විවෘත ලිපිය: සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි

නන්දන නන්නෙත්ති විසිනි.

සමාජවාදී සමානතා පක්ෂයට විවෘත ලිපියක් 

සහෝදරවරුනි, සහෝදරියනි,

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) “ගාසා තීරය තුල පලස්තීනුවන්ට එරෙහි ඊශ්‍රායල ජන සංහාරක යුද්ධය නවතනු! මැයින් “පවත්නන ලද රැස්වීම් 3කින් දෙවන රැස්වීම නොවැම්බර් 19 දින ගාල්ල ගෝල් ඩි ගෝල් ශ්‍රවනාගාරයේ පැවැත් විනි. එහි දී, සසප උප ලේකම් සමන් ගුනදාස සහෝදරයා පැය දෙකක් තිස්සේ කල සිය දේශනය තුල දී මෙසේ කියයි: ඊශ්‍රායලය විසින් දිගින් දිගට ම පලස්තීන ජනතාව පීඩාවට පත් කිරීම නිසා, එම පීඩාව දරාගත නො හැකිව, ඔක්තෝම්බර් 7 හමාස් සංවිධානය ඊශ්‍රායලය තුල එල්ල කල ප්‍රහාරයේ දී, “සිවිල් ජනතාව ඝාතනය වීම හෝ ප්‍රාන ඇපකාරයන් ගැනීම, හෝ ඒ සියලු ම දේවල් අපි ආරක්ෂා කරනවා.”

ඔහුට අනුව “ඉතිහාසය ගමන් කරන්නේ මේ විදියේ පීඩිත ජනතාවගේ නැගිටීම් හරහා” ය. මේ වනාහී “මෙතෙක් පැවති සමාජවල ලිඛිත ඉතිහාසය පන්ති අරගලයේ ඉතිහාසය යි” යන මාක්ස්වාදී ප්‍රස්තුතය විකෘති කිරීමකි. මාක්ස්වාදය හෝ කම්කරු පන්තිය සිය දිවි නසා ගැනීමේ සුලු ධනේශ්වර විධික්‍රම සමග එකට සිටගෙන නැත. 

නොවැම්බර් 15 යාපනය, මිලේනියම් ගෙස්ට් හවුස්හි පැවති, උක්ත රැස්වීම් මාලාවේ, පලමු රැස්වීමේ ද ප්‍රධාන දේශකයා වූ සමන් සහෝදරයා, “හමාස් සංවිධානයේ ආගමික විශේෂතා ජාතිකවාදී වැඩපිලිවෙල මම අනුමත කරන්නේ නෑ” යි කියන ගමන් ම අවධාරනය කරන්නේ “එහෙම උනා වුනත් පලස්තීන ජනතාවගේ නැගිටීමේ දී හමාස් සංවිධානයේ තියෙන නායකත්වය, හා එතන දී හමාස් සංවිධානය කරන ඒ ක්‍රියා කලාපය එක්ක අපි හිටගෙන ඉන්නවා යනාදී වශයෙනි. 

Saman
සමන් ගුනදාස යාපනය රැස්වීම අමතමින්

සමන් සිය කතාවට පදනම් කර ගත් හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවත් (හජාක), ලෝක සමාජවාදී වෙබ් අඩවියත් (ලෝසවෙ) දැනටමත් පල කර ඇති පලස්තීන ප්‍රශ්නය පිලිබද සිය ගනනක් ලිපි අතර මෙබදු සංකල්පයකට කිසිදු ඉඩක් තබා නැත. ඒ වෙනුවට, ඒවා ඊශ්‍රායලය පිහිටු වීමේ කුමන්ත්‍රනයේ සිට මේ දක්වා පලස්තීන ජනයාට එරෙහි මුදා හරින ලද ප්‍රහාරයන් මාලාවකින් ඔක්තෝබ්බර් 7 ප්‍රතික්‍රියාව ජනනය කරනු ලැබූ බව පෙන්වා දෙන්නේ, සමස්ථ මහා ගිනි ජාලාව පැන නැංවූ මූලයන් වෙතින් මහජන අවධානය ඉවත හැරවීමට ගෙන යන පුලුල් ව්‍යාපාරයකට එරෙහිව ය. එහි දී අප පදනම් වන්නේ නිශ්චිත දේශපාලන දෘෂ්ඨි ආස්ථානයකිනි. එනම්, සියලු අපරාධවල මූලය වන අධිරාජ්‍යවාදය හා ධනවාදය මිහිතලයෙන් අතු ගා දමා කම්කරු පන්ති පාලනයක් ස්ථාපිත කිරීම සදහා ජාත්‍යන්තර කම්කරු පන්තිය බලමුලු ගැන්වීම ය.

ජාතික එක්සත්භාවයේ සහ විමුක්තියේ ප්‍රජාතනත්‍රවාදී කර්තව්‍යය, අදීරාජ්‍යවාදී යුගයේ ඉටු කිරීමට සමත් වන්නේ මාක්ස්වාදී ක්‍රියා මාර්ගයෙන් සන්නද්ධ වූත් පන්ති අරගලය මත පදනම් වූත්, කම්කරු පන්තියට පමනි” යන නො නවතින විප්ලව න්‍යායෙන් ඉවත හැරීමක්  “හමාස් සංවිධානයේ ඒ තියෙන නායකත්වය, එතන දී හමාස් සංවිධානය ඒ කරන ක්‍රියා කලාපය එක්ක  හිට ගෙන” සිටීමේ සමන්ගේ යෝජනාව නියෝජනය කරයි.

“අපි පීඩාවට පත් වූ ඒ ජනතාවට නැගීටීමට තියෙන අයිතිය ආරක්ෂා කරනවා” යනාදී වශයෙන් ද විස්තර කල බව ඔහු නිදහස සදහා කියා පෑමට ඉඩ තිබේ. එහෙත්, පීඩාවට පත් ජනතාව හා ධනේශ්වර හමාස් නායකත්වය නියොජනය කරන ප්‍රතිවිරුද්ධ පන්ති දෙකක අවශ්‍යතා නො තකා හමාස්  නායකත්වය හා ක්‍රියාකලාපය සමග හිට ගැනීම සිදු කල යුතු වන්නේ කුමන දේශපාලන අරුතකින් දැ යි පැහැදිලි නො කරයි. ඔහු එය සිදු කරනු ද නැත. හජාජාකව, හීලි අතුලු අවස්ථාවාදී කල්ලිය විසින් කම්කරු පන්තියේ ස්වාධීන නායකත්වය අවධාරනය කරනු වෙනුවට පලස්තීන විමුක්ති සවිධානය ඉස්මතු කරනු ලැබීමට එරෙහිව, මෙසේ ලිවී ය: “ජාතික ව්‍යාපාර තුල පවතින සුවිශේෂී පන්ති බලවේගයන් නිර්වචනය නොකර පලස්තින ජනතාව ගැන කරන සදහන යලිත් වරක් කම්කරු පන්තියේ තීරනාත්මක කාර්යභාරය වලලා දැමීමට උදව් කරන්නා වූ දේශපාලන වියුක්තයකි” [කම්කරු විප්ලවවාදී පක්ෂය ට්‍රොට්ස්කිවාදය පාවා දුන්නේ කෙසේ ද-1973- 1985, පිටුව 107]. මාක්වාදී ව්‍යාපාරයේ ඉතිහාසය හා පදනම් ගොඩ නැගී ඇත්තේ එබදු අරගල හරාහා ය.

කෙසේ වෙතත් පසු ගිය 21 දින කොලඹ මහජන පුස්ථකාල ශාලාවේ පැවැත් වූ ප්‍රස්තුත රැසිවීම් මාලාවේ අවසන් රැස්වීමේ දී සසප ප්‍රධාන ලේකම් දීපාල් ජයසේකර සහෝදරයා සමන්ට පටහැනිව පිහිටා සිටින බව උදක් ම පැහැදිලි විය. ඔහු අවධාරන කල පරිදි, “ලෝක ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරය හැටියට අපිට හමාස් සංවිධානය සම්බන්ධයෙන් විවේචන ඇත. ඒවා දේශපාලනික විවේචන ය. ඒවා කිසි සෙත් සදාචාරමය නො වේ.

“හමාස් සංවිධානය ධනපති ජාතිකවාදී ව්‍යාපාරයකි. ඔක්තෝම්බර් හත්වෙනිදා ඔවුන් එල්ල කල මිලිටිරි ප්‍රහාරය ඇතුලු ඔවුන් යොදා ගන්නා විධික්‍රම කිසි සේත් ම සියොන්වාදී රාජ්‍යය පරාජය කිරීමටවත්, පලස්තීන ජනයාගේ විමුක්තියටවත් හේතු වන්නේ නැත යන කාරනාව අපි එක හෙලා කියා සිටිමු. එමෙන් ම , හමාස් සංවිධානය පාදක වන්නේ මැදපෙරදිග පවතින විවිධ ධනපති තන්ත්‍රයන්ගෙන් ලැබෙන සහයෝගය මත ය. හමාස්හි යොමුව ඒ දෙසට ය. ඔවුන්ගේ ආයාචනය එම ආන්ඩු වෙත ය. ඒ නිසා ඔවුහු හැම විට ම සියොන්වාදී රාජ්‍යයට එරෙහි අරගලය, මැදපෙරදිග ධනපති තන්ත්‍රයන්ගේ අවශ්‍යතාවන්ට හා ඊශ්‍රායල් හෝ ලෝක අධිරාජ්‍යවාදී බලයන් සමග අටවා ගැනීමට සුදානම් කෙරෙන සමතයන්ට යටත් කරති.

“ඊශ්‍රායල් සියොන්වාදී තන්ත්‍රය ගෙනයන මෙම ජන ඝාතක යුද්ධය සම්බන්ධයෙන් නිසොල්මනේ බලා සිටීමේ පුරුද්දක් ලෝකය පුරා කම්කරුවන්ට හා තරුනයන්ට නැති බව පෙන්නුම් කර ඇත. … මෙම කම්කරුවන්, තරුනයන් සමග අපි සහයෝගී වෙමින් එක පෙලට හිට ගනිමු. ගාසා යුද්ධයට විරුද්ධව මෙම ව්‍යාපාර හැකි තාක් වර්ධනය කිරීම අපි ඉල්ලා සිටිමු. එමෙන් ම මෙම ව්‍යාපාරය කම්කරු පන්තිය දෙසට යොමු කර ගැනීමට අපි විශේෂයෙන් ම මැදිහතත් වෙමු.අධිරාජ්‍යවාදී යුද්ධය, ඊශ්‍රායල් ආක්‍රමනය නතර කිරීමට හැකි එකම සමාජ බලවේගය එය යි.”   

Deepal
දීපාල් ජයසේකර කොලඹ රැස්වීම අමතමින්

ජයසේකර සහෝදරයා යෝජනා කරන ජාත්‍යන්තර කමිටුවේ පිලිවෙත පැහැදිලි වන අතර අප ඒ සමග සහයෝගයෙන් ක්‍රියාකරන බව කිව යුතු ය. එහෙත් පක්ෂයේ ලේකම් සහ උප ලේකම් එකිනෙකට එරෙහි පිලිවෙත් දෙකක් යෝජනා කිරීම හා එම පිලිවෙත් දෙක ම පක්ෂය තුල සාමාන්‍ය පරිදි පැවතීමට ඉඩ හැරීම පක්ෂයේ දේශපාලන සෞඛ්‍යය පිරිහී ඇත යනුවෙන් අප පෙන්වා දෙමින් සිටි කාරනයට  පැහැදිලි සාක්ෂියකි. සමන් ප්‍රසිද්ධ රැස්වීම් දෙකක දී සිය ආස්ථානය ප්‍රසිද්ධියේ කියා සිටියේ ය. අවම වසයෙන් දේශපාලන කමිටුව හෝ මධ්‍යම කාරක සභාව නියෝජනය කරන සාමාජිකයන් දුසිම් භාගයක් ඇතුලු පක්ෂ සාමාජිකයෝ එම සාකච්ඡාවලට සහභාගී වූහ. රැස්වීමේ සම්පූර්න වීඩියෝ සසප ෆේස්බුක්හි ප්‍රසිද්ධ කර ඇත. කිසිවෙකුත් සමන්ගේ යෝජනාවට විරුද්ධ වූ බවක් නැත. මෙයින් පැහැදිලි වන්නේ කුමක් ද? පක්ෂය තුල කම්කරු පන්තික මෙන්ම, එසේ නො වන වෙනත් පන්ති ආස්ථාන වුව දරා සිටීමට ද, ඒ වෙනුවෙන් උද්ඝෝෂනය කිරීමට ද ඉඩ ඇති බව නෙ වේ ද? 

සියල්ලටමත් වඩා ජයසේකර කොලඹ රැසිවීමේ දී කල සිය කතාවෙන්, සමන්ගේ ප්‍රකාශයෙන් මතු කරන අනතුර ගැන ඉගියක්වත් නො පෑම පෙන්නුම් කලේ පක්ෂය තුල එවන් තත්වයක් පවතින බව ය. ලේකම් සහ උප ලේකම් එකම කරුන සම්බන්ධයෙන් අන්ත දෙකක සිට කතා කරද් දී, සාමාජිකයෝ හා හිතවත්තු දෙකට ම නො මසුරුව අත්පොලසන් දෙති. දේශපාලනිකව ගත් කල මෙම පැවැත්ම මාධ්‍යමික ය. මාධ්‍යමික දේශපාලනය විප්ලවවාදීන් මෙන් ම ප්‍රතිවිප්ලවවාදීන් ද නිර්මානය කරයි. එහෙත් පොදුවේ පක්ෂය තුල අවස්ථාවාදය ශක්තිමත් කරයි. 

පලස්තීනයේ රජුන්ටත්, ධනපතීන්ටත්, කම්කරුවන්ට හා  ගොවීන්ටත් ඊශ්‍රායල ප්‍රහාරය සමාන ලෙස බල පා තිබෙන බවත් ඒ නිසා මේ සියලු දෙනා සහභාගී වන විසදුමක් අවශ්‍ය බවත්, ඒ වෙනුවෙන් ද්වි රජ්‍යය හෝ නෙල්සන් මැන්ඩෙලාගේ දකුනු අප්‍රිකාව වැනි ධනපති ඒකීය රාජ්‍යයක් යන දෙකින් එකක් සුදුසු යයි පවසන ව්‍යාජ වම්මු, පලස්තීන ප්‍රශ්නය විසින් වර්ධනය කරනු ලැබ ඇති ලෝක පරිමාන මහජන කැරැල්ල යලි ධනවාදයට යට කිරිම සදහා කැප වී වැඩ කරති. හමාස් නායකත්වය පිලිගනිමින් පීඩිත ජනතාවගේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින විට සමන්ගේ යෝජනාව අනුමැතිය පල කරන්නේ කම්කරු පන්තිය අවස්ථා ගනනක දී ලෙයින් වන්දී ගෙවූ මෙම ප්‍රතිගාමී පන්ති සහයෝගිතා ව්‍යාපාරයට නො වේ ද?  

මෙය හදිසියේ සිදු වූ අත් වැරැද්දක් ද? 2021 ගුරු අරගලය තුල ජෙනරල් ස්ට්‍රයිකයක් සදහා උද්ඝෝෂනය කිරීමට යෝජනා කල විට පක්ෂ  තන්ත්‍රය බියට පත් වූවා පමනක් නොව, එසේ යෝජනා කල පක්ෂ සාමාජිකයන්ට එලවා එලවා පහර ගැසී ය. කොරෝනා වසංගතය තුල මුස්ලිම් ජනතාවගේ මෘත දේහ ආදාහනය කිරීමට නිහඩව ඉඩ දී, පසුව මල සිරුරු සම්බන්ධ අවසන් කටයුතු විද්‍යාවට අනුකූල විය යුතු ය යන ආන්ඩුවේ දුෂ්ට ප්‍රතිඝාමී යෝජනාවට සහාය විය. එම ගැටලුව නිරාකරනය කර ගැනීම සදහා  මධ්‍යම කාරක සභිකයන් කීප දෙනෙකු විසින් සාකචඡාවක් ඉලලා සිටිනු ලැබූ නමුත් පක්ෂ තන්ත්‍රයේ වැඩි කන්ඩායම ඊට ඉඩ නො දුනි. 2022 මහජන අරගලයේ දී ජාත්‍යන්තර කමිටුවේ සහාය ඇතිව සම්පාදනය කර ගත් උචිත ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය තිබිය දී, අවශ්‍ය නායකත්වය සම්පාදනය කිරීමට සෑම අතින් ම කල යුතු මැදිහත් වීම නො තකා ලිස්සා ගියේ ය. සියල්ලටමත් වඩා මෙවැනි තත්වයන් ගැන පැහැදිලි කර ගැනීම උදෙසා  සාකච්ඡාවක් ඉල්ලා සිටි, සසප වාම කන්ඩායමට නායකත්වය දුන් මෙම ලියුම්කරු ඇතුලු සහෝදරවරුන් බුරුතු පිටින් දොට්ට දමන ලදී.

සසප වාම පාර්ශවය අවම වශයෙන් 2014 වසරේ සිට පක්ෂයේ න්‍යායික අරගලය වර්ධනය කිරීම වෙනුවෙන් පෙනී සිටියේ ය. 1992 හජාජා කමිටුවේ 12 වන සැසි වාරය නිගමනය කල පරිදි ස්ටැලින්වාදය ඇතුලු අවස්ථාවාදය විසින් පිරිහෙලනු ලැබ ඇති මාක්ස්වාදී සංස්කෘතිය යලි ගොඩ නැගීම, පක්ෂයේ ප්‍රමුඛ වග කීම වන නිසා පක්ෂය ඒ සදහා සූදානම් කිරීම පමා කල නො හැකි බව වාම කන්ඩායම වටහා ගෙන සිටියේ ය. එහෙත් අවශ්‍ය මොහොතේ නියමිත හැරී ගැනීම් මග හැරීමට තුඩු දුන් ගතානුගතිකත්වයක් විසින් මෙම අවශ්‍යතාව නො තකා හරිනු ලැබිනි. ගතානුගතිකත්වය සංලක්ෂිත වූයේ කම්කරු පන්තිය තුල මාකස්වාදී ඉදිරි දර්ශනය සාක්ෂාත් කිරීමට පැවති බාධකවලිනි. මෙය පක්ෂය තුල මත භේදවල මූලය වූ අතර පක්ෂ තන්ත්‍රය ව්‍යාපාරයේ ඉතිහාසයේ පාඩම් මත මේ ප්‍රශ්න විසදීම වෙනුවට ඒවා නො තකා ඉදිරියට යාමේ පහසු මාවත අනුගමනය කලේ ය.

සමන් සම්බන්ධයෙන් සැලකූ කල මෙම තත්වය පිලබිඹු වූයේ ඔහු වැඩ කරන රත්මලාන කම්කරු පන්ති මධ්‍යස්ථානයේ ෆැක්ටරිවල කලක් තිස්සේ කරන ලද වැඩවලින් ඉවත් වීම ලෙසිනි. අඩු තරමින් එහි කම්කරු පන්තියක් ඉන්නා බවට වාර්තාවක්වත් බොහෝ කාලයකින් ලියා නැත. ඒ වෙනුවට, මෑත දී, ඔහු සාවද්‍ය දුම්රිය කම්කරු ක්‍රියාකාරී කමිටුවක් නිවේදනය කලේ ය. විප්ලවය පිලිබද ආත්මීය කැමැත්ත කොතෙක් වුවත් කම්කරු පන්තිය තුල ඉදිරි දර්ශන සදහා කල යුතු අරලගය පිලිබද සංශය මෙවන් වංචාවන්ට මග පාදයි.

මේ තත්වයට ගැලපෙන පරිදි සංවිධානය වීම උදෙසා ඊට විරෝධය පෑ වාම කන්ඩායමෙන් නිදහස් වීම පක්ෂ තන්ත්‍රයේ අවශ්‍යතාවක් විය. මධ්‍යම කාරක සභාවට හා මුලික කමිටුවලට දේශපාලනිකව පරික්ෂාවට බදුන් නො වූ හෝ දේශපාලනික මූලිකත්වයක් ගැනීමට අසමත් “එහෙයියන්” පත් කර ගැනීම ඒ සදහා ගත් එක් පියවරකි. ඔවුන්ගේ දේශපාලනය කෙබදු ද යන්න දැනටමත් පැහැදිලි වී ඇත. අලුතෙන් මධ්‍යම කාරක සභාවට පත් කර ගැනුනු ව්‍යාපාරිකයෙකු වන අරුන මලලගම සිය ලෝකල් ලේකම් රත්නසිරි මලලගම සමග එක් වී කරන මෙම දේශපාලන වංචාව පමනක් සලකා බලමු. දකුනු පලාත් ක්‍රියාකාරී කමිටුවක් ඔහු නිවේදනය කලේ ය. කුරුදු තලන්නන්ගේ, ඇගලුම් කම්කරුවන්ගේ, තංගල්ල ගොවීන්ගේ, හෝටල් කම්කරුවන්ගේ වැනි ක්‍රියාකාරී කමිටු මාලාවක් ඔහු හා රත්නසිරි විසින් නිවේදනය කරන ලදී. මේවා ගැන ලෝසවෙ අඩවියෙන් පවා ප්‍රචාරය කලේ ය. කීර්තිමත් වෙබ් අඩවියේ හා පක්ෂයේ නිර්ව්‍යාජ අරගලයේ ඉතිහාසය ගැන අංශුමාත්‍ර හැගීමක් ඇති කෙනෙක් මෙවන් බොරුවලට පක්ෂය ඈදා ගන්නේ නැත. මලලගම සිය හෝටලයේ සේවකයන් බලහත්කාරයෙන් කැදවා නිවේදනය කල ඊනියා හෝටල් කමිටුව ටික දවසක් පවත්වා ගත්තේ එම සේවකයන් තුල රැකියාව අහිමි වීමේ බිය නිර්මානය කිරීම තුලිනි. එහිදී සිදු කලේ ක්‍රියාකාරී කමිටු යන සංවිධාන රූපය ම අප්‍රසාදයට පාත්‍ර කිරීම ය.

සමන් ගුනදාස නතාශා එදිරිසූරිය අත් අඩංගුවට ගැනීමට එරෙහිව ක්‍රියාශීලීව මැදිහත් වූ එකම කම්කරු පන්තික සංවිධානය වන කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රසිද්ධ රැස්වීමක් මැදට පැන එම කමිටුව කඩාකප්පල් කිරීමට දැරූ ප්‍රයත්නය තුලින් ප්‍රකාශයට පත් වූ වියරුසහගත මංමුලාව පක්ෂය ඇද වැටී සිටින තැන පිලිබද පැහැදිලි ඉගියකි. අද එම සමන්ම ධනපති හමාස් සමග එකට සිටගැනීම යෝජනා කිරීම පුදුම සහගත නැත.

ජාතික ප්‍රජාතනත්‍රවාදී අයිතියක් වන ස්වයං නීර්නය කම්කරු පන්තියේ ආඥාදායකත්වය තුලින් පමනක් සාත්ෂාත් කර ගත හැකිය යන මාක්ස්වාදී ආස්ථානයට සමස්ථ පක්ෂ තන්ත්‍රයම එල්ල කල ප්‍රහාරයේ ප්‍රධාන ලිපිකරුවෙකු ලෙස සමන් මතු වීම ද අහම්බයක් නො වන බව මෙයින් හෙලි වේ. 

ලෝකය ලෝක යුද්ධයක් හා සමාජවාදී විප්ලවයක් අතර ලඹ දෙයි. පක්ෂය ඒ සදහා සූදානම් කිරීම යනු ජාත්‍යන්තර කමිටුවේ වචන මත හුදෙක් යැපීම නො වේ. එම ඉදිරි දර්ශන, පක්ෂය තුලත් පන්තිය තුලත් ක්‍රියාශීලී භාවිතය මගින් වර්ධනය කිරීම අවශ්‍යය. ඒ අර්ථයෙන් සැලකූ කල සමන්ගෙන් ප්‍රකාශයට පත් වන මාධ්‍යමික චර්යාව විමර්ශනයට ලක් කිරීම කල් නො දැමිය යුතු ය. අනෙක් අතට ඔහු විසින් සමාජගත කර ඇති පක්ෂ විරෝධී ආස්ථානය වහාම නිවැරදි කල යුතු ය. පක්ෂය ගොඩ නැගීමේ ජාත්‍යන්තර අරගලයට සම්බන්ධිත ඉතිහාසය තුල පිහිටා මලලගම වැනි අයගේ ක්‍රියා කලාපය ද එවන් දේට පක්ෂය තුල ඉඩප්‍රස්ථාව සැලසුනේ කෙසේ ද යන කරුන ද පරීක්ෂාවට බදුන කල යුතු ය. 

මේ සදහා පක්‍ෂ සාමාජිකත්වය තමන් විසින් මූලිකත්වයක් ගත යුතු වන අතර, ජාත්‍යන්තර කමිටුව හා සසප ඉතිහාසයේ අත් දැකීම් මගින් දැනටමත් සම්පාදනය කර ඇති න්‍යායික ප්‍රාග්ධනය ඊට අවශ්‍යය අවි සම්පාදනය කරනු ඇත. ජාත්‍යන්තර කමිටුවේ ශාකාවන් ගොඩ නැගිය යුතු වන්නේ, ජාක විසින් සියලු ශාකාවල සාමාජිකයන්ගේ ද සහභාගීත්වයෙන් වර්ධනය කර සම්පාදනය කරන ඉදිරි දර්ශන හා මග පෙන්වීම්වලට යටත්ව අදාල  ශාකාවේ නායකත්වය හා සාමාජිකත්වය විසින් ම ය. ඒ වෙනුවට ජාත්‍යන්තර කමිටුවට සාමාජිකයන් වෙනුවට ආදේශ විය නො හැකි බව වටහා ගැනිම අවශ්‍යය ය.  

අවසාන වශයෙන් අපි මෙසේ අවධාරනය කරමු: පලමුව, ඉතිහාසය, ඉදිරි දර්ශනය හා ක්‍රියා මාර්ගය පැහැදිලි කිරීම; දෙවනුව, කම්කරු පන්තිය තුල අවස්ථාවාදී බලපෑම්වලට එරෙහි දේශපාලන අරගලය තීව්‍ර කිරිම; තෙවනුව, කම්කරු පන්තිය තුලට නිරන්තරයෙන් සෘජු ශාරීරික හැරීම. පක්ෂය ගොඩ නැගීම ජාකවේ මෙම අවධාරනය සමග අත්‍යන්තයෙන් බැදී ඇත.

සහෝදරත්වයෙන් 

නන්දන නන්නෙත්ති. (සසප වාම පාර්ෂවය වෙනුවෙන්)   

1 thought on “විවෘත ලිපිය: සසප උප ලේකම් සමන් ගුනදාස හමාස් සමග පෙල ගැසීමක් ඉල්ලා සිටියි”

  1. සුනිල් ප්‍රනාන්දු

    අධානග්‍රාහිත්වයෙන්
    තොරව අවධානයට ලක් කල යුතු විශ්ලේෂණාත්මක ලිපියකි. ප්‍රශංසනීයයි.

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top