ද බලාත්මක ක යුතු බවයි.

මෙය ඕස්ටේ‍්‍රලියානු පාලක පන්තිය සහ එහි සහචරයින්, විශේෂයෙන්ම AUKUS හවුල්කරුවන්, සූදානම් කරමින් සිටින ආකාරයේ යුද්ධය පිලිබඳ තවත් අනතුරු ඇඟවීමකි.  චීනයට එරෙහි මිලිටරි ක්‍රියාමාර්ගය සඳහා කඩතුරාව කුමක් වුවත්, එක්සත් ජනපදය ප්‍රමුඛ බලවතුන්, 2003 දී ඉරාකයේ කළාක් මෙන්, එක්සත් ජාතීන්ගේ අනුමැතියේ කඩදාසි කොළයක්වත් නොමැතිව යුද්ධයට යාමේ බලය ඉල්ලා සිටිති.

අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවශ්‍යතා සඳහා අවශ්‍යයෙන්ම නිෂ්කාශන මධ්‍යස්ථානයක් වන එක්සත් ජාතීන්ගේ සංවිධානය, එක්සත් ජනපදය විසින් මෙහෙයවනු ලබන යුද්ධවලට කිසිවිටෙක බාධාවක් බව ඔප්පු කර නොමැති නමුත්, ආරක්ෂක මණ්ඩලයේ  විධිමත් අනුමැතියකින් තොරව සිදු කෙරෙන යුද්ධයක් නීති විරෝධී හා ආක්‍රමණකාරී යුද්ධයක් දියත් කිරීමේ චෝදනාවලට වගකිව යුත්තන් හෙලිදරව් කිරීමේ අවදානම දරයි.  

විදේශ කටයුතු, ආරක්‍ෂාව සහ වෙළෙඳාම පිළිබඳ ඒකාබද්ධ ස්ථාවර කමිටුවේ ආරක්‍ෂක අනුකමිටුව විසින් නිකුත් කරන ලද වාර්තාව, ආරක්ෂක පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයාගේ බලතල ක්‍රියාත්මක කිරීම වෙනුවට, ඔස්ට්‍රේලියානු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 68 වැනි වගන්තිය යටතේ සන්නද්ධ හමුදාවන්හි ප්‍රධානියා වශයෙන් “ප්‍රධාන අන දෙන්නා” ලෙස ආණ්ඩුකාරවරයාගේ බලය ක්‍රියාවට දමමින් ඕනෑම සන්නද්ධ ගැටුමකට පියවර ගන්නා ලෙස රජයෙන් ඉල්ලා සිටින්නේ ඒ නිසයි.

මෙම ක්‍රමවේදය දේශීය හෝ ජාත්‍යන්තරව ඕනෑම නෛතික අභියෝගයකින් යුද්ධයේ තීරණ ආරක්ෂා කරන අතර ඕස්ට්‍රේලියානු හමුදා නිලධාරීන් යුද අපරාධ චෝදනාවලින් ආරක්ෂා කරනු ඇත බව වාර්තාව දක්වයි.

ප්‍රායෝගිකව, චීනය සමඟ යුද්ධයට යාමේ ඕනෑම තීරණයක් ගනු ලබන්නේ වොෂින්ටනයේ දී ය. ඒ  ව්ශේෂයෙන්ම ඔස්ට්‍රේලියාව මධ්‍යම ඕස්ට්‍රේලියාවේ පයින් ගැප් (Pine Gap) සන්නිවේදන සහ නිරීක්ෂණ මධ්‍යස්ථානය සහ උතුරු ඕස්ට්‍රේලියාව පුරා අනෙකුත් කඳවුරු වැනි අත්‍යවශ්‍ය එක්සත් ජනපද මිලිටරි සහ බුද්ධි පහසුකම් සඳහා සත්කාරකත්වය සපයන බැවිනි.

විශේෂයෙන්ම 2011 සිට, එක්සත් ජනපද ජනාධිපති ඔබාමා ඕස්ට්‍රේලියානු පාර්ලිමේන්තුවේදී වොෂින්ටනයේ මිලිටරි සහ මූලෝපායික “ආසියාවට හැරීම” ප්‍රකාශ කළ විට, ලේබර් සහ ලිබරල්-ජාතික ආන්ඩු ද ඔස්ට්‍රේලියාව චීනයට එරෙහිව

යුද්ධයක් සඳහා අත්‍යවශ්‍ය වේදිකාවක් බවට පත් කරමින් එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම්වලට ඔස්ට්‍රේලියාව වඩ වඩාත් ඒකාබද්ධ කර ඇත.  

මෙම ඒකාබද්ධතාවය මූර්තිමත් කරන්නේ, ඉන්දු-පැසිෆික් කලාපයේ තමන්ගේම කොල්ලකාරී අධිරාජ්‍යවාදී අවශ්‍යතාවන් ඉෂ්ඨ කරගැනීම සඳහා දෙවන ලෝක යුද්ධයේ සිට එක්සත් ජනපද අධිරාජ්‍යවාදය පිටුපස ඕස්ට්‍රේලියානු පාලක පන්තියේ කොන්දේසි විරහිත පෙලගැසීමයි.

චීන-විරෝධී අධිරාජ්‍යවාදී සංධානය තර කිරීමට ඕස්ට්‍රේලියානු ආරක්ෂක ඇමති නවසීලන්තයේ සංචාරය කරයි: 

ඔස්ට්‍රේලියාවේ ආරක්ෂක අමාත්‍ය සහ නියෝජ්‍ය අගමැති රිචඩ් මාල්ස් අප්‍රේල් මුල් සතියේ අසල්වැසි නවසීලන්තයට ගොස්  නවසීලන්ත ආරක්ෂක ඇමති ඇන්ඩෲ ලිට්ල් හමුවිය.  මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් ඕස්ට්‍රේලියානු රජය පැවසුවේ මෙම සංචාරය “අපගේ කලාපයේ බහුවිධ ආරක්ෂක අභියෝගවලට ප්‍රතිචාර දැක්වීමේ හැකියාව සහ ඵලදායීව සහතික කිරීම සඳහා අපගේ ආරක්ෂක සහයෝගීතාව ගැඹුරු කරනු ඇති” බවයි.

නවසීලන්තයේ කම්කරු පක්ෂය-ග්‍රීන් සභාග ආන්ඩුව රුසියාවට සහ චීනයට එරෙහිව තුන්වන ලෝක යුද්ධයක් කරා තීව්‍ර වන තල්ලුව පිටුපස පැහැදිලි ලෙස පෙලගැසෙන ලෙස ඕස්ට්‍රේලියාවේ සහ එක්සත් ජනපදයේ වැඩි පීඩනයකට ලක්වෙමින් තිබේ.

නවසීලන්තය එක්සත් ජනපදය ප්‍රමුඛ “පංච අක්ෂි” බුද්ධි තොරතුරු බෙදාගැනීමේ ජාලයේ සාමාජිකයෙකු වන අතර ඕස්ට්‍රේලියාවේ සමීප සගයෙකි.  කෙසේ වෙතත්, මේ දක්වා, නවසීලන්තයේ වැදගත්ම වෙළඳ හවුල්කරුවා වන චීනයට එරෙහි ප්‍රකෝප කිරීම් වලට විවෘතව සම්බන්ධ වීමට වෙලින්ටන් පැකිලෙමින් තිබේ.

අප්‍රේල් 6දා පැවති මාධ්‍ය හමුවකදී ඇමති ලිට්ල් පැවසුවේ තමන් සහ මාර්ල්ස් චීන විරෝධී AUKUS (ඕස්ට්‍රේලියාව-එක්සත් ජනපදය) මිලිටරි ගිවිසුම ගැන “විශේෂයෙන් කතා නොකළ” බවයි.  කෙසේ වෙතත්, නවසීලන්ත ආන්ඩුව මිලිටරි ගිවිසුමේ “කණු දෙක” සඳහා සහභාගී වීමට සලකා බලයි, එය රටවල හමුදාවන්ගේ අන්තර් ක්රියාකාරිත්වය ශක්තිමත් කිරීම සඳහා උසස් මිලිටරි තාක්ෂණය බෙදාහදා ගැනීම ඇතුළත් වේ.

වර්තමානයේ, නවසීලන්තයේ න්‍යෂ්ටික විරෝධී නීති මගින් න්‍යෂ්ටික බලයෙන් ක්‍රියාත්මක වන සබ්මැරීන රටේ සාගර කලාපයට ඇතුළු වීම වළක්වනු ඇත.

පසුව, ගුවන්විදුලි සම්මුඛ සාකච්ඡාවකදී, ඕස්ට්‍රේලියාව, එක්සත් ජනපදය සහ එක්සත් රාජධානිය සමඟ සබඳතා ශක්තිමත් කිරීම නවසීලන්තයට “අර්ථවත්” යැයි පවසමින්, පැසිෆික් කලාපයේ “මිලිටරිකරණය” ගැන ලිට්ල් වංචනික ලෙස චීනයට චෝදනා කළේය. 

ඔහු ඕස්ට්‍රේලියාවේ මිලිටරි ගොඩ නැගීම ‘ආරක්‍ෂනවාදී’ යැයි සාවද්‍ය ලෙස නිරූපනය කරමින්, මෙසේ කීවේය: ” [චීනය] ඔවුන්ගේ නාවික හමුදාවේ ප්‍රමාණය, ඔවුන්ගේ හමුදාවේ සහ ඔවුන්ගේ ගුවන් හමුදාවේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස වැඩි කරගෙන ඇත, ඔවුන් සිය න්‍යෂ්ටික අවි සැලකිය යුතු ලෙස වැඩි කර ඇත.  මේ කාරණා ඔස්ට්‍රේලියාව ඔවුන්ගේ ආරක්ෂාව වැඩි කර ගත යුතු බවට තීරනය කරීමට පොලඹවා ඇත”. 

එහි න්‍යෂ්ටික අවි ගබඩාව ඇතුළුව එක්සත් ජනපද මිලිටරි වියදම් විශාල වශයෙන් ප්‍රසාරණය කිරීම, තායිවානයේ හමුදා ස්ථානගත කිරීම සහ ජපානය, දකුනු කොරියාව සහ පිලිපීනය සමඟ ගිවිසුම් ඇතිකර ගැනීම ඇතුළුව ඉන්දු-පැසිෆික් කලාපය පුරා එහි වැඩෙන ව්‍යාප්තිය ගැන ඇමති ලිට්ල් සඳහන් කළේ නැත.  එක්සත් ජනපදය සහ එහි සහචරයින් දකුනු චීන මුහුද සහ තායිවාන් සමුද්‍ර සන්ධිය ඇතුලු චීනය ආසන්නයේ ප්‍රකෝපකාරී නාවික අභ්‍යාස නිතිපතා සිදු කරයි.

පසුගිය වසරේ, න්‍යෂ්ටික සන්නද්ධ චීනයට සහ රුසියාවට එරෙහි එහි යුදමය ක්‍රියාදාමයට සහය දක්වමින් නේටෝ සමුළුවක් ඇමතූ පළමු නවසීලන්ත නායිකාව බවට එවකට අගමැතිනි ජසින්ඩා ආර්ඩර්න් පත් වූවාය.

මේ අතර, ලේබර් ආන්ඩුව සිය මිලිටරි හා බුද්ධි අංශ වැඩිදියුණු කිරීම සඳහා බිලියන ගනන් වියදම් කරයි.  අප්‍රේල් 2 දා, සටෆ් (Stuff) මාධ්‍යය හෙළි කළේ, ඕක්ලන්ඩ් හි ගුවන් හමුදා කඳවුරක නව දත්ත මධ්‍යස්ථානයක් සඳහා ඩොලර් මිලියන 300ක් වැය කරමින් සටින බවත්, එය එක්සත් ජනපදය මෙහෙයවන “පංච-අක්ෂි” වැඩසටහන යටතේ  ආසියාවේ, පැසිෆික් කලාපයේ සහ ජාත්‍යන්තරව  තොරතුරු බැලීමේ කොටසක් ලෙස නිරීක්ෂණ සිදු කරන රජයේ සන්නිවේදන ආරක්ෂක කාර්යාංශය (GCSB) විසින් රැස් කරන ලද තොරතුරු ගබඩා කරන බවත්ය. 

සුළු අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස, නවසීලන්තයේ ධනේශ්වරය සැමවිටම විශ්වාසය තබා ඇත්තේ එක්සත් ජනපදය හා ඕස්ට්‍රේලියාව සමඟ ඇති සන්ධානය මත ය;  පැසිෆික් කලාපයේ සහ වඩාත් පුලුල් ලෙස නවසීලන්තයේ කොල්ලකාරී අවශ්‍යතා සඳහා සහාය සහතික කිරීම පිණිස එය කොරියාවේ, වියට්නාමයේ, ඇෆ්ගනිස්ථානයේ, ඉරාකයේ සහ දැන් යුක්රේනයේ යුද්ධවලට සහාය දුන්නේ ය.

නවසීලන්ත කම්කරු පන්තිය තුල පුලුල්ව පැතිරුනු යුද විරෝධී මනෝභාවයක් පවතී.  කෙසේ වෙතත්, ලේබර්, ග්‍රීන්ස්, ජාතික හෝ වෙනත් ධනේශ්වර පක්ෂයක් තුන්වන ලෝක යුද්ධයෙන් ඉවත් වී සි⁣ටීමට බලපෑම් කරනු ලැබිය හැකි යැයි විශ්වාස කිරීම මාරාන්තික වැරැද්දකි.

යුද්ධයේ හා පන්ති අරගලයේ ඉහලම කාලපරිච්ජේදයක්

අධිරාජ්‍යවාදී යුද්ධයේ සූදානම පසුබිමෙහි පන්ති අරගලය පූර්ව විප්ලවවාදී ආකාරයක් අත්කරගනිමින් තිබේ. යුරෝපයේමත් රටක් රටක් පාසා නව ඉහල මට්ටමකින් වර්ධනය වන පන්ති අරගල ධනපති විරෝධී විභවයන් අත්කරගෙන තිබේ. 

වර්තමාන ජාත්‍යන්තර භූ-දේශපාලනය අන්තර් සම්බන්ධිත සංසිද්ධි දෙකකින් සංලක්ෂිත වේ: එනම් ලෝක යුද්ධය දෙසට අධිරාජ්‍යවාදී තල්ලුව සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුනර්ජීවනයයි.  මෙම ක්‍රියාවලීන්  දෙක ගැඹුරින් සම්බන්ධ වේ.  අධිරාජ්‍යවාදී පාලක ප්‍රභූව යුද මාවතට තල්ලු කරන එම ආර්ථික, භූ දේශපාලනික හා සමාජීය ප්‍රතිවිරෝධතා කම්කරු පන්තියේ රැඩිකල්කරණයට හා විප්ලවවාදී අරගල පුපුරා යාමට වෛෂයික ආවේගය සපයයි.

න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර ලෝක යුද්ධය දෙසට වන මෙම විනාශකාරී වෛශික ධාවනය නැවැත්වීමේ එකම මාධ්‍යය වන්නේ ගෝලීය ධනවාදයට සහ එහි යල්පැනගිය  ප්‍රතිවාදී ජාතික රාජ්‍ය  ක්‍රමය අවසන් කිරීමට සමාජවාදී ඉදිරිදර්ශනයක පදනම මත ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධ යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීම ය.  

#theSocialistLK #CACPS 

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top