Kamkaru Mawatha

218FACE1 64C4 404F A2AE 5C40178B21E8

The Socialist සඟරාව දියත් කිරීමේ දේශපාලනික හා ඓතිහාසික අර්ථභාරය

ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂයේ (සසප) විප්ලවවාදී වාම කණ්ඩායම වන ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (SLLA) ප්‍රකාශය.

මෙම ප්‍රකාශය 2025 දෙසැම්බර් 21 දින ඉංග්‍රීසි බසින් thesocialist.lk හි පළ විය. 

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) විසින් ප්‍රකාශයට පත් කරන මාසික ඩිජිටල් සඟරාව වන “The Socialist”, දකුණු ආසියාවේ විප්ලවවාදී මාක්ස්වාදී ව්‍යාපාරයේ ඉතිහාසයේ දේශපාලනික වශයෙන් වැදගත් වර්ධනයක් නියෝජනය කරයි. එය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක/ICFI) ජාත්‍යන්තර විප්ලවවාදී ඉදිරිදර්ශනය පිළිබඳ සවිඥානික ප්‍රකාශයක් වන අතර ශ්‍රී ලංකාවේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ වර්ධනයට වල කපමින් පැවති ජාතිකවාදී සහ අවස්ථාවාදී භාවිතයන්ගෙන් තීරණාත්මක ලෙස බිඳී යාමක් සනිටුහන් කරයි.

SLLA මුහුණ දෙන කේන්ද්‍රීය කර්තව්‍යය වන්නේ ICFI හි ගෝලීය සටනේ කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා අරගල කිරීමයි. 2023 මාර්තු 11 වන දින thesocialist.lk දියත් කිරීම, දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික වර්ධනයන් පිළිබඳ සංගත මාක්ස්වාදී විශ්ලේෂණයන් වර්ධනය කිරීමේ සහ ලෝක සමාජවාදී විප්ලවයේ මූලධර්ම හා වැඩ පිළිවෙළ (program) පිළිබඳව කම්කරුවන් සහ තරුණයින් උගන්වා ගැනීමේ ආරම්භක පියවරක් විය. 2024 ජූලි මාසයේදී සසප-වාම කණ්ඩායමේ භේදයෙන් සහ ට්‍රොට්ස්කිවාදී මූලධර්ම සහ සමාජවාදී ජාත්‍යන්තරවාදය ආරක්ෂා කිරීම අතහැර දැමූ ජාතිකවාදී කන්ඩායම නෙරපා හැරීමෙන් පසුව, thesocialist.lk, SLLA හි න්‍යායික හඬ බවට පත්විය. 2025 ඔක්තෝම්බර් මාසයේදී The Socialist සඟරාව එළි දැක්වීම මෙම කාර්යයේ වැඩිදුර දේශපාලනික හා න්‍යායික පරිණාමය නියෝජනය කරයි. වෙබ් අඩවියෙන් ඔබ්බට ගිය වර්ධනයක් ලෙස, සඟරාව ICFI හි ඉදිරිදර්ශන විස්තාරණය කිරීම සඳහා ව්‍යුහගත හා මාසිකව සකස් කෙරෙන වේදිකාවක් සපයන අතර නාගරික කම්කරු පන්තිය, ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව අතර ඒවායේ ප්‍රවේශය පුළුල් කරයි. එය හුදෙක් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විප්ලවවාදී සමාජවාදී නායකත්වය ගොඩනැගීමේ සටනේ අඛණ්ඩතාවය පමණක් නොව, එහි ගැඹුරු වීමක් පෙන්නුම් කරන අතර, එය ලෝක සමාජවාදී විප්ලවය සඳහා වූ ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර අරගලයට වෙන් කළ නොහැකි ලෙස බැඳී ඇත.

The Socialist යනු හුදෙක් නව ප්‍රකාශනයක් නොවේ. ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදය සඳහා වන සටන ජාත්‍යන්තර කමිටුව විසින් විස්තාරණය කරන ලද ගෝලීය විප්ලවවාදී මූලෝපාය (strategy) තුළ පදනම් විය යුතු බවට පිළිගැනීම තුළ මුල් බැසගත් ජාත්‍යන්තරවාදී මාක්ස්වාදී දිශානතියක ස්ඵටිකීකරණය එය නියෝජනය කරයි. පැබ්ලෝවාදයට සහ සියලු ආකාරයේ ජාතිකවාදී අවස්ථාවාදයට එරෙහි අරගලයේ ඓතිහාසික පාඩම් මත පදනම්ව, ට්‍රොට්ස්කිවාදී දේශපාලන වැඩ පිළිවෙළ නැවත ස්ථාපිත කිරීම සහ න්‍යායික පැහැදිලිකම, පන්ති ස්වාධීනත්වය සහ විප්ලවවාදී ශුභවාදී බව සමඟ පන්ති අරගලයට මැදිහත් වීම SLLA හි සවිඥානික උත්සාහය යි.

ඓතිහාසික අඛණ්ඩතාව: ලෝසවෙඅ සිට The Socialist දක්වා

The Socialist දියත් කිරීම ඓතිහාසිකව හා දේශපාලනිකව 1998 පෙබරවාරි මාසයේදී ජාත්‍යන්තර කමිටුව විසින් ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ/WSWS) ආරම්භ කිරීම හා සම්බන්ධ වේ. ඒ අවස්ථාවේ ඩේවිඩ් නෝර්ත් පැහැදිලි කළ පරිදි, ලෝක සමාජවාදී වෙබ් අඩවිය හුදෙක් නව ප්‍රකාශනයක් නොව, බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදයට එරෙහිව ජාත්‍යන්තර කමිටුව ගෙන ගිය අරගලයෙන් මතුවූ ගැඹුරු න්‍යායික හා දේශපාලනික පැහැදිලි කිරීමක ප්‍රතිඵලයකි.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය බිහි වූයේ ධනේශ්වර නිෂ්පාදනයේ භූගෝලීයකරණය–ලෝක ආර්ථිකය තනි නිෂ්පාදන පද්ධතියකට ඒකාබද්ධ කිරීම–සියලු ජාතික වශයෙන් සීමිත දේශපාලන වැඩ පිළිවෙළවල් ප්‍රතිගාමී හා යල් පැන ගිය බවට හඳුනා ගැනීමෙනි. ගෝලීයකරණය වූ ධනවාදයේ යුගයට, සියලු ජාතික සීමාවන් හරහා කම්කරුවන්ගේ අරගල මෙහෙයවීමට හැකියාව ඇති, තනි ජාත්‍යන්තර ඉදිරිදර්ශනයකින් සහ වැඩ පිළිවෙළකින් එක්සත් වූ සමාජවාදී විප්ලවයේ ලෝක පක්ෂයක් ගොඩනැගීම අවශ්‍ය විය. ජාතික බෙදාහැරීමේ සීමාවන් මගින් සීමා කරන ලද පක්ෂ මුද්‍රණාලයේ මුද්‍රිත සාම්ප්‍රදායික ආකාර, මෙම නව ඓතිහාසික අවධියට ප්‍රමාණවත් නොවීය. ගෝලීය සන්නිවේදනයේ වඩාත්ම දියුණු මාධ්‍යය ලෙස අන්තර්ජාලය, ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත ළඟා වීමට, අධ්‍යාපනය ලබා දීමට සහ දේශපාලනිකව එක්සත් කිරීමට බලගතු මෙවලමක් ICFI වෙත ලබා දුන්නේය.

The Socialist ඩිජිටල් සඟරාවක් ලෙස දියත් කිරීමට SLLA ගත් තීරණය මෙම ජාත්‍යන්තරවාදී දිශානතිය තුල පිහිටා සිටීමක් වන අතර එය පුළුල් කරයි. මාක්ස්වාදී න්‍යාය, ඓතිහාසික විශ්ලේෂණය සහ විප්ලවවාදී මූලෝපාය කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ පුළුල්ම ස්ථර–විශේෂයෙන් ද්‍රව්‍යමය සම්පත් අහිමි වීම, භාෂාමය බාධක සහ ස්ටැලින්වාදය, මාඕවාදය සහ වෘත්තීය සමිති නිලධරයන්ගේ දශක ගණනාවක් තිස්සේ පාවාදීම් හේතුවෙන් දේශපාලන අධ්‍යාපනයෙන් හුදකලා වූ අය–වෙත ගෙන යාම සඳහා වඩාත්ම දියුණු සන්නිවේදන ක්‍රම භාවිතා කිරීමේ අධිෂ්ඨානය එය ප්‍රකාශ කරයි.

ඩිජිටල් ආකෘතියේ දේශපාලන අර්ථය

The Socialist හි ඩිජිටල් PDF (portable document format) හෝ වෙනත් විද්‍යුත් පොත් (e-book) ආකෘතියක් හුදෙක් තාක්ෂණික පහසුවක් පමණක් නොව ගැඹුරු සමාජ හා තාක්ෂණික පරිවර්තනයන්ට අනුරූප වීමක් වේ. එය මුල් බැස ඇත්තේ සන්නිවේදනයේ සහ පන්ති අරගලයේ ද්‍රව්‍යමය තත්වයන්හි වෛෂයික වෙනස්කම් පිළිබඳ අවබෝධයක් තුළ ය.

පසුගිය දශකය තුළ, ජංගම අන්තර්ජාල තාක්ෂණය සහ ස්මාර්ට්ෆෝන් පැතිරීම ශ්‍රී ලාංකික සහ දකුණු ආසියානු සමාජය තුළ ගැඹුරින් සිදුවී තිබේ. දුරස්ථ ග්‍රාමීය ප්‍රදේශවල පවා, කම්කරු පන්තියේ මව්වරු, සිසුහු සහ ග්‍රාමීය තරුණයෝ ඇතුළු මිලියන ගණනක් නිතිපතා WhatsApp සහ අනෙකුත් සමාජ මාධ්‍ය වේදිකා හරහා ඩිජිටල් ලේඛන වෙත ප්‍රවේශ වී බෙදා ගනිති. අධ්‍යාපනික ද්‍රව්‍ය, රජයේ ලේඛන, පුවත්පත් සහ ක්ෂණික ප්‍රවෘත්ති වැඩි වැඩියෙන් ඩිජිටල් ආකාරයෙන් සංසරණය වේ. මෙය හුදෙක් තාක්ෂණික වෙනසක් නොව, තොරතුරු සහ අදහස් බෙදා හැරීමේ සහ විඥානය ගොඩනඟන මාධ්‍යවල පරිවර්තනයක් නියෝජනය කරයි.

මෙම වර්ධනය, ICFI වැඩපිළිවෙළ සෘජුවම කම්කරුවන්, ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව වෙත ගෙන යාම සඳහා SLLA වෙත ද්‍රව්‍යමය පදනම සපයයි. භූගෝලීය බාධක, දරිද්‍රතාවය, සේවා ස්ථාන සීමාවන් සහ සාම්ප්‍රදායික මුද්‍රිත බෙදාහැරීමේ ජාලවල සීමාවන් සහ ඉහළ පිරිවැය ජය ගනිමින්, දහස් ගණනකට The Socialist ක්ෂණිකව කියවා බෙදා ගත හැකිය. ධනේශ්වර ජාතිකවාදය, ස්ටැලින්වාදී සහ මාඕවාදී පක්ෂ, වෘත්තීය සමිති නිලධරයන් සහ වාර්ගික දේශපාලනය විසින් දශක ගණනාවක් තිස්සේ දේශපාලනිකව ආධිපත්‍යය දරන සමාජ ස්ථර වෙත ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී වැඩ පිළිවෙළ ළඟා කිරීමේ හැකියාව එය නිර්මාණය කරයි.

කෙසේ වෙතත්,  එය ධනේශ්වරයේ පාලනය යටතේ පවතින තුරු තාක්‍ෂණයම දේශපාලනික වශයෙන් මධ්‍යස්ථ නොවන බව අවධාරණය කළ යුතුය. ඩිජිටල් සන්නිවේදනයේ ව්‍යාප්තිය ධනේශ්වර වර්ධනයේ නිෂ්පාදනයකි– එය, ධනවාදය යටතේ මිනිස් ශ්‍රමය විසින් නිර්මාණය කරන ලද අසාමාන්‍ය නිෂ්පාදන බලවේගවල ප්‍රකාශනයකි. නමුත් අතිමහත් ප්‍රගතිශීලී විභවයක් දරන මෙම බලවේගම ධනේශ්වර ක්‍රමය තුළ සිරගතව සිටින අතර එහි අවශ්‍යතා සඳහා සේවය කරයි. තාක්‍ෂණයේ විප්ලවීය භාවිතය සඳහා මාක්ස්වාදී න්‍යාය සහ කම්කරු පන්තියේ ස්වාධීන අවශ්‍යතා සඳහා වන අරගලය මත පදනම් වූ සවිඥානික දේශපාලන හැසිරවීමක් අවශ්‍ය වේ.

මේ සම්බන්ධයෙන් The Socialist පුවත්පත දැවැන්ත දේශපාලන අර්ථභාරයක් දරයි: එය ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙළේ මඟ පෙන්වීම යටතේ නවීන තාක්‍ෂණය උපයෝගී කරගනිමින් සමාජයේ සමාජවාදී පරිවර්තනය සඳහා කම්කරු පන්තිය සහ පීඩිත ජනතාව දැනුවත් කිරීම සහ බලමුලු ගැන්වීම සිදු කරයි. එසේ කිරීමෙන්, එය SLLA හි කේන්ද්‍රීය මූලෝපායික කර්තව්‍යය–විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම සඳහා සමාජවාදී සමානතා පක්ෂය (සසප/SEP) ගොඩනැගීම–නාගරික කම්කරු පන්තිය සහ ග්‍රාමීය තරුණයින්, ගොවි ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර1 අතර නිර්ධන පන්තියේ නායකත්වය යටතේ සවිඥානික විප්ලවවාදී සන්ධානයක් (alliance) ඇති කිරීම මගින් සෘජුවම ඉදිරියට ගෙන යයි.

නායකත්වයේ අර්බුදය සහ විකොස/සසප අසාර්ථකත්වය

The Socialist දියත් කිරීම සමාජවාදී සමානතා පක්ෂයේ සහ එහි පූර්වගාමියා වූ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස/RCL) ඓතිහාසික අත්දැකීම් තුළ—සියල්ලටත් වඩා, කම්කරු පන්තිය තුළ මුල් බැසගත් සහ ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව ජාත්‍යන්තර කම්කරු පන්තියේ විප්ලවවාදී සමාජවාදී වැඩසටහනට දිනා ගැනීමට සමත් සැබෑ මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීමට ඔවුන් අසමත් වීම තුළ–ස්ථානගත කළ යුතුය. දේශපාලන පසුබැසීම් (retreats) සහ අවස්ථාවාදී අනුගතවීම් (adaptations) තුළ මුල් බැසගත් මෙම ඓතිහාසික ඌනතාව, ව්‍යාපාරයේ මාක්ස්වාදී පදනම් නැවත ස්ථාපිත කිරීම සහ විප්ලවවාදී නායකත්වයේ කාර්යයන් සඳහා නව පරම්පරාවක් සූදානම් කිරීම පිණිස මෙවලමක් ලෙස The Socialist හි තීරණාත්මක වැදගත්කම අවධාරණය කරයි.

දකුණේ මහජන තරුණ නැගිටීම්, උතුරු හා නැගෙනහිර සිවිල් යුද්ධය සහ රාජ්‍ය භීෂණය මගින් සලකුණු කරන ලද 1987-1990 තීරනාත්මක කාල පරිච්ඡේදයේදී, විකොස තීරණාත්මක පරීක්ෂණයකට මුහුණ දුන්නේය. ජාත්‍යන්තර කමිටුවේ ජාත්‍යන්තර වැඩපිළිවෙල නිළ වශයෙන් ආරක්ෂා කළද, රැඩිකලීකරණය වූ  සිංහල හා දෙමළ ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ස්ථර ට්‍රොට්ස්කිවාදී වැඩ පිළිවෙලට දිනා ගැනීම සඳහා අවශ්‍ය දේශපාලන හා සංවිධානාත්මක මූලෝපාය වර්ධනය කිරීමට පක්ෂය අසමත් විය.

මෙම අසමත් වීම ප්‍රධාන වශයෙන් උපායමාර්ගික (tactical) දෝෂ හෝ ප්‍රමාණවත් නොවන සම්පත් පිළිබඳ ප්‍රශ්නයක් නොවීය. එය ජාතික දේශපාලනයේ රාමුවට ගැඹුරු තත්ත්කාර්‍යවාදී අනුගත වීමකින් සහ පසුගාමී රටවලින් සමන්විත  කලාපයක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ කම්කරු පන්තියේ සහ ග්‍රාමීය ජනතාවගේ විප්ලවවාදී ධාරිතාව පිළිබඳ මූලික සංශයකින් ගලා ආ, ලියොන් ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය මගින් ඒවාට එරෙහිව විස්තාරණය කරන ලද පැරණි මෙන්ෂෙවික් සංකල්ප දෙසට ආපසු යාමකි. පක්ෂ නායකත්වයේ භාවිතයන් පෙන්නුම් කළේ, ශ්‍රී ලංකාව වැනි පසුගාමී, ධනේශ්වර සංවර්ධනය  ප්‍රමාද වූ රටක කම්කරු පන්තියට ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී විප්ලවයට නායකත්වය දිය හැකි බවට වූ ඉදිරිදර්ශනය සඑල ලෙස අතහැර දමා, ශ්‍රී ලංකාවේ, ඉන්දියාවේ හෝ බංග්ලාදේශයේ හෝ වැනි රටක කම්කරුවන් බලය අල්ලා ගැනීමට පෙර දියුණු ධනේශ්වර මධ්‍යස්ථානවල සමාජවාදී විප්ලවය ප්‍රථමයෙන් ජයග්‍රහණය කළ යුතු බවට වන උදාසීන අපේක්ෂාවකින් එය ප්‍රතිස්ථාපනය කිරීමය–එනම් අධිරාජ්‍යවාදය යටතේ ඒකාබද්ධ හා අසමාන සංවර්ධනය පිළිබඳ ඔහුගේ විශ්ලේෂණය හරහා ට්‍රොට්ස්කි තීරණාත්මකව නිෂ්ප්‍රභා කළ පූර්ව-1905  සැලැස්ම කරා පසුබෑමකි.

රුසියානු විප්ලවයේ අත්දැකීම් සහ යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අරගල මගින් සත්‍යාපනය කරන ලද නොනවතින  විප්ලවයේ න්‍යාය, ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල, ජාතික ධනේශ්වරයේ නායකත්වය යටතේ, ඓතිහාසිකව ධනේශ්වර විප්ලවයන් සමඟ සම්බන්ධ වූ ප්‍රජාතන්ත්‍රවාදී සහ ජාතික කාර්යයන් සාක්ෂාත් කරගත නොහැකි බව තහවුරු කරයි. එවැනි රටවල ධනේශ්වරය ඓතිහාසික වේදිකාවට පැමිණෙන්නේ ප්‍රමාද වී, අධිරාජ්‍යවාදයට හුය පට දහසකින් බැඳී, කම්කරු පන්තියේ සහ ගොවීන්ගේ විප්ලවීය බලමුලු ගැන්වීමට බියෙනි. ග්‍රාමීය දුප්පතුන් සහ පීඩිත ජනතාව මෙහෙයවමින්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන අරගලය ජාත්‍යන්තර පරිමාණයෙන් සමාජවාදය සඳහා වන සටනට සම්බන්ධ කරන කම්කරු පන්තියට පමණක් සමාජය මුහුණ දෙන මූලික ගැටලු විසඳිය හැකිය.

රැඩිකලීකරණය වූ සිංහල හා දෙමළ ග්‍රාමීය තරුණයින් කෙරෙහි විධිමත්ව නැඹුරු වීමට විකොස අසමත් වීම, දකුණේ ජනතා විමුක්ති පෙරමුණ (ජේවීපෙ/JVP) සහ උතුරේ දෙමළ ඊලාම් විමුක්ති කොටි (LTTE)2 සංවිධානය වැනි සුලු ධනේශ්වර ව්‍යාපාර විසින් ආධිපත්‍යය දරන ජාතිකවාදී දේශපාලන වාතාවරණයට ප්‍රතිපත්ති විරහිතව අනුගත වීමෙන් ගලා ආවේය. සිංහල ස්වෝත්තමවාදය කම්කරු පන්තිය කෙරෙහි ප්‍රචණ්ඩ සතුරුකම සමඟ ඒකාබද්ධ කරමින්, ජනතා විමුක්ති පෙරමුණ, දිශානතිහරිත සහ රැඩිකලීකෘත ග්‍රාමීය සිංහල තරුණයින් අතර මහජන පදනමක් ගොඩනගා ගැනීමට සමත් වූයේම, නිශ්චිතවම, මෙම ස්ථර වෙත විකොසට තිරසාර දිශානතියක් හෝ ප්‍රවේශයක් නොතිබූ බැවිනි3. 1983 සිට4, උතුරේත්, දකුණේත් ශ්‍රී ලංකා දේශපාලනය සහ පන්ති අරගලය මත–කම්කරු පන්තිය බෙදීමට, සමාජය මිලිටරිකරණය කිරීමට සහ ස්වාධීන නිර්ධන පන්ති අරගලය මර්දනය කිරීමට ධනේශ්වරය ගසා කන ලද–නොවිසඳුනු දෙමළ ජාතික ප්‍රශ්නය වැඩි වැඩියෙන් ආධිපත්‍යය දරන ලද අතර මැදිහත් වීම සිදු විය. ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ධනේශ්වර-ජාතිකවාදී ව්‍යාපාරවලට අනුගත වීමට බලපෑම් කළ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදී අනුග්‍රහය යටතේ, උතුරු සහ නැගෙනහිර පළාත්වල LTTE සංවිධානය කෙරෙහි RCL මුලින් අනුවේදතාවයෙන්  (Sympathy) කටයුතු කිරීම දෙමළ තරුණයින්ව දේශපාලනිකව පාවාදීමක් විය. දෙමළ ජනතාවගේ ජාතික ස්වයං නිර්ණය සඳහා ‘විමුක්ති ව්‍යාපාරයක්’ නියෝජනය කරන බවට වූ LTTE සංවිධානයේ කියාපෑම අනුමත කිරීමෙන් සහ වෙනම දෙමළ ඊලමකට සහාය දීමෙන්, RCL පීඩිත දෙමළ තරුණයින්ට දිය යුතුව තිබූ නායකත්වය ධනේශ්වර වැඩ පිළිවෙළක් සඳහා සටන් කළ සුලු ධනේශ්වර-ජාතිකවාදී සංවිධානයක් අතට භාර දුන්නේය. WRP විසින් LTTE ට දැක්වූ අවිවේචනාත්මක සහයෝගය, LTTE සහ අනෙකුත් දෙමළ සන්නද්ධ කණ්ඩායම්වල දේශපාලනය පිළිබඳව කිසිදු විශ්ලේශනයෙන් සිදු කිරීමෙන් RCL වලක්වන ලද අතර එය දෙමළ තරුණයින් අතර LTTE බලපෑම ශක්තිමත් කිරීමට උපකාරී විය. එහි ප්‍රතිඵලයක් ලෙස, මෙම දේශපාලන ආස්ථානයන් උතුරේ දෙමළ තරුණයින් විප්ලවවාදී පක්ෂයට දිනා ගැනීමට RCL අසමත් වීමට හේතු වූ අතර, අනෙක් අතට, ජවිපෙට සම්බන්ධ වූ දකුණේ සිංහල ග්‍රාමීය තරුණයින්ගේ කෝපයට නතු වීමට හේතු විය. 1990 දශකයේ මුල් භාගයේදී, සසප නායකත්වය–1986 ට පෙර ස්ථාවරයෙන් අංශක 180 ක හැරීමක් වූ–බෙදුම්වාදයට සහාය දීම ජාත්‍යන්තර කමිටුව ප්‍රතික්ෂේප කිරීම, ජාතීන්ගේ ‘ස්වයං නිර්ණ අයිතිය’ ආරක්ෂා කිරීම අතහැර දැමීමක් ලෙස නොමඟ යවන සුළු ලෙස ප්‍රකාශ කළ අතර, එමඟින් පීඩිත දෙමළ ජනතාවගේ මෙම ප්‍රජාතන්ත්‍රවාදී අයිතියේ අත්‍යවශ්‍ය අන්තර්ගතය ක්‍රියාකාරී ලෙස ප්‍රතික්ෂේප කළේය. මෙය, ජාතික ප්‍රශ්නය විසඳීමට නායකත්වය දිය හැකි විප්ලවවාදී පක්ෂයක් ලෙස, දෙමළ තරුණයින්, දුප්පතුන් සහ වැඩ කරන ජනතාව සසප කෙරෙහි ඇති විශ්වාසය අහිමි කිරීම තවදුරටත් තහවුරු කළේය.

මෙම ද්විත්ව අසාර්ථකත්වය–ග්‍රාමීය සිංහල තරුණයන් තුළට විනිවිද යාමට නොහැකිවීම සහ දෙමළ ධනේශ්වර ජාතිකවාදයට යටත් වීම–නිසා ජනතා විමුක්ති පෙරමුණට හෝ LTTE ට එරෙහිව දේශපාලනිකව සටන් කිරීමට විකොසට නොහැකි වූ අතර, එමඟින්, ව්‍යාපාර දෙකටම විකොස එහි විප්ලවවාදී කර්තව්‍යයන්ගෙන් පසුබැසීමෙන් ඇති වූ රික්තය පිරවීමට ඉඩ හ්ප්‍රස්ථාව සැලසුණි. එහි ප්‍රතිවිපාක ලේ වැකි සහ ආපසු හැරවිය නොහැකි ඒවා විය. 1990 දශකයේ මුල් භාගයේ සිට, කම්කරු පන්තියේ නාගරික කොටස් මත පටු ලෙස සංකේන්ද්‍රණය වූ සසප සීමිත මැදිහත්වීම් කම්කරු පන්තිය තුළ මහජන පදනමක් ඒකරාශි කිරීමට බොහෝ දුරට ප්‍රමාණවත් නොවූ බැවින්, මෙම අර්බුදය ගැඹුරු විය. ජවිපෙ ෆැසිස්ට්වාදයේ සහ රාජ්‍ය භීෂණයේ කම්පන සහගත උරුමය, සෝවියට් සංගමයේ ධනේශ්වර පුනස්ථාපනයේ දැවැන්ත ගෝලීය බලපෑම, කම්කරු පන්තිය වාර්ගික රේඛා මත ධ්‍රැවීකරණය කිරීමට ධනේශ්වරය භාවිතා කළ දිග්ගැස්සුනු සිවිල් යුද්ධය, තරුණ පරම්පරාවක් අවමංගත කළ පශ්චාත්-නූතන සහ මාක්ස්වාද-විරෝධී ප්‍රවනතා ශාස්ත්‍රාලීය ක්ෂේත්‍රය තුළ නැගීම, සුලු ධනේශ්වර ව්‍යාජ-වාම ප්‍රවණතා වල මතුවීම සහ වැඩි වර්ධනය වන බලපෑම සහ, මැතිවරණ සහ පාර්ලිමේන්තු උපාමාරු හරහා ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිකයින් මත ධනේශ්වර ජාතිකවාදී සහ වාර්ගික පක්ෂ තහවුරු වීම යන මේ සියලු ක්‍රියාවලීන් සසප නායකත්වය තවදුරටත් හුදකලා කර අධෛර්යමත් කළ අතර, කම්කරු පන්තිය සහ පීඩිත මධ්‍යම පාන්තික තරුණයින් මාක්ස්වාදයේ වැඩසටහනට දිනා ගැනීමේ හැකියාව පිළිබඳ දේශපාලන විශ්වාසයක් අහිමි වීමට හේතු විය. එමඟින් කම්කරු පන්තියේ සහ පීඩිතයින්ගේ මහජන ව්‍යාපාරයෙන් එය ඈත් වීම වේගවත් විය.5

සුලු ධනේශ්වර රැඩිකල්වාදයේ ඓතිහාසික උරුමය සහ FI තුළ එහි පීඩනය

විකොස හි සහ පසුව සසප හි මෙම පසුබැසීම, හතරවන ජාත්‍යන්තරය (FI) තුළම සංශෝධනවාදය (revisionism) සඳහා පදනම සකස් කළ පුළුල් ලෝක ඓතිහාසික ක්‍රියාවලිය තුළ විශ්ලේෂණය කළ යුතුය.

විසිවන සියවසේ තුන්වන දශකයේ සිට, ජාත්‍යන්තර කම්කරු පන්තිය, සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ස්ටැලින්වාදයේ පාවාදීම්වලින් පැන නැඟුණු ව්‍යසනකාරී පරාජයන් මාලාවකට මුහුණ දුන්නේය: 1914 අගෝස්තුවේ යුද වියදම් සඳහා ඡන්දය දීමෙන් ආරම්භ වී 1918-1919 ජර්මානු නොවැම්බර් විප්ලවය රුධිරයෙන් ගිල්වා දැමීමෙන් කූටප්‍රාප්තියට පත් වූ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පාවාදීම; 1923 ජර්මානු විප්ලවයේ අසාර්ථකත්වය; 1926 බ්‍රිතාන්‍ය මහා වැඩ වර්ජනයේ පරාජය; 1927 චීන විප්ලවයේ විනාශකාරී පාවාදීම; සහ සියල්ලටත් වඩා–ස්ටැලින්වාදය ප්‍රතිවිප්ලවවාදී බලවේගයක් බවට නියත පරිවර්තනයක් සනිටුහන් කළ සහ 1938 දී හතරවන ජාත්‍යන්තරය පිහිටුවීමේ අවශ්‍යතාව උත්ගත කළ පරාජයක් වූ–1933 ජනවාරි මාසයේදී හිට්ලර් බලයට පත්වීම. 

දෙවන ලෝක යුද්ධයෙන් පසු කාල පරිච්ඡේදය තුළ, යොල්ටා සහ පොට්ස්ඩෑම් හි ඇති කරගත් ගිවිසුම්, මාෂල් සැලැස්ම සහ බ්‍රෙටන් වුඩ්ස් ක්‍රමය හරහා ලෝක ධනවාදය තාවකාලිකව නැවත ස්ථාවර වීමක් දක්නට ලැබුණි. මෙය යටත් විජිත ලෝකය පුරා ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාර සහ සුලු ධනේශ්වර රැඩිකල් ප්‍රවණතා සඳහා මෙහෙයුම් ක්ෂේත්‍රය බෙහෙවින් පුළුල් කළේය.  නාගරික නිර්ධන පන්තිය නොව ගොවීන් මත පදනම් වූ බලවේග හරහා 1949 දී චීනයේ මාඕ සේතුංගේ ජයග්‍රහණය; නේරු, නසාර්, සුකර්නෝ සහ න්කෲමා වැනි පුද්ගලයින් බලයට ගෙන ආ යටත්විජිතහරණයේ රළ;  ට්‍රොට්ස්කිවාදී පක්ෂයක් නොමැතිව හෝ කම්කරු පන්තියේ සවිඥානික බලමුලු ගැන්වීමකින් තොරව, කැස්ත්‍රෝගේ ගරිල්ලා ව්‍යාපාරය හරහා කර්මාන්ත ජනසතු කළ 1959 කියුබානු විප්ලවය; ස්ටැලින්වාදී නායකත්වය යටතේ වියට්නාමයේ දී ප්‍රංශ සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය; සහ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ආසියාව පුරා ගරිල්ලා ව්‍යාපාරවල ව්‍යාප්තිය–මේ සියල්ල රැඩිකල්කරණය වූ කම්කරුවන්, තරුණයින් සහ බුද්ධිමතුන් අතර දැවැන්ත අධිකාරියක් අත්පත් කරගත්තේ, නිර්ධන පන්ති නොවන බලවේග හරහා සමාජවාදය සාක්ෂාත් කරගත හැකි බවට මිත්‍යාවක් නිර්මාණය කරමින් සහ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ හතරවන ජාත්‍යන්තරයේ ඉවසිලිවන්ත කාර්යය දෘශ්‍යමාන ලෙස කට්ටිවාදී හා යල් පැන ගිය එකක් බවට පත් කරවමිනි.

හතරවන ජාත්‍යන්තරය තුළ පැබ්ලෝවාදයෙන් කූඨප්‍රාප්තියට පත් සංශෝධනවාදී පීඩනයන් ජනනය කළේ හරියටම මෙම දේශපාලන වාතාවරණයයි. ඩේවිඩ් නෝර්ත් “අපි රක්නා උරුමය” තුළ පැහැදිලි කරන පරිදි, එය “මුල සිට අග දක්වාම දියකරහැරීමේවාදය” නියෝජනය කළේය. එනම්, නිර්ධන පන්තියේ ආධිපත්‍යය ප්‍රතික්ෂේප කිරීම සහ හතරවන ජාත්‍යන්තරය ස්ටැලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සහ ධනේශ්වර ජාතිකවාදී සංවිධාන තුළ–මෙම බලවේග වෛෂයික තත්වයන් මගින් විප්ලවවාදී කාර්යභාරයක් ඉටු කිරීමට බල කෙරෙනු ඇතැයි ප්‍රකාශ කරමින්–පීඩන කණ්ඩායමකට පහත හෙලීමයි. 1953 භේදය, සම්භාව්‍ය (orthodox) ට්‍රොට්ස්කිවාදය ආරක්ෂා කිරීම සඳහා ජේම්ස් පී. කැනන්ගේ නායකත්වය යටතේ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව පිහිටුවීමට හේතු විය.

Lenin Trotsky
ව්ලැඩිමීර් ලෙනින් මොස්කව්හිදී කතාවක් පවත්වමින් සිටියදී, ලියොන් ට්‍රොට්ස්කි පසුබිමේ සිටී (1920)

ජාත්‍යන්තර කමිටුව ට්‍රොට්ස්කිවාදයේ න්‍යායික හා වැඩ පිළිවෙළ පිළිබඳ පදනම් ආරක්ෂා කරමින් සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමේ අවශ්‍යතාවය අවධාරනය කරමින්, පැබ්ලෝවාදී දියකරහැරීමේවාදයට එරෙහිව ප්‍රතිපත්තිගරුක හා ඓතිහාසිකව සනාථ කෙරුනු අරගලයක් දියත් කළද, ජාත්‍යන්තර කමිටුවේ ශාඛා කාලයත් සමඟ ජාතිකවාදී පීඩනයන්ට සහ කම්කරු පන්තියේ සහ සුලු ධනේශ්වරයේ ජාතික විඥානයට ගොදුරු විය හැකි බව ඔප්පු වූ අතර, ධනේශ්වර සහ සුලු ධනේශ්වර බලවේග විසින් ආධිපත්‍යය දරන පවතින දේශපාලන රාමුවට ප්‍රායෝගිකව අනුගතවීම් වලට යොමු විය: පැබ්ලෝවාදයට එරෙහිව අරගලයෙන් දශකයකට පසු එයට යටත් වූ එක්සත් ජනපදයේ සමාජවාදී කම්කරු පක්ෂය (SWP), 1963 දී කැස්ත්‍රෝවාදය උත්කර්ෂයට නැංවීමේ පදනම මත පැබ්ලෝවාදීන් සමඟ නැවත එක් වී, එමඟින්, මාක්ස්, ලෙනින් සහ ට්‍රොට්ස්කි විසින් වර්ධනය කරන ලද සමාජවාදී විප්ලවය පිළිබඳ සමස්ත ඓතිහාසික හා න්‍යායික සංකල්පය ප්‍රතික්ෂේප කළේය; 1980 ගණන්වල අගභාගයේදී බ්‍රිතාන්‍යයේ කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප/WRP) අවස්ථාවාදී නායකත්වයේ පාවාදීම්වලට එරෙහිව අනවරත හා ප්‍රතිපත්තිගරුක අරගලයකින් ජාත්‍යන්තර කමිටුව දේශපාලනික ඉදිරි පිම්මක් අත්කර ගත්තේ  වී නමුදු, විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) සහ පසුව ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය (සසප) ජාතික පීඩනයන්ට යටත් විය. මෙම ගොදුරුවීමේ අවදානම් සහගත බව විකොස/සසප තුළ ප්‍රකාශ වූයේ පැහැදිලිව පෙනෙන වැඩ පිළිවෙළ  පිළිඹඳ සංශෝධනවාදය හරහා නොව–පක්ෂය නොනවතින විප්ලව න්‍යාය සහ සංක්‍රමණ වැඩ පිළිවෙළ (Transitional Program) විධිමත් ලෙස ආරක්ෂා කරන බව කියා සිටියේය–ඒ වෙනුවට, නිල ලේඛනවල අන්තර්ගත විප්ලවවාදී මූලධර්ම සහ පක්ෂයේ සංයුක්ත දේශපාලන භාවිතය සහ දිශානතිය අතර වැඩෙන විභේදනයක් හරහා ය.

සසප නායකත්වය කවිප හි ජාතික-අවස්ථාවාදී (national opportunist) පරිහානියට එරෙහි තම දිගුකාලීන අරගලයෙන් ජාත්‍යන්තර කමිටුව ලබාගත් අත්‍යවශ්‍ය පාඩම් ගැඹුරින් විකෘති කළේය. එම අරගලය තහවුරු කළේ කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය—පැබ්ලෝවාදී දියකරහැරීම්වාදයට එරෙහි සටන් හරහා නැවත තහවුරු කරන ලද විප්ලවවාදී මාක්ස්වාදයේ මූලික මූලධර්මය—ඉල්ලා සිටින්නේ පන්ති අරගලය තුළ ක්‍රියාකාරී මැදිහත්වීමක් හරහා නිර්ධන පන්තියේ සවිඥානක දේශපාලන නායකත්වය ලෙස විප්ලවවාදී පක්ෂය ක්‍රමානුකූලව ගොඩනැගීම මිස, එම පක්ෂය ස්ටාලින්වාදී, සමාජ ප්‍රජාතන්ත්‍රවාදී, හෝ ධනේශ්වර ජාතිකවාදී සංවිධානයන් තුළ විසුරුවා හැරීම නොවන බවයි. WRP හි පාවාදීම නිශ්චිතවම සමන්විත වූයේ ස්වාධීන විප්ලවවාදී ඉදිරිදර්ශනය පිටස්තර පන්ති බලවේගවලට අනුගතවීම සඳහා දියකර හැරීමයි: එය හතරවන ජාත්‍යන්තරයේ ශාඛා මැද පෙරදිග ධනේශ්වර ජාතිකවාදී පාලන තන්ත්‍රයන්ට යටත් කළ අතර යටත් විජිත සහ අර්ධ යටත් විජිත ලෝකයේ ට්‍රොට්ස්කිවාදී පක්ෂ ගොඩනැගීම සඳහා උපායමාර්ගික පදනම ලෙස නොනවතින විප්ලවයේ න්‍යාය ප්‍රතික්ෂේප කළේය. කෙසේ උවත්, සසප නායකත්වය දේශපාලන ස්වාධීනත්වයේ අර්ථය උඩු යටිකුරු කළේය. කම්කරු පන්ති නොවන බලවේග සමඟ අවස්ථාවාදී සන්ධාන හරහා කවිප පක්ෂය දියකර හරින විට, පක්ෂ ගොඩනැගීමේ සංයුක්ත වැඩවලින් කට්ටිවාදීව (sectarian) බැහැරව සිටීම හරහා සසප පක්ෂය කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන් හුදකලා කළේය. ඔවුහු, දේශපාලන ස්වාධීනත්වය යන්න, කම්කරු අරගලවලදී නිර්භීත නායකත්වයක් ඉල්ලා සිටින ඉදිරිදර්ශනයකින්—එනම්, කම්කරුවන්, ග්‍රාමීය තරුණයින්, වතු කම්කරුවන් සහ නාගරික පීඩිත මධ්‍යම පන්තිය අතර පන්ති අරගලයේ ප්‍රායෝගික මුලපිරීම සමඟ න්‍යායික අධ්‍යාපනය බද්ධ කිරීම හරහා පක්ෂයේ අධිකාරිය ස්ථාපිත කිරීම සඳහා ක්‍රමානුකූල අරගලයක් අවශ්‍ය කරන ඉදිරිදර්ශනයකින්–ගලවා ක්‍රමානුකූල විප්ලවවාදී වැඩවලින් වෙන් වූ නිෂ්ක්‍රීය (passive) ප්‍රචාරණවාදයක් (propagandism) සඳහා තාර්කිකකරණයක් බවට එය පරිවර්තනය කළහ.

වැඩ පිළිවෙළේ සම්භාව්‍යතාවය (orthodoxy) සහ විප්ලවවාදී භාවිතය (practice) අතර මෙම පරතරය කම්කරු ව්‍යාපාරය තුළ සිංහල ස්වෝත්තමවාදය, දෙමළ ජාතිකවාදය සහ නිලධාරිවාදී වෘත්තීය සමිතිවාදයට එරෙහි සම්මුති විරහිත අරගලයෙන් පසුබැසීම; කර්මාන්තශාලා, වතුකරය, කම්කරු පන්තික නිවහන් ප්‍රදේශ සහ උතුරේ සහ දකුණේ රැඩිකල්කරණය වූ ග්‍රාමීය සහ රැකියා විරහිත තරුණයින් අතර මුල් බැසගත් සැබෑ මහජන සංවිධානයක් ලෙස පක්ෂය ගොඩනැගීමට අපොහොසත් වීම; සහ ශ්‍රී ලාංකික නිර්ධන පන්තිය සහ පීඩිත ජනතාව මුහුණ දෙන සංයුක්ත තත්වයන්ට සංක්‍රමණ වැඩ පිළිවෙළ ක්‍රමානුකූලව යෙදුම අතහැර දැමීම යනාදිය තුළ ප්‍රකාශයට පත් විය. මෙම කටිවාදී අපගමනය–කම්කරු හා පීඩිත මහ ජනතාව තුළ ක්‍රියාකාරී නායකත්වයක් සඳහා සටන් කිරීමට වඩා සිදුවීම් පිළිබඳ නිෂ්ක්‍රීය විවරණ සිදු කිරීම ලෙස ප්‍රකාශ වීම–ශ්‍රී ලාංකික ජනතාව කෙරෙහි දශක ගණනාවක් තිස්සේ ධනේශ්වර ජාතිකවාදී ආධිපත්‍යය සහ සුලු ධනේශ්වර රැඩිකල් ව්‍යාපාර සහ වෘත්තීය සමිතිවල මතුපිටින් පෙනෙන අධිකාරිය විසින් ඇති කරන ලද දැවැන්ත පීඩනයට අවස්ථාවාදී අනුගතවීමක් නියෝජනය කළේය. පන්ති ස්වාධීනතාවය පිළිඹඳ පාඩම් විකෘති කිරීම මගින් ජාත්‍යන්තර සමාජවාදයේ ධජය යටතේ සිංහල හා දෙමළ කම්කරු පන්තියේ සහ ග්‍රාමීය දුප්පතුන්ගේ දේශපාලන සන්ධානයක් ගොඩනැගීමේ ඓතිහාසික වගකීමෙන් පක්ෂය පසුබැසීම තාර්කිකකරණය කරන ලද අතර, එමඟින් ධනේශ්වර සහ සුලු ධනේශ්වර ජාතිකවාදයේ සියලු ප්‍රභේදවල බලපෑමෙන් ශ්‍රී ලාංකික නිර්ධන පන්තියේ දේශපාලන ස්වාධීනත්වය ස්ථාපිත කිරීමේ අරගලය අතහැර දමා, කම්කරු පන්තියේ සහ පීඩිත ග්‍රාමීය වැඩ කරන ජනතාවගේ විප්ලවවාදී අරගලවලට නායකත්වය දීමට නොහැකි ප්‍රචාරක කවයක් බවට පක්ෂය පරිවර්තනය වීමට කොන්දේසි සකස් කරන ලදී.

විකොස/සසප ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම ස්වරූපය

ග්‍රාමීය තරුණයින් සහ පීඩිත ජනතාව අතර මහජන විප්ලවවාදී පක්ෂයක් ගොඩනැගීම සඳහා වූ ක්‍රමානුකූල වැඩවලින් පසුබැසීම, එහි හරය තුළ, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ තත්වයන්ට නොනවතින විප්ලව න්‍යායේ වලංගුභාවය සහ අදාළත්වය පිළිබඳ සංශය ප්‍රකාශ කළේය. මෙම ඉදිරිදර්ශන ඛාදනය හුදෙක් උපායමාර්ගික දෝෂවලට පමණක් නොව ගැඹුරු මූලෝපායික පසුබෑමකට හේතු විය. පීඩිත ග්‍රාමීය හා මධ්‍යම පන්තික ස්ථර සමඟ කම්කරු පන්තියේ දේශපාලන එක්සත්කම තනි ජාත්‍යන්තරවාදී වැඩ පිළිවෙළක් යටතේ ගොඩනගා ගැනීමේ ක්‍රියාකාරී අරගලයක් වෙනුවට, නායකත්වය නිෂ්ක්‍රීය ප්‍රචාරකවාදයට ඇද වැටිණි: සංයුක්ත විප්ලවවාදී භාවිතය වෙනුවට වියුක්ත සූත්‍රකරණ ආදේශ කරන, වැඩපිළිවෙළ සම්බන්ධ සම්භාව්‍ය ප්‍රකාශන චාරිත්‍රානුකූල ආකාරයෙන් නිකුත් කෙරුණු අතර, එමගින් මූලික වශයෙන් කට්ටිවාදී ස්වභාවයක් හෙළි කරමින්, මාක්ස්වාදී න්‍යාය සහ ආස්ථානයන් පන්ති අරගලය තුළ ක්‍රමානුකූල මැදිහත්වීම මගින් සාක්ශාත් කළ යුතු ඒවායේ අවශ්‍ය මූර්තිමත් කිරීමෙන් වෙන් කළේය. ප්‍රායෝගිකව න්‍යායික මූලධර්ම අතහැර දැමූ අවස්ථාවාදී නායකත්වය, මහජනතාව අතර පක්ෂය ගොඩනැගීමේ සංයුක්ත කාර්යයේ නිරත වීම ප්‍රතික්ෂේප කරමින්, න්‍යායික සම්භාව්‍යතාව පිටුපස සැඟවීමෙන් තම කට්ටිවාදී ස්වභාවය හෙළිදරව් කළේය.​​​

එවැනි පසුබෑමක් ධනේශ්වර සහ සුළු-ධනේශ්වර බලවේග විසින් ආධිපත්‍යය දරන දේශපාලන පරිසරයට අවස්ථාවාදී අනුගතවීමක් වූ අතර, එයට දොර විවර කළේය—එය, ධනපති සංවර්ධනය පසුගාමී වූ රටක විප්ලවවාදී පක්ෂයක නායකත්වයට විශේෂ වූ නිෂ්ක්‍රීය අවස්ථාවාදයේ ප්‍රවර්ගයක් වන ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම (inverse) ස්වරූපය6 ලෙස හැඳින්විය හැකි ප්‍රවණතාවකි. ප්‍රායෝගිකව, එයින් අදහස් වූයේ ජාත්‍යන්තරව විප්ලවවාදී ව්‍යාපාරය මංමුලා කර කැබලි කළ–ස්ටාලින්වාදී, මාඕවාදී, පැබ්ලෝවාදී, සහ සුළු-ධනේශ්වර රැඩිකල් පාවාදීම්වල දශක ගණනක් විසින් හැඩගස්වන ලද–සංශෝධනවාදී සහ ජාතිකවාදී ප්‍රවණතාවන්ට නායකත්වය අත්හැරීමයි. නොනවතින විප්ලව න්‍යාය ශ්‍රී ලංකාවේ සංයුක්ත තත්ත්වයන්ට යෙදීමේ අධිෂ්ඨානශීලී සහ සම්මුති විරහිත අරගලයක් අතහැර දැමීමෙන්, සසප නායකත්වය ක්‍රමයෙන් කම්කරු පන්තියෙන් සහ පීඩිත ජනතාවගෙන් හුදකලා වූ අතර, ඔවුන්ගේ දේශපාලන විශ්වාසය අහිමි කර ගනිමින්, එමගින් තමන්ගේම එකතැන පල්වීම සදාකාලිකව පවත්වාගෙන ගොස් තම දේශපාලන පරිහානිය සහ අභ්‍යන්තර කුණුවීම උග්‍ර කළේය.​​​​​​​​​​​​​​​​

ජාත්‍යන්තර සංසිද්ධියක කොටසක් ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ පන්ති අරගල තීව්‍ර වෙමින් පවතින පසුබිමක, කම්කරු පන්ති අරගලවලට සසප ප්‍රමාණවත් ලෙස මැදිහත් නොවීම, කර්මාන්තශාලා, වතු සහ සේවා ස්ථානවල ස්වාධීන විප්ලවවාදී සංවිධාන ගොඩනැගීම සඳහා අවශ්‍ය ක්‍රමානුකූල අරගලයෙන් පසුබැසීමෙන් ගලා ආවේය. ජාතිකවාදී දේශපාලනයට කම්කරුවන් යටත් කරන ධනේශ්වර සහ ප්‍රතිසංස්කරණවාදී පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරය, ජාතිකවාදී දේශපාලන වාතාවරණයට කම්කරු පන්තිය යටත් කරන සංවිධානාත්මක මෙවලම ලෙස ක්‍රියා කරයි. සේවා ස්ථානවල විප්ලවවාදී විකල්ප–ස්වාධීන කම්කරු ක්‍රියාකාරී කමිටු–ගොඩනැගීමට සසප ඓතිහාසිකව අසමත් වීමේ අර්ථය වූයේ, ඒකාබද්ධ, ස්වාධීන පන්ති ක්‍රියාමාර්ග ක්‍රමානුකූලව අවහිර කරන සහ ප්‍රතිසංස්කරණවාදී මිත්‍යාවන් සහ වාර්ගික බෙදීම් ශක්තිමත් කරන මෙම නිලධාරිවාදී උපකරණවල දෘෂ්ටිවාදාත්මක හා සංවිධානාත්මක ග්‍රහණය යටතේ කම්කරුවන් රැඳී සිටීමයි. මෙය ප්‍රතිලෝම අවස්ථාවාදයේ තවත් ප්‍රකාශනයකි: එනම්, සහයෝගීතාවයෙන් (collaboration) නිලධාරිවාදයට අනුගතවීම නොව, කම්කරුවන් අතර ඉවසිලිවන්ත, ක්‍රමානුකූල විප්ලවවාදී ක්‍රියාවන්හි නිරත වීමට අපොහොසත් වීමෙන් එහි ආධිපත්‍යයට  අවස්ථා සම්පාදනය (accommodation) කිරීමයි.

SLLA හි න්‍යායික සහ දේශපාලනික පදනම්

SLLA පිහිටුවන ලද්දේ ජාතිකවාදී අවස්ථාවාදයේ සහ දේශපාලනික නිෂ්ක්‍රීයභාවයේ/අකර්මන්‍යතාවයේ මෙම උරුමය නිශ්චිතවම ජය ගැනීම සඳහාය. එහි කාර්යය පදනම් වී ඇත්තේ ට්‍රොට්ස්කිවාදයේ මූලික මූලධර්ම–නොනවතින විප්ලව න්‍යාය, නිර්ධන පන්ති ජාත්‍යන්තරවාදය සහ කම්කරු පන්තියේ ස්වාධීන විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ අවශ්‍යතාවය–වෙත නැවත පැමිණීම මත ය.

මෙම කර්තව්‍යයේ කේන්ද්‍රයේ පවතින්නේ ශ්‍රී ලංකාවේ සමාජවාදී විප්ලවය ජාතික රාමුවක් තුළ සම්පූර්ණ කළ නොහැකි බවට වන අවබෝධයයි. අධිරාජ්‍යවාදී යුගයේ සියලුම ආර්ථිකයන් මෙන් ශ්‍රී ලංකා ආර්ථිකය ද ලෝක ධනේශ්වර ක්‍රමයට ඒකාබද්ධ වී ඇත. කම්කරුවන් සහ පීඩිත ජනතාව මුහුණ දෙන අර්බුද–ආර්ථික බිඳවැටීම, සමාජ අසමානතාවය, ඒකාධිපති පාලනය–ධනවාදයේ ගෝලීය අර්බුදයේ ප්‍රකාශනයන් වේ. මේවායේ විසඳුම සඳහා කම්කරු පන්තියේ ජාත්‍යන්තර එකමුතුව සහ ලෝක පරිමාණයෙන් ධනවාදය පෙරලා දැමීම අවශ්‍ය වේ.

මෙහි තේරුම නම් ශ්‍රී ලංකාවේ සමාජවාදය සඳහා වන සටන ඉන්දියාවේ, දකුණු ආසියාව පුරා සහ ජාත්‍යන්තරව කම්කරුවන්ගේ අරගලවලින් වෙන් කළ නොහැකි බවයි. එයට කම්කරු පන්තිය, සිංහල, දෙමළ හෝ වෙනත් ඕනෑම වාර්ගික අනන්‍යතාවයකින් යුතු, සියලු ආකාරයේ ජාතිකවාදයන්ගෙන් බිඳ වෙන් කිරීම සහ පොදු පන්ති අවශ්‍යතා මත පදනම්ව වාර්ගික, ආගමික සහ ජාතික රේඛා හරහා කම්කරුවන් එක්සත් කිරීම අවශ්‍ය වේ.

ඒ සඳහා නාගරික කම්කරු පන්තිය සහ ග්‍රාමීය දුප්පතුන්, කෘෂිකාර්මික කම්කරුවන්, දුගී ගොවීන් සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර අතර විප්ලවවාදී සන්ධානයක් ගොඩනැගීම ද අවශ්‍ය වේ. මෙය මෙම ස්ථරවල අගතීන් හෝ සීමිත දෘෂ්ටියට ඉඩ සැලසෙන පරිදි සමාජවාදී වැඩසටහන සකස් කිරීමේ ප්‍රශ්නයක් නොව, කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුළින් පමණක් ඔවුන්ගේ මූලික අවශ්‍යතා සාක්ෂාත් කරගත හැකි ආකාරය ක්‍රමානුකූලව පැහැදිලි කිරීමේ ප්‍රශ්නයකි.

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ ග්‍රාමීය ජනතාව ගැඹුරු වන දරිද්‍රතාවයට මුහුණ දෙති: ඉඩම් නොමැතිකම, ණයගැතිභාවය, සාම්ප්‍රදායික ජීවනෝපායන් විනාශ කිරීම සහ ග්‍රාමීය විරැකියාව ඒ අතර වේ. මේවා හුදකලා “ග්‍රාමීය ගැටලු” නොව, ලෝක ධනවාදයේ අර්බුදයේ සහ කෘෂිකර්මාන්තය කෘෂි ව්‍යාපාර ඒකාධිකාරයන්ගේ සහ අධිරාජ්‍යවාදයේ ලාභ අවශ්‍යතා සඳහා යටත් කිරීමේ ප්‍රකාශන වේ. විසඳුම ඇත්තේ ධනවාදය තුළ ඉඩම් ප්‍රතිසංස්කරණය හෝ ග්‍රාමීය සංවර්ධනය පිළිබඳ ජාතිකවාදී හෝ ජනතාවාදී (populist) වැඩසටහන් තුළ නොව, කම්කරුවන්ගේ පාලනය යටතේ තාර්කිකව සැලසුම් කළ ආර්ථිකයක කොටසක් ලෙස කෘෂිකර්මාන්තය සමාජවාදී ලෙස ප්‍රතිසංවිධානය කිරීම තුළ ය.

ඒ හා සමානව, ග්‍රාමීය හා කුඩා නගර පසුබිම්වල, විරැකියාව, දරිද්‍රතා වැටුප් සහ සමාජ ආවෘත අන්තවලට මුහුණ දෙන පොදු අධ්‍යාපනය ව්‍යාප්තියේ නිෂ්පාදන වන උගත් තරුණයින් විභව විප්ලවීය බලවේගයක් නියෝජනය කරයි. මෑත කාලීන Gen-Z විරෝධතා ව්‍යාපාර ඔවුන්ගේ විප්ලවීය විභවයට සාක්ෂි දරයි. මාක්ස්වාදී න්‍යායෙන් සන්නද්ධ විප්ලවවාදී පක්ෂයක මැදිහත්වීමකින් තොරව, මෙම අතෘප්තිය සහ රැඩිකල්වාදය ප්‍රතිගාමී ජාතිකවාදී, ආගමික මූලධර්මවාදී හෝ ෆැසිස්ට්වාදී ව්‍යාපාර වෙත යොමු කරනු ලබන බව ඉතිහාසය නැවත නැවතත් පෙන්නුම් කර ඇත.

මෙම ස්ථර කෙරෙහි SLLA හි දිශානතිය පදනම් වී ඇත්තේ ගොවි ජනතාව හෝ සුලු ධනේශ්වරය රෝමාන්තිකව උත්කර්ෂයට නැංවීම මත නොවේ–එසේ කිරීම මාඕවාදී, ජනතාවාදී සහ පැබ්ලෝවාදී සංශෝධනවාදයේ ලක්ෂණයයි. එය පදනම් වී ඇත්තේ ප්‍රවේසම් සහගත මාක්ස්වාදී විශ්ලේෂණයක් මත ය: ධනවාදයෙන් වෛෂයිකව විනාශ වූ සහ ස්වාධීන දේශපාලන ක්‍රියාමාර්ග ගැනීමට නොහැකි මෙම ස්ථරවලට ප්‍රගතිශීලී ඓතිහාසික කාර්යභාරයක් ඉටු කළ හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් සඳහා සටන් කරන කම්කරු පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ නායකත්වය යටතේ පමණි.

විප්ලවවාදී අධ්‍යාපනයේ මෙවලමක් ලෙස The Socialist

The Socialist මෙම දේශපාලනික පුනර්-දිශානගත වීමේ කේන්ද්‍රීය මෙවලමක් වෙයි. ජාත්‍යන්තර කමිටුවේ ඉදිරිදර්ශන, අතීත අරගල පිළිබඳ ඓතිහාසික විශ්ලේෂණ සහ සමකාලීන දේශපාලන හා ආර්ථික වර්ධනයන් පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණයන් ක්‍රමානුකූලව ප්‍රචාරය කිරීමෙන්, එය නව පරම්පරාවේ විප්ලවවාදී කේඩරයක් අධ්‍යාපන ගත කිරීම සහ කම්කරුවන්ගේ සහ තරුණයින්ගේ පුළුල් ස්ථරයන්ගේ දේශපාලන විඥානය ඉහළ නැංවීම අරමුණු කරයි.

සඟරාවේ ඩිජිටල් ආකෘතිය මඟින් මෙම ලේඛන විකොස සහ සසප ක්‍රමානුකූලව ළඟා වීමට අපොහොසත් වූ එම ස්ථර වෙත–ග්‍රාමීය තරුණයින්, පීඩිත මධ්‍යම පන්තික ස්ථර සහ සාම්ප්‍රදායික දේශපාලන සංවිධානයේ මධ්‍යස්ථානවලින් හුදකලා වූ කම්කරුවන් වෙත–හරියටම ළඟා වන බව සහතික කරයි. The Socialist සහ theSocialist.lk හරහා SLLA පහත දේ සිදු කරයි:

  • මහජනතාව මුහුණ දෙන ආර්ථික හා සමාජීය අර්බුදවල පන්ති ස්වභාවය පැහැදිලි කර සියලු ජාතිකවාදී, ජනතාවාදී සහ ප්‍රතිසංස්කරණවාදී විසඳුම්වල බංකොලොත්භාවය හෙළිදරව්  කිරීම;
  • ට්‍රොට්ස්කිවාදය සඳහා අරගලයේ ඓතිහාසික පාඩම්–විශේෂයෙන් පැබ්ලෝවාදයට එරෙහි සටන සහ නොනවතින විප්ලවය න්‍යාය ආරක්ෂා කිරීම–පිළිබඳ කම්කරුවන්ට සහ තරුණයින්ට අධ්‍යාපනය ලබා දීම;
  • ජාත්‍යන්තර කම්කරු පන්තියේ අවශ්‍යතා පිළිබඳ දෘෂ්ටි කෝණයෙන්, ප්‍රධාන වශයෙන් ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ අනෙකුත් රටවල සමකාලීන දේශපාලන වර්ධනයන් විශ්ලේෂණය කිරීම;
  • ධනේශ්වර, ස්ටැලින්වාදී සහ සුලු ධනේශ්වර ව්‍යාජ-වාම මතවාදයන්ගේ බලපෑමට එරෙහිව සටන් කිරීම;
  • විප්ලවවාදී පක්ෂය (සසප) සහ පීඩිත පන්තිවල පුළුල් ජනතාව අතර දේශපාලන පාලම් ගොඩනැගීම.

මෙය වියුක්ත අර්ථයෙන් ගත්, ජීවමාන පන්ති අරගලයෙන් වෙන් වූ න්‍යායික-ප්‍රචාරණයක් (propaganda) නොවේ. එය විප්ලවවාදී මැදිහත්වීම සමඟ ඒකාබද්ධ වූ අධ්‍යාපනයකි–එනම්, විප්ලවවාදී පක්ෂය ගොඩනැගීමේ සහ බලය අල්ලා ගැනීම සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ අත්‍යවශ්‍ය අංගයක් ලෙස මාක්ස්වාදී විඥානය වර්ධනය කිරීමයි.

තාක්ෂණය, කෘතිම බුද්ධිය සහ විප්ලවීය අධ්‍යාපනය

අන්තර්ජාල තාක්ෂණයේ සහ කෘතිම බුද්ධියේ (AI)–වඩාත් නිවැරදිව වර්ධිත බුද්ධිය ලෙස තේරුම් ගත් තක්ක්ෂණයේ–වේගවත් වර්ධනය විප්ලවවාදී ව්‍යාපාරය සඳහා අවස්ථා සහ අභියෝග යන දෙකම මුන ගස්වයි. සාමූහික මිනිස් ශ්‍රමයේ සහ පරම්පරා ගණනාවක් පුරා රැස් කරගත් විද්‍යාත්මක දැනුමේ නිෂ්පාදන වන AI පද්ධති ධනවාදය යටතේ වර්ධනය වූ දැවැන්ත නිෂ්පාදන හැකියාවන් ප්‍රකාශ කරයි. කෙසේ වෙතත්, ධනවාදය යටතේ ඇති සියලුම නිෂ්පාදන බලවේග මෙන්, ධනපති පන්තියේ අතේ පැවතෙන විට, ඒවා පෞද්ගලික දේපළවල සමාජ සම්බන්ධතාවලට පරස්පර විරෝධීව පවතින අතර ප්‍රධාන වශයෙන් ලාභ නිස්සාරණය සඳහා, සේවාවන් ස්වයංක්‍රීය කිරීමෙන් විරැකියාව වැඩි කිරීම සහ වැටුප් පහත දැමීම් සඳහා, මහා සෝදිසි කිරීම්/ඔත්තු බැලීම් සඳහා, මහා සංහාරක අවි වර්ධනය කිරීම සඳහා සහ නවීන පන්නයේ ධනපති ප්‍රචාරණන් ජනනය සඳහා යොදා ගැනෙයි. AI වර්ධනය පාලනය කරන තාක්ෂණික ඒකාධිකාරයන් ඔවුන්ගේ පද්ධති පුද්ගලික දේපළ ලෙස ආරක්ෂා කරන අතර, දත්ත නිෂ්පාදනය කරන සහ AI සාර්ථක කිරීමේ ශ්‍රමය සපයන කම්කරුවන් දරිද්‍රතාවයට තල්ලු කරනු ලැබේ.

විප්ලවවාදී ව්‍යාපාරය සඳහා, AI තාක්ෂණයේ දියුණුව විප්ලවීය අධ්‍යාපනය, පරිවර්තනය, ලේඛනාගාරය, ජාත්‍යන්තර සන්නිවේදනය සහ සංවිධානයේ නව යුගයක් විවෘත කර ඇත. මෙම මෙවලම් ICFI ලේඛන බහු භාෂාවලට වේගයෙන් පරිවර්තනය කිරීමේ හැකියාව සපයයි; ගැඹුරු ඓතිහාසික පර්යේෂණ සහ දැඩි විශ්ලේෂණයට සහාය වෙයි; සහ ලොව පුරා සිටින කම්කරුවන්ට සහ තරුණයින්ට මාක්ස්වාදී සාහිත්‍යය බෙදා හැරීමේ ධාරිතාව විශාල ලෙස පුළුල් කරයි. 

කෙසේ වෙතත්, AI තාක්‍ෂණය භාවිතය, ධනවාදී තාක්‍ෂණ සමාගම්වල තර්කනයට යටත් කිරීම හෝ තාක්‍ෂණික-යුතෝපියානු මායාවන් මත පදනම් නොකළ යුතු අතර, මාක්ස්වාදී න්‍යායෙන් මෙහෙයවනු ලබන, විප්ලවවාදී පක්ෂයේ සවිඥානික මඟ පෙන්වීම සහ මැදිහත්වීම යටතේ සිදුවිය යුතුය. තීරණාත්මක සාධකය වන්නේ තාක්‍ෂණයම නොව, එහි භාවිතය මෙහෙයවන දේශපාලන වැඩ පිළිවෙළ සහ පන්ති ඉදිරිදර්ශනයයි.

මේ අනුව, SLLA විසින් The Socialist සඳහා ඩිජිටල් ප්‍රකාශන ක්‍රමය භාවිතා කිරීම පුළුල් මාක්ස්වාදී ප්‍රවේශයක කොටසකි: එනම්, සමාජයේ විප්ලවීය පරිවර්තනය සඳහා කම්කරු පන්තියේ විඥානය සහ සංවිධානය ඉදිරියට ගෙන යාම සඳහා මිනිස් ශ්‍රමය විසින් වර්ධනය කරන ලද දියුණු නිෂ්පාදන බලවේග භාවිතා කිරීමයි. 

ජාත්‍යන්තර කම්කරු පන්තියේ දේශපාලන අධ්‍යාපනය සහ බුද්ධිමය සන්නද්ධ කිරීමේ තීරණාත්මක හා දැවැන්ත දියුණුවක් ලෙස ICFI විසින් සංවර්ධනය කරන ලද කෘතිම බුද්ධි වේදිකාව වන “Socialism AI” දියත් කිරීම SLLA විසින් පිළිගන්නේ මෙම ඉදිරිදර්ශනය මත පිහිටාය7.

Image Not Found

ලෝක පක්ෂය ගොඩනැගීම: ජාත්‍යන්තරවාදය ප්‍රායෝගිකත්වයට

The Socialist හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ ලෝක මාධ්‍යයේ කොටසක් ලෙස තේරුම් ගත යුතුය. සිංහල භාෂාවෙන් පළවන එහි ආරම්භක ප්‍රකාශනය ජාතික හා භාෂාමය බෙදීම් ඉක්මවා යන විප්ලවවාදී මාධ්‍ය ගොඩනැගීමේ තවත් වැදගත් පියවරකි. දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් කෙරෙන අනාගත සංස්කරණ දකුණු ආසියාව පුරා එහි ප්‍රවේශය පුළුල් කරනු ඇති අතර, වාර්ගික හා ජාතික රේඛා හරහා කම්කරු පන්තියේ දේශපාලන එකමුතුව ශක්තිමත් කරනු ඇත.

ට්‍රොට්ස්කි විසින් ‘හතරවන ජාත්‍යන්තරය සඳහා විවෘත ලිපිය: සියලුම විප්ලවවාදී කම්කරු පන්ති සංවිධාන සහ කණ්ඩායම් වෙත‘ (1935) හි ප්‍රකාශ කරන ලද මූලික මූලධර්මය තවමත් අදාලය: 

“සියලු තත්වයන් යටතේ, විශේෂයෙන් විප්ලවයක් අතරතුර, ධනේශ්වරය සමඟ සන්ධානයක් වෙනුවෙන්, වැඩ කරන ජනතාවට පිටුපා සිටීම පිළිගත නොහැකිය. රැවටුණු සහ කලකිරුණු ජනතාව, තමන්ගේ විශ්වාසය අහිමි කර ගත් පක්ෂයක ප්‍රමාදිත ඉල්ලීම මත ආයුධ අතට ගැනීමට පියාඹා එනු ඇතැයි අපේක්ෂා කිරීම සහ එසේ කිරීමට ඉල්ලීම කළ නොහැකිය. බංකොලොත් නායකත්වයක නියෝග මගින් නිර්ධන පන්ති විප්ලවය හිටිගමන් නිර්මාණය නොවේ. නායකත්වය වෙත පක්ෂයේ නොසැලෙන විශ්වාසය දිනා දෙනු ලබන, පෙරටුගාමීන් සමස්ත පන්තිය සමඟ බද්ධ කරන සහ නගරයේ සහ ගම්බද ප්‍රදේශවල සූරාකෑමට ලක්වන සියලු දෙනාගේ නායකයා බවට නිර්ධන පන්තිය පරිවර්තනය කරන අඛණ්ඩ සහ නොපෑහිය හැකි පන්ති අරගලයක් හරහා විප්ලවය සූදානම් කළ යුතුය.”

නොනවතින විප්ලව න්‍යායට සහ ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාව පුරා පවතින තත්වයන්ට එහි යෙදුමට අනුකූලව මෙහි තේරුම පහත පරිදිය:

  • ශ්‍රී ලංකාව වැනි ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල, ජාතික ප්‍රශ්නය, කෘෂිකාර්මික/ගොවි/ඉඩම් ප්‍රශ්නය සහ සැබෑ සමාජීය සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ස්ථාපිත කිරීම යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් විසඳීමට ධනේශ්වරය තම පරම නොහැකියාව පෙන්නුම් කර ඇති බව හඳුනා ගැනීම. පීඩිත ග්‍රාමීය ජනතාවට නායකත්වය දෙන කම්කරු පන්තියට පමණක් මෙම ඓතිහාසික වශයෙන් අවශ්‍ය පරිවර්තනයන් සාක්ෂාත් කරගත හැකි අතර, ඒවා අනිවාර්යයෙන්ම සමාජවාදී විප්ලවය දක්වා වර්ධනය විය යුතුය.
  • ධනේශ්වර පාලනය සහ නිර්ධන පංතියේ ආඥාදායකත්වය අතර අතරමැදි අවධීන් පිළිබඳ සියලු සංකල්ප නිශ්චිතවම ප්‍රතික්ෂේප කිරීම. රාජපක්ෂ-වික්‍රමසිංහ තන්ත්‍රය සහ කම්කරු බලය අතර, ජනතා විමුක්ති පෙරමුණේ, පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ (FSP) සහ ව්‍යාජ-වම්මුන්ගේ බංකොලොත් වැඩපිළිවෙළවල් සහ ICFI හි විප්ලවවාදී මාක්ස්වාදී වැඩපිළිවෙළ අතර, මැද මාවතක් නොමැත. ගොවි ජනතාව, ග්‍රාමීය වැඩ කරන ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිකයින් සමඟ කම්කරු පන්තියේ සන්ධානය සාක්ෂාත් කරගත හැක්කේ ජාතික ධනේශ්වරයේ බලපෑමට සහ සියලු ආකාරයේ සුලු ධනේශ්වර ජාතිකවාදයට එරෙහිව නොපෑහිය හැකි (irreconcilable) අරගලයක් හරහා පමණි.
  • සිංහල බෞද්ධ ස්වෝත්තමවාදය, දෙමළ ජාතිකවාදය සහ සෑම ආකාරයකම වර්ගවාදී සහ අනන්‍යතා දේශපාලනය යන සියලු ජාතිකවාදී දෘෂ්ටිවාදයන්ගේ ප්‍රතිගාමී සහ ඓතිහාසිකව වියැකී ගිය ස්වභාවය හෙලිදරව් කිරීම සහ, කම්කරු පන්තිය ධනේශ්වර පන්තියේ සහ අධිරාජ්‍යවාදයේ ප්‍රතිවාදී කණ්ඩායම්වලට යටත් කර එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කාර්යයන් දෙකම විසඳීමට ඇති මාර්ගය අවහිර කරන වැඩ පිළිවෙළවල් ලෙස ඒවා හෙලිදරව් කිරීම.
  • ජාතික සමානාත්මතාවය, ඉඩම් ප්‍රතිසංස්කරණය, ඒකාධිපති පාලනය අවසන් කිරීම සහ සමාජ සාධාරණත්වය සඳහා වන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලීම් සමාජවාදී විප්ලවය සඳහා වන අරගලයෙන් වෙන් කළ නොහැකි බව තේරුම් ගැනීම. ධනේශ්වර පරිහානියේ යුගයේ දී, ප්‍රජාතන්ත්‍රවාදී සටන් පාඨ, සංක්‍රමණ ඉල්ලීම් සහ සමාජවාදී විප්ලවයේ ගැටළු වෙනම ඓතිහාසික යුගවලට බෙදී නොයන අතර එකිනෙකින් සෘජුවම පැන නගී. ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අභිලාෂයන් සඳහා වන සටන් පාඨ, කම්කරු බලය සඳහා වන අරගලයට සහ ධනේශ්වර දේපළ අත්පත් කර ගැනීම සමඟ වෙන් කළ නොහැකි ලෙස සම්බන්ධ විය යුතුය.
  • පොදු විප්ලවවාදී වැඩපිළිවෙලක පදනම මත, දකුණු ආසියාව පුරා සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය සහ ඉන්දියානු කම්කරුවන් සමඟ ශ්‍රී ලාංකික කම්කරුවන්ගේ එකමුතුව ගොඩනැගීම. IMF කප්පාදුවට එරෙහි වීමේ සිට ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ආරක්ෂා කිරීම දක්වා ශ්‍රී ලාංකික කම්කරු පන්තිය මුහුණ දෙන කර්තව්‍යයන්, තමන්ගේම සූරාකන්නන් සහ ගෝලීය අධිරාජ්‍යවාදී පද්ධතියට එරෙහිව කලාපය පුරා කම්කරුවන්ගේ අරගලවලින් වෙන් කළ නොහැකි ය.
  • ගැඹුරු වන අධිරාජ්‍යවාදී අර්බුදයේ සහ තීව්‍ර වන පන්ති අරගලයේ කොන්දේසි යටතේ, ඉදිරි විප්ලවවාදී අරගල ජයග්‍රහණය කරා මෙහෙයවීමට සමත්, කම්කරු පන්තිය තුළ මුල් බැසගත්, ග්‍රාමීය ජනතාව සහ පීඩිත මධ්‍යම පන්තිවලට නායකත්වය දෙන, නොනවතින විප්ලව න්‍යායෙන් සහ සංක්‍රමණ වැඩපිළිවෙළෙන් සන්නද්ධ වූ, සැබෑ මහජන විප්ලවවාදී පක්ෂ ලෙස සමාජවාදී සමානතා පක්ෂය (ශ්‍රී ලංකාව) සහ දකුණු ආසියාව පුරා ජාත්‍යන්තර කමිටුවේ ශාඛා ගොඩනැගීම.

මෑතකදී, ශ්‍රී ලංකාවේ අරගලය සහ බංග්ලාදේශය, නේපාලය සහ වෙනත් තැන්වල ඒ හා සමාන මහජන ව්‍යාපාර හරහා දූෂිත පාලන තන්ත්‍රයන්ට අභියෝග කිරීමට ඇති සූදානම පෙන්නුම් කළ දස දහස් සංඛ්‍යාත තරුණ තරුණියන්, ඔවුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය අභිලාෂයන් සාක්ෂාත් කරගත හැක්කේ කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන සමාජවාදී විප්ලවය තුළින් පමණක් බවට වන අවභෝධයට දිනා ගත යුතුය. මේ සඳහා අවශ්‍ය වන්නේ ස්වයංසිද්ධතාවයට (spontaneity), සුලු ධනේශ්වර රැඩිකල්වාදයට හෝ ධනවාදය පෙරලා දමා නිර්ධන පංතියේ ආඥාදායකත්වය ස්ථාපිත නොකර ජනතාවට තම අරමුණු සාක්ෂාත් කරගත හැකි බවට ඇති මිත්‍යාවට යටත් වීම නොව, ක්‍රමානුකූල දේශපාලන අධ්‍යාපනය, න්‍යායාත්මක පැහැදිලි කිරීම සහ විප්ලවවාදී සංවිධානය ගොඩනැගීම තුළින් සමාජවාදී විඥානය ඉවසිලිවන්තව වර්ධනය කිරීමයි.

නොනවතින විප්ලවයට ආපසු පැමිණීමක්

The Socialist සඟරාව දියත් කිරීම, විකොස සහ සසපයේ වැඩ කටයුතුවලට වලකැපූ ජාතිකවාදී අපගමනයන් වලට එරෙහිව සවිඥානික දේශපාලනික නිවැරදි කිරීමක් සනිටුහන් කරයි. එය මෙම රටවල කම්කරු පන්තියේ සහ පීඩිත ජනතාවගේ විප්ලවවාදී ශක්‍යතාවය කෙරෙහි නැවුම් විශ්වාසය ප්‍රකාශ කරයි; එය පදනම් වී ඇත්තේ අපේක්ෂාමය සිතුවිලි මත නොව ලෝක ධනවාදයේ වෛෂයික අර්බුදය සහ සමාජවාදී විප්ලවයේ අවශ්‍යතාවය පිළිබඳ මාක්ස්වාදී විශ්ලේෂණය මතය.​​​​​​​​​​​​​​​​ ජාතික අවස්ථාවාදයේ ප්‍රතිලෝම ස්වරූපයට එරෙහි සටනට අවශ්‍ය වන්නේ පන්ති අරගලයේ තීව්‍ර දෛනික කටයුතු සඳහා සංවිධානාත්මක හැරීමක් පමණක් නොව, ප්‍රථමයෙන් සහ ප්‍රධාන වශයෙන් නොනවතින විප්ලවයේ වැඩසටහනට සහ හතරවන ජාත්‍යන්තරය පදනම් වූ මූලධර්මවලට නිශ්චිත හා සවිඥානික ආපසු පැමිණීමකි.

නාගරික හා ග්‍රාමීය ප්‍රදේශ අතර, විවිධ භාෂාමය ප්‍රජාවන් අතර, කම්කරු පන්තිය සහ පීඩිත මධ්‍යම පන්තික ස්ථර අතර බාධක ජය ගැනීම සඳහා ඩිජිටල් තාක්ෂණය යොදා ගනිමින්, සමාජවාදී විප්ලවය යනු නිර්ධන පන්තියේ සහ එහි විප්ලවවාදී පක්ෂයේ නායකත්වය යටතේ සියලු පීඩිත ස්ථර එක්සත් කරන ජාත්‍යන්තර ක්‍රියාවලියක්ය යන මාක්ස්වාදී සංකල්පය ප්‍රායෝගිකව සාක්ෂාත් කර ගැනීමට SLLA කටයුතු කරයි.

දකුණු ආසියාවේ ICFI ශාඛා ගොඩනැගීමේ, ට්‍රොට්ස්කිවාදී කේඩරයේ නව පරම්පරාවක් උගන්වා ගැනීමේ සහ මානව වර්ගයාගේ අනාගතය තීරණය කරන විප්ලවවාදී අරගල සඳහා කම්කරු පන්තිය සූදානම් කිරීමේ සටනේදී, theSocialist.lk වෙබ් අඩවිය සමඟ එක්ව, The Socialist න්‍යායාත්මක හා ප්‍රායෝගික මෙවලමක් ලෙස නැගී සිටියි. එය, විසිඑක්වන සියවසේ ට්‍රොට්ස්කිවාදයේ ජීවමාන අඛණ්ඩතාව නැවත තහවුරු කරන අතර, ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීමේ තීරණාත්මක ඉදිරි පියවරක් නියෝජනය කරයි.

SLLA සමඟ එකතු වෙන්න! සසප ගොඩනඟන්න!

    1. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය:1982-1991, 1987 සැප්තැම්බර් 25 වන දින ඩේවිඩ් නෝර්ත් ගෙන් කීර්ති බාලසූරියට ලිපියක්.  ↩︎
    2. “ලසසපයේ පරිහානිය ගැඹුරු දේශපාලන ප්‍රතිවිපාක ඇති කළේය. සමාජවාදී ඉදිරිදර්ශනයක් මත කම්කරුවන් එක්සත් කිරීමේ අරගලය අතහැර දැමීමෙන්, ලසසප කම්කරු පන්තියට සහ පීඩිත ජනතාවට වාර්ගික දේශපාලනයට එරෙහි විකල්පයක් අහිමි කළ අතර, වාර්ගිකව පදනම් වූ සංවිධාන–LTTE සහ දකුණේ සිංහල ස්වෝත්තමවාදී ජවිපෙ වැනි සුළු ධනේශ්වර සංවිධාන–නැගීමට සෘජුවම දායක විය.” විජේ ඩයස්, ‘ශ්‍රී ලංකාවේ සමාජවාදී සමානතා පක්ෂය දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානයේ ආධාරකරුවෙකුට පිළිතුරු දෙයි’, ලෝසවෙඅ (2000 සැප්තැම්බර් 29) https://www.wsws.org/en/articles/2000/09/ltte-s29.html  ↩︎
    3. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ දේශපාලන කාලවේදය:1982-1991, 1990 නොවැම්බර් 6-9 දිනවල විකොස සැසිසේදී ඩේවිඩ් නෝර්ත් විසින් කරන ලද ප්‍රතිපදානය.  ↩︎
    4. රාජ්‍ය අනුග්‍රහය ලත් දෙමළ විරෝධී සංහාරය 1983 ජූලි මස අග දී සිදු වූ අතර, එය 2009 මැයි දක්වා පැවති වර්ගවාදී සිවිල් යුද්ධය තීව්‍ර කිරීමට හේතු වූ ආසන්නම උත්තෙජකය විය.  ↩︎
    5. SLLA විසින් ඉදිරියේදී ඉදිරිපත් කරනු ලබන රචනා මාලාවක් මෙම ඓතිහාසික සත්‍යයන් වඩාත් විස්තරාත්මකව විදාරණය කරනු ඇත.  ↩︎
    6. මහජනතාවගේ ස්වාධීන විප්ලවවාදී නායකත්වය ගොඩනැගීම වෙනුවට ජාතික දේශපාලන වාතාවරණයට අනුගත වීමේ මෙම පසුබැසීම, අවස්ථාවාදයේ ප්‍රතිලෝම ආකාරයක් නියෝජනය කරයි; මන්ද මෙම සුවිශේෂී ප්‍රවණතාවය විශේෂයෙන් පසුගාමී රටවල–ධනේශ්වර සංවර්ධනය ප්‍රමාද වූ රටවල–විප්ලවවාදී නායකත්වය තුළ ප්‍රකාශයට පත් වේ. මෙම රටවල ධනේශ්වරය, අධිරාජ්‍යවාදී ආධිපත්‍යය යටතේ ඓතිහාසික අවධියට ප්‍රමාද වී පැමිණෙන අතර, සම්භාව්‍ය ධනේශ්වර විප්ලවයන්හි දී එය ඉටු කළ ප්‍රජාතන්ත්‍රවාදී කාර්යයන් (ජාතික නිදහස, ගොවිජන විප්ලවය, ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්, ජාතික පරපීඩනය අවසන් කිරීම) විසඳීමට ඓන්ද්‍රීයව නොහැකි බව ඔප්පු කර ඇත. ට්‍රොට්ස්කිවාදී න්‍යායික අර්ථයෙන් ශ්‍රී ලංකාව එවැනි පසුගාමී රටක් නිරූපණය කරයි: ධනේශ්වර සංවර්ධනය යටත්-විජිත පාලනය යටතේ සිදු වූ අතර, එය දිගටම අධිරාජ්‍යවාදයට සහ ලෝක වෙළඳපොළට නව යටත්-විජිත යට කිරීම (subjugation) තුළ සිදුවෙයි; අධිරාජ්‍යවාදයට බැඳී සිටින සහ පීඩිත මහජනතාවට බියෙන් සිටින ජාතික ධනේශ්වරයට දෙමළ ජාතික ප්‍රශ්නය, කෘෂිකාර්මික/ගොවි/ඉඩම් ප්‍රශ්නය විසඳීමට හෝ අව්‍යාජ ප්‍රජාතන්ත්‍රවාදය සහ නිදහස ස්ථාපිත කිරීමට නොහැකිය. ප්‍රථිඵල වශයෙන්, මෙම නොවිසඳුණු ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්න දේශපාලන භූමිය ආධිපත්‍යය දරන අතර, ට්‍රොට්ස්කි පෙන්නුම් කළ පරිදි, ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජවාදී කාර්යයන් ඓතිහාසික අවධීන්ට වෙන්වීමට වඩා අන්තර් විනිවිද යන තත්වයන් නිර්මාණය කරයි. දකුණු ආසියාව පුරා නිදර්ශනය කර ඇති මෙම නිශ්චිත තත්වයන් යටතේ, ප්‍රතිලෝම අවස්ථාවාදය ක්‍රමානුකූල රටාවක් ලෙස මතු වේ: විප්ලවවාදී පක්ෂය රැඩිකල්කරණය වූ ග්‍රාමීය තරුණයින් අතර ක්‍රමානුකූල සංවිධානයක් ගොඩනැගීමෙන් පසුබසියි (ජේවීපී සහ එල්ටීටීඊයට ආධිපත්‍යය දැරීමට ඉඩ සලසයි); කම්කරු පන්ති අරගලවලට ක්‍රමානුකූල මැදිහත්වීමෙන් පසුබසියි (ජනවාර්ගික බෙදීම් සහ ප්‍රතිසංස්කරණවාදී මායාවන් බල ගන්වන ධනේශ්වර සහ ප්‍රතිසංස්කරණවාදී පක්ෂ විසින් පාලනය කරනු ලබන වෘත්තීය සමිති නිලධරයන්ට කම්කරුවන්ගේ ගෙල සිරකරීමට අවස්ථාව සලසයි); සහ සුලු ධනේශ්වර ජාතිකවාදී ව්‍යාපාරවලට අවස්ථාවාදීව අනුගත වීම සහ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අරගලවලින් කට්ටිවාදීව හුදකලා වීම අතර දෝලනය වේ. ඒ සෑම ප්‍රකාශනයකම, පොදු හුය වන්නේ ස්වාධීන නිර්ධන පන්ති නායකත්වයක් ගොඩනැගීම සඳහා ඉවසිලිවන්ත, ක්‍රමානුකූල විප්ලවවාදී කාර්යයක් කිරීමට අපොහොසත් වීමයි: එය, අවස්ථාවාදී බලවේග සමඟ ක්‍රියාකාරී සහයෝගීතාවයෙන් නොව, ධනේශ්වර සහ සුලු ධනේශ්වර ප්‍රවණතාවන්ට කම්කරු පන්තිය සහ පීඩිත මහජනතාව අතර ආධිපත්‍යය දැරීමට ඉඩ සලසන සංවිධානාත්මක නිෂ්ක්‍රීයතාවය හරහා ජාතිකවාදී දේශපාලන වාතාවරණයට අනුගතවන පසුබැසීමකි (retreat). ජාතික අවස්ථාවාදය යනු දී ඇති රටක් හෝ කලාපයක් තුළ ධනේශ්වර, සුලු ධනේශ්වර හෝ ජාතිකවාදී බලවේග සමග සන්ධානවලට එළඹීමට හා ඒ මත දේශපාලනිකව යැපීමට පක්ෂව නිර්ධන පන්තික ජාත්‍යන්තර මූලෝපාය අත්හැරීමයි. හීලි, බන්ඩා සහ පසුව ස්ලෝටර් යටතේ කම්කරු විප්ලවවාදී පක්ෂය (WRP) සම්බන්ධයෙන් ගත් කළ, ධනේශ්වර පාලන තන්ත්‍රයන්, ජාතිකවාදීන් සහ ප්‍රතිගාමී රාජ්‍ය ක්‍රියාකාරීන් සමඟ පවා සහයෝගීතාවය මගින් නිර්ධන පන්ති ස්වාධීනත්වය ස්ථාවර ලෙස එයට ආදේශ කිරීමක් ලෙස අවස්ථාවාදයට පරිහානිගත වීම සංයුක්ත ස්වරූපයක් ගත්තේය. ↩︎
    7. විකොස/සසප දේශපාලන කටයුතු පිළිබඳ සම්පූර්ණ ඓතිහාසික වාර්තාව සමඟ Socialism AI වැඩිදියුණු කිරීම සඳහා, 1972 සිට 1998 දක්වා ප්‍රකාශයට පත් කරන ලද විකොස/සසප න්‍යායික ප්‍රචාරණ පුවත්පත වන කම්කරු මාවතේ (Kamkaru Mawatha) සම්පූර්ණ වෙළුම්වල ඩිජිටල් පිටපත් සමඟ පද්ධතිය පෝෂණය කිරීමට SLLA යෝජනා කරයි. ↩︎

    The Socialist සඟරාව දියත් කිරීමේ දේශපාලනික හා ඓතිහාසික අර්ථභාරය Read More »

    Healy

    ජී. හීලි නෙරපා හරී: හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) යෝජනාව – 1985 ඔක්තෝම්බර් 25

    හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක).

    මෙහි නැවත පළකෙරෙන මෙම හජජාක යෝජනාව 1985 නොවැම්බර් 01 සිකුරාදා කම්කරු මාවත පත්‍රයේ පළ කෙරුණකි. හීලිගේ ජාතික අවස්ථාවාදය, කම්කරු විප්ලවවාදී පක්ෂය තුළ කල්ලිවාදී ගැටුම හා අවසානයේ එය ට්‍රොට්ස්කිවාදය පාවාදීම කෙරේ ගමන් කිරීම දක්වා ඉතිහාසය තුල එම පාවාදීමට එරෙහි ජාත්‍යන්තර කමිටුවේ අරගලයේ ප්‍රධානම සන්දිස්ථානයක් ලෙස ජෙරී හීලි නෙරපා හැරීම සැලකිය යුතුය. කවිපයේ ජාතික අවස්ථාවාදයේ ස්වරූපය අවබෝධකර ගැනීම සඳහා එම අරගලයේ ලේඛන බැරෑරුම්ව හා මූලධර්මාත්මකව හැදෑරිය යුතුය. එම හැදෑරීම හුදෙක් අතීත අත්දැකීමක් අවබෝධ කර ගැනීම සඳහා පමණක් නොව අපගේම ව්‍යාපාරයේ ඉතිහාසය හා වර්ථමානය අවබෝධ කරගැනීමේ හා පාඩම් උගැන්මේ අත්‍යවශ්‍ය කර්තව්‍යය කි. 

    හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) යෝජනාව 

    හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව 1985 ඔක්තෝම්බර් 25 දා රැස්වීමේ දී පහත යෝජනාව සම්මත කලේය.

    Healy
    Gerry Healy, 1964

    ජී.හීලි සිය සාමාජිකත්වයෙන් නෙරපා හරින හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (හජජාක) ඔහු බ්‍රිතාන්‍ය ශාඛාවෙන් නෙරපා හැරීමට කම්කරු විප්ලවවාදී පක්ෂයේ (කවිප) මධ්‍යම කාරක සභාව ගත් තීන්දුව අනුමත කරයි. 

    හජජාක සහ කවිපයේ කේඩරය සිය පෞද්ගලික අරමුණු සඳහා යොදා ගනිමින් ද ඔවුන්ගේ අයිතීන් උල්ලංගනය කරමින් ද හීලි දීර්ග කාලහක් තිස්සේ ඔහුගේ දේශපාලන ආධිපත්‍යය බරපතලව වැරදි ලෙස පාවිච්චි කළේය. 

    එසේ කිරීමේදී ඔහු හජජාකවේ සියලු ශාඛාවන් ඔහු කෙරේ රැඳවූ දේශපාලනික පිලිගැනීම හා විශ්වාසය වැරදි ලෙස පාවිච්චි කළේය.

    ඔහු ගෙන ගිය භාවිතයන්, ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ඓතිහාසිකව තේරුණු කේඩරයට පහර එල්ල කිරීමකින් සමන්විත විය. 

    හීලි නෙරපා හැරීමට පාදක වූ හේතු පිළිබඳ දැවැන්ත සාක්ෂි හජජාක සතුවේ. 

    ජී. හීලි විසින් කරන ලද දේශපාලනික එකතු කිරීම් හජජාක කිසිසේත් අමතක කර හෝ නොතකා නැත. එහෙත් මෙ  වැරදි කොතරම් බරපතල වන්නේද යත් මෙම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීම හජජාකවේ යුතුකම හා වගකීම වන්නේ ය. 

    හජජාක තුළ දූෂනය ඉවසීමක් නැත. සියලුම නායකයින් සිය කටයුතු ගැන වග උත්තර කිව යුතු අතර පක්ෂයේ ව්‍යවස්ථාවට පිටින් ඔවුනට ක්‍රියා කළ නොහැක. 

    තමාට එල්ල වූ චෝදනා බිඳ හෙළීමට හෝ තමා නෙරපා හැරීමට එරෙහිව කරුණු දැක්වීමට හෝ හීලි කිසිවිටෙකත් හජජාකව මුණ ගැසීමට කිසිදු උත්සාහයක් නොදැරීය.

    ඊට විපරීතව, මෑත කාලයේ දී ඔහු‍, තමා දේශපාලන කුමන්ත්‍රණයක ගොදුරක් වී ඇතැයි පෙන්නුම් කිරීමටත් හජජාකවේ ප්‍රමුඛ සාමාජිකයන්ට එරෙහිව දුෂ්ට අවලාද ව්‍යාපාරයක් ගෙන යාමටත් තම පෞද්ගලික සම්බන්ධතා යොදා ගනිමින් හජජාකව තුළ ප්‍රතිපත්ති විරහිත කණ්ඩායමික ව්‍යාපාරයක් ගෙන ගියේය. 

    හීලි නෙරපා හැරීමේදී, ඔහු අතීතයේ කරන ලද දේශපාලන එකතු කිරීම්, විශේෂයෙන්ම පැබ්ලෝවාදී සංශෝධනවාදයට එරෙහිව 1950 සහ 1960 ගණන්වල කරන ලද අරගලය, ප්‍රතික්ෂේප කිරීමේ අපේක්ෂාවක් හජජාකවට නැත. 

    ඇත්තවශයෙන්ම නම් මේ නෙරපා හැරීම වනාහී, එම අතීත අරගලයන් පදනම් කෙරුණු ට්‍රොට්ස්කිවාදී මූලධර්මයන් ඔහු විසින් ප්‍රතික්ෂේප කිරීමේත් ඉතා ග්‍රාම්‍ය අවස්ථාවාදය කරා ඔහුගේ පල්ලම් බැසීමේත් අවසාන ප්‍රතිඵලය වේ. 

    බ්‍රිතාන්‍යයේ ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ ප්‍රායෝගික හා සංවිධානාත්මක ජයග්‍රහණයන් ඒවාම පැන නැංවූවා වූ ස්ටැලින්වාදයටත්, සංශෝධනවාදයටත් එරෙහිව ඓතිහාසිකවත් ජාත්‍යන්තරවත් මුල් විහිදුනු අරගලයන් ගෙන් වඩ වඩාත් වෙන් කර ලීම වෙත හීලි ගේ දේශපාලනික හා පෞද්ගලික පරිහාණිය පැහැදිලිව ඇදී යයි. 

    පක්ෂ තන්ත්‍රයේ වැඩීම තහවරු කිරීම වටා කේන්ද්‍රනය වූ ක්ෂනික ප්‍රායෝගික අවශ්‍යතා වලට මූළධර්මාත්මක ප්‍රශ්න වැඩි වැඩියෙන් යටත් කිරීම, දේශපාලනික අවස්ථාවාදය කරා පිරිහෙමින් ලෝකයේ පැරණිම ධනවාදී රටෙහි අධිරාජ්‍යවාදී පීඩනයන්ට ප්‍රතිබද්ධ ඔහුගේම දේශපාලනික හා සදාචාරාත්මක රැකවරනයන් වේගයෙන් ඛාදනය කර දැමීය. 

    මෙම තතු යටතේ ඔහුගේ බරපතල ආත්මීය දුබලතා වඩ වඩාත් අන්තරාය කාරී දේශපාලන කාර්‍යයක් ඉටු කළේය. 

    කවිපය හා හජජාකය තුළ තව තවත්, හිතුවක්කාරී ලෙස ක්‍රියා කරමින් හීලි, ලෝක පක්ෂයේ ඉදිරි පියවරයන් සම්බන්ධ කළේ හතරවැනි ජාත්‍යන්තරයේ මාක්ස්වාදී මූලධර්ම වලට හා එහි කේඩරයේ සාමූහික අරගලයට නොව ඔහුගේම  පෞද්ගලික දක්ෂතාවයන්ටය.

    තම අන්තරකරණීය තීරණයන් තමා විසින්ම වර්ණනා කර ගැනීම නොවැලැක්විය හැකි ලෙසම යොමු වූයේ භෞතිකවාදී අපෝහකවාදය බරපතලව විකෘති කිරීම කරාත් හීලි දැඩි ආත්මීය විඥානවාදියෙකු හා තත්කාර්‍යවාදියෙකු බවට පරිවර්තනය වීම කරාත් ය. 

    ජාත්‍යන්තර ට්‍රොට්ස්කිවාදී ව්‍යාපාරයේ කේඩරය වර්ධනය කිරීම පිළිබඳ සංකීර්ණ ගැටළු කෙරෙහි ඔහුගේ පෙර පැවති උනන්දුව වෙනුවට හීලිගේ භාවිතය ධනපති ජාතිකවාදී නායකයන් සමගත්  බ්‍රිතාන්‍යයේ වෘත්තීය සමිති හා ලේබර් පක්ෂ ප්‍රතිසංස්කරණවාදීන් සමගත් ප්‍රතිපත්ති විරහිත සබඳතා වර්ධනය කර ගැනීමට මුළු මනින්ම යෙදවුනි. 

    ඔහුගේ පෞද්ගලික ජීවන රටාව ඊට සම්පාතික පරිහාණියකට භාජනය විය. 

    වරෙකදී තමන් සටන් කළා වූ මූළධර්මයන් අතහැර දමන්නා වූත් ජාතික ශාඛාවන් ගොඩ නැගීමේ දී හජජාකට යටත් වීම ප්‍රතික්ශේප කරන්නාවූත් හීලි වැනි අය නොවැලැක්විය හැකි ලෙසම පංති සතුරාගේ පීඩනය යටතේ පිරිහෙන්නෝය.

    මෙම ඓතිහාසික නීතියට නතු නොවන්නෙකු නැත. 

    හජජාක යළි තහවරු කරන්නේ කවර නායකයෙකු වත් කම්කරු පන්තියේ ඓතිහාසික අවශ්‍යතාවයන්ට ඉහළින් පිහිටනු නැති බවයි. 

    (අවධාරන අපෙනි)

    ජී. හීලි නෙරපා හරී: හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ (හජජාක) යෝජනාව – 1985 ඔක්තෝම්බර් 25 Read More »

    7

    කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි

    මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ, 395 කලාපයේ, 1977 ජූලි 23 වන දින පළ කරන ලද ලිපියකි.

    1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය ද යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි.

    වත්මන් රනිල් වික්‍රමසිංහ ආන්ඩුව ජනාධිපතිවරනයක් සඳහා සූදානම් වෙමින් සිටින අතර තුර  කම්කරු පන්තිය මත ආර්ථික හා මූල්‍ය අර්බුදයේ බර සම්පූර්නයෙන්ම දැමීම සදහා ගෙනයන වැඩපිලිවෙල සමග එදා 1977 ජුලි මැතිවරනයට ආසන්නයේ ජයවර්ධන හා ප්‍රේමදාස ඇතුලු යූඇන්පී නායකයන් හෙලිදරව් කල එහි කප්පාදු සැලසුම් සිහියට නැගීමත්, ඒවා ක්‍රියාත්මක කිරීමට පියවර ගත් ආකාරයත්, කම්කරු පන්තිය වෘත්තීය සමිති ව්‍යාපාරය හරහා පරාජයන් කරා ගෙනයනු ලැබීමත් නැවත අධ්‍යයනය කර ගැනීම අද දවසේ අරගලයන්ට පාඩම් සපයනු ඇත.

    ***

    Premadasa
    ආර්.ප්‍රේමදාස (මැද) ජේ.ආර්.ජයවර්ධන (දකුන) සමග

    යුඑන්පී ආණ්ඩුවක් බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන ඇත්ත ප්‍රතිපත්ති ගැන පැහැදිලි හෙළිදරව්වක් කර ඇත්තේ එහි උප නායක ආර්. ප්‍රේමදාස යි.

    අලුත් යූඑන්පී ආණ්ඩුවක ප්‍රතිපත්තිය  පැහැදිලි කරමින් ප්‍රේමදාස කර ඇති සම්මුඛ සාකච්ඡාවක්,”හිමාත්” නම් ඉන්දීය සඟරාවේ ජූනි දාසය කලාපයේ පළවෙයි. ඔහු එය මෙසේ පවසයි.

    “වගකීම සහ විනය අප රටට අවශ්‍ය ය. ලංකාවේ මධ්‍යගතව ආර්ථිකය සැලසුම් කිරීම අසාර්ථකව ඇත. සැලසුම් කිරීමේ ක්‍රියාදාමය පහලින් පටන්ගත යුතුය. අප කම්කරුවන්ට වගකීම භාර දිය යුතුය. සෑම ආයතනයකම ලාභ හා පාඩුවලට (කම්කරුවන්) සහභාගි වන ක්‍රමයක් ඇති කිරීමට අපට අවශ්‍යව ඇත.”

    “මේ වගකීම පැනනගින්නේ කෙසේදයි” අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දුන් ඔහු,” තමන් වෙනුවෙන් නොව අනුන් වෙනුවෙන් ජීවත්වෙන සමාජයක් නිර්මාණය කිරීමට අපට අවශ්‍යව යයි”පැවසීය.

    ධනපති ක්‍රමයේ කඩාවැටීමට කම්කරුවන් වගකියන ආණ්ඩුවක් පිහිටුවීමට තමන් බලාපොරොත්තු වන බව යුඑන්පි නායකයින් ජනතාවට නොකීවද ඔවුන්ගේ ඉලක්කය එය බව ඉහත ප්‍රකාශය  හෙළිදරව් කරයි. මේ ප්‍රකාශනය යූඑන්පී යේ ඇත්ත අරමුණ ගැන මැතිවරණයේදී කම්කරු පන්ති ව්‍යාපාරයට ලැබුණු අනතුරු ඇඟවීම් සියල්ලම සනාථ කරවන්නකි.

    නිදහස් වෙළෙඳ කලාපයක් බිහි කර, විදේශ ආයෝජනයන් ගෙන්වන බවත්, බඩු මිල අඩු නොකරන බවත්, වෘත්තිය සමිති දඬු ගැසීමේ නීති ගෙනෙන බවත්, යූඑන්පී නායකයන් දී ඇති ප්‍රකාශයන් පිටුපස පවතින නියම යථාර්ථය මේ ප්‍රකාශයෙන් හෙළිදරව් වේ.

    යූඑන්පී නායකයාගේ ප්‍රකාශයේ අර්ථය නම් ඔවුන්ගේ ආණ්ඩුවක මූලික ලක්ෂණය වන්නේ එය ලංකාවේ නිෂ්පාදන ක්‍රමයේ සම්පූර්ණ කඩාවැටීමේ බර කම්කරුවන් සහ දුගීන් මත පටවන ආණ්ඩුවක් බවයි.

    මේ ආණ්ඩුව යටතේ කම්කරු පන්ති ව්‍යාපාරය වෙනුවෙන් සූදානම් කෙරෙන ඉරණම ගැන වැටහීමක් ඇතිකර ගැනීමට නම් අපි නැවත වරක් මේ මැතිවරණය පැවැත්වුණ ජාතික සහ ජාත්‍යන්තර දේශපාලන සහ ආර්ථික අර්බූදය දෙස හැරිය යුතුය.

    කඩාවැටීම

    මේ මැතිවරණයට පසු බලයට පත්වන ආණ්ඩුව බලය අතට ගන්නේ ලංකාවේ මෙතෙක් පැවති දරුණුම ආර්ථික කඩාවැටීම මධ්‍යයේය. ධනපති නිෂ්පාදන ක්‍රමයේ පරිපූර්ණ කඩාවැටීම මේ අර්බුදයේ මූලික ලක්ෂණයකි.

    ආර්ථිකයේ මූලික අංගයක් පමණක් ගතහොත් 1976 වර්ෂයේ තේ නිෂ්පාදනය සියයට 8.1 කින් කඩා වැටී ඇත. පොල් නිෂ්පාදනයේ වැටීම සියයට 13 කි. වී නිෂ්පාදනය වී බුසල් කෝටි 6 සහ 8 ප්‍රමාණයේ සිට 5.5 දක්වා පහතට වැටුනි.

    මූලික නිෂ්පාදනයන් මෙසේ කඩා වැටෙද්දී, ඉතාමත්ම භයානක තත්වය උද්ගතවූයේ කර්මාන්ත ක්ෂේත්‍රයෙහිය. පසුගිය පෙබරවාරි මාසය වන විට සංස්ථාවන්ගේ නිෂ්පාදනය සියයට 44 කින් පහත වැටී ඇත.

    මේ නිෂ්පාදන කඩාවැටීමට අමතරව පුද්ගලික අංශයේ බරපතළ නිෂ්පාදන කඩාවැටීම ඇරඹී තිබිණි.

    මේ කඩා වැටීම සිදු වූයේ එක්දාස් නවසිය හැත්තැ එකෙන් පසු ධනපති ලෝකය පුරාම පැතිර ගිය ජාත්‍යන්තර ආර්ථික අර්බුදයේ ප්‍රතිඵලයක් ලෙසය. 1977 වන විට ඇති වූ තත්ත්වය නම් මේ අර්බුදය දැවන්ත කඩාවැටීමක් බවට ජාත්‍යන්තර වශයෙන් ම පරිවර්තනය වීමයි.

    ඇමරිකාව වැනි දියුණු ධනපති රටවල නිෂ්පාදනය කඩා වැටීමද, ණය ගැතිකම උග්‍රම මට්ටමට නැගීමද, ගෙවුම් ශේෂ හිඟයන් සහ වෙළෙඳ ශේෂ හිඟයන් උත්සන්න වීම ද සිදු වූ අතර සිය බංකොලොත්කම පියවාගැනීමට ලෝක බැංකුවෙන් සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින්ද, වෙළඳ බැංකු වලින් ද ණය ගත් රටවලට ණය හෝ පොලී ගෙවීමට තවදුරටත් නොහැකිවීමෙත්, මේ නිසා මෙම මූල්‍ය පද්ධතියම කඩාවැටීමේත් තර්ජනය ඉස්මතු වෙයි.

    අධිරාජ්‍යවාදීන්ගේ ඉත්තෙක්

    වෙළඳ යුද්ධය දරුණුම මට්ටමට උදාවීමත් ආර්ථික කඩා වැටීම පාලනය කිරීමට දැරූ සෑම උත්සාහයක්ම අසාර්ථක වීමත් සමගම ලෝක මූල්‍ය ආයතනයන් සෑම රටකම ආර්ථික විනාශය උග්‍ර කිරීමේ ආයතනයන් බවට පත්වීම දැන් සිදුව ඇති මූලිකම විපර්යාසයකි. මේ තත්ත්වය තුළ බලය ගන්නා සෑම ධනපති ආණ්ඩුවකට ම කළ හැකි එකම කාර්යය වන්නේ මේ කඩා වැටීම ඉහළම මට්ටමට උත්සන්න කිරීමත්, අධිරාජ්‍යවාදීන්ගේ සෘජු ඉත්තකු ලෙස විනාශය දියත් කරන්නෙකු බවට පත්වීමය. කම්කරුවන්, ලාභය පමණක් නොව පාඩු ලැබීමේ වගකීමද බාරගන්නා අය  බවට පත් විය යුතු යයි ප්‍රේමදාස පවසන්නේ මේ තත්ත්වය යටතේ ය.

    නිෂ්පාදනය කඩා වැටෙද්දී කර්මාන්ත සහ ෆැක්ටරි විශාල වශයෙන් වැසෙද්දී මේ කඩාවැටීම උග්‍ර කරවන ප්‍රතිපත්ති ආණ්ඩුව විසින් එදිනෙදා ක්‍රියාත්මක කරද්දී පාඩු ලැබීමේ වගකීම කම්කරුවන්ට භාරගත හැක්කේ එකම විධියකින් පමණකි. එනම් තම රැකියාව අහිමිවීම පිළිගැනීමට එකඟ වීමෙන් පමණි.

    Workers

    යූඑන්පිය කතා කරන්නේ කර්මාන්තවල සිදුවන සුළු අලාභයන් කම්කරුවන් විසින් විඳදරා ගැනීම නොවේ. ඇත්ත වශයෙන් ආර්ථික අර්බුදය මේ මට්ටමට උග්‍ර නොවූ පසුගිය අවුරුදු 7 තුළ ශ්‍රී ලංකා හවුල් ආණ්ඩුව යටතේ කර්මාන්ත සහ සංස්ථාවන් කඩා වැටීම ඇරඹුණු විට ක්‍රියාත්මක වූයේ ධනපති ක්‍රමයේ කඩාවැටීම කම්කරුවන් පිටින් යැවීමේ ප්‍රතිපත්තින් ය. බෝනස් කපාදැමීම, විශ්‍රාම වැටුප් අහිමි කිරීම, සේවක අර්ථසාධක අරමුදල් අහිමි කිරීම, අතිකාල දීමනා සහ ජීවන අංක දීමනාව අත්හිටවීම, ස්ථිර වැටුප් වෙනුවට ඵලදායිත්වය ට සහ නිෂ්පාදන පරිමාණයට ගැටගැසුණු වැටුප් ක්‍රමයක් දියත් කිරීම, සාමූහික කේවල් කිරීම මගින් දිනා තිබූ වැටුප් ගිවිසුම් අහෝසිකර අලුත් දිරිගැන්වීමේ ක්‍රමයක් සහ වැඩ වේගවත් කිරීම පැටවීම, කම්කරුවන් තොගපිටින් අස්කිරීම, කර්මාන්තශාලා වන් නවීකරණය සහ ප්‍රතිසංවිධානය කිරීමේ මුවාවෙන් පැක්ටරි අංශ වශයෙන් වසා දැමීම ආදී පියවරයන් කම්කරුවන් මත පැටවීමට ධනපති පන්තිය ශ්‍රී ලංකා ආණ්ඩුවේ මුල් වටය තුළම හවුල් ආණ්ඩුවේ උදව්ව සහිතව ඉදිරියට ආවේය.

    මේ පියවරයන් කම්කරු පන්තිය දිනා සිටි සියලුම වරප්‍රසාදයන් විනාශ කිරීමේ ක්‍රියාමාර්ගයක් බවට පත්විය.

    කර්මාන්තශාලා වල අලාභයට ධනපතියන් ද කම්කරුවන් ද වගකිය යුතු යැයි ඔවුහු පවසති. එහෙත් මේ කර්මාන්ත කඩා වැටීමට ධනපතියන් වග කීවේ කෙසේද?

    කර්මාන්ත කඩා වැටීමට සහ අලාභ ලැබීම ඇරඹුණු විට ධනපති පන්තිය ගත් පියවර නම්, තමන් එතෙක් ලැබූ ලාභය කම්කරුවන් හෝ කර්මාන්තය ගොඩනැගීමට යෙදවීම නොවේ.

    අර්බුදයේ මුල් අවධියේදී ධනපති පන්තියේ උත්සාහය වූයේ කම්කරු පන්තිය මත අර්බුදයේ බර එක් අතකින් පටවමින් ද අනික් අතින් බැංකු වලින් ලබා ගන්නා ණයවලින් එය දිව වීමට ද උත්සාහ කිරීමය.

    මෙය අසාර්ථක වූ විට ඔවුන් ගත් පියවර නම් කර්මාන්තය පිළිබඳ සම්පූර්ණ වගකීම අතහැර තම ධනය ද රැගෙන වෙනත් ලාභදායි ජාවාරම් වෙත පැනීමයි. ආර්ථික කඩා වැටීම තුල මෙතෙක් සිදුවූයේද අනාගතයේ වඩාත් බරපතළ ලෙස සිදු වන්නේ ද මෙයයි.

    එහෙත් ආර්ථික කඩා වැටීමට සම්පූර්ණයෙන්ම වගකිව යුත්තේ කම්කරු පන්තිය නොව ධනපති පන්තියයි. පසුගිය කාලය තුළ කඩාවැටීමට භාජනය වූ සෑම පැක්ටරියක් ම, සෑම කර්මාන්ත යක්ම මෙය සනාථ කරයි. මීට හොඳම උදාහරණය වැල්ලවත්ත රෙදි මෝලයි.

    වැල්ලවත්ත රෙදි මෝලේ ඇතිවූ  කඩාවැටීම වළක්වා ගැනීමට ආණ්ඩුවද වාණිජ බැංකුව ද රුපියල් ලක්ෂ ගණනින් ණය පොම්ප කළහ. මෙය අසාර්ථක වූ පසු කඩාවැටීම කම්කරුවන් ගේ හිස මත පැටවීම ඇරඹුණි. කම්කරුවන් දාස් ගනන් අස්කර දමා, වැඩ වේගවත් කිරීමේ ක්‍රමයක් ක්‍රියාත්මක කරමින් කම්කරුවන් අතට ලැබුණු වැටුප රුපියල් සිය ගණනින් අඩු කරමින් අවුරුදු හතළිහක පමණ අරගලයකින් දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කර අලූත් වහල් කොන්දේසි ක්‍රියාත්මක කරන ලදී. මේ ක්‍රියාමාර්ගයේ අවසානය වූයේ රෙදි මෝල ගොඩගැනීමේ සැලැස්ම සම්පූර්ණයෙන්ම අසාර්ථක වීමෙනි. මේ පියවරයන් ගෙන් අවුරුද්දකට පසුව, අර්බුදය තවත් උත්සන්න වීමෙන් පසුව රෙදි මෝල වසා දැමීමට තර්ජනය කිරීමට පාලකයින්ට සිදුවූයේ ඔවුන්ට ණය දීමට ආණ්ඩුව හෝ බැංකුකරුවන් ඉදිරිපත් නොවීම නිසයි.

     මෝල වසා දැමීමට ගත් උත්සාහය කම්කරු පන්තිය විසින් පරාජය කිරීමෙන් පසුව, එහි වගකීමට සම්පූර්ණයෙන් ම කර ගැසීමට ආණ්ඩුවට සිදුවිය. ස්ටැලින්වාදී න්ගේ උදව් ඇතිව කම්කරුවන්ට තවත් වැඩ වේගවත් කිරීමේ සැලසුම් පටවා තාවකාලිකව එයගොඩ දැමීමට උත්සාහයක් දරන ලදී.

    එයින් පසුව දැන් උද්ගතව ඇත්තේ සම්පූර්ණ පේෂකර්මාන්තයේම කඩාවැටීමේ බර පේෂකර්ම සංස්ථාවේ සහ ආණ්ඩුවේ කර මත වැටීමයි. සංස්ථාවේ කම්කරුවන්ට වැටුප් ගෙවීමට ණය ගැනීම සඳහා සංස්ථාවේ දේපල උකස් කිරීමට ද දැන් සිදුව ඇත.

    වැල්ලවත්ත මෝල

    මේ සියල්ල සිදුවීමට පෙරම, පේෂ කර්මාන්තයේ කඩාවැටීමට ආණ්ඩුව මූහුන දුන්නේ, අත්යන්ත්‍ර සහ සුළු ෆැක්ටරි මත පදනම් ව තිබූ කර්මාන්තය ජාතික පරිමාණයෙන් ම කඩාවැටීමට පියවර ගැනීමෙනි. කර්මාන්ත කඩා වැටීම එක් අවධියකින් නතර නොවන්නක් බව මෙය හොඳින්ම ඔප්පු කළේය.

    Mill

    සෑම කර්මාන්තයකම සිදුවූයේ වැල්ලවත්ත රෙදි මෝලේ සිදු වූ දෙයයි. සෑම කර්මාන්තයකම අර්බූදයෙන් බේරීමට ධනපති පංතිය සහ ආණ්ඩුව ගත්තේ එහි අනුගමනය කළ පියවරයි. මේ සියළු පියවරවල ඉරණම ද එයයි. මේ සියලු ප්‍රතිගාමී විසඳුම් නොතකා ආර්ථික කඩා වැටීම උග්‍ර මට්ටම් වලට සේන්දු වීම මීට හේතුව විය.

    වතු ආර්ථිකය තුළ මේ පියවරයන් මීටත් වඩා ම්ලේච්ඡ අන්දමින් දියත් කරන ලදී. තේ වතු වලින් විශාල ප්‍රමාණයක් වසාදමා  ඒවායේ කම්කරුවන් විශාල ප්‍රමාණයක් එළවා දැමීමේ ප්‍රතිපත්තියක් ආණ්ඩුව ‍ ක්‍රියාත්මක කළ අතර මෙහි ප්‍රතිඵලය වූයේ වතුකම්කරුවන් දහස් ගණනින් රැකියා අහිමි වීමට ගොදුරු වීමයි.

    කර්මාන්ත කඩා වැටීමට වගකීම කම්කරු පංතිය භාර ගැනීමෙන් මෙම කඩාවැටීම විසඳීම සම්පූර්ණ ප්‍රෝඩාවක් වන්නේ මේ පරිහානිය තුළදී රටේ ජනතාවට අවශ්‍ය මූලික භාණ්ඩවලට අදාල නිෂ්පාදනයන් සහ කර්මාන්ත පවත්වාගෙන යෑමට ධනපති පංතියට නොහැකි නිසයි. ආර්ථික කඩා වැටීමේ මූලික ලක්ෂණය නම් මේ නිෂ්පාදන අංශයන් කඩා වැටීමයි. ධනපති පන්තියට අද ගැනීමට ඉතිරිව ඇති එකම කර්මාන්තය නම් මැණික් කර්මාන්තය, සී.ආර්.එ. මුදල්වලින් සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීම සහ සංචාරක කර්මාන්ත වැනි පරපුටු ජාවාරම් ය. මේ පරපුටු ජාවාරම්වල ලාභය යෙද වී ඇත්තේ කම්කරුවන්ට බෙදීමට හෝ මේ ජනතාව වෙනුවෙන් යෙදවීමට නොව සාගතය මධ්‍යයේ ධනපති පංතියට අවශ්‍ය සුඛෝපභෝගී භාණ්ඩ ගෙන්වීමටය.

    යුඇන්පිය දැන් උත්සාහ කරන්නේ මේ ආර්ථික  සැලසුම් ජාතික පරිමාණයෙන් දියත් කිරීමයි. කර්මාන්ත කඩාවැටීමට කිසිම අයුරකින් උරදීමට දැන් ධනපති ආණ්ඩුවට හෝ බැංකුවලට නොහැකිය. ව්‍යාපාර රජයට ගැනීමෙන් හෝ ණය දීමෙන් ආර්ථික කඩා වැටීම කල් දැමීමට හෝ සමනය කිරීමට ඔවුන්ට කිසිසේත්ම හැකියාවක් නොමැත. බලයට එන ධනපති පක්ෂයකට කළ හැකි එකම දේ නම් අධිරාජ්‍යවාදී හාම්පුතුන්ගේ නිර්දේශයන්ට සම්පූර්ණයෙන්ම යටත් වීමයි.

    යූඇන්පිය දියත් කිරීමට උත්සාහ කරන ක්‍රියාමාර්ගය ඔවුන්ට ක්‍රියාත්මක කළ හැකි වන්නේ සිවිල් යුද්ධයක් මගින් පමණකි. ඔවුන් සූදානම් වන්නේ ද ඒ සඳහා ය. ජනතාවගේ ප්‍රශ්න විසඳීමේ පොරොන්දු දී බලයට පැමිණීමෙන් පසුව කම්කරු පන්තියට විරුද්ධව එල්ල කිරීමට උත්සාහ කරන මේ ප්‍රහාරයන්ට විරුද්ධව කම්කරු පන්තිය දැවැන්තව නැගී සිටිනු ඇත.

    කම්කරු පන්තිය ආර්ථික අර්බුදයට කර ගැසිය යුතුයැයි යන්නෙහි එකම අර්ථය නම් ව්‍යාපාරයේ ඉතිහාසයේ දී දිනාගත් අයිතීන් සියල්ල අහෝසි කළ යුතුය යන්නයි. මේ අයිතීන් දිනා ගැනීම සඳහා සංවිධානය වීම මැතිවරණයෙන් පසු කම්කරු පන්තිය ඉදිරියේ ඉස්මතුවන මූලික ප්‍රශ්නයකි.

    වෘත්තිය සමිති ව්‍යාපාරය කුඩු පට්ටම් කිරීම සඳහා නීති ගෙන ඒම ගැන යූඇන්පිය මැතිවරණය තුළ කතා කර ඇත්තේ කම්කරු පංතියේ ස්වාධීනත්වයත් එහි ශක්තියත් විනාශ කිරීම ධනපති පංතියේ නව සැලසුම් සඳහා අත්‍ය‍යාවශ්‍ය වන හෙයිනි. වෘත්තීය සමිතිවල නායකත්වය,  කම්කරුවන්ගේ අයිතීන් රැකීම නොව ධනපති ආණ්ඩුවේ සැලසුම් ක්‍රියාත්මක කරන නායකත්වයක් බවට පත් කිරීම එහි එල්ල යයි. එහෙත් යුඑන්පීය බලාපොරොත්තු වන පරිදි පාර්ලිමේන්තුවේ නීති සම්මත කිරීමෙන් ලංකාවේ ස්වාධීන වෘත්තීය සමිති   විනාශ කිරීමට ඔවුන්ට නොහැකි වනු ඇත.

    කම්කරු පන්තියේ මූලික අයිතිවාසිකම් වලට විරුද්ධව එල්ලවන මෙම ප්‍රහාරයට විරුද්ධව තමන් සටන් නොකරන බව සමසමාජ ස්ටැලින්වාදී නායකයෝ ද සියලුම වර්ගයේ ප්‍රතිසංස්කරණවාදී නායකයෝ ද දැනටමත් හෙළි කර ඇත. වෘත්තීය සමිති ව්‍යාපාරය කුඩුපට්ටම් කිරීමේ නීති තමා බලයට පැමිණියහොත් ක්‍රියාත්මක කරන්නේ යයි යුඇන්පිය ප්‍රකාශ කළ පසුව, සමසමාජ සහ ස්ටැලින්වාදී නායකයෝ ද, වෘත්තිය සමිති නායකයෝ ද මේ ප්‍රහාරය නැවත්වීම ගැන වචනයක්වත් ප්‍රකාශ නොකළහ. කම්කරු පන්ති ව්‍යාපාරය ඉදිරියේ ඉස්මතු වී ඇති මෙම තර්ජනයට කම්කරු පන්තිය මුහුණ දෙන්නේ කෙසේද? ඒ සඳහා සංවිධානය විය යුත්තේ කුමන ප්‍රතිපත්ති මත ද, මෙය පරාජය කිරීමට ගත යුතු නිශ්චිත පියවර යන් මොනවාද? යන ප්‍රශ්න ගැන කිසිම ප්‍රකාශයක් දීම ඔවුහු ප්‍රතික්ෂේප කර ඇත.

    මෙහි අර්ථය නම් මැතිවරණයෙන් පසු බලයට පත්වෙන ආණ්ඩුවකට මේ ප්‍රහාරයන් ක්‍රියාත්මක කිරීමට ඉඩ දීමට ඔවුන් තීන්දුවක් ගෙන ඇති බවයි.

    මේ ප්‍රතිපත්තිය යටින් පවතින්නේ ජනතාවට විරුද්ධව සිවිල් යුද්ධය දියත් කරන ආණ්ඩුවක් බලයෙන් ඉවත් කර දැමීම ඔවුන් ප්‍රතික්ෂේප කරන බවයි. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් පහකර දැමීමට කම්කරු පන්තිය මෙහෙයවීම ප්‍රතික්ෂේප කරන මොවුන් වහාම කම්කරු පන්ති ව්‍යාපාරයේ නායකත්වයෙන් එළවා දැමීම කම්කරු පන්තියේ ඉදිරියේ ඉස්මතුව ඇති මූලික කර්තව්‍යයයි.

    මැතිවරණයෙන් පසුව බලයට එන ධනපති ආණ්ඩුව වහාම එළවා දැමීම සඳහා කම්කරු පන්තිය සංවිධානය කිරීමේ වගකීමට උර දී ඇත්තේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය පමණකි. මේ මැතිවරණය තුළ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කම්කරු පන්තියට ඉදිරිපත් කළ ඉදිරිදර්ශනයන් එහි අඩංගු වූ සියලු අනතුරු ඇඟවීම් සහ ක්‍රියාමාර්ගය මැතිවරණ තුළ වර්ධනය වූ දේශපාලනය තත්වය විසින් සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත.

    එළඹ ඇති අභියෝගයට මුහුණදීමට හැකි එකම මාර්ගය නම් ජාතික බංකොලොත්කම සහ ආර්ථික කඩා වැටීම වැලැක්වීම සඳහා  ක්‍රියාමාර්ගයක් ක්‍රියාත්මක කිරීමට කම්කරු සහ සෙසු පීඩිතයන් මෙහෙයවීමයි.

    වතුකරය

    සියලුම කර්මාන්ත සහ පැක්ටරි කම්කරු පාලනය යටතේ ජනසතු කිරීමට කම්කරු පන්තිය මෙහෙයවීම මූලිකම අවශ්‍යතාවය ලෙස ඉස්මතු ව ඇත. පැක්ටරි වසා දැමීමටත් කම්කරුවන් දොට්ට දැමීමටත් විරුද්ධව කම්කරු පංතිය තම වතු සහ පැක්ටරි වාඩිලා ගැනීමේ පියවර ගන්නා බවත් කර්මාන්ත ක්ෂේත්‍රයම පුරා මෙම වාඩිලා ගැනීමේ සටන් පැතිර යන බවත් ඉතාමත් පැහැදිලිය. වතු කඩා දැමීමට විරුද්ධව වතුකරය පුරා පැතිරුණු සටන් ගැන අනාගතේ සිදුවන සටන් වල ස්වභාවය කුමක්දැයි යන්න කල්තියාම එළි කර ඇත. වතුකරය තුළ කම්කරුවන් වාඩිලා ගැනීමේ සටන්වලින් ආන්ඩුවේ සැලැස්ම පරාජය කළා පමණක් නොව ඊට විරුද්ධව ධනපති පංතිය ආයුධ සන්නද්ධ මැර කණ්ඩායම් මෙහෙයවමින් වතුකරය තුල සිවිල් යුද්ධ තත්ත්වයක් නිර්මාණය කළේය. තම ආරක්ෂාව සඳහා අවශ්‍ය සියලුම පියවර ගැනීමෙන්, විශේෂයෙන්ම ආරක්ෂක කමිටු ගොඩනැගීමේ සහ ධනපති හමුදා සහ මැර කණ්ඩායම් නිරායුධ කිරීමේත් අවශ්‍යතාවය කම්කරුවන් ඉදිරියේ ඉස්මතු විය.

    කර්මාන්ත වාඩිලා ගැනීමත් සමඟම මතුවන ප්‍රධාන අවශ්‍යතාවය නම් කර්මාන්තය වසා දැමීමට ධනපති පංතියට ඉඩ නොදී ඒවා පවත්වාගෙන යෑමයි. වාඩිලා ගැනීමත් සමගම ඒවා පවත්වාගෙන යෑමේ ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාවය මතු වේ. කඩාවැටීමට භාජනය වන සෑම පැක්ටරියක ම පොත් පත් විවෘත කරමින් ඒවායේ ගණන් හිලව් පරික්ෂා කිරීම සඳහා වෘත්තිය සමිති වල විශේෂ කමිටු පිහිටු විය යුතුය.

    ජාතික බංකොළොත් භාවය වළක්වා කර්මාන්ත පද්ධතීය ආරක්ෂා කර ගත හැක්කේ අධිරාජ්‍යවාදී බැංකු හ මූල්‍ය සංස්ථා වන්ගෙන් සම්පූර්ණයෙන් කැඩෙන ආණ්ඩුවකට පමණි. මෙම සංස්ථාවලට ණය සහ පොලී ගෙවීම් සම්පූර්ණයෙන්ම නවත්වන, විදේශ වෙළඳාමේ ඒකාධිකාරියක් පිහිටවන ආණ්ඩුවකට පමණකි. ආර්ථික විනාශයට විරුද්ධව සටන් කරන සෑම කම්කරුවෙකුම මේ ක්‍රියාමාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වහාම විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳීමට තීන්දු ගත  යුතුය. යූඑන්පී ආණ්ඩුවක් බලයෙන් ඉවත් කිරීම සඳහා සටන දිනිය හැක්කේ මේ පියවර ගැනීමෙන් පමණි.

    (අවධාරනයන් theSocialist.LK වෙතිනි. මුල් ලිපියේ “න”, “ණ”,”ල” ,”ළ” රීතිය බැහැරව අක්ෂර වින්‍යාස යොදා ඇත)

    කම්කරු මාවත ඉතිහාසයෙන්: ආර්ථික කඩා වැටීමේ බර කම්කරුවන් මතට – ආර්. ප්‍රේමදාස යූඇන්පී ප්‍රතිපත්ති පැහැදිලි කරයි Read More »

    JRJ

    කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

    JRJ
    1978 අගමැති ලෙස පත් වීමෙන් පසු නුවර පත්තිරිප්පුවේ සිට ජේ.ආර් ජයවර්ධන ‘ජාතිය අමතයි’ (ඡායාරූපය:ජයවර්ධන කේන්ද්‍රය) 

    මෙහි පළ වන්නේ විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයේ (විකොස) නිල පුවත්පත වූ කම්කරු මාවත පත්‍රයේ 1977 ජූලි 18 වන දින පළ කරන ලද ලිපියකි.

    1977 ජූලි 21 වන දින පැවැත්වීමට නියමිත වූ මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ එක්සත් ජාතික පක්ෂය මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරන ලද තම වැඩපිලිවෙල සම්බන්ධව විකොස ඉදිරිපත් කරන ලද විවේචන හා එහි විප්ලවවාදී වැඩපිළිවෙළ සම්බන්ධ ලිපි අතරින් පහත ලිපිය යූඇන්පී ප්‍රතිපත්ති ගණනාවක් විචාරයට ලක් කරයි. වර්තමාන රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඉදිරිපත් කරනු ලබන රාජ්‍ය ව්‍යවසායයන් පුද්ගලීකරණය කිරීමට අදාළ න්‍යාය පත්‍රය ඒ ආකාරයෙන්ම ජේ.ආර් ජයවර්ධන විසින්ද තම මැතිවරණ වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලැබීම ඉතිහාසය පුනරාවර්තනය වන්නේ ධනපති ක්‍රමයේ අර්බුදයෙන් ගොඩ ඒමේ අවශ්‍යතාවයන් සැපිරීම සඳහා බවත් නව  වැඩපිළිවෙළ වඩාත්  ඉහලට එසවුනු කප්පාදු පියවර වලින් සමන්විත වන බවත් අද මහ ජනතාව අත් දකිමින් සිටි. 1977 ජේ.ආර් ජයවර්ධන ආණ්ඩුව බලයට පත්වීමත් සමඟ ලංකාව විවෘත වෙලදපොලට නිරාවරණය  කිරීමේ න්‍යාය පත්‍රය පූර්ණ කිරීමේ ඉතිරි කොටස හරියටම ඉටුකිරීමට ලෝක බැංකුව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු ජාත්‍යන්තර මූල්‍ය ප්‍රාග්ධනයට වික්‍රමසිංහ අවශ්‍ය පොරොන්දු දෙමින් නීතිමය, ආරක්ෂක හා දේශපාලන රාමුව සකස්කරමින් පවතී. ඉතිහාසයේ බරපතළ වැරදි නැවත පුනරාවර්තනය නොකිරීම සඳහා කම්කරු මහජනතාව මෙකී ඓතිහාසික අත්දැකීම් දැඩි ලෙස අවධාරණයට ගත යුතුය.    

    ***

    කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය

    යූඇන්පීය තව දින කිහිපයකින් පසු පැවැත්වෙන මැතිවරනයේදී බලය ඉල්ලා සිටින එක් ධනපති පක්ෂයකි. එය ඉදිරිපත් තර ඇත්තේ මෙතෙක් මොනයම්ම හෝ ධනපති පක්ෂයක් විසින්වත් ඉදිරිපත් කර නැති ප්‍රමානයේ අසීමිත බංකොලෝත් වැඩ පිලිවෙලකි. එහි ප්‍රධාන අංගයන් මේවාය.

    බඩු මිල අඩු නොකිරීම

    අකුරැස්සේදී හා දෙනියායේදී ගිය සතියේ පවත්වන ලද රැස්වීම් වලදී බඩු මිල කෙසේවත් පහල දැමිය නොහැකි බවත්,ලෝකයේ වනත් රටවල බඩු මිල ඉහල යාම සලකා බලන විට බඩු මිල පහත දානවා යැයි කරන පොරොන්දවු බොරු පොරොන්දුක් බවත් යූඇන්පී නායකයා කල ප්‍රකාශය ධනපති පත්තරවල  පවා පල විය.  මේ අනුව පාන් මිල, හාල්මිල, මූලික එලවලු වර්ග වල මිල ආදියහි කිසිදු මිල පහල යාමක් සිදු නොවේ. පිටිකිරි හා ලදරු ආහාර පිලිබඳ තත්වයද එසේමය.

    බඩු මිල අඩු නොකිරිමේ තීන්දුව බෙහෙත් ද්‍රව්‍ය හා පාසැල් පොත් කෙරේ ⁣කෙලින්ම බලපානු ඇත.

    ලෝක වෙලඳ ලොගේ මිලට අනුව ලංකාවේ බඩු මිලද හැසිර වීමේ යූඇන්පීයේ ප්‍රකාශිත අරමුනට අනුව විශාල ප්‍රමානයන්ගෙන් බඩු මිල ඉහල දැමීමේ තීන්දු ක්ෂනිකව ක්‍රියාවට දැමීමට ඔවුනට සිදුවනු ඇත.

    ලංකාවේ ආහාර ද්‍රව්‍ය සඳහහා පමනක් රටේ මාසික ආදායමෙන් ආදායමෙන් සියයට 85ක්  වැයවෙන බවට ඔවුන් දැන් ගෙන යන ප්‍රචාරය ට අනුව දැනට ලැබෙන සීමිත ආහාර සහනාධාර කපා දැමීමේ තීන්දුව ඔවුන් විසින් ගත යුතුව ඇත. ශ්‍රීලනිපය 1973 දී හාල් සලාකය හරි අඩකින් කැපීමට ගත් තීන්දුව එහි තර්කානුකූල අන්තය කරා ගෙන ඒම මීළඟ ධනපති ආණ්ඩුවට වැළැක්විය නොහැකිය.

    කෘෂිකර්මාන්තය විනාශ කිරීම 

    “බඩු මිල පහත නෙහෙළීම” පිළිබඳ ජේ.ආර් ජයවර්ධන කර ඇති ප්‍රකාශනය කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් මරනීය වෙයි. මෙහි අර්ථය නම් පොහොර මිල, ට්‍රැක්ටර් මිල, රසායනික ද්‍රව්‍ය මිල පිළිබඳ කිසිදු සහනයක් යූඇන්පී යෙන් බලාපොරොත්තු විය නොහැකි බවය. 

    ශ්‍රීලනිපය කෘෂිකර්මාන්තය ගැන අනුගමනය කල ප්‍රතිපත්තිය ගොඩ මඩ දෙකහිම ගොවිතැන විනාශ කලේය. රාජාංගනය මීට උදාහරනයකි. රජරට පලාත පුරා ගොවි බිම් විනාශ වී පැන නැගී ඇති අර්බුදයත්,  උඩරට ප්‍රදේශයේ විශාල වශයෙන් එළවළු වගාවන්හි ඇති අර්බුදයත් ඉදිරි මාසවලදී ආහාර ද්‍රව්‍යයන්ගේ  විශාල මිල ඉහල යාමක් හා  හිඟයක් නිර්මානය කරනු ඇත.

    මේ තත්ත්වයෙන් රට ගොඩනැගීමේ කිසිදු සැලැස්මක් යුඇන්පිය ඉදිරිපත් කොට නැත.

    විශේෂයෙන්ම ගොවියාට වතුර සැලසීම පිළිබඳ ප්‍රශ්නය ගැන එය මුළුමනින්ම නිහඬය.

    පොල් සහ තේ වගාවන් වල දැන් වාර්තා වී ඇති කඩා වැටීම නතර කිරීමට ද කිසිදු වැඩපිළිවෙළක් ගැන යූඇන්පිය කතා නොකරයි.

    දේශීය කර්මාන්ත විනාශ කිරීම හා සංස්ථා වසා දැමීම

    බියගම පැවැති රැස්වීමක දී ජේ.ආර් ජයවර්ධන මෙසේ ප්‍රකාශ කළේය. 

    “රජය විසින් පසුගිය අවුරුදු හත ඇතුළත සංස්ථා ගනනක්ම ඇති කලා. ඉන් සමහර ඒවායේ පාලනය ඉතාමත් ම පහත් තත්වයකට පත්විය.  මෙම අකාර්යක්ෂම සංස්ථා වලින් ඒවා පිහිටුවීමේ පරමාර්ථය ඉටු වී නෑ. සමහර සංස්ථා වසා දැමීමට සිදුවිය හැකිය.” මේ ජනපති නායකයා කෙලින්ම ප්‍රකාශයට පත් කරන්නේ හාම්පුතුන්ගේ සංගමය හා ලංකා  වෙලඳ ව්‍යාපාරිකයින්ගේ සංගමය කාලයක් තුළ කර ඇති ඉල්ලීමකි. එනම් පෞද්ගලික ධනපතියාගේ සෘජු බලපෑම යටතට ලංකාවේ සියලු වෙළඳ ව්‍යාපාර යටත් විය යුතු බවය. 

    ඔහු ඉදිරිපත් කරන්නේ කාර්මික සංස්ථා තුල 44% ක ප්‍රමානයට ශ්‍රිලනිප ආන්ඩු කාලය තුල සිදු වූ කඩා වැටීම ගොඩ ගැනීමේ ක්‍රමයක් නොවේ. මේවා මුළුමනින්ම වසා දැමීමටත් පිටරට කොම්පැනි වල සෘජු ගනුදෙනු කාරයන් බවට පත්වීමටත් ලංකාවේ කොම්පනි කාර්යන්ට හා වෙලඳ ව්‍යාපාරිකයන්ට මග සලසා දීමේ වැඩපිලිවෙලකි.

    මේ රටේ නිෂ්පාදනය කරනවාට වඩා පිටරටින් බඩු ගෙන්වා මෙහි විකිනීම හොඳ යයි ඔහු මහරගම දී කල කතාවේ තේරුම එයයි. එය ජාතික කර්මාන්ත මුළුමනින්ම අත්හැර දැමීමට කරන ලද කතාවකි.

    කම්කරුවන් විශාල වශයෙන් රැකියා වලින් එල වීමත්, කිසිදු අලුත් රැකියාවක් ඇති නොවීම නිසා රැකියා හිඟය උග්‍ර වීමත්, දැනට ඇති සීමිත ධනයද පිටරට ඇදී යාම නිසා පූර්න බංකොලොත් භාවයක් මෙම පියවරේ ප්‍රතිඵල වනවා ඇත.

    නිදහස් වෙළඳ කලාපය නැමැති ප්‍රෝඩාව 

    ලංකාවේ අක්කර 200ක පමන ප්‍රදේශයක් විදේශීය ධන ආයෝජකයන්ට පවරා දී නිදහස් වෙලඳ කලාපයක් ඇති කරන බව යූඇන්පී වැඩපිලිවෙලේ ප්‍රධාන අංගයක් වුවත් එය මුළුමනින්ම ප්‍රෝඩාවකි.

    අමෙරිකාව ප්‍රමුඛව සියලුම අධිරාජ්‍යවාදී රටවල මූලික ප්‍රතිපත්තිය නම් වෙළඳ යුද්ධයේ ප්‍රතිපත්තියයි. කිසිම රටක් සංවර්ධනය කිරීම සඳහා මුදල් යෙදවීමේ ප්‍රතිපත්තිය ඔවුන් මුළුමනින්ම අතහැර දමා ඇත. එසේම දීර්ඝ කාලීන ආයෝජන සඳහා මුදල් යෙදවීම අද බහුජාතික කොම්පැනි විසින්  සලකුනු ලබන්නේ යල්පැන ගිය ප්‍රතිපත්තියක් ලෙස ය.

    ජේ.ආර් ජයවර්ධන අධිරාජ්‍යවාදීන්ට මොනම විදියේ අනර්ඝ කොන්දේසි හදා දුන්නත් එම කොම්පැනි  ජනසතු නොකරන බවටත්, රටේ වෘත්තීය සමිති අයිති නැති කරන බවට මොන පොරොන්දුව දුන්නත් ඉබ්බන්ගෙන් පිහාටු ගැනීම මෙන්ම බංකොලොත් අධිරාජ්‍යවාදීන්ගෙන් නය ආධාර හා ආයෝජන ගෙන්වා ගැනීම ද කල නොහැක්කකි.

    වෘත්තීය සමිති කැඩීම හා ආරක්ෂක නීති තර කර ගැනීම   

    “දවස” පත්තරයට යූඑන්පී නායකයා දුන් ප්‍රකාශනයක මෙසේ සඳහන් වේ. “එක් වෘත්තියක් සඳහා එක සමිතිය බැගින් පිහිටුවීමෙන් ඒ ඒ සේවකයන් රාජකාරි යෙදී සිටින ආයතනය පාලනය සඳහා ඔවුන්ගේ සහභාගිත්වය ලබා ගැනීම පහසු වන්නේය.” තවදුරටත් දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය නොසුදුසු යැයිද ඔහු වැඩිදුරටත් පවසා ඇත.

    “තනි සමිතියක්” පිළිබඳ අදහසත්, වාමාංශික දේශපාලන පක්ෂ හා වෘත්තිය සමිති අතර ඇති සම්බන්ධය කැඩීමට ගන්නා උත්සාහයත් අද යූඇන්පීය විසින් අලුතින් ඉදිරිපත් කරන ඒවා නොවේ. ඒවා කවදත් ඔවුන්ගේ වුවමනාවන් විය. එහෙත් අද ධනපති ක්‍රමය මුහුන පා ඇති අර්බුදය නිසා මේ පියවර ගැනීමට ඔවුන් වඩාත් මෘග  අන්දමින් ඉදිරිපත් විය යුතුය.

    ජනරජ ව්‍යවස්ථාව හා වෙනත් නීති ප්‍රතිසංස්කරනය කරන බවට ඔවුන් දෙන පොරොන්දුවේ අදහස එයයි. මහජන ආරක්ෂක පනත, අපරාධ යුක්ති පනත හා සේවා අහෝසි කිරීමේ පනත වැනි ශ්‍රීලනිපයට සම්මත කරගත නොහැකි වූ පනත් නැවත ගෙන ඒමට ද අලුතෙන් තවත් මර්දන නීති රාශියක් ගෙන ඒමටද යූඇන්පිය සූදානම් ය.

    ජනාධිපති භාවය හා ඒකාධිපති බලතල හා සිවිල් යුද්ධය  

    ජේ.ආර් ජයවර්ධන තමන් වටා සියලු බලතල ඒකරාශී කර ගැනීමට ධනපති ප්‍රජාතන්ත්‍රවාදය යටතේ පවතින බල බෙදීම යන ඊනියා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය අත්හැර දැමීමටත් ගන්නා උත්සාහය ඒකාධිපතිත්වයක් සදහා ගන්නා උත්සාහයකි.

    මෙය යූඑන්පී ආන්ඩුවක ඇත්ත අරමුන පැහැදිලි කරයි. එනම් අන්ත දුගී ආර්ථික තත්වයන්,  කම්කරුවන්, ගොවීන් හා සෙසු පීඩිත කොටස් මත පැටවීමට අවශ්‍ය පොලිස්-මිලිටරි කුමන්ත්‍රනයකට පසුබිම සකස් කර ගැනීමය. යූඇන්පීයේ ඇත්ත ගමන් දිසාව එයයි.

    ලංකාවේ සියයට 43 ක් පමණ වන රුපියල් 200ට අඩු ආදායම් ලබන දුගීන්ට ද, රුපියල් 200 – 400 අතර පඩි ලබන ඉතිරි සියයට 37 ට ද, යූඇන්පිය විසින් හිමි කරනවා ඇත්තේ, කොලපත හා මහපාර පමනය. ඔවුන්ගේ අනාගතය රැඳී ඇත්තේ ශ්‍රීලනිපය  මෙන්ම යූඑන්පීයත් පරාජය කිරීමේත්, කම්කරු ගොවි ආන්ඩුවක් ගොඩ නගා ගැනීමෙත් මාවත ඔස්සේ පමනය.

    කම්කරු මාවත  ඉතිහාසයෙන්: කොලපත-මහපාර හැර වෙන කිසිවක් දීමට යූඇන්පීයට බැරි⁣ය Read More »

    KM

    ‘කම්කරු මාවත’ ඉතිහාසයෙන්

    KM

    ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි! අර්බුදය මැද යූඇන්පීය බලය ගනි. කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

    සිරිමා බන්ඩාරනායකගේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය (ශ්‍රීලනිප) ප්‍රමුඛ සමගි පෙරමුන ආන්ඩුව බලයෙන් අතුගා දැමූ 1977 ජුලි 21 මහ මැතිවරනයෙන් තුනෙත් දෙකක බලයක් ලබා ජේ.ආර්.ජයවර්ධනගේ එක්සත් ජාතික පක්ෂය (යූඇන්පී) බලයට පැමිනියේ විකල්ප ⁣කම්කරු මාවතක් අහිමි කැනු ලැබූ මහජනතාවගේ විරෝධී ජන්දයක් මගිනි. එතැන් සිට මහා කප්පාදු  පියවරයන් එකිනෙක මහජනයා මත හෙලමින් ද, මෘග ප්‍රචන්ඩකම් කම්කරු පීඩිතයන් හා දේශපාලන විරුද්ධාවාදීන් මත හෙලමින් ද පාලනය ඇරඹි ජයවර්ධන රට භූගෝලීය ප්‍රාග්ධනයට විවෘත කිරීම සඳහා අවශ්‍ය ඒකාධිපති බලතල තමන් වෙත පවරා ගැනීමේ විධායක ජනාධිපති ක්‍රමයක් ස්ථාපිත කරමින් 1978 ජුලි 31 දින ලංකාවේ දෙවන ජනරජ ව්‍යවස්ථාව ප්‍රකාශයට පත් කලේ ය. එම වසරේ සැප්තැම්බර් 7 සිට බලාත්මක වූ මෙම ඒකාධිපති හා වර්ගවාදී ව්‍යවස්ථාව යටතේ මෙම රට වසර 45ක් ධනපති පාලනයට නතුව පැවතියේය. සංශෝධන 21ක් හරහා ඒකාධිපති බලය අංශුවකින් හෝ කපා හැර නැති මෙම ව්‍යවස්ථාව යටතේ  දහස් ගනනින් තරුනයන්, කම්කරුවන් බිලිගත් දකුනේ තරුන කැරැල්ලක් ද, උතුරේ තිස් අවුරුදු වර්ගවාදී යුද්ධයක් ද, භීෂනයද, දුප්පත්කමද, කාලකන්නිකමද කම්කරු පීඩත මහජනතාවගේ හිස මත පාත් කෙරුනි.

    මෙම ධනපති ප්‍රහාරයට එරෙහිව විප්ලවවාදී කම්කරු පන්තික ජාත්‍යන්තරවාදී ඉදිරිදර්ශනයක් හා වැඩපිලිවෙලක් ඉදිරිපත් කරමින් අප්‍රතිහත ධෛර්යකින් යුතුව සටන් වැදුනේ 1968 පිහිටුවන ලද විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය (විකොස) හා එහි අනුප්‍රාප්තික සමාජවාදී සමානතා පක්ෂය (සසප) යි. 1972 දී බන්ඩාරනායකගේ ආන්ඩුව තහනමට ලක් කරන තෙක් විකොස නිල පුවත්පත වූයේ “කම්කරු පුවත්” ය. තහනමින් පසු “කමිකරු මාවත” නමින් විකොස තම නිල පුවත්පත නිකුත් කලේ කම්කරුවන්, ගොවීන්, තරුනයන්, බුද්ධිමතුන් වෙත එදිනෙදා දේශපාලන පැහැදිලිකම නොපමාව රැගෙන එමිනි.

    1977 ජුලි මැතිවරනයෙන් බලයට පත් යූඇන්පී ආන්ඩුව යටතේ ලංකාවේ නවලිබරල් ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට දිමීම සමග පන්ති අරගලය නව අධියරයන්ට පිවිසි අතර විකොස එම අරගලවල නායකත්වය සඳහා ඉදිරිදර්ශනය සම්පාදනය කරමින් ක්‍රියාකාරිව සටන් වැදුනේ ය.

    විශේෂයෙන් මෙම වසර 45 කාලය තුලත්, ඉන් පෙරත්, ලංකාවේ ධනපති ක්‍රමයේ චලනයන්, කම්පනයන් පිලිබඳව එදා විකොස ලෙසත් පසුව ලෝක සමාජවාදී වෙබ් අඩවිය (ලෝසවෙඅ) ආරම්භ කිරීම දක්වා සසප විසිනුත් කරන ලද දේශපාලන අරගලයේ කැඩපත වූ කම්කරු මාවත පුවත් පතේ තෝරාගත් ලිපි පලකිරීම සඳහා ද-සෝෂලිස්ට්.LK වෙබ් අඩවිය තීන්දු කර ඇති බව අප පාඨකයන්ට සහෝදරත්වයෙන් දැනුම් දෙමු. එසේ තොරාගත් ලිපි “කම්කරු මාවත ඉතිහාසයෙන්” නමින් විශේෂාංගයක් ලෙස මෙතැන් සිට පලකෙරෙනු ඇත.

    වත්මන් අරගලවලට අවැසි පාඩම් උකහා ගැනීමේත්, විකොස අරගලයේ ජීවමාන අත්දැකීම් සහි කැඳවීමේත්, ඓතිහාසික මුසාකරනයන්ට එහෙිව සිදුවීම් පිලිබඳ තත්‍ය සමාජවාදී විශ්ලේෂන වෙත හැරී ගැනීමේත් උපකාරයක් ලෙස මෙම ලිපි පරිශීලනය කිරීම වැදගත් ලෙස සැලකිය යුතුය.

    එහි ආරම්භයක් ලෙස ඉහත කී 1977 මැයි මහ මැතිවරනය අවසානයේ එහි දේශපාලන ඇඟවුම වග විභාග කරමින් විකොස 1977 ජුලි 23 සෙනසුරාදා  කම්කරු මාවත 395 කලාපයේ පල කල පහත ලිපිය ඔබ වෙත ඉදිරිපත් කරමු. 

    ද-සෝෂලිස්ට්.LK කර්තෘ මන්ඩලය.

    ***

    ශ්‍රීලනිපය හා පෙරමුන අතුගෑවෙයි

    අර්බුදය මැද යූඇන්පීය බලය ගනි.

    කම්කරු ගොවි ආන්ඩුවක් සඳහා නායකත්වය ගොඩනගමු!

    ජුලි 21 මැතිවරනයේදී, එතෙක් බලයේ සිටි ධනේශ්වර ශ්‍රීලනිප ආන්ඩුව මෙතෙක් පැවති කිසිම ආන්ඩුවක් අත් නොදුටු ආකාරයේ අන්ත පරාජයක් ලද අතර වසර හයක් තිස්සේම එම ධනපති පාලනයේ ප්‍රධාන මුක්කුව ලෙස ක්‍රියාත්මක වූ සමසමාජ-කොමියුනිස්ට් පක්ෂවල සියලුම නියෝජිතයන් ද පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී ගියේය. 

    1977
    1977 ජුලි 23 පිහිටවූ ජයවර්ධනගේ කැබිනට් අමාත්‍ය මන්ඩලය (ජායාරූපය: අනුරාධ දූල්ලෑව විජේරත්න)

    ලංකාවේ අනෙක් ප්‍රධාන ධනපති පක්ෂය වන එක්සත් ජාතික පක්ෂය එහි නායකයින් බලාපොරොත්තු වූවාටත් වඩා වැඩි ජන්ද ගනනක් ලබමින් ආසන 168 කින්139ක් දිනා ගනිමින් දැවැන්ත විරෝධතා ජන්දයක ප්‍රතිඵලයක්  ලෙස බලයට තල්ලු වී පැමින ඇත.

    21දා මහ මැතිවරනයේ ප්‍රතිඵල ලංකාවේ පංති සටනේ නව ගුනාත්මක අවධියක ආරම්භයක් වෙයි. පලමු වැනුව, මේ තරම්ම තියුනු ලෙස ද දැවැන්ත ලෙසද බලයේ සිටිආන්ඩුවක්, තුනෙන් දෙකක ජන්දයකින් බලය ලබා සිටි ආන්ඩුවක් එලවා දමන ලද අවස්ථාවක් නොවීය. මැතිවරන ප්‍රතිථල තීන්දු කෙරී ඇත්තේ බලය ඉල්ලූ පක්ෂ ඉදිරිපත් කල ප්‍රතිපත්ති මගින් නොව බලයේ සිටි ආන්ඩුව ගෙන ගිය ආර්ථික විනාශයේ ප්‍රතිපත්ති වලින් බව උවමනාවටත් වඩා පැහැදිලිය. 

    1971 මහා මිනිස් ඝාතනය, සය අවුරුදු හදිසි නීතිය, එක දිගටම සිදුවූ පොලිස් මර්දන, පෙර නොවූ ආකාරයට සිදුවූ බඩු මිල ඉහලයාම, රැකියා හිඟය හා ආර්ථික විනාශය ධනපති ශ්‍රිලනිපයේ විනාශය සලකුනු කල ප්‍රධාන කරුනු විය.

    මැතිවරන ප්‍රතිඵලවල පරස්පර විරෝධී බව රැඳී ඇත්තේ, ඉහත කී මහා ආර්ථික විනාශයට එරෙහිව වැටුනු ජන්දය ධනපති යූඇන්පීය වටා ගොනු වීමෙහිය. මේ තත්වය තුඩු දෙනු ඇත්තේ 1970-1977 කාලයේ පැවතුනා⁣ටත් වඩා අන්ත දරුනු පුපුරනසුලු තත්වයකට යි. මෙය වැලැකිවිය නොහැකිය.

    බලාපොරොත්තුව

    අලුත් යූඇන්පී ආන්ඩුව බලයට පත් වන්නේ බඩු මිල, රැකියා හා ජීවන තත්වය ගැන මහජනයා ගේ දැවැන්ත බලලාපොරොත්තු පුපුරන සුලු මට්ටමට උග්‍ර වී ඇති තත්වයකදී ය.  නමුත් ධනපති ක්‍රමයේ අන්ත බංකොලොත්කම කොතෙක් ද යත් එම බලාපොරොත්තු යම්තම් වත් සැපිරිය හැති තත්වයක් ධනපති ක්‍රමය තුල නැත.

    මෙම කරුන විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය මගින් පමනක්ම, මැතිවරනය පෙරදී ද, මැතිවරනය මැද දී ද දැඩි ලෙස අවධාරනය කෙරුනි.  ශ්‍රීලනිපයේ තුනෙන් දෙකක වැඩි ජන්ද සංඛ්‍යාව වසරකටත් අඩු කාලයකදී දවා හලු කල එම අර්බුදය මෙදා ආන්ඩුවේ පවුරු පදනම් සුන් කිරීම කාලය පිලිබඳ ප්‍රශ්නයක් පමනි. 

    ආර්ථික අර්බුදයේ ගැඹුර පිලිබඳ කරුනු සංක්ෂිප්තව ඉදිරිපත් කලහොත්: රටේ විදේශ නය ප්‍රමානය රුපියල් කෝටි 500 පැන ඇත. නයට පොලී වශයෙන් වාර්ශිකව රුපියල් කෝටි 143ක් වැය වෙයි. මූලික කර්මාන්ත වල නිෂ්පාදනයේ පහත වැටීම පෙර නොවූ විරූ පරිදි සිදු වෙයි. 1976 දී සංස්ථා අංශයේ සියයට 44 කින් ද, තේ කර්මාන්තයේ සියයට 8.1 කින් ද, පොල් කර්මාන්තයේ සියයට 13 කින්ද නිෂ්පාදනය කඩා වැටුනි.

    ධනපති අර්ථ ශාස්ත්‍රඥයන් පෙන්වන පරිදි මෙය අකාර්යක්ෂමතාවයේ හෝ දූෂනයේ ප්‍රතිඵලයක් නොව අද පැන නැගී ඇති උ්‍රග්‍ර ධනපති ආර්ථික කඩා වැටීමේ විවෘත ප්‍රතිඵලය යි.

    බඩු මිල ප්‍රශ්නය මත තාවකාලිකව හෝ උපාමාරු යෙදීමට අපහසු වන්නාවූත්, රැකියා අර්බුදය උග්‍ර කරන්නා වූත් ධනවාදයේ මෙම අර්බුදය තුල කම්කරුවන්ට ගොවීන්ට-පීඩිතයන්ට හා තරුනයන්ට විසඳුමක් නැත. 

    විසඳුම ඇත්තේ සියලු ධනපති දේපල වන්දි විරහිතව ජනසතු කරන ලද කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහා සටන ඔස්සේ පමනකි.

    සමසමාජ-ස්ටැලින්වාදී නායකයෝ මේ වැඩපිලිවෙල එදත් ප්‍රතික්ෂේප කලහ. අදත් ප්‍රතික්ෂේප කරති. ඔවුන් මුලු මුනින්ම පාහේ පාර්ලිමේන්තුවෙන් එලියට අතුගෑවී  යෑම ඔවුන් ගෙන ගිය ද්‍රෝහී මහජන පෙරමුනු දේශපාලනයේ විවෘත ප්‍රතිඵලය විය.

    බඩු මිල වැඩි කිරීමට ද, රැකියා හිඟය නිර්මානය කිරීමට ද, පොලිස් මර්දනය උග්‍ර කිරීමට ද ඔවුන් පිදූ සහාය ඔවුන් පාර්ලිමේන්තුව තුලින් අතුගෑවී යෑමට පදනම දැමුවා පමනක් නොව, පසුගිය ආන්ඩුවට එරෙහිව පැන නැගි දැවැන්ත ජනතා නැගිටීමේ නායකත්වය කම්කරු පන්තිය විසින් දිනා ගනු ලැබීමට ප්‍රධාන භාධාවක් විය. ඒ අර්ථයෙන් ගත් විට දක්ෂිනාංශික යූඇන්පි ආන්ඩුවට පාර කැපීමේ පුර්න වගකීම පැවරිය යුත්තේ සමසමාජ-ස්ටැලින්වාදී නායකත්වය වෙතයි.

    ධනපති ක්‍රමය හැසිරවීම මගින් අර්බුදය විසඳිය හැකි යැයි මේ නායකයන් ගෙනගිය වැඩ පිලිවෙල දක්ෂිනාංශයට හා මිලිටරි ඒකාධිපතීත්වයට පාර කපන වැඩපිලිවෙලක් බව අපි නිරතුරුව කම්කරු පංතියට අනතුරු හැඟැ වූයෙමු. 

    නායකයින්ගේ ද්‍රෝහී දේශපාලනය හා නායකත්වයම කම්කරු ව්‍යාපාරයෙන් ඉවත් කර නොදමා ධනපති ප්‍රහාරයට මුහුන දිය නොහැකි යැයි අපි නිරතුරුව කීවෙමු. අද මෙය උවමනාවටත් වඩා සනාථ වී තිබේ.

    1970 සිට දීන ලෙස ශ්‍රීලනිපයට සහාය දුන් ඔවුහු අද යූඇන්පී ප්‍රහාරයන්ට දොර හැර මුලුමුලින්ම නායකත්වයක් නැති තත්වයට කම්කරු ව්‍යාපාරය ඇද ලා සිටිති.

    එහෙත් ලංකාවේ කම්කරු පංතිය තවමත් ශක්තිය නොබිඳි අපරාජිත බලවේගයක් ලෙස පවතී. පසුගිය හවුල දෙදරවා හැර සිරිමා බන්ඩාරනායක ආන්ඩුව දෙදරවා හැරීමේ හැකියාව කම්කරු පංතියට තිබුනි. අපි එම සටනේ පෙරමුනේ සිටියෙමු. 

    දරුනු ආර්ථික අර්බුදය මධ්‍යයේ බඩු මල නැංවීමේත්, රැකියා නැසීමේත්, ආර්ථික විනාශය ඇති කිරීමේත් ප්‍රතිපත්ති හැර වෙනත් ප්‍රතිපත්ති අනුගමනය කරන්නට යූඇන්පීයට නොහැකිය. මේ තත්වය කෙලින්ම යූඇන්පීයට එරෙහි දැවැන්ත පංති සටන් පැන නංවනු නියතය. ඒ තත්වයේදී යලිත් වරක් ධනපති පක්ෂ සමග හවුලක් ඇටවීමට කම්කරු ව්‍යාපාරයේ නයකත්වය දිව යනු ඇත. ඊට එරෙහිව සමාජවාදී වැඩපිලිවෙලක් උඩ කම්කරු බලය සඳහාත් කම්කරු-ගොවි ආන්ඩුවක් සඳහාත් නොසැලී සටන් වදින නායකත්වය ගොඩනගා ගැනීම දැන් ජීවිතයත් මරනයත් අතර ප්‍රශ්නයක් වෙයි.

    විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය එම කටයුත්තට කැප වෙයි. මැතිවරන ව්‍යාපාරය මැද දී අප කල මැදිහත්වීම එවැනි නායකත්වයක් සඳහා දැවැන්ත පදනමක් දමා ඇත. යූඇන්පීය පලවා හැර  මහජන පරමුනට යලි ඉඩ නොදී කම්කරු-ගොවි ආන්ඩුවක් පිහිටුවීම සඳහා කම්කරු ව්‍යාපාරය මෙහෙයවීමේ සටන අපි අරඹමු.

    යූඇන්පීය ඉදිරියේ යලිත් වරක් ධනපති ශ්‍රීලනිපයට හෝ වෙනත් ධනපති පතුරකට හෝ හේත්තු වීමේ දේශපාලනයක් ගෙන යෑමට සමසමාජ – ස්ටැලින්වාදී නායකයින්ට ඉඩ නොදෙන ලෙස අපි එම පක්ෂවල සාමාජිකයින්ගෙන් හා වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් ඉල්ලමු. 

    යූඇන්පීය මේ ඉමහත් අර්බුදය මැද ඔවුන්ගේ ප්‍රහාරයන් එල්ල  කිරීමේ දී මූලික ඔට්ටුව අල්ලනු ඇත්තේ  කම්කරු ව්‍යාපාරයේ නායකත්වය කරන ද්‍රොහී කමි උඩයි.

    විප්ලවවාදී නායකත්වය තීරනාත්මක වන්නේ එබැවිනි. විප්ලවවාදී කොමියුනිස්ට් සංගමයට බැඳෙන ලෙසත්, යූඇන්පීය පලවා හැර කම්කරු-ගොවි ආන්ඩුවක් ගොඩනැගීමේ සටනේ  දී ඒ වටා එක් වන ලෙසත් අපි සියලු සටන්කාමීන්ගෙන් ඉල්ලමු.

    ‘කම්කරු මාවත’ ඉතිහාසයෙන් Read More »

    Scroll to Top