Poverty

BUDGET

වික්‍රමසිංහ අයිඑම්ෆ් සැලසුම් ක්‍රියාවට දමන මහජන විරෝධී අයවැයක් ඉදිරිපත් කරයි

එල්.පී. උදයප්‍රේම විසිනි.

අයිඑම්ෆ් උපදෙස් උඩ සැකසූ, රාජ්‍ය ආයතන පුද්ගලිකරනය හා මහජනයා මත බදු බර පැටවීම මුල් කර ගත් 2024 අයවැයක් ජනාධිපති හා මුදල් අමාත්‍ය රනිල් වික්‍රමසිංහ නොවැම්බර් 13දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කලේ ය. ඒය විවෘතවම වැඩ කරන ජනයාට එරෙහි ව පන්ති යුද්ධය තීව්‍ර කිරීම සංඥා කොට ඇත.

මෘග ප්‍රහාරයක් සුදානම් කෙරෙන මේ අයවැයට ධනපති පක්ෂ, මාධ්‍ය හා  විපක්ෂයේ නියෝජිතයින්ගේ  සහයෝගය  නොමසුරුව පල කොට ඇත. ඔවුන්ට අනුව මේ අයවැය “සුබවාදී “, “දැඩි මුල්‍ය විනයක් ඇති ” හා “හොද නරක එක් වූ අයවැයක්” පමණක්  නොව “දුප්පතුන්ගේ අයවැයක් ” පවා ද වේ. ජාතික ජන බලවේගයට අනුව එය “මැතිවරන අයවැයකි”. 

BUDGET
ජනාධිපති වික්‍රමසිංහ 2024 අයවැය ඉදිරිපත් කරමින්

මේ සියලුම කොටස් අයවැය ගැන කරන  ඊනීයා විවේචන වර්තමාන  ධනපති ආන්ඩුව  මුහුන දී සිටින ආර්ථික අර්බුදය වසන් කර , එසේත් නැත්නම්, නො සලකා හැර, තිබේ. ඇත්තෙන් ම, අර්බුදයේ කොටස්ක‍රුවන් වන ඔවුහු සැබෑ අර්බුදය මහජනයාගෙන් වසන් කිරීමට වැඩ කරති.

මහජන නැගිටීමෙන් රාජපක්ෂ ආන්ඩුව බිද වැටී, අනතුරුව, පාලක ප්‍රභූව ජනාධිපති නිලයට රනිල් වික්‍රමසිංහ පත් කරගෙන ඔහුගේ මූලිකත්වයෙන් අටවාගත් ආන්ඩුව, දිගුකාලයක් තිස්සේ  කම්කරු පන්තියේ විරෝධතාවට ලක්ව පැවති අයිඑම්ෆ් සැලසුම් අලු ගසා, පාලක පන්තියේ අර්බුදයට පවතින “එකම”විසදුම ලෙස දැන් ඉදිරියට දමා ඇත.

ආන්ඩුව, රාජ්‍ය ආයතන 120ක් විකිනීමට පෙල ගස්වා ඇත. මේ ලැයිස්තුවේ ඉහලින් ම තෙල්, විදුලිය, ටෙලිකොම්, ගුවන් හා වරාය ඇතුලු මූලික රාජ්‍ය ආයතන ගනනාවක් තිබේ. ඒ අතරට  “ප්‍රාග්ධනය වැඩි දියුනු කිරීම” සදහා යැයි කියමින් රාජ්‍ය  බැංකු දෙකේ කොටස්වලින් සියයට 20ක්  විකිනීමට ද මෙවර අයවැයේ දී යෝජනා  කලේ ය.

ආන්ඩු දිගු කාලයක සිට ම නිදහස් අධ්‍යාපනය පුද්ගලිකරනය සදහා ක්‍රමානූකූලව වැඩ කර ගෙන ගියේ ය. වික්‍රමසිංහ මේ අයවැයේ දී රාජ්‍ය ආයතන මෙන්ම අධ්‍යාපනය ද විකිනීමේ සැලසුම් නිශ්චිතව අවධාරනය කලේ ය. සිසුන්ගේ හා මහජනයාගේ බලගතු විරෝධයට ලක් වූ එම සැලසුම්, වේගවත්ව ක්‍රියාවට ලෑම නිවේදනය කරමින් වික්‍රමසිංහ පැවසූවේ, “අප ලෝකයේ ඕනෑම පිලිගත් විශ්ව විද්‍යාලයකට හෝ උසස් අධ්‍යාපන ආයතනයකට ලංකාවේ විශ්ව විද්‍යාල පිහිටුවීමට අවසර දෙනවා”යි යනුවෙනි. ඔහු  එහි දී,”පූර්න අධ්‍යාපන ප්‍රතිසංස්කරන මාලාවක් ක්‍රියාත්මක කරනවා”ය යි පැවසී ය. මෙම “අධ්‍යාපන ප්‍රතිසංස්කරන” යනු අධ්‍යාපන සුභසාධන කප්පාදු කරමින්, මහජනතාවගෙන් අතලොස්සක් වන ඉහල මධ්‍යම පන්තියට ප්‍රවේශය විවෘත කරන රට පුරා  පුද්ගලික පාසැල්, ජාත්‍යන්තර විශ්ව විද්‍යල හා පුද්ගලික අධ්‍යාපන ආයතන  ප්‍රවර්ධනය කිරීම හා ඊට අවශ්‍ය යටිතල පහසුකම් ඇති කිරීමයි. 

මෙයින් ආර්ථිකව කර කියා ගැනීමට බැරිව සිටින මහජනයා මත අධ්‍යාපනයේ බර වඩ වඩාත් පැට වේ. පාසැල් නඩත්තුව, බාහිර පංති හා ක්‍රියාකාරකම් සදහා දැනටම්ත් දෙමව්පියන් විසින් වියදම් දරනු ලැබේ. මෙය දුගී කොටස්වලට කොයි තරම් බලපා ඇද්ද යත් ලක්ෂ 3ට වැඩි සිසුන් ප්‍රමානයක් දැනටමත් පාසැල් අධ්‍යාපනයෙන් දොට්ට වැටී ඇත.

කෘෂි හා ධීවර කර්මාන්ත නවීකරනය යටතේ, මුදල් ඇමතිවරයා දැනටමත් ඒ තුලට කඩා වැදී සිටින මහපරිමාන පොහොර, රසායනික හා කෘෂි උපකරන පුද්ගලික සමාගම් හා  බැංකු , නය දෙන ආයතන  ගොවි ජනයාට අත් කර  දී ඇති ව්‍යවසනය ගැන  බිංදු මාත්‍රයක අවධානයක් යොමු නොකරයි.

අයවැයෙන් සති තුනක් ඉක්මවීමට පෙර  විදේශීය ධීවර සමාගම්වලට ශ්‍රී ලංකා මුහුදු තීරය පැවරීමට “නව ධීවර නීතී” ගෙන ඒමෙන් ආන්ඩුව වැඩ ඇරඹීය. එකී සැලසුම් එලිදරව් වූ සැනින් දිවයින පුරා ධීවර සමූපකාර සමිති (fishermen cooperative society) 20ක් ඊට විරෝධය පා ඇත. එම සංව්ධානයන්ට අනුව “නව ධීවර නීති” ධීවරයා කබලෙන් ලිපට ඇද දැමීමකි.

වික්‍රමසිංහ, අයවැයෙන් ඉඩම් ධනපති සමාගම්වලට විකිනීමට පොරොන්දු දෙමින් පැවසූවේ, සංවර්ධනය සදහා ඉඩම් උපරිම ප්‍රයෝජනයට ගැනීම සදහා “නව ආයතනික වෙනස්කම් හා ඉඩම් නීති” ගෙන බවයි.

බදු බර හා තවතවත් නය 

වික්‍රමසිංහ මහජනයා මත බදු බර පැටවීමේ හා නය ගැනීමේ අයිඑම්ෆ් යෝජනා ඉදිරිපත් කලේ, “බංකලොත් රට යලි ප්‍රකෘතියට පත් කිරීමේ මහා දුෂ්කර ව්‍යායාමය මෙවර අයවැය මගින් ඉදිරිපත් කරනවා” යන පූච්චානම් කතාවල ඔතා ය.

අයවැයට පෙර වැට් බද්ද සියයට 18 දක්වා වැඩි කීරීමෙන් ආන්ඩුව එය ආරම්භ කලේ ය. ආර්ථික විශේෂඥයන්ගේ අනතුරු ඇගවීමට අනුව 2024 මැද වනවිට වැට් බද්ද සියයට 22 සිට 24 දක්වා ඉහල නැගීමට නියමිත ය. වැට් බද්දට අත්‍යාවශ්‍ය ආහර ඇතුලු භාන්ඩ වර්ග 170ක් ඇතුලත් කෙරුනි.

ආර්ථික විශේෂඥයන්ට අනුව, 2024 ජනවාරි  සිට අලුතින් එක් කරන සෘජු හා වක්‍ර බදු හරහා රුපියල් බිලියන 900ක අලුත් බදු බරක් ජනයා මත පැටවේ. මේ අනුව, 2024 රාජ්‍ය ආදායමෙන් සියයට 93ක් උපයා ගැනීමට ආන්ඩුව සැරසෙන්නේ බදු මුදලනි. මුලු බදු ආදායමෙන් සියයට 59ක් අය කර ගන්නේ අත්‍යවශ්‍ය ද්‍රව්‍ය හා සේවාවන් ගෙනි.

මහජනයා තලාපෙලා බදු එකතු කර ගත්තත් අපේක්ෂිත බදු ආදායම  කරා යන්නට ආන්ඩුවට සමත් වී නැත. 2023 යෝජිත බදු ආදායම රුපියල් බි. 3,415කි. එකතු කර ගත හැකි වූයේ රු.බි.2,410ක් පමනි.  ඒ අනුව පියවා ගත යුතු  රු.බි.1005 ක හිග මුදලත් 2024 වර්ෂයට එක් වී ඇති අතර එයත් එකතුව අපේක්ෂිත බදු ආදායම රුපියල් බි. 4,825 ක් වන දුෂ්කර එල්ලයක් කරා නැග තිබේ.

දිගු කාලයක සිට වාර්ෂිකව කඳු ගැසෙන අයවැය හිගය විසදීමට බදු ආදායම හැරුනු විට ආදායම් මාර්ගය  හැටියට වික්‍රමසිංහ යෝජනා කරන්නේ, අයිඑම්ෆ් මගින් ද නිර්දේශිත වැඩිවැඩියෙන් නය ගැනීම යි. ඒ අනුව නය ගැනීමේ සීමාව රු.බි. 3,900 සිට රු.බි. 7,350 දක්වා රු.බි. 3,450කින් ඉහල දැමීමට අයවැයෙන් යෝජනා කර අත.

වෙන කවදාකවත් නොවු පරිදි මහජනයා මත බදු පැටවීමටත් නය උගුලේ කරවටක් ගිල්ලීමටත් ලංකාවේ ධනපති පාලකයන්ට සිදු වී ඇත්තේ සිය ආර්ථික අර්බුදය ගැඹුරු වීමේ ප්‍රතිඵලයක් හැටියට ය. රටේ අයවැය පරතරය පියවා ගැනීමේ අසමත් කම හැටියට එය ප්‍රකාශයට පත් වෙන්නට පටන් ගෙන තිබේ.  2024 අයවැයෙන් අපේක්ෂිත රජයේ ආදායම රුපියල් බි.4,107 ක් ව් පවතිද්දී  වියදම  රු.බි.6,978 දක්වා වැඩිවීමෙන් එය පෙන්නුම් කරයි. ඒ අනුව අයවැය හිගය රු.බි. 2,871ක් දක්වා ඉහල ගොස් ඇත. එය දල ජාතික නිෂ්පාදනයෙන් ප්‍රතිශතයක් ලෙස ගත් විට,  2023 වසරේ  සියයට  8.6ක් ව තිබී  2024 ද සියයට 9.1 දක්වා  ඉහල යෑමකි.

ගෝලීය ආර්ථික දඩුඅඬුවට හිරවී සිටින දුගී රටවල පාලකයන්ට මෙන් ම ලංකාවේ ධනපති පාලකයන්ට ද ඊට විසදුම ලෙස තෝරා ගැනීමට බල කෙරී ඇත්තේ අයිඑම්ෆ්, ලෝක බැංකුව ඇතුලු ලෝක බලවතුන්ගේ  මහජන විරෝධී සැලසුම් ක්‍රියාවට දැමීමට ය.

මාධ්‍ය ප්‍රකාශක හා ප්‍රවාහන ඇමති බන්දුල ගුනවර්ධන පාලක පංතිය මුහුන පා සිටින අර්බුදය මාධ්‍යට මෙසේ වමාරා තිබුනි: “කවුරු ආන්ඩු  කලත්  2028 දී ජාත්‍යන්තර වෙලදපොලෙන් ගත හැකි උපරිම නය මුදල ඇමරිකන් ඩොලර් බි. 1.5යි. අනෙක් මූල්‍යාතන දෙන ප්‍රතිපදාන තීරනය කර තිබෙන්නේ ඒ අනුවයි. ලංකාවේ සල්ලි අච්චු ගහන්නත් බැහැ. මේ සියල්ලටම අපි ගැට ගසා ගිවිසුම් අත්සන් කර තිබෙනවා. ඒවායින්  මිදුනොත් වෙන්නේ විනාශයක් “ 

ශ්‍රී ලංකාවේ පාලක පංතියේ අර්බුදය කොවිඩ් 19 වසංගතයෙන් වඩාත් උත්සන්න කෙරුනි. යුක්‍රේනය හා ගාසාහී ඇවිලී යන යුද තත්ත්වය හා ලංකාව ද මැදි කර ගනිමින් වැඩෙන චින-ඇමරිකා යුද ආතතිය එකී අර්බුදය දිනපතා තීව්‍ර කෙරේ. අපනයන ආදායම බිද වැටීම, සංචාරක කර්මාන්තය කඩා වැටීම හා විදේශ ප්‍රේෂන පහල වැටීම හරහා නය අර්බුදය විසදුමක් නැති තැනට තල්ලු වී යෑම මගින් ආන්ඩුව අස්ථාවර තත්ත්වයකට ඇද දමා තිබේ.  

කම්කරු පන්තියේ හා පීඩිත මහජනයාගේ බලගතු විරුද්ධත්වයට මැදී වී සිටින ආන්ඩුවට වැඩකරන ජනයාගේ වියදමින් තම පැවත්ම රැක ගනු වස් ආඥාදායක පියවරයන්නට වේගයෙන් තල්ලු වි යනවා මිස අන් මාවතක් නැත.

වික්‍රමසිංහ අයිඑම්ෆ් සැලසුම් ක්‍රියාවට දමන මහජන විරෝධී අයවැයක් ඉදිරිපත් කරයි Read More »

Morocco

මොරොක්කෝ භූමිකම්පා ව්‍යසනය: ධනවාදය උරුම කර දුන් තවත් එක් ඛේදවාචකයක්

මිගාර මල්වත්ත විසිනි.

දමොරොක්කෝවේ සිව්වන විශාලතම නගරය වන මරකේෂ් සිට දළ වශයෙන් කිලෝමීටර් 70 ක් දකුණින් පිහිටි අල්-හවුස් පළාතේ ඉගිල් අපිකේන්ද්‍රය කර ගනිමින් රික්ටර් පරිමාණයේ 6.8 ක ප්‍රබල භූ කම්පනයක් සැප්තැම්බර් 8 වෙනි සිකුරාදා රාත්‍රී 11ට පමන දකුණු මොරොක්කෝවේ දී සිදු විය. මෙම භූමිකම්පාව කේන්ද්‍රගත වූ උස් ඇට්ලස් කඳුකරයේ කුඩා, හුදකලා ගම් සහ නගරවලට ඉන් විනාශකාරී බලපෑමක් ඇති කළේය. මරණ සංඛ්‍යාව 2900 ඉක්මවා පැවතිනි. 5500 වැඩි පිරිසක් තුවාල ලැබූ අතර, ඉන් බොහොමයකට බරපතලය. කඩා වැටුණු ගොඩනැගිලි යට සිර වී මිය ගිය බොහෝ දෙනෙකුගේ සිරුරු සොයා නොගැනුණි. 

Morocco
2023 සැප්තැම්බර් 11, සඳුදා, මොරොක්කෝවේ, Marrakech අසල, Tafeghaghte ගම්මානයේ භූමිකම්පාවකින් හානියට පත් වූ තම නිවසේ සුන්බුන් අතර යමක් සොයන කාන්තාවක් (AP Photo/Mosa’ab Elshamy) [AP ඡායාරූපය /මොසාබ් එල්ෂාමි]

මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 300,000 ක් පීඩාවට පත්ව ඇති බව වාර්තා වේ. මරාකේෂ් සිට පිළිවෙලින් කිලෝමීටර් 180 සහ 200 ක දුරකින් පිහිටි, බටහිර මොරොක්කෝවේ වෙරළබඩ ඉම්සුවන් (Imsouane) සහ එසුවේරා (Essaouira) යන නගරවලට සහ අපිකේන්ද්‍රයට කිලෝමීටර් 350ක් උතුරින් රබාත් අගනුවරට ද භූමිකම්පාව දැනී තිබුණි.

නමුත්, නවීනතම ඉන්ජිනේරු තාක්ෂණය මගින් භූමිකම්පා ප්‍රතිරෝධී ගොඩනැගිලි ඉදිකිරීම සාර්ථකව කරගෙන යන තතු තුල, තවදුරටත් භුමිකම්පා, රික්ටර් පරිමානයේ ඉහළ අගයක් ගැනීම මගින්ම එම භූමිකම්පාවේ ව්‍යසනකාරී බව තීන්දු වන්නේ නැත.

මන්ද, ලෝකයේ වඩාත්ම භූමිකම්පා ඇති රටවලින් එකක් වන ජපානයේ, 2022 සිදු වූ ෆුකුෂිමා භූමිකම්පාව රිච්ටර් පරිමාණයෙන් 7.4 ක් විය. එහෙත්, ජපානයේ භූමිකම්පාවලට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකර තිබූ බැවින්, ලක්ෂ තුනකට ආසන්න සංඛ්‍යාවක් වෙසෙන ෆුකොෂිමා නගරයේ එම භූමි කම්පාවෙන් මිය ගියේ තිදෙනෙකු පමණි.  

මෙයින් පෙනී යන්නේ, ආරක්ෂිත ගොඩනැඟිලි නිසි යටිතල පහසුකම් සහිතව ඉදිකර ඇත්නම්, මොරොක්කෝවේ සිදු වූ භූමිකම්පාවට වඩා බලවත් භූමිකම්පාවලින් පවා නගර බේරී සිටිය හැකි බවයි.

ඒ බව මෙම භූමිකම්පාව තුළ දීම දැක ගත හැකි විය. මරණ 2900 කට වැඩි ප්‍රමාණයක් සිදු වූ, රික්ටර් පරිමාණයෙන් 6.8 වූ භූමිකම්පාවෙන්ද, මිලියනයකට ආසන්න ජනගහනයක් සහිත ගෝලීය සංචාරක මධ්‍යස්ථානයක් වන, ශක්තිමත්ව භූ කම්පනයන්ට ඔරොත්තු දෙන ගොඩනැගිලි ඉදිකර තිබූ මරාකේෂ් හි මිය ගියේ 18 දෙනෙකු පමණි. සැබැවින්ම, මරාකේෂ් ට ආසන්න කදුකර ගම්මානවල විනාශයට සාපේක්ෂව මරාකේෂ් හි භූමිකම්පා හානිය ඉතාමත් අල්පය. 

Map
මොරොක්කෝ භූමිකම්පා සිතියම (Encyclopedia Britannica)

වාර්තාගත 2900කට වැඩි වූ මුළු මරණ සංඛ්‍යාවෙන් 2000 කට ආසන්න ගනනක් වාර්තා වී ඇත්තේ, ප්‍රමුඛවම අල්-හවුස් කලාපයේ, තාරූඩන්ට් (Taroudant) හා චිචෝවා (Chicagoland) වැනි කදුකර ප්‍රදේශ වලිනි. එහි මිය ගිය බොහෝ දෙනෙක් කඳුකර ගම්මානවල වැසියෝ වූහ. පැරණි, අවදානමට ලක්විය හැකි ඔවුන්ගේ මඩ ගඩොල් නිවාස භූමිකම්පාවෙන් විනාශ වූ අතර එම සුන්බුන් තුළ සිරවීමෙන් ඔවුහු මිය ගියහ. මරාකේෂ් සිට සැතපුම් 40ක් නිරිත දෙසින් පිහිටි ටෆහෝටා (Tafeghaghte) ගම්මානයේ වැසියන් 200 න් 90 ක් මියගොස් ඇති බව තහවුරු වී ඇත. තවත් දුසිම් ගනනක් අතුරුදහන් වී ඇති අතර ඔවුන්  සුන්බුන්වල සිරවී මිය ගොස් ඇතැයි විශ්වාස කරනු ලබයි. 

අයහපත් තත්ත්වය නිසා ගලවාගැනීමේ කණ්ඩායම් වලට එහි ළඟා වීමට අපහසු වීය. ඉන්ටර්නැෂනල් ජර්නල් ඔෆ් ඩිසාස්ටර් රිස්ක් (International Journal of Disaster Risk) සඟරාව අපේක්ෂා කල අන්දමට, මේ නිසා දරුණුතම බලපෑමට මුහුන පෑ, දුෂ්කර කඳුකර ගම්මානයන්හි මරණ සංඛ්‍යාව ඛේදජනක ලෙස ඉහළ ගොස් තිබුණි. 

2021 දී, ඉහත කී සගරාව මගින් කෝටි 150 ක ජනතාවක්, ලොව පුරා භූමිකම්පා ඇති ප්‍රදේශවල ජීවත් වන බව සොයා ගෙන ඇත. ෆෝබ්ස් සගරාවේ ලැයිස්තුවට අනුව කත්මන්ඩු, ඉස්තාන්බුල්, දිල්ලි, ක්විටෝ, මැනිලා, ඉස්ලාමාබාද්, සැන් සැල්වදෝර්, මෙක්සිකෝ සිටි, ඉස්මීර් සහ ජකර්තා යන මිලියන සංඛ්‍යාත ජනතාවන් ජීවත් වන නගර 10ක්, භූමිකම්පා සිදු විය හැකි විශාල නගර වශයෙන් නම් කර ඇත. භූමිකම්පාවලට ඔරොත්තු දෙන නිවාස තැනීමට අඩු ප්‍රමුඛතාවයක් දෙන බවට 1999 නේචර් සඟරාව අනතුරු අඟවමින් සදහන් කොට තිබුනේ, “අනාගත නගරවල භූමිකම්පාවලට ඔරොත්තු දෙන ඉදිකිරීම් නොමැතිකම අනාරක්ෂිත වනු ඇත,” යනුවෙනි.

අප්‍රිකානු සහ යුරේසියානු භූගෝලීය තැටි අතර වූ දිගු බිදීම් මත මොරොක්කෝව පිහිටා ඇත. එම ප්‍රසිද්ධ භූමිකම්පා කලාපය මොරොක්කෝවේ එමාසිග් (Amazigh) හෙවත් බර්බර් (Berber) ප්‍රජාවගේ නිවහන වේ. 1960 දී අගඩිර් සහ 2004 දී අල් -හොසීමාහි විශාල භූමිකම්පා මේ කලාපය අත් දැක්කේ ය. එහෙත්, මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජුගේ පාලන තන්ත්‍රය මරාකේෂ් වැනි විශාල නගරවල සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී මෙම කලාපය ක්‍රමානුකූලව අතහැර දැමීය. ඊට එරෙහිව කලාපයේ වැසියන්ගෙන් පැනනැගි විරෝධතා ද මර්දනය කෙරුනි.

මෑත භූමිකම්පා සිදු වී තිබියදීත් මොරොක්කෝවේ භූමිකම්පා කලාපවල බොහෝ ගොඩනැගිලි සහ විශේෂයෙන් ග්‍රාමීය නිවාස ඉදිකර තිබුනේ කම්පනවලට ඔරොත්තු දීමට නොවේ. එහෙයින්, දිලිදු ග්‍රාමීය මොරොක්කෝ වැසියන්ට සිදු ව ඇත්තේ අනාරක්ෂිත මඩ ගඩොල් නිවාසවල ජීවත්වීමට ය. එපමණක් නොව, හදිසි ආපදාවක දී, ඊට ප්‍රතිචාර දැක්වීමට සැලකිය යුතු, කිසිදු සැලසුමක් රජය සිදු කර නොතිබුණි.

ඉතා දුර්වල යටිතල පහසුකම් නිසා සාමාන්‍ය දිනක දී වුවත් ප්‍රවේශ වීමට අපහසු , වඩාත්ම දුෂ්කර කලාපයකි එය. රෝහල් පද්ධතිය ද ඉතා දුර්වල තත්ත්වයක පවති. භූමිකම්පාව හේතුවෙන් ඇති වූ සුන්බුන් වලින් මාර්ග පද්ධතිය ඇහිරී තිබූ නිසා, එම කලාපයට ප්‍රවේශ වීම වඩා දුෂ්කර වී තිබුණි. එහෙයින් මෙම ආපදාව සදහා ක්ෂණික ආධාර ලබා දීමට යම් ආශ්චර්යයක් සිදු විය යුතු යැයි, මොරොක්කෝව පිලිබඳව අධ්‍යයනය කරන ස්ටැන්ෆෝර්ඩ් විශ්ව වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන සමියා එරැසවුකි ( Samia Errazzouki ) පැවසුවාය.

එක්සත් ජනපදයේ සහ ප්‍රංශ අධිරාජ්‍යවාදයේ දිගුකාලීන මිත්‍රයෙකු වූ මොරොක්කෝවේ හයවන මොහොමඩ් රජු, භූමිකම්පාව සිදු වන විට පැරිසියේ අයිෆල් කුළුණ අසල පිහිටි ඔහුගේ යුරෝ මිලියන 80 වටිනා මන්දිරයේ නිවාඩුවක් ගත කරමින් සිටියේය. ඔහු නැවත මොරොක්කෝවට පැමිනිය ද මේ සම්බන්ධව කිසිදු බැරෑරුම් ප්‍රකාශයක් කළේ නැත. එමෙන්ම, ආන්ඩුවේ වෙනත් නිලධාරියෙකුවත් ඒ පිලිබද ව ප්‍රකාශයක් නිකුත් කොට නොතිබුනි.

භූමිකම්පාවෙන් විපතට පත් වූවන්ගේ දුක්ඛිත තත්වය පිළිබඳ දක්වන උදාසීනත්වයේ දී මොරොක්කෝ රජු අභිබවා ගියේ මොරොක්කෝවේ හිටපු යටත් විජිත බලයක් වූ ප්‍රංශය පමණි. ප්‍රංශයේ මොරොක්කෝ ඩයස්පෝරාව මිලියන 1.5 කට අධික ජනතාවක් සිටින අතර මරාකේෂ් යනු ප්‍රංශයේ ඉතා ජනප්‍රිය නිවාඩු ගමනාන්තයකි. 

මෙහි දී මොරොක්කෝ රාජාණ්ඩුව ප්‍රංශයට වඩා ස්පාඤ්ඤ, බ්‍රිතාන්‍ය, කටාර් සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයන්හි ගලවා ගැනීමේ කණ්ඩායම්වලට ආරාධනා කිරීමට කැමති බව ඇඟවීමෙන් පසු, ජනාධිපති එමානුවෙල් මැක්‍රොන්ගේ රජය මොරොක්කෝවේ බේරා ගැනීමේ කටයුතු වලට සහ එහි සංවිධානවලට ආධාර වසයෙන් යුරෝ මිලියන 5 ක සොච්චමක් පරිත්‍යාග කරන බවට නිවේදනය කළේය. එහෙත්, රුසියාවට එරෙහි නේටෝ යුද්ධය සඳහා මැක්‍රොන් යුක්රේනයට යවා ඇති සීසර් බර කාලතුවක්කු පද්ධති 30 න් එකක වටිනාකම මොරොක්කෝවට පරිත්‍යාග කළ මුදලට සමාන වේ!

මෙම නොසලකා හැරීමෙන් හා ව්‍යසනය සුලු කොට සැලකීමෙන් පෙනී යන්නේ, කම්කරු පීඩිත මහජනතාවගේ ජීවිත කෙරෙහි පාලක පන්තියේ අවඥා සහගත ආකල්පය යි.  ධනපති අර්බුදය දිනෙන් දින උඩු දුවන තත්ත්වයේ දී ධනපති ක්‍රමය තුළ ස්වකීය අර්බුදය ජය ගැනීමට ධනපති පන්තිය, කම්කරු පන්තියේ සියලු සුබසාධනයන් කප්පාදු කොට ස්වකීය ලාභ අවශ්‍යතා ආරක්ෂා කර ගැනීම පමණක් තෝරා ගැනීමට සිදු වීම මෙම මහා ව්‍යසනයන් පිටුපස පවතින වෛෂයික යථාර්ථයයි.

පෙබරවාරියේ, තුර්කියේ සහ සිරියාවේ සිදු වූ භූමිකම්පාවෙන් 50,000 කට වැඩි පිරිසක් මිය ගියේ ය. භූමිකම්පාවෙන් පීඩාවන්ට පත් වූ දහස් ගණනක් තවමත් කූඩාරම්වල ජීවත් වේ. ඔවුන්ගේ මෙම ගැටළුව විසදීමට තුර්කි ආන්ඩුවට කිසිදු වැඩ පිළිවෙලක් නැත. එකී පාලනය යටතේ, ඔවුන්ට බල කෙරෙනු ඇත්තේ යලි එම ප්‍රදේශ වලට ගොස්, නිවාස තනා ගෙන පෙර පරිදි ජීවත් විමටත් අනාගතයේ ඇති වන භූමිකම්පාවන් තුල දස දහස් ගණනින් මිය යෑමටත් ය.

පසුගිය සැප්තැම්බර් 10 දා, ලිබියාවේ ඩර්නා නගරයට ආසන්නව පිහිටා තිබූ වේලි දෙකක් පුපුරා ගොස්, ඩර්නා නගරය හා ඒ අවට ප්‍රදේශය ජලයෙන් යට වීමෙන් 20, 000 වැඩි ගනනක්ගේ ජීවිත විනාශ කෙරුනි. එය ද ස්වභාවික විපතක් ලෙස අර්ථ දැක්වීමට ධනපති මාධ්‍ය මගින් උත්සාහ කරනු ලැබුවද , එම ව්‍යසනය පිටුපස පවතින සාධකය වන්නේ, 2011 ලිබියාවට එරෙහි නේටෝ ආක්‍රමණයයි. එහි ප්‍රතිඵලයක් ලෙස අධිරාජ්‍යවාදීන්ගේ හා වෙනත් ධනපති බලවේගයන්ගේ පිටුබලය ලබන ප්‍රතිවාදී ධනපති කල්ලි කණ්ඩායම් අතර ඉන්ධන සම්පත මත සිය ආධිපත්‍යය තහවුරු කර ගැනීමේ දශකයකට වැඩි කාලයක් ඇදී ගිය සිවිල් යුද්ධයකට තල්ලු විය. එමගින් රටේ යටිතල පහසුකම් පද්ධතිය සම්පූර්ණ නොතකා හැරිනි.

ඊට අමතරව, මේ සදහා ඇති වඩාත් ප්‍රශස්ත උදාහරණය නම්, 2019 වසරේදී ඉස්මතු වී, විටින් විට, රැළි වශයෙන් මතුවෙමින්, අද දක්වාම ලොව පුරා ව්‍යාප්තව පවතින, කොවිඩ් වසංගතයි. මේ වන විට එමගින් මරා දැමූ මිනිස් ජීවිත සංඛ්‍යාව කෝටි 3 ඉක්මවනු ලබයි. එනම් පලමු වන ලෝක සංග්‍රාමය මගින් විනාශ වූ ජීවිත සංඛ්‍යාවට වඩා 1 කෝටියක් මේ වන විටත් වැඩිය. මේ වසංගතය පුපුරා යන මොහොතේම නිසි පරිදි අගුළු දැමීම් ඇතුළු සෞඛ්‍ය පියවර ගනු ලැබුණි නම්, සති කිහිපයක් තුළ මෙම වෛරසය ලෝකයෙන් තුරන් කළ හැකිව තිබුණි. නමුත් එහි බර පැන දැරීමට ධනපති ආන්ඩු සූදානම් නොවීය. ඔවුන්ගේ උත්සුකය වූයේ ධනපති ආර්ථිකය රැකීමයි.

මර්දනය කල හැකිව තිබූ වෛරස් රෝගයක් මිලියන ගනනින් ජීවිත අහිමි කල ගෝලීය වසංගතයක් බවට පත් වූයේත්, ඉවක් බවක් නොමැතිව කාබන් වායුව වායුගෝලයට මුදා හැරීමෙන්, මධ්‍යධරණී මුහුද අධික ලෙස රත් වීමෙන් ඒ හරහා හමා ගිය, ඩැනියෙල් කුණාටුව අති බිහිසුනු වූයේත්, ලිබියාවේ ඩර්නා නගරයට ආසන්නව පිහිටා තිබූ වේලි දෙක කඩා බිද වැටී, ඩර්නා නගරය හා ඒ අවට ප්‍රදේශය ගංවතුරට යට වීමෙන් 20,000 වැඩි පිරිසක් මරණයට පත් වූයේත්, පසුගිය පෙබරවාරියේදී ඇති වූ තුර්කි-සිරියානු භූමිකම්පාව,  මොරොක්කෝ භූමිකම්පාව මගින් දහස් ගණනක් මිය ගොස් ඛේදවාචකයන් බවට පත්වූයේත්, ඇෆ්ගනිස්ථානයේ ඔක්තෝම්බර් අග සිදුවූ භූමිකම්පා මගින් තවත් දස දහස් ගනනකට උන්හිටි තැන් අහිමි කෙරුනේත් මෙම ලාභ ගරන පද්ධතියේ ප්‍රතිඵලයක් ලෙස නිර්මාණය කර ඇති, පාරිසරික, සමාජ, ආර්ථික හා දේශපාලන කොන්දේසි හේතුවෙනි.

වර්තමානයේ දී, සමාජ සුබසාධනයට හා මහජන යටිතල පහසුකම් සදහා වෙන්කරන ඉතා සුළු මුදලක් වුව සිය ලාභ අවශ්‍යතාවයට මාරකව පිහිටා ඇති බැවින්, ලෝකයේ, සෑම ජාතික ආන්ඩුවකම පාලනයේ සිටින ධනේශ්වර පන්තිය, මේ වන විට ඒ සියලු දේ ප්‍රතික්ෂේප කර ඇත. ඒ වෙනුවට, 1990 සිට, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ඉරාකය, ලිබියාව, සිරියාව මාලි සහ යුක්රේනයේ එක්සත් ජනපද-නේටෝ යුද්ධ හා වර්තමානයේ පලස්තින මහජනතාවට එරෙහිව ඊශ්‍රායලය ගෙනයන සංහාරය සඳහා මේ වන විට,  ඩොලර් ට්‍රිලියන ගනනක් වියදම් කර ඇති අතර, තවත් ඩොලර් බිලියන ගණනක් ඒ සදහා වෙන් කර ඇත. ලෝක ජනගහනයෙන් අඩක සතු ධනයට සමාන මුදලක්, අද ලෝකයේ ධනවත්ම පුද්ගලයන් අට දෙනා සතුව ඇත. නමුත්, පහසුවෙන් සුවකළ හැකි මෙන්ම නිවාරණය කල හැකි රෝග නිසා මිලියන ගණනින් මහජනතාව මිය යන අතර, මෙසේ භූමිකම්පා අවධානම් ප්‍රදේශවල,  භූමිකම්පාවකදී ඔවුන්ව මරණයට පත් කළ හැකි නිවාසවල විශාල පිරිසක් ජීවත් වෙති.

උමතු ආකාරයෙන් ධනය පසුපස හඹා යන,  වෙනසක් සඳහා වන ඉල්ලීම් වලට මිලිටරිවාදීමය ආකාරයෙන් පිලිතුරු දෙන, ඉතා කුඩා, වගකීම් විරහිත පාලක ප්‍රභූවක්, ජනගහනයේ යහපැවැත්මට සහ පැවැත්මට පවා අත්‍යවශ්‍ය අතිවිශාල සමාජ සම්පත් යුද්ධය හා මර්දනය පිනිස නාස්ති කරන යථාර්ථයකට ලොව පුරා කම්කරු පන්තිය මුහුන දී සිටී. 

කම්කරු පන්තියේ ඉදිරි මාවත නම්, සමාජ සම්පත් පුද්ගලික ලාභයට යටත් කිරීමට එරෙහිව, ඒවා ධනපති ග්‍රහනයෙන් උදුරා ගැනීමෙන් ඒවා පාලනය කිරීම සහ භූමිකම්පා ආරක්ෂාව ඇතුළු මූලික සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා ඒවා භාවිතා කිරීමයි. ප්‍රන්ස හමුදා නයිජර්, මාලි සහ බර්කිනා ෆේසෝ වැනි රටවලින් ඉවත් විය යුතු යැයි ද, පලස්තින ජන සංහාරය වහා නවතා දමන ලෙස කම්කරුවන් හා තරුනයින් විශාල පිරිසක් ඉල්ලා සිටින තතු යටතේ, යුරෝපය හා අප්‍රිකාව පුරා කම්කරු පීඩිත මහජනතාවගේ කෝපය පුපුරා යද්දී – එවන් අරගලයක් සඳහා වෛෂයික කොන්දේසි මතුවෙමින් තිබේ. ධනවාදයට එරෙහිව සහ සමාජවාදය සඳහා අරගලයක් තුල අප්‍රිකාවේ, යුරෝපයේ හා ජාත්‍යන්තරව කම්කරුවන් එක්සත් කිරීම අත්‍යවශ්‍ය වේ.

මොරොක්කෝ භූමිකම්පා ව්‍යසනය: ධනවාදය උරුම කර දුන් තවත් එක් ඛේදවාචකයක් Read More »

G20

G20 සමුලුව සඳහා  වාර්තාව ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැටලු සඟවයි

නික් බීම්ස් විසිනි.

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ 2023 සැප්තැම්බර් 06 දින පල වූ ‘Report to G20 summit glosses over problems in global financial system’ යන නික් බීම්ස් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. පරිවර්තනය SF විසිනි.

මූල්‍ය අධිකාරීන් විසින් නිකුත් කරනු ලබන නිවේදනවල අරමුන වන්නේ තමන් ම රවටා ගැනීම ද, නැතහොත් ඒවා භාර දෙනු ලබන සංවිධාන රැවටීම ද; එසේත් නැතහොත්, “අශ්ව කුලප්පුවක්” වැනි කලබැගෑනියක් ඇතිවීම වැලැක්වීම සඳහා, ප්‍රසිද්ධ ලියකියවිලි වල ඕනෑවට වඩා වැඩි දේවල් ප්‍රකාශ නොකිරීම වඩාත් සුදුසු යැයි ඔවුන් සලකන නිසාද එසේ කටයුතු කරන්නේ ද යන්න සමහර විට දැනගැනීම අපහසුය.

නවදිල්ලියේ ආරම්භ වන G20 නායකයින්ගේ සමුලු රැස්වීමට, ලෝකයේ ප්‍රධාන මූල්‍ය නිරීක්ෂන ආයතනය වන මූල්‍ය ස්ථායිතා මන්ඩලයේ (Financial Stability Board- FSB) සභාපති ක්ලාස් නොට් නමින්  නිකුත් කල ලිපිය සම්බන්ධයෙන් මෙය අදාල ය.

G20
2023 අගෝස්තු 24, බ්‍රහස්පතින්දා, ඉන්දියාවේ නවදිල්ලියේ G20 සමුලු ලාංඡනය සහිත ඉදිකිරීම් භූමියක් අසල කම්කරුවෝ දිවා විවේකය ලබති. බොහෝ වීදි වෙලෙන්දන් සහ නගරය පුරා පැතිර ඇති පැල්පත් නගර සම්බන්ධයෙන් ගත් කල, නවදිල්ලිය අලංකාර කිරීම යන්නේ අදහස වන්නේ, අවතැන් වීම සහ ජීවනෝපායන් අහිමි වීමයි. . [AP ඡායාරූපය/මනිෂ් ස්වරුප්]

නොට් ආරම්භ කලේ, ගෝලීය ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ “ගම්‍යතාව (වේග-බලය) හීන වෙමින් පවතින බවටත්” ප‍්‍රධාන ආර්ථිකයන්හි පොලී අනුපාත ඉහල යාම වඩ වඩාත් (ආර්ථිකයට) දැනෙමින් පවතිනා බවටත්, අනතුරු ඇඟවීමක් කරමින්, එනමුත් මේ දක්වාම බැංකු පද්ධතියේ  ඔරොත්තු දීමේ  හැකියාව පවතින බව ප්‍රකාශ කරමිනි. “පශ්චාත් අර්බුද G20 ප්‍රතිසංස්කරන මගින් හඳුන්වා දුන් ශක්තිමත් බැංකු ප්‍රාග්ධන ස්වාරක්ෂක (බෆර) ” මෙයට කිසිසේත් අල්ප නොවන ආකාරයකින් බලපා ඇති බව ඔහු කියා සිටියේය.

මාර්තු මස බැංකු අංශයේ කැලඹීම, එක්සත් ජනපද ඉතිහාසයේ විශාලතම බැංකු බිඳ වැටීම් හතරෙන් තුනක් මෙන්ම, ක්‍රෙඩිට් ස්වීස් (Credit Suisse) හි බිඳවැටීම සහ පවරා ගැනීම ද අත් දුටුවේය. එය 2008 ගෝලීය මූල්‍ය අර්බුදයෙන් (GFC) පසුව ක්‍රියාත්මක කරන ලද මූල්‍ය ප්‍රතිසංස්කරන සඳහා “පරීක්‍ෂනයක්” වූ අතර, අවම වශයෙන්  කිවහොත් නොට් ප්‍රකාශ කරන අයුරින්, එම පරීක්ෂනයෙන් ඔවුන් සමත් වී ඇත.

බැංකු අංශයේ ආතතියේ එක් එක් තනි සිද්ධීන්, “වර්තමාන පරිසරය තුල අවදානම් සහිත තත්ත්වයන් කෙතරම් වේගයකින් එලිමහනට පැමිනිය හැකි ද” යන්න පිලිබඳ දැඩි මතක් කිරීමක් බව ඔහු ලියා ඇත. කෙසේ වෙතත්, “එක් එක් බැංකු විසින් මුහුන දෙන ලද ප්‍රාතතීන් එකක් පසුපස එකක් ලෙස වැඩී යමින් පූර්න අර්බුදයක් කරා ඇද නොවැටී පැවතීම” දිරිගන්වනසුලු බවත්, එය G20 ප්‍රතිසංස්කරන(වල සාර්ථකත්වය) සඳහා සාක්ෂියක් බවත් ඔහු නිගමනය කලේය.

ඇත්ත වශයෙන්ම නම්, ඕනෑම වෛෂයික තක්සේරුවකින් හෙලිදරව් වන කරුන වන්නේ G20 ප්‍රතිසංස්කරන, පරීක්ෂනයෙන් සම්පූර්නයෙන්ම අසමත් වී ඇති බවයි.

එක්සත් ජනපදය සම්බන්ධයෙන් ගත් කල, සිලිකන් වැලි බැංකුව, සිග්නේචර් සහ ෆස්ට් රිපබ්ලික්  යන අසාර්ථක වූ එක්සත් ජනපද බැංකු තුනෙහි, ධනවත් පුද්ගලයන් සහ සංගත ඇතුලු තැන්පත්කරුවන්ට, ඔවුන්ගේ මුදල් එක්සත් ජනපද බලධාරීන් ලවා ඇප-සහතික කර ගැනීමට සිදු විය. එසේ නොකලේ නම් එය “පද්ධතිමය අර්බුදයක්” අවුලුවා ලීමට ඉඩ තිබුනි.

ක්‍රෙඩිට් ස්වීස්හි අභාවයත් සමඟ ජාත්‍යන්තර සම්මතයෙහි රාමුව හෙවත් ඊනියා ප්‍රතිසංස්කරනවල අසාර්ථකත්වය වඩාත් පැහැදිලිව පෙනෙන්නට විය.

ස්විට්සර්ලන්ත ජාතික බැංකුව ( ස්විට්සර්ලන්ත මහ බැංකුව)  සහ ස්විස් රජය විසින් සංවිධානය කරන ලද ගනුදෙනුවකදී, ගෝලීය මූල්‍ය අර්බුදයෙන්ට පසුව එලැඹ ගන්නා ලද, “සම්මතය” (“resolution”)  ලෙස නම් කරන ලද සියලුම රෙගුලාසි සහ ගිවිසුම්වලට පටහැනිව, ක්‍රෙඩිට් ස්වීස්, යූබීඑස්  (UBS) විසින් පවරා ගන්නා ලදී.

එකල මෙය විවෘතවම පිලිගන්නා ලදී. ස්විස් ජාතික බැංකුවේ සභාපති තෝමස් ජෝර්ඩන් පැවසුවේ “සම්මතය” පද්ධතිමය අර්බුදයක අවදානම ගෙනෙනු ඇති බවයි.

“සාමාන්‍ය තත්වයන් යටතේ න්‍යායිකව ගත් කල  සම්මතය ක්‍රියාවට දැමිය හැකි නමුත්, පොදුවේ අප පසුවූයේ මූල්‍ය වෙලඳපොලවල දැවැන්ත වික්ෂිප්තභාවයක් සහිත බිඳෙනසුලු පරිසරයක ය. මෙම තත්ත්වයන් යටතේ සම්මතය ස්විට්සර්ලන්තයේ පමනක් නොව ගෝලීය වශයෙන්ම විශාල මූල්‍ය අර්බුදයකට තුඩු දිය හැකිව තිබුනි,” ඔහු පැවසීය. 

වෙනත් වචන වලින් කිවහොත්, සම්මතය එය අවශ්‍ය නොවන තත්ත්වයන් යටතේ ඵලදායි වනු ඇති නමුත්, එහි ක්‍රියාකාරිත්වය අපේක්ෂිත තත්ත්වයන් තුල එය නිෂ්ප්‍රයෝජන වනු ඇත !

ස්විට්සර්ලන්ත මුදල් ඇමති කරින් කෙලර්-සටර් විසින් ද එම කරුනම ඉදිරිපත් කෙරිනි. ප්‍රධාන බැංකු අසාර්ථක වීම් වෙනුවෙන් සකස් කරන ලද හදිසි අවස්ථා ප්‍රොටෝකෝල (සම්මත කර ගත් ක්‍රියා පටිපාටි) වලට අනුව ක්‍රියා කිරීම “ජාත්‍යන්තර මූල්‍ය අර්බුදයක් අවුලුවාලිය හැකිව තිබුනු” බව ඇය පැවසුවාය.

G20 ප්‍රොටෝකෝලයන්ට අනුව ගෝලීය වශයෙන් වැදගත් බැංකුවක් ඈවර කල නොහැකි බව ඇය නිගමනය කර තිබුනි.

මාර්තු මස අත්දැකීම් නොසලකා හරිමින් නොට් පැවසුවේ, “2008 මහා මූල්‍ය අර්බුදයෙන් පසුව FSB විසින් සකස් කරන ලද ජාත්‍යන්තර සම්මත රාමුව එකී අරමුන සඳහා සුදුසු බවට” තමා ඒත්තු ගෙන සිටින බවයි.

කෙසේ වෙතත්, “වඩාත් ඉහල නය සේවා පිරිවැය තවදුරටත් ආර්ථිකය පුරා පැතිර පවත්නා බැවින් ඉදිරි මාසවලදී මූල්‍ය වෙලඳපොලවල තවදුරටත් ආතතීන් පැවැතීමේ ඉඩකඩ බැහැර කල නොහැකි” බව ඔහු සඳහන් කලේය.

ඒ අතරම, මූල්‍ය පද්ධතිය, “වේගවත් වෙමින් පවතින ඩිජිටල්කරනයට සහ දේශගුනික විපර්යාස අවදානම්වලට ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය ඇතුලු, ගැඹුරු ව්‍යුහාත්මක වෙනස්කම් මධ්‍යයේ” පවතී.

මෑත වසරවල “ප්‍රධාන ප්‍රවනතා” වලින් එකක් වන්නේ, ඇතැම්විට “ඡායා බැංකු” ලෙස ද හඳුන්වනු ලබන, බැංකු නොවන මූල්‍ය අතරමැදිකරනයේ (Non Banking Financial Intermediation – NBFI) වර්ධනය වී ඇති වැදගත්කමයි. (NBFI යනු, ආයෝජන අරමුදල්, රක්ෂන සමාගම්, විශ්‍රාම අරමුදල්, ආයෝජන බැංකු, උගස්කරුවන් ආදී වශයෙන්, නය නිර්මානයට සහභාගී වන, එහෙත් නියාමන අධිකාරීන්ගේ පරීක්ෂාවට බඳුන් නොවන අතරමැදි මූල්‍යයයි – පරිවර්තක) එය නය ගැනීමේ ප්‍රභවයන් විවිධාංගීකරනය කර ඇති නමුත් නය ගොඩ ගැසීමටද හේතු වී තිබේ. 

“නිසි ලෙස කලමනාකරනය නොකලහොත්, කම්පන තත්ත්වයක දී, නය අරමුදල්වල ලීවරනය ආතතිය වර්ධනය කිරීමට හේතු විය හැකි අතර, භාන්ඩ සහ බැඳුම්කර වෙලඳපොලවල මෑත කාලීන ප්‍රාතතීන් මගින් පෙන්නුම් කෙරුනු පරිදි එය පද්ධතිමය කඩා වැටීමකට තුඩු දිය හැකිය.”

නමුත් කලමනාකරනය සදහා නිවැරදි තොරතුරු සහ දත්ත අවශ්‍ය වේ. එසේ නොමැති වූ කල නියාමකයින් වීමට නියමිත අයට වැඩ කරන්නට සිදුවන්නේ අඳුරේ අතපත ගාමින් ය. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) විසින් පිලිගනු ලැබ ඇති පරිදි, NBFI සම්බන්ධයෙන් ඔවුන් බොහෝ දුරට කිසිවක් ම හෝ නොදන්නා ප්‍රධාන ක්ෂේත්‍ර පවතී. 

නොට් මෙම ගැටලුව සම්බන්ධයෙන් ඔහුගේ සඳහන හැකිතාක් දුරට සැර බාල කරමින් මෙසේ ඉදිරිපත් කරයි:

“NBFI නය අරමුදල් විවිධ ආකාර ගත හැකි අතර, බොහෝ විට ඒවා හඳුනා ගැනීමට හෝ මැනීමට අපහසුය. එමඟින් ඒවා ආශ්‍රිතව පවතින අන්තරායකාරී අවදානම් තක්සේරු කිරීම සංකීර්න කෙරේ.”  

ඔහුට කල හැකි වැඩිමනත්ම දෙය වූයේ, ප්‍රධාන දත්තවල හිඩැස් පිරවීම සහ “ආශ්‍රිත අන්තරායකාරී අවදානම් ආමන්ත්‍රනය කිරීම” සඳහා “ගත හැකි ක්‍රියාමාර්ග” හඳුනා ගනිමින් මෙම ක්ෂේත්‍රයේ පවතින ප්‍රවනතා පිලිබඳ සමුලුවට වාර්තාවක් ඉදිරිපත් කිරීමයි.

මෙම ප්‍රකාශ වලින් ලබා ගත හැකි එකම නිගමනය නම් වර්තමානයේ FSB සහ අනෙකුත් සෑම මූල්‍ය අධිකාරියක්ම අඳුරේ අතපත ගාන බවයි.

ඩිජිටල්කරනයේ ප්‍රධාන ක්ෂේත්‍රය වන්නේ ක්‍රිප්ටෝ වත්කම් ඉස්මතුවීමයි. පසුගිය වසර පුරා සිදු වූ සිදුවීම් ගනනාවක් විසින් “සාම්ප්‍රදායික මූල්‍ය පද්ධතිය සමඟ එහි වැඩෙන බන්ධනයන් සැලකිල්ලට ගත් කල, සමීප නිරීක්ෂනයක් අවශ්‍ය කෙරෙන ක්‍රිප්ටෝ-වත්කම් පද්ධතික වටාපිටාවේ ඇති අන්තරායන්ට තුඩු දීමේ ශක්‍යතා ඉස්මතු කර පෙන්වා තුබූ” බව නොට් ලිවීය.

“ගෝලීය මූල්‍ය පද්ධතියේ අන්තර් සම්බන්ධිතභාවය නිසා එක් මූල්‍ය ආයතනයක සිදුවන සයිබර් සිදුවීමක් හෝ එහි තුන්වන පාර්ශ්ව සැපයුම්කරුවෙකුගේ සිදුවීමක්, දේශසීමා සහ පුලුල් අංශ හරහා පැතිරී යා හැකි බව” ඔහු පැහැදිලි කලේය.

“මෑත කාලීන කාලගුනික සිදුවීම් අරේඛීය (රේඛීය නොවන) ප්‍රතිඵල ඇති කිරීම සඳහා ශක්‍යතාව පෙන්වා ඇති” බැවින්, දේශගුනික විපර්යාසද මූල්‍ය පද්ධතියට අවදානම් ඇති කරයි; ඊට හේතුවන්නේ, අපේක්ෂිත ප්‍රමානයට වඩා අත්‍යන්ත ලෙස වැඩි ආර්ථික ප්‍රතිවිපාක ඇති කිරීම සහ එම හේතුවෙන් මූල්‍ය පද්ධතිය තුල එකී අවදානම පෝෂ්‍ය කිරීම සිදුවන හෙයිනි.

අවසාන වශයෙන්, ඉදිරි මාස සහ වසර වලදී ගෝලීය මූල්‍ය පද්ධතියට අභියෝග සහ කම්පනවලට මුහුන දීමට සිදුවනු ඇති බව සහතික යයි අනතුරු අඟවමින් නොට් ප්‍රකාශ කලේ, අධිකාරීන්ගේ ක්‍රියාවන් විසින් ඒවා  විස්තාරනය කෙරෙනවාට වඩා ඒවා අවශෝෂනය කර ගැනීමට “හැකියාවක් තිබීමේ විභවයක්” ඇති බවයි. වෙනත් වචනවලින් කිවහොත්, වැඩි කම්පනයක් ඇති වූ විටෙක, බලධාරීන්ට එය පාලනය කිරීමට හැකියාව තිබිය හැකි නමුත්, එය නිශ්චිත නැති බවයි.

සමස්තයක් ලෙස ගත් කල, ෆයිනෑන්ෂල් ටයිම්ස් පුවත්පත “ලෝකයේ බලවත්ම මූල්‍ය මුර බල්ලා” ලෙස විස්තර කර ඇති පාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරෙන මෙම වාර්තාව චිත්‍රනය කරන පින්තූරය පෙන්වා දෙන්නේ, සිය මූල්‍ය පද්ධතිය අර්බුද ඇති විය හැකි මූලාශ්‍රවලින් පිරී ඇති බැව් ධනේශ්වර පාලක පන්තියේ නියෝජිතායතන දන්නා බවයි. එහෙත් ඊලඟ පහර වදින්නේ කොතනින් ද යන්න පිලිබඳ සැබෑ අදහසක් ඔවුන්ට නොමැති අතර, එය වැලැක්වීම සඳහා කුමක් කල යුතුද යන්න පිලිබඳව ඔවුන්ට ඇත්තේ ඊට ද අඩු වැටහීමකි.

G20 සමුලුව සඳහා  වාර්තාව ගෝලීය මූල්‍ය පද්ධතියේ ගැටලු සඟවයි Read More »

IMG 1011

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි

පී.ජී. පුන්‍යවර්ධන විසිනි 

ධීවර කම්කරුවා, සුලු පන්නකරුවා සහ සුලු හා මධ්‍යම පරිමාන ව්‍යාපාරිකයා දක්වා ධීවර කර්මාන්තයේ නියැලි ලක්ෂ ගනනක් පැවැත්ම පිලිබද ගැඹුරු වන අවිනිශ්චිත තත්වයකට මුහුන දී සිටිති. උපකරන හා ඉන්ධන මිල උද්ධමනය, තරගකාරිත්වය, කිසිදා නො පියවෙන නය අර්බුදය යනාදියෙන් වෙලාගෙන සිටින ධීවර ජනයා තවමත් ජීවත් වන්නේ වැඩවසම් බැමිවලින් මුලුමනින් අත් මිදී ගත නො හැකි තත්වයක ය.    

පසු ගිය දා හලාවත ප්‍රදේශයේ ධීවරයන් අතර කල මැදිහත් වීමක දී අප ලද තොරතුරුවලින් නියෝජනය වන්නේ ශ්‍රී ලංකා ධීවර ප්‍රජාවගේ ජීවන කොන්දේසි හා ජීවන තත්වයන් පිලිබඳ හරස්කඩකැයි අපට හැඟේ.     

Image Not Found
තොඩුවාව ධීවරයෝ

එහි දී, අපට මුන ගැසුනු, බහු දින යාත්‍රා හිමිකරුවකු වන නාලක කර්මාන්තය තුල තමන් මුහුන දී සිටින තත්වය මෙසේ ගෙන හැර පෑවේ ය. ඔහු පුත්තලම දිස්ත්‍රික්කයේ හලාවත, තොඩුවාව ධීවර ග්‍රාමයේ වසන, දෙමාපිය උරුමයෙන් ධීවරයෙකු වූ අයෙකු වෙයි. විවාහයෙන් පසු ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීම සඳහා 2003 වර්ෂයේ ඉතාලියේ රැකියාවක් සඳහා පිටත්ව යන ඔහු, වසර දෙකක් ගිය පසු තම බිරිඳ ද කම්කරුවකු ලෙස ඉතාලිය වෙත ගෙන්වා ගැනීමට කටයුතු කර ඇත. බිරිඳත් සමග තවත් වසර 13ක් එහි සේවය කර පෙරලා දිවයිනට පැමිනියේ ය.

බහු දින යාත්‍රාවක් යොදාගෙන කර්මාන්තයේ යෙදීම සඳහා ඔහු 2017 වසරේ දී, (ඉතාලියෙන් ආපසු පිටත් වීමට පෙර ම) ලංකා බැංකුවෙන් රුපියල් කෝටියක්, සියයට හතක වාර්ෂික පොලියට, මාසිකව 150,000ක වාරික වශයෙන් අඛන්ඩව වසර 7ක් තුල ගෙවා නිම කිරීමේ කොන්දේසි මත ලබා ගන්නා ලදී. ඒ අනුව 2018 දී බහු දින යාත්‍රාවක් දියත් කල තමන්ට, දැන් සිය දූ දරුවන් ඥාති මිත්‍රාදීන් සමග යහපත් ජීවිතයක් ගත කල හැකි යයි කල්පනා කල බව නාලක අපට කීවේ ය.

2018 සහ 2019 වසර දෙකේ මුහුදු ගමන් 15ක් මගින් ඉහල ආදායමක් ලැබීමේ හැකියාව විසින් ඔහු දිරිමත් කරන ලදී. එහෙත් 2019 අවසානය වන විට කොවිඩ් ව්‍යාප්තිය ධීවර කර්මාන්තය ද වෙලා ගත්තේ ය. මේ වන විට ඔහු අඩි 50ක තවත් බහු දින ධීවර යාත්‍රාවක් සදහා මුදල් වැය කර තිබිනි.  

ඒ සඳහා සිය බිරිඳගේ ලංකා බැංකු ගිණුමෙන් වාර්ෂිකව සියයට 13 පොලියට තවත්  රුපියල් කෝටියක ණය මුදලක් ලබා ගත්තේ ය. කොවිඩ් වසංගතයත් සමග මාලු අලෙවියේ ඇද වැටීමට සියලු ධීවරයෝ මුහුන පෑහ. ලක්ෂ 30-40 අතර මුදලක් යාත්‍රාව දියත් කිරීම සදහා වැය කලත් ඒ මුදලවත් උපයා ගැනීමට අවස්ථාවක් නො වූ වාර ගනන වැඩි විය. මාලු හිගයකට ද මුහුන දීම නිසා තව දුරටත් තත්වය නරක අතට හැරුනි. පොදුවේ ගත් කල 2019-20 කාලයේ මත්ස්‍ය නිශ්පාදනය 20% කින් පහත වැටුනු බව වාර්තා වී ඇත.

2022 තෙල්, ගෑස්, විදුලිය ඇතුලු අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සම්පාදනය ඇන හිටුවීමට හෝ සීමා කිරීමට ආන්ඩුව තල්ලු වීමත්, ඒවායේ මිල ගනන්-විශේෂයෙන් ඉන්ධන මිල – තුන් ගුනයකින් ඉහල දැමීමත් ඊට සාපේක්ෂව මාලු මිලෙහි පැවති පහල අගයත් යන මේවා විසින් ධීවරයාගේ අනාගත සිහින ක්ෂ්මා විරහිත ලෙස සුන් කර දැමුනේ ය. ගෙවී ගිය මාස 5ට ම ‍යාත්‍රව දියත් කලේ දෙවරක් පමනක් බව නාලක කීය. ඒ වන විටත් ධනපති මූල්‍ය ආයතන, ධීවර කර්මාන්තයේ උපකරන සපයන සමාගම් හා අපනයන සමාගම් ඔහුගේ උත්සාහයේ සාරය උරාගෙන අවසානය. තමන් අල්ලන ටූනා මත්ස්‍යයන් මිල දී ගන්නා අපනයකරු වන ජාඇල ජෝන් සී ෆුඩ් සමාගම ඒකාධිකාරයක් වීම නිසා මසුන් වැඩි ප්‍රමානයක් අල්ලා ගත් විට මිල පහල දැමීමට එම සමාගමට ඇති බලය තමන් අසහනයට පත් කරන බව ධීවරයෝ පැවසූහ.   

දැන් නම් තවත් ලංකාවේ අපේ ව්‍යාපාර කරගෙන දරුවන්ට උගන්වන්න, වෙනත් කිසි දෙයක් කරගන්න බැහැ.” ඒ නිසා බිරිඳ හා දරුවන් සමඟ යලි ඉතාලිය බලා පිටත්වීම හැර කල හැකි දෙයක් නැතැයි නාලක කීවේය. 

තොඩුවාව පාලම අසල පදිංචි ධීවරයකු වන රෝහන, සිය සහෝදරයා සමග එන්ජින් බෝට්ටුවක් භාවිතයෙන් මසුන් ඇල්ලීම ජිවිකාව කර ගත්තෙකි. ඒ සඳහා දිනකට පෙට්‍රල්, ඔයිල් සහ බූමි තෙල් සදහා රුපියල් 7,100ක් වැය වන අතර ගිය වසරේ එම වියදම පැවතියේ රුපියල් 2000ක් ලෙස බව පෙන්වා දෙමින් ඔහු කීවේ, මෙසේය: 

අපි ගැන බලන්නෙ නැහැ මේ ආන්ඩු. අපි පාවිචි කරන දැල් පීස් එකක් දැනට අවුරුදු දෙකකට වගේ කලින් රුපියල් 18,000 තිබුනා. දැන් ඒ්කම රුපියල් 30,000ක් පමණ වෙනවා. දැල් කූට්ටමක් සම්පූර්ණ අලුතෙන් හදනවනම් රුපියල් ලක්ෂ හයක් පමණ යනවා. අපේ පාඩුවේ රස්සාව කරන් ජීවත් වෙන්න දැල් ආම්පන්න, එන්ජින් සහ අමතර කොටස්, භූමි තෙල් මිල අඩුකරල දෙනව නම් අනෙකුත් බඩු මුට්ටු මිල අඩු වෙනවා නම්, අපි අල්ලන මාළු වලට සාධාරන ස්ථාවර මිලක් ලැබෙනව නම් මේ කර්මාන්තය කරන්න පුළුවන්.” 

සිය එකම පුතා ධීවරයකු නො විය යුතු යයි තමන් සිතන බව ඔහු පැවසී ය. 

රෝගුස් නැමැති අත්දැකීම් බහුල ධීවරයා හා තවත් ධීවරයෝ දෙදෙනෙක් අප සමග කතාබහට එක් වූයේ මෙසේය:

මේ සතියේ දින තුනක් මං තවත් දරුපවුල් කාරයෙක් එක්ක මූදට ගිහින්, පලවැනි දවසේ හුරුල්ලන් කිලෝ එකයි. දෙවෙනි දවසෙ කිලෝ දෙකයි. තුන්වැනි දවසෙ කිලෝ එකක්වත් අහු උනේ නැහැ.

“අපිට අර පසුගිය අවුරුද්දේ මූදට යන්න තහනම් කලේ නැවක් පමුණුගමට ඉස්සරහ මූදේ ගිලිලා පරිසර හානියට ලක් වෙනවා කියලා. අන්න ඒ තහනමට වන්දි ලැබුනෙ භූමි තෙල් ලීටර් 150ක කූපන් එකක්. ඒකෙන් ලීටර් හැත්තෑ පහක් තමයි ඔය දවස් තුනේ පාවිච්චි කලේ. අපේ අක්කා කීවා මල්ලි බොරු වැඩ කරන්නේ නැතිව මාලු අහුවෙන දවස් එනකම් ඉන්න කියා.” 

සත්‍යය නම් එසේ බලා හෝ නො බලා සිටීම යන කුමන හෝ පියවරක් ධීවරයන් තමන්ගේ පීඩාවෙන් මුදා හරින්නේ නැති බව ය.  

42 වියැති තිදරු පියෙක් හා ධීවර කම්කරුවකු වන නිරෝෂන් ද අප හා දොඩමලු විය. ඔහුගේ බිරිඳ ගර්භාෂයේ පිලිකාවක් වැළඳී වෛද්‍ය ප්‍රතිකාර ලබමින් සිටී. නමුත්, ඇය දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සදහා වෙනත් ගෙදරක කුලී වැඩ කරයි. 

Discussion
නිරෝෂන් ද-සෝෂලිස්ට් වාර්තාකරුවන් සමග කතා කරමින්

ඔහු බහුදින ධීවර යාත්‍රාවක ධීවර කම්කරුවකු වශයෙන් රැකියාව ආරම්භ කර ඇත්තේ වයස 17 දී ය. 25 වසරක් මහ මුහුද සමග පොර බැදීමෙන් ඔහුට ජීවිතය සඳහා ඉතිරි වූ දෙයක් නැති බව මෙයින් පෙනේ.

අප ධීවරයාගේ වැඩි මහල් පුත්‍රයා සාමාන්‍ය පෙල අවසන් වූ වහාම, එනම් පසු ගිය නොවැම්බර් මාසයේ, බහු දින යාත්‍රාවක කම්කරුවෙකු ලෙස සේවය ආරම්භ කලේ, සිය සොහොයුරන් දෙදෙනාට අධ්‍යාපනය ලබා දීමට ය. ගෙවී ගිය මාස හතටම ඔහුට යා හැකි වූයේ එක මුහුදු ගමන් වාරයක් පමනි. ඔහුගේ දෙවන පුතාට තොඩුවාව ගමේ පාසැලේ දැක් වූ ක්‍රීඩා හැකියාවන් නිසා මීගමුවේ ප්‍රසිද්ධ පාසැලකට ඇතුලු වීමේ අවස්ථාව ලැබුනි. “බස්ගාස්තු තුන්ගුනයක් වැඩි වෙලා, යන්න එන්න, කෑම කන්න, රුපියල් දාහක් දෙන්න ඕන දවසකට. මගේ ධීවර ජීවිතේ දී මම යන්තම් ගෙයක් හදා ගත්ත විතරයි,” ඔහු කීවේ ය. 

මේසා පරිමානයෙන් ධීවර ජීවිතවල අවිනිශ්චිත බව නැඟෙන්නේ, වර්තමාන ධීවර කාර්මිකයාට අවශ්‍ය බොහෝ තාක්ෂනික උපකරන නිර්මානය කර ඇති සමාජයක ය. එකෝ සවුන්ඩර් (Echo Sounder) සාගරයේ මසුන් සිටිනා තැන් සොයා දෙන උපකරනයකි. සොනාර් (Sonar) මුහුද යට ඇති ගල් පර හා වෙනත් බාධක මෙන් ම ගැඹුරු මුහුදේ මසුන් ගැවසෙන තැන් ගැන සංඥා ලබා දෙයි. කාලගුන විද්‍යා දෙපාර්තමේන්තුවට උෂ්නත්වය, සුලං, දිය වැල්, කුනාටු, උදම් රල කුනාටු, මසුන් රොක් වන තැන් සහ ඔවුන් පිහිනන දිසාව පෙන්වා දිය හැකි සැටලයිට් ගනනාවක් ඇත. බහු දින යාත්‍රා සදහා ශීතාගාර යන්ත්‍ර හා මසුන් පමා නො වී ගොඩට ගෙන ආ හැකි ප්‍රවාහන ක්‍රම ලෝකය විසින් සොයාගනු ලැබ ඇත. එහෙත් කර්මාන්තය ධීවරයන්ගේ ජීවිත උරා බීම පෙරටත් වඩා රුදුරු ලෙස සිදු කරයි. එම ජිවිතවලට වර්තමාන ලෝකය දිනාගෙන ඇති සංස්කෘතියේ ඉහල මට්ටමේ අසලකටවත් ලං විය හැකි බවට ඉඟියක් හෝ පවතින ක්‍රමය තුල නොපවතී. එය සාක්ෂාත් වනු ඇත්තේ ධීවර ජනයා කර්මාන්තය පාලනය තමන් අතට ගැනීම සඳහා කම්කරු පන්තිය සමග පෙල ගැසීමෙන් පමනි. 

සමාජ පිලිගැනීම හෝ නීතිය කුමක් වුවත්, එක් ජන කොටසකට පරම්පරාවෙන් පරම්පරාවට එකම රැකියාව උරුම වන පසුගාමී වැඩවසම් බන්ධනයට ධීවරයා බැද දමා ඇත්තේ පවතින ආර්ථිකය හා සමාජ තතු විසිනි.   

අප ධීවරයාගේ ජීවිතය මේ තත්වය පිලිබිඹු කරන සංකේතයකි. ඔහු මෙසේ කීවේය: 

මුහුදු රැකියාව ආරම්භ කරපු කාලෙ වගේ නො වෙයි, දැන් මේ රස්සාව නිශ්චිතව බලාපොරොත්තු තියාගෙන කරන්න බැහැ. දැන් මාළු ඉන්න ප්‍රදේශ වලට යන්න විතරක් දින පහළොවක්, විස්සක් ගත වෙනවා. සමහර අවස්ථාවල බෝට්ටුවෙ ගැන් එක පිරෙන්න මාළු අස්වැන්න ගෙනාවත් අපට සොච්චම් මුදලක් තමයි  ලැබෙන්නේ. අපි මාස දෙකක්, දෙක හමාරක් මුහුදේ ගතකරල එද්දී, සමහර විට මාළු මිල හොඳටම පහත වැටිලා තිබීම, මූදෙ ගත කරන දින ගනන වැඩී වී මාලු අවපැහැ ගැනිම ආදිය නිසා අපේ ආදායම පහල යනවා.” 

ගෙවීම සිදු වන්නේ ශ්‍රමයට හෝ ශ්‍රම ශක්තියට නො ව ආදයම ලැබුනොත් පමනි. එසේ නොමැති නම් ධීවර කම්කරුවාගේ ශ්‍රමය නොමිලේ “විකිනේ.” රැකියාවට පිටත්ව යන විට බෝට්ටු හිමිකරුගෙන් රුපියල් 25,000ක හෝ 30,000ක නය මුදලක් ගෙදර වියදම සඳහා ලැබෙයි. 

මේ අවුරුද්දේ පසු ගිය මාස හතටම ට්‍රිප් දෙකයි ලැබුනේ. මුල් ට්‍රිප් එක සාර්ථක නැහැ. මේ වතාවෙදී ගොඩ ආවේ මැයි මාසයේ 20 වැනි දා. හොඳ මිලක් තිබුනා. මට ලැබුනා  රුපියල් ලක්ෂ පහයි තිහක්. නමුත් කෑමට කඩවලට ගෙවීමට ඇති නය, යහළුවන්ගෙන් ගත් අතමාරු, බැංකු නය වාරික හා විදුලිය බිල් ආදිය ගෙවිමෙන් පසු, ඊට අමතරව කලේ දරුවන්ගෙ හිත හැදෙන්න පල්ලියේ වාර්ෂික මංගල්‍යය දිනයට අඳීන්නත් එක්ක තුන්දෙනාට ඇදුම් හා සපත්තු ගැනීම. කෑමට බඩු ටිකක් ගෙනාවා. තවත් නය තියෙනවා පියව ගන්න බැරිවුනු.”

2022 මාර්තු මාසයේ 2 දින ලෝක බැංකුව ලංකාවේ ‍ධීවර කර්මාන්තය සම්බන්ධ වාර්තාවක සඳහන් කර ඇත්තේ, “දැනට ශ්‍රී ලංකාවේ සති 5ක් මුහුදේ ගත කරන 5000කට ආසන්න ‘බහු දින’ ධීවර යාත්‍රා බොහොමයක නිසි ශීතකරන නොමැතිකම හේතුවෙන් අල්ලා ගත් කෙලවල්ලන්ගෙන් අඩක් පමන වෙරලට ගෙන ඒමට පෙර නරක් වී යන” බව ය. යාත්‍රා නවීකරනය, වැඩි දියුනු කල මත්ස්‍යයන් ඇල්ලීමේ ක්‍රමෝපාය යොදා ගැනීම, මුහුදේ ගතකරන කාලය අඩු කිරිම සඳහා වැඩි දියුනු කල ක්‍රමෝපායන් ක්‍රියාත්මක කිරිම මගින් මේ ගැටලු විසදා ගත හැකි බව එම වාර්තාව කියයි. පරිසර පද්ධතිය ආරක්ෂා කිරීම හා ව්‍යාපාරය පලදායී ලෙස සංවිධානය කිරීමට ද එය යෝජනා කරයි. කෙසේ වෙතත් නවීන ක්‍රම භාවිතය සමග ධීවර රැකියා සෑහෙන ප්‍රමානයක් අහෝසි වීම ගැන ද එය අනතුරු හඟවා ඇත. සුලු ව්‍යාපාරිකයන්ට මෙවැනි වැඩි දියුනු කිරීම් සදහා ප්‍රාග් ධනය නැත. විශාල ජනකායක් නට්ටම් කිරීම වත්මන් ධනපති සංවර්ධනයේ අර්ථයයි.  

තවමත් තනි ඔරු, යාන්ත්‍රික නොවූ ෆයිබර් ග්‍ලාස් ඔරු, කොල්ලෑ සහිත රුවල් ඔරු, කොල්ලෑ සහිත පදින ඔරු, වල්ලම්, තෙප්පම්, කට්ටුමරන් යනාදී ඉතා නො දියුනු සහ අනතුරුදායක වැඩවසම් තාක්ෂන උපකරන භාවිත කරන දුප්පත් ධීවරයින් තව දුරටත් නො සලකා හැරීමට නියමිත ය. දැනටමත් ධීවරයෝ වරාය හෝ සුදුසු තොටුපල නැතිව පීඩා විඳීති. කර්මාන්තය වැඩි දියුනු කිරිම සිදු කලත් ඒ ධනපති ඒකාධිකාරයන්ට ධීවරයන් තව දුරටත් මිරිකා උරා ගැනීමට මිස දුප්පත් ධීවරයන්ට සහන සැලසීම සඳහා නො වේ. සමස්ථ නිෂ්පාදන කර්මාන්තය ම කම්කරු පාලනය යටතේ ජනසතු කරන සමාජවාදී වැඩ පිලිවෙලකට පමනක් ධීවර ආම්පන්න පහසු මිලට සපයමින්, ධනේශ්වර මූල්‍ය ආයතනවලින් නිකුත් කල නය අහෝසි කර, අවශ්‍ය පහසුකම් සපයා ධීවර ගැටලු අවසාන වසයෙන් විසඳිය හැකි ය. 

ධීවර ජනයා වෙලාගත් ආර්ථික සමාජ ගැටලු තව තවත් ඔද්දල් වෙයි Read More »

Priyantha

සමෘද්ධිය හා අස්වැසුම අහිමි කරනු ලැබූවෝ  ‘ද සෝෂලස්ට්’ වෙබ් අඩවියට කතා කරති

අපේ වාර්තාකරුවන්

ජාත්‍යයන්තර මූල්‍ය අරමුදගේ නය ප්‍රතිවෘහගතකරනයට අදාල නියෝග ක්‍රියාත්මක කරමින් සිටින රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් ක්‍රියාවට දමා ඇති සමාජ කප්පාදු වල කොටසක් ලෙස දුගී කම්කරු, ගොවි ඇතුලු පීඩිත මහජනතාව මතට හෙලන ලද දැවැන්ත කප්පාදු අතරින් සොච්චමක් වූ “සමෘද්ධි” සහනාධාරය ද කපා දැමීම මගින් එම ජනතාව අන්ත අසරනභාවයට ඇද දමා ඇත.

සමෘද්ධිය කපා දැමීමෙන් පසු ආන්ඩුව “අස්වැසුම”  නමින් ඉදිරිිපත් කර ඇති නව සීමිත සහන සැලැස්මේ ප්‍රතිලාභ ලැබීම සඳහා නුසුදුුසු බවට ⁣යෝජනා කිරීම නිසා කර කියා ගත නොහැකි වූ දුප්පත් ජනයා හෙට දින ජීවිතය ගටගසා ගන්නේ කෙසේද යන්න පිලිබඳ පසුවන්නේ මහත් අවිනිශ්චිතතාවයකිනි. 

අස්වැසුම ⁣ප්‍රතිලාභ නොලැබීම සම්බන්ධ අභියාචනා ගොනුකිරීම ජුලි 6 දින අවසන් විය. ඒ වන වට අභියාචනා ⁣968,000ක් ද, විරෝධතා 17, 500ක් ද ලැබී තිබුනු බව  කැබිනට් ප්‍රකාශක ඇමති බන්දුල ගුනවර්ධන ප්‍රකාශ කලේය.

මෙම නව ප්‍රතිලාභ ලැබීම ද අහිමි කරනු ලැබූ පවුල්වල සාමාජිකයෝ “ද සෝෂලිස්ට්” වෙබ් අඩවියට තම දුක් ගැනවිලි ප්‍රකාශ කලෝය. ඒ කිහිප දෙනෙකු මුහුන දී ඇති ජීවන අර්බුදය පිලිබඳ කෙටි වාර්තාවක් අපි පහත පල කරමු:

විමලජීව පවුල, බිංගිරිය ප්‍රාදේශීය  ලේකම් කොට්ටාශයේ, විලත්තව ප්‍රදේශයේ පදිංච්ව සිටිති. පියා, මව හා දුව සහිත පවුලේ සමාජිකයින් 3 කි. පියා වෘත්තියෙන් ත්‍රීවීල්  රියදුරෙක් වන අතර අපස්මාර රොගයෙන් පෙලේ. ත්‍රීවීලරය වෙනත් අයෙකුට  අයත් එකකි. ඒ සදහා  දිනකට රු 500ක් ඔහුට ගෙවිය යුතුය. මව කඩයක ඇදුම් මැසිම කරයි. දුව උසස් පෙල  හදාරන  ශිෂ්‍යාව කි. ප්‍රදේශයේ  දුගීම පවුලට නිවසක් ඉදිකිරීමට රජය විසින් ලබදෙන රුපියල් ලක්ෂ  6ක මුදල මේ පවුලට ලබා ගැනීමට හැකිව ඇත. මව මෙසේ පැවසීය:

“නිවස හැදීමට ලක්ෂ  10ක පමන මුදලක් වැය වෙන නිසා ඒ මුදල අපිට වෙනම හොයාන්න වුනා. ඒ නිසා, ඒ මුදල සමෘද්ධි බැංකුවෙන් නයක් විදියට ගත්තා. සමෘද්ධි  සහනාධාර  වශයෙන්  රැපියල් 3000ක මුදලක් අපට ලැබුනා. බැංකුවේ නය වාරිකය රුපියල්  6000ක්.  සහනාධාර  වශයෙන්  ලැබෙන රුපියල් 3000ට අමතරව තව රුපියල්  3000 ක මුදලක් අතින් පියවන්න ඕන. එම රුපියල් 3000 ත්‍රීවීල්  එකෙන්  උපයන මුදල් වලිනුයි මම ඇදුම්  මැසීමෙන් හොයන මුදලිනුයි තමයි ගෙවුවෙ. දූ පුලියන්කර විදුහලේ උසස් පෙල  පංතියේ ජනමාධ්‍ය  විශය ධාරවේ ඉගෙන ගන්නවා.  වසරක් යනතුරුත් මීඩියා  විෂයට ගුරුවරයකු නොලැබුනු නිසා මාදම්පේ  ජාතික  පාසලට දූව ඇතුල් කලා. ඒත්  නැවත වරක් එයාව ඇතුල් කලේ  12 වසරට. ඒ නිසා දූට වසරක කාලයක් අහිමිවී වුනා. උසස් පෙල  පංති සදහා මාසෙකට රුපියල්  12000ක් පමන වැය කිරීමට සිදු වෙනවා. මුදල් සොයා ගැනීමට  නොහැකි නිසා දූ පංති යාම නතර කලා. මේච්චර අසරන වෙලා ඉන්න අපේ සමෘද්ධි  සහනාධාර⁣යත් දැන් කපා දමලා. දැන් අපි නය ගවාගන්නෙත් කෙහොම ද?,” මව හඬූ කදුලින් ප්‍රකාශ කර සිටියා ය.  

සමෘද්ධිය කපා අස්වැසුම  සහනාධාර  සැලැස්මට හිමිකම් ලැබී නැති  කුමාරසිංහ පවුලේ තත්ත්වය  මෙසේ ය.  කුමාරසිංහගේ පදිංචිය-බිංගිරිය ප්‍රාදේශීය  ලේකම් කොට්ඨාශයේ,  නිතලව ප්‍රදේශයේ ය. ඔහු තම කතාව මෙ⁣සේ ප්‍රකාශ කලේය: 

“මම ත්‍රීවීල් රියදුරෙක්. ත්‍රීවීල් එක හයර් කරල තමයි ජීවත්  වෙන්නෙ. ඊට අමතරව සහල් පිටි කරල කෑම සකස් කරන කඩ වලට දෙනව. මාගේ පවුලේ  සාමාජිකයින් 6යි. මගේ වැඩි මහල් දරුවා විශේෂ  අව්‍යශ්‍යතා  සහිත දරුවෙක්.  දැන් වයස අවුරුදු 22 ක්. එක ගැහැනු දරුවෙක් උසස් පෙල අධ්‍යාපනය හදාරනව.  අනික් දරු දෙන්න නිවුන්නු, ඉගෙනගන්නෙ  6 වසරෙ. මගේ බිරිද රැකියාවක් කරන්නෙ නැහැ. අපිට සමෘද්ධි  සහනාධාරය  ලැබුන.  රුපියල්  3000ක් ලැබුනා.  දැන් ඒක කපල.  අපි සමෘද්ධි බැංකුවෙන් රුපියල්  ලක්ෂ  2ක නයක් අරන් තියෙනවා. සමෘද්ධි  රැපියල් 3000 යොදා ගත්තෙත් ඒක ගෙවන්න. වාරිකයෙ ඉතිරි ටික හම්බ කරල තමයි ගෙව්වෙ.                      

දැන්  රටේ ආර්ථික  ප්‍රශ්න  නිසා හයර් ලැබෙනව අඩුයි. පිටි වෙලදාම 25%කින් විතර අඩු වෙලා. වියදම්  දරාගන්න බෑ. ලමුන්ගේ  පංති  ගාස්තු  වලට මාසෙකට රුපියල්  9000ක් විතර යනව. බස් ගාස්තු දවසකට රුපියල් 400ක්.  කෑමට යන වියදම්  කියල වැඩක් නැහැ.  නොකනව කිව්වොත් නිවැරදියි. මෙහෙම තියෙද්දි  තමයි සමෘද්ධි  සහනාධාර  කපල තියෙන්නෙ.  හේතුව  මම ත්‍රීවීල්  එකක් එලවන එක.  ත්‍රීවීල්  එකේ ටයර් දෙක දාගන්න රුපියල්  26000ක් ඕනෙ. ඉදිරියෙ මොනවද කරන්නෙ කියල හිතා ගන්න බැහැ. හුගක් දවස්වල  රෑට  නින්ද යන්නෙ නැහැ.”

අස්වැසුමට අභියාචනයක් ඉදිරිපත් කල මුත් ඒ පිලිබඳ විශ්වාසයක් නැතැයි ඔහු වැඩිදුරටත් කීවේය.

ප්‍රියන්‍ත, බිංගිරිය ප්‍රාදේශීය ලේකම්  කොට්ටාශයය්, නිතලව, දඹුවවත්ත ප්‍රදේශයේ වාසය කරයි. ඔහුගේ පවුලට සමෘද්ධිය ද, අස්වැසුම ද දෙකම අහිමි කරනු ලැබ ඇත.  ඔහු මෙසේ ප්‍රකාශ  කලේය:

priyantha
ප්‍රියන්‍තගේ නිවස

“මගේ රැකියාව වාහන අලුත් වැඩියා කරන එක. ගරාජ්  එක තියෙන්නෙ  ගෙදරමයි. තනියෙන් වැඩ කරන්නෙ. ගොලයො දාගෙන වැඩ කරන්න තරම් ආදායමක්  නැහැ. මට දරුවො තුන්  දෙනෙක් ඉන්නවා. එක් කෙනෙක් 4  වසරේ. තවත් එක්කෙනෙක් පෙර පාසල් යනව. බාලම දුවට අවුරුදු 2 යි. තුන් දෙනාම  ගැහැනු දරුවො. ඉන්න ඉඩම මට අයිති එකක් නෙවෙයි. මගේ ඥාතියෙකුගේ. බිරිඳ රැකියාවක් කරන්නේ නැහැ.  මට සමෘද්ධි සහනාධාර ලැබුනා රුපියල් 3500ක්.  ඒකෙන්  රුපියල්  500 ක්  රක්ෂණ  සහ සුභසාධන වලට කැපෙනව. මම ගේ හදන්න රු 100, 000ක් සමෘද්ධි  බැංකුවෙන්  නය අරගෙන තියෙනව. ඒ ණය වාරිකය ගෙව්වෙත්  සහනාධාර  3000න් තමයි. ගරාජ්  එකෙන් ලැබෙන ආදායම  හැර වෙනත් ආදායමක්  මට නැහැ. ගරාජ් එකෙනෙනුත් ලැබෙන ආදායම  හොදටම අඩුවෙලා. මේ සැරේ මට ලැබුනු සමෘද්ධි සහනාධාර  මුදලත් කපල. සමෘද්ධි බැංකුවෙන් ගත්තු නයත් දැන් අතින් ගෙවන්න වෙලා. ගමේ නය දෙන  සුභසාධන සමිතියෙනුත් නය අරන් තියෙනව. ගේ හදල ඉවරත් නැහැ. ලමයගෙ ශිෂ්‍යත්ව පංතියට මාසෙකට රුපියල් 6000ක්  විතර යනව. මෙහෙම තියෙද්දි තමයි මගේ සමෘද්ධි  සහනාධාර  කැපුවෙ. ජීවිතේ  අන්තිම දුෂ්කර තත්ත්වෙකට පත්වෙලා ඉන්නෙ. මොකද කරන්නෙ කියල හිතා ගන්නවත් බැහැ. ගරාජ්  එකක් කරන නිසා තමයි මගේ සහනාධාර  කැපුවෙ. බලන්න ආපු මිනිස්සුන්ට [අස්වැසුම සමීක්ෂකයන්ට] මම පත්වෙලා  ඉන්න තත්ත්වය කිවුව. ඒත් වැඩක් වෙලා නැහැ. අම්ම, තාත්තා  වෙනම ඉන්නෙ. ඒ අයටත් රැකියාවක් නැහැ. ඒ අයගෙත් සහනාධාර  කපල. අභියාචනයක්  දැම්මා ඒත් විශ්වාසය ක් නැහැ.”

බලපිටිය ප්‍රාදේශීයට අයත් පරගහතොට ගමේ ජීවත්වන ජයසේකර සමෘද්ධි සහනාධාරය ලැබු දුගී පෙදරේරුවෙකි. මෙවර අස්වැසුම වැඩසටහන යටතේ ඔහු ලැබු සහනාධාරය අහිමි කොට ඇත. රැකියාව නිරතව සිටි කාලයේ සමෘද්ධිය ලැබු ඔහුට මෙවර සහනාධාරය අහිමි වී ඇත්තේ අසනීප තත්ත්වය නිසා වසර 3ක සිට රැකියාවක් නොකරන තත්ත්වයේදී ය. ඔහුගේ දුක් ගැනවිල්ල මෙසේය: 

“දරුවන් විවාහ වෙලා අපෙන්  ඈත් වෙලා ඉන්නෙ. ඒ අයගෙ දරුවන්  නඩත්තු කරන කොට එයාලට අපට උදව්වක් කරන්න අමාරුයි. මගේ බිරිඳ ගොඩාක් කාලයක ඉඳල ආතරයිටීස් රෝගය හැදිල ඉන්නෙ. ඒ නිසා එයාට කුලි වැඩකටවත් යන්න බෑ.”

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, බෙහෙත්  දිනපතා මිල වැඩිවීම ගැන ජයසේකර පැවසුවේ, “අතට හම්බෙන සොච්චම් මුදලින්  මිල වැඩි වෙන විදියට දේවල් ගන්න තියා හිතන්නවත් බැහැ. අපි නොකා නොබී තමයි ජීවත් වෙන්නෙ.”

පරගහතොට ප්‍රදේශයේ ම 75හැවිරිදි සෝමාවතී ද  තමන් මුහුන දෙන දුෂ්කර ජීවන කොන්දේසි හෙලි කලාය: 

“මහත්තයා මගෙන් ඈත් වෙලා. මට දරුවො නැහැ. ගෙවල්වල කුලී වැඩක් කරලා තමයි ජීවත් වෙන්නෙ. අපි දැන් වයස නිසා එහෙම වැඩක් හොයා ගන්න අමාරුයි.”

කලින් ඇයට සමෘද්ධිය ලැබුනු නිසා යම් සහනයක් ලැබුනු බව සදහන් කල සෝමාවතී, එකී සහනය කපා හැරීයේ ඇයි ද කියා හිතාගන්න බැහැයි පැවසුවාය.

“අපි වගේ අයට සහනාධාර නැත්නම් කාටද දෙන්න ඕන ?”, ඇය ප්‍රශ්න කලාය.

සමෘද්ධිය හා අස්වැසුම අහිමි කරනු ලැබූවෝ  ‘ද සෝෂලස්ට්’ වෙබ් අඩවියට කතා කරති Read More »

Scroll to Top