Imperialism

IMG 1848

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති —2 කොටස

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 9  දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි. 

මෙය මෙම ලිපි මාලාවේ දෙවන සහ අවසාන කොටසයි. පළමු කොටස කියවන්න.

යුරෝපා සංගමය (EU – European Union), අප්‍රිකානු රටවල් සමඟ අමුද්‍රව්‍ය සහ සැපයුම් දාම පිළිබඳ මූලෝපායික හවුල්කාරිත්ව මාලාවකට ද අත්සන් තබා ඇත.

2022 දී බ්‍රසල්ස් [යුරෝපා සංගමය], දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (rare earths), ලිතියම් සහ පුනර්ජනනීය හයිඩ්‍රජන් ආවරණය වන පරිදි නැමීබියාව සමඟ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබීය. තඹ සහ කොබෝල්ට් නිස්සාරණය සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා පුළුල් ආයෝජන ඇතුළත් කරමින් 2023 දී සැම්බියාව සමඟ වඩාත් පුළුල් අවබෝධතා ගිවිසුමකට එළඹෙන ලදී. ඩිජිටල් උපකරණ සඳහා ප්‍රධාන සංරචකයක් වන කොබෝල්ට් ලොව විශාලතම ප්‍රමාණයෙන් නිස්සාරණය කරන කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC – Democratic Republic of Congo) සමඟ මූලෝපායික හවුල්කාරිත්වයක් එම වසරේම ඇති කර ගන්නා ලදී.

IMG 1847
බෙන්ගුවෙලා (Benguela) දුම්රිය මාර්ගයේ සිතියම, කොංගෝ-කින්ෂාසා සහ සැම්බියාවේ දුම්රිය මාර්ග සමඟ සම්බන්ධ වන අයුරු [ඡායාරූපය: Hallel / CC BY-SA 4.0]

ලෝක වෙළඳපොළට අපනයනය කිරීම සඳහා ඇන්ගෝලාව හරහා අත්ලාන්තික් වෙරළ තීරයට DRC සහ සැම්බියාවෙන් අමුද්‍රව්‍ය ප්‍රවාහනය කිරීමට පහසුකම් සලසන ලොබිටෝ කොරිඩෝව (Lobito Corridor) පුළුල් කිරීමට යුරෝපා සංගමයට අවශ්‍ය වී ඇත. යුරෝපීය ආයෝජන බැංකුව (European Investment Bank) සහ පෞද්ගලික ආයතන විසින් අරමුදල් සපයනු ලබන මෙම යටිතල පහසුකම්, කලාපය තුළ චීන සහ එක්සත් ජනපද (US) බලපෑම සෘජුවම දුර්වල කිරීම අරමුණු කර ගත්තකි.

ඇමරිකා මහද්වීපය තුළ, මෙර්කෝසූර් (Mercosur) වෙළඳ ගිවිසුම මඟින් යුරෝපා සංගමය සහ තීරණාත්මක ඛනිජ (critical minerals) ලබා ගැනීමේ එහි වැදගත්ම හවුල්කරුවන් දෙදෙනෙකු වන ආර්ජන්ටිනාව සහ බ්‍රසීලය අතර ආර්ථික සබඳතා ශක්තිමත් කරයි. ආර්ජන්ටිනාව සමඟ එක්ව “ලිතියම් ත්‍රිකෝණයේ” (lithium triangle) කොටස්කරුවෙකු වන චිලී රාජ්‍යය, 2024 දී බ්‍රසල්ස් සමඟ වෙනම නිදහස් වෙළඳ ගිවිසුමකට (free trade agreement) එළඹුණි.

තවත් උතුරට වන්නට, සැලකිය යුතු ලෙස ප්‍රසාරණය වීමේ හැකියාවක් සහිත, තීරණාත්මක ඛනිජ සහ ස්වාභාවික වායු (natural gas) සැපයුම්කරුවෙකු ලෙස කැනඩාව සලකනු ලැබේ. කැනඩාව යුරෝපීය බලවතුන් සමඟ සබඳතා ගැඹුරු කර ගැනීමට උනන්දු වෙයි. ට්‍රම්ප් කැනඩාව 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට තම අභිප්‍රාය ප්‍රකාශ කර ඇති අතර, එක්සත් ජනපද වෙළඳපොළ මත දැඩි ලෙස රඳා පවතින එහි ආර්ථිකය කඩාකප්පල් කරන බවට තර්ජනය කර ඇත.

මෑතකදී යෙරෙවන්හි (Yerevan) පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජා (EPC – European Political Community) සමුළුවට එවැනි රැස්වීමකට සහභාගී වූ පළමු යුරෝපීය නොවන රාජ්‍ය නායකයා ලෙස කැනඩා අගමැති මාර්ක් කාර්නි සහභාගී වීම, සම්ප්‍රදායික අත්ලාන්තික් සාගරය හරහා සබඳතාවල (transatlantic relations) දරුණු බිඳවැටීම සහ වොෂින්ටනයේ තර්ජනවලට ප්‍රතිතුලනයක් (counterweight) ලෙස යුරෝපය සමඟ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට කැනඩාවට ඇති උවමනාව පෙන්නුම් කළේය.

අමුද්‍රව්‍ය සහ ප්‍රතිසන්නද්ධකරණය

අමුද්‍රව්‍ය සහ වාණිජ වෙළඳපොළවල් සුරක්ෂිත කර ගැනීම සඳහා යුරෝපීය අධිරාජ්‍යවාදීන් ගේ ගෝලීය පීරා යෑම, තම ප්‍රතිවාදීන්ට එරෙහිව තම අවශ්‍යතා පැටවීමට සමත්, සටනට සූදානම් මිලිටරි බලකායක් අවශ්‍ය වේ. යුරෝපීය බලවතුන් තම මිලිටරි යන්ත්‍ර සඳහා යුරෝ බිලියන සිය ගණනක් වැය කරති. මේ ක්‍රියාදාමයේ සුවිශේෂිත තත්වයක පසුවන ජර්මනිය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාපිත ණය සීමාවන්ගෙන් මිලිටරි වියදම් නිදහස් කිරීම සඳහා තම මූලික නීතිය (Basic Law) සංශෝධනය කර ඇති අතර, එමඟින් හමුදාවට සහ අදාළ යටිතල පහසුකම් සඳහා අරමුදල් සැපයීමට යුරෝ ට්‍රිලියන 1 ක [ලංකා රුපියල් කෝටි කෝටි 3.9 ක්] ණය ලබා ගැනීමට එයට හැකි වී තිබේ. යුරෝපා සංගමය මිලිටරි ආයෝජන (military investments) සඳහා යුරෝ බිලියන 800 ක් වෙන් කර ඇත.

නූතන යුද යන්ත්‍රයක් තැනීමට අවශ්‍ය ද්‍රව්‍ය ලබා ගැනීමට යුරෝපීය අධිරාජ්‍යවාදීන් අපොහොසත් වුවහොත් මෙම මුදල්වලින් ඇති පලක් නැත. එක් ඇස්තමේන්තුවකට අනුව, එක්සත් ජනපදයේ නිෂ්පාදිත සෑම F-35 ප්‍රහාරක ජෙට් යානයක්ම නිපදවීම සඳහා දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය කිලෝග්‍රෑම් 400 ක් අවශ්‍ය වේ. යුධ ටැංකි, සන්නද්ධ වාහන සහ රේඩාර් පද්ධති සියල්ලම තීරණාත්මක ඛනිජවල ප්‍රධාන යෙදවුම් (inputs) මත රඳා පවතින අතර, යුරෝපා සංගම් රටවල් දැනට ඒවා ලබා ගන්නේ චීනයෙන්, රුසියාවෙන් හෝ ඔවුන්ගේ සෘජු පාලනය යටතේ නොමැති වෙනත් රටවලිනි. ප්‍රධාන යුධ ටැංකියක් (main battle tank – MBT) නිෂ්පාදනය කිරීමට අවශ්‍ය යෙදවුම් විස්තර කරමින් මූලෝපායික අධ්‍යයන සඳහා වන ජාත්‍යන්තර ආයතනය (IISS – International Institute for Strategic Studies) විසින් කරන ලද අධ්‍යයනයක මෙසේ සඳහන් වේ:

“නූතන ප්‍රධාන යුධ ටැංකියක (MBT) හැකියාව දැන් විනිශ්චය කරනු ලබන්නේ එහි සංවේදක සහ ඔප්ට්‍රොනික්ස් (optronics-විද්‍යුත්-ආලෝක තාක්ෂණය) වල නවීන-සංකීර්ණ කුසලතාවයන් මෙන්ම වෙඩි බලය, ආරක්ෂාව සහ සංචලතාව වැනි සම්ප්‍රදායික මිතිකයන් (මිනුම් දඬු) ගෙනි. මේ සම්බන්ධයෙන් ගත් කල, වඩා හොඳ සංවේදක මඟින් යුද පිටියේ වඩා හොඳ දැනුවත්භාවයක් (battlefield awareness) ලබා දෙන අතර, එමඟින් ඉලක්ක සොයාගැනීමේ, හඳුනාගැනීමේ සහ තහවුරු කරගැනීමේ (identification) පරාසයන් පුළුල් කිරීමට කාර්ය මණ්ඩලයට හැකියාව ලැබේ. සංවේදක වඩ වඩාත් සංකීර්ණ වන අතර තීරණාත්මක ද්‍රව්‍ය මාලාවක් මත රඳා පවතී. මූලික වීදුරු සහ දර්පණ සඳහා සිලිකන් සහ සෙරමික් භාවිතා කරන අතර, අඩු දෘශ්‍යතා සහිත පරිසරයන්හි ප්‍රධාන මෙවලම් වන අධෝරක්ත (IR – infrared) සහ රාත්‍රී දර්ශන (NV – night-vision) පද්ධතිවල රසදිය (mercury), කැඩ්මියම් ටෙලුරයිඩ් (cadmium telluride), ජර්මේනියම් (germanium), තඹ සහ ටැන්ටලම් (tantalum) අඩංගු විය හැක. ලේසර් දුර මනින උපකරණ (laser rangefinders) සහ වෙඩි කඳ යොමු සංවේදක (muzzle reference sensors) නූතන ටැංකිවල පොදු ලක්ෂණ වන අතර, ඉලක්කයක් දෘශ්‍යමය වශයෙන් හඳුනාගත් පසු වෙඩි තැබීමේ නිවැරදි කෝණ/විසඳුම් (firing solutions) සකස් කිරීම වේගවත් කිරීමට ඒවා උපකාරී වේ. මේවා සඳහා නියෝඩියමියම්-ඉට්‍රියම්-ඇලුමිනියම් ගානට් (neodymium–ytrium–aluminium garnet) සහ ඉන්ඩියම් (indium) හා අර්බියම් (erbium) භාවිතා කළ හැක. එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනයට (USGS – US Geological Survey) අනුව, නියෝඩියමියම් සහ ඉට්‍රියම් යනු දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs – Rare Earth Elements) වන අතර ඉට්‍රියම් 94% ක්ම සපයනු ලබන්නේ චීනයෙනි.”

MBT සන්නිවේදන පද්ධති, “තඹ සහ ගැලියම් ආසනයිඩ් (gallium arsenide), ගැලියම් නයිට්‍රයිඩ් (gallium nitride), බෙරිලියම් (beryllium), සිලිකන්, රිදී සහ ඉන්ඩියම් වැනි අනෙකුත් තීරණාත්මක ද්‍රව්‍ය” මත රඳා පවතින බව එහි සඳහන් වේ. ටැංකියේ ප්‍රධාන තුවක්කුව සහ සන්නාහය (armour) සම්බන්ධයෙන් ගත් කල, ඒවාට “ඇන්ටිමනි (antimony), කාබන් (carbon), මැංගනීස් මිශ්‍ර ලෝහ (manganese alloys), ක්‍රෝමියම් (chromium), නිකල් (nickel), මොලිබ්ඩිනම් (molybdenum) සහ වැනේඩියම් (vanadium)” අවශ්‍ය වන අතර පතොරම් (ammunition) සහ සන්නාහය ඒවායේ දෘඪතාව හේතුවෙන් ටංස්ටන් (tungsten) සහ ටයිටේනියම් (titanium) මත රඳා පවතී.

IMG 1848
2023 පෙබරවාරි 1 වන දින ජර්මනියේ ඔගස්ටස්ඩෝෆ්හි ෆීල්ඩ් මාර්ෂල් රොමෙල් බැරැක්කයේ බුන්ඩෙස්වෙහ්ර් (Bundeswehr – ජර්මානු සන්නද්ධ හමුදා) ටැංකි බලඇණිය 203 වෙත ජර්මානු ආරක්ෂක අමාත්‍ය බොරිස් පිස්ටෝරියස්ගේ සංචාරයකදී ලෙපර්ඩ් 2 (Leopard 2) ටැංකියක් දක්නට ලැබෙන අයුරු. [AP ඡායාරූපය/මාටින් මේස්නර්]

IISS අධ්‍යයනය නාවික සහ ගුවන් ක්ෂේත්‍රවල මිලිටරි උපකරණ සඳහා ද මෙවැනිම විස්තරයකට යයි. එහි හැඳින්වීමේ සඳහන් වන පරිදි: “බාහිර සැපයුම් මත, සහ විශේෂයෙන් බොහෝ විට එක් ස්ථානයක පමණක් සංකේන්ද්‍රණය වී ඇති තීරණාත්මක අමුද්‍රව්‍ය මත යුරෝපයේ ඉහළ යැපීම, යුරෝපීය ආරක්ෂක/මිලිටරි නිෂ්පාදනය (defence manufacturing) සඳහා සැලකිය යුතු සහ වර්ධනය වන අවදානමක් පෙන්නුම් කරයි.”

වෙළඳ හවුල්වල සිට ලෝක යුද්ධය දක්වා, සහ කම්කරු පන්තියේ සමාජවාදී ප්‍රතිචාරය

ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සුරක්ෂිත කර ගැනීමට සහ වෙළඳපොළවල් පුළුල් කිරීම සදහා යුරෝපා සංගමය දරන උත්සාහයන් සිදුවන්නේ ගෝලීය ධනේශ්වර අර්බුදයක් මැද ය. එහි ප්‍රතිවිරෝධතා දැනටමත් තුන්වන ලෝක යුද්ධයක මුල් අවධියට මඟ පාදා ඇති අතර, ලෝකය නැවත බෙදා ගැනීමක් සඳහා ප්‍රධාන බලවතුන් පටලවා ඇත. ඕනෑම එක් බලවතෙකු තම සැපයුම් දාමයන් ස්ථාවර කිරීමට දරන උත්සාහය එහි ප්‍රතිවාදීන් සමඟ නව ආතතීන් ඇති කරයි. සියලුම බලවතුන් එකවර එසේ කිරීමට දරන උත්සාහය අනිවාර්යයෙන්ම අධිරාජ්‍යවාදී යුද්ධයක් දක්වා උත්සන්න විය යුතුය. යුරෝපය තුළ, යුරෝපා සංගමය යනු තනි බලවතෙකු නොව, ප්‍රංශය සහ ජර්මනිය අතර නැවත නැවතත් ආතතීන් ඇවිලීමෙන් පෙන්නුම් කරන පරිදි, අවශ්‍යතා එකිනෙකට වෙනස් වන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ සන්ධානයක් වීම මඟින්, මෙම තත්ත්වය තවත් සංකීර්ණ වෙයි.

මෙම ගැටුම්කාරී න්‍යාය පත්‍ර දැනටමත් යුක්රේනය තුළ පුපුරා ගොස් ඇති අතර, එහිදී එක්සත් ජනපදය සහ නේටෝව ක්‍රමානුකූලව යුක්රේනය තුළ රුසියාව සමඟ යුද්ධයක් අවුලුවාලීය. යුරෝපීය බලවතුන් මඟහරිමින් රුසියාව සමඟ එකඟතාවයකට පැමිණීමට වොෂින්ටනය දරන උත්සාහයේ කොටසක් ලෙස, ට්‍රම්ප් පසුගිය වසරේ යුක්රේනය සමඟ රටේ තීරණාත්මක ඛනිජ සූරාකෑම සදහා– යුරෝපීය අධිරාජ්‍යවාදීන් බැහැර කරන– ද්විපාර්ශ්වික ගිවිසුමකට එළඹුණි.

දේශගුණික විපර්යාස හේතුවෙන් ප්‍රවේශය සදහා විවෘත වන ආක්ටික් මුහුදු මාර්ගවල  හදවතේ ප්‍රධාන උපායමාර්ගික ස්ථානයක් හිමිකරගෙන සිටින, අමුද්‍රව්‍යවලින් පොහොසත් ඩෙන්මාර්ක ස්වයං පාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තය ඈඳා ගැනීමට නැවත නැවතත් තර්ජනය කරමින් ට්‍රම්ප් පසුගිය වසර පුරා යුරෝපීය බලවතුන් සමඟ ආතතීන් ගැඹුරු කළේය. එක්සත් ජනපද සොල්දාදුවන් සඳහා ස්ථිර කඳවුරු සුරක්ෂිත කර ගැනීමට සහ දූපතේ ඕනෑම ප්‍රධාන ආයෝජන තීරණයක් සම්බන්ධයෙන් වොෂින්ටනයට නිෂේධ බලය ලබා ගැනීමට එක්සත් ජනපදය ඩෙන්මාර්කය සහ ග්‍රීන්ලන්තය සමඟ සාකච්ඡා පවත්වමින් සිටින බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත මැයි මාසයේදී වාර්තා කළේය.

උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ග්‍රීන්ලන්තයේ එක්සත් ජනපද මිලිටරියේ පිටුෆික් අභ්‍යවකාශ කඳවුරේදී අදහස් දක්වන අතර, බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (වමේ) සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් බලා සිටිති, 2025 මාර්තු 28 සිකුරාදා. [AP ඡායාරූපය/ජිම් වොට්සන්

IMG 1849
උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් ග්‍රීන්ලන්තයේ එක්සත් ජනපද මිලිටරියේ පිටුෆික් අභ්‍යවකාශ කඳවුරේදී අදහස් දක්වන අතර, බලශක්ති ලේකම් ක්‍රිස් රයිට් (වමේ) සහ ධවල මන්දිරයේ ජාතික ආරක්ෂක උපදේශක මයික් වෝල්ට්ස් බලා සිටිති, 2025 මාර්තු 28 සිකුරාදා. [AP ඡායාරූපය/ජිම් වොට්සන්]

අධිරාජ්‍යවාදීන් අතර ප්‍රතිවිරෝධතා දැඩි වීම සහ ගැටුම්කාරී කන්ඩායම් විවෘතව නැවත ඉස්මතු වීම, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති සහ එය පෝෂණය කළ 1930 ගණන්වල තරඟකාරී වෙළඳ කාණ්ඩ ගැසීම් වලට සමාන වේ. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI – International Committee of the Fourth International) මෙම ක්‍රියාවලියේ මූලාරම්භය එහි වර්ධනයේ වඩාත් මුල් අවධියකදී, එනම් 1990 ගණන්වල මුල් භාගයේදී, එක්සත් ජනපදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය  මත පදනම් වූ පශ්චාත් යුද සමතුලිතතාවය බිඳවැටීමේදී හඳුනා ගත්තේය. එම වසරේ අගභාගයේදී බර්ලිනයේ කැඳවන ලද අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත්විජිතවාදයට එරෙහි ජාත්‍යන්තර සම්මේලනයක් සඳහා කැඳවුම් කරමින් ICFI එහි 1991 මැයි දින ප්‍රකාශනයේ මෙසේ ලිවීය:

“දෙවන ලෝක යුද්ධය අවසන් වීමෙන් පසු ජාත්‍යන්තර සබඳතාවල මෙවැනි අවිනිශ්චිතතාවයක් පැවතී නැත. සීතල යුද්ධය (Cold War) සමයේ ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රිකභාවය ගලා ගිය පෙර දැකිය හැකි නාලිකා සිදුවීම් විසින් අභිබවා ගොස් ඇත. පැරණි සන්ධානයන්  බිඳ වැටෙමින් පවතී; තවද නව සන්ධානයන් තවමත් ගොඩනැගීමේ ක්‍රියාවලියේ පවතී. ලෝක ආධිපත්‍යය සඳහා ප්‍රබල අන්තර්ජාතික සංගතවල අරගලය ජාත්‍යන්තර කටයුතුවලට බිහිසුණු ආතතියක් ලබා දෙයි… ‘මිතුරන්’ සහ ‘සතුරන්’ පෙළගැස්වීම තවමත් බොහෝ සෙයින් බලාපොරොත්තු නොවූ ස්වරූපයක් ගත හැකිය. නමුත් අධිරාජ්‍යවාදයේ  ස්වභාවයම, අවශ්‍යතාවල ගැටුම අනිවාර්යයෙන්ම යුද්ධය දෙසට ගමන් කරයි.

වසර තිස්පහකට පසු, ලෝක යුද්ධය තවදුරටත් අනාගත වියහැකියාවක් (prospect) නොව, කම්කරුවන්ගේ ඇස් පනාපිට දිග හැරෙන බිහිසුණු ක්‍රියාවලියකි. යුරෝපීය බලවතුන් එහි ආරම්භය ගැන තමන්ගෙන් සමග සාකච්ඡා  නොකකල බවට මැසිවිලි නගන අතරේම අනුමත කළ ඉරානයට එරෙහි නීතිවිරෝධී එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය, සෝවියට් සංගමය බිඳවැටීම දක්වා දිවෙන සමස්ත ඓතිහාසික යුගයක උච්චතම අවස්ථාව විය. නමුත් අඛණ්ඩ යුද මාලාවක් හරහා මිලිටරි බලය යෙදවීමෙන් තම ආර්ථික පරිහානිය පියවා ගැනීමට ඇමරිකානු අධිරාජ්‍යවාදය දැරූ උත්සාහය අසාර්ථක වී ඇත.

ඉරානය සහ පුළුල් මැදපෙරදිග වේගයෙන් උත්සන්න වන තුන්වන ලෝක යුද්ධයක එක් පෙරමුණක් වන අතර, එම ලෝක යුද්ධය, රුසියාවට එරෙහි යුද්ධය සහ ඉන්දු-පැසිෆික් කලාපයේ චීනය සමඟ යුද්ධය සඳහා වන සූදානම ද ඇතුළත් කර ගනී. වෙළඳපොළවල්, ස්වභාවික සම්පත් සහ ලාභ ශ්‍රමය සඳහා වන ගෝලීය පොරබැදීමේදී යුරෝපීය බලවතුන් — මිලිටරි සැපයුම් සහ බුද්ධි තොරතුරු සඳහා එක්සත් ජනපදය මත බෙහෙවින් රඳා පවතින බැවින් — යම් මට්ටමක අත්ලාන්තික් සාගරයෙන් හරහා සහයෝගීතාවයක් පවත්වා ගැනීමට කටයුතු කරන අතරම, මෙම හිටපු මිතුරන් (erstwhile allies) ගෝලීය යුද්ධයේ සියලු පෙරමුණු වලදී එකිනෙකා ප්‍රතිවාදීන් ලෙස දැක ගනිති.

ලෙනින් පළමු ලෝක යුද්ධය සහ රුසියානු විප්ලවය විසින් විවෘත කරන ලද ඓතිහාසික අවධිය යුද්ධ සහ විප්ලවයන්ගේ යුගයක් ලෙස විස්තර කළේය. මන්ද, ධනවාදයේ ප්‍රතිවිරෝධතා අධිරාජ්‍යවාදී ලෝක යුද්ධයක් හෝ සමාජවාදී විප්ලවයක් හරහා මිස විසඳිය නොහැකි මට්ටමට මුහුකුරා ගොස් තිබූ බැවිනි. මෙම යුගය පිළිබඳ එම අවබෝධය ඇතිවය ICFI හි 1991 මැයි දින ප්‍රකාශය අවධාරණය කළේ මෙසේය:

“ඓතිහාසික අත්දැකීම් පැහැදිලිවම සාක්ෂි දරන්නේ ප්‍රශ්නය තීරණය කරන්නේ ධනපති දේශපාලඥයන්ගේ සදාචාරාත්මක මනස්තාප (moral qualms) හෝ ආත්මීය භීතීන් නොව, අධිරාජ්‍යවාදයේ වෛෂයික ප්‍රතිවිරෝධතා බවයි. තවත් ලෝක යුද්ධයක් වැලැක්විය හැකි ලොව එකම බලවේගය විප්ලවවාදී කම්කරු පන්තියයි.”

යුරෝපයේ කම්කරුවන්ගේ කර්තව්‍යය වන්නේ යුද්ධයට, ප්‍රතිසන්නද්ධකරණ අයවැයට, සමාජ කොන්දේසි වලට එල්ල කරන ප්‍රහාරවලට සහ ධනේශ්වර තරඟකාරිත්වයේ සමස්ත තර්කනයට එරෙහි වන ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි. එමෙන්ම එය එක්සත් ජනපදය, රුසියාව, චීනය, යුක්රේනය, ඉන්දියාව, අප්‍රිකාව සහ ලොව පුරා සිටින කම්කරුවන් සමඟ සවිඥානික එකමුතුවකින් යුතුව සිදු කිරීමයි. සියලුම රටවල කම්කරුවන් සමාජයේ සමාජවාදී පරිවර්තනයක් සඳහා සටන් කළ යුතුය: ලාභය සඳහා වන නිෂ්පාදනය වෙනුවට මානව අවශ්‍යතා සඳහා වන නිෂ්පාදනය ආදේශ කිරීම සහ ජාතික රාජ්‍ය පද්ධතිය වෙනුවට සමාජවාදී සමූහාණ්ඩුවල සහෝදර සංගමයක් ආදේශ කිරීමයි.

මෙය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ වැඩපිළිවෙළයි. වත්මන් සමාජ ක්‍රමයේ (social order) සමස්ත තර්කනය මනුෂ්‍ය වර්ගයා තල්ලු කරමින් සිටින ව්‍යසනය  වැලැක්වීමට වෙනත් මඟක් නැත.

සමාප්තයි.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති —2 කොටස Read More »

Minerals race

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 8  දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි. 

මෙය කොටස් දෙකකින් යුත් ලිපි මාලාවක පළමු කොටසයි. දෙවන කොටස කියවන්න.

යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් පසුගිය වසර කිහිපය තිස්සේ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා විහිදෙන දුරදිග යන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්වයන් මාලාවකට එළඹ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරයට පැමිණීම සහ “ඇමරිකාව පළමුව” යන ගෝලීය වෙළඳ යුද්ධය වැලඳ ගැනීම මෙම ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබේ.

මැයි මාසය ආරම්භයේදී, යුරෝපා සංගමය (EU) සහ මර්කෝසූර් (Mercosur) වෙළඳ හවුල අතර දිගු කලක් තිස්සේ සාකච්ඡා කරන ලද ගිවිසුම නිල වශයෙන් බලාත්මක විය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සහ ලතින් ඇමරිකානු රටවල් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ අතර ඇති කරගත් මෙම ගිවිසුම, වෙළඳපල, අමුද්‍රව්‍ය සහ ආයෝජන අවස්ථා සඳහා ප්‍රවේශය ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර පවතින අරගලය තීව්‍ර වීම මනාව සංකේතවත් කරයි.

IMG 1845
රොටර්ඩෑම් හි කන්ටේනර් පර්යන්තයක මිනිසුන් රහිත ස්වයංක්‍රීය නියෙමු (guided) වාහනයකට කන්ටේනරයක් පටවන ආකාරය [ඡායාරූපය: Quistnix / CC BY 1.0]

මර්කෝසූර් හවුල සහ ඉන්දියාව, මෙක්සිකෝව මෙන්ම නවසීලන්තය සමඟ ඇති කරගත් එවැනිම ගිවිසුම් නොවරදවාම “නිදහස් වෙළඳ ගිවිසුම්” ලෙස නම් කරනු ලැබේ. එහෙත් ඒවායින් නිරූපණය වන්නේ තම ප්‍රතිවාදීන්ගේ වියදමෙන් යුරෝපීය ප්‍රාග්ධනය සඳහා ප්‍රධාන වෙළඳපලවල් සහ සැපයුම් දාමයන් අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහයකි. එමෙන්ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය මත පදනම්ව දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද ගෝලීය වෙළඳ විධිවිධාන තවදුරටත් බිඳවැටීමක් ද ඉන් අදහස් කෙරේ. වර්ධනය වන භූ-දේශපාලනික ගැටුම්කාරී තත්ත්වයන් යටතේ, ලෝක ධනවාදය තරඟකාරී කන්ඩායම්වලට බෙදී යමින් පවතින අතර, සෑම කන්ඩායමක්ම අනෙකාගේ වියදමෙන් වෙළඳපල, සම්පත් සහ උපායමාර්ගික වාසි තහවුරු කර ගැනීමට උත්සාහ කරති.

බ්‍රසල්ස්, බර්ලින් සහ පැරිස්, බුවනෝස් අයර්ස් සිට මුම්බායි දක්වා යුරෝපීය ප්‍රාග්ධනය සඳහා වෙළඳපල ප්‍රවේශය ඉල්ලා සිටින අතර, වොෂින්ටනයේ “ඇමරිකාව පළමුව” යන න්‍යාය පත්‍රය පදනම් වී ඇත්තේ ඇමරිකානු මහාද්වීපයේ ආර්ථික ජීවිතයෙන් සියලුම “අර්ධගෝලීය නොවන” (non-hemispheric) ප්‍රතිවාදීන් බැහැර කිරීම මත ය. මෙම ප්‍රතිවාදී කන්ඩායම් දෙකම එකවර චීනයට එරෙහිව එල්ල වී ඇති අතර, චීනයේ ආර්ථික ව්‍යාප්තිය සහ වෙළඳාම මෙන්ම ආයෝජන වර්ධනය කිරීමට ගන්නා උත්සාහය, බීජිං පාලනය උතුරු ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ කොල්ලකාරී අභිලාෂයන්ට ප්‍රධාන තර්ජනයක් බවට පත් වී ඇත.

ඉරානයට එරෙහි එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නැටෝ (NATO) යුද්ධය, දිනෙන් දින උත්සන්න වන ලෝකය නැවත බෙදා ගැනීමේ තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් සනිටුහන් කරයි. යුරෝපා සංගමයේ ව්‍යාප්ත වන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්ව ජාලය විශ්ලේෂණය කළ යුත්තේ මෙම සන්දර්භය තුළ ය.

යුරෝපීය අධිරාජ්‍යවාදය හුදෙක් ආර්ථික න්‍යාය පත්‍රයක් පමණක් ලුහුබඳින්නේ නැත; වෙළඳපල, ශ්‍රම සංචිත, අමුද්‍රව්‍ය සහ භූ-උපායමාර්ගික බලපෑම් අත්පත් කර ගැනීම සඳහා තම ප්‍රතිවාදීන්ට එරෙහිව කුරිරු මිලිටරි බලයක් යෙදවිය හැකි වන පරිදි ඔවුහු උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටිති. මෙම ගමන, පශ්චාත් යුධ සමයේ වැඩි කාලයක් ආධිපත්‍යය දැරූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර අන්තර්- අත්ලාන්තික් සන්ධානය බිඳවැටීම වේගවත් කරමින් තිබේ.

යුරෝපය මුල් කරගත් වෙළඳ හවුලක් නිර්මාණය කිරීම

යුරෝපා සංගමයේ ආර්ථික කොල්ලකෑමේ සහ ලාභ ලබාගැනීමේ ගෝලීය මූලෝපායේ හදවතෙහි පවතින්නේ අනාගත කර්මාන්ත සහ ආක්‍රමණශීලී මිලිටරි මෙහෙයුම් යන දෙකම සඳහා තීරණාත්මක අමුද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීමේ මෙහෙයුමයි. 2024 දී බලාත්මක වූ තීරණාත්මක අමුද්‍රව්‍ය පනත (The Critical Raw Materials Act-CRMA), විශේෂයෙන්ම චීනය වැනි තනි සැපයුම්කරුවන් මත යැපීම අවම කිරීම සඳහා පැහැදිලි ඉලක්ක කෙටුම්පත් කරයි. ලොව පුරා සිටින අනෙකුත් සැපයුම්කරුවන් සමඟ මූලෝපායික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම, ඛනිජ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සහ දේශීය කැණීම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම යන කරුණුවල එකතුවක් මඟින් මෙය සාක්ෂාත් කර ගැනීමට එය අපේක්ෂා කරයි.

චීනය සැලකිය යුතු ප්‍රමාණයකින් තීරණාත්මක අමුද්‍රව්‍ය නිස්සාරණය නොකළද, වඩාත්ම වැදගත් මූලද්‍රව්‍ය සමහරක් පිරිපහදු කිරීම සහ සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් ආධිපත්‍යය දරයි. උදාහරණයක් ලෙස, විද්‍යුත් වාහන (EV) සඳහා බැටරි නිපදවීමට, ඩිජිටල් උපකරණ සහ අනෙකුත් අධි-තාක්‍ෂණික මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තුනක් වන ලෝකයේ බොහොමයක් මැංගනීස්, කොබෝල්ට් සහ මිනිරන් (ග්‍රැෆයිට්) පිරිපහදු කිරීමේ වගකීම දරන්නේ චීන පිරිපහදු මධ්‍යස්ථාන වේ. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය චීනය ලෝකයේ ශ්‍රම සූරාකෑමේ මධ්‍යස්ථානය (sweatshop) ලෙස ගොඩනැගීම සඳහා එහි බිලියන සිය ගණනක් ආයෝජනය කර ඇත.

2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

IMG 1846
2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

යුරෝපීය “තාක්‍ෂණික ස්වෛරීභාවය” සඳහා එනම්, එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් ස්වාධීනව විද්‍යුත් වාහන, පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම්, ස්මාර්ට්ෆෝන්, ඩිජිටල් යටිතල පහසුකම් සහ යුද්ධ කිරීම සඳහා වන උපකරණ නිෂ්පාදනය කිරීමේ හැකියාව සඳහා ලිතියම්, කොබෝල්ට්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs) සහ නිකල් වැනි ද්‍රව්‍ය කෙරෙහි සෘජු පාලනයක් තිබීම අත්‍යවශ්‍ය බවට වර්ධනය වන පිළිගැනීමක් CRMA පනතෙන් පිළිබිඹු වේ. යුරෝපා සංගම් කොමිසම සඳහන් කළේ, “බැටරි නිෂ්පාදනය සඳහා ලිතියම්, කොබෝල්ට් සහ නිකල් භාවිතා වේ; සූර්ය පැනල සඳහා ගැලියම් භාවිතා වේ; සුළං තාක්ෂණය සඳහා අමු බෝරෝන් භාවිතා වේ; අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල ටයිටේනියම් සහ ටංස්ටන් භාවිතා වේ” යනුවෙනි.

ඉදිරි දශක කිහිපය තුළ මෙම ද්‍රව්‍ය සමහරක් සඳහා ඇති ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමය 2024 දී පුරෝකථනය කළේ ලිතියම් සඳහා ඇති ඉල්ලුම 2030 වන විට 10 ගුණයකින් සහ 2040 වන විට 21 ගුණයකින් වැඩි වන අතර, එම කාලසීමාවන් තුළම දුර්ලභ පාංශු ලෝහ සඳහා ඇති ඉල්ලුම හය හෝ හත් ගුණයකින් ඉහළ යනු ඇති බවයි.

මෙයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා සංගමය සම්පත් සබඳතා පිළිබඳ ගෝලීය ජාලයක් පිහිටුවීමට උත්සාහ කරයි.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඕස්ට්‍රේලියාව කේන්ද්‍රීය ස්ථානයක් ගනී. 2024 දී, යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව සමඟ මූලෝපායික ඛනිජ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් ලිතියම්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය, මිනිරන්, මැංගනීස් සහ කොබෝල්ට් සැපයුම ඉහළ නැංවීමේ යුරෝපා සංගමයේ අවශ්‍යතාවය හඳුනා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවේ විශාල අමුද්‍රව්‍ය තැන්පතු වෙත ප්‍රවේශ වීම සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ මූල්‍ය ආධාර ලැබෙනු ඇති අතර, පතල් කැණීමේ ව්‍යාපෘති, අමුද්‍රව්‍ය සැකසීම සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා මූල්‍ය ආධාර සැපයීමට ඔවුන් 2025 අගභාගයේදී එකඟ විය.

මධ්‍යම ආසියාව යනු යුරෝපීය අධිරාජ්‍යවාදය එහි ස්වභාවික සම්පත් වෙනුවෙන් විනිවිදිමට අදිටන් කරගෙන සිටින තවත් එක් කලාපයක් වන අතර, එමඟින් යුරෝපා සංගමය, චීනයට, එක්සත් ජනපදයට සහ රුසියාවට එරෙහිව පෙළගැසෙයි. කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය වැනි රටවල් සතුව යුරේනියම්, තඹ සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍යවල (REEs) සැලකිය යුතු සංචිත පවතී. 2025 අප්‍රේල් මාසයේදී උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැති ප්‍රථම යුරෝපා සංගම්-මධ්‍යම ආසියානු සමුළුවේදී ද ඇතුළුව, මෙම කලාපය තුළ තම මැදිහත්වීම ගැඹුරු කිරීමට යුරෝපා සංගමය උත්සාහ කර ඇත. සමුළුවේ ප්‍රකාශය මඟින් යුරෝපා සංගමය සහ මධ්‍යම ආසියානු ජනරජයන් අතර “මූලෝපායික හවුල්කාරිත්වයක්” ඇති කිරීමට කැප වූ අතර, පසුව ඒකාබද්ධ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ සැලසුම් සහ රුසියාව මඟ හැර යාම සඳහා ප්‍රවාහන කොරිඩෝ පිහිටුවීම පිළිබඳ සැලසුම් ගෙනහැර දක්වන ලදී.

සාම්ප්‍රදායිකව රුසියාවේ සමීප මිත්‍රයෙකු වන ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි මෑතකදී පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජාවගේ සමුළුව, රුසියාව මඟහරිමින් මධ්‍යම ආසියාවේ සිට යුරෝපයට ගලා යන වෙළඳ ප්‍රවාහයන් සඳහා වන ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස එම රට පිහිටා තිබීම සමඟ බැඳී පැවතුනි. 2023 ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පැවැති යුද්ධයේදී අසර්බයිජානය විසින් නගෝර්නෝ-කරබාක් ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පසුව, අසර්බයිජානය තුර්කියෙන් වෙන් කරන ආර්මේනියානු භූමියේ සිහින් තීරුවක් වන සන්ගෙසුර් කපොල්ල (Zangezur Gap) හරහා ප්‍රවාහන කොරිඩෝවක් සංවර්ධනය කිරීමට එක්සත් ජනපදය මැදිහත් වූ අතර, එය ජාත්‍යන්තර සාමය සඳහා වන ට්‍රම්ප් මාර්ගය (Trump Route for International Peace) ලෙස නම් කර ඇත.

මතු සම්බන්ධයි.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස Read More »

IMG 1843

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි

බෙන් මැක්ග්‍රාත් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 23 දින “Japanese defense minister calls for end of “taboo” on nuclear weaponsයන හිසින් පළවූ බෙන් මැක්ග්‍රාත් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

IMG 1843
ෂින්ජිරෝ කොයිසුමි [AP Photo/Eugene Hoshiko, Pool]

ජපානයේ ආරක්ෂක අමාත්‍ය ෂින්ජිරෝ කොයිසුමි ජූලි 17 වන දින ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ, ජපානයට න්‍යෂ්ටික ආයුධ හඳුන්වා දීම පිළිබඳව ටෝකියෝව සාකච්ඡා කළ යුතු බවයි. දැනට ධුරයේ සිටින රජයේ සාමාජිකයෙකුගෙන් මෙවැනි අදහස් පළවීම දුර්ලභ වන අතර, චීනයට එරෙහිව ඇමරිකාව මෙහෙයවන යුද ව්‍යාපාරයේ කොටසක් ලෙස ටෝකියෝවේ වේගවත් වන ප්‍රතිසන්නද්ධ වීමේ (remilitarization) වැඩසටහන මෙයින් පෙන්නුම් කෙරේ.

ඔන්ලයින් වැඩසටහනක් වන ගෙන්රොන් ටීවී (Genron TV) වෙත සම්මුඛ සාකච්ඡාවක් දෙමින් කොයිසුමි ප්‍රකාශ කළේ, “මෙය ජපානයට සාකච්ඡා කිරීමට අපහසු විෂයයක් වුවද, අපට මගහැරිය නොහැකි එක් මාතෘකාවක් වන්නේ න්‍යෂ්ටික ආයුධයි” යනුවෙනි. මෙම අදහස් පළ වූයේ අන්ත-දක්ෂිණාංශික  ආරක්ෂක අමාත්‍යවරයා යුරෝපය බලා පිටත්ව යාමට ආසන්නව තිබියදීය. පැරිසිය සිය න්‍යෂ්ටික ආයුධ ගබඩාව  ඉහළ නැංවීමට සැලසුම් කරන අතරම, හෙල්සින්කි (ෆින්ලන්තය) මෑතකදී නේටෝ  න්‍යෂ්ටික ආයුධ එරට ස්ථානගත කිරීම පිළිබඳ තහනම ඉවත් කිරීම උපුටා දක්වමින්, ඔහු ප්‍රංශය සහ ෆින්ලන්තය යන රටවල් දෙකම අනුගමනය කළ යුතු උදාහරණ ලෙස පෙන්වා දුන්නේය.

පරමාණු බෝම්බ ප්‍රහාරයන්ගෙන් පීඩා විඳි එකම රට වන ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ සත්කාරකත්වය දැරීම (hosting) හෝ ලබා ගැනීම (acquire) “හදිසි අවස්ථාවකදී”  අත්‍යවශ්‍ය කරුණක් ලෙස කොයිසුමි ඉදිරිපත් කළේය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “මෙය සලකා බලන විට, ජපානය මුහුණ දී සිටින ආරක්ෂක පරිසරය තුළ කිසිදු තහනම් වචනයකින් (taboo) තොරව සාකච්ඡා කරමින් සහ ඉදිරියට යමින්, දැඩි අර්බුදකාරී හැඟීමකින් යුතුව සෑම ප්‍රතිපත්තියකටම අප එළඹිය යුතු බව පැහැදිලි කිරීමට අප මීටත් වඩා වැඩි උත්සාහයක් ගත යුතු යැයි මම විශ්වාස කරමි.”

යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව ඇමරිකාව/නේටෝව විසින් ඇවුලූ යුද්ධය පුපුරා ගිය තැන් පටන්, ජපානයේ වේගවත් ප්‍රතිසන්නද්ධ වීම සඳහා නිදහසට කරුණක් (pretext) ලෙස චීනය තායිවානයට ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බවට චෝදනා කරමින්, “අද යුක්‍රේනය හෙට නැගෙනහිර ආසියාව විය හැකිය”යි ටෝකියෝව නිතිපතා ප්‍රකාශ කර ඇත.

කෙසේ වෙතත්, වොෂින්ටනයේ න්‍යෂ්ටික ආයුධ ගබඩාව හෝ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන්ට ආරක්ෂාව සමඟ කිසිදු සම්බන්ධයක් නොමැත. ඉරානයට එරෙහිව අඩු ඵලදායී  (low-yield) න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීම “කළ හැක්කක්ද” යන්න ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප් අසා ඇති බව වාර්තා වේ. චීනය සමඟ යුද්ධයක් ඇති වුවහොත්, ඇමරිකාව සැකයකින් තොරව මෙවැනි ආයුධ වෙත යොමු වනු ඇති අතර, ජපානය එවැනි ප්‍රහාර සඳහා විභව මෙහෙයුම් වේදිකාවක් (staging ground) බවට පත් කරනු ඇත.

ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ ස්ථානගත කිරීම මගින් ඉන්දු-පැසිෆික් කලාපය තවදුරටත් අස්ථාවර කරනු ඇති අතර, එය සැකයකින් තොරව පුළුල් ආයුධ තරඟයකට සහ න්‍යෂ්ටික යුද්ධයක ඊටත් වඩා විශාල අනතුරකට මග පාදනු ඇත.

කොයිසුමිගේ ප්‍රකාශයන්ට ප්‍රතිචාර දක්වමින් චීන විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශක ලින් ජියාන් සඳුදා මෙසේ ප්‍රකාශ කළේය: “ජපන් බලධාරීන් න්‍යෂ්ටික කාරනාව පිළිබඳ ඔවුන්ගේ වැරදි ගණනය කිරීම්වල එල්බ සිටින්නේ නම්, න්‍යෂ්ටික-හරණ  මූලධර්ම ත්‍රිත්වය (three non-nuclear principles) සංශෝධනය කිරීමට වෙර දරන්නේ  නම් සහ මිත්‍ර පාක්ෂිකයින්ගේ න්‍යෂ්ටික ආයුධ ජපානයේ ස්ථානගත කරන්නේ නම්, ඔවුන් පශ්චාත්-යුධ (දෙවන ලෝක  යුද්ධයෙන් පසු) ජාත්‍යන්තර පිළිවෙත සහ ජාත්‍යන්තර න්‍යෂ්ටික අවි ව්‍යාප්ති පාලන තන්ත්‍රයට (international nuclear non-proliferation regime) බරපතල ලෙස අභියෝග කරනවා පමණක් නොව, සාමය සඳහා වූ කැපවීම උල්ලංඝනය කරමින්, ජපන් ජනතා අවශ්‍යතාවයන්ට පිටුපාන අතර, අවසානයේදී ඒ සඳහා අධික වන්දියක් ගෙවීමට ඔවුනට සිදුවනු ඇත.”

වොෂින්ටනය සහ ටෝකියෝව යන දෙපාර්ශවයම, ඉහළ මට්ටමේ රාජ්‍ය තාන්ත්‍රික දූත මෙහෙවරයන් දියත් කිරීමෙන්, තායිවාන් සමුද්‍ර සන්ධිය හරහා නාවික යුධ නැව් යැවීමෙන් හෝ දිවයිනේ නිදහසට පක්ෂපාතී මතවාදයන්ට අනුබල දීමෙන්, එක් චීනයක් ප්‍රතිපත්තියට (One China policy) අඛණ්ඩව අභියෝග කරමින් වසර ගණනාවක් තිස්සේ බෙයිජිං පාලනය කුපිත කර ඇත. තායිවානය නිදහස ප්‍රකාශ කළහොත්, එය චීන භූමිය අනාගතයේදී කැබලි කිරීම සඳහා පූර්වාදර්ශයක් සපයන අතරම අධිරාජ්‍යවාදී බලවතුන්ට ප්‍රධාන භූමියට එරෙහිව යුද කඳවුරක් සපයන බව සම්පූර්ණයෙන්ම වටහාගෙන සිටින බෙයිජිං පාලනය, මෙම විෂයය සම්බන්ධයෙන් අතිශයින් සංවේදී වේ.

ඇමරිකාව සහ ජපානය ඇතුළු ලොව පුරා රටවල් දශක ගණනාවක් තිස්සේ තායිවානය චීනයේ කොටසක් බව පිළිගනිමින් එක් චීනයක් ප්‍රතිපත්තියට අනුකූලව කටයුතු කර ඇත. ඇමරිකාව ලාභ චීන ශ්‍රමය ග්‍රහණය කර ගැනීමට සහ බෙයිජිං හා මොස්කව් අතර පැවති ආතතීන් ගසා කෑමට මාන බලමින්, 1979 දී වොෂින්ටනය බෙයිජිං සමඟ විධිමත් සබඳතා ඇති කර ගත්තේ එම පදනම මත ය.

පසුගිය නොවැම්බර් මාසයේදී, අන්ත දක්ෂිණාංශික අගමැති සානා ටකායිචි ප්‍රකෝපකාරී ලෙස ප්‍රකාශ කළේ තායිවානයේ “හදිසි අවස්ථාවක්” ජපානය සදහා”පැවැත්මට තර්ජනයක් වන තත්වයක්” (survival-threatening situation) නිර්මාණය කරන බවයි — එය “ආත්ම ආරක්ෂාව” (self-defense) නාමයෙන් චීනයට එරෙහි යුද්ධය සඳහා අවශ්‍ය නෛතික සාධාරණීකරණය සැපයීමකි.

කෙටි කාලීනව, වඩාත්ම සිදුවිය හැකි දර්ශනය වනුයේ ටෝකියෝව විසින් ජපන් භූමිය තුළ ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ සඳහා සත්කාරකත්වය දැරීමයි. කෙසේ වෙතත්, ටෝකියෝවට ඇමරිකාවේ කනිෂ්ඨ හවුල්කරුවෙකු (junior partner) පමණක් වීමේ අභිලාෂයක් නොමැත. ඒ වෙනුවට, ජපානය තුළ විවෘතව න්‍යෂ්ටික ආයුධ රඳවා තැබීමට ඇමරිකාවට ඉඩ දීම මගින් ටෝකියෝවට තවත් ඉදිරියට යාමටත්, තමන්ගේම න්‍යෂ්ටික ආයුධ ගබඩාවක් පිහිටුවා ගැනීමටත් පූර්වාදර්ශයක් සැපයෙනු ඇත. ජපානය සතුව අවම වශයෙන් කිලෝග්‍රෑම් 8,000 ක ආයුධ ශ්‍රේණියේ ප්ලූටෝනියම් (weapons-grade plutonium) තොගයක් පවතින අතර, එය න්‍යෂ්ටික ආයුධ 1,600 ක් සෑදීමට ප්‍රමාණවත් වේ. ජපානයේ තොග පිළිබඳ වෙනත් තක්සේරුවල අගයන් මීට වඩා සැලකිය යුතු ලෙස ඉහළ ය.

කලාපයේ ප්‍රධාන බලවතා ලෙස නැවත නැගී සිටීමට ගන්නා උත්සාහයේදී, ජපන් අධිරාජ්‍යවාදයට තමන්ගේම න්‍යෂ්ටික ආයුධ සහිත වීම,  ඇමරිකාවේ වියදමින් පවා තමන්ගේම ආර්ථික හා මූලෝපායික අවශ්‍යතා තහවුරු කර ගැනීම සදහා වැඩි හැකියාවක් ලැබෙනු ඇත.

කොයිසුමිගේ මෑතම අදහස් දැක්වීම්වල අරමුණ වන්නේ ජපානයේ න්‍යෂ්ටික අභිලාෂයන් ආවරණය කර ගැනීම වන අතරම, යුද්ධය සාධාරණීකරණය කිරීම සඳහා චීනය කෙරෙහි මහජනතාව තුළ බියක් ඇති කිරීමයි. ඔක්තෝබර් මාසයේ බලයට පත්වූ තැන් සිට, ටකායිචි සහ ඇගේ රජයේ අනෙකුත් ප්‍රමුඛයින් ජපානය තමන්ගේ භූමිය තුළ න්‍යෂ්ටික ආයුධ ළඟ තබා නොගන්නා බවට, නිෂ්පාදනය නොකරන බවට හෝ ඉඩ නොදෙන බවට ප්‍රකාශ කෙරෙන ජපානයේ “න්‍යෂ්ටික-හරණ මූලධර්ම තුන” සංශෝධනය කිරීමට ඉඟි කර ඇත.

න්‍යෂ්ටික-හරණ මූලධර්ම තුන ප්‍රථමයෙන් ගෙනහැර දක්වන ලද්දේ 1967 දී ය, නමුත් ඒවා නීත්‍යානුකූලව බැඳ නොතබන අතර අතීතයේදී උල්ලංඝනය කර ඇත. 2024 දී, නිහොන් විශ්ව විද්‍යාලයේ (Nihon University) සම්මානිත මහාචාර්ය  ටකාෂි ෂිනොබු ලේඛන හෙළිදරව් කරමින් පෙන්වා දුන්නේ, ඇමරිකා-ජපාන ආරක්ෂක ගිවිසුම සංශෝධනය කිරීම සඳහා 1958 සහ 1960 අතර පැවති සාකච්ඡා අතරතුර, ජපන් රජය විමසීමකින් තොරව න්‍යෂ්ටික ආයුධ රැගත් ඇමරිකානු යුධ නැව් ජපන් වරායන්හි නැංගුරම් ලෑමට රහසිගතව ඉඩ දීමට ජපානය එකඟ වූ බවයි.

2017 දී ඇමරිකාව විසින් රහසිගතභාවයෙන් මුදාහළ (declassified) 1969 ලියවිල්ලකින් ද පෙන්නුම් කළේ, 1972 දී එම ප්‍රදේශය ජපානයට ආපසු ලබා දීමේ කොන්දේසියක් ලෙස “හදිසි පදනමක්” යටතේ ඔකිනාවා වෙත න්‍යෂ්ටික ආයුධ ගෙන ඒමට වොෂින්ටනයට ඉඩ දීමට ටෝකියෝව එකඟ වූ බවයි.

ජූලි 6 වන දින, ප්‍රධාන මිලිටරි ලේඛන තුන සංශෝධනය කිරීමේදී “න්‍යෂ්ටික-හරන මූලධර්ම තුන” සමාලෝචනය කිරීම පිළිබඳ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ටකායිචි ප්‍රකාශ කළේ, තමා “සෑම විෂයයක්ම සාකච්ඡාව සඳහා අනිවාර්යයෙන්ම මේසය වෙත ගෙන එන” බවයි. දෙසැම්බර් මාසයේදී, නම සඳහන් නොකළ රජයේ නිලධාරියෙකු ද ජපානයට න්‍යෂ්ටික ආයුධ අවශ්‍ය බව  ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ යැයි ප්‍රසිද්ධ විකාශන සේවයක් වන NHK වාර්තා කළේය.

ජපානය, සැලසුම් කළ කාලයට වසරකට පෙර, එනම් 2026 අග වන විට අදාළ ප්‍රධාන සන්නද්ධ ලේඛන තුන සංශෝධනය කිරීමට සැලසුම් කරයි. මෙම ලේඛන තුන 2022 දී සංශෝධනය කරන ලද අතර, 2027 වන විට මිලිටරි වියදම් දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට දෙක දක්වා දෙගුණ කිරීමේ සැලසුමක් ගෙනහැර දැක්වීය. ටකායිචි රජය පසුගිය වසර අවසානයේදී එම ඉලක්කයට ළඟා වූ අතිරේක අයවැයක් සම්මත කළේය. අනුගමනය කළ යුතු ආකෘති ල්‍රෙස සියයට 3.5 ක් වැය කිරීමට නේටෝ රටවල් සහ දකුණු කොරියාව ලබා දී ඇති පොරොන්දු රජය උපුටා දක්වන බැවින් අනාගත වියදම් ඊටත් වඩා වැඩි විය හැකිය.

ජපානය තුළ න්‍යෂ්ටික ආයුධ සඳහා වන ඉල්ලීම් අලුත් දෙයක් නොවේ. උදාහරණයක් ලෙස, හිටපු අගමැති ෂින්සෝ අබේ 2022 පෙබරවාරි මාසයේදී ප්‍රකාශ කළේ, ටෝකියෝව යුරෝපීය රටවල අඩිපාරේ යමින් ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ සඳහා සත්කාරකත්වය දැක්විය යුතු බවයි. “සාකච්ඡා කරමින් පැවතෙන බව ” යන භාෂාවෙන් ආවරණය කරන මෙම යෝජනාවල ප්‍රවේශම් සහගත ස්වභාවය, කම්කරු පන්තිය තුළ පවතින පුළුල් විරෝධයේ ප්‍රතිඵලයකි. අසාහි ෂිම්බුන් (Asahi Shimbun) පුවත්පත මගින් අප්‍රේල් මාසයේදී පවත්වන ලද සමීක්ෂණයකදී, 75% ක ජනතාවක් ජපානයේ න්‍යෂ්ටික-හරණ  ප්‍රතිපත්ති තුනෙහි කිසිදු වෙනසක් කිරීමට විරුද්ධ වූහ. මැයි මාසයේදී ජපානයේ මිලිටරි ව්‍යාප්තිය හෙළා දකිමින් විශාල විරෝධතා පැවැත්විණි.

ලොව දෙවන විශාලතම ආර්ථිකය ලෙස චීනය විසින් අභිබවා යනු ලැබීමෙන් පසුව, ජපානය මිලිටරි බලය ඇතුළු සියලු මාර්ගවලින් සිය පසුබැසීම ආපසු හැරවීමට උත්සාහ කරයි. මෙයට පාලක පන්තියේ ව්‍යාජ “සාමකාමීත්වයට” (pacifism) ඇලී සිටීම අතහැර දැමීම පමණක් නොව, සමස්තයක් ලෙස කම්කරු පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සහ අවශ්‍යතාවයන් නොතකා කටයුතු කිරීම ද අවශ්‍ය වේ.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි.]

ජපානයේ ආරක්ෂක අමාත්‍යවරයා න්‍යෂ්ටික ආයුධ පිළිබඳ “තහංචිය” අවසන් කරන ලෙස ඉල්ලා සිටියි Read More »

IMG 1841

එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී

බැරී ග්‍රේ විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 02 දින “The U.S. oligarchy’s crime boss: Trump pocketed $2.2 billion in 2025” යන හිසින් පළවූ බැරී ග්‍රේ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

IMG 1841
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 මාර්තු 9 වන සඳුදා, ෆ්ලොරිඩාවේ ඩොරල් හි ට්‍රම්ප් ජාතික ඩොරල් මියාමි හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි [AP ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්]

පසුගිය අඟහරුවාදා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ 2025 වර්ෂය සඳහා වන අනිවාර්ය මූල්‍ය හෙළිදරව්ව ප්‍රකාශයට පත් කළේය. එයින් පෙන්නුම් කෙරුණේ ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු වසර තුළදී ඔහු තම පෞද්ගලික ආදායම තුන් ගුණයකට වඩා වැඩි කරගෙන ඇති බවයි; එනම් 2024 දී ඩොලර් මිලියන 622ක් වූ ආදායම පසුගිය වසරේදී අවම වශයෙන් ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ නංවාගෙන ඇත.

ට්‍රම්ප් තමන්ගේ ධනය වර්ධනය කරගෙන ඇති පරිමාණය සමඟ සසඳන කල, ඇමරිකානු ඉතිහාසයේ මහා දූෂණ වංචාවන් කිසියම් ඇන්ටික් සුන්දරත්වයක් ගැබ් කරගත්තාක් සේ පවා පෙනී යයි. දේශපාලන සාපරාධීත්වයේ සංකේතයක් ලෙස සියවසක් පුරා පැවති 1920 ගණන්වල ‘ටීපොට් ඩෝම්’ (Teapot Dome) සිදුවීම කේන්ද්‍රගත වූයේ, එවකට අභ්‍යන්තර කටයුතු ලේකම් ඇල්බට් ෆෝල් විසින් නාවික තෙල් සංචිත බදු දීම වෙනුවෙන් ලබාගත් ඩොලර් 400,000ක (අද මුදලින් ඩොලර් මිලියන 8ක පමණ) අල්ලසක් වටාය. ෆෝල්ට බන්ධනාගාරගත වීමට සිදු විය. 1973 දී උප ජනාධිපති ස්පිරෝ ඇග්නියුට ඉල්ලා අස්වීමට සිදු වූයේ මේරිලන්ඩ් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් නෝට්ටු අඩංගු කවර මඟින් ලබාගත් සමස්තයක් ලෙස ඩොලර් 250,000ක පමණ අල්ලස් මුදලක් හේතුවෙනි. ට්‍රම්ප්ගේ ප්‍රමිතීන්ට අනුව බලන කල, මේවා ඉතා සුළු මුදල්ය.

මෙම වාර්තාව මඟින්, දේපළ වෙළඳාම් වංචාකරුවෙකු සහ මාධ්‍ය තොරම්බල් කාරයෙකුව සිට එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වූ පුද්ගලයාට තමන්ගේ සහ තම පවුලේ ධනය දැවැන්ත ලෙස වර්ධනය කර ගැනීමට මඟ පෑදූ බරපතල බියසැක නැති අත්තනෝමතික ගනුදෙනු සහ දූෂණ පිළිබඳ සමහර ඇඟවීම් සපයයි. පසුගිය සැප්තැම්බර් මාසය වන විට, ට්‍රම්ප් පවුලේ සමස්ත ධනය ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 10ක් ලෙස පැවති අතර, එය 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසුව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ ධනය ඩොලර් මිලියන 50 සිට ඩොලර් මිලියන 300 දක්වා ඉහළ ගිය අතර, එරික් ට්‍රම්ප්ගේ ධනය දස ගුණයකින් එනම් ඩොලර් මිලියන 400 දක්වා ඉහළ ගියේය.

එම වසරේදීම, ජාතික ආදායමෙන් ශ්‍රමයට හිමිවන කොටස වාර්තා තැබීම ආරම්භ කළ දා සිට අඩුම මට්ටම දක්වා පහත වැටුණි. 2025 තුන්වන කාර්තුවේදී ශ්‍රමයේ කොටස සියයට 53.8 දක්වා පහත වැටුණු අතර, එය 1947 දී සියයට 70ක් ලෙස පැවතුණි. මෙම සංඛ්‍යාලේඛන සැබෑ ජීවිතය තුළට පරිවර්තනය වන්නේ දරිද්‍රතා මට්ටමේ වැටුප්, දරාගත නොහැකි ඉහළ ගෙවල් කුලී සහ ජීවන වියදම් මෙන්ම කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට දිගු සේවා මුරයන්ට මුහුණ දීමට සිදුවීම ලෙසය.

ශ්‍රම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Bureau of Labor Statistics) පැය 40ක සේවා සතියක් මත පදනම් වූ සාමාන්‍ය මෝටර් රථ කම්කරුවෙකුගේ වැටුප් ඇස්තමේන්තුවට අනුව, ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් 37,931 දෙනෙකුගේ ආදායමට සමාන වේ. ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු පැයකට ඩොලර් 251,000කි. එම අනුපාතයට අනුව, පුද්ගලයෙකු තත්පරයකට ඩොලර් 70ක් උපයන අතර, එය UAW මෝටර් රථ කම්කරුවෙකු පැයකට උපයන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මේ සතියේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී, අඩු ආදායම්ලාභී නිවාස වර්ධනය කිරීමේ පනත් කෙටුම්පතකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කරමින්, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තියේ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ තම සැලසුම මුලින්ම සම්මත කරන ලෙස කොන්ග්‍රස් මණ්ඩලයෙන් බලකර සිටීමටත්, එම නිවාස පනත “කම්මැලි කතාවක්” (big yawn) ලෙස හැඳින්වීමටත් ට්‍රම්ප් පෙළඹීම පුදුමයක් නොවේ.

2017 සහ 2021 අතර ඔහුගේ පළමු ධූර කාලය තුළදී, ට්‍රම්ප් තමන්ගේ මූල්‍ය කටයුතු තමන්ට පාලනය කළ නොහැකි භාරයන් (blind trusts) වෙත පැවරීමේ නූතන ජනාධිපතිවරුන්ගේ සම්ප්‍රදාය බිඳ දැමුවේය. ඔහු තම ව්‍යාපාරවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ අතර, තවමත් තමන්ට ප්‍රවේශ විය හැකි භාරයක් තුළ ඒවා තැන්පත් කළේය. ඔහු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි තම ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය මුදල් උල්පතක් ලෙස භාවිතා කළ අතර, විදේශීය දූත පිරිස්, තැරැව්කරුවන් (lobbyists) සහ රිපබ්ලිකන් නිලධාරීන්ට එහි මුදල් වියදම් කිරීමට දිරිමත් කළ අතර එම මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත ගලා ගියේය. ඇමරිකා-චීන වෙළඳ සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුරදීම, ඔහුගේ දියණිය වන ඉවන්කා ධවල මන්දිර උපදේශකවරියක ලෙස සේවය කරද්දී ඇයට චීන වෙළඳ ලකුණු (trademarks) කිහිපයක් ලබා දීමට ඔහු කටයුතු කළේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය සමඟ සසඳන කල ඒවා ඉතා සුළු දේවල් වේ. ඔහු තම පළමු ධූර කාලයේදී ලබාදුන් සදාචාරාත්මක ප්‍රතිඥාවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර, බයිඩන්ගේ ජනාධිපති සදාචාරාත්මක රීති අවලංගු කළේය, තවද 2025 මුල් භාගයේදී රජයේ සදාචාර කාර්යාලයේ (Office of Government Ethics) ප්‍රධානියා ඉවත් කර එය ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති තත්ත්වයට පත් කළේය.

ට්‍රම්ප් ඔහුගේ 2025 ආදායමෙන් වැඩි කොටසක් උපයා ගත්තේ ඔහුගේ ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) ව්‍යාපාරවලින් වන අතර, එය ඩොලර් බිලියන 1.4ක් පමණ විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විශ්ලේෂණයකට අනුව, $WLFI නමින් හැඳින්වෙන ඩිජිටල් මුදල් වර්ගයක් අලෙවි කරන ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයක් වන ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ (World Liberty Financial) ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 799ක් උපයා ඇති අතර, එය 2024 දී පැවතියේ ඩොලර් මිලියන 57ක් ලෙස පමණි.

ඔහුගේ දෙවන නිල කාලය ආරම්භයට දින තුනකට පෙර, ට්‍රම්ප් $TRUMP නමින් ‘මීම්කොයින්’ (memecoin) වර්ගයක් දියත් කිරීමට උදව් කළ අතර, එයින් තවත් ඩොලර් මිලියන 636ක් උපයා ඇත. ඔහු පසුගිය වසරේ මාරා-ලාගෝ (Mar-a-Lago) වෙතින් ඩොලර් මිලියන 77ක් උපයා ඇති අතර එය 2024 දී ඩොලර් මිලියන 50ක් විය. ඔහුගේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගොල්ෆ් ක්ලබ් වෙතින් ඩොලර් මිලියන 122ක් උපයා ඇති අතර එය ඩොලර් මිලියන 11ක වර්ධනයකි. ඔහු සතුව ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි (Trump Media & Technology) සමූහයේ ඩොලර් මිලියන 875ක් වටිනා කොටස් පවතී. 2025 අවසානය වන විට, ට්‍රම්ප් සතුව අවම වශයෙන් ඩොලර් මිලියන 857ක ආයෝජන වත්කම් පැවති අතර, එය පෙර වසරේ පැවතියේ ඩොලර් මිලියන 236ක් ලෙසය.

ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ගත් ප්‍රතිපත්තිමය තීරණවලින් ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරවලට සෘජු ප්‍රතිලාභ ලැබුණි. 2025 ජනවාරි මාසයේදී, ඔහුගේ නිල දිව්රුමට දින තුනකට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සම්බන්ධ ආයෝජන සමාගමක් වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල් ආයතනයේ සියයට 49ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර, එමඟින් ට්‍රම්ප් පවුලට ඩොලර් මිලියන 23ක ලාභයක් හිමි විය. ඉන් කෙටි කලකට පසු, ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කෘත්‍රිම බුද්ධිය (AI) බලගන්වන පරිගණක චිප්ස් අපනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹුණි.

ට්‍රම්ප්ගේ මීම්කොයින් ව්‍යාපාරයට 2025 පෙබරවාරි මාසයේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් සෘජු ප්‍රතිලාභ ලැබුණු අතර, එමඟින් කර්මාන්තයට දැනුම් දුන්නේ එවැනි ටෝකන (tokens) මුදල් ඒකක තවදුරටත් එම ආයතනයේ අධීක්ෂණයට යටත් නොවන බවයි. මෙය බයිඩන් පරිපාලන සමයේ එම කොමිසමේ සභාපතිවරයා දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකි. තවද ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේදී ස්ටේබල්කොයින්ස් (stablecoins) ලෙස හැඳින්වෙන ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් ප්‍රවර්ධනය කිරීමේ නීති සම්පාදනයකට අත්සන් තැබුවේ, ඔහුගේ පවුලේ අනුග්‍රහය ලබන සමාගම තමන්ගේම ස්ටේබල්කොයින් එකක් හඳුන්වා දී මාස හතරකට පසුවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී, ට්‍රම්ප් විසින් ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ ධනවත්ම මිනිසා වන බයිනෑන්ස් (Binance) නිර්මාතෘ චැංපෙන්ග් ෂාඕ වෙත ජනාධිපති සමාව ලබා දුන් අතර, ඔහු 2023 දී මුදල් විශුද්ධිකරණ විරෝධී නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස හතරක සිරදඬුවමක් විඳ තිබුණි. එතැන් සිට බයිනෑන්ස් ආයතනය ට්‍රම්ප් පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයේ වැදගත් ව්‍යාපාරික හවුල්කරුවෙකු බවට පත්ව ඇත.

කෙසේ වෙතත්, ට්‍රම්ප් තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සහ පෞද්ගලික ධනය වැඩි කර ගැනීමට ධවල මන්දිරය භාවිතා කළ එකම ක්ෂේත්‍රය ක්‍රිප්ටෝ නොවේ. ඔහු සෞදි අරාබිය සහ කටාර් වැනි රටවල දේපළ සඳහා ‘ට්‍රම්ප්’ යන නාමය භාවිතා කිරීමට බලපත්‍ර ලබා දී ඇත. එම ගනුදෙනු දෙකෙන් පමණක් 2025 දී ට්‍රම්ප්ට ඩොලර් මිලියන 14කට වඩා වැඩි මුදලක් උපයා දී ඇත.

පසුගිය ඉරිදා, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවති සෝවියට් සමූහාණ්ඩුවක් වන කසකස්තානයේ ටංස්ටන් (tungsten) පතල් සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ කසකස්තානය අතර ඇති වූ ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවක් පිළිබඳ හෙළිදරව්වක් පළ කළේය. මෙම ව්‍යාපෘතියට ට්‍රම්ප්ගේ පුතුන් සහ ඔහුගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සෘජුවම සම්බන්ධ වී සිටිති. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවෙන් සහ අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank) ඩොලර් බිලියන ගණනක ණය වෙන් කරනු ලබන්නේ මෙම පවුල් දෙකට මෙන්ම ජනාධිපතිවරයාගේ අනෙකුත් බිලියනපති හිතවතුන්ට විශාල ලාභයක් උපයා දීමට නියමිත ව්‍යාපාරයකට මුදල් සැපයීම සඳහාය.

එමෙන්ම, ධවල මන්දිරය විසින් සිදුකරනු ලබන බෝම්බ හෙලීම් සහ/හෝ ඉරානය සමඟ සාම සාකච්ඡා පිළිබඳ නිවේදන කල්තියා දැනගැනීම මත පදනම්ව තෙල් මිල පිළිබඳ අනාවැකි වෙළඳපොලවල් (predictive markets) හරහා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයන් විසින් උපයන මිලියන ගණනක මුදල්ද පවතී. කතිපයාධිකාරීන් සහ ට්‍රම්ප් වැනි ඔවුන්ගේ අපරාධ කල්ලි නියෝජිතයන් විසින් පාලනය කරනු ලබන ලෝකයක, ගැණිය නොහැකි දහස් ගණනකගේ ජීවිත රිසි සේ හසුරුවන ලද වෙළඳපොලවල් හරහා ලාභ ලැබීමේ මෙවලම් බවට පත්වේ. ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් මැදපෙරදිග ප්‍රතිපත්ති සහ සාකච්ඡා වලදී තමන්ට හිමිවූ භූමිකාව භාවිතා කරමින් සෞදි අරාබියෙන් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් තමන්ගේ පෞද්ගලික ආයෝජන සඳහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති ආකාරය ගවේෂණාත්මක වාර්තා මඟින් ලේඛනගත කර ඇත.

මේවා සිදුවන්නේ, ධවල මන්දිර උත්සව ශාලාව සහ “පරාවර්තන තටාකය” (Reflecting Pool) වැනි ව්‍යාපෘති සඳහා රජය සමඟ ව්‍යාපාරික කටයුතු කරන ආධාරකරුවන්ට ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තු ලබා දීම ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ සාමාන්‍ය දූෂණ ක්‍රියාවලට අමතරව ය.

ට්‍රම්ප් කරන්නේ නීති බිඳ දැමීම පමණක් නොවේ; ඔහු නීති නැවත ලියමින් සිටින්නේ තමන්ගේ ධනවත් වීම නීත්‍යානුකූලව අපරාධයක් ලෙස වර්ගීකරණය නොවන පරිදිය. දූෂණය රාජ්‍ය ප්‍රතිපත්තියේ මට්ටමට ඔසවා තැබෙයි — එනම් කොල්ලකන අතරතුරදීම එම කොල්ලය නීත්‍යානුකූල කිරීමකි.

මේවා තනි පුද්ගලයෙකුගේ අපරාධ නොවේ. නිව්යෝර්ක් හි දේපළ වෙළඳාම් සහ සූදු මාෆියාවේ ෆැසිස්ට්වාදී නිෂ්පාදනයක් වන ට්‍රම්ප්ව රාජ්‍ය නායකයා ලෙස පත් කර ඇත්තේ අතිශය ධනවත් සහ පරපෝෂිත මූල්‍ය කතිපයාධිකාරය විසිනි. නිල සමාජයේ ඉහළම ස්ථරයන් සම්බන්ධ කරන සහ එහි වසා ගැනීම් සඳහා ට්‍රම්ප්, ආයතනික මාධ්‍ය සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඒකාබද්ධ කරන එප්ස්ටයින් (Epstein) අපචාරයට (scandal) වඩා හොඳින් මෙම නව වංශවත් පන්තියේ සිරිත් විරිත් හෙළි කරන වෙනත් කිසිවක් නැත.

නාමික විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තම දෑත් අඹරවමින් මැසිවිලි නැඟුවද මෙම කොල්ලකෑම් නැවැත්වීමට හෝ අපරාධකරුවන් වගවීමට බැඳීමට කිසිවක් නොකරයි, මන්ද ඔවුන්ද පාලනය කරනු ලබන්නේ එම කතිපයාධිකාරී පන්තිය විසින්ම වන අතර, ඔවුන් ලාභය සඳහා වන නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය මත පදනම් වූ ක්‍රමය ආරක්ෂා කරන බැවිනි.

මෙම සමස්ත පන්තියේ දේපළ රාජසන්තක කළ යුතු අතර, කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන ධනය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කළ යුතුය.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි]

එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී Read More »

Merz

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර 

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “EU summit accelerates war course: Arms build-up, trade war, social cuts and anti-refugee measuresයන හිසින් පළවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Merz
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් 2026 ජුනි 18-19 දිනවල බ්‍රසල්ස් හි පැවති EU සමුළුවේදී කතා කරයි. [AP ඡායාරූපය/මාරියස් බර්ගල්මන්]

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපා සංගම් (EU) සමුළුව සෑම අතින්ම යුද සමුළුවක් විය. “ආරක්ෂාව”, “තරඟකාරිත්වය”, “ප්‍රත්‍යස්ථතාව” සහ “සංක්‍රමණ” වැනි නිල සූත්‍රගත කිරීම් පිටුපස සැඟවී ඇත්තේ නැවත ප්‍රතිසන්නද්ධ වීම, යුද්ධය උත්සන්න කිරීම, සමාජ කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙලකි.

යුක්රේනය සඳහා වන මිලිටරි ආධාර දැවැන්ත ලෙස පුළුල් කිරීමටත්, මුළු මහද්වීපය පුරාම ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, 2030 වන විට යුරෝපා සංගමය යුද්ධයට සූදානම් කිරීමටත් යුරෝපා සංගමයේ රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීහු තීරණය කළහ. එම සමගම ඔවුහු, මැදපෙරදිග කලාපය තුළ යුරෝපය සඳහා වඩාත් විශාල මිලිටරි භූමිකාවක්, චීනයට එරෙහිව වඩාත් දැඩි වෙළඳ යුද ප්‍රතිපත්තියක්, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ අවශ්‍යතාවලට වඩ වඩාත් යටත් කරන ලද නව යුරෝපා සංගම් අයවැයක් සහ සරණාගත ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව සෘජුවම ගලා ආවේ, සතියකට පෙර ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් විසින් බුන්ඩෙස්ටැග් (ජර්මන් පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කරන ලද ඔහුගේ ආණ්ඩු ප්‍රකාශය මගින් පනවන ලද ප්‍රතිගාමී මාවතෙනි. මර්ස් ප්‍රකාශ කළේ, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම, යුරෝපීය “තරඟකාරිත්වය” ශක්තිමත් කිරීම සහ සරණාගතයින් පලවා හැරීම යුරෝපා සංගමයේ කේන්ද්‍රීය කාර්යයන් විය යුතු බවයි. එම අවස්ථාවේදීම, එහි පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලි කළේය: එනම් කම්කරු පන්තියයි. මිලිටරිමය වශයෙන් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමට ප්‍රතිපාදන සැපයීම සඳහා ජනගහනය “අනෙකුත් ක්ෂේත්‍රවලද සීමා කිරීම් පිළිගත යුතු” බව ඔහු පැවසීය.

දැන් බ්‍රසල්ස් හිදී සම්මත කරගෙන ඇති වැඩපිළිවෙල යනු මෙම යුද න්‍යාය පත්‍රය යුරෝපය  පුරා ක්‍රියාවට නැංවීමයි.

මෙහි කේන්ද්‍රයේ පැවතියේ, යුක්රේනය තුළ රුසියාවට එරෙහිව නේටෝව (NATO) ගෙන යන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පෞද්ගලිකවම මෙම සමුළුවට සහභාගී වූ අතර, තව තවත් ආයුධ, පතොරම්, ගුවන් ආරක්ෂක පද්ධති සහ කඩිනම් යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් නායකයෝ යුක්රේනය සඳහා වන ඔවුන්ගේ “නොසැලෙන” සහයෝගය යළිත් සහතික කළ අතර, ඔවුන්ගේ දේශපාලන, මූල්‍ය, ආර්ථික සහ මිලිටරි ආධාර අඛණ්ඩව ලබා දීමට පොරොන්දු වූහ.

යථාර්ථය නම්, මෙය “සහයෝගයක්” වීම බොහෝ කලකට පෙර නතර වී ඇති අතර එය යුද්ධයට සෘජුවම සම්බන්ධ වීමක් බවට පත්ව ඇත. යුරෝපීය බලවත්තු යුක්රේන රාජ්‍ය අයවැයට ප්‍රතිපාදන සපයමින්, වඩ වඩාත් දිගු දුර විහිදෙන ආයුධ පද්ධති සපයමින්, යුක්රේන සෙබළුන් පුහුණු කරමින්, බුද්ධි තොරතුරු සපයමින් සහ යුක්රේන යුද මෙහෙයුම් ඔවුන්ගේම මිලිටරි සැලසුම්වලට වඩ වඩාත් සමීපව අනුකලනය කරමින් සිටිති. 2026 සහ 2027 වර්ෂ සඳහා වන යුරෝ බිලියන 90 ක ණය මුදලක පළමු වාරිකය ජුනි මස අවසානයට පෙර නිකුත් කරන බව සමුළුව යළිත් තහවුරු කළේය. එම අවස්ථාවේදීම, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.

ආයුධ සහයෝගීතාව පිළිබඳ තීරණ විශේෂයෙන්ම භයානක ය. ගුවන් ආරක්ෂක පද්ධති, පතොරම්, ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය හා බෙදා හැරීම “කඩිනමින්” වේගවත් කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියි. යුරෝපීය සහ යුක්රේන ආයුධ කර්මාන්ත අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය. මෙඟින් යුක්රේනය යුරෝපීය යුද ආර්ථිකයට තවදුරටත් සෘජුවම සම්බන්ධ කෙරේ.

මෙහිදී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනියයි. මීට සති කිහිපයකට පෙර, ෆෙඩරල් ආණ්ඩුව කියෙව් (Kiev) පාලනය සමඟ එකඟ වූයේ, රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමටයි. පිස්ටෝරියස්, මර්ස් සහ සෙලෙන්ස්කි එකල විවෘතවම පැහැදිලි කළේ, මෙය තවදුරටත් යුක්රේන භූමිය ආරක්ෂා කිරීම ගැන පමණක් නොව, රුසියානු නගර, පිරිපහදු, බලශක්ති පහසුකම්, මිලිටරි කඳවුරු සහ කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ගැන වන බවයි.

මෙහි ප්‍රතිවිපාක ගණන් බලාගත නොහැකි තරම්ය. යුක්රේන හමුදාව දැනටමත් රුසියාවේ අභ්‍යන්තරයටම නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. එවැනි ප්‍රහාරයන්ට ඉඩ සලසන බටහිර රාජ්‍යයන් යුද්ධයේ පාර්ශවකරුවන් ලෙස සලකන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඒ සමගම, යුරෝපීය බලවත්තු යුක්රේනය සඳහා වන අනාගත “ආරක්ෂක සහතිකයන්” තුළ තමන්ම ප්‍රධාන භූමිකාවක් භාර ගැනීමටත්, තමන්ගේම යුරෝපා සංගම් සෙබළුන් පවා යුක්රේනයට අනුයුක්ත කිරීමටත් වඩ වඩාත් විවෘතව බලපෑම් කරමින් සිටිති.

සමුළුවේ නිල නිගමනවල සඳහන් වන්නේ: “යුක්රේනයේ සාමය කරා යන මාවත යුක්රේනය නොමැතිව තීරණය කළ නොහැක.” ඊට සෘජුවම පසුව තීරණාත්මක වාක්‍යය පැමිණේ: “යුරෝපා සංගමය එහි හැකියාවට හෝ එහි ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව තීරණය කරනු ඇත.” ඊළඟ කරුණ මෙසේ ඉදිරියට යයි: “ඕනෑම අනාගත සමථයකදී යුරෝපයට ඉටු කිරීමට ප්‍රධාන භූමිකාවක් ඇති අතර එය තම අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම්ව සිටියි.”

අනාගත “ආරක්ෂක සහතික” පිළිබඳ ඡේදය ද විශේෂයෙන්ම දුරදිග යන්නකි. යුරෝපීය කවුන්සිලය ප්‍රකාශ කරන්නේ, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් “විශේෂයෙන්ම කැමැත්ත ඇති අයගේ සන්ධානය (Coalition of the Willing) හරහා සහ එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් යුක්රේනය සඳහා ශක්තිමත් සහ විශ්වසනීය ආරක්ෂක සහතිකයන් සඳහා දායක වීමට සූදානම්” බවයි. යුරෝපා සංගම් මිලිටරි ආධාර මෙහෙයුම (EU Military Assistance Mission-EUMAM Ukraine), යුරෝපා සංගම් උපදේශන මෙහෙයුම (EU Advisory Mission-EUAM Ukraine) සහ යුරෝපා සංගම් චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් සටන් විරාම නිරීක්ෂණය කිරීම ඇතුළු ක්‍රම මඟින්, “දිගුකාලීනව ද ආක්‍රමණ වැළැක්වීමට සහ ඵලදායී ලෙස ආරක්ෂා වීමට” යුක්රේනයට ඇති හැකියාවට සහය දීම මෙයට ඇතුළත් වේ.

වෙනත් වචනවලින් කිවහොත්, අනාගත මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික සමථයකදී, යුරෝපා සංගමය කියෙව් පාලනයේ හුදු ආධාරකරුවෙකු ලෙස පමණක් නොව, ස්වාධීන අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස මේසයේ වාඩි වීමට සහ තමන්ගේම භූ-මූලෝපායික අවශ්‍යතා බලාත්මක කිරීමට ඇති අයිතිය පැහැදිලිවම කියා පාමින් සිටියි. වොෂින්ටනය සහ මොස්කව් තමන්ට උඩින් එකඟතාවයකට පැමිණීම වැළැක්වීමට යුරෝපීය බලවත්තු උත්සාහ කරති. ඉරාන යුද්ධය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය මඟින් වේගවත් කරන ලද, යුක්රේන යුද්ධයේ සෘජු නායකත්වයෙන් එක්සත් ජනපදය සාපේක්ෂව පසුබැසීම, බර්ලිනය, පැරිසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම සඳහා යොදා ගනිමින් තිබේ.

නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු යුද්ධයක අනතුර දිනෙන් දින වර්ධනය වේ. මේ සතියේ ඉංග්‍රීසි ඕඩය (English Channel) තුළ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර ඇති වූ ගැටුමෙන් මෙය විශේෂයෙන් පැහැදිලි විය. රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය යාත්‍රාවක් අසලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළේය. නිශ්චිත තත්ත්වයන් මතභේදාත්මක වුවද, නේටෝ රාජ්‍යයන් සහ රුසියාව අතර මිලිටරි ප්‍රකෝපකරනයක් හෝ ගැටුමක් පාලනය කළ නොහැකි උත්සන්න වීමකට කොතරම් ඉක්මනින් මඟ පෑදිය හැකිද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එහි ඉදිරිදර්ශන ලිපියක් වූ, “ඉංග්‍රීසි ඕඩයේ වෙඩි තැබීම් – බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුන්වන ලෝක යුද්ධයේ අනතුර” මඟින් අනතුරු ඇඟවූයේ, මෙම සිදුවීම යුරෝපීය කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතු බවයි: “ආණ්ඩු ඔවුන්ව රුසියාව සමඟ යුද්ධයකට වඩ වඩාත් සෘජුවම ඇද දමමින් සිටී. මෙම අනතුරු ඇඟවීම යුරෝපා සංගම් සමුළුව මඟින් හරියටම තහවුරු වේ. යුරෝපීය බලවත්තු වර්ධනය වන යුද අනතුරට ප්‍රතිචාර දක්වන්නේ සංයමයෙන් නොව, තව තවත් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම් සහ උත්සන්න කිරීම් සමඟිනි.”

සමුළුව නැවත වරක් රුසියාව යුරෝපා සංගමයට “පැවැත්ම පිළිබඳ අභියෝගයක්” (existential challenge) ලෙස ප්‍රකාශ කළ අතර 2030 වන විට යුරෝපයේ “ආරක්ෂක සූදානම” තීරණාත්මක ලෙස ඉහළ නැංවීමට කැඳවුම් කළේය. නිල නිගමනවලදී, ඩ්‍රෝන සහ ඩ්‍රෝන මර්දන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ගුවන් ආරක්ෂක, අභ්‍යවකාශ හැකියාවන් සහ “ගැඹුරු නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන්” (deep precision strike capabilities) කේන්ද්‍රීය ප්‍රමුඛතා ලෙස නම් කර ඇත. මෙම තාක්ෂණික යෙදුම පිටුපස සැඟවී ඇත්තේ නිරවද්‍ය ආයුධ මඟින් දුරස්ථ ඉලක්ක විනාශ කිරීමේ හැකියාවයි — එනම් රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක බලයක් සංවර්ධනය කිරීමයි.

එම අවස්ථාවේදීම “මිලිටරි සංචලතාව” (military mobility) වේගවත් කිරීමට නියමිතය. ඊට අදාළ ව්‍යවස්ථාදායක යෝජනා වසර අවසානයට පෙර සම්මත කර ගැනීමට නියමිතය. මෙයින් අදහස් කරන්නේ යුරෝපය පුරා ඇති මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වරායන්, ගුවන් තොටුපළවල් සහ දේශසීමා තරණ මාර්ග, සෙබළුන් සහ බර උපකරණ වේගයෙන් ගෙනයාම සඳහා පෙළගැස්මයි. මෙය ජර්මනියේ “ජර්මනියේ මෙහෙයුම් සැලැස්ම” (Operation Plan Germany) සමඟ හරියටම ගැළපෙන අතර, එමඟින් මුළු සමාජයම, ආර්ථිකය සහ යටිතල පහසුකම් නැඟෙනහිර පෙරමුණේ මහා යුද්ධයක් සඳහා සූදානම් කරනු ලබයි.

“ආරක්ෂාව” පිළිබඳ නිල වාක්‍ය ඛණ්ඩ හුදු විහිලුවකි. යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කරමින් සිටිති. ජර්මානු පාලක පන්තිය එමඟින් තම අපරාධකාරී ඉතිහාසය යළිත් කරලියට ගනිමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර අසූ පහකට පසු, ජර්මානු සටන් බලඇණියක් නැවත වරක් ලිතුවේනියාවේ ස්ථානගත වෙමින් පවතී; ජර්මානු ආයුධ සමාගම් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ආයුධ නිෂ්පාදනය කරමින් සිටී; එමෙන්ම බර්ලිනය යුරෝපයේ නායකත්වය ඉල්ලා සිටියි.

සමුළුවේ දෙවන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය වූ මැදපෙරදිග ද මිලිටරිවාදී ආක්‍රමණකාරීත්වයකින් සලකුණු වී ඇත. වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම, යුරෝපීය බලවතුන් දකින්නේ ආතතිය අඩු කිරීමේ පියවරක් ලෙස නොව, කලාපය තුළ තමන්ගේම භූමිකාව ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. දැනටමත් G7 සමුළුවේදී, මර්ස්, මැක්‍රෝන්, ස්ටාමර් සහ මෙලෝනි සංඥා කර තිබුණේ ඔවුන් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) යුරෝපීය නාවික බලයක් සූදානම් කරන බවයි. මර්ස් බුන්ඩෙස්ටැග් හිදී පැහැදිලිවම ප්‍රකාශ කළේ,  නිසි කොන්දේසි සකස් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහභාගී වීමට ජර්මනිය සූදානම් බවයි.

මෙය තවත් අධිරාජ්‍යවාදී යුද පෙරමුණක් උත්සන්න කිරීමේ තර්ජනයක් මතු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වැදගත්ම බලශක්ති සහ වෙළඳ මාර්ගවලින් එකකි. එහි යුද නැව් ස්ථානගත කරන කවුරුන් වුවද, වෙළඳ නැව්ගත කිරීම් “ආරක්ෂා කිරීමේ” අරමුණ ලුහු බඳිනවා නොවේ; ඒ වෙනුවට මැදපෙරදිග බලශක්තිය, වෙළඳ මාර්ග සහ භූ-මූලෝපායික බලපෑම කෙරෙහි පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි මැදිහත්වීම් සූදානම් කරති. ඇමරිකානු ආධිපත්‍යයේ අර්බුදයට යුරෝපීය බලවත්තු ප්‍රතිචාර දක්වන්නේ, කලාපය තුළ තමන්ම අධිරාජ්‍යවාදී පිළිවෙලක් ඇති කරන බලවතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි.

චීනය කෙරෙහි වන ප්‍රතිපත්තියට ද මෙය අදාළ වේ. “තරඟකාරිත්වය”, “ආර්ථික ආරක්ෂාව”, “මූලෝපායික පරායත්තතාවයන් අඩු කිරීම” සහ “ගෝලීය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්” වැනි ප්‍රචාරක වදන් යටතේ, සමුළුව යුරෝපයේ වෙළඳ යුද ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. තීරුබදු, අපනයන පාලනයන්, යුරෝපීය සංගත සඳහා සහනාධාර සහ යුරෝපයේම සැපයුම් දාමයන් ගොඩනැඟීම හරහා චීනයේ කාර්මික ශක්තියට එරෙහිව සටන් කළ යුතු ක්‍රමවේදයක් ලෙස චීනය වඩ වඩාත් විවෘතව පද්ධතිමය ප්‍රතිවාදියෙකු (systemic rival) ලෙස සලකනු ලබයි.

වෙළඳ යුද ප්‍රතිපත්තිය යුද ප්‍රතිපත්තිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. ගෝලීය අධිරාජ්‍යවාදී තරඟකාරිත්වයේ අවශ්‍යතාවලට අනුකූලව යුරෝපා සංගමයට එහි කර්මාන්ත, බලශක්ති ප්‍රතිපත්තිය, අමුද්‍රව්‍ය සැපයුම, පර්යේෂණ සහ යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී ඇත. මෙම සන්දර්භය තුළ, “තරඟකාරිත්වය” යන්නෙන් අදහස් කරන්නේ වැටුප් කප්පාදු, සමාජ කප්පාදු, නියාමනයන් ඉවත් කිරීම සහ බැංකු, සංගත සහ ආයුධ සමාගම් සඳහා දැවැන්ත රාජ්‍ය සහනාධාර ලබා දීමයි.

2028 සිට 2034 දක්වා වන නව බහු වාර්ෂික යුරෝපා සංගම් මූල්‍ය රාමුව පිළිබඳ විවාදයේදී මෙය විශේෂයෙන් පැහැදිලි වේ. කොමිසම යුරෝ ට්‍රිලියන 2 ක පමණ අයවැයක් යෝජනා කර තිබුණි. ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය සහ අනෙකුත් ශුද්ධ දායකයින් (net contributors) වඩාත් ගැඹුරු කප්පාදු ඉල්ලා සිටිති. මර්ස් ප්‍රකාශ කළේ සංඛ්‍යාවන් “පහළට පැමිණිය යුතු” බවයි. ඒ හා සමගම, මෙහි අරමුණ ප්‍රතිසන්නද්ධවීම සීමා කිරීම නොවේ. ඊට පටහැනිව, කෘෂිකර්මාන්තය, සහයෝගීතාව සහ සිවිල් වැඩපිළිවෙලවල් සඳහා වන සාම්ප්‍රදායික වියදම් කප්පාදු කිරීමට හෝ වෙනතකට හැරවීමට නියමිත අතර, ආරක්ෂාව, ආයුධ කර්මාන්තය, දේශසීමා ආරක්ෂාව, කාර්මික ප්‍රතිපත්තිය සහ “මූලෝපායික” ආයෝජන ශක්තිමත් කරනු ලැබේ.

යුද මාවතේ සමාජීය තර්කනය මෙයයි. ආයුධ, උන්ඩ, ඩ්‍රෝන යානා, මිසයිල සහ යුද නැව් සඳහා බිලියන ගණන් වෙන් කරන අතරතුර, වැටුප් පහත හෙළීමටත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීමටත්, පොදු සේවාවන් විනාශ කිරීමටත් නියමිතය. මෙම ප්‍රතිපත්තිය වැඩි වර්ධනය වන ප්‍රතිරෝධයකට මුහුණ දෙන බව පාලක පන්තිය දනී. විදේශයන්හි ප්‍රතිසන්නද්ධ ගැන්වීම රට තුළ  ප්‍රතිසන්නද්ධ ගැන්වීම සමඟ අත්වැල් බැඳගෙන යන්නේ එබැවිනි.

සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීම සමුළුවේ තවත් ප්‍රධාන කරුණක් විය. යුරෝපා සංගම් නායකයෝ, සංක්‍රමණ ප්‍රතිපත්තියේ “සියලු අංශ ඔස්සේ”, විශේෂයෙන්ම එහි “බාහිර මානය” (external dimension) පිළිබඳව  කටයුතු අඛණ්ඩව කරගෙන යන බව යළිත් සහතික කළහ. මෙයින් අදහස් කරන්නේ සරණාගතයින් යුරෝපයට පැමිණීමට පෙර ඔවුන්ව වැළැක්වීම, තුන්වන රටවල කඳවුරු පිහිටුවීම සහ පිටුවහල් කිරීම් වේගවත් කිරීම සඳහා ඒකාධිපති සහ ඒකාධිපති ස්වරූපී පාලන තන්ත්‍රයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමයි.

සමුළුවට ඉතා ආසන්නව, යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපා සංගමයෙන් පිටත “ආපසු හැරවීමේ මධ්‍යස්ථාන” (return hubs) ලෙස හැඳින්වෙන දෑ සඳහා ඉඩ සලසන නව ආපසු හැරවීමේ රෙගුලාසියකට මඟ පෑදීය. ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ අනෙකුත් ආණ්ඩු යුරෝපය සීල් කර වසා දැමීමේ ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් සඳහා උත්සාහ කරමින් සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම අවුලුවන ලද හෝ කර ගෙන යන යුද්ධවලින් පලා යන සරණාගතයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමටත්, ඔවුන්ව සිර කිරීමටත්, පිටුවහල් කිරීමටත් නියමිතය.

සරණාගතයින්ට එරෙහි උද්ඝෝෂණය අරමුණු කිහිපයකට සේවය කරයි. එය අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කරයි, කම්කරු පන්තිය බෙදා වෙන් කරයි, සහ වැඩවර්ජන, විරෝධතා සහ යුද විරෝධී විපක්ෂයට එරෙහිව ද යොදා ගනු ලබන මර්දනකාරී රාජ්‍ය උපකරණයක් නිර්මාණය කරයි. යුද්ධය සඳහා බිලියන ගණන් වියදම් කරන ආණ්ඩුම, රෝහල්, පාසල්, නිවාස සහ සමාජ ආධාර සඳහා “මුදල් නොමැති” බව ප්‍රකාශ කරති. ඒ  පිළිබඳ සමාජ කෝපය සරණාගතයින් වෙත හරවා යැවීමට නියමිතය.

යුරෝපා සංගම් සමුළුව පෙන්වා දෙන්නේ සමස්ත යුරෝපීය පාලක පන්තියම — කොන්සර්වේටිව්වරුන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්, හරිතයන් සහ නාමිකව වාම පක්ෂ — මෙම පිළිවෙත පිටුපස සිට ගන්නා බවයි. යුරෝපා සංගමය තුළ සාමකාමී හෝ ප්‍රගතිශීලී කල්ලියක් නොමැත. සියල්ලෝම යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ධනවාදය ආරක්ෂා කරති. ඔවුන්ගේ වෙනස්කම් පවතින්නේ, යුරෝපය ගෝලීය මිලිටරි බලවතෙකු ලෙස කොතරම් ඉක්මනින්, කුමන ක්‍රම මඟින් සහ කාගේ ජාතික නායකත්වය යටතේ සන්නද්ධ කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණි.

ජර්මනිය මෙම ක්‍රියාවලිය විශේෂයෙන් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යයි. මර්ස්-ක්ලින්බෙයිල් ආණ්ඩුව හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින්, යටිතල පහසුකම් යුද සැපයුම් පද්ධති බවට පරිවර්තනය කරමින්, අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට සූදානම් වෙමින් සහ වියදම් ජර්මානු ප්‍රාග්ධනයේ මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම සේවය නොකරන සෑම තැනකම යුරෝපා සංගම් අයවැය කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියි. ඒ සමගම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පොලිසිය, බුද්ධි ආයතන සහ සිවිල් ආරක්ෂක අංශ සන්නද්ධ කරමින් අධිපතිවාදී රාජ්‍ය උපකරණයක් ගොඩනැඟීම ඉදිරියට ගෙන යයි.

මෙම සමුළුව අනතුරු ඇඟවීමකි. යුරෝපයේ පාලක පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ සහන දීමෙන් නොව, යුද්ධය, සමාජ කප්පාදු සහ ඒකාධිපතිත්වය සමඟිනි. රුසියාවට එරෙහිව උත්සන්න කිරීම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර සෘජු යුද්ධයක් බවට පත්වීමේ තර්ජනයක් මතු කරයි. මැදපෙරදිග මිලිටරි ප්‍රහාරය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය සහ සරණාගතයින්ට එල්ල කරන ප්‍රහාර එකම වර්ධනයක කොටස් වේ.

මීට එරෙහි විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. යුද්ධයට එරෙහි අරගලයට ධනේශ්වර ක්‍රමයේ සියලුම පක්ෂවලින්, යුරෝපා සංගමයෙන් සහ නේටෝ යුද සන්ධානයෙන් බිඳීමක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන, ආයුධ කර්මාන්තය අත්පත් කර ගන්නා, යුද ප්‍රතිපාදන නතර කරන සහ යුද්ධයට, ඒකාධිපතිත්වයට හා සමාජය අන්ත දූප්පත් කිරීමට හේතුව වන ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් ආදේශ කරන ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර  Read More »

Iran

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 16 දින “US imperialism’s debacle in Iranයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran
2026 මාර්තු 8 වන ඉරිදා ඉරානයේ ටෙහෙරානයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් හානියට පත් තෙල් ගබඩා පහසුකමකින් ඝන දුමාරයක් නැඟී එයි. [AP ඡායාරූපය/වහීඩ් සලේමි]

පසුගිය පෙබරවාරි 28 වැනිදා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද යුද්ධයේ සටන් විරාම ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කරමින් සහ ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදයක් ඇති කර තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය තමන් යුද්ධයට අවතීර්ණ වූ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇත.

ඉරිදා දින “අවබෝධතා ගිවිසුමක්” ඩිජිටල් ලෙස අත්සන් කරන ලද අතර, නිල අත්සන් කිරීමේ උත්සවයක් සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය. වාර්තා වන පරිදි දින 60 ක කාලරාමුවක් සහිත මෙම ගිවිසුම මඟින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම, ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ලෙබනනය ඇතුළු ප්‍රදේශවල මිලිටරි මෙහෙයුම් වහාම අත්හිටුවීම අපේක්ෂා කෙරේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම බැඳී සිටී.

මෙම ගිවිසුම සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය. එහි සැබෑ පිටපත මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 25 ක පමණ ඉරාන වත්කම් නිදහස් කර ඇති බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, ඇමරිකාව එය හබ කර ඇත. ට්‍රම්ප් නැවතත් අවධාරණය කර ඇත්තේ “ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් හිමි කර ගැනීමට ඉඩ නොදෙන” බව වන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකාව “නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි” බවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර එදිනම ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දිගටම කරගෙන ගියේය.

කෙසේ වෙතත්, මෙහි ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එල්ල වූ අවිවාදිත පරාජයක් (debacle) නිරූපණය කරයි. මෙය පාසල් භූමියක සිටින චණ්ඩියෙකු රණ්ඩුවක් පටන් ගෙන අවසානයේ ඇසක් කළු කරගෙන (ගුටි කා) පරාජය වීම වැනි තත්ත්වයකි. ඉරාන රජය තවමත් බලයේ පවතී. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට හානියක් වී නැත. මෙමඟින් ලැබුණු වඩාත්ම සැබෑ ප්‍රතිඵලය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමයි, එනම් යුද්ධයට පෙර පැවති තත්ත්වයටම නැවත පත්වීමයි.

යුද්ධය ආරම්භ කරන විට පල කළ පාරට්ටු කර ගැනීම් (braggadocio) සහ එහි ප්‍රතිඵලයේ සැබෑ ස්වභාවය අතර විශාල පරතරයක් පවතී. ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමෙන්” යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පොරොන්දු විය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මාර්තු 2 වැනිදා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය “කිසිදු මෝඩ සටන් නීති රීතිවලින් තොරව” ඉතිහාසයේ “වඩාත්ම මාරාන්තික ගුවන් බලශක්ති මෙහෙයුම” දියත් කරන බවයි. දින කිහිපයකට පසු ඔහු මාධ්‍යවේදීන්ට පොරොන්දු වූයේ “දවස පුරා අහසින් මරණය සහ විනාශය” ළඟා කර දෙන බවයි.

ඉරාන රජය බිඳ දැමීමට මේ වසර  පුරා උත්සාහ කරමින් සහ පෙබරවාරි මාසයේදී ඉරාන වැසියන්ගෙන් “ඔබේ රජය අත්පත්කර ගන්නා ලෙස” ඉල්ලා සිටි ට්‍රම්ප්, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වෙත පැවසුවේ: “මම කවදාවත් පාලන තන්ත්‍රය වෙනස් කිරීම (regime change) ගැන තැකීමක් කළේ නැහැ” යනුවෙනි.

මාධ්‍ය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය පිළිබඳ විවරණයන්ගෙන් පිරී පවතී. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙය හඳුන්වා දී ඇත්තේ “තම යුධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ මූලූපායික පසුබැසීමක්” ලෙසය. 1991 දී සෝවියට් සංගමය (USSR) බිඳවැටීමත් සමඟ ආරම්භ වූ, අභියෝගයට ලක් නොවුණු ඇමරිකානු ආධිපත්‍යයේ යුගය අවසන් වී ඇති බවට ලෝකය ඉදිරියේ ප්‍රායෝගිකව පෙන්නුම් කළ අවස්ථාව මෙයයි.

ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරයේ දේශපාලන ස්වභාවය, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හඬ නඟන නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත “ජනාධිපති ට්‍රම්ප් මේ යුද්ධය පැරදුණා” යන සිරස්තලයෙන් පළ කළ කතුවැකියෙන් මනාව පැහැදිලි වේ. ටයිම්ස් පුවත්පතේ කනස්සල්ල වී ඇත්තේ මෙම යුද්ධය මහා පරිමාණ මිනිස් ඝාතන සහ ඝාතන දේශපාලනයක් ඔස්සේ සිදු කිරීම ගැන නොව, එය අසාර්ථක වීම ගැනය.

“ට්‍රම්ප් මහතා මේ යුද්ධය ආරම්භ කිරීමෙන් බරපතල වැරැද්දක් කළා,” යැයි එම කතුවැකියේ සඳහන් වේ. “ඔහු එය මෙහෙයවූයේ පරිස්සම නොතකාම සහ නීතිය විවෘතව උල්ලංඝනය කරමිනි. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරිමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් දුර්වලව ඉන් මතු වෙන අතර ඉදිරි වසර ගණනාව තුළ මෙහි මූලෝපායික පිරිවැය ගෙවීමට සිදුවනු ඇත.” ටයිම්ස් පුවත්පත දුක් වෙමින් පවසන්නේ “සමස්තයක් ලෙස ගත් කල, මෙම සිව්මස් යුද්ධයේ මූලෝපායික ජයග්‍රාහකයා ලෙස ඉරානය මතු වන” බවයි. ඇමරිකානු මිලිටරිය තමන් සතු දිගු දුර නිරවද්‍ය මිසයිල සහ ප්‍රතිරෝධක මිසයිල බොහොමයක් ක්ෂය කර දැමූවද, තමන්ට වඩා බෙහෙවින් කුඩා ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට නොහැකි බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිඵලය වෙනත් විභව (potential) ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීමට (deter) මෙම රටට ඇති හැකියාවට හානි පමුණුවයි.”

එම කතුවැකියේ අවසන් නිගමනය මෙම ප්‍රකාශයට ලඝු වේ: “පෙන්ටගනයට නූතනකරණය වීමට සහ අනාගත යුද්ධ සඳහා සූදානම් වීමටද අවශ්‍ය වනු ඇත.”

අනාගත යුද්ධ. විශේෂයෙන්ම චීනය සහ රුසියාව සමඟ පවතින ස්ථිර අධිරාජ්‍යවාදී ගැටුම්කාරී රාමුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර, ඒ සඳහා පෙන්ටගනය “නූතනකරණය වී සූදානම් විය යුතුය”. මෙහිදී ප්‍රශ්නයකට ලක්ව ඇත්තේ එම රාමුව පාලනය කරනු ලබන දක්ෂතාවය (competence) පිළිබඳව පමණි.

කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රතිචාරයද ක්‍රියාත්මක වන්නේ එම රාමුව තුළමය. සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි (Chris Murphy) මෙම ගිවිසුම හැඳින්වූයේ “මූලික වශයෙන් ඉරානයට යටත් වීමක්” ලෙසය. නියෝජිත (සභික) සෙත් මෝල්ටන් (Seth Moulton) එය හැඳින්වූයේ “මූලික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායකයා වෙත ලබා දුන් යටත් වීමේ ලේඛනයක්” ලෙසය. සෙනෙට් සභික ජැක් රීඩ් (Jack Reed) මැසිවිලි නැඟුවේ ඔබාමා යුගයේ න්‍යෂ්ටික ගිවිසුම වූ JCPOA යටතේ තිබූ ප්‍රමාණයටත් වඩා “අඩු දෙයක්” දැන් ඇමරිකාවට ලැබෙන බවයි. ඩිමොක්‍රටික් පාර්ශවය යුද්ධය ආරම්භ කරන විට එය අනුමත කළේය. ඔවුන් දැන් ඒ ගැන මැසිවිලි නඟන්නේ ඉරානය විනාශ නොකර යුද්ධය අවසන් වූ නිසා පමණි.

යුද්ධයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් පැවති නමුත්, නිල දේශපාලන රාමුව තුළ එයට කිසිදු ප්‍රකාශනයක් (නියෝජනයක්) ලැබුණේ නැත.

යුද්ධයේ මෙම අදියර අවසන් වීමෙන් යුද්ධය මුළුමනින්ම අවසන් වූ බවක් අදහස් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය තම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ඔබාමා යටතේ පිහිටුවන ලද 2015 JCPOA රාමුව 2018 දී ට්‍රම්ප් විසින් අවසන් කරන ලද අතර එය 2026 යුද්ධයට මග පෑදීය. මෙම 2026 සටන් විරාම රාමුව ඊළඟට එන යුද්ධයට මග පාදනු ඇත.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත පරාජයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිවිපාක දැකගත හැකි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළමය.

මෙම යුද්ධය දියත් කරන ලද්දේ, එක් අතකින් ඇමරිකානු ධනවාදයේ ව්‍යුහාත්මක පරිහානිය නැවැත්වීමේ උත්සාහයක් වශයෙනි. යුරෝපීය මහ බැංකුව මේ මාසයේ වාර්තා කළේ රන්, යුරෝ මුදල් ඒකකය අභිබවා යමින් ලොව දෙවන විශාලතම සංචිත වත්කම බවට පත්ව ඇති බවයි. එය වසරකට පෙර පැවති 20% සිට ගෝලීය සංචිතවලින් 27% දක්වා ඉහළ ගොස් ඇත. ෆෙඩරල් ණය ප්‍රමාණය 1946 න් පසු පළමු වතාවට මාර්තු මාසයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 100% සීමාව පසු කළේය. යුද්ධයේ අසාර්ථකත්වය ඩොලරයේ පරිහානිය වේගවත් කර ඇති අතර යුද්ධයෙන් විසඳීමට බලාපොරොත්තු වූ ව්‍යුහාත්මක අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත.

යුද්ධය දියත් කරන ලද්දේ සමාජ ගැටුම් උත්සන්න වෙමින් පැවති පසුබිමකය. යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, මිනියාපොලිස් හි ෆෙඩරල් ඒජන්තයින් විසින් 37 හැවිරිදි කවියෙකු වූ රෙනී නිකෝල් ගුඩ් (Renée Nicole Good) සහ 37 හැවිරිදි හෙදියක වූ ඇලෙක්ස් ප්‍රෙට්ටි (Alex Pretti) ඝාතනය කිරීමෙන් පසු ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය) ට එරෙහිව මහා පරිමාණ ජනතා විරෝධතා තීව්‍ර විය. ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධය දියත් කිරීම, අනෙකුත් කරුණු අතර, මෙම වර්ධනය වෙමින් පැවති විරෝධය දේශප්‍රේමී යුධ උණක් වෙත හරවා යැවීමේ උත්සාහයක් විය.

සමාජ විරෝධය දැන් තවදුරටත් උත්සන්න වනු ඇති අතර, එය වැඩි වැඩියෙන් කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනු ඇත. ඇමරිකන් ඇක්සල් (American Axle) හි මෝටර් රථ කොටස් නිෂ්පාදන කම්කරුවන් මේ මාසයේ වැඩ වර්ජනයක නිරත විය. දුම්රිය සේවකයන්, මස් ඇසුරුම් කරන්නන්, ගුරුවරුන් සහ හෙදියන් සේවයෙන් ඉවත් වී ඇත (walked out). ඉරිදා ගිවිසුමේ ආරංචියත් සමඟ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ ඉහළ ගියද, ඉන්ධන සහ ආහාර මිල ගණන් තවමත් යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. පුද්ගලික පරිභෝජන වියදම් (PCE) උද්ධමනය 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 න් පසු ඉහළම වේගයයි. පාරිභෝගික විශ්වාසය (Consumer sentiment) ඉතිහාසයේ අවම මට්ටමක පවතින අතර, එය මහා අවපාතය (Great Recession) හෝ වසංගත කාලයටත් වඩා දරුණුය.

සමාගම් ලාභ ලබන අතරතුර, කම්කරුවන්ට සිදු වූයේ මිල ඉහළ යාම හරහා යුද්ධයේ බර දැරීමටය. මෙම ආර්ථික බලපෑම ඉදිරි වසර ගණනාව තුළ ඇමරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද පන්ති අරගල සඳහා ඉන්ධන සපයනු ඇත. යුද්ධය ඇති කරන එම අර්බුදයම, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ද බිහි කරමින් පවතී.

ගැඹුරු වන සමාජ විරෝධයට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වනු ඇත්තේ තමන් දැනටමත් ප්‍රදර්ශනය කර ඇති ක්‍රමවේදයන් මඟිනි: එනම් ICE වැටලීම්, මහා පරිමාණ රැඳවුම් යටිතල පහසුකම්, දේශීය විරෝධතාවලට එරෙහිව ජාතික ආරක්ෂක බලකාය (National Guard) යෙදවීම, දේශපාලන විරුද්ධවාදිකම් අපරාධකරණය කිරීම සහ ඒකාධිපති රාජ්‍ය බලය තහවුරු කිරීම මඟිනි. ඉරානය තුළ ලැබූ පරාජය මෙම ගමන මන්දගාමී නොකරනු ඇත; එය තවදුරටත් තීව්‍ර කරනු ඇත. විදේශයන්හි තම අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුණ දෙන ඇමරිකානු පාලක පන්තිය, මෙරට කම්කරු පන්තියට එරෙහිව නව ම්ලේච්ඡත්වයකින් හැරෙනු ඇත.

දැන් පවතින කාර්යභාරය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ වපසරියක් සහිත, සමාජවාදී වැඩපිළිවෙළක් සහ තම අරමුණු පිළිබඳ දේශපාලනික සවිඥානිකත්වයක් ඇති කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය Read More »

Cuba

රාවුල් කැස්ත්‍රෝට එරෙහි එක්සත් ජනපද අධිචෝදනාව සහ කියුබාවට එරෙහි CIA භීෂණයේ වාර්තාව

ඇන්ඩ්‍රියා ලෝබෝ විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 20 දින “The US indictment of Raúl Castro and the record of CIA terror against Cubaයන හිසින් පළවූ ඇන්ඩ්‍රියා ලෝබෝ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cuba
1961 දී කියුබාවේ “බේ ඔෆ් පිග්ස්”(Bay of Pigs) හිදී සිරභාරයට ගන්නා ලද 2506 බ්‍රිගේඩයේ සාමාජිකයින්.

එක්සත් ජනපදය කියුබාවේ සිය හමුදාමය වාඩිලාගැනීම අවසන් කර, 1902 දී කියුබානු ජනරජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර වසර 124ක් සනිටුහන් වූ මැයි 20 වනදා, ට්‍රම්ප් පරිපාලනය එම දූපතට එරෙහිව මෙතෙක් එල්ල කළ වඩාත්ම විවෘත තර්ජනය සිදු කළේය.

1996 දී මියාමි නුවර පදනම් කරගත් ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ (Brothers to the Rescue) නම් පිටුවහල් වූවන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිද්ධියට සම්බන්ධව, 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝට එරෙහිව මිනීමැරුම් සහ කුමන්ත්‍රණ චෝදනා ඇතුළත් අධිචෝදනා පත්‍රයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

දශකයකට ආසන්න කාලයක් රාජ්‍ය නිලතලවලින් විශ්‍රාම ගෙන සිටින කැස්ත්‍රෝ, මීට පෙර කියුබාවේ ජනාධිපතිවරයා සහ එහි පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහු 1959 දී බලයට පත් වූ, ඔහුගේ සහෝදර ෆිදෙල් විසින් මෙහෙයවන ලද ගරිල්ලා හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු (comandante) ද විය.

අධිචෝදනා පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියුබානු ජනතාව වෙත සෘජුවම ආමන්ත්‍රණය කරමින් ස්පාඤ්ඤ භාෂාවෙන් වීඩියෝවක් පළ කළේය. එමඟින් පාලන තන්ත්‍රය වෙනස් කරන ලෙස ඉල්ලා සිටි ඔහු, වොෂින්ටනය විසින් සමස්ත ලතින් ඇමරිකාව පුරා ක්‍රියාවට නංවමින් සිටින නැවත යටත් විජිතකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

බදාදා මියාමි හිදී මෙම අධිචෝදනා පත්‍රය ප්‍රසිද්ධියට පත් කිරීම, නීතිමය ක්‍රියාවලියකට වඩා මැතිවරණ ප්‍රචාරක රැලියක ස්වරූපයක් ගත්තේය. එහිදී වොෂින්ටනයේ ප්‍රතිවිප්ලවවාදී නියෝජිතයන් රැස්ව සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ජයඝෝෂා කිරීමට සහ කියුබාවට එරෙහිව සෘජු එක්සත් ජනපද හමුදාමය මැදිහත්වීමක් සිදු වීමේ ඇති ඉඩකඩට අත්පොළසන් දීමටය.

මෙම දක්ෂිණාංශික සැමරුම මධ්‍යයේ, එක් ප්‍රශ්නයක් කැපී පෙනෙන ලෙස නොසලකා හැර තිබුණි: එනම් කියුබාවට එරෙහිව වසර 66ක් තිස්සේ සිදු වූ, පාලනයකින් තොර එක්සත් ජනපද ප්‍රචණ්ඩත්වය, ඝාතන සහ භීෂණය සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ කවුරුන්ද යන්නයි. 

රාවුල් කැස්ත්‍රෝට එරෙහි අධිචෝදනා පත්‍රය යනු මිලියන 10කට වඩා අඩු ජනගහනයක් සහිත දිළිඳු රටකට එරෙහිව සැලසුම් සහගත හමුදාමය ආක්‍රමණයක් සාධාරණීකරණය කිරීම සඳහා වූ පිළිකුල් සහගත දේශපාලන ප්‍රචාරක ක්‍රියාවකි.

අධිචෝදනා පත්‍රයේ සඳහන් වන දශක තුනක් පැරණි මෙම සිදුවීම නම්, 1996 පෙබරවාරි 24 වන දින ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියට (Straits of Florida) ඉහළින් “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමයි. බිල් ක්ලින්ටන්ගේ පරිපාලනයේ සිට බලයට පත් වූ සෑම එක්සත් ජනපද රජයක් විසින්ම මෙම සිදුවීම ක්‍රමානුකූලව වැරදි ලෙස අර්ථ දක්වා ඇත. ක්ලින්ටන් පරිපාලනය, රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන යන සියල්ලම, සිවිල් ගුවන් යානාවලට එරෙහිව හමුදා බලය භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති රීති උපුටා දක්වමින්, මෙය “අමානුෂික මිනීමැරුමක්” ලෙස හෙළා දුටහ. ප්‍රහාරයෙන් බේරී පලාගිය ගුවන් යානයේ නියමුවා වූ හොසේ බසුල්තෝ (José Basulto) සහ අනෙක් පුද්ගලයන්, එක්සත් ජනපද බුද්ධි අංශයෙන් වැටුප් ලබන නියෝජිතයන් නොවන බව සී.අයි.ඒ. (CIA) සංවිධානය තරයේ කියා සිටියේය.

මෙයින් කිසිවක් සත්‍ය නොවීය. එක්සත් ජනපදයේ කියුබානු තානාපති කාර්යාලය මෙම අධිචෝදනා පත්‍රයට ප්‍රතිචාර දක්වමින් මතක් කර දුන්නේ, 1994 සහ 1996 අතර කාලය තුළ ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ (Brothers to the Rescue) සංවිධානය විසින් සිදු කරන ලද 25කට අධික දේශසීමා උල්ලංඝනය කිරීම් ප්‍රමාණයක් කියුබාව විසින් නිල වශයෙන් හෙළා දැක තිබූ බවයි. එම විරෝධතාවන්i වොෂින්ටනය විසින් ක්‍රමානුකූලව නොසලකා හරින ලදී.

මානුෂීය සංවිධානයක් වීම කෙසේ වෙතත්, “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) සංවිධානය සිය ගුවන් යානා භාවිතා කරමින් කියුබානු භූමියට ඉහළින් නැවත නැවතත් සතුරු ගුවන් ගමන් සිදු කළේය. ඇතැම් අවස්ථාවලදී ඔවුහු හවානා නගරයට ඉහළින් පහත් මට්ටමෙන් පියාසර කරමින්, රජයට එරෙහිව නැගී සිටින ලෙස කියුබානු ජනතාවගෙන් ඉල්ලා සිටින පත්‍රිකා බිම හෙළූහ. සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් මෙහෙයවන ලද “බේ ඔෆ් පිග්ස්” (Bay of Pigs) ආක්‍රමණයේ ප්‍රවීණයෙකු වූ බසුල්තෝ, පැනමාවේ පිහිටි එක්සත් ජනපද යුද හමුදාවේ “ස්කූල් ඔෆ් ද ඇමරිකාස්” (School of the Americas) ආයතනයෙන් තමන් භීෂණ උපක්‍රම පිළිබඳ පුහුණුව ලැබූ බවට පුරසාරම් දොඩා තිබුණි. ඔහු බෝට්ටුවක සිට හවානා නුවර හෝටලයකට ප්‍රහාර එල්ල කිරීමට සහභාගී වූ අතර, පසුව සී.අයි.ඒ. (CIA) මඟින් මෙහෙයවන ලද, නිකරගුවාවේ කොන්ට්‍රා (Contra) ත්‍රස්තවාදී ව්‍යාපාරයට සහයෝගය ලබා දුන්නේය.

ඔහුගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම්, කියුබාවට එරෙහිව එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කරවීම අරමුණු කරගත්, සැලසුම්සහගත ප්‍රකෝප කිරීමක් විය. මෙම වෙඩි තබා බිම හෙළීම, එක්සත් ජනපදයේ පිටුබලය ලත්, අඛණ්ඩ ආක්‍රමණශීලී ව්‍යාපාරයකට එරෙහිව සිදු කළ ආත්මාරක්ෂක ක්‍රියාවක් විය.

ක්ලින්ටන් පරිපාලනය හමුදාමය වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොකළ නමුත්, හෙල්ම්ස්-බර්ටන් (Helms-Burton) පනත් කෙටුම්පතට එරෙහිව තමන් දැක්වූ විරෝධය වෙනස් කිරීමට කටයුතු කළේය. එම පනත මඟින් කියුබාව සමඟ ව්‍යාපාර කටයුතුවල නිරත වන විදේශීය සමාගම්වලට එරෙහිව දැඩි නව සම්බාධක පැනවූ අතර, එක්සත් ජනපද වෙළඳ තහනම (embargo) ඉවත් කිරීම ද වළක්වන ලදී.

යුද්ධය සඳහා ව්‍යාජ හේතුවක් ලෙස අධිචෝදනා පත්‍රය

දැන්, වසර 30කට පසුව, ට්‍රම්ප් පරිපාලනය අසීමිත වූ නරුමත්වයකින්  යුතුව කැස්ත්‍රෝට අධිචෝදනා නැඟීම සඳහා මෙම මවාගත් සිදුවීම වෙත නැවත හැරී බලයි. මෙම අධිචෝදනා පත්‍රය, ජනවාරි 3 වනදා කරකස් නුවරට එල්ල වූ එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකදී පැහැරගනු ලැබීමට පෙර, වංචනික මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී චෝදනා මත අධිචෝදනා ලැබූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව භාවිතා කරන ලද ආකෘතියම හරියටම අනුගමනය කරයි.

මෙම අධිචෝදනා පත්‍රය සකස් කරන ලද්දේ කියුබානු නිලධාරීන්ට එරෙහිව පුළුල් ලෙස නඩු පැවරීම සඳහා, ෆ්ලොරිඩාවේ දකුණු දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතිඥ ජේසන් රෙඩින් කිනියෝනස් (Jason Reding Quiñones) විසින් මාර්තු මාසයේදී පිහිටුවන ලද ක්‍රියාකාරී කණ්ඩායමක් විසිනි. කියුබානු සරණාගතයින්ගේ පුත්‍රයෙකු වන රෙඩින්, එක්සත් ජනපද යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ දිගුකාලීන සේවාවකින් පසුව, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ, නම් කරන ලද පළමු රජයේ නීතිඥවරයා (prosecutor) විය. 

පසුගිය මාසයේදී ඔහු සංචිත (reserve- අඩ කාල හමුදා) කර්නල් ධුරයට උසස් කරනු ලැබුවා පමණක් නොව, ඉරානයට එරෙහි යුද්ධය ද ඇතුළුව මැදපෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන්, එක්සත් ජනපද මධ්‍යම විධානය (US Central Command) සඳහා “ජ්‍යෙෂ්ඨ සංචිත නීති උපදේශක” ලෙසද ඔහු දැනට කටයුතු කරයි.

මෙම අධිචෝදනා පත්‍රය, මාස ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින, ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධයක් සඳහා පුළුල් ලෙස පදනමක් මවාපෑමේ ක්‍රියාවලිය සමඟ සමගාමීව බැලිය යුතුය. රහසිගත බුද්ධි තොරතුරු උපුටා දක්වමින් නම සඳහන් නොකළ ධවල මන්දිර නිලධාරීන් කළ ප්‍රකාශ මත පදනම්ව මෑතකදී පළ වූ “ඇක්සියෝස්” (Axios) වාර්තාවක් කියා සිටියේ, කියුබාව රුසියාවෙන් සහ ඉරානයෙන් ඩ්‍රෝන යානා 300 කට වඩා ලබාගෙන ඇති බවයි. එමෙන්ම, ගුවන්තනාමෝ බේ (Guantánamo Bay) හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරට, එක්සත් ජනපද නාවික නැව්වලට සහ ෆ්ලොරිඩාවේ කී වෙස්ට් (Key West) ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන් “සැලසුම් සාකච්ඡා කරමින්” සිටි බවද එහි සඳහන් විය.

කියුබානු තානාපති කාර්යාලය එම වාර්තාවේම ඇති අභ්‍යන්තර විකාරරූපී බව මෙසේ හෙළිදරව් කළේය: “ඇක්සියෝස් (Axios) ආයතනය ‘ඩ්‍රෝන තර්ජනයක්’ මවාපාන නමුත්, ඡේද කිහිපයකට පසුව ‘එක්සත් ජනපද නිලධාරීන් කියුබාව සක්‍රීයව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව විශ්වාස නොකරයි’ යනුවෙන් පාපොච්චාරණය කරයි.”ජනවාරි මාසයේදී පනවන ලද ඇමෙරිකානු බලශක්ති සම්බාධක හේතුවෙන් කියුබාවේ විදුලිබල පද්ධතිය බිඳවැටීමකට ලක්ව ඇති බවත්, කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට එරෙහිව දණ්ඩනීය තීරුබදු පනවන බවට තර්ජනය කර ඇති බවත් පෙන්වා දෙමින් කියුබානු රජය වැඩිදුරටත් කියා සිටියේ “ප්‍රහාරයට ලක්ව ඇති රට කියුබාව” බවයි.

කියුබාවට එරෙහි එක්සත් ජනපද භීෂණයේ සහ ආක්‍රමණයේ වාර්තාව

නූතන ඉතිහාසයේ වඩාත්ම අඛණ්ඩ සහ රුදුරු ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ගෙන් එකක් වන, කියුබාවට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අධිචෝදනා නැඟීම සඳහා මැයි 20 වනදා සුදුසුම දිනයක් වනු ඇත.

මෙම දිනයෙන් සනිටුහන් වන්නේ, ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජනපදය විසින් ස්පාඤ්ඤයේ යටත් විජිතයන් වූ කියුබාව, පුවර්ටෝ රිකෝ, ගුවාම් සහ පිලිපීනය තම පාලනයට නතු කර ගැනීමෙන් පසු, 1902 දී කියුබානු ජනරජය ප්‍රකාශයට පත් කිරීමයි.

ඉන්පසුව, 1917 සහ 1923 අතර කාලය තුළ එක්සත් ජනපද මැරීන් භටයින් මෙම දූපත වාඩිලාගෙන සිටි අතර, ඔවුහු වැඩ වර්ජන මර්දනය කරමින් එක්සත් ජනපද සමාගම්වල ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කළහ.

එක්සත් ජනපද හමුදා වාඩිලාගැනීම නිල වශයෙන් අවසන් වීමත් සමඟ ප්ලැට් සංශෝධනය (Platt Amendment) පැනවීමට කටයුතු කෙරුණු අතර, එමඟින් තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක කියුබානු කටයුතුවලට හමුදාමය වශයෙන් මැදිහත් වීම සඳහා වොෂින්ටනයට අසීමිත “අයිතියක්” හිමි විය. ෆිදෙල් කැස්ත්‍රෝ රජය විසින් මැයි 20 වනදා නිල දින දර්ශනයෙන් ඉවත් කරනු ලැබුවේ, 1902 දී ලැබූ “නිදහස” යනු ජනරජ වෙස් ගත් යටත් විජිතවාදී වැඩපිළිවෙළක් පමණක් බව පිළිගනිමිනි.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා දැනට තීව්‍ර වෙමින් පවතින උත්සාහය මෙන්ම, කියුබාවට එරෙහිව වසර 66ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ එක්සත් ජනපද භීෂණයේ අරමුණ වූයේ, 1959ට පෙර ප්ලැට් සංශෝධනය (Platt Amendment) සහ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ (Fulgencio Batista) ආඥාදායකත්වය යටතේ පැවති ආකාරයේ සබඳතාවක් නැවත ඇති කිරීමට ඇති සෑම බාධකයක්ම ඉවත් කිරීමයි. එහි අරමුණ වන්නේ, එක්සත් ජනපද බැංකුවලට සහ සමාගම්වලට කියුබාවේ ඉඩම්, පොදු උපයෝගිතා සේවා, දුම්රිය මාර්ග සහ සීනි කර්මාන්තය පාලනය කිරීමට ඉඩ සලසන අතරම, එක්සත් ජනපද දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් නිතර ගැවසුණු ගණිකා නිවාස සහ කැසිනෝ ශාලා පවත්වාගෙන යාමට මාෆියාවට (Mafia) පූර්ණ නිදහස ලබා දුන් යටත් විජිත පන්නයේ සබඳතා නැවත ඇති කිරීමයි. එම තත්ත්වය පවත්වාගෙන යාම සඳහා බැටිස්ටා විසින් පුද්ගලයන් 20,000ක් ඝාතනය කරන ලදී.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් එක්සත් ජනපදයේ පිටුබලය ලත් ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ආඥාදායකත්වය පෙරළා දැමූ විට, වොෂින්ටනයේ ප්‍රතිචාරය ක්ෂණික විය. රහස්‍යභාවයෙන් මුදාහළ සී.අයි.ඒ. (CIA) ලේඛන මඟින් තහවුරු කරන්නේ, කැස්ත්‍රෝ සෝවියට් සංගමය සමඟ සන්ධානගත වීමටත් පෙර සිටම කියුබාවට එරෙහි එක්සත් ජනපදයේ රහසිගත මෙහෙයුම් ආරම්භ වී තිබූ බවයි. එනම්, මෙම ප්‍රහාරවලට සීතල යුද මතවාදයට වඩා වැඩි සම්බන්ධයක් තිබුණේ එම දූපත තුළ සිදුවූ එක්සත් ජනපද සමාගම්වල කොල්ලකෑම ආරක්ෂා කිරීම සමඟය.

වොෂින්ටනය ආයුධ විකිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, කියුබාවට යුරෝපයෙන් මිලදී ගැනීමට බලකෙරුණු ආයුධ ප්‍රවාහනය කරමින් තිබූ ‘ලා කුබ්රේ’ (La Coubre) නම් ප්‍රංශ නැවට 1960 මාර්තු මාසයේදී බෝම්බ ප්‍රහාරයෙන් ආරම්භ වූ, ඉන් අනතුරුව සිදුවූ එක්සත් ජනපද ත්‍රස්තවාදයේ වාර්තාව නූතන ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස ලේඛනගත කර ඇති වාර්තාවන්ගෙන් එකකි. පළමු පිපිරීමට ප්‍රතිචාර දක්වමින් පැමිණෙන සහන සේවකයන් දෙවන පිපිරීමට හසු කර ගැනීම සඳහා, බෝම්බ එකින් එක පිපිරී යන පරිදි හිතාමතාම වේලාව සකස් කර තිබුණි. මෙයින් පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් මියගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූහ. 

විශාලතම මැදිහත්වීම වූයේ 1961 අප්‍රේල් මස සිදුවූ ‘බේ ඔෆ් පිග්ස්’ (Bay of Pigs) ආක්‍රමණය වන අතර, එය සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් මෙහෙයවන ලද සහ මූල්‍ය ප්‍රතිපාදන සපයන ලද, දළ වශයෙන් 1,400ක් පමණ වූ පිටුවහල් කරන ලද කියුබානු කුලී හේවායන්ගෙන් සමන්විත බලකායක් විසින් සිදු කරන ලදී. එම කලාපය තුළ එක්සත් ජනපදය ලැබූ විශාලතම හමුදාමය පසුබෑම සනිටුහන් කරමින් කියුබාව එය පරාජය කිරීමට සමත් වූ නමුත්, ඒ වන විටත් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි. ඉන් අනතුරුව, කියුබාවට එරෙහිව එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පෙරනිමිති සැපයීම පිණිස, එක්සත් ජනපද නගරවල ව්‍යාජ (false-flag) ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සහ එක්සත් ජනපද ගුවන් යානා පැහැරගැනීම් සිදු කිරීම සඳහා වූ, දැනට රහස්‍යභාවයෙන් මුදාහැර ඇති යෝජනාවක් වන ‘ඔපරේෂන් නෝර්ත්වූඩ්ස්’ (Operation Northwoods) සැලැස්ම 1962 මාර්තු මාසයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (Joint Chiefs of Staff) විසින් කෙටුම්පත් කරන ලදී.

1975 චර්ච් කමිටුව (Church Committee) මඟින් 1960 සහ 1965 අතර කාලය තුළ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට සී.අයි.ඒ. (CIA) සංවිධානය දැරූ උත්සාහයන් අටක් සාක්ෂි සහිතව තහවුරු කරන ලද අතර, පුපුරා යන මුහුදු බෙලිකටු, විෂ සහිත සුරුට්ටු, වස කැවූ පෑන් භාවිත කිරීම සහ මාෆියා සාමාජිකයන් සමඟ පැවැත්වූ සහයෝගීතාව එහිදී ලේඛනගත කෙරිණි. කියුබානු ප්‍රති-බුද්ධි (counterintelligence) අංශය විසින් සමස්තයක් ලෙස මෙවැනි වෙන් වෙන් ඝාතන කුමන්ත්‍රණ 638ක් ලේඛනගත කර ඇත.

විශේෂයෙන්ම ද්වේෂසහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස, 1971 වසරේ ඇති වූ අප්‍රිකානු ඌරු උණ වසංගතය සහ ළමුන් 101 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 158 දෙනෙකු මියගිය 1981 වසරේ ඇති වූ ඩෙංගු රක්තපාත උණ වසංගතය, ඇමෙරිකාවට සම්බන්ධ පාර්ශ්වයන් විසින් හිතාමතාම සිදු කරන ලද හඳුන්වා දීම් බව කියුබාව කියා සිටී.

කීත් බොලෙන්ඩර් (Keith Bolender) ඇතුළු පර්යේෂකයන් විසින් සම්පාදනය කරන ලද, කියුබානු රජයේ වාර්තා සහ පුද්ගලයන්ගේ සෘජු සාක්ෂි ඇසුරින් රැස්කරගත් මෙන්ම, රහස්‍යභාවයෙන් මුදාහළ වාර්තාවල ඇති වෙන් වෙන් සිදුවීම් සමඟ පුළුල් ලෙස සන්සන්දනය කරන ලද ලේඛනගත සංඛ්‍යාලේඛනවලට අනුව; 1959 සිට කියුබාවට එරෙහිව ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද හෝ එක්සත් ජනපදයට සම්බන්ධ ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 3,000කට වඩා වැඩි වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 2,100කට ආසන්න වේ.

මෙම අපරාධ සිදුකළ කිසිදු අපරාධකරුවෙකු එක්සත් ජනපද රජය විසින් අපරාධමය වශයෙන් වගකීමට ලක් කර නොමැත. ඔවුන්ව පුහුණු කළ, සංවිධානය කළ, මූල්‍ය ප්‍රතිපාදන සැපයූ සහ නඩු පැවරීමෙන් වලක්වා ඔවුන්ව ආරක්ෂා කළ ජාලයන් ගොඩනඟන ලද්දේ සහ ආරක්ෂා කරන ලද්දේ සී.අයි.ඒ. (CIA) සංවිධානය සහ සමස්තයක් ලෙස එක්සත් ජනපද රාජ්‍යය විසිනි.

ලුයිස් පොසාඩා කැරිලස්ගේ (Luisu Posada Carriles) ක්‍රියාකලාපය මෙයට ඇති පැහැදිලිම උදාහරණයයි. කියුබාවේ උපත ලබා, ජෝර්ජියාවේ ෆෝර්ට් බෙනින් (Fort Benning) හිදී සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් පුහුණු කරනු ලැබූ පොසාඩා, “බේ ඔෆ් පිග්ස්” (Bay of Pigs) ආක්‍රමණය සංවිධානය කිරීමට දායක විය.  ඉන් අනතුරුව එක්සත් ජනපද බුද්ධි අංශවල දැනුවත්භාවය, රැකවරණය සහ ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ සෘජු මඟපෙන්වීම යටතේ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින්, බටහිර අර්ධගෝලයේ ඉතිහාසය තුළ වඩාත්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදියෙකු බවට පත් විය. ඔහු 1976 දී කියුබානා ගුවන් සේවයට අයත් 455 ගුවන් යානයට (Cubana Airlines Flight 455) සිදු කළ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සංවිධායකයෙකු විය. එම ප්‍රහාරය 2001 සැප්තැම්බර් 11 දිනට පෙර ඇමරිකානු කලාපය තුළ සිදු වූ මාරාන්තිකම ගුවන් සේවා ත්‍රස්ත ක්‍රියාවයි. එමඟින් සමස්ත කියුබානු ජාතික කනිෂ්ඨ කඩු හරඹ (fencing) කණ්ඩායම ඇතුළුව එහි ගමන් ගත් මගීන් 73 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ.

1976 බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන ලද දේශය සහ පොසාඩා (Posada)  නීත්‍යානුකූලව  (ප්‍රජාකරණ) පුරවැසිභාවය ලබා සිටි රට වූ වෙනිසියුලාව, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් රඳවා තබා ගත්තේය. පසුව 1985 දී, ඔහුට එරෙහි නඩු විභාගය අපේක්ෂාවෙන් පසුවන අතරතුර, ඔහු බන්ධනාගාරයෙන් පලා ගියේය. 

ඔහු ඉතාලි ජාතික සංචාරක ෆැබියෝ ඩි සෙල්මෝ (Fabio Di Celmo) ජීවිතක්ෂයට පත් කළ 1997 හවානා හෝටල් බෝම්බ ප්‍රහාර මාලාව සංවිධානය කළ අතර, ෆිදෙල් කැස්ත්‍රෝට එරෙහි කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2000 නොවැම්බර් මාසයේදී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 200ක් ද සමඟ පැනමා නගරයේදී අත්අඩංගුවට පත්විය. දැඩි එක්සත් ජනපද බලපෑම් මධ්‍යයේ, 2004 වසරේදී ධුරයෙන් නික්ම යන පැනමා ජනාධිපතිනි මිරේයා මොස්කොසෝ (Mireya Moscoso) විසින් ඔහුට සමාව ලබා දෙන ලදී.

දිගින් දිගටම එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් හමුවේ, බුෂ් පරිපාලනය විසින් පොසාඩාව අත්අඩංගුවට ගනු ලැබූ නමුත් වෙනිසියුලාවෙන් සහ කියුබාවෙන් ඉදිරිපත් වූ උදර්පණ (රටින් පිටුවහල් කර භාරදීමේ) ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදී. වෙනිසියුලාවේ අවශ්‍යතා නියෝජනය කළ වොෂින්ටන් නීතිඥවරයෙකු වූ හොසේ පර්ටියෙරා (José Pertierra), තියුණු උපහාසයකින් යුතුව මෙසේ සඳහන් කළේය: “කියුබාව තුළ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් මා දැක ඇති එකම සාක්ෂිය ලැබෙන්නේ ගුවන්තනාමෝ බොක්කේ (Guantánamo Bay) පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරෙන් පමණි.”

අවසානයේදී එක්සත් ජනපද රජය විසින් පොසාඩාට එරෙහිව ඉදිරිපත් කරන ලද එකම චෝදනාව වූයේ අසත්‍ය ප්‍රකාශ කිරීම (perjury) සම්බන්ධයෙන් වූ චෝදනාවයි; එනම්, ප්‍රජාකරණ (naturalization-පුරවැසිභාවය ලබාදීමේ) විභාගයකදී, හවානා හෝටල් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තමා සතු වූ දායකත්වය පිළිබඳව ආගමන විගමන නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීමයි. 2011 වසරේදී, එල් පැසෝ (El Paso) හි ෆෙඩරල් ජූරි සභාවක් විසින් ඔහුව එම චෝදනාවෙන් පවා නිදොස් කොට නිදහස් කරන ලදී. පොසාඩා කැරිලස් 2018 වසරේදී වයස අවුරුදු 90ක්ව සිටියදී, ෆ්ලොරිඩාවේ පිහිටි ප්‍රවීණ සේවා භටයන් රැකබලා ගන්නා නිවාසයකදී සාමකාමීව මියගියේය.

දැන්, මෙම අතීත වාර්තාවන් සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් නොකර, එම රජයම රාවුල් කැස්ත්‍රෝට (Raúl Castro) එරෙහිව අපරාධ චෝදනා පත්‍රයක් ප්‍රකාශයට පත් කරන්නේ, පොසාඩාගේ (Posada) සමීපතම හවුල්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබූ ජාලයක් මඟින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා අතරමඟදී අවහිර කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙනි.

කියුබාවට එරෙහිව සිදුවෙමින් පවතින මෙම ක්‍රියාවලිය අසාමාන්‍යයක් නොවේ. එය, තමන්ගේ ගෝලීය ආධිපත්‍යයට එල්ල වන සෑම අභියෝගයක්ම විනාශ කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන පුළුල් මෙහෙයුමක සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව විනාශ කිරීමටත්, ගාසා හි ජනසංහාරයටත්, ඉරානය වටලෑමටත් සහ වෙනිසියුලාවේ මදුරෝව කොටු කර ගැනීමටත් හේතු වූයේ ද එම මෙහෙයුමමය වේ.

මැයි 14 වනදා, කියුබානු රජය සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්ව හවානාහිදී පිළිගත් අතර, එහිදී ඔහු හිටපු ජනාධිපතිවරයාගේ මුනුපුරා වන රාවුල් ගිලර්මෝ “රාවුලිටෝ” රොද්‍රිගස් කැස්ත්‍රෝ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති හමුවකදී “මූලික වෙනස්කම්” සිදු කරන ලෙස   බලකර සිටියේය. මෙම හමුව මඟින් සංඥා කරන්නේ ජාතිකවාදී උපායමාර්ගය එහි ඓතිහාසික අවසානයට පැමිණ ඇති බවයි: එනම්, දශක හයක් තිස්සේ සී.අයි.ඒ. (CIA) ත්‍රස්තවාදයෙන් බේරී සිටි කැස්ත්‍රෝවාදී නායකත්වය, දැන් සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා සමඟ එකම මේසයක වාඩි වී තමන්ගේම යටත් වීමේ කොන්දේසි පිළිබඳව සාකච්ඡා කරමින් සිටී. කියුබාවේ සහ ජාත්‍යන්තර වශයෙන් වෙසෙන කම්කරු පන්තිය මෙයින් අවශ්‍ය දේශපාලන නිගමනවලට එළඹිය යුතුය.

මේ අතර, මෙක්සිකෝව, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල “වාම” ජාතිකවාදී ආණ්ඩු, කියුබාව සාගින්නට ඇද දමන ඉන්ධන අවහිරතාවයට සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමට සම්පූර්ණයෙන්ම හවුල් වී ඇත.

ඉදිරි මාවත රැඳී පවතින්නේ එක්සත් ජනපද, කියුබානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මතය: එනම්, අධිරාජ්‍යවාදී යුද්ධය සහ භීෂණය දේශපාලන ජීවිතයේ ප්‍රධාන ලක්ෂණ බවට පත් කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි තම අරගලයේ කොටසක් ලෙස, වරාය කම්කරුවන්, ප්‍රවාහන කම්කරුවන්, තෙල් කම්කරුවන් සහ අනෙකුත් පිරිස් මෙම අවහිරතාවය බලාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ කියුබාවට එරෙහි හමුදා ප්‍රහාරයකට විරුද්ධ වීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

රාවුල් කැස්ත්‍රෝට එරෙහි එක්සත් ජනපද අධිචෝදනාව සහ කියුබාවට එරෙහි CIA භීෂණයේ වාර්තාව Read More »

Congo

එබෝලා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ට්‍රම්ප් මහජන සෞඛ්‍යය අවියක් ලෙස යොදා ගනියි

බෙන්ජමින් මාටියස් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “Trump weaponizes public health as Ebola epidemic expandsයන හිසින් පළවූ බෙන්ජමින් මාටියස්  විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

මධ්‍යම අප්‍රිකාව පුරා බන්ඩිබුගියෝ එබෝලා වසංගතය වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ඇමරිකා එක්සත් ජනපද රජය ඊට ප්‍රතිචාර දක්වා ඇත්තේ වෛද්‍ය සම්පත් බලමුලු ගැන්වීමකින් නොව, මීට පෙර ආගමන විගමන නීති බලාත්මක කිරීම සඳහා යොදා ගැනීමට තමන් සූදානම් බව දැනටමත් ඔප්පු කර ඇති සහ දැන් විදේශ ප්‍රතිපත්තියේ මෙවලමක් ලෙස යොදා ගැනීමට අදහස් කරන, මහජන සෞඛ්‍ය පිළිබඳ ප්‍රඥප්තියක් වන “ටයිටල් 42” (Title 42) නමැති වගන්තිය ක්‍රියාත්මක කිරීමෙනි.

පෙර පැවති සෑම එබෝලා මර්දන ක්‍රියාවලියකටම වඩා පැහැදිලි ලෙසම මෙහිදී බැහැර වෙමින්, වෛරසයට නිරාවරණය වූ ඇමරිකානු පුරවැසියන් තම රට තුළදීම උසස් මට්ටමේ ජෛව-ආරක්ෂිත (biocontainment) සත්කාර සඳහා නැවත ගෙන්වා ගැනීම වොෂින්ටන පාලනය ප්‍රතික්ෂේප කරයි. ඒ වෙනුවට, ඔවුන්ව සම්පූර්ණයෙන්ම රටින් බැහැරව තබා ගැනීමට කටයුතු සූදානම් කරමින්, ආසාදනය වී ඇතැයි සැක කෙරෙන ඇමරිකානුවන් කෙන්යාවේ පිහිටි නිරෝධායන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙතද, අවශ්‍යතාව පරිදි යුරෝපයේ පිහිටි ඉහළ මට්ටමේ ජෛව-ආරක්ෂිත ඒකක වෙතද යොමු කිරීමට පියවර ගනිමින් සිටී.

ටයිටල් 42 (Title 42) යනු විදේශ රටක පවතින නිරෝධායනය කළ යුතු රෝගයක් මහජන සෞඛ්‍යයට බරපතල තර්ජනයක් ලෙස සලකනු ලබන අවස්ථාවලදී, විදේශ රටවලින් පුද්ගලයන් ඇතුළු වීම වැළැක්වීම සඳහා ෆෙඩරල් රජයට බලය ලබා දෙන 1944 මහජන සෞඛ්‍ය සේවා පනතේ ප්‍රතිපාදනයකි. 2020 මාර්තු මාසයේදී, ධවල මන්දිර සහකාර ස්ටීවන් මිලර් (Stephen Miller) විසින් සැලසුම් කරන ලද උපක්‍රමයකට අනුව, ට්‍රම්ප් පරිපාලනය කොවිඩ්-19 පාලනය කිරීමේ මුවාවෙන් ටයිටල් 42 වගන්තිය ක්‍රියාත්මක කළ අතර සංක්‍රමණිකයන් 400,000ක් රටින් පිටුවහල් කිරීම සඳහා එය භාවිතා කළේය. බයිඩන් පරිපාලනය ද වසර ගණනාවක් තිස්සේ මෙම ක්‍රමවේදය පවත්වා ගෙන යමින් තවදුරටත් පුළුල් කළ අතර, 2023 මැයි මාසයේදී එම ප්‍රතිපත්තිය නිල වශයෙන් අවසන් වීමට පෙර තවත් සංක්‍රමණිකයන් මිලියන 2.3ක් පිටුවහල් කිරීමට පියවර ගත්තේය. 

Congo
රතු කුරුස සේවකයින් කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ සේවයේ නිරත වෙමින්(ග්‍රේඩෙල් මුයිසා මුම්බරේ / REUTERS)

මෙම ප්‍රතිපත්තිය කොවිඩ්-19 සඳහා ක්‍රියාත්මක කළ මුළු කාලය පුරාම, මහජන සෞඛ්‍ය විශේෂඥයෝ සහ මානව හිමිකම් ක්‍රියාකාරීහු එය පැහැදිලිවම හෙළා දුටහ. ඇමරිකානු මහජන සෞඛ්‍ය සඟරාවේ (American Journal of Public Health) පළ වූ 2022 අධ්‍යයනයකදී පර්යේෂකයන් පෙන්වා දුන්නේ, මෙම ප්‍රතිපත්තිය තුළ ආසාදන පාලනය සඳහා කිසිදු සැබෑ තාර්කික පදනමක් නොතිබූ බවයි. ඒ වෙනුවට, ජාත්‍යන්තර නීතිය උල්ලංඝනය කරමින්, සංක්‍රමණික-විරෝධී සහ විදේශික-විරෝධී (xenophobic) දේශසීමා ක්‍රියාමාර්ග සාධාරණීකරණය කිරීම සඳහා භාවිතා කරන ලද දේශපාලන අවියක් ලෙස එය ක්‍රියා කර ඇති බව ඔවුහු සඳහන් කළහ.

ට්‍රම්ප් පරිපාලනය දැන් එම ක්‍රමවේදයම නැවත ක්‍රියාත්මක කර තිබේ. රෝග පාලනය සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) විසින් 2026 මැයි 18 වන දින නිකුත් කරන ලද නියෝගයක් මඟින්, පසුගිය දින 21 ඇතුළත කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව හෝ දකුණු සුඩානය යන රටවල රැඳී සිටි පුරවැසියන් නොවන පුද්ගලයන්ට ඇතුළු වීම තහනම් කිරීම සඳහා ටයිටල් 42 (Title 42) වගන්තිය ක්‍රියාත්මක කරන ලදී. දින කිහිපයක් ඇතුළත, සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව විසින් අතුරු අවසන් රීතියක් නිකුත් කරමින් එම සීමාවන්ම නීත්‍යානුකූල ස්ථිර පදිංචිකරුවන් සඳහා ද දීර්ඝ කිරීමට පියවර ගත්තේය. ඒ අනුව, ඊට පෙර සති තුන ඇතුළත එම රටවල් තුනෙන් කවර හෝ රටක රැඳී සිටි ග්‍රීන් කාඩ් (Green card) හිමියන්ට නැවත ඇමරිකා එක්සත් ජනපදයට පැමිණීම තහනම් විය.

මෙම උපක්‍රමය මඟින් කොවිඩ්-19 වසංගත සමයේ පැවති කුරිරු තර්කනය නැවත මතු කරයි. පුද්ගල යන් වෙන් වෙන් වශයෙන් අවදානම් තක්සේරු කිරීම්, විද්‍යාත්මක පරීක්ෂණ සහ පහසුකම් සහිත නිරෝධායන ක්‍රමවේදයන් ක්‍රියාත්මක කිරීම වෙනුවට, පරිපාලනය විසින් දැඩි ලෙස බලපෑමට ලක් වූ අප්‍රිකානු රටවල ජනතාව දෙස බලන්නේ සමූහ වශයෙන් බැහැර කළ යුතු රෝග වාහකයන් ලෙසය. ඉලක්කගත වෛද්‍යමය මැදිහත්වීම් වෙනුවට පුළුල් භූගෝලීය සීමාවන් පදනම් කරගත් නිර්ණායක භාවිත කිරීම තුළින් දේශපාලන යථාර්ථය හෙළිදරව් වේ: එනම්, පෙරදී ලතින් ඇමරිකානු සංක්‍රමණිකයන්ට දේශපාලන රැකවරණ අහිමි කිරීම සඳහා භාවිතා කරන ලද මෙවලමම, දැන් එබෝලා මුවාවෙන් අප්‍රිකානු සංචාරකයන්ට සහ ඇමරිකානු පදිංචිකරුවන්ට එරෙහිව යොදා ගනිමින් පවතී.

විදේශිකයන්ට ඇතුළු වීම තහනම් කිරීමෙන් අනතුරුව, පරිපාලනය එම මූලික තර්කනයම තම රටේ පුරවැසියන්ට ද අදාළ කිරීමට පියවර ගත්තේය. මෙම වෙනස් වීම ඉතා වේගවත් වූ අතර එහි ප්‍රතිවිපාක බරපතල ය. ඇමරිකානු එබෝලා මර්දන ඉතිහාසය තුළ මෙයට පෙර කිසිදු පූර්වාදර්ශයක නොමැති අයුරින්, බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරසයට නිරාවරණය වී ඇතැයි සැක කෙරෙන ඇමරිකානු පුරවැසියන්ව සත්කාර සඳහා නැවත මව් රටට ගෙන්වා ගැනීම වෙනුවට, ඔවුන්ව කෙන්යාවේ පිහිටි නිරෝධායන සහ ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත යැවීමේ සැලසුම් ට්‍රම්ප් පරිපාලනය විසින් ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම ප්‍රතිපත්තිය කිසිදු පූර්ව අනතුරු ඇඟවීමකින් තොරව මතු වූවක් නොවේ. මැයි මාසයේ මුල් භාගයේදී, පරිපාලනය විසින් රෝග ලක්ෂණ මතු වූ ඇමරිකානු වෛද්‍යවරයෙකුව ගුවන් මඟින් ජර්මනිය වෙත රැගෙන ගිය අතර, වෛරසයට නිරාවරණය වූ තවත් ඇමරිකානුවන් හය දෙනෙකු නිරීක්ෂණ කටයුතු සඳහා ජර්මනිය සහ චෙක් ජනරජය වෙත මාරු කර යැවීය. එම මාරු කිරීම් පූර්ව සැලසුමකින් තොරව හදිසියේ සිදු කරන ලද ඒවා වූ අතර, කෙන්යානු මධ්‍යස්ථානය මඟින් නියෝජනය කරන්නේ මෙම ප්‍රතිපත්තිය විධිමත් ලෙස ආයතනිකකරණය කිරීමයි.

නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පතේ වාර්තාවලට අනුව, රාජ්‍ය හා ආරක්ෂක දෙපාර්තමේන්තු සහ සෞඛ්‍ය හා මානුෂීය සේවා දෙපාර්තමේන්තුව ඒකාබද්ධව මෙම මධ්‍යස්ථානය පිහිටුවනු ලබන අතර, කෙන්යාව වෙත අනුයුක්ත කිරීම සඳහා මේ වන විටත් මහජන සෞඛ්‍ය සේවා නිලධාරීන් දුසිම් ගණනක් පුහුණු කරමින් සිටී. එහි ආරම්භක සැලසුම වූයේ වෛරසයට නිරාවරණය වූ ඇමරිකානුවන් එහිදී නිරීක්ෂණය කිරීම සහ රෝග ලක්ෂණ මතු වන ඕනෑම අයෙකු යුරෝපය වෙත මාරු කර යැවීමයි; එතැන් සිට එම සැලසුම රජයේ විද්‍යාඥයන් සහ වෛද්‍යවරුන් ද ඇතුළුව, කෙන්යාව තුළදීම ප්‍රතිකාර ලබා දීම දක්වා පුළුල් කර තිබේ.

මෙම වාර්තාකරණයන් තුළ එක් කරුණක් කෙරෙහි අවධානය යොමු වී නොමැති තරම්ය: එනම් කෙන්යානු මධ්‍යස්ථානය සඳහා තවමත් කෙන්යානු රජයේ නිල අනුමැතිය අවශ්‍යව පවතින බවයි. ඇමරිකා එක්සත් ජනපදය, එය පවත්වාගෙන යාම සඳහා තවමත් නිල වශයෙන් එකඟතාව පළ කර නොමැති රටක් තුළ විදේශීය එබෝලා කඳවුරක් පිහිටුවීමට සූදානම් වෙමින් සිටී. මෙය හුදු පාදසටහනක් පමණක් නොවේ. කලාපීය අර්බුදයේ දරුණුතම බලපෑමට දැනටමත් මුහුණ දී සිටින, ස්වාධීන යැයි කියනු ලබන රටක ස්වෛරීභාවය අධිරාජ්‍යවාදී බලවතුන් විසින් නොතකා ක්‍රියා කරන ආකාරය මෙයින් මනාව පැහැදිලි වේ.

ලොව ධනවත්ම රටවල්, ගෝලීය දකුණේ (Global South) රටවල සෞඛ්‍ය පද්ධතීන් පවත්වාගෙන යාමට උපකාරී වන අරමුදල් කපා හරින අතරතුර, අනතුරුදායක කාර්මික සහ වෛද්‍යමය ක්‍රියාකාරකම් අඛණ්ඩව එම රටවල් වෙත පවරා දෙයි. ඉන්පසු, එමඟින් ඇති වන ව්‍යසනය දේශසීමා රේඛාවෙන් අනෙක් පැත්තේම රඳවා තබා ගැනීම සහතික කිරීම සඳහා ඔවුහු දේශසීමා පාලනයන් යොදා ගනිති.

2014 බටහිර අප්‍රිකානු වසංගත තත්ත්වයේදී එබෝලා රෝගීන්ට සාර්ථකව ප්‍රතිකාර කළ නෙබ්‍රැස්කා විශ්වවිද්‍යාලයීය වෛද්‍ය මධ්‍යස්ථානයේ පිහිටි නෙබ්‍රැස්කා ජෛව-ආරක්ෂිත ඒකකය (Nebraska Biocontainment Unit) ඇතුළුව, අතිනවීන ජෛව-ආරක්ෂිත පහසුකම් කිහිපයක් ඇමරිකා එක්සත් ජනපදය සතුව පවතී. එබැවින්, ඒවා භාවිතා නොකිරීමට ගත් තීරණය ප්‍රායෝගික හෝ සංවිධානමය (logistical) ගැටලුවක් නිසා ගත්තක් නොවේ. එය, “ටයිටල් 42” (Title 42) වගන්තිය බිහි කිරීමට හේතු වූ ජාතිකවාදී ගණන් බැලීම් මතම පදනම් වූ දේශපාලනික තීරණයකි. මෙම පරිපාලනයට අනුව, ඇමරිකානු භූමිය තුළ එබෝලා සත්කාර සැපයීමෙන් ඇති විය හැකි යැයි සැලකෙන දේශපාලනික සහ ජීව විද්‍යාත්මක අවදානම කිසිසේත්ම පිළිගත නොහැකිය. ඇමරිකානු පුරවැසියන් සම්බන්ධයෙන් වුවද දේශසීමා බාධක එලෙසම පැවතිය යුතු බව මෙයින් පෙන්වා දෙන අතර, එය අනාගතය සඳහා අනතුරු හඟවන  පූර්වාදර්ශයක් සපයයි.

2026 මැයි 26 වන දින වන විට, කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් මරණ 17ක් ඇතුළුව තහවුරු කරන ලද රෝගීන් 121ක් සහ සැකකටයුතු මරණ 238ක් ඇතුළුව සැකකටයුතු රෝගීන් 1,077ක් වාර්තා කර ඇත. උගන්ඩාව විසින් තහවුරු කරන ලද රෝගීන් හතක් සහ එක් මරණයක් වාර්තා කර තිබේ. ඉටුරි (Ituri), උතුරු කිවු (North Kivu) සහ දකුණු කිවු (South Kivu) යන පළාත් තුන පුරා පැතිර පවතින සැකකටයුතු සහ තහවුරු කරන ලද සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව 1,200 ඉක්මවයි. මෙය වාර්තාගත ඉතිහාසයේ තුන්වන විශාලතම එබෝලා වසංගතය වේ.

මැයි 17 වන දින ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ජාත්‍යන්තර සැලකිල්ලට භාජනය විය යුතු මහජන සෞඛ්‍ය හදිසි තත්ත්වයක් (PHEIC) ප්‍රකාශයට පත් කරන විට ඉටුරි (Ituri) පළාතේ නිල සංඛ්‍යාලේඛනවල දැක්වුණේ තහවුරු කරන ලද රෝගීන් අටක්, සැකකටයුතු රෝගීන් 246ක් සහ සැකකටයුතු මරණ 80ක් පමණි. එය එබෝලා වසංගතයක් එම මට්ටමට ළඟා වූ තෙවන අවස්ථාවයි. එතැන් සිට එම සංඛ්‍යාලේඛන ශීඝ්‍රයෙන් ඉහළ ගිය වේගයම බරපතල චෝදනාවකි. දේශීය සෞඛ්‍ය යටිතල පහසුකම් සඳහා අත්‍යවශ්‍ය සම්පත් සහ පරීක්ෂණ ධාරිතාවන් අහිමි වී තිබූ පසුබිමක, අප්‍රේල් මාසයේ සති ගණනාවක් පුරා වෛරසය කිසිදු හඳුනා ගැනීමකින් තොරව ව්‍යාප්ත විය. මෙය, USAID වැඩසටහන් නතර කිරීම හේතුවෙන් තවදුරටත් වේගවත් වූ, ප්‍රතිපාදන හිඟයේ සෘජු ප්‍රතිඵලයකි.

මැයි 23 වන දින, ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සඳහා වන ජාතික අවදානම් තක්සේරුව ‘ඉහළ’ මට්ටමේ සිට ‘ඉතා ඉහළ’ මට්ටමක් දක්වා ඉහළ නැංවීය. දින දෙකකට පසුව, ලෝක සෞඛ්‍ය සංවිධානයේ මහලේකම් ටෙඩ්‍රොස් (Tedros) ජාත්‍යන්තර සෞඛ්‍ය නායකයන්ගේ මාර්ගගත (virtual) අමාත්‍ය මට්ටමේ දැනුවත් කිරීමේ හමුවක් අමතමින් මෙවැනි විවෘත පිළිගැනීමක් සිදු කළේය: ““අපි කඩිනමින් අපගේ මෙහෙයුම් කටයුතු පුළුල් කරමින් සිටිමු, නමුත් මේ මොහොත වන විට වසංගතය අපව අභිබවා යමින් පවතී.” මෑත මාසවලදී ඇති වූ සටන් හේතුවෙන් 100,000 කට අධික පිරිසක් අලුතින් අවතැන් වූ ඉටුරි (Ituri) සහ උතුරු කිවු (North Kivu) පළාත්වල පවතින දැඩි අනාරක්ෂිත භාවය; පීඩාවට පත් ප්‍රජාවන් තුළ බාහිර සෞඛ්‍ය බලධාරීන් කෙරෙහි ඇති දැඩි අවිශ්වාසය; සහ බුන්ඩිබුග්යෝ (Bundibugyo) වෛරස් ප්‍රභේදය සඳහා අනුමත එන්නත් හෝ නිශ්චිත ප්‍රතිකාර ක්‍රම කිසිසේත්ම නොමැතිවීම ඔහු මේ සඳහා හේතු වශයෙන් පෙන්වා දුන්නේය.”

එම පිළිගැනීම පිළිබඳව වඩාත් සැලකිලිමත්ව විමසා බැලිය යුතුය. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) එම අසාර්ථකත්වය පෙන්වා දුන්නද, ඊට හේතු වූ සැබෑ කරුණු සඳහන් කළේ නැත.ට්‍රම්ප් පරිපාලනය විසින් ඇමරිකානු ජාත්‍යන්තර සංවර්ධන ආයතනය (USAID) මඟින් ක්‍රියාත්මක කරන ලද ගෝලීය වැඩසටහන්වලින් සියයට 83ක් කපා හැර තිබේ. කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) නැගෙනහිර ප්‍රදේශය  සන්නද්ධ කණ්ඩායම්වල ප්‍රහාර හේතුවෙන් දැඩි ලෙස විනාශ වී ඇති අතර, එමඟින් මිලියන සංඛ්‍යාත ජනතාවක් අධික තදබදයකින් යුත් අවතැන් කඳවුරු වෙත අවතැන් වී සිටිති. රට පුරා ඇස්තමේන්තුගත මිලියන 25.6ක ජනතාවක් අර්බුදකාරී හෝ හදිසි මට්ටමේ ආහාර අනාරක්ෂිතතාවයකට මුහුණ දී සිටින අතර, එමඟින් ඇති වන දරුණු මන්දපෝෂණය හේතුවෙන් ප්‍රතිශක්තිකරණ පද්ධතිය දුර්වල වන අතර බෝවන රෝග නිසා සිදු වන මරණ අනුපාතය ශීඝ්‍රයෙන් ඉහළ යයි. මේවා හුදෙක් පසුබිම් සාධක නොවේ. ඒවා වසංගතයක බරපතලකම තීරණය කරන ප්‍රධාන සාධක වන අතර, අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ සෘජු ප්‍රතිඵල වේ.

භූගෝලීය වශයෙන් රෝග ව්‍යාප්තිය සීමා කිරීමේ උත්සාහයන් හුදු ප්‍රබන්ධයක් බවට පත් කරමින්, ජාත්‍යන්තර ගුවන් ගමන් මාර්ග ඔස්සේ ව්‍යාප්ත වූ සැකකටයුතු රෝගී අවස්ථා මේ වන විටත් ඉතාලියෙන් සහ ඉන්දියාවෙන් වාර්තා වී ඇති අතර ඒවා මේ වන විට පරීක්ෂාවට ලක් කෙරෙමින් පවතී. බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරස් ප්‍රභේදයේ බීජෞෂණ කාලය (incubation period) දින 21 ක් දක්වා විය හැකි බැවින්, රෝග ලක්ෂණ නොපෙන්වන ආසාදිත සංචාරකයන්ට දේශසීමා පරීක්ෂාවන් මඟින් ඔවුන්ව හඳුනා ගැනීමට බොහෝ කලකට පෙර, සංකීර්ණ ගෝලීය ගුවන් ගමන් ජාල ඔස්සේ සංක්‍රමණය වීමේ හැකියාව පවතී. කිසිදු “ටයිටල් 42” (Title 42) නියෝගයකට හෝ විදේශීය නිරෝධායන කඳවුරකට එම ජීව විද්‍යාත්මක යථාර්ථය වෙනස් කළ නොහැකිය.

ප්‍රධාන පෙළේ මාධ්‍ය සහ නිල ප්‍රකාශ මඟින් ජාත්‍යන්තර සෞඛ්‍ය බලධාරීන් පෙන්වා දෙන්නේ, වේගයෙන් ව්‍යාප්ත වන වෛරසයට සාපේක්ෂව ගෝලීය ප්‍රතිචාරය මන්දගාමී වී ඇති බවයි.නමුත්, මෙම වසංගතය සැබෑ ගෝලීය බලමුලු ගැන්වීමක් (සූදානමක්) අභිබවා යන්නක් නොවේ. එය අභිබවා යමින් තිබෙන්නේ, ප්‍රමුඛ ධනේශ්වර බලවතුන් විසින් හිතාමතාම ප්‍රමාණවත් නොවන මට්ටමක පවත්වාගෙන ගිය ප්‍රතිචාරයකි.මෙය හිතාමතාම කරන ලද තේරීමකි. එනම්, මහජන සෞඛ්‍ය මෙවලම් ජාතිකවාදී මෙවලම් බවට පරිවර්තනය කර ඇත; එමෙන්ම සම්පත් පිළිබඳව, යුද්ධය පිළිබඳව සහ මධ්‍යම අප්‍රිකාව නැවත නැවතත් වසංගත ව්‍යසනයන්හි කේන්ද්‍රස්ථානයක් බවට පත් කරන ව්‍යුහාත්මක තත්ත්වයන් පිළිබඳව සිදු විය යුතු සැබෑ සාකච්ඡාව කිසිසේත්ම සිදු නොවේ.

එම අධිරාජ්‍යවාදී ප්‍රතිපත්තියේ ක්ෂණික සහ මාරාන්තික ප්‍රතිවිපාකවලට සෘජුවම මුහුණ දීමට සිදු වී ඇත්තේ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ (DRC) කම්කරු පන්තියට සහ පීඩිත පොදු ජනතාවටය.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

එබෝලා වසංගතය ව්‍යාප්ත වෙමින් පවතින පසුබිමක, ට්‍රම්ප් මහජන සෞඛ්‍යය අවියක් ලෙස යොදා ගනියි Read More »

Ebola

එබෝලා වසංගතය, අධිරාජ්‍යවාදය සහ සමාජ මිනීමැරීමේ දේශපාලන ආර්ථිකය

එවාන් බ්ලේක් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින The Ebola epidemic, imperialism and the political economy of social murderයන හිසින් පළවූ එවාන්  බ්ලේක් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

එක් පුද්ගලයෙකු තවත් පුද්ගලයෙකුට මරණය සිදුවන අයුරින් ශාරීරික තුවාල සිදු කළ විට, අපි එම ක්‍රියාව සාවද්‍ය මනුෂ්‍ය ඝාතානයක් ලෙස හඳුන්වමු; ප්‍රහාරකයා එම තුවාලය මාරාන්තික වන බව කල්තියා දැන සිටියේ නම්, අපි ඔහුගේ ක්‍රියාව සිතාමතා කළ මිනීමැරුමක් ලෙස හඳුන්වමු. නමුත් සමාජය විසින් සිය ගණනක් වූ නිර්ධන පන්තිකයින්ව, ඔවුන්ට අකාලයේ සහ අස්වාභාවික මරණයකට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදුවන තත්ත්වයකට පත් කරන විට… මෙම දහස් සංඛ්‍යාත වින්දිතයින් විනාශ වී යා යුතු බව දැන දැනත්, එම තත්ත්වයන් එලෙසම පැවතීමට ඉඩ හරින විට, එහි ක්‍රියාව ද තනි පුද්ගලයෙකුගේ ක්‍රියාවක් මෙන්ම ස්ථිර වශයෙන්ම මිනීමැරුමකි… කිසිවෙකු මිනීමරුවාව දකින්නේ නැත… නමුත් එය මිනීමැරුමක් ලෙසම පවතියි.

—ප්‍රෙඩ්රික් එංගල්ස්, එංගලන්තයේ කම්කරු පන්තියේ තත්ත්වය (1845)

Ebola
සෞඛ්‍ය කාර්ය මණ්ඩලයක් විසින් 2026 මැයි 21 වන බ්‍රහස්පතින්දා දින කොංගෝවේ රුවන්පාරා හි පිහිටි ප්‍රතිකාර මධ්‍යස්ථානයක් වෙත එබෝලා රෝගියෙකු රැගෙන යනු ලබයි. [ඒපී ඡායාරූපය/මෝසස් සවාසාවා]

කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) සහ උගන්ඩාව මේ වන විට දැඩි ලෙස වෙළාගෙන පවතින එබෝලා වසංගතය, ස්වභාවික විපතක් ලෙස මාධ්‍ය මඟින් නිරන්තරයෙන් හඳුන්වනු ලබයි. මෙය සත්‍යය වසන් කිරීමකි. “දේව ක්‍රියාවක්” යන පැරණි යෙදුම මෙන්ම, “ස්වභාවික විපත” යන්න ද ඉරණමට අවනත වීම සඳහා වූ සූත්‍රයකි. එමඟින් සිදු කරන්නේ, සැබවින්ම හඳුනාගත හැකි මෙන්ම වගකීමට බැඳ තැබිය හැකි තීරණ, ව්‍යුහයන් සහ අභිලාෂයන්හි ප්‍රතිඵලයක් වන දෙයක්, හුදෙක් දෛවය ලෙස පෙන්වා දීමයි. 

සත්ව ලෝකයෙන් රෝග කාරකයක් (pathogen) මතුවීම, මූලික වශයෙන් ගත් කල ස්වභාවික සිදුවීමකි. නමුත් නවීන විද්‍යාව විසින් එවැනි සිදුවීම් සමඟ මානව වර්ගයාට ඇති සම්බන්ධතාවය පරිවර්තනය කර තිබේ. රෝග ව්‍යාප්තියක් එහි මුල් දිනවලදීම හඳුනා ගැනීමට, එහි පැතිරීම සොයාගෙන එය හුදකලා කිරීමට සහ ආසාදිතයන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය මෙවලම් දැනටමත් පවතී. එබැවින්, සතුන්ගෙන් මිනිසුන්ට රෝගයක් සම්ප්‍රේෂණය වීම (zoonotic spillover) පාලනය කළ හැකි රෝගී පොකුරක් බවට පත්වන්නේද නැතහොත් කලාපීය ව්‍යසනයක් බවට පත්වන්නේද යන්න ස්වභාවධර්මය පිළිබඳ ප්‍රශ්නයක් නොව, සමාජය පිළිබඳ ප්‍රශ්නයකි.

එවැනි රෝග සම්ප්‍රේෂණයන් (spillovers) සිදු වන තත්ත්වයන් ද සමාජ සංවර්ධනයේ ම ප්‍රතිඵල වේ. එනම්, හුදකලා වූ පරිසර පද්ධති තුළට සම්පත් නිස්සාරණය කිරීමේ කටයුතු ආක්‍රමණය කිරීම, වේගවත් වන වන විනාශය, අවතැන් වූ ජනතාව අවිධිමත් ජනාවාසවල ඒකරාශී වීම සහ සියල්ලටමත් වඩා දේශගුණික විපර්යාසයන්හි බාධාකාරී බලපෑම් ය. නේචර් (Nature) සඟරාවේ පළ වූ 2022 අධ්‍යයනයකින් පුරෝකථනය කර ඇති පරිදි, දේශගුණය සහ භූමි පරිහරණය හේතුවෙන් සතුන් ගැවසෙන කලාපවල සිදු වන වෙනස්වීම් නිසා ඉදිරි දශක කිහිපය තුළ විවිධ ජීවී විශේෂ අතර වෛරස් සම්ප්‍රේෂණය වීම සඳහා (cross-species viral transmission) නව අවස්ථා දහස් ගණනක් නිර්මාණය වනු ඇත. මේවා ප්‍රධාන වශයෙන් ආසියානු සහ අප්‍රිකානු කලාපයන්හි කේන්ද්‍රගත වනු ඇත.

ලෝකය වඩාත් අනතුරුදායක බවට පත් කර ඇති එම තාක්ෂණික දියුණුවම, මෙම අනතුරු මැඩපැවැත්වීම සඳහා අවශ්‍ය මඟ ද මානව වර්ගයාට ලබා දී ඇත. නමුත් එම හැකියාව, එය ප්‍රයෝජනයට ගැනීමට අපොහොසත් වූ අරාජික සමාජ ක්‍රමයක් තුළ සිරවී පවතී. දැවැන්ත නිෂ්පාදන බලයකින් යුත්, ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක්, ප්‍රතිවාදී ජාතික රාජ්‍යයන් ලෙස කැබලි වී පවතින අතර, තාර්කිකව සැලසුම් කිරීමට හෝ පොදු යහපත උදෙසා ක්‍රියා කිරීමට නොහැකි මූල්‍ය කතිපයාධිකාරියක ලාභය වෙනුවෙන් යටත් වී තිබේ.

උත්සන්න වෙමින් පවතින එබෝලා වසංගතය “සමාජ ඝාතනයක්” ලෙස සැලකිය හැක්කේ හරියටම මේ නිශ්චිත අර්ථයෙනි. අද වන විට මධ්‍යම අප්‍රිකාවේ සිදුවෙමින් පවතින මෙම සමූහ මරණ, එය වැළැක්වීම සඳහා සෑම හැකියාවක්ම සතු වූ, එහෙත් ඒ සඳහා හරස්ව පැවති ආරක්ෂක විධිවිධාන බිඳ දැමීමට තෝරාගත් පාලක පන්තියක් විසින්, යමක් කිරීමෙන් මෙන්ම නොකර හැරීමෙන් (පැහැර හැරීමෙන්) සිදු කරන ලද අපරාධයන්හි ප්‍රතිඵලයකි.

සැකකටයුතු රෝගීන් 650 කට අධික සංඛ්‍යාවක් සහ සැකකටයුතු මරණ 150 කට වඩා වාර්තා වෙමින්, බුනියා (Bunia), ගෝමා (Goma) සහ කම්පාලා (Kampala) යන නගර කරා වෛරසය දැනටමත් ව්‍යාප්ත වී ඇති පසුබිමක, වැළැක්විය හැකිව තිබූ මෙම මරණ සංඛ්‍යාව ඉදිරි මාසවලදී දහස් ගණනක් හෝ ඇතැම් විට දස දහස් ගණනක් දක්වා ඉහළ යාමට බොහෝ දුරට ඉඩ තිබේ. දැනට ව්‍යාප්ත වෙමින් පවතින ‘බුන්ඩිබුග්යෝ’ (Bundibugyo) ප්‍රභේදය සඳහා අනුමත කරන ලද එන්නතක් හෝ නිශ්චිත ප්‍රතිකාරයක් නොමැති අතර, මීට පෙර සිදු වූ වසංගත ව්‍යාප්ත වීම් දෙකකදීම ඉන් ආසාදනය වූවන්ගෙන් 30% ත් 50% ත් අතර ප්‍රමාණයක් මියගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ (WHO) නිලධාරීන් ද පිළිගන්නේ පරීක්ෂණ මට්ටමේ පවතින එන්නතක් (candidate vaccine) සඳහා වුවද තවමත් මාස හයක සිට නවයක දක්වා කාලයක් ගතවනු ඇති බවයි.

පෘථිවිය මත පවතින බරපතලම මානුෂීය අර්බුදවලින් එකකට දැනටමත් මුහුණ දෙමින් සිටින කලාපයක මෙම වෛරසය මතු වී තිබේ. නැගෙනහිර කොංගෝව වසර 30කට වැඩි කාලයක් තිස්සේ පැවති යුද්ධයකින් බැටකා ඇති අතර, ඉන් මිලියන 6කට අධික ජනතාවක් මියගොස් තිබේ. ඔවුන්ගෙන් අතිමහත් බහුතරයක් මියගොස් ඇත්තේ රෝගාබාධ සහ සාගින්න හේතුවෙනි. මිලියන 7කට අධික පිරිසක් රට තුළම අවතැන් වී සිටින අතර, ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් පිරිසිදු ජලය හෝ සනීපාරක්ෂක පහසුකම් නොමැති කඳවුරුවල තදබදව ජීවත් වෙති; එසේම මිලියන 27කට ආසන්න පිරිසක් දැඩි සාගින්නකට මුහුණ දී සිටිති. කොලරාව, සරම්ප සහ එම්පොක්ස් (mpox) වැනි රෝග ද එහි අඛණ්ඩව ව්‍යාප්ත වෙමින් පවතී. රක්තපාත උණක් (hemorrhagic fever) වර්ධනය වීමට සහ සීඝ්‍රයෙන් පැතිරී යාමට වඩාත්ම හිතකර වන්නේ හරියටම මෙවැනි තත්ත්වයන් ය. ඖෂධ, එන්නත් සහ ආරක්ෂිත උපකරණ නොමැති වීම හේතුවෙන් තමන් “භීතියෙන් කලබල  වූ තත්ත්වයක” (panic mode) පසුවන බව අප්‍රිකානු රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානයේ (Africa CDC) අධ්‍යක්ෂ ජනරාල් ජීන් කසෙයා (Jean Kaseya) පැවසූ අතර, “පුද්ගලික ආරක්ෂක උපකරණ (PPE) නිෂ්පාදනය කිරීමේ පහසුකම් අප සතුව නැතැ” යි ඔහු ඍජුවම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

Map
නැගෙනහිර කොංගෝව සහ උගන්ඩාව පුරා එබෝලා වසංගතයේ භූගෝලීය ව්‍යාප්තිය; මෙහිදී වැඩිම රෝගීන් සංඛ්‍යාවක් ඉටූරි පළාතේ (Ituri Province) කේන්ද්‍රගත වී ඇති අතර, දේශසීමා හරහා සිදු වූ ආසාදනයන් කම්පාලා (Kampala) දක්වා ළඟා වී ඇත. [ඡායාරූප මූලාශ්‍ර: Natural Earth, geoBoundaries. සිතියම: WSWS. / CC BY 4.0]

මෙම පසුබිම හමුවේ, ට්‍රම්ප් පරිපාලනයේ ප්‍රතිචාරය වී ඇත්තේ ජාතිකවාදී සහ විද්‍යා-විරෝධී ප්‍රතිපත්තිවල සංකලනයකි. මෑතකදී කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC), උගන්ඩාව හෝ දකුණු සුඩානය යන රටවල රැඳී සිටි පුරවැසියන් නොවන පුද්ගලයින්ට ඇතුළු වීම තහනම් කිරීම සඳහා එය කලාතුරකින් භාවිත වන “Title 42” බලතල ක්‍රියාත්මක කළ අතර, එවැනි සංචාරකයින් රැගත් ඇමරිකාව බලා පැමිණෙන සියලුම ගුවන් යානා එක් ගුවන් තොටුපළක් වෙත පමණක් යොමු කිරීමට ද නියෝග කළේය.පසුගිය බදාදා, රේගු සහ දේශසීමා ආරක්ෂණ බලකාය (CBP) විසින් පැරිසියේ සිට ඩිට්‍රොයිට් බලා පියාසර කළ එයාර් ෆ්‍රාන්ස් (Air France) ගුවන් යානයක් මොන්ට්‍රියල් වෙත හරවා යැවීමට බල කරන ලදී. ඒ, කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වූ සහ කිසිදු අනතුරක් නොමැති කොංගෝ ජාතික මගියෙකු “වැරදීමකින්” ඊට ගොඩවී තිබීම හේතුවෙනි. රෝග ලක්ෂණ නොමැතිව එබෝලා වෛරසය පැතිර යා නොහැකි බැවින්, මෙම ගුවන් යානය හරවා යැවීම මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ගයක් නොව, හුදෙක් දේශීයත්වයට (ජාතිකවාදයට) පක්ෂපාතී දේශපාලන සංදර්ශනයක් පමණි.වසංගතය එහි ආරම්භක ස්ථානයේදීම මර්ධනය කිරීම සඳහා වොෂින්ටනය (ඇමරිකානු රජය) ලබා දී ඇති එකම දායකත්වය වන්නේ දළ වශයෙන් ඩොලර් මිලියන 13ක් ලබා දීමට පොරොන්දු වීම පමණි. එය සැබවින්ම අවශ්‍ය වන ප්‍රමාණය හා සසඳන විට සාගරයට වැටුණු දිය බින්දුවක් වැනි ඉතා අල්ප ප්‍රමාණයකි.

වඩාත් මූලික වශයෙන්, පසුගිය මාස 15 පුරා ට්‍රම්ප් පරිපාලනය විසින් මෙම වසංගතය එහි ආරම්භක ස්ථානයේදීම නැවැත්වීමට හැකියාව තිබූ වැඩසටහන්ම විනාශ කිරීම අරමුණු කරගත්, සහමුලින්ම විනාශ කර දැමීමේ (scorched-earth) ප්‍රතිපත්තියක් දියත් කර ඇත. 2025 ජනවාරි මාසයේ සිට, හරියටම මෙම කලාපය තුළ රක්තපාත උණ හඳුනා ගැනීම සඳහා නිර්මාණය කර තිබූ ඩොලර් මිලියන 100ක ස්ටොප් ස්පිල්ඕවර් (STOP Spillover) වැඩසටහන එය විසින් අත්හිටුවා ඇති අතර, ජාත්‍යන්තර සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද නියෝජිතායතනය (USAID) විසුරුවා හැර තිබේ. එමෙන්ම අප්‍රිකානු රෝග නිරීක්ෂණ කටයුතුවල කොඳු නාරටිය බඳු වූ, ඒඩ්ස් සහන සඳහා වූ ජනාධිපතිවරයාගේ හදිසි සැලැස්ම (PEPFAR) ජාලයන් බරපතල ලෙස අඩපණ කර ඇත; ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් (WHO) ඉවත් වී ඊට ප්‍රතිපාදන සැපයීම ද නතර කර ඇති අතර, රෝග පාලන සහ වැළැක්වීමේ මධ්‍යස්ථානය (CDC) එහි ජාත්‍යන්තර සමගාමී ආයතනවලින් වෙන් කරමින් නිහඬ කිරීමේ නියෝගයක් (gag order) ද පනවා තිබේ.

මෙම සෑම ක්‍රියාමාර්ගයකටම ක්ෂණිකවම මාරාන්තික ප්‍රතිවිපාක ඇති විය. රසායනාගාරවල කටයුතු අක්‍රීය වූ අතර, ආසාදිතයන් ඇසුරු කළ අය සොයාගැනීමේ ක්‍රියාවලිය (contact tracing) බිඳ වැටී, පුහුණු සේවකයින් විසිරී ගියහ. එහි ප්‍රතිඵලයක් වශයෙන්, වෛරසය කිසිදු හඳුනාගැනීමකින් තොරව සති හයකට ආසන්න කාලයක් ඉටූරි (Ituri) කලාපය තුළ ව්‍යාප්ත විය. මෙය එංගල්ස් අදහස් කළ නිශ්චිතම අර්ථයෙන්ම සමාජ මිණීමැරීමකි. එනම්, මෙම මරණ සිදු කරනු ලබන්නේ කිසියම් තනි පුද්ගලයෙකු අතින් නොව, එම මරණය අනිවාර්යයෙන්ම සිදුවන තත්ත්වයන් දැන දැනම එලෙසම පවත්වාගෙන යන පාලක පන්තියක් විසිනි. 

ට්‍රම්ප් පරිපාලනයේ අපරාධ යනු සියවසකට වැඩි කාලයක් තිස්සේ පැවති අධිරාජ්‍යවාදී යටත් කරගැනීම් සහ කොල්ලකෑම්වල නවතම පියවර පමණි. බෙල්ජියමේ දෙවන ලියෝපෝල්ඩ් රජු යටතේ, බලහත්කාර ශ්‍රමය සහ භීෂණය රජකළ පාලන තන්ත්‍රයක් තුළ මිලියන 10ක් තරම් විශාල කොංගෝ වැසියන් පිරිසක් මියගියහ. මෙම තත්ත්වයන් වසංගත රෝග වර්ධනය වීමට මඟ පෑදූ අතර, ජානමය අධ්‍යයනයන් මඟින් 1920 අවට කාලයේදී කින්ෂාසා (Kinshasa) නගරයෙන් ආරම්භ වූ බවට හඳුනාගෙන ඇති එච්.අයි.වී. (HIV) වෛරස් ප්‍රභේදය ද ඊට ඇතුළත් ය. 1961 දී, සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් පැට්‍රිස් ලුමුම්බා (Patrice Lumumba) ඝාතනය සැලසුම් කිරීමට සහාය දුන් අතර, ඇමරිකානු අනුග්‍රහය ලත් ඒකාධිපති මොබුටු සේසේ සෙකෝ (Mobutu Sese Seko) බලයට පත් කරන ලදී. ඔහු යටතේ රටේ සෞඛ්‍ය යටිතල පහසුකම් මුළුමනින්ම විනාශ වී ගියේය.

Image Not Found
දෙවන ලියෝපෝල්ඩ් රජුගේ පාලන සමයේදී රබර් නිෂ්පාදන ඉලක්ක සපුරාලීමට අපොහොසත් වීම හේතුවෙන් අත් පා කපා දමා (විකෘති කර) දණ්ඩනයට ලක් වූ දරුවන්

රුවන්ඩාවේ සහය ලබන M23 මිලීෂියා කණ්ඩායම විසින් දැනට මෙහෙයවනු ලබන, 1996 වසරේ සිට නැගෙනහිර කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය (DRC) තුළ ඇවිලෙමින් පවතින යුද්ධ, සැබවින්ම කිවූ (Kivus) සහ ඉටූරි (Ituri) කලාපවල පවතින කොල්ටන් (coltan) සහ රත්තරන් අත්පත් කර ගැනීම සඳහා කෙරෙන අරගලයන් ය. දැනට එබෝලා වසංගතය දරුණු ලෙස පැතිර යන්නේ ද හරියටම මෙම ප්‍රදේශය තුළ ය. මෙම ඛනිජ වර්ග, දකුණු දිග ප්‍රදේශයෙන් ලබාගන්නා කොබෝල්ට් (cobalt) ද සමඟින්, ලොව විශාලතම සමාගම්වල සැපයුම් දාමයන් ඔස්සේ දියුණු ආර්ථිකයන් සහිත රටවල ස්මාර්ට්ෆෝන්, ලැප්ටොප් පරිගණක සහ විද්‍යුත් වාහන නිෂ්පාදනය සඳහා ගලා යයි. මේ හරහා ‘ග්ලෙන්කෝර්’ (Glencore) වැනි මහා පරිමාණ කැණීම් සමාගම් මෙන්ම, ඔවුන් විසින් අමුද්‍රව්‍ය සපයනු ලබන ලොව දැවැන්ත තාක්ෂණික සමාගම් ද තවදුරටත් පොහොසත් වේ.පසුගිය වසරේදී ඇති කරගත් ට්‍රම්ප් පරිපාලනයේ “වොෂින්ටන් සම්මුතිය” (Washington Accord) යනු,  ඇමරිකාව  සදහා මෙම ඛනිජ සම්පත් වෙත වරප්‍රසාදිත ප්‍රවේශයක් තහවුරු කර ගැනීම සඳහා ගත් නිරුවත් උත්සාහයකි. මෙම සම්මුතිය තහවුරු කරගනු ලැබුවේ, දැනට එම කලාපයේ සේවය කරන කම්කරුවන්ට මියයෑමට ඉඩ හැර නිහඬව බලා සිටින එම පාලක කල්ලි විසින්ම ය.

තවද, වත්මන් ව්‍යසනය යනු වෙනත් මුහුණුවරකින් සිදුවන කොවිඩ්-19 (COVID-19) වසංගතයේම අඛණ්ඩ පැවැත්මකි. එම වසංගතයට බොහෝ කලකට පෙර සිටම, ධනේශ්වර පන්තියේ පුළුල් කොටස් අතර නව-මැල්තස්වාදයක් (neo-Malthusianism) නැවත ඉස්මතු වී තිබුණි. එනම්, සීමිත “දැරීමේ ශක්තියක්” (carrying capacity) සහිත ග්‍රහලෝකයක් මත ජීවත් වන දුප්පතුන්ව අතිරික්ත බරක් ලෙස නැවත අර්ථ දැක්වීමයි. මෙම ධර්මතාවය විසින් සමූහ මරණ සලකනු ලැබුවේ වැළැක්විය යුතු ව්‍යසනයක් ලෙස නොව, අමිහිරි අවශ්‍යතාවයක් ලෙසය. ලොව පුරා මිලියන 30කට අධික ජනතාවක් බිලිගත් සහ මිලියන 400කට වැඩි පිරිසකට ‘ලෝන්ග් කොවිඩ්’ (Long COVID) තත්ත්වයෙන් පීඩා විඳීමට සලස්වා ඇති කොවිඩ්-19 වසංගතය, මෙම දෘෂ්ටිකෝණය සමූහ මරණ සාමාන්‍යකරණය කරන විවෘත ෆැසිස්ට්වාදී සහ සුජනකවාදී (eugenicist) මතවාදයක් බවට පරිවර්තනය කළේය. එය දැන් එබෝලා වසංගතය සඳහා දක්වන ප්‍රතිචාරය තුළින් ද ප්‍රකාශයට පත් වේ.

මූල්‍ය කතිපයාධිකාරිය උකහාගත් ප්‍රධානතම පාඩම වූයේ ඊළඟ වසංගතය වළක්වා ගන්නේ කෙසේද යන්න නොව; නිරෝධායන කටයුතු, සම්පත් බලමුලු ගැන්වීම් හෝ නිෂ්පාදන ක්‍රියාවලීන් අත්හිටුවීම් වැනි කිසිදු දෙයකට, තම ලාභ ගලායාමට බාධා කිරීමට ඉඩ නොදෙන බව සහතික කරන්නේ කෙසේද යන්නයි.

පවතින ක්‍රමයේ කිසිදු පාර්ශ්වයක් මින් මිදීමට මඟක් ඉදිරිපත් කරන්නේ නැත. සමස්ත ධනේශ්වර මාධ්‍යයම මෙය ඈත බැහැර සිදුවන ප්‍රාදේශීය සිදුවීමක් ලෙස හුවා දැක්වීමට කුමන්ත්‍රණය කරන අතර, ගෝලීය මානව වර්ගයාගේ මූලික අන්‍යෝන්‍ය සම්බන්ධතාවයෙන් මෙන්ම, මෙම ව්‍යසනය ඇති කිරීමට හේතු වූ වොෂින්ටනයේ සහ අනෙකුත් අධිරාජ්‍යවාදී අගනගරවල ප්‍රතිපත්තිවලින් ද එය මුළුමනින්ම වෙන් කර දක්වයි.

අධිරාජ්‍යවාදී බලවතුන්ට මූල්‍යමය වශයෙන් බැඳී සිටින ලෝක සෞඛ්‍ය සංවිධානයට (WHO), කප්පාදු කිරීම් මඟින් ගෝලීය ප්‍රතිචාරය අකර්මණ්‍ය කළ රජයේ නම සඳහන් කිරීමට පවා නොහැකි වී ඇත.මේ සතියේ පැවැති ලෝක සෞඛ්‍ය සමුළුවේදී (World Health Assembly) සිය ප්‍රධාන දේශනය පවත්වමින්, ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්රොස් අධනොම් ගෙබ්‍රෙයෙසස් (Tedros Adhanom Ghebreyesus) , කිසිදු පන්ති බෙදීමක් හෝ අධිරාජ්‍යවාදයක් නොමැති වන්නාක් මෙන්, “ආධාර කප්පාදු කිරීම්” පිළිබඳව කර්මවාචකයෙන්  සදහන් කරමින් වගකිවයුත්තන් නම් නොකර මුළු ලෝකයම “එකම ඔරුවක” සිටින බවක් ගැන කතා කළේය. එහි නිලධාරීන්ගේ චේතනාවන් කුමක් වුවත්, ව්‍යසනයේ නියම මූලාශ්‍රය හඳුනා ගැනීමට අපොහොසත් වන ආයතනයක් කෙරෙහි එය නැවැත්වීම සඳහා විශ්වාසය තැබිය නොහැකිය.

මෙම වසංගතය නැවැත්වීමට සහ ඊළඟ ගෝලීය වසංගතය වැළැක්වීමට අවශ්‍ය ක්‍රියාමාර්ග අභිරහස් දේවල් නොවන අතර, ඒවා මානව වර්ගයාට ළඟා විය නොහැකි මට්ටමක පවතින්නේ ද නැත. හදිසි මහජන සෞඛ්‍ය වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම සඳහා ලෝකයේ සම්පත් ක්ෂණිකව බලමුලු ගැන්වීම ඒ සඳහා අවශ්‍ය වේ:

  • ට්‍රම්ප් පරිපාලනය විසින් විනාශ කරන ලද වැඩසටහන්වලින් ආරම්භ කරමින්, ගෝලීය රෝග නිරීක්ෂණ ක්‍රියාවලිය නැවත ප්‍රතිස්ථාපනය කිරීම සහ එය විශාල වශයෙන් පුළුල් කිරීම.
  • එම කාර්යයන්හි සැබවින්ම නිරත වන පුද්ගලයන්ගේ මඟපෙන්වීම යටතේ, වෛද්‍ය කාර්ය මණ්ඩල, රසායනාගාර සහ ආරක්ෂිත උපකරණ බලපෑමට ලක් වූ කලාපය වෙත ලබාදීම.
  • බලපෑමට ලක් වූ කලාපයේ සිටින සියලුම දෙනා අතර සමානව බෙදා හැරීම සඳහා, නොමිලේ ලබාදෙන සහ ආරක්ෂිත එන්නත් මෙන්ම ප්‍රතිකාර ක්‍රම කඩිනමින් නිපදවීම (සංවර්ධනය කිරීම). බන්ඩිබුගියෝ (Bundibugyo) වෛරසයට එරෙහිව ඵලදායී බව තහවුරු වී ඇති සහ ඇමරිකානු රජයට පූර්ණ අයිතිය හිමි MBP134 ප්‍රතිදේහ ප්‍රතිකාරය, දැනට සිදු කෙරෙන පරිදි “අධික අවදානමක් ඇති ඇමරිකානුවන්” සඳහා පමණක් තොග රැස්කර තබා නොගෙන, කොංගෝ සහ උගන්ඩා රෝගීන් සඳහා මුදාහැරීම හා අත්හදා බැලීම සිදු කළ යුතුය.
  • කොංගෝවෙන් ලාභ ලබන මහා පරිමාණ කැණීම් සමාගම් සහ තාක්ෂණික සමාගම් විසින් රැස් කරගෙන ඇති අතිමහත් ධනය පවරා ගැනීම සහ එම ධනය සමස්ත කලාපය පුරා නවීන සෞඛ්‍ය යටිතල පහසුකම් ගොඩනැගීම සඳහා යෙදවීම.

ධනවාදී සහ ජාතික-රාජ්‍ය පද්ධතියේ රාමුව තුළ මෙම  විසඳිය නොහැකි  ගැටළුවට (impasse) කිසිදු විසඳුමක් නොමැත. අධිරාජ්‍යවාදී ආණ්ඩු, මහා පරිමාණ සමාගම් (සංස්ථා) හෝ ඔවුන්ට යටත් ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) වැනි ආයතන විසින් මෙම ක්‍රියාමාර්ග කිසිවක් ක්‍රියාවට නංවනු නොලැබේ. සෑම ධනේශ්වර පක්ෂයකින්ම සහ වෘත්තීය සමිති නිලධාරිවාදයකින්ම ස්වාධීනව බලමුලු ගැන්වුණු ජාත්‍යන්තර කම්කරු පන්තියට, ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානයේ (IWA-RFC) ධජය යටතේ සෑම දේශසීමාවක් හරහාම කම්කරුවන් සම්බන්ධ කරන තමන්ගේම අරගල සඳහා සංවිධානය වන ක්‍රියාකාරී කමිටු හරහා පමණක් ඒවා වෙනුවෙන් සටන් කළ හැකිය.

වසංගත සහ බෝවන රෝගවලින් ගෝලීය සමාජය ආරක්ෂා කිරීම සඳහා, පෞද්ගලික ලාභය වෙනුවට මිනිස් අවශ්‍යතා පදනම් කරගනිමින් නිෂ්පාදනය සහ විද්‍යාත්මක පර්යේෂණ තාර්කික මෙන්ම ජාත්‍යන්තර මට්ටමින් සංවිධානය කිරීම අවශ්‍ය වේ.මෙය කළ හැකි වන්නේ ලෝක සමාජවාදය සඳහා වන අරගලය තුළ කම්කරු පන්තියේ ජාත්‍යන්තර ඒකාබද්ධතාවය මගින් පමණි. දරිද්‍රතාවයේ සහ යුද්ධයේ සෑම රෝගයකටම එරෙහි සටන මෙන්ම, එබෝලා (Ebola) වලට එරෙහි සටන ද මෙම විප්ලවවාදී වැඩපිළිවෙලෙන් වෙන් කළ නොහැක්කකි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

එබෝලා වසංගතය, අධිරාජ්‍යවාදය සහ සමාජ මිනීමැරීමේ දේශපාලන ආර්ථිකය Read More »

NATO

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ ස්වීඩනයේ පැවැති නේටෝ (NATO) සමුළුව, තියුණු වෙමින් පවතින අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මතුකර පෙන්වයි

ජෝර්ඩාන් ශිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 22 දින “NATO summit in Sweden exposes sharpening inter-imperialist antagonisms amid escalation of war on Russiaයන හිසින් පළවූ ජෝර්ඩාන් ශිල්ටන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

NATO
2026 මැයි 22 සිකුරාදා දින ස්වීඩනයේ හෙල්සින්බර්ග්හිදී පැවැත්වුණු නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සමගාමීව පැවති ‘ආක්ටික් 7’ (Arctic 7) හමුවක් අතරතුර, (දකුණේ සිට) නෝර්වේ විදේශ අමාත්‍ය එස්පන් බාත් අයිඩේ, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (දකුණේ සිට දෙවැන්නා) සහ අයිස්ලන්ත විදේශ අමාත්‍ය කැට්‍රින් ගුනාර්ස්ඩොටියර් (දකුණේ සිට තෙවැන්නා) යන පිරිස සහ (වමේ සිට) කැනඩා විදේශ අමාත්‍ය අනීතා ආනන්ද්, ස්වීඩන විදේශ අමාත්‍ය මාරියා මැල්මර් ස්ටෙනර්ගාඩ් සහ ඩෙන්මාර්ක විදේශ අමාත්‍ය ලාර්ස් ලොකේ රස්මුසන් සමඟ ඡායාරූපයකට පෙනී සිටි අයුරු. [ඒපී ඡායාරූපය/ජූලියා ඩිමරී නිකින්සන්]

නේටෝ සංවිධානයට අයත් සාමාජික රටවල් 32හි විදේශ අමාත්‍යවරු, මේ වසරේ ගිම්හාන සෘතුවේදී තුර්කියේ පැවැත්වීමට නියමිත නේටෝ රාජ්‍ය නායක සමුළුවට අදාළ මූලික කටයුතු සූදානම් කිරීම සඳහා බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල ස්වීඩනයේ හෙල්සින්බර්ග් නුවරට රැස් වූහ. රුසියාව අර්ධ යටත් විජිත මට්ටමකට ඇද දැමීම සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ගෙන යනු ලබන අඛණ්ඩ යුදමය වාතාවරණයක් මධ්‍යයේ, එක්සත් ජනපදය සහ එහි හිටපු යුරෝපීය මෙන්ම කැනේඩියානු මිත්‍ර රටවල් අතර උග්‍ර වෙමින් පවතින විරෝධතා මෙම රැස්වීමේ ප්‍රධාන වශයෙන් කැපී පෙනුණි.

මෙම නේටෝ (NATO) රැස්වීම ඇමති මට්ටමින් ස්වීඩනයේදී පවත්වන ලද පළමු රැස්වීම විය. 2022 වසරේදී එක්සත් ජනපදය සහ නේටෝ සංවිධානය විසින් පොළඹවනු ලැබූ රුසියානු යුක්රේන ආක්‍රමණයෙන් පසුව, ෆින්ලන්තය සමඟ එක්ව ස්වීඩනය ද මෙම ආක්‍රමණශීලී යුද සන්ධානයට බැඳුණි.පසුගිය වසර හතරක කාලය තුළ, බෝල්ටික් මුහුදු වෙරළ තීරයන්ට හිමිකම් කියන, සාම්ප්‍රදායිකව මධ්‍යස්ථ ප්‍රතිපත්තියක් අනුගමනය කළ මෙම රටවල් දෙක රුසියාවට එරෙහි නේටෝ යුද්ධයේ පෙරමුණේම පසුවන රාජ්‍යයන් බවට පරිවර්තනය වී ඇත. ඉන්, ෆින්ලන්තය සම්බන්ධයෙන් ගත් කල රුසියාව සමඟ කිලෝමීටර් 1,300ක් දිගු දේශසීමාවක්  බෙදා හදා ගනී. 

පෝලන්තය වෙත අතිරේක සෙබළුන් 5,000ක් යෙදවීමට ට්‍රම්ප් ප්‍රකාශ කිරීම හා සමගාමීව, එක්සත් ජනපද රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ මෙම රැස්වීම සඳහා පැමිණියේය. ඒ, එම රටටම වෙනත් සෙබළුන් 4,000ක් යෙදවීමට තිබූ සැලසුමක් අවලංගු කර සතියක් ගතවීමටත් මත්තෙනි. ධවල මන්දිරයේ පාලනය හොබවන මෙම ෆැසිස්ට්වාදී නායකයා, ජර්මනියේ රඳවා සිටින එක්සත් ජනපද සෙබළුන් සංඛ්‍යාව 5,000කින් අඩු කිරීමට මේ මස මුලදී නියෝග කළේය. ඒ, වොෂින්ටනය (එක්සත් ජනපදය) කිසිදු මූලෝපායකින් තොරව ඉරානයට එරෙහිව යුද්ධයක නිරත වන බවට ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් ප්‍රකාශ කිරීමෙන් පසුවය.

සිකුරාදා උදෑසන නිල සාකච්ඡා ආරම්භ වීමට පෙර රූබියෝ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ, මැදපෙරදිග කලාපයේ තම ක්‍රියාන්විතයන් සම්බන්ධයෙන් නේටෝ (NATO) සාමාජික රටවල් දක්වන “ප්‍රතිචාරය” පිළිබඳව ට්‍රම්ප් පරිපාලනය “කලකිරීමට” පත්ව ඇති බවයි.

ඉදිරියේදී අන්කාරා නුවර පැවැත්වීමට නියමිත නේටෝ සමුළුවේදී මෙම ගැටලුව “රාජ්‍ය නායක මට්ටමින්” විසඳාගත යුතුව ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම ඔහු එම ඉදිරි සමුළුව “නේටෝ ඉතිහාසයේ වඩාත්ම වැදගත් එකක්” ලෙස ද විස්තර කළේය.

ටෙහෙරානය (ඉරානය) සමඟ සාකච්ඡා තවමත් පවතිමින් තිබියදීම, පෙබරවාරි 28 වනදා මහා රාත්‍රියේ ට්‍රම්ප් විසින් ආරම්භ කරන ලද ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල සාපරාධී ආක්‍රමණශීලී යුද්ධයට යුරෝපීය අධිරාජ්‍යවාදීන් දැක්වූ ප්‍රතිචාරය රූබියෝ මෙයින් අදහස් කළේය. වොෂින්ටනය (එක්සත් ජනපදය) විසින් මැදපෙරදිග තුළ ක්‍රියාවට නංවනු ලබන යටත් විජිත පන්නයේ ප්‍රචණ්ඩත්වය සහ කොල්ලකෑම නැවත පණ ගැන්වීමට සහය දෙන බැවින්, මිලියන 93කට අධික ජනගහනයක් සහිත එම රටට එල්ල කෙරුණු ම්ලේච්ඡ බෝම්බ ප්‍රහාර බ්‍රිතාන්‍යය, ප්‍රංශය සහ ජර්මනිය යන යුරෝපීය බලවතුන් විසින් අනුමත කරන ලදී.කෙසේ වෙතත්, ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් රුසියාව සමඟ පවතින යුද්ධය කෙරෙහි ඇති අවධානය වෙනතකට යොමු වනු ඇතැයි යුරෝපීය බලවතුන් තුළ වැඩි වැඩියෙන් කනස්සල්ලක් ඇති විය. ඔවුන් එම රුසියානු යුද්ධය සලකනු ලැබුවේ තමන්ගේ කොල්ලකාරී අභිලාෂයන් සඳහා වඩාත් වැදගත් වන්නක් ලෙසය. ඉරානය තුළ සිදුකරන ක්‍රියාන්විතයන් සඳහා ස්පාඤ්ඤ මිලිටරි කඳවුරු භාවිතා කිරීමට එක්සත් ජනපදයට අවසර දීම ස්පාඤ්ඤ රජය විසින් නිල වශයෙන් ප්‍රතික්ෂේප කරන ලදී. 

මෙම මතභේදයන්ට මුල් වී ඇත්තේ, අන්තර්-අත්ලාන්තික් සබඳතාවය පදනම් වී තිබූ දෙවන ලෝක යුද්ධයෙන් පසු පැවති ලෝක ධනවාදයේ සමතුලිතතාවය සම්පූර්ණයෙන්ම බිඳ වැටීමයි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site) සිය මෑතකාලීන ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැළියේදී පැහැදිලි කළ පරිදි, ඉරාන යුද්ධයෙන් සනිටුහන් වූයේ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තම ශීඝ්‍ර ආර්ථික පරිහානිය ආපසු හැරවීම සඳහා සිය අතිමහත් මිලිටරි බලය භාවිතා කිරීමට උත්සාහ කළ වසර 35ක කාලපරිච්ඡේදයක උච්චතම අවස්ථාව ලෙසයි. නමුත් වොෂින්ටනය අපේක්ෂා කළ ඉලක්කය සපුරා ගැනීමට වඩා බොහෝ සෙයින් වෙනස්ව, මෙම නිමාවක් නොමැති ම්ලේච්ඡ යුද්ධ මාලාව විසින් ලෝක ධනවාදයේ අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇති අතර, එක්සත් ජනපදයේ ආර්ථික ස්ථාවරත්වය සහ මිලිටරි බලය තවදුරටත් පිරිහීමට ලක් කර ඇත. එමෙන්ම, 20 වන සියවසේදී ලෝකයේ සම්පත් සහ වෙළඳපොළවල් නැවත බෙදාගැනීම සඳහා ලෝක යුද්ධ දෙකක් ඇති කිරීමට හේතු වූ එම අන්තර්-අධිරාජ්‍යවාදී එදිරිවාදිකම්ම මේ හරහා නැවතත් මුදාහැර තිබේ.

ජර්මනියේ නායකත්වයෙන් යුත් යුරෝපීය අධිරාජ්‍යවාදීන්, වොෂින්ටනය සමඟ පවතින සබඳතා පිරිහී යාමට ප්‍රතිචාර දක්වා ඇත්තේ දැවැන්ත නැවත සන්නද්ධ වීමේ වැඩපිළිවෙළක් දියත් කරමිනි. පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂවල සහයෝගය ඇතිව, මර්ස්ගේ ප්‍රධානත්වයෙන් යුත් ජර්මනියේ ක්‍රිස්තියානි ප්‍රජාතන්ත්‍රවාදී/සමාජ ප්‍රජාතන්ත්‍රවාදී සභාග ආණ්ඩුව, ඉදිරි දශකය තුළ යුද්ධය සහ මිලිටරිමය යටිතල පහසුකම් සඳහා යුරෝ ට්‍රිලියන 1ක මුදලක් වියදම් කිරීමට අවසර දීම වෙනුවෙන් රටේ පවතින ණය සීමා පැනවීම් (debt brake) ද නොසලකා හැරීමට පියවර ගත්තේය.එමෙන්ම, නේටෝ (NATO) සංවිධානයේ යුරෝපීය සාමාජිකයන් සහ කැනඩාව, 2035 වසර වන විට තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් මිලිටරි කටයුතු සහ ඊට අදාළ යටිතල පහසුකම් වෙනුවෙන් වියදම් කිරීමට ට්‍රම්ප් ඉදිරිපත් කළ යෝජනාවට එකඟ වී ඇත.

වොෂින්ටනයෙන් (එක්සත් ජනපදයෙන්) ස්වාධීනව සහ අවශ්‍ය වුවහොත් ඊට එරෙහිව වුවද, ලොව පුරා තමන්ගේ භූ-උපායමාර්ගික සහ ආර්ථික අවශ්‍යතා බලාත්මක කළ හැකි යුරෝපීය යුද යාන්ත්‍රණයක් ගොඩනැගීම සඳහා ප්‍රතිපාදන සෙවීමට යුරෝපීය අධිරාජ්‍යවාදය කටයුතු කරමින් සිටියි. මේ සඳහා ඔවුන් අන්තර්-අත්ලාන්තික් සබඳතාව බිඳ වැටීම ප්‍රයෝජනයට ගනිමින්, තමන්ගේම රටවල් තුළ දරුණු ලෙස වියදම් කපා හැරීමේ ව්‍යාපාරයක් වේගවත් කරමින් සිටී. කෙසේ වෙතත්, බලයේ සිටින යුදකාමීන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීම සඳහා යම් කාලයක් ගතවනු ඇති බව පිළිගන්නා අතර, එම නිසා ඔවුන් හැකි තාක් කල් එක්සත් ජනපදය සමඟ යම් ආකාරයක ක්‍රියාකාරී එකඟතාවක් පවත්වා ගැනීමට උත්සාහ කරති. මන්දයත්, මිලිටරි උපකරණ ලබාගැනීම සඳහා ජර්මනිය, ප්‍රංශය, බ්‍රිතාන්‍යය සහ අනෙකුත් යුරෝපීය බලවතුන් තවමත් එක්සත් ජනපදය මත දැඩි ලෙස රඳා පවතින බැවිනි.

ජර්මනියේ රැඳී සිටින එක්සත් ජනපද සෙබළුන් සංඛ්‍යාව එම ප්‍රමාණයෙන්ම (5,000කින්) අඩු කිරීමටත්, ජර්මනිය තුළ දිගු දුර විහිදෙන ටොමහෝක් (Tomahawk) මිසයිල ස්ථානගත කිරීම එක්සත් ජනපදය විසින් ප්‍රතික්ෂේප කිරීමටත් එය සමපාත වුවද, පෝලන්තය වෙත සෙබළුන් 5,000ක් යෙදවීමට ට්‍රම්ප් කළ ප්‍රකාශය ජර්මන් විදේශ අමාත්‍ය ජොහාන් වඩේෆුල් සිකුරාදා පැවැති රැස්වීමේදී විශේෂයෙන්ම සාදරයෙන් පිළිගත්තේය. එමෙන්ම, මෙම වසරේ මුලදී යුරෝපා සංගමය (EU) විසින් කියෙව් (යුක්රේනය) වෙත ලබාදුන් යුරෝ බිලියන 90ක ණය මුදලට “අඩුම තරමින් සමාන මුදලකින් “, කියෙව්හි පවතින අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍රය වෙත ලබාදෙන මූල්‍ය ආධාර වැඩි කරන ලෙස ඔහු එම රැස්වීමේදී නේටෝ (NATO) සාමාජිකයන්ගෙන් ඉල්ලා සිටියේය.

මහද්වීපය පුරා පවතින රජයන් විසින් ක්‍රියාවට නංවනු ලබන උමතු නැවත සන්නද්ධ වීමේ සැලසුම් හේතුවෙන්, දෙවන ලෝක යුද්ධයෙන් පසු කම්කරු පන්තිය වෙත ලබාදුන් සහන සම්පූර්ණයෙන්ම අහෝසි කිරීමට සිදු වනු ඇත. කම්කරුවන් තමන්ගේ රැකියා සහ පොදු සේවාවන් ආරක්ෂා කර ගැනීමට උත්සාහ කිරීමත් සමඟ, මෙය පන්ති අරගලය දැවැන්ත ලෙස තීව්‍ර කිරීම සඳහා මාවත සකසනු ඇත. මිලිටරි අයවැය ශීඝ්‍රයෙන් ඉහළ යද්දී, විවිධ දේශපාලන මතවාදයන් නියෝජනය කරන රජයන් විසින් වැළඳගෙන ඇති කප්පාදු වැඩපිළිවෙළවල්, උමතු රුසියානු විරෝධී ප්‍රචාරක ව්‍යාපාරයක් මගින් සාධාරණීකරණය කරනු ලැබේ. මෙම ප්‍රචාරයන්, 2029 වසර වන විට ක්‍රෙම්ලිනය (රුසියාව) විසින් නේටෝ (NATO) සංවිධානයට එරෙහිව මහා පරිමාණ යුද්ධයක් සූදානම් කරමින් සිටින බවට කෙරෙන උද්වේගකර සහ ඝෝර ප්‍රකාශයන්ගෙන් පිරී පවතී.

යුරෝපීය බලවතුන් කියෙව් වෙත ලබාදෙන තමන්ගේ මිලිටරි සහ මූල්‍ය ආධාර ඉහළ නංවා ඇති අතර, එමඟින් මොස්කව්හි නේවාසික ගොඩනැගිලි සහ බලශක්ති යටිතල පහසුකම් ද ඇතුළුව රුසියාවේ අභ්‍යන්තරයේ ගැඹුරින් පිහිටි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කිරීමට අන්ත දක්ෂිණාංශික සෙලෙන්ස්කි පාලන තන්ත්‍රයට අවස්ථාව ලැබී ඇත. නේටෝ (NATO) කලාපය තුළ පිහිටි නිෂ්පාදන පරිශ්‍රයන් වෙත බෝම්බ ප්‍රහාර එල්ල කරන බවට රුසියාව තර්ජනය කිරීමෙන් පසුව (පවා), එවැනි ප්‍රහාරයන්ට අඛණ්ඩව සහයෝගය දීමට සහ දිරිගැන්වීමට යුරෝපයේ ප්‍රධාන බලවතුන් කටයුතු කර තිබේ. අධිරාජ්‍යවාදීන්ගේ අනුග්‍රහය ලබන මෙම ප්‍රහාරයන් අතරතුර, එන්න එන්නම වැඩි වන යුක්රේන ඩ්‍රෝන යානා සංඛ්‍යාවක් නේටෝ සාමාජික රටවල් වන එස්තෝනියාව, ෆින්ලන්තය, ලැට්වියාව සහ ලිතුවේනියාව යන රටවල ගුවන් සීමාවන්ට ඇතුළු වී තිබීමේ කරුණ, සිකුරාදා රැස්වීමට සහභාගී වූ අමාත්‍යවරුන් විසින් රුසියාවේ “ආක්‍රමණශීලීත්වය” නැවත වරක් හෙළා දැකීම සඳහා අවස්ථාවක් කරගනු ලැබීය. පැහැදිලිවම එයට හේතුව වී ඇත්තේ, අධිරාජ්‍යවාදීන්ගේ මූල්‍ය ප්‍රතිපාදන ලබන යුක්රේන ප්‍රහාරයන්ගෙන් ආරක්ෂා වීම සඳහා රුසියාව විසින් ඉලෙක්ට්‍රොනික සංඥා අවහිර කිරීම් (electronic jamming) භාවිතා කර තිබීමයි.

යුක්රේනයේ සිට ආක්ටික් කලාපය දක්වාම එක්සත් ජනපදය සහ යුරෝපය අතර පවතින මතභේදයන් දිගින් දිගටම වර්ධනය වෙමින් පවතී.

කියෙව්හි බටහිර ගැති පාලන තන්ත්‍රයක් බලයට පත් කිරීමට සහ එම රටේ නැගෙනහිර ප්‍රදේශයේ සිවිල් යුද්ධය ආරම්භ කිරීමට හේතු වූ 2014 ‘මයිඩාන්’ (Maidan) කුමන්ත්‍රණය සැලසුම් සහගතව මෙහෙයවීම සඳහා එක්සත් ජනපදය, කැනඩාව සහ යුරෝපීය බලවතුන් එක්ව කටයුතු කරන ලදී . 2022 වසරේදී පුටින් විසින් ඔහුගේ ප්‍රතිගාමී ආක්‍රමණය දියත් කළ අවස්ථාවේදී පවා ඊට පෙර පැවති වසර තිහක එක්සත් ජනපද සහ නේටෝ (NATO) ආක්‍රමණයන් පහසුව සදහා අමතක කර දමමින්,  “රුසියානු ආක්‍රමණශීලීත්වය” ඒකාබද්ධව හෙළා දැකීම මඟින් යුද්ධය පිටුපස පැවති එකිනෙකට තරඟකාරී අධිරාජ්‍යවාදී අභිලාෂයන් අඩුම තරමින් මතුපිටින් හෝ වසා දමනු ලැබීය.

එක්සත් ජනපදය සහ යුරෝපීය රජයන් අතර පවතින මතභේදයන් අද වන විට ප්‍රසිද්ධියේම කරළියට පැමිණ ඇත. ට්‍රම්ප් පරිපාලනය විසින් සෘජු මිලිටරි ආධාර සියල්ලම පාහේ නතර කිරීමෙන් පසුව, යුක්රේනය දැන් මුළුමනින්ම පාහේ යුරෝපීය බලවතුන් සහ කැනඩාව වෙතින් ලැබෙන මූල්‍ය ආධාර මත යැපෙයි. එමෙන්ම, මෙම මූල්‍ය ආධාර බොහෝ විට එක්සත් ජනපදයෙන්ම ආයුධ මිලදී ගැනීම සඳහා ද උපයෝගී කර ගැනේ. යුරෝපීය නායකයන් මඟහරිමින්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් සමඟ එකඟතාවයකට පැමිණීමට ට්‍රම්ප් දරන උත්සාහයන් තවදුරටත් ඉදිරියට ගෙන යමින් සිටී. එමඟින් එක්සත් ජනපද සමාගම් සහ ආයෝජකයින් වෙත රුසියානු බලශක්ති ප්‍රභවයන් සහ අත්‍යවශ්‍ය ඛනිජ සම්පත් සඳහා ප්‍රවේශය හිමිවනු ඇත.

නෝර්ඩික් කලාපය තුළ, නේටෝ (NATO) සංවිධානයේ නිල ව්‍යුහයන්ගෙන් බැහැරව සිය මිලිටරි පැවැත්ම ව්‍යාප්ත කිරීමට එක්සත් ජනපදය කටයුතු කරමින් සිටියි. ඒ සඳහා ඔවුන් ප්‍රධාන වශයෙන්ම ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුම් මාලාවකට එළඹී ඇති අතර, එමඟින් ඩෙන්මාර්කය, ෆින්ලන්තය, නෝර්වේ සහ ස්වීඩනය පුරා පිහිටි මිලිටරි කඳවුරු දුසිම් ගණනකට බාධාවකින් තොරව ප්‍රවේශ වීමේ අවස්ථාව එක්සත් ජනපද මිලිටරි සෙබළුන්ට හිමිවේ.මෙම ගිවිසුම් යටතේ, තමන් ක්‍රියාත්මක වන කඳවුරු කෙරෙහි පූර්ණ අධිකරණ බලය එක්සෙත් ජනපදය සතු වන අතර, වැරදි හෝ අපරාධ සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින සෙබළුන් පිළිබඳ නඩු විභාග කරනු ලබන්නේ ද එක්සත් ජනපද නීතියට අනුකූලවය.

රූබියෝ සිකුරාදා පැවැති නේටෝ (NATO) විදේශ අමාත්‍යවරුන්ගේ රැස්වීමට සහභාගී වන අතරතුර, ස්වීඩනය සමඟ ද්විපාර්ශ්වික තාක්ෂණික හවුල්කාරිත්වයකට අත්සන් තැබීම සඳහා ද කාලය වෙන් කරගත්තේය. එම අත්සන් තැබීමේ උත්සවයේදී අදහස් දක්වමින් ස්වීඩන විදේශ අමාත්‍ය මාරියා මැල්මර් ස්ටෙනර්ගාඩ්, පරදුවට ලක්ව ඇති ආරක්ෂක සහ ආර්ථික අභිලාෂයන් පෙන්වා දෙමින් මෙසේ පැවසුවාය:

“පසුගිය වසරක කාලය තුළ පමණක්, ස්වීඩනය නේටෝ (NATO) සංවිධානයට බැඳී, හූස්ටන් සහ සැන් ෆ්‍රැන්සිස්කෝ යන නගර දෙකෙහිම ප්‍රධාන කොන්සල් කාර්යාල විවෘත කර, ද්විපාර්ශ්වික ආරක්ෂක සහයෝගිතා ගිවිසුමකට අත්සන් තබා ඇති අතර, එක්සත් ජනපදයේ ප්‍රමුඛතම මුලපිරීමක් වන ‘පැක්ස් සිලිකා’ (Pax Silica) වැඩසටහන සමඟ ද එක්වී තිබේ.”

“අද අපි තවත් පියවරක් ඉදිරියට තබමින් සිටිමු. තාක්ෂණික සෞභාග්‍යය පිළිබඳ මෙම ගිවිසුම අපගේ පොදු ආරක්ෂාව සහ සෞභාග්‍යය උදෙසා නව විභවතාවන් විවෘත කරනු ඇත… එය කෘතිම බුද්ධිය (AI), සබඳතාවයන්, ආරක්ෂක නවෝත්පාදන හෝ අභ්‍යවකාශය වේවා, අප එක්ව කටයුතු කරන විට අපි වඩාත් ශක්තිමත් වන්නෙමු.”

තවත් බටහිර දිශාවට, ඩෙන්මාර්කයට අයත් ස්වයංපාලන ප්‍රදේශයක් වන ග්‍රීන්ලන්තයේ පාලනය නතු කරගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර පවතින ගැටුම මේ සතියේදී නැවත වරක් උත්සන්න විය.

බ්‍රහස්පතින්දා දින, එක්සත් ජනපදය එහි අගනුවර වන නූක් (Nuuk) හි නව සහ වඩාත් විශාල කොන්සල් කාර්යාලයක් විවෘත කළේය. ඩෙන්මාර්ක සහ යුරෝපීය නිලධාරීන් මෙන්ම ග්‍රීන්ලන්තයේ අග්‍රාමාත්‍ය ජෙන්ස්-ෆ්‍රෙඩ්රික් නීල්සන් ද එම අවස්ථාවට සහභාගී නොවීම කැපී පෙනෙන කරුණක් විය. කොන්සල් කාර්යාලය විවෘත කිරීමට එරෙහිව 1,000ක් දක්වා වූ පිරිසකගේ සහභාගීත්වයෙන් යුත් මහා විරෝධතාවක් බ්‍රහස්පතින්දා දින පැවැත්වුණු අතර, ග්‍රීන්ලන්තයේ සමස්ත ජනගහනය 57,000ක් පමණක් වන බව සලකා බලන විට එය ඉතා දැවැන්ත විරෝධතාවක් විය.

දේශගුණික විපර්යාස හේතුවෙන් ආක්ටික් කලාපයේ විවෘත වෙමින් පවතින දියමංකඩවල් මධ්‍යයේ පිහිටි එහි ප්‍රධාන මූලෝපායික පිහිටීම සහ සාරවත් අමුද්‍රව්‍ය තැන්පතු නිසා, ග්‍රීන්ලන්තය අත්පත් කරගැනීමේ තම අදහස ට්‍රම්ප් දිගින් දිගටම ප්‍රකාශ කර තිබේ. ග්‍රීන්ලන්තය සඳහා වූ ට්‍රම්ප්ගේ විශේෂ නියෝජිතයා වන ලුසියානා ප්‍රාන්ත ආණ්ඩුකාර ජෙෆ් ලෑන්ඩ්‍රි සතියකට ආසන්න කාලයක් එම දූපතේ සංචාරයක නිරත වුවද, කිසිදු ජ්‍යෙෂ්ඨ රජයේ නිලධාරියෙකු ඔහුව හමුවීමට සූදානම්ව සිටියේ නැත. මාර්තු මාසයේ පැවැති පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසුව දැනට සිදුවෙමින් පවතින සභාග ආණ්ඩු පිහිටුවීමේ සාකච්ඡා හේතු දක්වමින්, ඩෙන්මාර්ක රජය ද කිසිදු නියෝජිතයෙකු එවීමට කටයුතු කළේ නැත.

ඩෙන්මාර්ක, ග්‍රීන්ලන්ත සහ එක්සත් ජනපද නිලධාරීන් මේ වන විට එම දූපත එක්සත් ජනපද මිලිටරි මෙහෙයුම් සඳහා විවෘත කිරීම සම්බන්ධයෙන් සවිස්තරාත්මක සාකච්ඡාවල නිරත වෙමින් සිටිති. ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පතට අනුව, එහි ස්ථිර පදනමේ සෙබළුන් යෙදවීමේ අයිතිය සහ සියලුම ප්‍රධාන ආර්ථික ආයෝජන සම්බන්ධයෙන් නිෂේධ බලය (veto power) ලබාගැනීමේ අයිතිය වොෂින්ටනය විසින් ඉල්ලා සිටියි. එමෙන්ම, නේටෝ (NATO) මහලේකම් මාර්ක් රූට් විසින් ජනවාරි මාසයේදී ප්‍රකාශයට පත් කරන ලද “ආක්ටික් එන්ඩියුරන්ස්”(Arctic Endurance) නැමැති නව මෙහෙයුමේ කොටසක් ලෙස, යුරෝපීය නේටෝ සාමාජික රටවල් ද උතුරු දිග ඉහළ කලාපයේ (high north) තම මිලිටරි පැවැත්ම සහ ක්‍රියාකාරකම් ඉහළ නංවමින් සිටියි.

නේටෝ (NATO) සංවිධානයේ සමීපතම මිත්‍ර රටවල් දෙක ලෙස සැලකිය හැකි එක්සත් ජනපදය සහ කැනඩාව අතර පවතින මිලිටරි සහයෝගිතාව ද දැන් තවදුරටත් ‘ දෙන ලද්දක්’ (ස්ථිර ලෙස) එකක් ලෙස සැලකිය නොහැකිය. මෙම සතිය මුලදී, යුද කටයුතු පිළිබඳ උප ලේකම් එල්බ්‍රිජ් කොල්බි සමාජ මාධ්‍ය සටහනක් මඟින් ප්‍රකාශ කළේ, 1940 වසරේ සිට එක්සත් ජනපදය සහ කැනඩාව අතර මහද්වීපික ආරක්ෂක කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා ක්‍රියාත්මක වන “ස්ථිර ඒකාබද්ධ ආරක්ෂක මණ්ඩලයේ” (Permanent Joint Board of Defense) තම සහභාගීත්වය එක්සත් ජනපදය විසින් අත්හිටුවන බවයි. බ්‍රහස්පතින්දා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පෙන්ටගනය ප්‍රකාශ කළේ, කැනඩාවේ ලිබරල් රජය තමන්ගේ දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 5ක් මිලිටරි කටයුතු සඳහා වියදම් කරන්නේ කෙසේද යන්න පිළිබඳව විශ්වසනීය සැලැස්මක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වීම සහ ඇමරිකාවේ නිෂ්පාදිත F-35 ප්‍රහාරක ජෙට් යානා මිලදී ගැනීම පිළිබඳ අවසන් තීරණය වසරකට වැඩි කාලයක් ප්‍රමාද කිරීම හේතුවෙන් තමන් මෙම පියවර ගත් බවයි. කැනඩා රජය F-35 යානා මිලදී ගැනීමේ ක්‍රියාවලිය නැවත සමාලෝචනයකට ලක් කර ඇති අතර, රටේ ආර්ථිකය කඩාකප්පල් කිරීමට සහ කැනඩාව 51 වන ප්‍රාන්තය ලෙස ඈඳා ගැනීමට ට්‍රම්ප් විසින් දිගින් දිගටම එල්ල කරන ලද තර්ජනවලින් පසුව, එක්සත් ජනපදය මත පවතින තම යැපීම සැලකිය යුතු ලෙස අඩු කිරීම අරමුණු කරගත් “ආරක්ෂක කාර්මික උපායමාර්ගයක්”’ (Defense Industrial Strategy) ඉදිරිපත් කර ඇත.

අග්‍රාමාත්‍ය මාර්ක් කාර්නි මෑත මාසවලදී යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් වෙත වඩාත් සමීප වීම සඳහා විශේෂ උත්සාහයක් ගෙන තිබේ. ඔහුගේ රජය මිලිටරි නිෂ්පාදන සඳහා වූ “රීආම් යූරෝප්” (Rearm Europe) වැඩසටහනේ හවුල්කරුවෙකු ලෙස කැනඩාවට ස්ථානයක් තහවුරු කර දුන් අතර, කාර්නි පසුගිය මාසයේදී යෙරෙවන් (Yerevan) නුවර පැවැති යුරෝපීය දේශපාලන ප්‍රජාවේ (European Political Community) සමුළුවකට සහභාගී වූ පළමු යුරෝපීය නොවන නායකයා බවට පත් විය.

නේටෝ (NATO) සන්ධානය බිඳදමමින් පවතින සහ ලෝකය අලුතින් නැවත බෙදා ගැනීමක් සඳහා අධිරාජ්‍යවාදී බලවතුන් එකිනෙකා සමඟ ගැටුමකට ඇද දමන මෙම ගැටුම් නැවැත්විය හැක්කේ, සමාජයේ සමාජවාදී පරිවර්තනයක් උදෙසා  ස්වාධීන දේශපාලන ව්‍යාපාරයකට පමණි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

රුසියාවට එරෙහි යුද්ධය උත්සන්න වීම මධ්‍යයේ ස්වීඩනයේ පැවැති නේටෝ (NATO) සමුළුව, තියුණු වෙමින් පවතින අන්තර්-අධිරාජ්‍යවාදී ප්‍රතිවිරෝධතා මතුකර පෙන්වයි Read More »

Scroll to Top