සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන්ට එරෙහි වෘත්තීය සමිති නායකයන්ගේ මැර ප්‍රහාරය හෙලා දකිමු!

කොලඹ ක්‍රියාකාරී කමිටුවේ ප්‍රකාශය

පසුගිය නොවැම්බර් 30 වන බ්‍රහස්පතින්දා දින, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ වෘත්තීය සමිතියක් වන පොදුජන ප්‍රගතිශීලී සේවක සංගමයේ මොරටුව විශ්ව විද්‍යාල ශාඛාවේ සභාපති හා ලේකම් විසින් දේහින් වසන්ත හා ලක්ෂ්මන් ප්‍රනාන්දු යන සමාජවාදී සමානතා පක්ෂයේ සාමාජිකයන් දෙදෙනාට එල්ල කරන ලද කායික ප්‍රහාරය දැඩි ලෙස හෙලා දකින කොලඹ ක්‍රියාකාරී කමිටුව, සසප සාමාජිකයන්ට සිය දේශපාලන කටයුතු සිදු කිරීමට ඇති අයිතිය ආරක්ෂා කිරීමට නැඟී සිටින ලෙස සරසවි කම්කරුවන්, ආචාර්යවරුන් හා ශිෂ්‍යයන් ඇතුලු සමස්ත කම්කරු පන්තියෙන් හා පීඩිතයන්ගෙන් ඉල්ලා සිටී.   

සසප සාමාජිකයන්ට මෙකී මැර ප්‍රහාරය එල්ල වී ඇත්තේ ඇමරිකා එක්සත් ජනපදයේ සමාජවාදී සමානතා පක්ෂයේ ජාතික ලේකම් ජෝසෆ් කිෂෝර් ඇමතීමට නියමිත මහජන රැස්වීම් පිලිබඳ දැනුවත් කිරීමේ පත්‍රිකාවක් බෙදා හරිමින් සිටිය දී ය. මොරටු විශ්ව විද්‍යාලය අසල උද්ඝෝෂනයේ යෙදී සිටි ඔවුන් වෙත දිගු මුගුරුවලින් සන්නද්ධව පැමිනි ඉන්දික පෙරේරා සහ සුරංග පියවර්ධන නම් ඉහත සඳහන් සමිති නායකයන් බරපතල ලෙස පහර දී ඇත. සිය හිසට එල්ල වූ පොලු පහර වලක්වා ගැනීමට උත්සාහ කරද්දී වසන්තගේ වම් අතේ අස්ථි බිඳී ඇත. 

මැරයන්, වසර 25 කට වැඩි කාලයක් පුරා මොරටුව සරසවියේ අනධ්‍යයන සේවකයෙකු ලෙස සේවය කරන වසන්තට මරන තර්ජන එල්ල කල බව ද, “මුං කොටින්ට සපෝට් කරපු උං” යයි චෝදනා කල බව ද වාර්තා වේ. මෙය පක්ෂයට එරෙහිව වර්ගවාදී නඩ උසි ගැන්වීමට හා රාජ්‍ය මර්දනය කැඳවීමට කරන ලද නින්දිත හඬගෑමකි.  මේ අනුව සසප සාමාජිකයන්ට, කම්කරු පන්තියට පමනක් නොව පීඩිත ජන කොටස්වලට ද ඔවුහු ඍජු තර්ජනයක් එල්ල කර ඇත්තාහ.

මෙම තිරශ්චීන ප්‍රහාරය මහජනතාවගෙන් පරිපූර්නව ම වියෝ වී ගිය පොදුජන පෙරමුනේ ධනපති ෆැසිස්ට් වියරුවේ ප්‍රකාශනයකි. අඩ සියවසකට වැඩි කාලයක සසප හා එහි පූර්වගාමී විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය  (විකොස) ගෙන ගිය සප්‍රතිපත්තික අරගලය පිලිබඳ ඔවුන්ගේ වෛරය එල්ල වීම අපට කිසිසේත් ම පුදුමයක් නොවේ. වසන්ත කෙරේ ඔවුන්ගේ වෛරයට යටින් දිවෙන්නේ වසර 25 කට වඩා ශ්‍රී ලංකා කාර්මික නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෙකු වශයෙන් හිඳිමින් සමාජවාදී ප්‍රතිපත්ති සහ විශ්වවිද්‍යාලයේ කම්කරුවන්ගේ සහ සිසුන්ගේ අයිතීන් වෙනුවෙන් ඔහු සිදු කල වර්ගයේ අරගල කෙරේ ඔවුන් දක්වන මාරක භීතියයි. මෙම සිදුවීම, තමන්ට එරෙහි බරපතල පන්ති යුද්ධයකට මුහුන පා සිටින කම්කරු පන්තියට සිය ප්‍රතිප්‍රහාරය සංවිධානය කර ගැනීමෙහි දී හුදු ධනපති රාජ්‍යයට පමනක් නොව, එහිම කොටසක් වන මෙම සමිති නිලධරයන්ට ද මුහුන දීමට සිදුවන්නේ ය යන පාඩම ව්‍යක්ත ලෙස ගෙන එයි.

ලෝක පරිමාන අර්බුදයක කර වටක් ගිලී ගත් ධනේශ්වර ක්‍රමය කම්කරු පන්තියට තීරනාත්මක පරාජයක් අත්පත් කර දීම සඳහා පිඹුරුපත් සකසන තතු තුල වෘත්තීය සමිතිවල ප්‍රතිගාමී ක්‍රියා කලාපය නව මට්ටමකට උත්සන්න කෙරී ඇති ආකාරය මෙම ප්‍රහාරයෙන් යලිත් ඔප්පු වී ඇත. පාලක පංතියේ අර්බුදය උද්ධමනයේ, රැකියා කප්පාදුවේ හා  සුබසාධනයන් උදුරා ගැනීමේ ආකාරයෙන් වැඩ කරන ජනයාගේ කර මත පටවමින් සිටින තතු තුල, කම්කරු පන්තියේ වැඩෙන ප්‍රතිප්‍රහාරයට එරෙහිව කඩා පැනීම සඳහා වෘත්තීය සමිති රාජ්‍යය සමඟ එක පෙලට සිටිමින්, ඔවුන්ගේ සංවිධානවලට එරෙහි කායික ප්‍රහාර එල්ල කිරීම සඳහා පෙරට පැමින සිටිති.

එය හුදු ලංකාවේ අත්දැකීමක් පමනක් නොවේ. කම්කරු පන්තියට එරෙහි වෘත්තීය සමිති මැරයන්ගේ ප්‍රහාර පිලිබඳ සිදුවීම් කොතෙකුත් පසුගිය කාලයේ ලොව පුරා වාර්තා විය. පසුගිය අගෝස්තුවේ තුර්කියේ කැන්කායා මහ නගර සභාවේ වෘත්තීය සමිති නිලධාරීන් විසින් සිය සාමාජික කම්කරුවන්ට වෘත්තීය සමිති කාර්යාලය තුල දී පහර දුන් සිදුවීමක් පිලිබඳ විරෝධය දක්වමින් කොලඹ ක්‍රියාකාරී කමිටුව නිකුත් කල ප්‍රකාශයේ මෙසේ සඳහන් කෙරින:

ජාත්‍යන්තර පරිමාන අර්බුදයක ගිලී සිටින ධනපති ක්‍රමය විසින් එල්ල කෙරෙන මාරාන්තික ප්‍රහාරවලට කම්කරු පන්තිය මුහුනට මුහුන දී සිටින තතු යටතේ, එකී ප්‍රහාරයට එරෙහිව කම්කරු පන්තිය මෙහෙයවීමට වෘත්තීය සමිති ව්‍යාපාරයට නොහැකි ය. නිෂ්පාදනය සාපේක්ෂ ලෙස ජාතික සීමාවන් තුල පැවැති යුගයක කම්කරු පන්තියට ප්‍රතිසංස්කරන දිනා දීමේ අරගල මෙහෙයවමින්, ධනපති පන්තිය හා කම්කරු පන්තිය අතර හෙට්ටු කරන්නන් ලෙස කටයුතු කරමින්, එමඟින් පන්ති අරගලයේ සමථකරුවන් ලෙස සේවය කල ලෝ පුරා වෘත්තීය සමිති ව්‍යාපාර, නිෂ්පාදනයේ ගෝලීයකරනයත් සමඟ සම්පූර්න අර්බුදයක් කරා ගමන් කර ඇත. වර්තමාන ලෝක පරිමාන ධනේශ්වර අර්බුදයට ප්‍රතිචාර ලෙස ධනපති පන්තිය විසින් කම්කරු පන්තිය මත හෙලනු ලබන ප්‍රහාරවලට මුහුන දීමේ මොනම හෝ ජාතික වැඩ පිළිවෙලක් නොපැවතීම නිසා, කම්කරු පන්තියට ‘සහන’ දිනා දෙන්නන් ලෙස පැවැති භූමිකාව වෛෂයික ව අහෝසි වී ගොස් ඇති තතු යටතේ, දැන් වෘත්තීය සමිති කෙලින්ම වැඩකරන්නේ ධනපති පාලනයේ ආරක්ෂක ⁣බල ඇනියක් ලෙසයි. මෙසේ ගෝලීය අර්බුදයකින් ගිලී සිටින ධනපති ක්‍රමය සිය පැවැත්ම සඳහා දරන මාරාන්තික ප්‍රයත්නයේ දී ඔවුන්ගේ සහකරුවා ලෙස කම්කරු පංතියට එරෙහි ව ඕනෑම දුරක් යෑමට සමිතිවල ඇති සූදානම ලොව පුරා අත්දැකීම් මගින් තහවුරු වෙයි.” (වෘත්තීය සමිති නිලධරයේ මැර ප්‍රහාරයන්ට එරෙහිව තුර්කි කම්කරුවන් ආරක්ෂා කරනු!. 2023 අගෝස්තු 20, theSocialist.LK) 

කම්කරු පන්තියේ සංවිධානවලට එරෙහිව කායික ප්‍රහාර එල්ල කිරීමට වෘත්තීය සමිති නායකයන් ක්‍රියා කිරීම පසුපසින් පවතින යථාර්තය  එපරිද්දෙනි.

තුර්කි සිදුවීම සම්බන්ධයෙන් අපේ ප්‍රකාශය මෙසේ ද සඳහන් කලේය:       

“තුර්කියේ මෙන් ම සෑම රටකම ද කම්කරුවන්ට රැකියා, වැටුප් ඇතුලු අයිතීන් රැක ගැනීමේ මාවත වැටී ඇත්තේ ධනපති ක්‍රමයටත්, එහි ආරක්ෂකයා වන වෘත්තීය සමිතිවලටත් එරෙහි අරගලය හරහා බව වටහා ගෙන සිටින කොක්‍රික, වෘත්තීය සමිති හා මධ්‍යම පංතික ව්‍යාපාර ධනපති රාජ්‍යය හා සංගත සමග පෙල ගැසී ගෙනයන ප්‍රතිගාමී ව්‍යාපාරය හෙලිදරව් කරමින්, කම්කරු පන්තික ප්‍රජාතන්ත්‍රවාදය  ක්‍රියාත්මක වන කම්කරු පන්තියේ ස්වාධීන සංවිධාන ගොඩ නැඟීම තීරනාත්මක කාරනයක් බවට පත්ව ඇතැයි යන්න පිලි ගනී. කම්කරු පීඩිත ජනයාගේ ආර්ථික, දේශපාලන හා ජීවන අවශ්‍යතා නියෝජනය කරන, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිමතය මත ක්‍රියාත්මක වන එකී සංවිධාන තුල, කම්කරුවන් ධනපති පන්තියට හා එහි රාජ්‍යයට ගැට ගසමින් ධනේශ්වර අර්බුදයේ බර කම්කරු පන්තියේ කර මත පටවන වෘත්තීය සමිති නිලධරයන් ඇතුලු ධනපති ඒජන්තයන්ට මොනම ඉඩක්වත් නැත. පාවාදීම් කපා හරිමින් අරගලය අවසාන ජයග්‍රහනයක් දක්වා ගෙන යාමට නම්, සාකච්ඡා හරහා ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තීන්දුවලට එළඹෙන කම්කරු පන්තියේ එවැනි ස්වාධීන, අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදී සංවිධාන අත්‍යවශ්‍ය ය.

කම්කරු පන්තියේ ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩනැඟීම ද, ලෝකය පුරා එවැනි ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සන්ධානයක් පිහිටුවීම මඟින් කම්කරු පන්තියේ වෛෂයික එකමුතුව තහවුරු කිරීම ද සඳහා ලෝසවෙඅ හරහා හජාජාක නිකුත් කර ඇති කැඳවීමට කොක්‍රික සිය සහයෝගය පල කරයි. මෙම වැඩ පිලිවෙල ඉදිරිපත් කරමින් මෑත කාලයේදීම සසප ක්‍රියාකාරීන් සිදු කල මැදිහත්වීම් ගනනාවක දී ම වෘත්තීය සමිතිවල මැදිහත් වීමෙන් ඔවුන්ට කායික අඩම්තේට්ටම් සහ වාචික තර්ජන ද, බාධා කිරීම් ද සිදුකෙරුනි. කොක්‍රික එම ප්‍රහාර වලට එරෙහිව සසප හා ස්වාධීන කම්කරුවන් ආරක්ෂා කලේය.” (-එම-)

කම්කරු පන්තියේ ස්වාධීන පන්ති ක්‍රියාවන්ට එරෙහිව ධනපති රාජ්‍යය පමනක් නොව, එහි උපකරනයක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිති නිලධරය ද කායික ප්‍රහාරවලට පැන ගෙන සිටීම විකොස-සසප අරගලයේ උරුමය විසින් ම ස්ථාපනය කරන ලද එක් ප්‍රජාතන්ත්‍රවාදී මූලධර්මයක තීරනාත්මක භාවය ඉහලින් ම ඔසොවා තබයි. එනම්, කම්කරු පන්තියේ හා පීඩිත ජනයාගේ කවර හෝ සංවිධානයකට එරෙහිව එසවෙන ධනේශ්වර මර්දනයේ හස්තයට විරුද්ධ ව – ඔවුන් සමඟ ඇති දේශපාලන මතභේද තිබියදී ම – මුලු වැර යොදා සටන් කිරීමේ අත්‍යවශ්‍යතාව පිලිබඳ මූලධර්මයයි. හතරවැනි ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) විසින් නිරන්තරයෙන් රකින ලද මේ පිලිවෙතින් දශමයකුදු පසු නොබැස සටන් කිරීම විනා අන් මාවතක් කම්කරු පන්තියට නැත.   

කොක්‍රික අප සියලු කම්කරුවන්ගෙන් ඉල්ලා සිටින්නේ සමාගම් හා ආන්ඩු සමග කම්කරු පොලීසියක් ලෙස ක්‍රියාත්මක වන වෘත්තීය සමිතිවලින් ස්වාධීනව තමන්ගේම දේශපාලන බල සංස්ථා ගොඩනගා ගනිමින්, ඒවා ජාතිකවත්, ජාත්‍යන්තරවත් එකමුතු කරමින්, කටයුතු තම පාලනය යටතට ගැනීම සඳහා වන අරගලය හා අත්වැල් බැඳ ගන්නා ලෙසය. නිදහස උදෙසා කම්කරු පංතියට ඇති එකම මඟ එයයි.

කම්කරුවනි, සමාජවාදී සමානතා පක්ෂයට දේශපාලන ප්‍රචාරයේ හා උද්ඝෝෂනයේ යෙදීමට ඇති ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය රකිනු!

කම්කරු පීඩිත පන්ති සංවිධාන ආරක්ෂා කිරීමට පෙරට එනු!

ස්වාධීන ක්‍රියාකාරී කමිටු ගොඩ නගනු!

ලංකාවේ කම්කරුවන්ගේ හා දුගීන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී හා සමාජවාදී සම්මේලනය ගොඩනගමු!

⁣කමිකරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර සංධානයක් සඳහා පෙරට!  

Featured image: පහරදීමට එරෙහිව කොක්‍රික සිදුකල උද්ඝෝෂනයේදී මොරටුව සරසවිය ආසන්නයේ අලවන ලද පෝස්ටරයක්

Leave a Comment

Your email address will not be published. Required fields are marked *

Scroll to Top