යුක්‍රේන ෆැසිස්ට්වාදී ආන්ඩුව විසින් අත්අඩංගුවට ගැනුනු බොග්ඩාන් සයිරොටියුක් වහා නිදහස් කරනු!

theSocialist.lk කර්තෲ මන්ඩල ප්‍රකාශය

යුක්‍රේනය, රුසියාව ඇතුලු පැරැනි එක්සත් සෝවියට් සමාජවාදී සමූහාන්ඩුවට අයත් ව තිබූ ප්‍රදේශවල ක්‍රියාත්මක වන සමාජවාදී, ට්‍රොට්ස්කිවාදී සංවිධානයක් වන බෝල්ෂෙවික් ලෙනින්වාදීන්ගේ තරුන රැකවල (YGBL) සංවිධානයේ නායක බොග්ඩාන් සයිරොටියුක් පසුගිය අප්‍රේල් 25 වන දින ෆැසිස්ට්වාදී සෙලෙන්ස්කි තන්ත්‍රයේ රාජ්‍ය ආරක්ෂක සේවය වන SBU ව විසින් අත් අඩංගුවට ගනු ලැබ දකුනු යුක්‍රේනයේ නිකොලයෙව් නගරයේ අධි ආරක්ෂක සිර ගෙයක රඳවා ඇත.  අත්අඩංගුවට ගෙන ඇත්තේ නැටෝ අධිරාජ්‍යවාදයේ සාපරාධී යුද්ධයට එරෙහිව හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව හා ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) විසින් ගෙන යනු ලබන උද්ඝෝෂනය තුල ඔහු ඉටු කරමින් සිටි ප්‍රමුඛ ක්‍රියා කලාපය නිසා බව කියා සිටින thesocialist.lk වෙබ් අඩවිය, ඔහු වහා නිදහස් කරන ලෙසත්, ඔහුට එරෙහි සාපරාධී චෝදනා හකුලා ගන්නා ලෙසත් ඉල්ලා සිටී. මෙම අත්අඩංගුවට ගැනීම යුද ව්‍යසනයට එරෙහිව නැඟී සිටීමට කම්කරු පන්තියට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය පැහැර ගැනීමක් ලෙස අවධාරනය කරන අපි, බොග්ඩාන් නිදහස් කර ගැනීමට ද, ලෝසවෙඅ වෙබ් අඩවියට එල්ල කර ඇති ප්‍රහාරය පරාජය කරමින් එහි දේශපාලන අයිතීන් රැකීමට ද ඉදිරිපත් වන ලෙස, ලොව පුරා කම්කරුවන්, පීඩිතයන් හා තරුනයන්ගෙන් ඉල්ලා සිටිමු. 

බොග්ඩාන්ට එරෙහිව ප්‍රමුඛ වශයෙන් රාජද්‍රෝහී චෝදනා නඟා ඇති අතර, එම චෝදනාව මත 25 හැවිරිදි බොග්ඩාන්ට ජීවිතාන්තය තෙක් සිර දඬුවම ලබා දීමේ අනතුර පවතී. මෙම චෝදනාවේ පදනම ලෙස සඳහන් කෙරෙන්නේ බොග්ඩාන් පසුගිය දෙවසර පුරා “ලෝක සමාජවාදී වෙබ් අඩවිය නම් රුසියානු ප්‍රචාරක හා තොරතුරු ඒජන්සියක නියෝජිතයන් විසින් පවත්වා ගෙන යනු ලබන ප්‍රකාශනයක පල කිරීම් සූදානම් කිරීමේ නියැලී සිටි” බවයි.

මේ අභූත චෝදනාව ලෝසවෙඅට එරෙහිව ගෙන ඒමේ දී ඔවුහු රුසියානු ධනපති තන්ත්‍රය යුක්‍රේනය ආක්‍රමනය කිරීම සම්බන්ධයෙන් බොග්ඩාන් සහෝදරයා ද, ලෝක සමාජවාදී වෙබ් අඩවිය ද ගෙන එන ලද විශ්ලේෂනාත්මක විවේචන ස්වකීය පහසුව තකා නොසලකා හරිති. හජාජාකය මේ සම්බන්ධයෙන් දරන ලද මතය වෙනුවෙන් පෙනී සිටි බොග්ඩාන්, දිනෙන් දින ස්වකීය දේශසීමා වට කරමින් යොදන ලද අධිරාජ්‍යවාදී පීඩනය හමුවේ, එකී අධිරාජ්‍යවාදීන්ගේ ලෝක යුද්ධ සැලසුම් උගුලට ම ගෙල තැබීම විනා අන් මඟක් බංකොලොත් රුසියානු ධනපති පන්තියට නොතිබූ බව අවධාරනය කරමින්, අධිරාජ්‍යවාදයේ කුරිරු යුද සැලසුම් පරාජය කල හැකි එකම බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තියේ ඒකාබද්ධතාවය සඳහා සටන් කලේය.

බොග්ඩාන් සහෝදරයාට එරෙහි මෙම මර්දනයේ ඉලක්කය වන්නේ අධිරාජ්‍යවාදයේ භූ දේශපාලන මූලෝපායය වන යුද්ධයට එරෙහි ජාත්‍යන්තරවාදී ප්‍රතිරෝධයයි. ලෝසවෙඅ යුක්‍රේන ආරක්ෂක සේවයේ ඉලක්කයක් වීම කිසිසේත් අහම්බයක් නොවේ. මේ ප්‍රහාරය එල්ල වී ඇත්තේ හුදෙක් ලෝසවෙඅ වෙත පමනක් නොව, අධිරාජ්‍යවාදී යුද්ධයට ප්‍රතිවිරුද්ධ සමාජවාදී ජාත්‍යන්තරවාදී විකල්පය වෙත ම ය.

බොග්ඩාන් සහෝදරයා අත් අඩංගුවට ගැනීම මඟින් පෙන්නුම් කෙරෙන්නේ, නැටෝ අධිරාජ්‍යවාදීන්ගේ බලල් අතක් ලෙස වසර දෙකක් ඉක්මවා ගිය කාල පරිච්ඡේදයක් පුරා රුසියාව සමඟ යුද්ධයක පැටලී සිටින යුක්‍රේන ෆැසිස්ට් තන්ත්‍රයේ හා ඔවුන් පසුපස හිඳ යුද්ධයට මුදල් හා ආයුධ පොම්ප කරමින් අනුග්‍රාහකත්වය ලබා දෙන නැටෝ අධිරාජ්‍යවාදීන්ගේ ඉහවහා ගිය අර්බුදයයි. ගෝලීය නිෂ්පාදනය හා ලෝක වෙලඳපොල ද, ඒ මත ආධිපත්‍යය දරා සිටින ධනපති ජාතික රාජ්‍ය පද්ධතිය ද අතර මෝරා ගිය ප්‍රතිවිරෝධයන්ගේ ආතතිය විසින් මිරිකා දමනු ලබන සමස්ත ලෝක ධනපති පර්යායේ අර්බුදය සංලක්ෂනය වී ඇත්තේ, පෙර නො ඇසූ විරූ සමාජ අසමානතාවයකින් හා පශ්චාත් දෙවැනි ලෝක යුද්ධ සමයේ ගොඩ නංවන ලද සමස්ත පර්යාය – පාලන ක්‍රම, ජාත්‍යන්තර සම්මුති, අන්තර් රාජ්‍ය සංවිධාන හා දේශසීමා – මුලුමනින් ඉරි තලා යවමින් අධිරාජ්‍යවාදී බලයන් ලෝක යුද්ධයක දිශාවට වේගයෙන් ඇද දමීමකිනි. මේ තතු මඟ පාදා ඇත්තේ, සමාජවාදී විප්ලවයේ අවතාරය අධිරාජ්‍යවාදීන් තුල සන්ත්‍රාසය දනවමින් මතු වීමේ තත්වයකට ය. එය මඟ පාදා ඇත්තේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් මුලුමනින් තලා දැමීම කරා අධිරාජ්‍යවාදීන් ද, ධනපති පාලකයන් ද මෙහෙයවීම කරා ය. ලංකාවේ පාලක පන්තිය ප්‍රජාතන්ත්‍ර විරෝධී ආඥාදායක සැලසුම් කරා වේගවත්ව එලවා දමන්නේ ද, අධිරාජ්‍යවාදීන්ගේ යුද ප්‍රයත්නයට පසුබිම් වී ඇති එකී අර්බුදයේ කොන්දේසි විසින් ම ය.

දශක තුනකට වැඩි කාලයක් පුරා සෑම දිනක ම යුද වැදී සිටි ඇමරිකානු අධිරාජ්‍යවාදය දැන් නැටෝව මෙහෙයවා ගනිමින් ලෝක තාප න්‍යෂ්ටික යුද්ධයක් කරා යන මංමුලා සහගත ගමනේ පියවරෙන් පියවර ඉදිරියට තබමින් සිටී. යුක්‍රේන බලල් අත යොදා ගනිමින් රුසියාව සමඟ යුද වැදී සිටින එය, මැද පෙරදිග දී ඊශ්‍රායලයේ නෙතන්යාහු ෆැසිස්ට් තන්ත්‍රයේ  සමූලඝාතක අපරාධවලට ආයුධ, මුදල් හා රාජ්‍ය තාන්ත්‍රික සහාය පුදමින්, එම අපරාධවලට එරෙහිව නැඟෙන කම්කරු, ශිෂ්‍ය උද්ඝෝෂන නීති විරෝධී කිරීමටත්, උද්ඝෝෂකයන් අත්අඩංගුවට ගැනීමටත් කටයුතු කරමින් සිටී. යුක්‍රේනයේ දී, ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ කාර්යාංශයක් විසින් ම පිලි ගෙන ඇති පරිදි මානව හිමිකම් මැඩීමට කටයුතු කරමින් සිටින සෙලෙන්ස්කි තන්ත්‍රයට එකී මර්දනයට අවශ්‍ය ආම්පන්න සැපයීමට ජෝ බයිඩන් ඇතුලු පාලක පන්තිය කටයුතු කරන අතර, එය, විශාල සිවිල් ජීවිත හානි සිදුවිය හැකි පරිදි රුසියානු ජනයාගේ හිස මත මිසයිල පතිත කිරීමේ විභවය යුක්‍රේන තන්ත්‍රයට ලබා දෙමින්, තාප න්‍යෂ්ටික යුද්ධයකට රුසියාව ප්‍රකෝප කිරීම සඳහා ක්‍රියා කරමින් සිටී.  

මේ තතු විසින් අධිරාජ්‍යවාදයට හා ධනේශ්වර ක්‍රමයට බලපෑම් දැමීමේ හා ධනපති ‘යුක්තියේ’ හා ‘සාමයේ’ සරන පැතීමේ සියලු ව්‍යාජ වාම ව්‍යාපෘති අර්බුදයට යැවී ඇති අතර, ජනඝාතන හා යුද්ධය වැලැක්වීමේ ඒකායන මාර්ගය වන්නේ ජාත්‍යන්තරවාදී සමාජවාදී ඉදිරි දර්ශනයක් මත ලෝක කම්කරු පන්තිය බලමුලු ගැන්වීම බව වඩවඩාත් ඒත්තු ගැන්විය හැකි වෛෂයික කොන්දේසි ඉස්මතු වී තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ මුර බල්ලන් බොග්ඩාන් සහෝදරයා හා ලෝසවෙඅ වෙත කඩා පනින්නේ එම තතු තුල ය.

මේ අනුව පෙනී යන්නේ, බොග්ඩාන් සහෝදරයා අත්අඩංගුවට ගැනීමට එරෙහිව නැඟී සිටීම හුදෙක් දුරුකතරක පිහිටි දේශයක සමාජවාදියෙකුගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය හා නිදහස වෙනුවෙන් නැඟී සිටීමක් නොව, සමස්ත ලෝක ගෝලය පුරා කම්කරුවන්, පීඩිතයන්, ශිෂ්‍යයන් හා තරුන ජනයා මේ මොහොතේ තමන්ගේ ජීවිතවලට එල්ල වී ඇති අභියෝගවලට මුහුන දීමේ දෛනික පන්ති අරගලයේ ම අවශ්‍යතාවයක් වන බවයි. මේ ප්‍රතිගාමී ප්‍රහාරය පරාජය කිරීම කම්කරු පීඩිතයන්ගේ දැවෙන අවශ්‍යතාවයකි.

මෙම  අත්අඩංගුවට ගැනීමට එරෙහිව සාකච්ඡා, රැස්වීම්, උද්ඝෝෂන, ස්ට්‍රයික් සටන් හා විවිධ පන්ති ක්‍රියා සංවිධානය කරමින් කම්කරු අරගල බලමුලු ගන්වන ලෙසත්, ශිෂ්‍යයන් හා පීඩිතයන් අතරට එම උද්ඝෝෂන රැගෙන යන ලෙසත් අපි ලංකාවේ ද, දකුනු ආසියානු කලාපයේ ද, සමස්ත ලෝකයේ ම ද කම්කරුවන්ගෙන් ඉල්ලා සිටිමු. තව ද, බොග්ඩාන් සහෝදරයා නිදහස් කරන ලෙස ඉල්ලා Change.org හි පල කර ඇති පෙත්සමට අත්සන් තබන ලෙස අපි අපේ සියලු පාඨකයන්ගෙන් ඉල්ලා සිටිමු.

Stop the political frame-up of Ukrainian socialist Bogdan Syrotiuk!

බොග්ඩාන් සයිරොටියුක්, නැටෝවේ වක්‍ර යුද්ධයේ සමාජවාදී විරුද්ධවාදියා, යුක්‍රේන සිරකඳවුරෙන් නිදහස් කරන ලෙස බල කර සිටිනු – ඩේවිඩ් නෝර්ත්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top