Oligarchy

Warship

යුද්ධයට එරෙහි මහජන විරෝධය නොතකා ට්‍රම්ප් ඉරානයට එරෙහිව නව ප්‍රහාරයකට සූදානම් වෙයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 25 දින “Trump prepares new onslaught on Iran in defiance of mass opposition to war” යන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Warship
එක්සත් ජනපද නාවික හමුදාවට අයත් USS Dwight D. Eisenhower ගුවන්යානා ප්‍රවාහන නෞකාව සහ USNS Supply නම් වේගවත් යුධ ආධාරක නෞකාව 2023 දෙසැම්බර් 14 වන දින හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) තරණය කරයි. [ඡායාරූපය: නාවික හමුදා දෙවන පන්තියේ පෙටී ඔෆිසර් කීත් නොවැක්]

ට්‍රම්ප් සහ නෙතන්යාහු පාලනයන්, නායකයින් දෙදෙනාම ප්‍රධාන මැතිවරණමය පසුබෑම්වලට මුහුණ දෙනු ඇතැයි අපේක්ෂිත මැතිවරණවලට පෙර, ඉරානයට එරෙහිව විශාල නව ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා වන සූදානමක අවසාන අදියරේ පසුවෙති.

ඉරානයට තවත් ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන්නේදැයි සෙනසුරාදා විමසූ විට, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ෆ්ලොරිඩාවේදී මාධ්‍යවේදීන්ට පැවසුවේ, “ ඒ ගැන සිතමින් සිටිනවා, සමහර විට හෙට” ලෙසය. ඔහු තවදුරටත් මෙසේ පැවසීය: “සමහර විට මට එය ඉවරයක් කිරීමට සිදුවනු ඇත, නැතහොත් සමහර විට ඔවුන් ගිවිසුමකට පැමිණෙනු ඇත.” ඉරිදා ඔහු Fox News නාලිකාවට පැවසුවේ “අද ප්‍රහාරයක් සිදු නොවනු ඇත” යන්නයි. නමුත් ඔහු තම තේරීම ඉදිරිපත් කළේ එකම ආකාරයකටය: “මා ඔවුන් සමඟ ගිවිසුමකට එළඹෙනවාද, නැතහොත් මා ඔවුන්ව ඉවරම කරලා දානවද ?”

මෙම ප්‍රකාශයන් සිදුවන්නේ නොවැම්බර් 3 වන දින පැවැත්වෙන අතුරු මැතිවරණයට සතියකට මදක් වැඩි කාලයක් තිබියදී සහ ඔක්තෝබර් 27 වන දින පැවැත්වෙන ඊශ්‍රායල ජාතික මැතිවරණයට දින තුනකට පෙරය. ඇමෙරිකානු මැතිවරණයේදී ඉරාන යුද්ධයට එරෙහිව දැඩි මහජන විරෝධයක් වාර්තා වනු ඇතැයි අපේක්ෂා කෙරෙන අතර, ට්‍රම්ප්ගේ පක්ෂයට විශාල පරාජයක් හිමිවන බවට අනාවැකි පළවී ඇත. ඔක්තෝබර් 8 වන දින ප්‍රකාශයට පත් කරන ලද Pew Research Center සමීක්ෂණයකට අනුව ඇමෙරිකානුවන්ගෙන් සියයට 65 ක්ම ට්‍රම්ප් යුද්ධය මෙහෙයවන ආකාරය අනුමත නොකරන බව හෙළි විය.

ඉරානයට නැවත ප්‍රහාර එල්ල කිරීම සඳහා වන හමුදා සූදානම බෙහෙවින් ඉදිරියට ගොස් ඇත. USS Theodore Roosevelt ගුවන්යානා ප්‍රවාහන ප්‍රහාරක බලකාය සැප්තැම්බර් අවසානයේ සං දියේගෝ (San Diego) නගරයෙන් පිටත්ව ගිය අතර, ඊට දිනකට පසුව මැරීන් භටයින් 2,000 කට වැඩි පිරිසක් රැගත් ජල-භූමි (amphibious) බලකායක් පිටත් විය. නොවැම්බර් අවසානය වන විට ගුවන්යානා ප්‍රවාහන නෞකා තුනක් සහ ජල-භූමි ගොඩබෑම් බලකා (landing groups) දෙකක් ඉරානය ආසන්නයේ ස්ථානගත කරනු ඇත.

යුද්ධයට පෙර මැද-පෙරදිග ඒ වනවිටත් ස්ථානගත කර සිටි 40,000 සිට 50,000 දක්වා වූ සෙබළුන්ට අමතරව, මෙම නව ස්ථානගත කිරීම් මගින් තවත් 9,000 සිට 10,000 දක්වා භට පිරිසක් එකතු වේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව ඔක්තෝබර් 21 වන දින සවුදි අරාබියෙන් අත්‍යවශ්‍ය නොවන කාර්ය මණ්ඩල සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින්ට ඉවත් වන ලෙස නියෝග කළ අතර, ලෙබනනය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, කටාර් සහ ජෝර්දානය යන රටවල තානාපති කාර්යාලවල කාර්ය මණ්ඩලය අඩු කර ඇති බව CNN සිකුරාදා වාර්තා කළේය.

පාලනාධිකාරිය සිය යුද තීව්‍ර කිරීම සාධාරණීකරණය කිරීම සඳහා පැහැදිලි ප්‍රචාරක කථනයක්  සූදානම් කරමින් සිටී. ජාතික බුද්ධි අධ්‍යක්ෂ ජේ ක්ලේටන් විසින් රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ (Marco Rubio) වෙත සිකුරාදා යවන ලද සහ Axios විසින් ප්‍රථමයෙන් වාර්තා කරන ලද සංදේශයක දැක්වුණේ, “එක්සත් ජනපද පුරවැසියන්ට එරෙහි ඉරාන ජාතිකයන්ගේ මාරාන්තික කුමන්ත්‍රණ ප්‍රයත්නයන් ඉදිරි අදියරයන්ට පැමිණ ඇති” බවයි.

කර්තෘවරුන් හයදෙනෙකුගේ නමින් සෙනසුරාදා පළ වූ ලිපියක New York Times පුවත්පත වාර්තා කළේ, “ඉරාන ජාතිකයන් මැද පෙරදිග එක්සත් ජනපද තානාපතිවරුන් සහ එක්සත් ජනපද භූමියේ සිටින ඇමෙරිකානු නිලධාරීන් ඝාතනය කිරීමට උත්සාහ කළ හැකිය” යන්න අඟවන බුද්ධි තොරතුරු කෙරෙහි එක්සත් ජනපද නිලධාරීන් අවධානය යොමු කර ඇති බවයි. එම බුද්ධි තොරතුරු “අතිශයින්ම රහසිගතව පවතින බැවින් විනිශ්චය කිරීම දුෂ්කර” බව පුවත්පත පිළිගත්තේය. “නිශ්චිත කුමන්ත්‍රණ පිළිබඳ සාක්ෂි සාකච්ඡා කිරීමෙන් එය තහවුරු කළ නොහැකි බව දැන සිටියදීත්” මෙම සංදේශය මුදා හැරීම පිළිබඳව ඇතැම් නිලධාරීන් කුතුහලයට පත්ව සිටි බවද එහි වැඩිදුරටත් සඳහන් විය. වෙනත් වචනවලින් කිවහොත්, මෙය කිසිදු පදනමක් නොමැති යුද ප්‍රචාරණයකි.

කිසිදු උත්ප්‍රාසයක සේයාවක් තොරව, Times පුවත්පත වැඩිදුරටත් සඳහන් කළේ “තෝරාගත් බුද්ධි තොරතුරු හමුදා ක්‍රියාමාර්ග සඳහා ව්‍යාජ හේතුවක් (pretext) ලෙස භාවිතා කළ හැකි ආකාරය පිළිබඳ තවත් අනතුරු ඇඟවීමේ උදාහරණයක් ඉරාකය විසින් සපයන” බවයි. ඇත්ත වශයෙන්ම, ඉරානයට එරෙහි ඉඟිකරන/වක්‍ර චෝදනා කැඳ හැලිය දෙස බලන විට, 2003 ඉරාක ආක්‍රමණයට පෙර පැවැති සහ, Times පුවත්පතද ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කළ, ආණ්ඩුවේ සහ මාධ්‍යවල ප්‍රචාරක ව්‍යාපාරය ඊට වඩා සංගත එකක් ලෙස පෙනී යයි.

ඇත්ත වශයෙන්ම ඝාතන පිළිබඳ ඉතිහාසයක් ඇත්තේ මෙම පදනම් විරහිත චෝදනා එල්ල කරන ආණ්ඩු වලටම වේ. එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය පෙබරවාරි 28 වන දින යුද්ධය ආරම්භ කළේ එහි මුල් පැය කිහිපය තුළදීම ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි (Ayatollah Ali Khamenei) ඝාතනය කරමිනි.

ට්‍රම්ප් පාලනාධිකාරිය සූදානම් වන්නේ කුමකටද? එක්සත් ජනපද හමුදාව විසින් “සියලු බෝම්බවල මෑණියන්” (mother of all bombs) ලෙස හැඳින්වෙන GBU-43 බෝම්බය ඉරානයට හෙළීම ඇතුළත් නව ප්‍රහාරක සැලසුම් සකස් කර ඇති බව CNN ඔක්තෝබර් 15 වන දින වාර්තා කළේය.

ට්‍රම්ප් ටෙහෙරානයට “සියලු බෝම්බවල මෑණියන්” වන බෝම්බය හෙළීමට සැලසුම් කරන්නේද? ට්‍රම්ප් න්‍යෂ්ටික ආයුධ භාවිතා කරයිද? ඔහු පාබල හමුදා යොදවනු ඇද්ද? එක්සත් ජනපදයේ දිගු දුර මිසයිල සහ ගුවන් ආරක්ෂණ මිසයිල තොග විශාල වශයෙන් ක්ෂය වී ඇති පූර්ණ පරිමාණ ගුවන් බෝම්බ හෙළීමකින් පසුව, ට්‍රම්ප් ඉරානය “අවසන් කිරීමට” බලාපොරොත්තු වන්නේ කෙසේද?

ට්‍රම්ප් සිය තර්ජන ක්‍රියාත්මක කරන්නේද නැද්ද යන්න කිසිවෙකුට කිව නොහැක, නමුත් එම තර්ජනම බලාපොරොත්තු සුන් වීමේ ලක්ෂණයකි. මාස අටක යුද්ධය සහ  වැටලීම් මගින් ඉරාන ආණ්ඩුව පෙරළා දැමීම, ඉරාන හමුදාව පරාජය කිරීම හෝ හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම යන ට්‍රම්ප්ගේ ඉලක්ක සපළ කරගෙන නොමැත. නමුත් යුද්ධයේ ගැඹුරු වන අර්බුදය එක්සත් ජනපද අධිරාජ්‍යවාදය තවදුරටත් විශාල සූදුවක් දෙසට තල්ලු කරමින් සිටී.

ට්‍රම්ප්ගේ අපරාධකාරී යුද ඉලක්කයන්ට මග පාදා දීම සඳහා ඩිමොක්‍රටික් පාක්ෂිකයෝ තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරති.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින් යුද්ධය ගැන කතා කරන තාක් දුරට, ඔවුන් වැඩි වශයෙන් කතා කරන්නේ ඉන්ධන මිල කෙරෙහි එහි ඇති බලපෑම ගැන මිස සිදුවෙමින් පවතින දේ සහ එහි අපරාධකාරී ස්වභාවය ගැන නොවේ. ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ සැබෑ උත්සුකය වන්නේ රුසියාවට එරෙහි යුද්ධයේදී මෙන්ම ඉරානයට එරෙහි යුද්ධයේදීත් ඇමෙරිකානු අධිරාජ්‍යවාදයේ අවශ්‍යතා සුරක්ෂිත කිරීමට ට්‍රම්ප් අපොහොසත් වී තිබීමයි.

ඉරිදා CBS නාලිකාවේ “Face the Nation” වැඩසටහනේදී තමා “නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ සටන්කාමී සභාපති” ලෙස හඳුන්වා ගත් කොලරාඩෝ හි ඩිමොක්‍රටික් නියෝජිත ජේසන් ක්‍රෝ (Jason Crow) ප්‍රකාශ කළේ “ඉරානය තවදුරටත් තර්ජනයක් ලෙස පවතින” බවයි. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) “අසමර්ථ අයෙකු බවත්, අපගේ හමුදා සාමාජිකයින් ආරක්ෂා කිරීමට අවශ්‍ය දේ නොකරන” බවත් ක්‍රෝ පැවසීය.

රුසියාව සහ යුක්‍රේනය අතර අර්ථ විරහිත “බලශක්ති සටන් විරාමයක්”  ට්‍රම්ප් විසින් ඔක්තෝබර් 11 වන දින ප්‍රකාශයට පත් කිරීමෙන් පසුව, සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් නායක චක් ෂූමර් (Chuck Schumer) ඔක්තෝබර් 17 වන දින X හි සටහන් කළේ “මැද පෙරදිග එක්සත් ජනපද හමුදාවන් ඉලක්ක කිරීමට ඉරානයට උපකාර කළ ඒකාධිපතියෙකුට ට්‍රම්ප් උදව් හා අනුබල දෙන” බවයි.

නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ සන්නද්ධ සේවා, විදේශ කටයුතු සහ බුද්ධි තොරතුරු පිළිබඳ කාරක සභාවල ප්‍රමුඛ ඩිමොක්‍රටික් සාමාජිකයින් වන ඇඩම් ස්මිත් (Adam Smith), ග්‍රෙගරි මීක්ස් (Gregory Meeks) සහ ජිම් හයිම්ස් (Jim Himes) ඔක්තෝබර් 20 වන දින පොරොන්දු වූයේ යුක්‍රේනයට “ආරක්ෂක, ආර්ථික සහ බුද්ධිමය සහයෝගය” ලබා දීමට ට්‍රම්ප්ට “බලකරන” පනතක් ඉදිරියට ගෙන යන බවයි.

එක පැත්තකින් බලන කල, ඩිමොක්‍රටික් පාක්ෂිකයින් කැමති වනු ඇත්තේ ඊළඟ කොංග්‍රස් මණ්ඩලය රැස්වීමට පෙර ට්‍රම්ප් මෙම ප්‍රහාරය දියත් කරන්නේ නම් ය. ඩිමොක්‍රටිකයන් යුද්ධයට සහාය දක්වද්දී , ඔවුන්ගේ පාක්ෂික පදනම ඊට දැඩි ලෙස විරුද්ධ වන අතර, මැතිවරණයට පෙර හෝ ඊට ආසන්නව ඊට පසුව ට්‍රම්ප් විසින් අණ කරනු ලබන ප්‍රහාරයක් මගින්—මැද පෙරදිග බලය පිහිටුවීම සහ යුක්‍රේනය තුළ රුසියාවට එරෙහි යුද්ධය තීව්‍ර කිරීම යන—තමන්ද පොදුවේ පිළිගන්නා යුද අරමුණු සහිත යුද්ධයක දේශපාලන වගකීමෙන් මිදීමට ඔවුන්ට අවස්ථාව ලැබේ.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ගේ ප්‍රචාරණ ව්‍යාපාරයේ යුදකාමී ස්වභාවය තහවුරු වූයේ, ඩිමොක්‍රටික් සෙනෙට් අපේක්ෂක අබ්දුල් එල්-සයීඩ් (Abdul El-Sayed) වෙනුවෙන් ඩෙට්‍රොයිට් හි පැවැති ජනරැලියකට, CNN විසින් ඉරිදා “ඩිමොක්‍රටික් පක්ෂයේ’ සමාප්ත කරන්නා ( ඡන්ද ව්‍යාපාරය කූටප්‍රාප්ත කරන්නා)  ලෙස හඳුන්වා දුන් හිටපු ජනාධිපති බරැක් ඔබාමා (Barack Obama) සෙනසුරාදා සහභාගී වීමෙනි.

“මාස හතකට පසු, ඒ යුද්ධය සිදුවන්නේ කෙසේද?” ඔබාමා ඩෙට්‍රොයිට් හිදී ඇසීය. “අපගේ මිසයිල තොග අන්තරායකාරී ලෙස පහත වැටී ඇත. තවද ප්‍රධාන කාරණය නම්, හෝමූස් සමුද්‍ර සන්ධිය සම්බන්ධයෙන් ඉරානයට දැන් නිෂේධ බලයක් (veto power) හිමිව තිබීමයි … එබැවින් යුද්ධය ආරම්භ වීමට පෙර පැවැති තත්වයට වඩා ශක්තිමත් මූලොපායික ස්ථානයක ඔවුන් දැන් ඉන්නවා.”

ඔබාමා යනු ඇමෙරිකානු ඉතිහාසයේ, රට යුදයක යෙදී පවතිද්දී පූර්ණ ධුර කාල දෙකක් සේවය කළ එකම ජනාධිපතිවරයා වන අතර, ඔහුගේ පාලනාධිකාරය අවම වශයෙන් රටවල් හතක හමුදා මෙහෙයුම් සිදු කළේය. “ත්‍රස්තයට එරෙහි යුද්ධය” යටතේ නීති විරෝධී ලෙස ඝාතනය කිරීම සඳහා වූ “ඝාතන ලැයිස්තුවට” (kill list) එකතු කරන ලද සෑම නමක්ම ඔබාමා පෞද්ගලිකව අනුමත කළ අතර, විමර්ශනාත්මක මාධ්‍යවේදීන්ගේ කාර්යාංශය (Bureau of Investigative Journalism) මගින් ඔබාමාගේ ධුර කාල දෙක තුළ පාකිස්ථානය, සෝමාලියාව සහ යේමනය යන රටවල එක්සත් ජනපද ප්‍රහාර 563 ක් (එයින් වැඩි ප්‍රමාණයක් ඩ්‍රෝන ප්‍රහාර) වාර්තා කර ඇත. මෙය ජෝර්ජ් ඩබ්. බුෂ් (George W. Bush) යටතේ සිදු වූ ප්‍රහාර මෙන් දස ගුණයකි.

ඔබාමාව හඳුන්වා දෙමින් “ප්‍රගතිශීලී” සෙනෙට් අපේක්ෂක එල්-සයීඩ්, “අප  දැවැන්තයින්ගේ කර මත සිට ගනිමු” යැයි ප්‍රකාශ කරමින් හිටපු ජනාධිපතිවරයා සමඟ සම්පූර්ණයෙන්ම එකඟ විය.

2012 නොවැම්බර් මාසයේදී, එල්-සයීඩ් විසින් ඔබාමාව විවේචනය කළේ ඔහු “යුද්ධය පවත්වාගෙන ගිය, අපගේ සිවිල් නිදහස උල්ලංඝනය කළ, සහ වෙනත් කිසිදු ජනාධිපතිවරයෙකුට වඩා වැඩි පිරිසක් අපගේ රටෙන් පිටුවහල් කළ” අයෙකු ලෙසයි. ඔක්තෝබර් 11 වන දින NBC හි “Meet the Press” වැඩසටහනේදී එම විවේචනය ගැන විමසූ විට එල්-සයීඩ් පැවසුවේ: “මා වඩා ඉලන්දාරි කාලේ එම ලිපි ලියූ තැනැත්තා—එවිට මා නාඹරයි” යනුවෙනි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයින්ට යුද්ධයට එරෙහි මහජන විරෝධය යනු ජයගත යුතු ගැටලුවකි. එක්සත් ජනපද දේශපාලන සංස්ථාපිතයේ වෙනස් කල්ලි නියෝජනය කරන ට්‍රම්ප් සහ ඩිමොක්‍රටික් පාක්ෂිකයින් යන දෙපිරිසම, මැද පෙරදිග සිට නැගෙනහිර යුරෝපය සහ ආසියාව දක්වා එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අරමුණු හඹා යාමට තීරණය කර ඇත.

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පුපුරා යෑම මගින් නිර්මාණය කර ඇති සාමාජික හා ආර්ථික අර්බුදය, කම්කරුවන් සහ තරුණයින් අතර දැවැන්ත මහජන විරෝධයක් නිර්මාණය කරමින් තිබේ. සෙනසුරාදා ප්‍රංශය පුරා 410,000 ක ජනතාවක් විරෝධතා පාගමනක නිරත වූහ.

“තරුණයින්ගේ සහ කම්කරුවන්ගේ ගෝලීය කැරැල්ල සහ පාලක පන්තියේ යුද උන්මාදය” යන මැයෙන් ඔක්තෝබර් 23 වන දින World Socialist Web Site කර්තෘ මණ්ඩලය නිකුත් කළ ප්‍රකාශය, මහජන විරෝධතා සහ යුද උත්සන්නිය “ලෝක ධනවාදයේ එකම අර්බුදයේ” නිෂ්පාදන ලෙස හඳුනා ගත්තේය. උද්ධමනය, සමාජ සුබසාධන වැඩසටහන් කප්පාදු කිරීම සහ ඩොලර් බිලියන සිය ගණනක් යුද්ධයට යොමු කිරීම යනු පැරිසියේ මෙන්ම එක්සත් ජනපදයේද ජීවන කොන්දේසි වේ.

සමීක්ෂණවල වාර්තා වන විරෝධයට තවමත් සංවිධානාත්මක ස්වරූපයක් නොමැත. යුද්ධයට එරෙහි අරගලය, පක්ෂ දෙකෙන්ම ස්වාධීනව, වේතන සහ රැකියා පිළිබඳ අරගලය යුද්ධයට සහ එය නිර්මාණය කරන ධනපති ක්‍රමයට එරෙහි අරගලයට සම්බන්ධ කරමින් කම්කරු පන්තියේ වර්ධනය වන ව්‍යාපාරය සමඟ ඒකාබද්ධ කළ යුතුය.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

socialismai.com logo

මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI ගෙන් අසන්න

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය මෙම යුද්ධයේ මුල් පැය කිහිපයේදී පෙබරවාරි 28 වන දින ඉරානයේ උත්තරීතර නායකයා ඝාතනය කළ බව ලිපියේ සඳහන් වේ—එම ආරම්භක ප්‍රහාරයේදී සැබවින්ම සිදු වූයේ කුමක්ද සහ ඉරානය ඒ අවස්ථාවේදී ප්‍රතිචාර දැක්වූයේ කෙසේද?

The article mentions the US and Israel killed Iran’s supreme leader on February 28 in the opening hours of this war—what actually happened in that initial attack and how did Iran respond at the time?

ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකම ප්‍රතිවාදී පක්ෂ ලෙස පෙනී සිටියද  පෙරදිග එකම අධිරාජ්‍යවාදී ඉලක්ක හඹා යන්නේ මන්ද?

Why do both the Democrats and Republicans end up pursuing the same imperialist goals in the Middle East even though they present parties?

2003 ඉරාක ආක්‍රමණයට පෙර පැවැති ප්‍රචාරක ව්‍යාපාරය සැබවින්ම ක්‍රියාත්මක වූයේ කෙසේද, සහ එම යුද්ධය සඳහා එකඟතාව ගොඩනැගීමේදී (manufacturing consent) මාධ්‍ය ඉටු කළ කාර්යභාරය කුමක්ද?

How did the propaganda campaign before the 2003 Iraq invasion actually work, and what role did the media play in manufacturing consent for that war?

SocialismAI.com වෙතින් වැඩිදුර ප්‍රශ්න අසන්න

යුද්ධයට එරෙහි මහජන විරෝධය නොතකා ට්‍රම්ප් ඉරානයට එරෙහිව නව ප්‍රහාරයකට සූදානම් වෙයි Read More »

IMG 3677

තරුණයින්ගේ සහ “කහ කබාකාරයින්ගේ”  දැවැන්ත බලමුලු ගැන්වීම ප්‍රංශ රජය සොලවයි

WSWS වාර්තාකරණ කණ්ඩායම.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 18 දින “Mass mobilisation of youth and “Yellow Vests” shakes the French government” යන හිසින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3677
2026 ඔක්තෝබර් 17 වන දින පැවැති විරෝධතාවයේදී දස දහස් සංඛ්‍යාත විරෝධතාකරුවෝ පැරිස් නුවර බුලවාර්ඩ් සෙන්ට්-මාටින් (Boulevard Saint-Martin) ඔස්සේ ප්ලාස් ඩි ලා රෙපුබ්ලික් (Place de la République) දෙසට පාගමනින් ගමන් කරති.

ද්විතීයික පාසල් (high school) ශිෂ්‍ය ව්‍යාපාරයට එල්ල කෙරෙන මර්දනයට සහ ඉහළ යන බලශක්ති ගාස්තු හා ජීවන වියදමට එරෙහිව ඊයේ ප්‍රංශය පුරා අතිවිශාල ජනකායක් විරෝධතාවල නිරත වූහ. ද්විතීයික පාසල් සිසුන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීමට සහ පොලිසිය විසින් ඔවුන්ට සිදු කරන ලද තුවාල කිරීම්වලට එරෙහිව කෝපය ඇවිලී යද්දී, විරෝධතාකරුවන් සහ පොලිසිය අතර ගැටුම් ඇති විය. බොහෝ නගරවල පැමිණි අතිවිශාල විරෝධතාකරුවන් හමුවේ පොලිසිය අසරණ විය.

ඊයේ රාත්‍රී අගභාගයේදී, ප්‍රංශ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මෙන්ම අන්තර්-වෘත්තීය සමිති සන්ධානය විසින් ගණනය කරන ලද විරෝධතාකරුවන්ගේ සංඛ්‍යාව, ප්‍රංශය පුරා 400,000 සිට 550,000 දක්වා ඉහළ දමමින් සිය තක්සේරුව සංශෝධනය කළේය. පැරිස් නුවර විරෝධතාකරුවන් 110,000 ක් ද, මොන්පෙලියර් හි 35,000 ක් ද, ටූලූස් හි 32,000 ක් ද, නැන්ට්ස් සහ ලියොන් හි 20,000 බැගින් ද සිටි බව එය වාර්තා කළේය. ප්‍රදේශයේ සංවිධායකයින් වාර්තා කළේ ලිල් හි 80,000 ක් ද, රෙනස් සහ කාන් හි 30,000 බැගින් ද, ස්ට්‍රාස්බර්ග් හි 20,000 ක් ද, බ්‍රෙස්ට් සහ බෙසන්කොන් හි 10,000 බැගින් ද, සහ සමස්ත ප්‍රංශය පුරා 800,000 ක ජනතාවක් එකතු වී සිටි බවයි.

මෙම සංඛ්‍යාලේඛන තවමත් සැබෑ තත්ත්වයට වඩා අඩුවෙන් දක්වන්නකි. බෝඩෝ හි, ප්‍රාදේශීය පරිපාලනය විසින් විරෝධතාකරුවන් 7,000 ක සංඛ්‍යාවක් ඉදිරිපත් කළ අතර CGT (වෘත්තීය සමිති සන්ධානය) 100,000 ක් ගණනය කළේය. මාර්සෙයි හි ද ඊට සමාන සංඛ්‍යාවක් සහ පැරිස් නුවර සිය දහස් ගණනක් විරෝධතා දැක්වූහ. නිවාස අර්බුදය සම්බන්ධයෙන් ස්පාඤ්ඤයේ මිලියන ගණනක ජනතා විරෝධතා සිදුවෙද්දී සහ බෙල්ජියම, පෘතුගාලය හා අයර්ලන්තය යන රටවල සමාජ කප්පාදුවලට එරෙහිව දැවැන්ත වැඩවර්ජන පැවැත්වෙද්දී, ඊයේ ප්‍රංශයේ විරෝධතාවලට එක්වූ පිරිස සැකයකින් තොරව මිලියන ගණනක් විය.

මැක්‍රොන් බලයෙන් පහ කිරීමටත්, සමාජ කප්පාදුව සහ යුරෝපයේ යුද්ධ උත්සන්න කිරීම නතර කිරීමටත් මහා වැඩවර්ජනයක් මෙතෙක් සිදුව නැත්තේ සටන් කිරීමට ඇති කැමැත්ත නොමැතිකම නිසා නොවේ. එය වෘත්තීය සමිති නිලධාරිවාදයේ සහ ජෝන්-ලුක් මෙලෙන්ෂොන්ගේ (Jean-Luc Mélenchon) ‘ලා ෆ්‍රාන්ස් ඉන්සුමීස්’ (La France Insoumise) වැනි ඔවුන්ගේ දේශපාලන මිත්‍රයින්ගේ විරෝධය සහ කඩාකප්පල්කාරී ක්‍රියා හේතුවෙනි. අන්තර්-වෘත්තීය සමිති සන්ධානය නොවැම්බර් 5 වන දිනට නියම කර ඇත්තේ එක් දින ක්‍රියාමාර්ගයක් පමණි. ඒ, පන්ති අරගලයේ වර්ධනය පමා කිරීමට සහ කම්කරුවන් හා අප්‍රසාදයට පත් ප්‍රංශ රජය අතර විප්ලවවාදී ගැටුමක් ඇතිවීම වැළැක්වීමේ උත්සාහයක් ලෙසයි.

IMG 3678
2026 ඔක්තෝබර් 17 වන දින පැවැති විරෝධතාවයේදී පැරිස් නුවර ප්ලාස් ඩි ලා රෙපුබ්ලික් (Place de la République) හි දකුණු අර්ධයේ පැනෝරාමා දර්ශනය.

ප්‍රධානතම කාර්යය වන්නේ නිලධාරි තන්ත්‍රය විසින් වැළැක්වීමට උත්සාහ කරන මහා වැඩවර්ජනය සූදානම් කිරීම සඳහා, වෘත්තීය සමිති උපකරණවලින් ස්වාධීනව ක්‍රියාකාරී කමිටු තුළ කම්කරු පංතිය සංවිධානය කිරීම සහ සූදානම් කිරීමයි. කෙසේ වෙතත්, දැනටමත් තත්ත්වය රාජ්‍ය යන්ත්‍රණය සමඟ කෙරෙන ගැටුමක් බවට පත්වෙමින් තිබේ. විරෝධතාකරුවෝ ලිමෝජ් නගර සභාව ගිනිබත් කළහ, මාර්සෙයි සහ ලිල් නගර සභාවලට කඩා වැදුණහ, සහ බෝඩෝ හි පොලිස් ප්‍රධානියාගේ නිල නිවසට කඩා වැදුණහ. ටූලූස් සහ මෙට්ස් නගර සභා දෙසට මෙන්ම පැරිසියේ එලිසි (Elysée) මාළිගාව දෙසට ගමන් කළ පාගමන් පොලිසිය විසින් ආපසු හරවා යවන ලදී.

රජයේ සහ පාර්ලිමේන්තු පක්ෂවල නායකයින් සියලු දෙනාම, තම තමන්ගේ ආකාරයෙන් මෙම ව්‍යාපාරය පිළිබඳ බිය සහ විරෝධය ප්‍රකාශ කර ඇත. “අවුල් වියවුල් වපුරන අයට එරෙහිව අපි සියලු දෙනාම එකට සිටගන්නෙමු” යි මැක්‍රොන් පොරොන්දු විය. රිපබ්ලිකන් පක්ෂය (LR) වෙනුවෙන් බෲනෝ රෙටායෝ (Bruno Retailleau), විරෝධතාවල පැවැති “පෙර නොවූ විරූ තීව්‍රතාවය” හෙළා දුටු අතර, “රාජ්‍යයේ නොපසුබට බලය” සහ විරෝධතාකරුවන්ට “සිරදඬුවම්” දෙන ලෙස ඉල්ලා සිටියේය.

IMG 3679
2026 ඔක්තෝබර් 17 වන දින ප්ලාස් ඩි ලා රෙපුබ්ලික් වටා ඇති වීදි විරෝධතාකරුවන්ගෙන් පිරී පැවති අයුරු

මෙලෙන්ෂොන් (Mélenchon) සිය මිලියන සංඛ්‍යාත ඡන්දදායකයින් සහ කම්කරුවන් මහා වැඩවර්ජනයක් සහ විප්ලවවාදී අරගලයක් සඳහා බලමුලු ගන්වන ලෙස ඉල්ලා නොසිටියි. X හි සටහනක් තබමින් ඔහු පැවසුවේ “පොලිසිය නොමැති විට සෑම තැනකම අතිවිශාල පිරිසක්, ඉතා සන්සුන්ව සහ ප්‍රීතියෙන්” සිටින බවයි. සියල්ලටම වඩා, පොලිස් මර්දනය මගින් “අවුල් වියවුල් සඳහා දොරටු විවෘත කර ඇති බවට” පැමිණිලි කළ ඔහු, “කොල්ලකෑම් සහ විනාශ කිරීම්” හෙළා දුටු අතර, “දේශපාලන අර්ථයක් නැති සහ අපගේ ක්‍රමවේදයන්ට පටහැනි ක්‍රියාමාර්ගවලට සහභාගී වීම අප ප්‍රතික්ෂේප කළ යුතුය” යි අවධාරණය කළේය.

නව-ෆැසිස්ට්වාදී නැෂනල් රැලි (RN) පක්ෂය වෙනුවෙන් මරීන් ලෙ පෙන් (Marine Le Pen), “අති-වාමාංශිකයන් විසින් ප්‍රාණ ඇපයට ගෙන ඇති” සහ “රට අවුල් ජාලයකට හෙළීමට උත්සාහ කරන” විරෝධතා හෙළා දුටුවාය. සැබවින්ම, ඊයේ සිදු වූ දැවැන්ත බලමුලු ගැන්වීම, ප්‍රංශයේ සහ යුරෝපය පුරා ප්‍රධාන ධාරාවේ මාධ්‍ය විසින් “අති-වාමාංශිකයන්” ලෙස හඳුන්වන සංවිධානවල නායකයින්ගේ කුමන්ත්‍රණයක් නොවේ. එය අරගලය හරහා ඒ සංවිධානවලින් මිදීමට කම්කරුවන් සහ තරුණයන් දැරූ උත්සාහයකි.

පැරිසියේදී, ද්විතික පාසල් විරෝධතාකරුවන් සමූහ වශයෙන් අත්අඩංගුවට ගැනීම සහ ඔවුන් අඩපණ කිරීමට එරෙහිව තමන්ගේ ඇති විරෝධය, විශේෂයෙන්ම බලශක්ති ගාස්තු ඇතුළු ඉහළ යන බඩු මිල පිළිබඳ කෝපය, සහ පුළුල් ලෙස යුද්ධයට, පොලිස් රාජ්‍යයට හා ධනපති කතිපයාධිකාරයට (oligarchy) එරෙහි තමන්ගේ විරෝධය ගැන විරෝධතාකරුවෝ WSWS වෙත පැවසූහ. ඇල්ජීරියානු නිදහස් යුද්ධය පැවැති සමයේ, 1961 ඔක්තෝබර් 17 වන දින පැරිස් පොලිසිය විසින් ඇල්ජීරියානු විරෝධතාකරුවන් සමූලඝාතනය කිරීම සලකුණු කිරීම සඳහා බොහෝ විරෝධතාකරුවෝ ඇල්ජීරියානු ජාතික කොඩිය රැගෙන සිටියහ.

“කහ කබාකාරයෙකු” සහ පාපැදි අලුත්වැඩියා කරන්නෙකු වන ඔගස්ටින් පැවසුවේ තමා ද්විතීක පාසල් සිසුන්ට සහය පල කිරීමට සහ ආර්ථික අසමානතාවයට එරෙහිව විරෝධතාවල නිරත වන බවයි: “මැක්‍රොන්ගේ අවුරුදු 10 ඇතුළත, සාමාන්‍ය ප්‍රංශ ජාතිකයෙකුගේ වේතනයේ ක්‍රය ශක්තිය (මිලදී ගැනීමේ හැකියාව) සියයට 4 කින් 5 කින් අඩුවෙලා තියෙනවා. ඒත් බර්නාඩ් අර්නෝ (Bernard Arnault) තමන්ගේ වත්කම හතර ගුණයකින් වැඩි කරගෙන තියෙනවා. අපි දැක්කේ ඉතා දකුණාංශික ලිබරල් ප්‍රතිපත්තියක්. හාම්පුතුන්ගේ දායකත්වයන් අවුරුදු 10 ක කාලය තුළ අඩුම මට්ටමට අඩුවෙලා. ධන බද්ද අහෝසි කළා. කෝටිපතියන්ගෙන්, සාපේක්ෂව, අපෙන් අය කරනවාට වඩා අඩුවෙන් බදු අය කරන්නේ.”

IMG 3681
ඔගස්ටින් (Augustin)

විශේෂයෙන්ම රුසියාවට සහ ඉරානයට එරෙහි යුද්ධ හේතුවෙන් තෙල් සහ ගෑස් සැපයුම් අඩාල වී මිල ගණන් අහස උසට ඉහළ යන පසුබිමක, යුද්ධයට එරෙහි සිය විරෝධය ඔගස්ටින් අවධාරණය කළේය: “අපි යුද්ධය සමනය කළ යුතුයි, ඒ වගේම හමුදාවේ ප්‍රමාණය අඩු කළ යුතුයි, අපේ සන්නද්ධ බලකායන් අඩු කළ යුතුයි, මොකද… අපේ අරමුණ ලෝක සාමය ඇති කිරීම නම්, ඒක හමුදා සම්පත් වැඩි කිරීමෙන් සිදු වෙන්නේ නැහැ.”

2027 ජනාධිපතිවරණයේදී මෙලෙන්ෂොන් පත්වීම මගින් යම් වෙනසක් සිදුවනු ඇතැයි තමා බලාපොරොත්තු වන බව පැවසූ ඔහු, මෙලෙන්ෂොන්ගේ පාලනය බලාපොරොත්තු කඩ කළහොත් තමන් වීදි බසින බව පැවසීය: “මෙලෙන්ෂොන් අපිට ද්‍රෝහි වුණොත්, අපි දස ගුණයක ශක්තියෙන් පාරට බහිනවා. මොකද ඇත්තටම, ඔහු අපේ අවසාන බලාපොරොත්තුව… මට නම්, මෙලෙන්ෂොන් කියන්නේ එක් අධියරක් විතරයි, අවසාන අරමුණ නෙවෙයි. ඒක ඇත්තටම අවසානය නෙවෙයි.”

IMG 3683
ආතර් (Arthur)

ශිෂ්‍යයෙකු වන ඊතන් (Ethan) මෙසේ පැවසීය: “ජාතික අධ්‍යාපන පද්ධතිය සම්පූර්ණයෙන්ම කඩා වැටෙමින් තියනවා. ප්‍රංශයේ කම්කරුවන්ට නරක ලෙසට සලකන්නේ. ප්‍රාග්ධනය — අපි ප්‍රාග්ධනයට විශාල තෑගි දෙන අතරේ ශ්‍රමයට වටිනාකමක් දෙන්නේ නැහැ. මධ්‍යම පංතිය සහ කම්කරු පංතිය දැඩි ලෙස පීඩාවට පත්වෙනවා. ඒක අවමානයක්, ඒ නිසයි අපි මෙතනට ආවේ, අපිට මේක එපා කියලා කියන්න.” ඔහු තවදුරටත් මෙසේ පැවසීය, “මම වෘත්තීය සමිති එක්ක සම්බන්ධ නැහැ, මට තොරතුරු නැහැ, ඒත් මම හිතන්නේ ඒක නින්දා සහගතයි. බලය සහ සංවිධානාත්මක සම්පත් තියෙන වෘත්තීය සමිතිවලට වඩා වේගයෙන් ජනතාවට තමන්ම සංවිධානය වෙන්න පුළුවන් වෙලා තියෙනවා.”

IMG 3682
ප්ලාස් ඩි ලා රෙපුබ්ලික් (Place de la République) රැලියෙන් පසුව, බැනියොලෙට් (Bagnolet) හි සිට පැමිණි තරුණයින් සහ ගුරුවරුන් අවසර නොලත් විරෝධතාවයක යෙදෙමින් පැරිස් වීදි ඔස්සේ ගමන් කරති

ආතර් (Arthur) ලොරේන් හි කුරුසය (Cross of Lorraine) සහිත කොඩියක් රැගෙන ගියේ ප්‍රංශ ස්වෝත්තමවාදයෙන් නොව, ෆැසිස්ට් විරෝධය සහ ප්‍රතිරෝධී (Resistance) ව්‍යාපාරයේ මතකයට වාමාංශික අන්තර්ගතයක් ලබා දීම සඳහාය: “ලොරේන් හි කුරුසය කියන්නේ නිදහස් ප්‍රංශයේ, ඒ කියන්නේ 1940 ගණන්වල නාසීන්ට සහ ෆැසිස්ට්වාදීන්ට එරෙහිව සටන් කළ ‘ප්‍රතිරෝධය’ ව්‍යාපාරයේ සංකේතයයි. අද, හොලෝකොස්ට් (යුදෙව් සමූලඝාතනය) නැතැයි කියන පිරිස් විසින් මෙම සංකේතය කෙලෙසනවා අපි දකිනවා. මෙම සංකේතය නැවත අත්පත් කර ගැනීම වැදගත්; එය ෆැසිස්ට් විරෝධයේ ශක්තිමත් සංකේතයක් ලෙස පවතිනවා… මම උත්සාහ කරන්නේ ඊට නැවත වාමාංශික අන්තර්ගතයක් දෙන්න.”

කොලින් (Coline) WSWS වෙත මෙසේ පැවසුවාය: “මම ද්විතීක පාසල් ශිෂ්‍යාවක්, මම මෙතන ඉන්නේ සියලුම අවාසිදායක තත්ත්වයන්හි පවතින ද්විතීක පාසල්වලට සහය දක්වන්න. උද්ධමනය, ඩීසල් මිල, ප්‍රංශයේ සෑම දෙයකම මිල ඉහළ යාම, සහ අපගේ පෙර බලමුලු ගැන්වීම්වලට එල්ල වූ පොලිස් මර්දනය යන සියල්ල සමග අරගලයන් එකිනෙක බද්ධ වීමක් මෙතන තියෙනවා. … බලයේ සිටින රජය ඉවත් විය යුතුයි, මොකද ඒක හොඳ රජයක් නෙවෙයි, ඒක ජනතාවට ඇහුම්කන් දෙන්නේම නැහැ.”

IMG 3684
කොලින් (Coline)

දෙවන ලෝක යුද්ධ සමයේ නාසීන් සමග සහයෝගයෙන් කටයුතු කළ ආඥාදායක පේටන්ගේ (Pétain) නම සඳහන් කරමින්, ඇගේ පුවරුවේ ආණ්ඩුව “පේටන්ගේ බල්ලන්” ලෙස හඳුන්වා තිබූ බව WSWS පෙන්වා දුන් විට, කොලින් පිළිතුරු දුන්නේ: “පැහැදිලිවම” යනුවෙනි. ප්‍රතිරෝධී ව්‍යාපාරය (Resistance) යනු ප්‍රධාන වශයෙන්ම කම්කරු පංතිය මත පදනම් වූ යුරෝපීය කැරලිකාර ව්‍යාපාරයක් වූ බවත්, යුරෝපය සහ ලෝකය පුරා ජාත්‍යන්තර ව්‍යාපාරයක් වර්ධනය වෙමින් පවතින බවත්, එය නැවත වරක් මහා වැඩවර්ජනයකට සහ විප්ලවවාදී අරගලයකට මග පාදන බවත් WSWS මතක් කර දුන්නේය. කම්කරුවන්ගේ ජාත්‍යන්තර විප්ලවවාදී බලමුලු ගැන්වීමේ ඉදිරිදර්ශනයට තමා එකඟ වන බව කොලින් පැවසුවාය.

වත්මන් ව්‍යාපාරය ගැන ඇය මෙසේ පැවසුවාය, “මෙය සමාජ පංති මට්ටමේ ව්‍යාපාරයක් ද වෙනවා, මොකද බලද්දී, දැන් අති-ධනවතුන් ඉන්නවා, ජනගහනයේ අනිත් කොටස් එක්ක බලද්දී ප්‍රංශයේ ඔවුන් කවදාවත් මෙච්චර ධනවතුන් වෙලා නැහැ. ඒ නිසා මෙය ද්විතීක පාසැල් සමාජ ව්‍යාපාර විතරක් නෙවෙයි, සමාජ පංති අරගලයක් ද විය යුතුයි. අපි අති-ධනවතුන්ට සහ බිලියනපතියන්ට එරෙහිව ද කැරලි ගැසිය යුතුයි. ඒ නිසා ඔව්, මෙය පෙර පැවැති ප්‍රතිරෝධී ව්‍යාපාරය හා දැඩි ලෙස දේංකාර දෙනවා, මොකද මෙය කම්කරු පංතියේ ව්‍යාපාරයක් විය යුතුයි.”

IMG 3685
2026 ඔක්තෝබර් 17 වන දින 8,000 කට ආසන්න පිරිසක් පාගමනින් ගිය ඇමියන්ස් (Amiens) හි තරුණයින් බලමුලු ගැන්වීම.

ඇය තවදුරටත් මෙසේ පැවසුවාය, “ඒ නිසා විප්ලවයක් වෙනවාට මම කැමතියි, සැබෑ විප්ලවයක් — ඒක ටිකක් සැර වැඩි ඇති — ඒත් සෑම දෙයක්ම පෙරළනවාට, අපිට අලුත් ක්‍රමයක් ලැබෙනවාට මම කැමතියි.“

ප්‍රංශයේ ද්විතීක පාසල් ව්‍යාපාරයේ සහ යුරෝපය පුරා කම්කරුවන්ගේ හා තරුණයන්ගේ දැවැන්ත බලමුලු ගැන්වීම් මගින් එවැනි ප්‍රතිඵලයකට මග පාදමින් සිටී. ධනපති ආණ්ඩු ඔවුන්ගේ පැත්තෙන් යුද්ධය, මර්දනය හෝ ආඥාදායකත්වයේ නැගීම නතර කරන්නේ නැත. ප්‍රංශයේ, ධනපති පන්තිය ඒ වෙනුවට මර්දනය තීව්‍ර කරන බවට පොරොන්දු වෙමින් සිටින අතර, ඊයේ පැවැති විරෝධතාවලදී පමණක් පොලිසිය විසින් පුද්ගලයින් 2,000 කට වැඩි පිරිසක් අත්අඩංගුවට ගෙන ඇති අතර ව්‍යාපාරය ආරම්භ වූ තැන් සිට 8,000 කට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. සෙන්ට්-එටියන් (Saint-Étienne) හිදී පොලිස් අත්බෝම්බයක් නිසා විරෝධතාකරුවෙකුගේ අතක් වෙන් වී ගිය අතර, ඊයේ මර්දනයේ සමස්ත හානිය තවමත් අනාවරණය වී නොමැත.

1968 මැයි මාසයේදී මෙන්, මහා වැඩවර්ජනයක් පිළිබඳ පූර්ව අපේක්ෂාව විරෝධතාකරුවන් අතර එකහෙළා පාහේ පිළිගැනීමට ලක්ව ඇත. එවැනි ව්‍යාපාරයක් දැන් සූදානම් කළ යුතු අතර, එයින් පැනනගින විප්ලවවාදී කාර්යයන් සඳහා කම්කරු පංතිය සූදානම් කළ යුතුය. ප්‍රංශයේ සහ  යුරෝපයේ සෙසු ප්‍රදේශවල දැනටමත් බලමුලු ගැන්වී ඇති තරුණයන් සහ කම්කරුවන් ක්‍රියාකාරී කමිටු තුළ එක්රැස් කිරීමත්, සේවකයින් සිටින ස්ථාන වෙත ගොස් කම්කරුවන් වඩාත් පුළුල් ලෙස බලමුලු ගන්වන ලෙස ඉල්ලා සිටීමත් මීට අවශ්‍ය වේ. කාර්යය වන්නේ අධිරාජ්‍යවාදී යුද්ධයට, කප්පාදුවලට සහ ආඥාදායකත්වයට එරෙහිව මහා වැඩවර්ජනයකින් බලමුලු ගැන්වීමයි. එයින් ධනපති කතිපයාධිකාරයෙන් බලය උදුරාගෙන එය කම්කරුවන්ට පැවරීමේ අවශ්‍යතාවය මතු කරනු ඇත. 

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

තරුණයින්ගේ සහ “කහ කබාකාරයින්ගේ”  දැවැන්ත බලමුලු ගැන්වීම ප්‍රංශ රජය සොලවයි Read More »

IMG 3674

​බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපීය සංගමයේ සමුළුව: යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහි යුද ධාවනය තීව්‍ර කරයි

​යොහානස් ස්ටර්න් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ඔක්තෝම්බර් 16 දින “​EU summit in Brussels: European powers intensify war drive against Russia” යන හිසින් පළවූ ​යොහානස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3674
​වමේ සිට, යුරෝපීය මණ්ඩලයේ සභාපති අන්තෝනියෝ කොස්ටා (Antonio Costa), යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කි (Volodymyr Zelenskyy) සහ යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩෙර් ලෙයන් (Ursula von der Leyen) 2026 ඔක්තෝබර් 16 වන සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු EU සමුළුව වෙත පැමිණෙති. [AP පින්තූරය/ඕමාර් හවානා]

​බ්‍රසල්ස් නුවරදී බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල පැවැත්වුණු යුරෝපීය සංගමයේ (EU) සමුළුව, ජාත්‍යන්තර යුද අර්බුදයේ අන්තරායකර උත්සන්න වීම ප්‍රකාශයට පත් කළ තැනක් විය. ට්‍රම්ප් පාලනාධිකාරිය යුරෝපීය බලවතුන් සමඟ පවතින ගැටුම් මධ්‍යයේ, අවම වශයෙන් මේ මොහොතේ හෝ රුසියාව සමඟ යම් එකඟතාවකට පැමිණීමට උත්සාහ කරමින් සිටින අතර, බර්ලිනය ප්‍රමුඛ EU ආණ්ඩු යුක්‍රේන යුද්ධය ඉදිරියට ගෙනයෑමට සහ පුළුල් කිරීමට බලපෑම් කරමින් සිටියි. මූල්‍යමය සහ හමුදාමය බරින් වැඩි කොටසක් තමන්ම දරා ගනිමින් යුරෝපය ස්වාධීන හමුදා බලවතෙකු ලෙස ගොඩනැගීමට ඔවුහු අපේක්ෂා කරති.

​න්‍යෂ්ටික යුද්ධයක් ද ඇතුළත්ව, නේටෝ සංවිධානය සහ රුසියාව අතර ඍජු යුද්ධයක් ඇවිලවීමේ තර්ජනය මතු කරන උත්සන්න වීමක් ද මෙයට සමගාමීව සිදු වේ. එමෙන්ම, යළි ආයුධ සන්නද්ධ වීම, “තරඟකාරීත්වය”, වෙළඳ යුද්ධය සහ සංක්‍රමණය පිළිබඳ සමුළුවේදී සිදුවූ සාකච්ඡා මගින් අවධාරණය වන්නේ, විදේශයන්හි ක්‍රියාත්මක වන යුද ව්‍යාපාරය දේශීයව එල්ල කෙරෙන තීව්‍ර සමාජීය ප්‍රහාරයන්ට සහ අධිකාරීවාදී ක්‍රියාමාර්ගයන්ට වෙන් කළ නොහැකි ලෙස බද්ධ වී ඇති බවයි.

​වොෂින්ටනය සහ යුරෝපය අතර ගැටුම්

​සමුළුවේ ප්‍රධාන අවධානය යොමු වූයේ යුක්‍රේන ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කිට ප්‍රකාශිතව සහය දැක්වීම කෙරෙහිය. රුසියානු ඩීසල් සැපයුම් සම්බන්ධයෙන් පුටින් සමඟ ඇති කරගත් එකඟතාවයකින් පසුව, ට්‍රම්ප් සම්බාධක ලිහිල් කළ අතර රුසියානු තෙල් පිරිපහදු වෙත යුක්‍රේනය එල්ල කළ ප්‍රහාර විවේචනය කළේය. යුක්‍රේනයේ නායකත්වයේ වෙනසක් ද ඔහු ඉල්ලා සිටියේය. ඊට පටහැනිව, යුරෝපීය ආණ්ඩු රුසියාවේ බලශක්ති යටිතල පහසුකම්වලට එල්ල කරන ප්‍රහාර තවදුරටත් කරගෙන යාමට සහ සම්බාධක තද කිරීමට තීරණය කර ඇත.

​සිකුරාදා සෙලෙන්ස්කි අසල සිටගනිමින් යුරෝපීය මණ්ඩලයේ සභාපති අන්තෝනියෝ කොස්ටා ප්‍රකාශ කළේ: “දැන් යුක්‍රේනයට දක්වන සහය ආපසු ගැනීමට කාලය නොවේ. දැන් රුසියාවට එරෙහි සම්බාධක ලිහිල් කිරීමට කාලය නොවේ.” ඒ වෙනුවට EU සංවිධානය යුක්‍රේනයට දක්වන සහය සහ රුසියාවට එල්ල කරන බලපෑම වැඩි කළ යුතුය. යුරෝපීය කොමිසමේ සභාපති උර්සුලා ෆොන් ඩෙර් ලෙයන් 22 වන සම්බාධක පැකේජය සඳහා වන සූදානම නිවේදනය කළාය.

​ජර්මානු රජය විශේෂයෙන්ම ආක්‍රමණශීලී ස්ථාවරයක් ගනිමින් සිටී. චාන්ස්ලර් ෆ්‍රීඩ්රික් මෙර්ට්ස් (Friedrich Merz) ප්‍රකාශ කළේ යුක්‍රේනයට “ස්ථාවර සහයෝගයක් ලබා දීම” සඳහා EU සංවිධානය කීව් (Kiev) වෙත ලබා දෙන ප්‍රතිපාදන “නැවත වරක් … වැඩි කළ යුතු” බවයි. “යුරෝපයේ දේශපාලන පටිපාටිය” ආරක්ෂා කිරීම සඳහා එය අවශ්‍ය බව ඔහු පැවසීය. වොෂින්ටනය සමඟ පවතින ගැටුම දැන් යුරෝපයේ අත්හිටුවා ඇති රුසියානු මහ බැංකුවේ යුරෝ බිලියන 210 කට ආසන්න වත්කම් පාලනය කිරීම කෙරෙහි ද යොමු වී ඇත. වාර්තාවලට අනුව, ඇමරිකානු ගනුදෙනු සාකච්ඡාකරුවන්ට (negotiators) අවශ්‍ය වන්නේ මොස්කව් සමඟ පැවැත්වෙන  ගනුදෙනු සාකච්ඡාවලදී මෙම වත්කම්වලින් කොටසක් භාවිත කිරීමටයි. මෙර්ට්ස් එය එකහෙළා ප්‍රතික්ෂේප කළේය: “එය අපගේ කාර්යයක්, ඒ ගැන තීරණය කරන්නේ අපි.”

​මෙම වෙනස්කම් පිටුපස පවතින්නේ ප්‍රතිපක්ෂ භූ-මූලෝපායික සහ ආර්ථික අභිලාෂයන්ය. ට්‍රම්ප්, පුටින් සමඟ ඇති කරගන්නා එකඟතාවයකින් තමන්ගේම යුද අරමුණු සහ නැගෙනහිර යුරෝපය මත පවතින බලපෑම අඩපණ විය හැකි බවට යුරෝපීය බලවතුන් බිය වෙති. ඒ සමගම, යුක්‍රේනයේ යුද ප්‍රයත්නය ඇමරිකානු හමුදා තාක්ෂණය සහ බුද්ධි තොරතුරු සහය මත තවදුරටත් රැඳී පවතී. චන්ද්‍රිකා මත පදනම් වූ ස්ටාර්ෂීල්ඩ් (Starshield) පද්ධතියට පනවා ඇති සීමාවන් පිළිබඳ වාර්තා මගින් මෙම පරායත්තතාව විශේෂයෙන්ම පැහැදිලි වේ.

​යුද්ධය සඳහා තව තවත් බිලියන ගණනින්

​සෙලෙන්ස්කි 2027 වසර සඳහා යුක්‍රේනයේ යුද වියදම යුරෝ බිලියන 155 ක් ලෙස ඉදිරිපත් කළ අතර අතිරේක යුරෝපීය සහය ලෙස අවම වශයෙන් යුරෝ බිලියන 70 ක් ඉල්ලා සිටියේය. මෙම මුදල් මගින් යුක්‍රේනයට දෙගුණයක සිට තෙගුණය දක්වා ඩ්‍රෝන යානා ප්‍රමාණයක් නිෂ්පාදනය කිරීමටත්, රුසියාවට එල්ල කරන හමුදාමය බලපෑම දැවැන්ත ලෙස වැඩි කිරීමටත් හැකි වනු ඇත. 2026 සහ 2027 වසර සඳහා යුරෝ බිලියන 90 ක ණය මුදලක් EU සංවිධානය විසින් මේ වන විටත් ක්‍රියාත්මක කර ඇත. බිලියන ගණනක මෙම නව ඉල්ලීම් සම්බන්ධයෙන් බ්‍රසල්ස් හිදී කිසිදු තීරණයකට එළඹුණේ නැත; මූල්‍යකරණ විකල්පයන් සකස් කිරීමේ කාර්යය කොමිසමට පවරා ඇත.

​දැනටමත් යොදවා ඇති මුදල් ප්‍රමාණය අතිවිශාලය. ලෝක ආර්ථිකය පිළිබඳ කීල් ආයතනයේ (Kiel Institute for the World Economy) අධ්‍යයනයකට අනුව, ජර්මානු රජය, පොරොන්දු වූ මුදල් ද ඇතුළුව, මේ දක්වා යුක්‍රේනයට ලබා දී ඇති සහය යුරෝ බිලියන 100 කට ආසන්න ලෙස දක්වයි. ආසන්න වශයෙන් යුරෝ බිලියන 41.7 ක් යුක්‍රේනයට ලබා දුන් ඍජු ආධාර ලෙස සටහන් වී ඇති අතර, තවත් යුරෝ බිලියන 22 ක් අනාගත හමුදාමය පොරොන්දු සහ විය හැකි වියදම් ලෙස පවතී. එකතුව ගත් කල මෙය යුරෝ බිලියන 63.7 ක් වන අතර, එයින් යුරෝ බිලියන 56.3 ක්ම හමුදාමය ආධාර වේ. මීට අමතරව, ජර්මනියේ සිටින යුක්‍රේන යුද අනාථයන් සඳහා ප්‍රධානවම යුරෝ බිලියන 35.9 ක් වියදම් කර ඇත. ලේඛනගත කර ඇති සියලුම අයවැය ප්‍රතිපාදන තවම නිදහස් කර නොමැත.

​කීල් අධ්‍යයනයේ දේශපාලනික ගම්‍යතාවය කරුණු අනාවරණීය වේ. යුක්‍රේනයට සැබවින්ම ගියේ යුරෝ බිලියන 41.7 ක මුදලක් “පමණක්” බව අවධාරණය කරන සිරස්තලයක් යටතේ, යුද අනාථයන් සඳහා වන වියදම් මගින් “යුක්‍රේන රජයේ ආරක්ෂක ප්‍රයත්නයන්ට සහයක් නොලැබෙන” බව එය පෙන්වා දෙයි. මෙම සසඳා දැක්වීමෙන්ම දේශපාලන නැඹුරුව පැහැදිලි වේ: අනාථයන් සඳහා වන සහන සහ අනෙකුත් සමාජ වියදම් කපා හැරීම් සඳහා බලපෑම වැඩෙමින් පවතින අතර, යුද ප්‍රයත්නය සඳහා තව තවත් විශාල මුදල් ප්‍රමාණයක් යෙදවීමට කටයුතු සංවිධානය කෙරේ. මීට අමතරව ඉදිරි වසරවලදී හමුදා අයවැය වෙත ගලා යාමට නියමිත තවත් බිලියන සිය ගණනක් ද මෙයට එකතු වේ.

​නේටෝ-රුසියානු යුද්ධයක් සඳහා වන ප්‍රායෝගික සූදානම්වීම්

​සමුළුවට සමාන්තරව, හමුදාමය ගැටුම තීව්‍ර වෙමින් පවතී. යුරෝපයේ නේටෝ උත්තරීතර මිත්‍රපාක්ෂික අණදෙන නිලධාරී ඇලෙක්සස් ග්‍රින්කෙවිච් (Alexus Grynkewich) වෝර්සෝ හිදී ඔහුගේ “ජයග්‍රහණයේ න්‍යාය” (Theory of Victory) ඉදිරිපත් කළේය: “වැළැක්වීම, අඩපණ කිරීම, විනාශ කිරීම” (Block, Blunt, Break). එල්ල විය හැකි ප්‍රහාරයක් පළමුව වළක්වාලීම, පසුව ප්‍රතිපක්ෂ සන්නද්ධ බලකායන් විනාශ කිරීම, සහ අවසානයේදී ඔවුන්ට සහය දක්වන අණදෙන, සැපයුම් සහ නිෂ්පාදන ව්‍යුහයන් අක්‍රිය කිරීම මෙහි අරමුණයි. ග්‍රින්කෙවිච් මෙම උපායමාර්ගය ආරක්ෂාකාරී එකක් ලෙස විස්තර කළද, මහා යුද්ධයකදී සැලසුම් කළ මෙහෙයුම් රුසියානු භූමිය අභ්‍යන්තරයටම විහිදී යා හැකිය. ඔහු ජර්මනිය “නේටෝ සංවිධානයේ එන්ජිම” ලෙස පැසසුමට ලක් කළේය.

​ඒ සමගම, ජර්මානු ටොර්නාඩෝ (Tornado) ප්‍රහාරක ජෙට් යානා ද ඇතුළත්ව රටවල් 17 ක සහභාගීත්වයෙන් නේටෝ සංවිධානය මෙම සතියේ ඉතාලියේදී “ස්ටෙඩ්ෆාස්ට් නූන්” (Steadfast Noon) න්‍යෂ්ටික යුද අභ්‍යාසය පැවැත්වීය. නේටෝව මෙය සැබෑ න්‍යෂ්ටික ආයුධ නොමැති සාමාන්‍ය අභ්‍යාසයක් ලෙස විස්තර කරයි. එහෙත් යුද තත්ත්වය උත්සන්න වීමේ අවදානම ශීඝ්‍රයෙන් වැඩි වන මොහොතක න්‍යෂ්ටික මෙහෙයුම් සඳහා වන ක්‍රියාපටිපාටීන් මෙහිදී පුහුණු කෙරිණි.

​නේටෝ සංවිධානයේ අඛණ්ඩ කුපිත කිරීම්වලට රුසියාව පිළිතුරු දෙන්නේ න්‍යෂ්ටික තර්ජන එල්ල කරමිනි. ඔක්තෝබර් මුලදී පුටින් අනතුරු ඇඟවූයේ කලිනින්ග්‍රාඩ් (Kaliningrad) වටලෑමක් සිදු වුවහොත් රුසියාවට තම සම්පූර්ණ අවි ගබඩාවම භාවිත කළ හැකි බවයි. දැන්, රාජ්‍ය ඩූමා (Duma) නියෝජිත ඇලෙක්සි ෂුරාව්ලියොෆ් (Alexei Zhuravlyov) Lenta.ru වෙත පවසා ඇත්තේ, නේටෝ ප්‍රහාරයක් සිදු වුවහොත්, රුසියානු න්‍යෂ්ටික ප්‍රහාරයන් නේටෝ මූලස්ථානය මෙන්ම ජර්මනිය, බෙල්ජියම, ඉතාලිය සහ තුර්කියේ පිහිටි ඇමරිකානු න්‍යෂ්ටික ආයුධ කඳවුරු ඉලක්ක කරගත හැකි බවයි. ෂුරාව්ලියොෆ්ගේ තර්ජනය නිල රජයේ ප්‍රකාශයක් නොවේ. එසේ වුවද, ඔහුගේ අදහස් මගින් රුසියානු පාලක තන්ත්‍රයේ කොටස් යුරෝපයේ න්‍යෂ්ටික යුද්ධයක් ගැන කෙතරම් ප්‍රායෝගිකව සාකච්ඡා කරන්නේද යන්න පෙන්නුම් කරයි.

​නේටෝ සංවිධානයේ මූලෝපාය “පූර්වභංග” (preemptive) ප්‍රහාර සඳහා ආවරණයක් ලෙස සේවය කළ හැකි බවට රුසියානු හමුදා විචාරකයෝ අනතුරු අඟවති. සෝවියට් සංගමයට එරෙහිව හිට්ලර් (Hitler) ගෙන ගිය පූර්ණ විනාශක යුද්ධයට ඔවුහු මෙය සමාන කරති. නාසි ප්‍රචාරණයන් විසින් ද එකල එම යුද්ධය සාධාරණීකරණය කළේ සැලසුම් කර තිබූ බව කියන සෝවියට් ප්‍රහාරයකට එරෙහි “ආරක්ෂාව” ලෙසය.

​යුද්ධය සඳහා නේටෝ සංවිධානයේ නිශ්චිත කාලසටහන කුමක් වුවත්, පවතින අන්‍යෝන්‍ය තර්ජන මගින්ම තත්ත්වය පාලනයෙන් තොරව ශීඝ්‍රයෙන් උත්සන්න විය හැකි බව පෙන්නුම් කරයි. කළු මුහුදේ වෙළඳ නැව් වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරවලින් පසුව, රොමේනියාව සහ බල්ගේරියාව රුසියාවට එරෙහිව අතිරේක නේටෝ ක්‍රියාමාර්ග ඉල්ලා සිටිති.

​බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපීය සංගමයේ සමුළුව: යුරෝපීය බලවතුන් රුසියාවට එරෙහි යුද ධාවනය තීව්‍ර කරයි Read More »

Russia

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දර ද?

ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කර්තෘ මණ්ඩලය  විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 සැප්තැම්බර් 30 දින “Is the world on the brink of nuclear war?” යන හිසින් පළවූ ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Russia
2022 පෙබරවාරි 10 වන දින රුසියානු ආරක්ෂක අමාත්‍යාංශයේ මාධ්‍ය සේවය විසින් නිකුත් කරන ලද මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ, රුසියානු නාවික හමුදාවට අයත් ‘කාලිනින්ග්‍රාඩ්’ (Kaliningrad) උභය ප්‍රහාරක නෞකාව (amphibious assault ship) ක්‍රිමියාවේ සෙවාස්ටොපෝල් (Sevastopol) වරායට ඇතුළු වන අයුරුයි. [AP ඡායාරූපය/රුසියානු ආරක්ෂක අමාත්‍යාංශ ප්‍රවෘත්ති සේවාව]

පෝලන්තය සහ ලිතුවේනියාව අතර බෝල්ටික් (Baltic) කලාපයේ පිහිටි රුසියානු භූමියක් වන කාලිනින්ග්‍රාඩ් (Kaliningrad) වටලෑමට නැටෝව (NATO) පියවර ගන්නේ නම්, න්‍යෂ්ටික ආයුධ භාවිතා කිරීමට තමන් සූදානම් බව රුසියාව මේ සතියේ ප්‍රකාශ කළේය. මෙම අනතුරු ඇඟවීම සෙප්තැම්බර් 28 සහ 29 යන දිනවල බෙල්ජියම, බ්‍රිතාන්‍යය සහ අයර්ලන්තය යන රටවල පිහිටි රුසියානු තානාපති කාර්යාල හරහා මෙන්ම නැටෝව වෙත යැවූ රාජ්‍යතාන්ත්‍රික සටහනක් (diplomatic note) මගින් ද නිකුත් කරන ලදී.

නැටෝ සංවිධානය කාලිනින්ග්‍රාඩ්හි “ගුවන් සහ නාවික වටලෑමක්” සඳහා සූදානම් වන බව පවසමින් අයර්ලන්තයේ රුසියානු තානාපති කාර්යාලය මෙසේ ප්‍රකාශ කළේය: “කිසිදු වරදවා වටහාගැනීමක් තිබිය නොහැක — නැටෝ රටවල් කාලිනින්ග්‍රාඩ් කලාපය රටේ සෙසු කොටස්වලින් හුදෙකලා කිරීමට උත්සාහ කළහොත්, තමන්ගේ භූමිය ආරක්ෂා කර ගැනීම සඳහා න්‍යෂ්ටික ආයුධ ඇතුළු සියලු ආයුධ ගබඩාවන් භාවිතා කිරීමට රුසියාව සූදානම් වනු ඇත.”

නැටෝ මාධ්‍ය ප්‍රකාශිකා ඇලිසන් හාට් (Allison Hart) අඟහරුවාදා ඊට ප්‍රතිචාර දක්වමින් ප්‍රකාශ කළේ, “නැටෝව යනු ආරක්ෂක සන්ධානයක් (defensive alliance) වන අතර අපගේ කිසිදු ක්‍රියාකාරකමක් හෝ අභ්‍යාසයක් රුසියාවේ කිසිදු කොටසකට තර්ජනයක් එල්ල නොකරයි” යනුවෙනි. තවද ඇය, “බලය භාවිතා කිරීමේ තර්ජනය සහ ඕනෑම වගකීම් විරහිත න්‍යෂ්ටික වාචාලකමක්” (nuclear rhetoric) හෙළා දුටුවාය.

IMG 3644

මෙම ප්‍රකාශය මුළුමනින්ම අසත්‍ය වේ, මන්ද නැටෝ සන්ධානය රුසියාව අභ්‍යන්තරයට එල්ල කරන යුක්‍රේන ප්‍රහාර සන්නද්ධ කරමින් සහ මෙහෙයවමින් සිටින බැවිනි. ට්‍රම්ප් පාලනාධිකාරිය විසින් “රුසියාව තුළ පිහිටි තෙල් සහ ගෑස් පහසුකම්වලට ප්‍රහාර එල්ල කිරීමට” කියෙව් (Kiev) පාලනයට උපකාර වන බුද්ධි තොරතුරු සපයනු ඇති බව NBC News 2025 ඔක්තෝබර් මාසයේදී වාර්තා කළේය. ජූලි 30 වන දින යුරෝපීය කොමිසම විසින් “දිගු දුර ජෙට් බලගැන්වූ ඩ්‍රෝන යානා” (long-range jet-powered drones) සඳහා වන අරමුදල් ද ඇතුළුව යුරෝ බිලියන 3.47 ක් කියෙව් වෙත ගෙවන ලදී. සැප්තැම්බර් 19-20 රාත්‍රියේ, යුක්‍රේනය විසින් මොස්කව් නගරයට සහ ඊට අවට කලාපයට යුද්ධයේ සිදු කල විශාලතම ඩ්‍රෝන ප්‍රහාරය එල්ල කරන ලදී. අගෝස්තු 28 වන දින, යුක්‍රේන බලකායන් විසින් එංගල්ස් (Engels) ගුවන් හමුදා කඳවුරේ තිබූ, රුසියාවේ න්‍යෂ්ටික බලකායන්ගේ කොටසක් වන ‘Tu-95’ මූලෝපායික බෝම්බ හෙලන යානයකට (strategic bomber) ප්‍රහාර එල්ල කළේය.

එපමණක් නොව, නැටෝවේ “ක්‍රියාකාරකම් සහ අභ්‍යාස” එල්ල වී ඇත්තේ කාලිනින්ග්‍රාඩ් දෙසටමය. රොයිටර් පුවත් සේවය උපුටා දැක්වූ බටහිර හමුදා මූලාශ්‍රයකට අනුව, අගෝස්තු මැද භාගයේදී නැටෝ ගුවන් යානා දුසිම් ගණනක් මෙම බාහිර භූමිය (enclave-රටට පිටින් පිහිටි) වටා පූර්ව දැනුම්දීමකින් තොර මෙහෙයුමක නිරත විය. එමගින් එහි රේඩියෝ සහ රේඩාර්  මෙන්ම ගුවන් ආරක්ෂක පද්ධති අක්‍රිය කළ හැකි බව එම මෙහෙයුමෙන් පෙන්නුම් කෙරිණි. ජනවාරි මාසයේ සිට, කොඩි වෙනස් කරන හෝ තමන්ගේ ට්‍රාන්ස්පොන්ඩර් (transponders) අක්‍රිය කරන රුසියානු සබඳතා සහිත තෙල් නැව්, බලහත්කාරයෙන් ගොඩවීමට විවෘත, “රාජ්‍යයක් නොමැති නාවික යාත්‍රා” (stateless vessels) ලෙස යුරෝපීය රාජ්‍යයන් 14 ක් විසින් සලකනු ලබන අතර, මාර්තු මාසයේදී ස්වීඩනය විසින් එවැනි එක් යාත්‍රාවක් අත්අඩංගුවට ගන්නා ලදී.

සෙප්තැම්බර් 11 වන දින පෝලන්ත විදේශ අමාත්‍ය රඩොස්ලාව් සිකෝර්ස්කි (Radosław Sikorski), කාලිනින්ග්‍රාඩ් ගැන සඳහන් කරමින් කියා සිටියේ, “එහි හමුදා ඇත්තේම නැති තරම්” බවයි. නැටෝව “අපගේ පාර්ශවයෙන් කොතරම් ආක්‍රමණශීලී ලෙස අභ්‍යාසයන්හි නිරත විය යුතුද යත්, අප කරන්න  යන්නේ කුමක්ද පිළිබඳව [පුටින්ට] අවිනිශ්චිතතාවයක් ඇති කල යුතුය” යි ඔහු යෝජනා කළේය. “රුසියාව සමඟ අපගේ ගැටුම යුක්‍රේනයට පමණක් සීමා වූවක් ලෙස අප නොසිතිය යුතුය” යි ද ඔහු තවදුරටත් පැවසීය.

යුරෝපීය බලවතුන් ක්‍රියා කරන්නේ  මොස්කව්  කරන්නේ හිස් තර්ජනයක් යන උපකල්පනය මත ය. බ්‍රසල්ස් නුවර පැවැති යුරො නිව්ස් ආරක්ෂක සහ අභ්‍යවකාශ සමුළුවේදී (Euronews Defense and Space Summit) නැටෝ මහලේකම් මාර්ක් රූටේ (Mark Rutte) බදාදා මෙසේ ප්‍රකාශ කළේය: “මම මෙය බරපතල ලෙස ගණන් ගන්නේ නැහැ. … [පුටින්ට] නැටෝවට එරෙහිව කිසි විටෙකත් ජයග්‍රහණය කළ නොහැකි බව කවුරුත් දන්නවා.”

මෙහි තර්කනය වන්නේ නොකඩවා සිදුවන යුද උත්සන්නියයි. යුරෝපීය බලවතුන් තමන්ගේ ප්‍රතිපත්තිය යුක්‍රේන ජයග්‍රහණයක් සමඟ ගැටගසා ඇත. “යුද්ධය රුසියාවටම පැමිණෙන බව පුටින්ට දැනෙන්නට සැලැස්විය යුතුය” යි යුරෝපීය සංගමයේ ආරක්ෂක කොමසාරිස් අන්ද්‍රියුස් කුබිලියුස් (Andrius Kubilius) බදාදා ප්‍රකාශ කළේය.

මේ අතර, යුක්‍රේනයේ හමුදාමය තත්ත්වය පිරිහෙමින් පවතී. ජූලි මාසයේදී එය වළක්වා ගත්තේ රුසියානු බැලස්ටික් මිසයිල (ballistic missiles) 195 න් 29 ක් පමණක් වූ අතර, තමන්ගේ බලශක්ති පද්ධතිය ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය ගුවන් ආරක්ෂණ නොමැතිව එය ශීත ඍතුවට ඇතුළු වෙයි. සිදුවන සෑම පසුබැසීමකටම මුහුණ දෙනු ඇත්තේ තවදුරටත් මිලිටරි උත්සන්න කිරීමෙනි: එනම් ගොඩබිම් හමුදා ඇතුළු කිරීම හෝ කාලිනින්ග්‍රාඩ් ඇතුළු නව පෙරමුණු විවෘත කිරීම මගිනි.

මොස්කව් පාලනයට මුහුණ දීමට සිදුව ඇති පරදු මීට වඩා වැඩි විය නොහැක. ක්‍රිමියාව යනු කළු මුහුදට යම් සේද, කාලිනින්ග්‍රාඩ් බෝල්ටික් කලාපයට එසේමය. එය බෝල්ටික් නාවික බලඇණියේ මූලස්ථානය වන අතර රුසියාවේ න්‍යෂ්ටික අවි දැරිය හැකි ‘ඉස්කන්දර්’ (Iskander) මිසයිල පිහිටුවා ඇති මධ්‍යස්ථානයයි. ෆින්ලන්තය සහ ස්වීඩනය නැටෝවට එකතු වූ තැන් පටන්, ගොඩබිමෙන් සහ මුහුදෙන් එම සන්ධානය විසින් වට කරනු ලැබ ඇත.

එක් අතකින් බලන කල, මෙම බාහිර භූමිය (exclave) ක්‍රිමියාවට වඩා සංවේදී වේ. 1945 පොට්ස්ඩෑම් සමුළුව  මගින් එය සෝවියට් සංගමයට පවරනු ලැබූ තැන් පටන් එහි තත්ත්වය ජාත්‍යන්තරව පිළිගෙන ඇත. කාලිනින්ග්‍රාඩ්ට එරෙහි ක්‍රියාමාර්ගයක් යනු, රුසියානු භූමියක් බවට කිසිදු ආණ්ඩුවක් අභියෝගයට ලක් නොකරන භූමි ප්‍රදේශයකට එල්ල කරන ප්‍රහාරයකි. රුසියාවේ න්‍යෂ්ටික මූලධර්මයට (nuclear doctrine) අනුව, තමන්ගේ භෞමික අඛණ්ඩතාවයට “තීරණාත්මක තර්ජනයක්” එල්ල කරන සම්ප්‍රදායික ආක්‍රමණයකට (conventional aggression) න්‍යෂ්ටික ප්‍රතිචාරයක් දැක්වීමට අවසර ඇත.

හිටපු රුසියානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු සහ වියන්නාහි වෙසෙන න්‍යෂ්ටික විශ්ලේෂකයෙකු වන නිකොලායි සොකොව් (Nikolai Sokov), බදාදා ප්‍රකාශයට පත් කරන ලද සම්මුඛ සාකච්ඡාවකදී රොයිටර් පුවත් සේවයට මෙසේ පැවසීය: “ඔවුන් (රුසියාව) බෝල්ටික් මුහුද වටලෑම ඇතුළු තවත් [හතුරු] ක්‍රියාමාර්ගයන් අපේක්ෂා කරයි — යුරෝපීය ගණන් බැලීමට අනුව එය යුද්ධයක මට්ටමට වඩා යන්තම් මෙපිටින් විය හැකිය, නමුත් ඔවුන්ට [රුසියාවට] මෙය විවෘත යුද්ධයක් වනු ඇත. මම දෙපාර්ශවයේම පරස්පර වැරදි ගණන් බැලීමේ (mutual miscalculation) පිළිබඳ අවදානමක් දකිමි.”

රුසියාව වටලෑම “යුරෝපීය ගණන් හැදීමට අනුව යුද්ධයක මට්ටමට වඩා යන්තම් මෙපිටින්” විය හැකිය, නමුත් ජාත්‍යන්තර නීතියට අනුව එය යුද ක්‍රියාවකි. 1974 දී එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් සම්මත කරන ලද ආක්‍රමණය (aggression) පිළිබඳ අර්ථ නිරූපණයට “වෙනත් රාජ්‍යයක සන්නද්ධ බලකායන් විසින් රාජ්‍යයක වරායන් හෝ වෙරළ තීරයන් වටලෑම” ඇතුළත් වේ.

පවතින අවදානම් හමුවේ, සාකච්ඡා සඳහා කිසිදු කැඳවුමක් නොමැති වීමත්, විසඳුමක් ගැන කිසිදු කතාබහක් නොමැති වීමත් තිගැස්ම ඇති කරවන්නකි. යුරෝපීය අගනගරවල පවතින එකම විවාදය වන්නේ කෙතරම් දුරකට සහ කෙතරම් වේගයෙන් මිලිටරි උත්සන්න කිරීම කරන්නේද යන්නයි.

මෙය වූකලී, ගැඹුරු වන සමාජීය, ආර්ථික සහ දේශපාලන අර්බුදයකින් වෙලී සිටින අධිරාජ්‍යවාදී බලවතුන්ගේ අවධානම් පිළිබඳ නොසැලකිලිමත්කමයි; ඔවුන් එය කොතැනකට ගෙන යන්නේද යන්න ගැන කිසිදු තැකීමක් නොමැතිව යුද්ධය ඉදිරියට තල්ලු කරයි. ධනපති කතිපයාධිකාරය (capitalist oligarchy) වෙනුවෙන් පෙනී සිටින සහ ජාත්‍යන්තර කම්කරු පන්තිය වෙත කිසිදු සැබෑ ආයාචනයක් කිරීමට අසමත් වන පුටින් පාලනය, ඊට පිළිතුරු දෙන්නේ න්‍යෂ්ටික තර්ජනවලිනි.

මෙම වර්ධනයන්ට 1962 සිද්ධීන් සමඟ වන වෙනස කැපී පෙනෙයි. කියුබාවේ පිහිටුවූ සෝවියට් මිසයිල හේතුවෙන් එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය (යුද්ධයේ) මුවවිටම පැමිණි විට, එම අනතුර ප්‍රසිද්ධියේ පිළිගන්නා ලදී. ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ඔක්තෝබර් 22 වන දින ජාතික රූපවාහිනිය ඔස්සේ මෙම අර්බුදය ප්‍රකාශයට පත් කළ අතර, ඊළඟ සතිය පුරා ලෝකය සෑම වර්ධනයක් දෙසම අවධානයෙන් සිටියේය. කෙනඩි සහ සෝවියට් නායක නිකිටා කෲෂ්චෙව් (Nikita Khrushchev) ලියුම් හුවමාරු කරගත් අතර, ආණ්ඩු දෙකම එහි ප්‍රතිවිපාකවලට බියෙන්, පසුබැසීමට මගක් සොයා ගන්නා තෙක් පසුපස දොරටු (back channels) හරහා සාකච්ඡා කළහ. [මීට හාත්පසින්ම වෙනස්ව] අද දින පිළිගැනීමක් හෝ සාකච්ඡාවක් ඇත්තේම නැත.

අනතුරේ ප්‍රමාණය සහ ඒ පිළිබඳ මහජනතාවගේ දැනුවත්භාවය අතර විශාල අගාධයක් ඇත. යම් බරපතල වරදක් පවතින බව මිලියන සංඛ්‍යාත ජනතාවකට දැනුනද, තමන්ගේ ආණ්ඩු න්‍යෂ්ටික යුද්ධයක් සමඟ සූදුවේ නියැලෙනු ඇතැයි විශ්වාස කිරීමට ඔවුන්ට නොහැක. මාධ්‍ය තුළ මෙම අනතුර ඉදිරිපත් කෙරෙන තාක් දුරට, එය රුසියානුවන්ගේ  පැහැදිලි කළ නොහැකි තර්ජනයක්, පුටින්ගේ “න්‍යෂ්ටික වාචාලකම” සහ “දෙමුහුන් යුද්ධය” (hybrid warfare) ලෙස පෙන්නුම් කරයි. නැටෝ බලවතුන් කරමින් සිටින දෙයට [රුසියාව] දක්වන ප්‍රතිචාරයක් ලෙස එය කිසි විටෙකත් ඉදිරිපත් නොකෙරේ.

බදාදා සන්ධ්‍යාව වන විටත්, නිව් යෝර්ක් ටයිම්ස් (New York Times) සහ සීඑන්එන් (CNN) මොස්කව්හි අනතුරු ඇඟවීම වාර්තා කර තිබුණේ නැත. මාධ්‍ය තුළ අදහස් දක්වන අය තවදුරටත් මිලිටරි උත්සන්න කිරීම සඳහා තල්ලු කරමින් සිටිති. වොෂින්ටන් පෝස්ට් (Washington Post) පුවත්පත සඳහන් කළේ, “ට්‍රම්ප්ගෙන් නිකුත්වන වඩා හොඳ පණිවිඩය වනු ඇත්තේ, රුසියාව ලිහිල් නොවන්නේ නම්, යුක්‍රේනයට තවත් දේ කිරීමට එක්සත් ජනපදය ඉඩ දෙන බවයි.”

රුසියාවට එරෙහිව ප්‍රමාණවත් තරම් ආක්‍රමණශීලී නොවීම ගැන ඩිමොක්‍රැටිකයින් විසින් එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට ප්‍රහාර එල්ල කර ඇත. සැප්තැම්බර් 24 වන දින ඩිමොක්‍රැටික් සෙනෙට් සභිකයින් 21 දෙනෙකු ප්‍රකාශ කළේ, චීන ජනාධිපති ෂී ජින්පිං  සමඟ පැවැති ට්‍රම්ප්ගේ සමුළුවේදී කළ “මිලිටරි උත්සන්න කිරීම ලිහිල් කිරීම සඳහා වන ආයාචනා”  මගින්, “වැලැඩීමිර් පුටින්ගේ  යුද යන්ත්‍රය පණගන්වා තබන චීන ද්විත්ව භාවිත භාණ්ඩ (dual-use goods) ගැලීම නැවැත්වීමට කිසිවක් සිදු නොවන” බවයි. ඊට අත්සන් තැබූ අයට ඩිමොක්‍රැටික් නායක චක් ෂුමර් (Chuck Schumer), එලිසබෙත් වොරන් (Elizabeth Warren) සහ ඇඩම් ෂිෆ් (Adam Schiff) ඇතුළත් විය.

රුසියාවේ දේශසීමා දක්වා පුරා දශක තුනක නැටෝ ව්‍යාප්තිය මගින් ඇවිලවූ යුක්‍රේන යුද්ධය, සෑම මහද්වීපයකම දියත් කෙරෙමින් පවතින ගෝලීය ආධිපත්‍යය සඳහා වන අරගලයක කොටසකි. යුද්ධයට වසර හතරකට වඩා වැඩි කාලයක් ගතවී ඇති තැන, ජනතාවගෙන් පිටුපසින් අලුත් සහ විනාශකාරී අදියරක් සූදානම් කෙරෙමින් පවතී. මෙහි වන්දිය ගෙවන කම්කරු පන්තිය, මේ පිළිබඳව දැනුවත් කළ යුතුය. නැවත සන්නද්ධ වීම සඳහා අරමුදල් සම්පාදනය කිරීමට රැකියා සහ සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කරන ආණ්ඩු, න්‍යෂ්ටික යුද්ධයක් බවට පත්විය හැකි යුද්ධයක් කරා රැගෙන යන එම ආණ්ඩුම වේ.

යුද්ධයට එරෙහි සටන, දැනටමත් වර්ධනය වෙමින් පවතින පන්ති අරගලයට සම්බන්ධ කළ යුතුය. පාලක පන්තිය යුද්ධය දෙසට තල්ලු කරමින් සිටින එම අර්බුදයම, රැකියා අහිමි කිරීම්වලට එරෙහිවද, සමාජ සුභසාධන වැඩසටහන් විනාශ කිරීමට එරෙහිවද, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන්ට එල්ල වන ප්‍රහාරවලට එරෙහිවද කම්කරුවන් අරගලයට තල්ලු කරමින් සිටියි.

එය නැවැත්වීමට සමත් එකම සමාජ බලවේගය කම්කරු පන්තියයි, නමුත් එය කළ හැක්කේ සූදානම් කෙරෙන්නේ කුමක්දැයි වටහාගෙන, යුද්ධයට සහ එය නිර්මාණය කරන ධනපති ක්‍රමයට එරෙහිව දැනුවත්ව අරගල කළහොත් පමණි. පළමු කාර්යය වන්නේ අනතුර පිළිබඳ නිශ්ශබ්දතාවය බිඳ දැමීමයි. මෙම ප්‍රකාශනය හැකි තරම් පුළුල් ලෙස සංසරණය කරන ලෙස අපි අපගේ පාඨකයින්ගෙන් ඉල්ලා සිටිමු.

මෙම ලිපිය ගැන ප්‍රශ්න තිබේද? Socialism AI ගෙන් අසන්න:

socialismai.com logo

What is the historical background to NATO’s eastward expansion since the early 1990s that the article says provoked the Ukraine war?

යුක්‍රේන යුද්ධය ඇවිලවූ බව ලිපියේ සඳහන් වන, 1990 ගණන්වල මුල් භාගයේ සිට නැටෝවේ නැගෙනහිර දෙසට ව්‍යාප්ත වීමේ ඓතිහාසික පසුබිම කුමක්ද?

Can you explain how the Cuban Missile Crisis of 1962 was resolved and why that process of negotiation seems absent today?

1962 කියුබානු මිසයිල අර්බුදය විසඳුනේ කෙසේද සහ එම සාකච්ඡා ක්‍රියාවලිය අද නොමැති බව පෙනෙන්නේ මන්දැයි පැහැදිලි කළ හැකිද?

How does the drive toward war with Russia connect internationally to the austerity and attacks on jobs and social programs that workers face in their own countries?

රුසියාව සමඟ යුද්ධය කරා යන ධාවනය, කම්කරුවන් තම තමන්ගේ රටවල මුහුණ දෙන වියදම් කප්පාදුවලට සහ රැකියා හා සමාජ සුභසාධන වැඩසටහන්වලට එල්ල වන ප්‍රහාරවලට ජාත්‍යන්තරව සම්බන්ධ වන්නේ කෙසේද?

තවත් ප්‍රශ්න SocialismAI.com වෙතින් අසන්න

ලෝකය න්‍යෂ්ටික යුද්ධයක අද්දර ද? Read More »

IMG 3639

සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය

සමාජවාදී සමානතා පක්ෂය (එක්සත් ජනපදය) විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගොස්තු 13 දින “The SEP and the struggle against imperialist war” යන හිසින් පළවූ ලිපියේ සිංහල පරිවර්තනය යි.

IMG 3639

2026 අගෝස්තු 2 සිට 7 දක්වා පවත්වන ලද සමාජවාදී සමානතා පක්ෂයේ (එක්සත් ජනපදය) [Socialist Equality Party (US)] නවවැනි ජාතික සම්මේලනය විසින් ඒකමතිකව සම්මත කරන ලද යෝජනා හයෙන් පළමුවැන්න වන “සමාජවාදී සමානතා පක්ෂය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය” (“The SEP and the Struggle Against Imperialist War”) අපි මෙහි පළ කරමු. සමාජවාදී සමානතා පක්ෂයේ (SEP) ජාතික සභාපති ඩේවිඩ් නෝර්ත් (David North) විසින් පවත්වන ලද ආරම්භක වාර්තාව මගින් මෙම යෝජනාව සම්මේලනය වෙත ඉදිරිපත් කෙරුණි. 

  1. සමාජවාදී සමානතා පක්ෂයේ නවවැනි ජාතික සම්මේලනය රැස්වන්නේ උග්‍රවන අධිරාජ්‍යවාදී යුද්ධය, ගැඹුරු වන ආර්ථික අර්බුදය, පාලක පන්ති ආඥාදායකත්වය දෙසට හැරීම සහ කම්කරු පන්තියේ රැකියා, වේතන සහ සාමාජීය අයිතිවාසිකම්වලට එල්ල වන වර්ධනය වන ප්‍රහාරයන් මධ්‍යයේ ය. ලෝක යුද්ධයක අනතුර පිළිබඳව තවදුරටත් ප්‍රශ්නයක් නොමැත; එහි ආරම්භක අදියර දැනටමත් ආරම්භ වී ඇත. ලොව පුරා පාලක ප්‍රභූ පැලැන්තිය (elite) ෆැසිස්ට්වාදය සහ ආඥාදායකත්වය දෙසට යොමු වෙමින් සිටිති. අතීතයේ කිසිදා නොවූ විරූ අයුරින් ධනය එක් කොටසක් අත ඒකරාශී වීම, ගෝලීය උද්ධමන රැල්ලක් සහ වේගවත් වන රැකියා විනාශය සමඟ බද්ධ වී බිලියන සංඛ්‍යාත ජනතාවගේ ජීවන තත්ත්වයන් විනාශ කරමින් පවතී. නමුත් මෙම තත්ත්වයන්ම දේශපාලන රැඩිකලීකරණයකට සහ ජාත්‍යන්තරව පන්ති අරගලයේ පුනර්ජීවනයකට මග පාදයි. සමාජවාදී සමානතා පක්ෂය සිය කාර්යභාරයන් නිර්වචනය කළ යුත්තේ මෙම ප්‍රවණතා දෙකේ ගැටුම මධ්‍යයේ ය.
  1. පෙබරවාරි 28 වැනිදා අලුයම ආරම්භ කරන ලද ඉරානයට එරෙහි ඇමරිකානු-ඉශ්‍රායල ආක්‍රමණශීලී යුද්ධයට මාස පහක් පිරෙන තැන මෙම සම්මේලනය රැස්වේ. ඇමරිකානු සහ ඉරාන නියෝජිතයන් අතර සාකච්ඡා තවමත් පවතිද්දී මෙම ප්‍රහාරය ආරම්භ වූ අතර, එහි සමාරම්භක ප්‍රහාරයට ඉරානයේ රාජ්‍ය නායකයා ඝාතනය කිරීම ද ඇතුළත් විය. මාර්තු 2 වැනි දින සමාජවාදී සමානතා පක්ෂය නිකුත් කළ “ඉරානයට එරෙහි සාපරාධී ඇමරිකානු-ඊශ්‍රායල යුද්ධය නතර කරනු!” (“Stop the criminal US-Israeli war against Iran!”) යන ප්‍රකාශනයේ සඳහන් කර ඇති පරිදි, මෙම ප්‍රහාරය “එක්සත් ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සහ ජාත්‍යන්තර නීතිය බරපතල ලෙස උල්ලංඝනය කරමින් දියත් කරන ලද සාපරාධී යුද ක්‍රියාවකි”—එනම් 1945–46 නාසි නායකයන්ගේ නියුරම්බර්ග් නඩු විභාගයේදී (Nuremberg trials) “සාමයට එරෙහි අපරාධයක්” (“crime against peace”) ලෙස විස්තර කරන ලද, “සමස්තයේ එකතු වූ නපුර තමන් තුළම දරා සිටීමෙන් පමණක් අනෙකුත් යුද අපරාධවලට වඩා වෙනස් වන පරම ජාත්‍යන්තර අපරාධය” කි.
  1. අප්‍රේල් 7 වැනිදා ට්‍රම්ප් විසින් කරන ලද “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ මිය යනු ඇත, නැවත කිසි දිනෙක එය ගෙන එනු නොලැබේ” (“A whole civilization will die tonight, never to be brought back again”) යන ජන සංහාරක ප්‍රකාශය අපකීර්තිමත් ලෙස සදාකාලිකව පවතිනු ඇත. ජූලි 11 වන දින ඔහු “ඉරානයේ සියලුම ප්‍රදේශ සම්පූර්ණයෙන්ම  අලු දූලි කර විනාශ කර දමන බවට” තර්ජනය කළේය. මෙම ප්‍රකාශයන් ජාත්‍යන්තර නීතිය යටතේ ස්වයංක්‍රීයවම යුද අපරාධ වේ. ධවල මන්දිරයෙන් නිකුත් කළ මෙසේ විනාශ කිරීමේ ක්‍රමවේදයන්ගෙන් ප්‍රකාශ වන්නේ ධනපති ක්‍රමය විසින් මානව වර්ගයා ඇද දමමින් සිටින ම්ලේච්ඡත්වයයි.
  1. අනුගාමී “සටන් විරාමයන්” සහ අවබෝධතා ගිවිසුම් බිඳ වැටී ඇති අතර, සෑම බිඳ වැටීමකින් පසුවම අලුත් වටයකින් යුද්ධය උග්‍ර විය. කෙතරම් තාවකාලික ස්වභාවයේ ගිවිසුම්වලට එළඹුනද, යුද්ධය මෙහෙයවෙනු ලබන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූලික භූ-මූලෝපායික අභිලාෂයන් විසිනි: එනම් මැද පෙරදිග, එහි ස්වාභාවික සම්පත් සහ ලෝක ආර්ථිකය රැඳී පවතින මූලෝපායික වෙළඳ මාර්ගයන්හි ආධිපත්‍යයයි. මෙම සම්පත් පාලනය කිරීම—සහ ප්‍රතිවාදීන්ට ඒවා අහිමි කිරීමේ බලය—දශක හතකට වැඩි කාලයක් තිස්සේ කලාපය තුළ ඇමරිකානු ප්‍රතිපත්තියේ ප්‍රධාන අවධානය යොමු වූ කරුණ විය. ඉරානයට එරෙහි යුද්ධය යනු, 1979 විප්ලවය මගින් වොෂින්ටනයට එහි පඹ රෙජීමය අහිමි වූ දා සිට සෑම පාලනයක් යටතේම දියත් කරන ලද ද්වි-පාක්ෂික ව්‍යාපාරය යයි.
  1. 2026 ජාත්‍යන්තර මැයි දින රැලියේ ආරම්භක වාර්තාවේ ඉදිරිපත් කරන ලද විග්‍රහය මෙම සම්මේලනය අනුමත කරයි: ඉරානයට එරෙහි යුද්ධය “දිගු හමුදා මෙහෙයුම් මාලාවක තවත් එක් කතාංගයක් පමණක් නොවේ. මෙම යුද්ධයේ ප්‍රතිවිපාක මෙම ගැටුමට පැහැදිලි ගෝලීය ස්වරූපයක් ලබා දෙයි, එනම් අධිරාජ්‍යවාදී බලවතුන් විසින් ජාත්‍යන්තර කම්කරු පන්තියට එරෙහිව දියත් කරන ලද ගෝලීය යුද්ධයකි.” එහි ප්‍රතිවිපාක ලොව පුරා කම්කරුවන්ට විනාශකාරී වී ඇත. ඉරාන වරායන් නාවික අවහිරතාවයට ලක්කිරීම ලෝක වෙළඳාම සහ බලශක්ති සැපයුම කැළඹීමට ලක්කර ඇති අතර, සෑම මහද්වීපයකම අලුත් උද්ධමන රැල්ලක් ඇති කරමින් ලොව පුරා දස ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් ආහාර අනාරක්ෂිතභාවයට හෝ සාගින්නට ඇද දමා ඇත.
  1. ඉරානයට එල්ල වූ ප්‍රහාරය ලෝකය නැවත බෙදා වෙන් කිරීම අරමුණු කරගත් අධිරාජ්‍යවාදී ප්‍රචණ්ඩත්වයේ පොදු පුපුරා යාමක එක් පෙරමුණක් පමණි. ජනවාරි 3 වන දින වෙනිසියුලාව ආක්‍රමණය කර එහි ජනාධිපතිවරයා පැහැර ගන්නා ලදී. පෙන්ටගනයේ නීති විරෝධී ප්‍රහාර හේතුවෙන් කැරිබියන් සහ නැගෙනහිර පැසිෆික් කලාපයේ ධීවරයින් සහ කම්කරුවන් අවම වශයෙන් 221 දෙනෙකු ප්‍රහාරවලින් මියගොස් ඇත. කියුබාවේ ගෙල හිරකරමින් ආක්‍රමණවල තර්ජනයට ලක්කර ඇත. ඊශ්‍රායලය ලෙබනනයට එරෙහිව අලුත් යුද්ධයක් ආරම්භ කර ඇත. තවද ගාසා තීරයේ ජන සංහාරය තෙවැනි වසරටත් ඉදිරියට යයි: දස දහස් සංඛ්‍යාත පලස්තීන දරුවන් ඝාතනය කිරීම, රෝහල්, පාසල්, ජල පද්ධති සහ නිවාස හිතාමතා විනාශ කිරීම සහ සාගින්න යුද ආයුධයක් ලෙස භාවිත කිරීම මගින් මුළු මහත් සමාජයක්ම ලෝකයේ ඇස් පනාපිට සුන්බුන් බවට පත්කර ඇත.
  1. උග්‍ර වන ගෝලීය අධිරාජ්‍යවාදී යුද්ධය එල්ල වී ඇත්තේ ප්‍රධාන වශයෙන්ම රුසියාවට සහ චීනයට එරෙහිව ය. ප්‍රමුඛතාවය දිය යුත්තේ කිනම් ගැටුමකටද යන්න පිළිබඳව ඇමරිකානු පාලක පන්තිය තුළ මතභේද පවතී, නමුත් මේවා අත්‍යවශ්‍ය අරමුණ මත එක්සත් වූ පාලක පන්තියක් තුළ පවතින උපායමාර්ගික වෙනස්කම් පමණි. රුසියාවේ විශාල සම්පත්—එහි බලශක්තිය, ඛනිජ  සහ පැය කලාප එකොළහක් පුරා පැතිරුණු භූමිය—යටපත් කර අධිරාජ්‍යවාදී සූරාකෑමට විවෘත කළ යුතුය. තවද මෙම යුගයේ කේන්ද්‍රීය ගැටුම ලෙස පවතින්නේ, එහි ආර්ථික නැගී සිටීම ඇමරිකානු අධිරාජ්‍යවාදය විසින් සිය පැවැත්මට තර්ජනයක් ලෙස සලකන, චීනයට එරෙහිව දිගු කලක් තිස්සේ සැලසුම් කරන ලද යුද්ධයයි. එහි කල්ලි අතර කෙතරම් වෙනස්කම් තිබුණද, ඇමරිකානු පාලක පන්තිය සිය ගෝලීය ආධිපත්‍යයට එල්ල වන කිසිදු අභියෝගයක් පිළිගන්නේ නැත. ට්‍රම්ප්ගේ ඩොලර් ට්‍රිලියන 1.5 ක හමුදා අයවැය, වඩාත්ම ඍජු අර්ථයෙන් ගත් කල, ලෝක යුද්ධයක් සඳහා වූ අයවැයකි.
  1. ඇමරිකානු අධිරාජ්‍යවාදය යනු පෘථිවියේ ඇති වඩාත්ම විනාශකාරී බලවේගයයි. සිය පිරිහීම ආපසු හැරවීමේ උත්සාහයේදී, එය විසින්ම වරක් ගොඩනඟන ලද පශ්චාත් යුධ පද්ධතියේ සියලු සබඳතා සහ ආයතන බිඳ දමමින් සිටී. එක්සත් ජනපදය සිය නාමික මිත්‍රයින්ට තර්ජනය කර කප්පම් ගන්නා අතර, ඔවුන්ගේ ආර්ථිකයන්ට එරෙහිව තීරුබදු යුද්ධයක් දියත් කරයි, ග්‍රීන්ලන්තය (නේටෝ සංවිධානයේ සාමාජිකයෙකු වන ඩෙන්මාර්කයේ භූමිය) ඈඳා ගැනීමට බලකර සිටින අතර කැනඩාව “පනස් එක්වන ප්‍රාන්තය” දක්වා ලඝු කිරීමට තර්ජනය කරයි. 1928 දී ට්‍රොට්ස්කි (Trotsky) කළ අනතුරු ඇඟවීම අතිශය අදාළත්වයක් සහ තියුණු බවක් ගනී: “අර්බුදකාරී කාල පරිච්ඡේදයේදී එක්සත් ජනපදයේ ආධිපත්‍යය, සමෘද්ධිමත් කාල පරිච්ඡේදයට වඩා සම්පූර්ණයෙන්, වඩා විවෘතව සහ වඩා රුදුරු ලෙස ක්‍රියාත්මක වනු ඇත. එක්සත් ජනපදය සිය දුෂ්කරතාවලින් සහ රෝගවලින් මිදීමට සහ ඒවා ජය ගැනීමට මූලික වශයෙන් උත්සාහ කරන්නේ යුරෝපයේ කරපිටින් ය; මෙය ආසියාවේ, කැනඩාවේ, දකුණු ඇමරිකාවේ, ඕස්ට්‍රේලියාවේ හෝ යුරෝපයේම සිදු වූවද, නැතහොත් මෙය සාමකාමීව හෝ යුද්ධය හරහා සිදු වූවද යන්න අදාළ නොවේ.” වසර හයකට පසු, ඉතිහාසය විසින් මානව වර්ගයා “ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගිනිකඳුමය පිපිරීමට මුහුණට මුහුණ” දෙන බව ට්‍රොට්ස්කි පෙර දුටුවේය.
  1. යුරෝපීය අධිරාජ්‍යවාදී බලවතුන් නිකම්ම බලා සිටින්නන් නොව සම්පූර්ණ හවුල්කරුවෝ වෙති. නේටෝ  බලවතුන් යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව ප්‍රායෝගිකවම යුද්ධයක (de facto war) නිරත වෙමින් සිටින අතර, එය න්‍යෂ්ටික බලවතුන් වන රාජ්‍යයන් අතර සෘජු ගැටුමක් දෙසට උග්‍ර වෙමින් පවතී. තවද ඔවුහු 1950 ගණන්වල මුල් භාගයෙන් පසු වේගවත්ම ශීඝ්‍රතාවයෙන් ප්‍රතිසන්නද්ධ වීමට පටන් ගෙන ඇති අතර, පසුගිය සියවසේ ලෝක යුද්ධ දෙකේදී මෙන් සටන් කිරීමට සහ මිය යාමට අලුත් පරම්පරාවක් සූදානම් විය යුතු බව ඉල්ලා සිටිති. ජර්මන් අධිරාජ්‍යවාදය නැවත වරක් මෙම ව්‍යාපාරයේ පෙරමුණේ සිටින අතර, හමුදා බඳවා ගැනීම් සහ සිවිල් ජීවිතය යුද නිෂ්පාදනයට යටත් කිරීම සඳහා වූ රාමුව සකස් කරන යුද නීති සම්මත කර ගනී. මේ අතර ෆින්ලන්තය න්‍යෂ්ටික ආයුධ තහනම අහෝසි කර ඇති අතර, රුසියාව සමඟ ඇති සිය කිලෝමීටර් 1,300 ක දේශසීමාව නේටෝ න්‍යෂ්ටික යෙදවීම් සඳහා විවෘත කර ඇත.
  1. වර්තමාන යුද්ධයේ පුපුරා යාම හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව විසින් පෙර දුටු අතර, පසුගිය වසර 35 පුරා එහි ප්‍රකාශයන් අනාගතවක්තෲ ස්වරූපයක් ගනී. පළමු ගල්ෆ් යුද්ධයෙන් පසුව සහ ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රය සෝවියට් සංගමය විසුරුවා හැරීම සම්පූර්ණ කරද්දී, 1991 මැයි දින නිකුත් කරන ලද “අධිරාජ්‍යවාදී යුද්ධයට සහ යටත්විජිතවාදයට එරෙහි වනු!” (“Oppose Imperialist War and Colonialism!”) යන එහි ප්‍රකාශනය මගින්, පූර්ව යටත් විජිත රටවල් කොල්ලකෑම නැවත ආරම්භ කර ඇති බවට ජාත්‍යන්තර කමිටුව (ICFI) අනතුරු ඇඟවීය. 1990 අගෝස්තු තරම් ඈත දී, ඉරාකයට එරෙහි පළමු යුද්ධය ආසන්නයේදී ජාත්‍යන්තර කමිටුව (ICFI) මෙසේ පැහැදිලි කළේය: “එය ලෝකය නැවත බෙදා වෙන් කිරීමේ අලුත් අධිරාජ්‍යවාදී ආරම්භය සලකුණු කරයි. පශ්චාත් යුද සමයේ අවසානය යනු පශ්චාත් යටත් විජිත සමයේ අවසානයයි… ඉරාකයට එරෙහි සිය දරුණු ප්‍රහාරයේදී, දෙවන ලෝක යුද්ධයට පෙර පැවති පසුගාමී රටවල් මත වූ අසීමිත ආධිපත්‍යය නැවත පිහිටුවීමට අදහස් කරන බවට අධිරාජ්‍යවාදය දැනුම් දෙයි.”
  1. ඉන් පසුව සිදු වූ සියල්ල—ඉරාකය, යුගෝස්ලාවියාව, ඇෆ්ගනිස්ථානය, ලිබියාව, සිරියාව, යේමනය සහ යුක්‍රේනය තුළ පැවැති නොනිමෙන යුද්ධ—මෙම විග්‍රහය තහවුරු කර ඇත. A Quarter Century of War (2016) (ශතවර්ෂ කාලක් පුරා යුද්ධය) හි පූර්විකාවේ David North ලියූ පරිදි: “එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද පසුගිය සියවසෙන් හතරෙන් පංගුවක යුද්ධ අධ්‍යයනය කළ යුත්තේ එකිනෙකට සම්බන්ධ වූ සිදුවීම් මාලාවක් ලෙසය. ගෝලීය ආධිපත්‍යය සඳහා වන එක්සත් ජනපදයේ මූලෝපායික තර්කනය මැද පෙරදිග සහ අප්‍රිකාවේ නව යටත් විජිත මෙහෙයුම්වලින් ඔබ්බට යයි. දැනට පවතින කලාපීය යුද්ධ යනු රුසියාව සහ චීනය සමඟ එක්සත් ජනපදයේ වේගයෙන් උග්‍ර වන ගැටුමේ සංඝටක මූලාංග වේ.
  1. මෙම සෑම යුද්ධයක්ම ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය විසඳනවා වෙනුවට එය තවත් උග්‍ර කළේය. 2003 මාර්තු මාසයේදී ඉරාක ආක්‍රමණය ආරම්භයේදී නෝර්ත් ලියූ පරිදි: “ඇමරිකානු අධිරාජ්‍යවාදයට විනාශය සමඟ සම්මුඛ වීමක් යෙදී ඇත. එයට ලෝකය ජය ගත නොහැක. මැද පෙරදිග මහජනතාව කෙරෙහි නැවත යටත් විජිත විලංගු දැමීමට එයට නොහැක. යුද්ධය නමැති මාධ්‍යය හරහා එහි අභ්‍යන්තර රෝගවලට සාර්ථක විසඳුමක් සොයා ගැනීමට එයට නොහැකි වනු ඇත. ඒ වෙනුවට, යුද්ධය මගින් ඇති කරන ලද නොසිතූ දුෂ්කරතා සහ වර්ධනය වන ප්‍රතිරෝධය ඇමරිකානු සමාජයේ සියලුම අභ්‍යන්තර පරස්පරතාවයන් උග්‍ර කරනු ඇත.” ඉරානය  ඊට වෙනස් නොවන බව ඔප්පු කරනු ඇත.
  1. වසර තිස්පහක නොනිමෙන යුද්ධයට ඇමරිකානු ධනපති ක්‍රමයේ ආර්ථික පිරිහීම ආපසු හැරවීමට නොහැකි වී ඇත. එක්සත් ජනපද වෙළඳ හිඟය වාර්තාගත මට්ටමක පවතී—එය එක් වසරක් තුළ භාණ්ඩවලින් ඩොලර් ට්‍රිලියන 1.2 කි—සහ මුළු එක්සත් ජනපද රජයේ ණය ඩොලර් ට්‍රිලියන 40 කට ආසන්න වෙමින් පවතින අතර, එය දරා ගෙන යනු ලබන්නේ ඩොලරය [සංචිත මුදල් ඒකක ලෙස] තබා ගැනීමට ලෝකය දක්වන කැමැත්ත මඟින් පමණි. කඩදාසි ලබා දී පෘථිවියේ සම්පත් මත ආධිපත්‍යය දැරීමට එක්සත් ජනපදයට ඉඩ සලසන ලෝක සංචිත විනිමය ලෙස ඩොලරය ලෝකයේ දරණ ස්ථානය, විවෘත අර්බුදයකට ලක්ව ඇත. නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදය ලෝක මට්ටමේ තම ස්ථානය පල්ලම් බැසීම පිළිගන්නේ නැත. සෑම යුද්ධයකම පරාජයට මුහුණ දෙන විට, එය පසුබැසීමෙන් නොව, පෘථිවිය මත මානව ජීවිතය විනාශ කිරීමේ තර්ජනය එල්ල කරන න්‍යෂ්ටික යුද්ධය දක්වා වන වඩාත් විශාල [මිලිටරි] උග්‍ර කිරීම් වලින් ප්‍රතිචාර දක්වයි.
  1. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය කම්කරු පන්තිය තුළ මුල් බැස ගත යුතු අතර එය සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී වැඩපිළිවෙලක් මත පදනම් විය යුතුය. 2016 පෙබරවාරි මාසයේ ජාත්‍යන්තර කමිටුවේ සමාජවාදය සහ යුද්ධයට එරෙහි අරගලය (Socialism and the Fight Against War) ප්‍රකාශනය මගින් පිහිටුවන ලද මූලධර්ම මෙම සම්මේලනය නැවත තහවුරු කරයි: යුද්ධයට එරෙහි අරගලය “සමාජයේ මහා විප්ලවවාදී බලවේගය වන කම්කරු පන්තිය මත පදනම් විය යුතු අතර, ජනගහනයේ සියලු ප්‍රගතිශීලී කොටස් ඒ වටා එක්සත් කළ යුතුය”; අලුත් යුද විරෝධී ව්‍යාපාරය “ධනපති විරෝධී සහ සමාජවාදී විය යුතුය”, “ධනපති පන්තියේ සියලුම දේශපාලන පක්ෂ සහ සංවිධානවලින් සම්පූර්ණයෙන්ම සහ අනිවාර්යයෙන්ම ස්වාධීන විය යුතු අතර ඒවාට සතුරු විය යුතුය”, එමෙන්ම, “සියල්ලටම වඩා, අධිරාජ්‍යවාදයට එරෙහි එක්සත් ගෝලීය අරගලයකදී කම්කරු පන්තියේ දැවැන්ත බලය බලමුලු ගන්වන ආකාරයෙන් ජාත්‍යන්තර විය යුතුය.” 
  1. එහි මූලයන් දෙස බලන කල, අධිරාජ්‍යවාදී යුද්ධය යනු ධනපති ක්‍රමයේම පවතින අත්‍යවශ්‍ය විෂයබද්ධ පරස්පරතා දෙකෙහි ප්‍රතිඵලය සහ ප්‍රකාශනයයි: පළමුවැන්න, නිෂ්පාදන මාධ්‍යවල පෞද්ගලික අයිතිය සහ නිෂ්පාදනයේ සාමාජීය ස්වභාවය අතර පවතින පරස්පරතාවයයි; දෙවැන්න, ආර්ථික නිෂ්පාදනයේ ගෝලීය ස්වභාවය සහ දේශපාලන බලය හා ප්‍රාග්ධනය ඒකරාශී වීම තචමත් සංවිධානය වන ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පරතාවයයි. අධිරාජ්‍යවාදී යුද්ධයේ පුපුරා යාම සහ ජාත්‍යන්තර පන්ති අරගලයේ පුපුරා යාම එකම අර්බුදයක නිෂ්පාදනයන් වන අතර, දැනට පවතින යුද්ධය විප්ලවවාදී පිපිරීම් සූදානම් කරමින් සිටී.
  1. සමාජවාදී සමානතා පක්ෂය (SEP) අධිරාජ්‍යවාදී ආක්‍රමණයේ සෑම ක්‍රියාවකටම විරුද්ධ වන අතර, එය පවතින රාජ්‍යයන්ගෙන් ස්වාධීනව සහ ඒවාට එරෙහිව සිදු කරයි. අධිරාජ්‍යවාදී ප්‍රහාරයට එරෙහිව තමන්ව ආරක්ෂා කර ගැනීමට ඉරාන ජනතාවට සහ ආක්‍රමණයේ අනෙකුත් ඉලක්කයන්ට ඇති අයිතිය එය ආරක්ෂා කරයි. රුසියාව සහ චීනය අධිරාජ්‍යවාදී බලවතුන් ලෙස හැඳින්වීම එය ප්‍රතික්ෂේප කරයි—එය එක්සත් ජනපද යුද සැලසුම්වල ප්‍රධාන ඉලක්කයන් හරහා විදේශ ප්‍රතිපත්ති අරමුණු සුජාත කිරීම සඳහා ව්‍යාජ-වාම දේශපාලන ප්‍රවණතා විසින් භාවිතා කරන නාමකරණයකි. නමුත් සමාජවාදී සමානතා පක්ෂයේ ප්‍රතිපත්තිගරුක ස්ථාවරයන්, ඒවාට ප්‍රගතිශීලී ස්වරූපයක් ආරෝපණය කිරීමක් තියා මොස්කව් සහ බීජිං රෙජීමයන්ට සහාය දැක්වීමක් වත් සමඟ කිසිදු පොදු බවක් නැත.
  1. පුටින් රෙජීමය යනු ස්ටාලින්වාදී නිලධාරී තන්ත්‍රය විසින් සෝවියට් සංගමය විසුරුවා හැරීම සහ රාජ්‍ය දේපළ කොල්ලකෑම තුළින් නැගී ආ ධනපති කතිපයාධිකාරයේ දේශපාලන මෙවලමයි—එම නිලධාරී තන්ත්‍රය යනු  2026 මැයි දින ආරම්භක වාර්තාවේ සඳහන් කර ඇති පරිදි, “ඔක්තෝබර් විප්ලවයේ මිනීවළ හාරන්නන්  ලෙස ආරම්භ වී, අද වන විට පුටින් විසින් මෙහෙයවනු ලබන නව රුසියානු කතිපයාධිකාරයේ වඩාත්ම දූෂිත සහ කෑදර කල්ලිය ලෙස කෙළවර වූ” නිලධාරී තන්ත්‍රයයි. එය මිලිටරිමය උග්‍ර කිරීම්, අධිරාජ්‍යවාදී බලවතුන් සමඟ එකඟතාවලට පැමිණීමේ ආයාචනා සමඟ ඒකාබද්ධ කරන අතර, එහි මහා රුසියානු ජාතිකවාදය (Great Russian nationalism) විසින් රුසියානු කම්කරු පන්තිය යුක්‍රේන කම්කරු පන්තියෙන් වෙන් කරනු ලබයි. බීජිං රෙජීමය ඔවුන්ගේ පැත්තෙන්, “සමාජවාදය” නාමයෙන් ධනවාදය නැවත පිහිටුවීම සහ ලෝකයේ විශාලතම කම්කරු පන්තිය සූරාකෑම සම්බන්ධයෙන් මුලසුන හොබවන අතර, එය අධිරාජ්‍යවාදයට බිය වනවාට වඩා බෙහෙවින් වැඩි ලෙස සිය කම්කරු පන්තියට බිය වේ.
  1. සමාජවාදී සමානතා පක්ෂය, ශාස්ත්‍රාලික සහ ව්‍යාජ-වම්මුන්ගේ න්‍යායධරයන් විසින් ඉදිරිපත් කරනු ලබන “බහු-ධ්‍රැවීයතා” (“multipolarity”) න්‍යාය ද එක ලෙසම ප්‍රතික්ෂේප කරයි. එම න්‍යායට අනුව, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒක-ධ්‍රැවීය” (“unipolar”) අධිපත්‍යය, ගෝලීය සම්පත් වඩාත් සාමකාමී ලෙස බෙදා ගැනීම සදහා සුසංයෝගීව  මුලසුන හොබවන ධනපති රාජ්‍යයන්ගේ සාමූහිකයක් මගින් ආදේශ කළ හැකිය. ගෝලීය ආර්ථිකය සහ ධනපති ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පර විරෝධය ඒල්ල වන්නේ සාකච්ඡා මාර්ගයෙන් ඇති කරගන්නා සමතුලිතතාවයකට නොව, යුද්ධයටයි. “බහු-ධ්‍රැවීයතා” න්‍යායේ පදනම වන්නේ, ධනපති රාජ්‍යයන්ට එරෙහිව කම්කරු පන්තිය බලමුලු ගැන්වීම වෙනුවට, එකිනෙකා හා ගැටෙන ධනපති රාජ්‍යයන් අතර තුලනය කිරීමට දරන උත්සාහය සහ ධනවාදයට එරෙහි අරගලයට දක්වන විරෝධයයි.
  1. එබැවින් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ජාත්‍යන්තර සහ පන්ති මූලෝපායක් සමග බද්ධ විය යුතුය. ට්‍රොට්ස්කි යුද්ධය සහ හතරවන ජාත්‍යන්තරය (War and the Fourth International) කෘතියේ ලියූ පරිදි, අප “ගමන් කරන්නේ යුද සිතියම ඔස්සේ නොව පන්ති අරගලයේ සිතියම ඔස්සේය.” මෙම පදනමේ සිට බලන කල, යුද්ධයේ වැදගත්ම ප්‍රතිඵලය වන්නේ ඇමරිකා එක්සත් ජනපදය සහ සෑම අධිරාජ්‍යවාදී රටක් තුළම සමාජ ආතතීන් දැඩි වීමයි. පක්ෂය 2003 දී පූර්ව අපේක්ෂා කළ පරිදි, යුද්ධය විසින් ඇමරිකානු සමාජයේ සියලු අභ්‍යන්තර පරස්පර විරෝධයන් තීව්‍ර කරමින් පවතින අතර—යුද්ධය නැවැත්වීමට සමත් බලවේගය මතුවෙමින් පවතින්නේ ද මෙම පරස්පර විරෝධයන් තුළිනි.
  1. අධිරාජ්‍යවාදී යුද්ධය යනු එකම විට කම්කරු පන්තියට එරෙහි යුද්ධයකි. ලෝක යුද්ධයකට අවශ්‍ය කරන සම්පත්, ජනගහනය සැබවින්ම වහල්භාවයට පත් කිරීමකින් තොරව සමාජයෙන් සූරා ගත නොහැක: එනම් සමාජ සුභසාධන වැඩසටහන් විනාශ කිරීම, වේතන පහත හෙලීම, ශ්‍රමය හමුදාකරණය කිරීම සහ මෙම පියවරයන් මගින් උසිගන්වනු ලබන විරෝධතාවන් මර්දනය කිරීම සඳහා ආඥාදායකත්වයක් පිහිටුවීමයි. යුද්ධය යනු කතිපයාධිකාරයේ විදේශ ප්‍රතිපත්තිය වන අතර, කතිපයාධිකාරය ඊට වන්දි ගෙවීමට සලස්වන්නේ කම්කරු පන්තිය ලවාය—එනම් පහත වැටෙන ජීවන තත්වයන්ගෙන්, ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් විනාශ කිරීමෙන් සහ රුධිරයෙනි. ආඥාදායකත්වයට එරෙහි සටන සහ යුද්ධයට එරෙහි සටන යනු එකම සතුරෙකුට එරෙහිව කෙරෙන එකම සටනකි.
  1. සමාජවාදී සමතා පක්ෂය, ධනපති ක්‍රමයට එරෙහි අරගලයෙන් වෙන් වූවක් සහ වෙනස් වූවක් ලෙස “යුද විරෝධී ප්‍රතිපත්තියක්” ඉදිරිපත් කරන්නේ නැත. එහි මූලෝපාය, අධිරාජ්‍යවාදී ආණ්ඩුවල හෘද සාක්ෂියට ආයාචනා කරන විරෝධතා ව්‍යාපාර සමග හෝ කම්කරු පන්තිය ධනපති පංතියේ එක් හෝ තවත් කල්ලියකට යටත් කරන මහජන පෙරමුණු (popular fronts) සමග හෝ කිසිදු පොදු බවක් නැත. යුද්ධයට එරෙහි සටන යනු කම්කරු පන්තියේ දේශපාලන ස්වාධීනත්වය සඳහා කෙරෙන සටනකි. එය, කම්කරු පන්තියේ විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා පක්ෂය ගෙන යන අරගලයේ වඩාත්ම සාන්ද්‍රගත ප්‍රකාශනයයි.
  1. අධිරාජ්‍යවාදී පද්ධතිය තුළ සාකච්ඡා කර ලබාගත හැකි සාමයක් නොමැත, එමෙන්ම යුද්ධයට එරෙහිව ආයාචනයක් යොමු කළ හැකි පාලක පන්තියේ කිසිදු කල්ලියක්—ඩිමොක්‍රටික් හෝ රිපබ්ලිකන්, යුරෝපීය හෝ ඇමරිකානු—නැත. යුද්ධය අවසන් කරනු ලබන්නේ අධිරාජ්‍යවාදයේ රාජ්‍ය තාන්ත්‍රිකයින් විසින් නොව, එය නැවැත්වීමේ බලය සහ වෛෂය්යික උනන්දුව සහිත එකම සමාජ බලවේගය වන ජාත්‍යන්තර කම්කරු පන්තිය විසිනි.
  1. ඉරානයට එරෙහි සියලුම ඇමරිකානු සහ ඊශ්‍රායල හමුදා මෙහෙයුම් වහාම සහ කොන්දේසි විරහිතව අත්හිටුවන ලෙසත්, නාවික අවහිරය ඉවත් කරන ලෙසත්; ගාසා හි ජන සංහාරය නැවැත්වීමටත්; මැද පෙරදිගින් සහ ලතින් ඇමරිකාවෙන් සියලුම ඇමරිකානු හමුදා ඉවත් කර ගන්නා ලෙස හා නිකොලස් මදුරෝ (Nicolás Maduro) නිදහස් කරන ලෙසත්; කියුබාවට එරෙහි සම්බාධක අවසන් කරන ලෙසත්; රුසියාවට එරෙහි යුද්ධය අවසන් කරන ලෙසත් සහ චීනයට එරෙහිව ගොඩනගමින් පවතින ලෝක යුද යන්ත්‍රණය විසුරුවා හරින ලෙසත් SEP බලකර සිටියි. අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට, තෝරාගත් සේවාව (Selective Service) සඳහා ස්වයංක්‍රීය ලියාපදිංචිය ස්ථාපිත කිරීමට, සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ යුද්ධයන්හිදී මරා දැමීමට සහ මිය යාමට ඇමරිකානු තරුණයින් බලහත්කාරයෙන් යෙදවීමට දරන සියලු උත්සාහයන්ට එය විරුද්ධ වෙයි.
  1. සමාජවාදී සමානතා පක්ෂය, යුක්‍රේනයේ බොග්ඩන් සිරොටියුක් (Bogdan Syrotiuk) වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස කෙරෙන ඉල්ලීම ද නැවත අලුත් කරයි. 2024 අප්‍රේල් මාසයේදී යුක්‍රේන රහස් ඔත්තු සේවය විසින් අත්අඩංගුවට ගන්නා ලද ඔහු, ඔහුගේ සමාජවාදී සහ යුද විරෝධී ක්‍රියාකාරකම් වෙනුවෙන් වසර පහළොවේ සිට ජීවිතාන්තය දක්වා සිරදඬුවම් ලැබිය හැකි “දේශද්‍රෝහී” චෝදනාවලට මුහුණ දෙයි. ප්‍රමුඛ යුක්‍රේන අපරාධ විද්‍යාඥයෙකුගේ අධිකරණ වෛද්‍ය වාර්තාවක් මගින් මෙම නඩුව දේශපාලන කුමන්ත්‍රණයක් ලෙස හෙළිදරව් කිරීමෙන් පසුව පවා සෙලෙන්ස්කි පාලන තන්ත්‍රය ඔහුව නිදහස් කිරීම ප්‍රතික්ෂේප කර ඇත. ඔහුව මර්දනය කිරීම මගින් පාලන තන්ත්‍රයේ සැබෑ ස්වභාවය හෙළිදරව් කරයි: එනම් අධිරාජ්‍යවාදී බලවතුන් ප්‍රකාශ කරන පරිදි ප්‍රජාතන්ත්‍රවාදයේ ආරක්ෂකයෙකු නොව, යුද්ධයට එරෙහි සියලුම සමාජවාදී සහ ජාත්‍යන්තරවාදී විරුද්ධවාදිකම් තහනම් කරන පොලිස් රාජ්‍යයක් බවයි.
  1. දැනට පවතින ආණ්ඩුවලට කරනු ලබන ආයාචනාවලින් මෙම ඉල්ලීම් කිසිවක් ඉටු කරගත නොහැක. ඒවා අරගලයේ වැඩපිළිවෙළ තුළ අන්තර්ගත වන ඒවා වන අතර, ඒ වෙනුවෙන් කෙරෙන සටන කම්කරු පන්තිය ධනපති රාජ්‍යය සමග සෘජු ගැටුමකට මෙහෙයවා, බලය පිළිබඳ ප්‍රශ්නය මතු කරයි.
  1. අධිරාජ්‍යවාදයට එරෙහිව සියලු රටවල කම්කරුවන්ගේ එක්සත්කම වෙනුවෙන් සටන් කිරීමටත්; යුද්ධයට එරෙහි සටන ජාත්‍යන්තර කම්කරු පන්තියේ වර්ධනය වන වර්ජන ව්‍යාපාරය සහ එහි දේශපාලන ස්වාධීනත්වය සඳහා වන සටන සමග සම්බන්ධ කිරීමටත්; ලෝක සමාජවාදී විප්ලවයේ වැඩපිළිවෙළ මත කම්කරු පන්තියේ ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරය ගොඩනැගීමටත් මෙම සම්මේලනය තීන්දු කරයි. සියවසකටත් වඩා වැඩි කාලයකට පෙර, පළමු ලෝක යුද්ධයේ මිනිස් ඝාතන මධ්‍යයේ, රෝසා ලක්සම්බර්ග් (Rosa Luxemburg) අනතුරු ඇඟවූයේ මානව වර්ගයා විකල්පයකට මුහුණ දී සිටින බවයි: එනම් සමාජවාදයද නැතහොත් ම්ලේච්ඡත්වයද යන්නයි. ම්ලේච්ඡත්වය තවදුරටත් අනතුරු ඇඟවීමක් නොව වර්තමාන යථාර්ථයකි. එය මානව සංස්කෘතිය ගිල ගන්නේද, නැතහොත් ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් පෙරළා දමනු ලබන්නේද යන්න තීරණය වන්නේ විප්ලවවාදී නායකත්වයේ අර්බුදය විසඳීම මගිනි. එබැවින් මෙම සම්මේලනය, අන් සියල්ලටමත් වඩා, කම්කරු පන්තියේ විප්ලවවාදී නායකත්වය ලෙස සමාජවාදී සමානතා පක්ෂය සහ හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව ගොඩනැගීමට තීන්දු කරයි—එනම් අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ලෝක සමාජවාදී විප්ලවය බවට පත්කරවන පක්ෂයයි.

[අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි]

socialismai.com logo

මෙම ලිපිය පිළිබඳ ප්‍රශ්න තිබේද? Socialism AI වෙතින් අසන්න:

What is the history of US wars in the Middle East since the first Gulf War in 1990-91 and how do they connect to the current war against Iran?

1990-91 පළමු ගල්ෆ් යුද්ධයේ සිට මැද පෙරදිග ඇමරිකා එක්සත් ජනපද යුද්ධවල ඉතිහාසය කුමක්ද සහ ඒවා ඉරානයට එරෙහි වර්තමාන යුද්ධයට සම්බන්ධ වන්නේ කෙසේද?

How did the theory of ‘multipolarity’ develop among pseudo-left tendencies, and which organizations promote it today?

ව්‍යාජ-වම්මුන්ගේ (pseudo-left) ප්‍රවණතා අතර ‘බහු-ධ්‍රැවීයතා’ (‘multipolarity’) සද්ධාන්තය වර්ධනය වූයේ කෙසේද, සහ අද එය ප්‍රවර්ධනය කරන්නේ කුමන සංවිධානද?

Can you explain how the US trade deficit and $40 trillion national debt relate to the dollar’s role as world reserve currency, and why that system is now in crisis?

ඇමරිකා එක්සත් ජනපද වෙළඳ හිඟය සහ ඩොලර් ට්‍රිලියන 40 ක ජාතික ණය, ලෝක සංචිත විදේශ විනිමය (world reserve currency) ලෙස ඩොලරයේ කාර්යභාරයට සම්බන්ධ වන්නේ කෙසේද යන්න සහ එම පද්ධතිය දැන් අර්බුදයක පවතින්නේ මන්දැයි පැහැදිලි කළ හැකිද?

තවත් ප්‍රශ්න SocialismAI.com හිදී අසන්න.

සමාජවාදී සමානතා පක්ෂය (එ.ජ) සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය Read More »

Anojan

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික කම්කරු සිවරාසා අනෝජන්ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වහා නවත්වනු: විදේශ විනිමය ප්‍රේශණය සඳහා තමන්ගේම කම්කරුවන් අපනයනය කරන රාජ්‍යය පසුව ඔවුන්ව ගහලයාට අතහැර දමයි

ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වයේ (Socialist Lead of Sri Lanka and South Asia)  ප්‍රකාශය

මෙම ප්‍රකාශය ඉංග්‍රීසි බසින් 2026 සැප්තැම්බර් 21 දින theSocialist.LK වෙබ් අඩවියේ පළ කෙරුණි. 

කල්මුණේ, නට්පිට්ටිමුනෙයි හි දෙමළ විදේශගත කම්කරුවෙකු සහ ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයේ  උපාධිධාරියෙකු වන සිවරාසා අනෝජන් (Sivarasa Anojan) මේ වන විට සෞදි අරාබියේදී මරණ දඬුවම ලබා සිටී. අල්-අහ්සා (Al-Ahsa) හි අභියාචනාධිකරණයක් මගින් ඔහුට මෙසේ මරණ දඬුවම නියම කර ඇත්තේ කිසිදු ප්‍රචණ්ඩ ක්‍රියාවක් නිසා නොව, මුදාහැර විනාඩි කිහිපයක් ඇතුළත ඉවත් කර ප්‍රසිද්ධියේ සමාව අයැදීමක්ද ද ඉදිරිපත් කරන ලදැයි පැවසෙන ෆේස්බුක් සටහනක් වෙනුවෙනි. ඔහුගේ නඩුව වසර පහක සිරදඬුවමක සිට මරණීය දණ්ඩනය දක්වා වර්ධනය වීමට, ඔහුව ආරක්ෂා කිරීමට වගකීම ඇති බව කියන එම ආයතනයම, එනම් ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යාංශයම, සෑම පියවරකදීම පහසුකම් සපයා ඇත. ශ්‍රී ලංකා රාජ්‍යය සහ විදේශ විනිමය මූලාශ්‍රයක් ලෙස විදේශයන් වෙත අපනයනය කරනු ලබන වැඩකරන ජනතාව අතර පවතින සබඳතාව මෙම සිද්ධිය මගින් අතිශය දරුණු පැහැදිලිභාවයකින් හෙළිදරව් කරයි.

Anojan
සිවරාසා අනෝජන්. ඡායාරූපය: ‘ජැෆ්නා මොනිටර්’ (Jaffna Monitor) අනුග්‍රහයෙන්

අනෝජන් ජූලි 28 වන දින චෝදනා දෙකකට වරදකරු කරනු ලැබීය: ඒ සෞදි අරාබියේ සයිබර් විරෝධී අපරාධ පනතේ (Anti-Cyber Crime Law) 6 වැනි වගන්තිය යටතේ වූ සයිබර් අපරාධ චෝදනාවක් සහ මුහම්මද් නබිනායකතුමාට අපහාස කිරීමේ ෂරියා (Sharia) වරදක් යන කරුණු දෙකයි. මහාධිකරණය (lower court) විසින් ඔහුට වසර පහක සිරදඬුවමක් සහ සෞදි රියාල් මිලියන තුනක — එනම් විදේශගත ශ්‍රමිකයෙකුට ඇදහිය නොහැකි මුදලක් වන ආසන්න වශයෙන් ඇමෙරිකානු ඩොලර් 800,000 ක — දඩයක් නියම කරන ලදී. රජයේ පැමිණිලිකරු (public prosecutor) විසින් දේවඅපහාස චෝදනාව (blasphemy) සඳහා වඩාත් දැඩි, අධිකරණයේ විවේචනාත්මක විචක්ෂණභාවය මත පදනම් වූ ‘තඃසීර්’ (ta’zir) දඬුවමක් ඉල්ලා සිටි නමුත්, නඩු විභාග කළ විනිසුරුවරුන් එය පැනවීම ප්‍රතික්ෂේප කළහ.

ශ්‍රී ලංකා රාජ්‍යය මැදිහත් වූයේ මෙන්න මේ මොහොතේදීය — ඒ විනාශකාරී ප්‍රතිඵල ගෙනදෙමිනි. ‘ජැෆ්නා මොනිටර්’ (Jaffna Monitor) සඟරාව මගින් නිරීක්ෂණය කරන ලද ලේඛනවලට අනුව, රියාද්  හි පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින්ම සාර්ථක වීමේ හැකියාව “අතිශයින්ම අඩු” බවට නීති උපදෙස් ලබාගෙන තිබියදී පවා, විදේශ කටයුතු අමාත්‍යාංශය අභියාචනයක් ඉදිරිපත් කිරීමට පහසුකම් සැලසීය. සෞදි නීති පටිපාටිය යටතේ, අභියාචනයක් මගින් දඬුවම වැඩි කිරීමට හැකි බවට — එනම් සිරදඬුවමක් මරණ දඬුවම දක්වා ඉහළ නැංවීම ඇතුළුව — අනෝජන්ගේ පවුලට කිසිදු අනතුරු ඇඟවීමක් වාර්තා කර නොතිබුණි. මෙම අභියාචනය සම්පූර්ණයෙන්ම ගොඩනඟා තිබුණේ සයිබර් අපරාධ චෝදනාවේ ව්‍යවස්ථාපිත උපරිම සීමාව පදනම් කරගෙන වන අතර, හන්බාලි නීති ක්ෂේත්‍රය (Hanbali school of jurisprudence) යටතේ ඉහළ සීමාවක් නොමැති දේවඅපහාස චෝදනාවට එම සීමාව අදාළ නොවීය. දඬුවම අධිකද යන්න පිළිබඳ ප්‍රශ්නය නැවත විවෘත කිරීම මගින්, පැමිණිලිකරු ඉල්ලා සිටි සහ නඩු විභාග කළ අධිකරණය ප්‍රතික්ෂේප කළ දැඩි දඬුවම ද ඇතුළුව, මුළු දඬුවමම නැවතත් සලකා බැලීමට අවස්ථාවක් උදාවීම මෙම අභියාචනය හේතු විය.

බ්‍රහස්පතින්දා, අභියාචනාධිකරණය විසින් සිරදඬුවම අහෝසි කර මරණ දඬුවම පනවන ලදී.

දඬුවම් ලැබූවන්ගෙන් අය කරන අමාත්‍යාංශයක්

ශ්‍රී ලංකා රාජ්‍යය විසින් මෙම පවුලට සැලකූ ආකාරය කම්කරු පන්තිය කෙරෙහි පවතින නිලධාරීවාදී අවඥාවට නිදසුනකි. අනෝජන්ගේ පියා රුපියල් 1,890,766 ක මුදලක් — එනම් ඇමෙරිකානු ඩොලර් 6,300 ක් පමණ — විදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නමින් ලංකා බැංකුවේ පවත්වාගෙන යන නිල ගිණුමකට කෙලින්ම තැන්පත් කර තිබූ අතර, තැන්පතු පත්‍රිකාවේ සටහන් කර තිබුණේ “අනෝජන් නඩුව”  ලෙස පමණි. අමාත්‍යාංශය විසින් අභියාචනයේ පිටපතක් පියා වෙත යවා ඇත්තේ එය ගොනු කර සති තුනකටත් වඩා වැඩි කාලයකට පසුව සහ නඩුවේ තීන්දුව දීමට මෙපිට එක් දිනකට පෙරය — ඒ වන විට එහි කිසිවක් වෙනස් කිරීමට හැකියාවක් නොතිබුණි. නඩු විභාගයට සැබවින්ම පෙනී සිටි නීතිඥවරයාගේ නම පවුලේ අයට කිසි විටෙකත් පවසා නොතිබුණි. තවද ඔවුන් මරණ දඬුවම ගැන දැනගත්තේ තමන්ගේ රජයෙන් නොව, නඩු විභාගයෙන් පසුව ගෙදරට දුරකථන ඇමතුමක් ගැනීමට අවසර ලැබුණු අනෝජන්ගෙන්ම ය.

ඕමානයේ රැකියා අහිමි වන විදේශගත කම්කරුවන් ආරක්ෂා කිරීම ප්‍රතික්ෂේප කරන්නේද මෙම රාජ්‍යයමය. ලෝක සමාජවාදී වෙබ් අඩවිය (World Socialist Web Site – WSWS) වාර්තා කළ පරිදි, 2024 ජනවාරි මාසයේදී, රැකියාවලින් දොට්ට දමන ලද ශ්‍රී ලාංකික කම්කරුවන් පිරිසක් මස්කට් (Muscat) හි පිහිටි තානාපති කාර්යාලය ඉදිරිපිට රැස්වී තමන්ව ආපසු රටට ගෙනියන ලෙස රජයෙන් ඉල්ලා සිටි විට, තානාපති කාර්යාලය ඊට ප්‍රතිචාර දැක්වූයේ ඔවුන් සංචාරක වීසා මත පැමිණ ඇති බැවින් ඔවුන් ගැන කිසිදු “වගකීමක්” දැරිය නොහැකි බව ප්‍රකාශ කරමින්, දඩ මුදල් ගෙවා රටින් පිටවන ලෙස උපදෙස් දෙමිනි. කාන්තාවන් 30 දෙනෙකු ඇතුළුව කම්කරුවන් 80 දෙනෙකු පමණ ඕමාන් පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද අතර, කාන්තාවන් ආරක්ෂා කිරීම සඳහා යැයි කියමින් පිහිටුවා තිබූ තානාපති කාර්යාලයේ “ආරක්ෂිත නිවස” (safe house) ද අසරණ වූවන්ට වසා දමන ලදී. අතරමං වූ කම්කරුවන්ට වැසිකිළි හෝ සෞඛ්‍ය පහසුකම් නොමැතිව, දහවල අධික රස්නයටත් රාත්‍රියට අධික ශීතලටත් මුහුණ දෙමින්, මහා මාර්ගයක් අසල පදික වේදිකාවේ කාඩ්බෝඩ් මත නිදා ගැනීමට සිදු වූ අතර, ඔවුන් ජීවත් වූයේ සෙසු කම්කරුවන්ගේ පරිත්‍යාගයන්ගෙනි. ඔවුන් විරෝධතාවල නිරත වූ විට, යකඩ පොලු අතැති කල්ලි ඔවුන්ට ප්‍රහාර එල්ල කර කාන්තාවන් බලහත්කාරයෙන් ඇදගෙන යාමට උත්සාහ කළ අතර, එම ප්‍රහාරවලට තානාපති කාර්යාලයේ සහාය ලැබුණු බව කම්කරුවෝ පැවසූහ.

එම අත්හැර දැමීම සිදුවූයේ රනිල් වික්‍රමසිංහගේ ආණ්ඩුව යටතේය; අනෝජන්ගේ ජීවිතය දැන් අනුර කුමාර දිසානායකගේ ජේවීපී/එන්පීපී (JVP/NPP) ආණ්ඩුව යටතේ දැඩි අවදානමකට ලක්ව තිබේ. මෙම ආණ්ඩුවද උරුම කරගෙන ඇත්තේ එම රාජ්‍ය යන්ත්‍රණයම, විදේශ ප්‍රේෂණ ආදායම මත පවතින එම පරායත්තතාවයම සහ තමන් විදේශයන්ට යවන කම්කරුවන් කෙරෙහි දක්වන එම අවඥාවමය. ආණ්ඩුවේ රාජ්‍ය තාන්ත්‍රිකභාවය යනු අත්හැර දැමීමට ප්‍රතිපක්ෂ දෙයක් නොව, එය සිදුකරන යාන්ත්‍රණයයි. පාලන තන්ත්‍රයේ දේශපාලන පාට වෙනස් වුවද, විදේශගත කම්කරුවාට දක්වන සැලකිල්ල වෙනස් නොවේ — මන්දයත්, මෙය වෙන් වෙන් ඇමතිවරුන් පිළිබඳ ප්‍රශ්නයක් නොව, විදේශයන්හි සිටින සිය පුරවැසියන්ගේ ශ්‍රමය මත යැපෙමින්, ඔවුන්ගේ ජීවිත ආරක්ෂා කරගැනීම උදෙසා එම ප්‍රේෂණ ආදායමෙන් රුපියලක්වත් වියදම් කිරීම ප්‍රතික්ෂේප කරන රාජ්‍යයක් පිළිබඳ කාරණාවක් වන බැවිනි.

සෞදි පාලන තන්ත්‍රයේ ප්‍රතිගාමී ස්වභාවය

මෙම මරණ දඬුවම හුදෙක් අසාමාන්‍ය සිදුවීමක් නොව, සෞදි රාජ්‍යයේ ස්වභාවයේම ප්‍රකාශනයකි — ඒ වූකලී, එහි නීති පද්ධතිය මධ්‍යකාලීන ෂරියා නීති අධිකාරය(Sharia jurisprudence) ඛනිජ තෙල් කතිපයාධිකාරයක මර්දනය සමඟ ඒකාබද්ධ කරන වැඩවසම්-ධනපති රාජාණ්ඩුවකි. සෞදි අරාබිය, ඕමානය, ජෝර්දානය (Jordan) සහ අනෙකුත් ගල්ෆ් (Gulf) රාජ්‍යයන්හි, ශ්‍රී ලාංකික කම්කරුවෝ — විශේෂයෙන්ම ගෘහ සේවිකාවන් ලෙස සේවය කරන කාන්තාවෝ — නූතන වහල් ශ්‍රමයට සමාන තත්ත්වයන්ට මුහුණ දෙති. ‘කෆාලා’ පද්ධතිය (kafala system) මගින් විදේශගත කම්කරුවන්ව, ඔවුන්ගේ පදිංචිය පාලනය කරන සහ කිසිදු දඬුවමකින් තොරව වේතන සහ විදේශ ගමන් බලපත්‍ර රඳවා තබාගැනීමට බලය ඇති අයිතිකරුවන්ට බැඳ තබයි. විදේශීය කම්කරුවන් කෙරෙහි එම පාලන තන්ත්‍රයේ ම්ලේච්ඡත්වය මැනවින් ලේඛනගත කර ඇත: එය 2007 දී ශ්‍රී ලාංකික කම්කරුවන් හතර දෙනෙකුගේ හිස ගසා දැමූ අතර, 2013 දී ජාත්‍යන්තර වශයෙන් අනුකම්පාව ඉල්ලා සිටියදී පවා රිසානා නෆීක් (Rizana Nafeek) නැමැති තරුණ ගෘහ සේවිකාව මරා දමන ලදී. 2014 සිට 2025 දක්වා දස වසරක කාලය තුළ, මත්ද්‍රව්‍ය සම්බන්ධ අපරාධ සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කරන ලද සමස්ත පුද්ගලයන්ගෙන් හතරෙන් තුනක්ම විදේශිකයන් බව ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල්  සංවිධානය (ජාත්‍යන්තර ක්ෂමා ආයතනය) ලේඛනගත කර ඇත.

අනෝජන්ගේ නඩුව තුළ තවත් නිශ්චිත භීෂණයක් ගැබ්ව පවතී. නබිනායකතුමාට අපහාස කිරීම “පොදු අයිතිවාසිකමක්” (al-haqq al-amm) ලෙස නඩු පවරනු ලබන බැවින්, සමාව දීමට හෝ ලේ වන්දි (blood money) භාර ගැනීමට පුද්ගලික වින්දිතයෙකු හෝ පවුලක් නොමැත — ගල්ෆ් කලාපයේ මරණ දඬුවමට මුහුණ දෙන පුරවැසියන් රජයන් විසින් මීට පෙර බේරාගත් මාර්ගය එයයි. නියෝගය අත්හිටුවිය හැක්කේ රාජකීය නියෝගයකින් සෞදි රජුට පමණි. දේශපාලන සංස්ථාපිතයේ ප්‍රතිචාරය — එනම් ජනාධිපති දිසානායක වෙත පෙත්සම් ඉදිරිපත් කිරීම සහ සෞදි රාජාණ්ඩුවෙන් “අනුකම්පාව” ඉල්ලා සිටීම — නිරර්ථක සහ ස්වයං-රැවටීම් සහිත ක්‍රියාවකි. එයින් සිදුවන්නේ මෙම දඬුවම නිර්මාණය කළ පද්ධතියෙන්ම අනුකම්පාව අයැදීමයි.

අනෝජන්ගේ නඩුව ශ්‍රී ලංකා රාජ්‍යය හෙළිදරව් කරයි

මෙම නඩුව මගින් ශ්‍රී ලංකා රාජ්‍යයේ සමස්ත සංක්‍රමණික ප්‍රතිපත්තියේ හදවතෙහි ඇති බොරුව හෙළිදරව් කරයි. සිංහල ආධිපත්‍යය සහිත රාජ්‍යය විසින් දෙමළ ජනතාවට එරෙහිව ගෙන ගිය වසර තිහකට ආසන්න සිවිල් යුද්ධයෙන් පීඩාවට පත්, මෙරට වඩාත්ම දිළිඳු සහ කොන් වූවන් අතර වන යුද්ධයෙන් බැටකෑ උතුරු සහ නැගෙනහිර පළාත්වල කම්කරුවෝ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු වැඩපිළිවෙළ (austerity) හරහා රට තුළ පනවා ඇති ආර්ථික විනාශය නිසා විදේශගත වීමට තල්ලු කරනු ලැබෙති. ඒ, ඔවුන්ගේ ශ්‍රමය දැඩි ලෙස සූරාකනු ලබන සහ ඔවුන්ගේ ජීවිත නීතිමය වශයෙන් කිසිදු වටිනාකමක් නැති ගල්ෆ් රාජාණ්ඩුවක බලප්‍රදේශයට විකුණනු ලැබීමට පමණි. ඔවුන්ගේ ප්‍රේරණයන්ගෙන් ලාභ ලබන එම රජයම, අකාර්යක්ෂම නීතිමය නියෝජනයක් වෙනුවෙන් ඔවුන්ගේ පවුල්වලින් මුදල් අය කර, අවදානම් සඟවා, ඔවුන්ව පෝරකයට අතහැර දමයි.

ශ්‍රී ලංකා රජයට, සෞදි රාජාණ්ඩුවට හෝ “ජාත්‍යන්තර ප්‍රජාවට” කෙරෙන කිසිදු ඉල්ලීමකට අනෝජන් හෝ ඔහු සිටින තත්ත්වයේ සිටින සිය දහස් සංඛ්‍යාත කම්කරුවන් බේරාගත නොහැක. මේවා ඔහුගේ මෙම අකරතැබ්බයට වගකිව යුතු බලවේගයන්ගෙන්ම කෙරෙන ඉල්ලීම්ය. ශ්‍රී ලංකා රජය මෙන්ම ගල්ෆ් රාජාණ්ඩු ද සංක්‍රමණික ශ්‍රමය සූරාකෑමේ මෙම පද්ධතියෙන් ලාභ ලබති. මෙය ගෝලීය ධනපති පර්යායේ  නිෂ්පාදනයක් වන අතර, එහිදී දකුණු ආසියාවේ සහ අප්‍රිකාවේ දිළිඳු කම්කරුවන් ලාභ ශ්‍රමය ලෙස අපනයනය කරනු ලබන්නේ, ඔවුන්ගේ සමෘද්ධිය එම කම්කරුවන්ගේ ශ්‍රමය මත පදනම් වූ ගල්ෆ් කතිපයාධිකාරීන්ගේ යහපත උදෙසාය.

අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීමට එකතු වනු!

ගෙවී යන සෑම දිනයක්ම සිවරාසා අනෝජන්ව වධකයාගේ කඩුව වෙත තවත් සමීප කරයි. පස්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ අභියෝග කිරීම සඳහා ඇති කාලය සති කිහිපයකට සීමා වී ඇති අතර, එය නිහඬ රාජ්‍ය තාන්ත්‍රිකභාවය සඳහා නොව කම්කරු පන්තියේ උපරිම බලමුලු ගැන්වීමක් සඳහා භාවිත කළ යුතුය. පූර්ව නිදර්ශනය පවතී: සෙලෙන්ස්කි (Zelensky) පාලන තන්ත්‍රය විසින් සිරගත කරන ලද යුක්‍රේන සමාජවාදී බොග්දාන් සිරෝටියුක් (Bogdan Syrotiuk) නිදහස් කර ගැනීමේ ව්‍යාපාරය පෙන්නුම් කළේ, ලොව පුරා සිටින කම්කරුවන්, තරුණයින්, වරාය කම්කරුවන්, සිසුන් සහ විද්වතුන් එක් හඬක් නගන විට — එනම් තානාපති කාර්යාල සහ කෞන්සිල කාර්යාල (consulates) ඉදිරිපිට ජාත්‍යන්තර පිකටින් මගින්, කර්මාන්තශාලා සහ කම්කරු ක්‍රියාකාරී කමිටු  මගින් නිකුත් කරන ප්‍රකාශ මගින්, ප්‍රසිද්ධ රැස්වීම් සහ මෙම අයුක්තිය නොකඩවා ප්‍රසිද්ධියේ හෙළිදරව් කිරීම මගින් — තමන්ගේ ගොදුරු බවට පත්වූවන් අදෘශ්‍යමාන යැයි සිතන පාලක පන්තීන්ට තමන් සූරාකන පන්තියේ සංවිධානාත්මක බලය ගැන සලකා බැලීමට සිදුවන බවයි. අනෝජන් බේරා ගැනීම සඳහා දැන් අනුගමනය කළ යුත්තේ ද එම ක්‍රමයමය.

සෞදි අධිකරණය විසින් එම මරණ දඬුවම අහෝසි කර  කොන්දේසි විරහිතව අනෝජන් නිදහස් කර ආපසු නිවසට එවීම සඳහා බල කරන  ලෙස ශ්‍රී ලංකාවේ සහ දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (Socialist Lead of Sri Lanka and South Asia – SLAA)  සහ theSocialist.LK වෙබ් අඩවිය සෑම කම්කරුවෙකුගෙන්ම සහ තරුණයෙකුගෙන්ම ඉල්ලා සිටියි. ඔහුව මරණයට කැපකළ අභියාචනය සඳහා ඔහුගේ පවුලෙන් රුපියල් මිලියන 1.89 ක් අය කළ විදේශ කටයුතු අමාත්‍යාංශයට හෝ ඔහුව මරණයට තීන්දු කළ  රාජාණ්ඩුවෙන්ම අනුකම්පාව අයැදිමින් ඔහුගේ ඉරණම ගැන දැන් රඟපාන දේශපාලනඥයන්ට මෙය භාරදිය හැකි යැයි කිසිවෙකු නොරැවටිය යුතුය. 

අවශ්‍ය වන්නේ සෞදි බලධාරීන් සහ ශ්‍රී ලංකා රජය බිය වන එකම බලවේගය වන කම්කරු පන්තිය හරහා  පීඩනය එල්ල කිරීමය: එනම් ශ්‍රී ලංකාවේ, ගල්ෆ් කලාපයේ සහ මුළු ලෝකය පුරාම කම්කරු පන්තියේ මහජන බලමුලු ගැන්වීම හරහාය. විදේශගත කම්කරුවන් ආරක්ෂා කිරීමේ එකම බලවේගය වන්නේ කම්කරු පන්තියේම සංවිධානාත්මක බලයයි. තමන්ගේ මව් රටවල රජයන්ට සහ ගල්ෆ් පාලන තන්ත්‍රයන්ට එරෙහි අරගලයේදී ශ්‍රී ලාංකික, ඉන්දියානු, බංග්ලාදේශ, පිලිපීන, නයිජීරියානු සහ ගල්ෆ් කලාපයේ සිටින සියලුම සංක්‍රමණික කම්කරුවන්ගේ එක්සත්කම, මෙම මරණ දඬුවම් නැවැත්වීමට සහ අවසානයේ කම්කරුවන්ට විදේශයන්හි වහල්භාවයට තමන්ගේ ජීවිත විකුණා දැමීමට බලකරන සූරාකෑමේ පද්ධතිය අහෝසි කිරීමට අවශ්‍ය පූර්ව කොන්දේසියයි. අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා අප ජාත්‍යන්තර ව්‍යාපාරයක් — එනම් ධනපති ප්‍රභූන්ගේ නොව, පන්ති අරගලයේ  ව්‍යාපාරයක් — ගොඩනැගිය යුතුය. ඔහුගේ ජීවිතය රඳා පවතින්නේ ඒ මත ය. එසේම, ඔවුන්ගේ ශ්‍රමය රාජ්‍යය විසින්  විදේශ විනිමය වෙනුවෙන් ගල්ෆ් රාජාණ්ඩුවල තිරිසන්කමට අතහැර  විකුණා දමා ඇති සෑම සංක්‍රමණික කම්කරුවෙකුගේම ආරක්ෂාව ද එසේ ඒ මතම රැඳී ඇත.

සෞදි අරාබියේදී මරණ දඬුවම නියම වූ ශ්‍රී ලාංකික කම්කරු සිවරාසා අනෝජන්ගේ මරණ දණ්ඩනය ක්‍රියාත්මක කිරීම වහා නවත්වනු: විදේශ විනිමය ප්‍රේශණය සඳහා තමන්ගේම කම්කරුවන් අපනයනය කරන රාජ්‍යය පසුව ඔවුන්ව ගහලයාට අතහැර දමයි Read More »

Flood

නේපාල-චීන ගංවතුර, දේශගුණික විපර්යාසය සහ සමාජවාදය සඳහා වන අරගලය

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අගෝස්තු 27 දින “The Nepal-China flood, climate change and the fight for socialism” යන හිසින් පළවූ බ්‍රයන් ඩයින් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

බදාද උදෑසන පැය කිහිපයක් ඇතුළත, ත්‍රිශූලී (Trishuli) සහ භෝටේ කෝෂි (Bhote Koshi) ගංගා ඔස්සේ කිලෝමීටර් 72ක (හැතැප්ම 45ක) භූමි භාගයක් පුරා ගලාගිය ජල සහ පාෂාණ කඳක්, නේපාලයේ රසුවා (Rasuwa) සහ නුවාකොට් (Nuwakot) දිස්ත්‍රික්කවල පිහිටි නගර දුසිම් ගණනක් විනාශ කරමින් සහ දැඩි ලෙස හානියට පත් කරමින් හදිසි ගංවතුර තත්ත්වයක් (flash flood) නිර්මාණය කළේය. එක් කලෙක මෙම කලාපයේ ප්‍රධාන වෙළඳ සහ සංචාරක මුරපොල වූ නේපාලය සහ ටිබෙටය අතර ගයිරොං වරාය (Gyirong Port) පිවිසුම සම්පූර්ණයෙන්ම අතුගා දැමීය.

නේපාලයේ අවම වශයෙන් පුද්ගලයින් 389 දෙනෙකු සහ චීනයේ 3 දෙනෙකු මියගොස් ඇති අතර, පිළිවෙලින් තවත් 910 දෙනෙකු සහ 558 දෙනෙකු අතුරුදහන් වී ඇති බව බලධාරීන් තහවුරු කර ඇත. ජලවිද්‍යාඥයින් (hydrologists) විසින් “දියර කොන්ක්‍රීට්” ලෙස හඳුන්වනු ලැබූ මෙම ජල පහරින් බේරී පලා යාමට උත්සාහ කරන මිනිසුන්ගේ අතිශය ඛේදජනක වීඩියෝ දර්ශන රැසක් සමාජ මාධ්‍ය වෙත එක්වී ඇති අතර, බොහෝ දෙනෙක් ඛේදනීය ලෙස මියගොස් ඇත.

“අද උදෑසන වන තෙක්ම මෙහි වටපිටාව ඉතා අලංකාරව තිබුණා… එතන ජල විදුලි බලාගාරයක් සහ කර්මාන්තශාලාවක් තිබුණා. ඒ සියල්ල ගසාගෙන ගිහින්,” යනුවෙන් නුවාකොට්හි බෙත්‍රාවතී (Betrawati) නගරයේ සෞඛ්‍ය සේවකයෙකු වන රාජේන්ද්‍ර පවුඩෙල් (Rajendra Poudel) බ්‍රහස්පතින්දා අල් ජසීරා (Al Jazeera) පුවත් සේවයට පැවසීය. “මේක ඉතා ඛේදජනක සිදුවීමක්; මට කියන්න වචන නැහැ.”

2026 අගෝස්තු 26 වන බදාදා, නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයේ ත්‍රිශුලි ගඟ දිගේ හදිසි ගංවතුරකට ගොදුරු වූ අයෙකු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට ගලවාගැනීමේ කණ්ඩායම් පස් කපන යන්ත්‍රයක් භාවිතා කරයි. [AP ඡායාරූපය/නිරංජන් ශ්‍රෙස්තා]

Flood
2026 අගෝස්තු 26 වන බදාදා, නේපාලයේ නුවාකොට් දිස්ත්‍රික්කයේ ත්‍රිශුලි ගඟ දිගේ හදිසි ගංවතුරකට ගොදුරු වූ අයෙකු ආරක්ෂිත ස්ථානයකට රැගෙන යාමට ගලවාගැනීමේ කණ්ඩායම් පස් කපන යන්ත්‍රයක් භාවිතා කරයි. [AP ඡායාරූපය/නිරංජන් ශ්‍රෙස්තා]

මෙම ගංවතුරින් රසුවාහි ටිමූරේ (Timure) සහ ස්‍යාපෲ බේසි (Syapru Besi) මෙන්ම නුවාකොට්හි බෙත්‍රාවතී (Betrawati) යන ගම්මාන රැසක් පස්වලින් යටවූ අතර, අවම වශයෙන් පාලම් 19ක් සහ කිලෝමීටර් 40ක පමණ (හැතැප්ම 25ක) මාර්ග විනාශ විය. මෙගාවොට් 430ක විදුලි උත්පාදන ධාරිතාවක් අක්‍රිය වී ඇති බව නේපාල විදුලිබල මණ්ඩලය තක්සේරු කළේය. නායයෑමේ කඩා වැටුණු පස් කන්දට පිටුපසින් එක්රැස් වන නව විලක් එම බැම්ම පුපුරා ගොස්, එම නිම්නය ඔස්සේම දෙවන ගංවතුර රළක් පැමිණීමේ අවදානමක් පවතින බවට චීන බලධාරීන් බ්‍රහස්පතින්දා අනතුරු ඇඟවීය.

භූමිකම්පා විද්‍යාත්මක දත්තවලට අනුව, මෙම ව්‍යසනයට ආසන්නතම හේතුව වී ඇත්තේ ටිබෙටයේ හිම කඳු සහිත බෑවුමකින් අයිස් සහ පාෂාණ තට්ටුවක් කඩාගෙන වැටීමයි. එය ජර්මනියේ සහ එක්සත් ජනපද භූ විද්‍යාත්මක සමීක්ෂණ ආයතනයේ (United States Geological Survey) රිච්ටර් මාපකයේ 5.2ක ප්‍රමාණයේ භූමිකම්පා සිදුවීමක් ලෙස සටහන් වන තරම් හිමධාවයක් (විශාල හිම කඩා වැටීමක් – avalanche) විය. කෙසේ වෙතත්, මෙයින් නිර්මාණය වී ඇති සමාජ ව්‍යසනය, දේශගුණික විපර්යාසය නැවැත්වීමට හෝ නියත ලෙස නියමිත මාරාන්තික ප්‍රතිවිපාක සඳහා සිය ජනතාව සූදානම් කිරීමට ලෝකයේ ධනපති ආණ්ඩු දක්වන ප්‍රතික්ෂේප කිරීමේ නවතම ප්‍රතිඵලයයි.

ගංවතුරට ලක්වූ නේපාලය සහ ටිබෙට් සීමාව ඇතුළුව හිමාලය වැනි උස් භූමි ප්‍රදේශ පිළිබඳ කෙරුණු අධ්‍යයනයන්ගෙන් වසර ගණනාවක සිට පෙනී ගොස් ඇත්තේ, එවැනි ප්‍රදේශ ගෝලීය උණුසුම් වීමට (global warming) විශේෂයෙන් ගොදුරු විය හැකි බවයි. සුළු උණුසුම් වීමකදී පවා හිම දියවන අතර, නිරාවරණය වන පාෂාණ මගින් වැඩි සූර්යාලෝකයක් අවශෝෂණය කරගනිමින් තවදුරටත් උණුසුම් වීම වැඩි කරයි. එය නැවතත් හිම දියවීම වේගවත් කරමින් ධනාත්මක ප්‍රතිපෝෂණ චක්‍රයක් (positive feedback loop) නිර්මාණය කරයි.

අන්තර්-රාජ්‍ය විද්‍යාත්මක ආයතනයක් වන ඒකාබද්ධ කඳුකර සංවර්ධනය සඳහා වන ජාත්‍යන්තර මධ්‍යස්ථානය (International Centre for Integrated Mountain Development – ICIMOD) 2023 දී වාර්තා කළේ, ඊට පෙර දශකයට වඩා 2011-2020 කාලය තුළ හිමාලයානු ග්ලැසියර සියයට 65ක වේගයෙන් අතුරුදහන් වූ බවයි. මෙයට පෙර වසරේ මාර්තු මාසයේදී ICIMOD වෙතින් නිකුත් වූ සමාන අධ්‍යයනයකින් නිගමනය වූයේ, හිමාලයානු ග්ලැසියරවල අයිස් ක්ෂය වීමේ සීඝ්‍රතාව 2000 වසරේ පැවැති අගය මෙන් දෙගුණයකින් වැඩි වී ඇති බවයි. “මෙය ඈත අනාගතයේ ඇතිවන ප්‍රශ්නයක් නෙවෙයි; සෑම ග්‍රීෂ්ම ඍතුවකම සහ මෝසම් කාලයකදීම අලුත් ව්‍යසනයන් නිර්මාණය කරමින් සැබෑ ලෙසම අප ඉදිරියේ තථ්‍ය කාලිනව   දිගහැරෙන අර්බුදයක්” යනුවෙන් එම වාර්තාව අනතුරු ඇඟවූයේ මීට මාස පහකට පෙරය.

දේශගුණික අර්බුදයේ මෙම නිශ්චිත පැත්ත සම්බන්ධයෙන් ලෝකයේ ආණ්ඩුවල ප්‍රතිචාරය ඉතා නොගැණිය හැකි නැතහොත් ඉතා සුළු එකක් වී ඇත. ග්ලැසියර ගංවතුරෙන් නේපාල ජාතිකයන් මිලියන 2.4ක් ආරක්ෂා කිරීම සඳහා, අධි අවදානම් සහිත වැව් හතරක් සිඳවීම සහ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති සෑදීම ඇතුළත් වැඩසටහනක් 2025 ජූලි මාසයේදී හරිත දේශගුණික අරමුදල (Green Climate Fund – GCF) විසින් අනුමත කරන ලදී. වසර හතක් සඳහා මෙම ව්‍යාපෘතියේ අයවැය ඩොලර් මිලියන 49.9කි. එය එක්සත් ජනපද නියෝජිත මන්ත්‍රී මණ්ඩලය ජනවාරි මාසයේදී සම්මත කළ ඩොලර් බිලියන 839ක විසර්ජන පනතේ අනුපාතික වේගයට අනුව, එ.ජ. මිලිටරි වියදම් වලින් විනාඩි 30ක පමණ ප්‍රමාණයකි.

දේශගුණික විපර්යාසයට එරෙහිව සටන් කිරීමේ අනෙකුත් සෑම පියවරක්ම ද ඒ හා සමානව නිශ්ඵල වී ඇත්තේ, ඒවා සංගත (corporate) ලාභ ලැබීමේ ධාවනයට සහ වේගවත් වන යුද්ධය කරා හරවා යැවෙන සම්පත් භාවිතයට යටත් කර ඇති බැවිනි. ට්‍රම්ප් පාලනාධිකාරිය ජනවාරි 27 වන දින පැරිස් සම්මුතියෙන් (Paris Accord) ඉවත් වූ අතර, පෙබරවාරි 12 වන දින හරිතාගාර වායු (greenhouse gases) පිළිබඳ පරිසර සංරක්ෂණ නියෝජිතායතනයේ (Environmental Protection Agency – EPA) තීරණය අවලංගු කරමින්, එය “එ.ජ. ඉතිහාසයේ විශාලතම නිර්නියාමන ක්‍රියාව” (deregulatory ) ලෙස උදම් ඇනීය.

පසුගිය නොවැම්බරයේ බ්‍රසීලයේ බෙලෙම් (Belém) නුවර පැවැති එක්සත් ජාතීන්ගේ දේශගුණික සමුළුවට (COP30) එක්සත් ජනපදය සහභාගී වූයේ පවා නැත. එමෙන්ම පොසිල ඉන්ධන භාවිතය අදියරෙන් අදියර ඉවත් කිරීමේ සහ කාබන් විමෝචනයසීමා කිරීමේ මාර්ග සිතියම සඳහා වූ යෝජනාව චීනය, ඉන්දියාව, සවුදි අරාබිය සහ රුසියාව විසින් වළක්වන ලදී. යුරෝපය තුළ, අධිරාජ්‍යවාදී බලවතුන් (imperialist powers) රුසියාව සමඟ සෘජු ගැටුමකට සූදානම් වීම සඳහා නැවත ආයුධ සන්නද්ධ වෙමින් සිටින බැවින්, දේශගුණික පොරොන්දු සම්පූර්ණයෙන්ම අත්හැර දමමින් පවතී.

හිමාලයේ උණුසුම් වීම සිදුවන්නේ සමස්තයක් ලෙස ඉහළ යන ගෝලීය උෂ්ණත්ව ප්‍රවණතාවලට සමාන්තරවය. ගංවතුරට දින හතරකට පෙර, අගෝස්තු 22 වන දින, යුරෝපීය සංගමයේ කොපර්නිකස් දේශගුණික විපර්යාස සේවය (Copernicus Climate Change Service) විසින් මෙතෙක් මැන බලන ලද ඉහළම දෛනික ගෝලීය සාගර මතුපිට උෂ්ණත්වය (global ocean surface temperature) ලෙස සෙල්සියස් අංශක 21.1ක් (ෆැරන්හයිට් අංශක 70ක්) වාර්තා කරන ලද අතර, එය 2024 මාර්තු මාසයේදී තබා තිබූ වාර්තාව අභිබවා ගියේය. සාමාන්‍යයෙන් සාගර සිසිල් වන අගෝස්තු අග භාගයේදී මෙම අගය වාර්තා වීම විශේෂත්වයකි.

මෙම වසරේ මුල් භාගයේ ජූලි මාසයේදී, බටහිර යුරෝපයේ සාමාන්‍ය උෂ්ණත්වය ඓතිහාසික සාමාන්‍යයට වඩා සෙල්සියස් අංශක 2.79කින් (ෆැරන්හයිට් අංශක 5කින්) ඉහළ ගිය අතර, එමගින් ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් ප්‍රංශයේ සහ ස්පාඤ්ඤයේ ලක්ෂ 3.75කට වැඩි පිරිසක් නිවෙස්වලින් ඉවත් කිරීමට සිදුවිය. එම මාසයේදීම, කැනඩාවේ සහ එ.ජ. මධ්‍යම-බටහිර ප්‍රදේශයේ ඇතිවූ ලැව්ගිනි හේතුවෙන් උතුරු ඇමරිකාවේ නැගෙනහිර අර්ධයෙන් වැඩි ප්‍රමාණයක් විෂ සහිත දුමෙන් වැසී ගිය අතර, ඩුලූත් (Duluth) සහ මින්නසෝටා (Minnesota) යන ප්‍රදේශවල වායුගෝලීය ගුණාත්මක දර්ශකය (air quality index) 900ට ඉහළින්ද, ඩිට්‍රොයිට් (Detroit) වැනි ප්‍රධාන නාගරික ප්‍රදේශවල 500ට ඉහළින්ද සටහන් විය.

තවද අගෝස්තු 13 වන දින, එක්සත් ජනපද ජාතික සාගරික සහ වායුගෝලීය පරිපාලනය (National Oceanic and Atmospheric Administration – NOAA) වාර්තා කළේ, මේ සරත් සහ ශීත ඍතුවේදී ඉතා ප්‍රබල එල් නිනෝ (El Niño) තත්ත්වයක් වර්ධනය වීමේ සියයට 90කට වැඩි සම්භාවිතාවක් සහ එය මෙතෙක් වාර්තා වූ ප්‍රබලතම එල් නිනෝ තත්ත්වය වීමේ සියයට 69ක සම්භාවිතාවක් පවතින බවයි. එමගින් ගෝලීය උණුසුම් වීමේ වඩාත් තියුණු කූඨයක වර්ධනයක් සිදුවනු ඇත.

මෙසේ බොහෝ ව්‍යසනයන් සිදුවී තිබීම සහ ඉදිරියටත් සිදුවීමට නියමිතව තිබීම ධනපති ක්‍රමයට (capitalist system) එල්ල වන චෝදනා පත්‍රයකි. ගෝලීය උණුසුම් වීමේ අනතුර ගැන මුලින්ම කෙරුණු ප්‍රකට අනතුරු ඇඟවීමක් කරනු ලැබුවේ අභාවප්‍රාප්ත තාරකා විද්‍යාඥ කාල් සේගන් (Carl Sagan) විසිනි. ඔහු 1985 දී අනතුරු අඟවමින් කියා සිටියේ “විපතක පෙරනිමිති” (“handwriting on the wall”) දැනටමත් මතුව ඇති බවත්, නරකම බලපෑම් ඇතිවීම වැළැක්වීම සඳහා විශාල ජාත්‍යන්තර මැදිහත්වීමක් සිදුකළ යුතු බවත්ය.

එම අනතුරු ඇඟවීම් සහ ලෝකයේ බහුතරයක් විද්‍යාඥයින්ගේ අනතුරු ඇඟවීම් සක්‍රීය ලෙස නොසලකා හැර ඇති ලෝකයක මිනිස් සංහතිය අද ජීවත් වේ. කම්කරුවෝ සහ ශ්‍රමය වගුරන්නෝ දිනපතාම වඩාත් විනාශකාරී කුණාටුවලට, දිගු උෂ්ණත්ව තරංගවලට, වියළි නියඟයන්ට සහ නොනැවතී  ඇතිවන සේ පෙනී යන ලැව්ගිනිවලට මුහුණ දෙති. කොරල් පර විනාශ වෙමින් පවතින අතර, එය පෘථිවියේ ආහාර දාමයේ සැලකිය යුතු කොටසකට තර්ජනයක් වී ඇත. ග්ලැසියර දියවීම සහ මුහුදු මට්ටම ඉහළ යාම මගින් පෘථිවියේ සෑම වෙරළබඩ නගරයක්ම සෙමින් ජලයෙන් යටවෙමින් පවතින අතර, ලෝක ජනගහනයෙන් තුනෙන් එකක් අවතැන් වීමේ අවදානමක් පවතී.

පසුගිය වසර 41 තිස්සේ පෙන්නුම් කර ඇත්තේ, මෙම ස්වාභාවික ක්‍රියාවලීන් තේරුම් ගැනීමට සහ පාලනය කිරීමට මිනිස් සංහතියට මීට පෙර කවරදාවත් නොතිබූ තරම් විශාල හැකියාවක් ඇති බවයි. කෘතිම චන්ද්‍රිකා මගින් හිමාලයේ සහ ලොව පුරා ඇති සියලුම ග්ලැසියර සිතියම්ගත කරයි; කෘතිම බුද්ධිය සහ සුපිරි පරිගණක මගින් ඉදිරි දශක ගණනාව සඳහා දේශගුණය ආකෘතිගත කරයි; සූර්ය, සුලං, රළ, භූ-තාප සහ වෙනත් විකල්ප බලශක්ති ප්‍රභවයන්ගේ විශාල දියුණුව හේතුවෙන් අඟුරු, තෙල් සහ ස්වාභාවික වායු භාවිතයේ අවශ්‍යතාව න්‍යායාත්මකව අහෝසි වී ඇත; මූලික වශයෙන්ම, නව අති-සන්නායක ද්‍රව්‍යවල (superconductive materials) වර්ධනය මගින් අතිමහත් විදුලිය නිෂ්පාදනය කිරීමේ අවශ්‍යතාවය විශාල ලෙස අඩු කිරීමට මග පාදමින් ඇත.

නමුත් මෙම හැකියාවන් භාවිත කිරීම සහ එවැනි පදනමක් මත ජාත්‍යන්තර මට්ටමින් සමාජීය හා ආර්ථික ජීවිතය නැවත සංවිධානය කිරීම, පෞද්ගලික ලාභය සහ ලෝකය ප්‍රතිපක්ෂ ජාතික රාජ්‍යයන් ලෙස බෙදා තිබීම හමුවේ සෑම අඩියකදීම වළක්වනු ලැබේ. එම නිසා, දේශගුණික විපර්යාසයට විසඳුම විද්‍යාත්මක හෝ තාක්ෂණික ප්‍රශ්නයක් නොව, දේශපාලනික සහ තියුණු විප්ලවවාදී  ප්‍රශ්නයකි.

ෆ්‍රෙඩ්රික් එංගල්ස් (Frederick Engels) වානරයා මිනිසා බවට පත්වීමේ සංක්‍රාන්තියේදී ශ්‍රමය ඉටුකළ කාර්යභාරය (The Part Played by Labour in the Transition from Ape to Man) නැමැති කෘතියේ ලිව්වේ, මිනිසා සොබාදහම පරාජය කර ලබන “සෑම ජයග්‍රහණයක් සඳහාම, සොබාදහම අපෙන් පළිගන්නා” බවයි. “නිෂ්පාදනයේ ප්‍රතිවිපාක පාලනය කිරීම සඳහා “හුදෙක් දැනුමට වඩා වැඩි යමක් අවශ්‍ය වන අතර, ඒ සඳහා අපගේ මෙතෙක් පැවැති නිෂ්පාදන මාදිලියේ (mode of production) සම්පූර්ණ විප්ලවයක් සහ ඒ සමඟම අපගේ සමස්ත සමකාලීන සමාජ පර්යායේම විප්ලවයක් අවශ්‍ය වන” බවත් ඔහු ලිවීය. 

දැන් ඒ බව වඩාත් බලවත් ලෙස පැවසිය හැකිය. කිසිදු ධනපති ආණ්ඩුවක් දේශගුණික විපර්යාස සඳහා කිසිදු බරපතල විසඳුමක් යෝජනා නොකරන්නේ, ආර්ථික ජීවිතය මූල්‍ය කතිපයාධිකාරියේ ද්‍රව්‍යමය වුවමනාවන්ට යටත් කර ඇති තාක් කල් එය කළ නොහැකි බැවිනි. එමෙන්ම, වර්තමාන සමාජ පර්යාය හුදෙක් ප්‍රතිසංස්කරණය කළ යුත්තක් ලෙස පමණක් පිළිගන්නා හරිත පක්ෂවල සහ ව්‍යාජ-වමේ සංවිධානවල වැඩසටහන් කෙරෙහිද කිසිදු විශ්වාසයක් තැබිය නොහැක.

එනිසා, දේශගුණික විපර්යාසයට ඇති එකම විසඳුම ධනපති ක්‍රමයම විප්ලවවාදී ලෙස පෙරළා දැමීමයි. මෙය සිදුකළ යුත්තේ කම්කරු පන්තිය විසිනි. දේශගුණික විපර්යාස අවම කිරීම, ආපසු හැරවීම සහ පාලනය කිරීම සඳහා බලශක්ති, කෘෂිකර්ම සහ සැපයුම් ජාල (logistics) කර්මාන්තයන්හි අවශ්‍ය පරිවර්තනය සිදුකිරීමට සමත්, ස්වභාවයෙන්ම ජාත්‍යන්තර වන එකම සමාජ බලවේගය වන්නේ කම්කරු පන්තියයි.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees – IWA-RFC) මෙම පදනම මත කම්කරුවන් බලමුලු ගැන්වීමටත්, මූල්‍ය කතිපයාධිකාරියේ දේපළ සමාජ සන්තක කිරීමටත්, සමාජවාදී පදනම් මත ලෝක ආර්ථිකය නැවත සංවිධානය කිරීමටත් සටන් කරයි.

නේපාල-චීන ගංවතුර, දේශගුණික විපර්යාසය සහ සමාජවාදය සඳහා වන අරගලය Read More »

Minerals race

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 8  දින “European imperialists seek access to markets, cheap labour and critical raw materials amid deepening great-power rivalries—Part 1” යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද කොටස් දෙකකින් යුතු ලිපි මාලාවේ පළමු කොටසේ සිංහල පරිවර්තනය යි. 

මෙය කොටස් දෙකකින් යුත් ලිපි මාලාවක පළමු කොටසයි. දෙවන කොටස කියවන්න.

යුරෝපයේ අධිරාජ්‍යවාදී බලවතුන් පසුගිය වසර කිහිපය තිස්සේ ලතින් ඇමරිකාව, අප්‍රිකාව සහ ඉන්දු-පැසිෆික් කලාපය පුරා විහිදෙන දුරදිග යන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්වයන් මාලාවකට එළඹ ඇත. ඩොනල්ඩ් ට්‍රම්ප් නැවතත් ධවල මන්දිරයට පැමිණීම සහ “ඇමරිකාව පළමුව” යන ගෝලීය වෙළඳ යුද්ධය වැලඳ ගැනීම මෙම ක්‍රියාවලිය සැලකිය යුතු ලෙස වේගවත් කර තිබේ.

මැයි මාසය ආරම්භයේදී, යුරෝපා සංගමය (EU) සහ මර්කෝසූර් (Mercosur) වෙළඳ හවුල අතර දිගු කලක් තිස්සේ සාකච්ඡා කරන ලද ගිවිසුම නිල වශයෙන් බලාත්මක විය. යුරෝපා සංගමයේ සාමාජික රටවල් 27 සහ ලතින් ඇමරිකානු රටවල් වන ආර්ජන්ටිනාව, බ්‍රසීලය, පැරගුවේ සහ උරුගුවේ අතර ඇති කරගත් මෙම ගිවිසුම, වෙළඳපල, අමුද්‍රව්‍ය සහ ආයෝජන අවස්ථා සඳහා ප්‍රවේශය ලබා ගැනීම වෙනුවෙන් ලෝකයේ ප්‍රධාන බලවතුන් අතර පවතින අරගලය තීව්‍ර වීම මනාව සංකේතවත් කරයි.

IMG 1845
රොටර්ඩෑම් හි කන්ටේනර් පර්යන්තයක මිනිසුන් රහිත ස්වයංක්‍රීය නියෙමු (guided) වාහනයකට කන්ටේනරයක් පටවන ආකාරය [ඡායාරූපය: Quistnix / CC BY 1.0]

මර්කෝසූර් හවුල සහ ඉන්දියාව, මෙක්සිකෝව මෙන්ම නවසීලන්තය සමඟ ඇති කරගත් එවැනිම ගිවිසුම් නොවරදවාම “නිදහස් වෙළඳ ගිවිසුම්” ලෙස නම් කරනු ලැබේ. එහෙත් ඒවායින් නිරූපණය වන්නේ තම ප්‍රතිවාදීන්ගේ වියදමෙන් යුරෝපීය ප්‍රාග්ධනය සඳහා ප්‍රධාන වෙළඳපලවල් සහ සැපයුම් දාමයන් අත්පත් කර ගැනීමට ගන්නා උත්සාහයකි. එමෙන්ම, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අභියෝගයට ලක් නොවූ ආධිපත්‍යය මත පදනම්ව දෙවන ලෝක යුද්ධයෙන් පසුව පිහිටුවන ලද ගෝලීය වෙළඳ විධිවිධාන තවදුරටත් බිඳවැටීමක් ද ඉන් අදහස් කෙරේ. වර්ධනය වන භූ-දේශපාලනික ගැටුම්කාරී තත්ත්වයන් යටතේ, ලෝක ධනවාදය තරඟකාරී කන්ඩායම්වලට බෙදී යමින් පවතින අතර, සෑම කන්ඩායමක්ම අනෙකාගේ වියදමෙන් වෙළඳපල, සම්පත් සහ උපායමාර්ගික වාසි තහවුරු කර ගැනීමට උත්සාහ කරති.

බ්‍රසල්ස්, බර්ලින් සහ පැරිස්, බුවනෝස් අයර්ස් සිට මුම්බායි දක්වා යුරෝපීය ප්‍රාග්ධනය සඳහා වෙළඳපල ප්‍රවේශය ඉල්ලා සිටින අතර, වොෂින්ටනයේ “ඇමරිකාව පළමුව” යන න්‍යාය පත්‍රය පදනම් වී ඇත්තේ ඇමරිකානු මහාද්වීපයේ ආර්ථික ජීවිතයෙන් සියලුම “අර්ධගෝලීය නොවන” (non-hemispheric) ප්‍රතිවාදීන් බැහැර කිරීම මත ය. මෙම ප්‍රතිවාදී කන්ඩායම් දෙකම එකවර චීනයට එරෙහිව එල්ල වී ඇති අතර, චීනයේ ආර්ථික ව්‍යාප්තිය සහ වෙළඳාම මෙන්ම ආයෝජන වර්ධනය කිරීමට ගන්නා උත්සාහය, බීජිං පාලනය උතුරු ඇමරිකානු සහ යුරෝපීය අධිරාජ්‍යවාදීන්ගේ කොල්ලකාරී අභිලාෂයන්ට ප්‍රධාන තර්ජනයක් බවට පත් වී ඇත.

ඉරානයට එරෙහි එක්සත් ජනපද/ඊශ්‍රායල යුද්ධය සහ යුක්‍රේනයේ රුසියාවට එරෙහි එක්සත් ජනපද/නැටෝ (NATO) යුද්ධය, දිනෙන් දින උත්සන්න වන ලෝකය නැවත බෙදා ගැනීමේ තුන්වන ලෝක යුද්ධයක ආරම්භක අදියරයන් සනිටුහන් කරයි. යුරෝපා සංගමයේ ව්‍යාප්ත වන වෙළඳ ගිවිසුම් සහ අමුද්‍රව්‍ය හවුල්කාරිත්ව ජාලය විශ්ලේෂණය කළ යුත්තේ මෙම සන්දර්භය තුළ ය.

යුරෝපීය අධිරාජ්‍යවාදය හුදෙක් ආර්ථික න්‍යාය පත්‍රයක් පමණක් ලුහුබඳින්නේ නැත; වෙළඳපල, ශ්‍රම සංචිත, අමුද්‍රව්‍ය සහ භූ-උපායමාර්ගික බලපෑම් අත්පත් කර ගැනීම සඳහා තම ප්‍රතිවාදීන්ට එරෙහිව කුරිරු මිලිටරි බලයක් යෙදවිය හැකි වන පරිදි ඔවුහු උපරිමයෙන් සන්නද්ධ වෙමින් සිටිති. මෙම ගමන, පශ්චාත් යුධ සමයේ වැඩි කාලයක් ආධිපත්‍යය දැරූ එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ යුරෝපීය බලවතුන් අතර අන්තර්- අත්ලාන්තික් සන්ධානය බිඳවැටීම වේගවත් කරමින් තිබේ.

යුරෝපය මුල් කරගත් වෙළඳ හවුලක් නිර්මාණය කිරීම

යුරෝපා සංගමයේ ආර්ථික කොල්ලකෑමේ සහ ලාභ ලබාගැනීමේ ගෝලීය මූලෝපායේ හදවතෙහි පවතින්නේ අනාගත කර්මාන්ත සහ ආක්‍රමණශීලී මිලිටරි මෙහෙයුම් යන දෙකම සඳහා තීරණාත්මක අමුද්‍රව්‍ය සුරක්ෂිත කර ගැනීමේ මෙහෙයුමයි. 2024 දී බලාත්මක වූ තීරණාත්මක අමුද්‍රව්‍ය පනත (The Critical Raw Materials Act-CRMA), විශේෂයෙන්ම චීනය වැනි තනි සැපයුම්කරුවන් මත යැපීම අවම කිරීම සඳහා පැහැදිලි ඉලක්ක කෙටුම්පත් කරයි. ලොව පුරා සිටින අනෙකුත් සැපයුම්කරුවන් සමඟ මූලෝපායික හවුල්කාරිත්වයන් ඇති කර ගැනීම, ඛනිජ ප්‍රතිචක්‍රීකරණය ඉහළ නැංවීම සහ දේශීය කැණීම් ව්‍යාපෘති ප්‍රවර්ධනය කිරීම යන කරුණුවල එකතුවක් මඟින් මෙය සාක්ෂාත් කර ගැනීමට එය අපේක්ෂා කරයි.

චීනය සැලකිය යුතු ප්‍රමාණයකින් තීරණාත්මක අමුද්‍රව්‍ය නිස්සාරණය නොකළද, වඩාත්ම වැදගත් මූලද්‍රව්‍ය සමහරක් පිරිපහදු කිරීම සහ සැකසීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඔවුන් ආධිපත්‍යය දරයි. උදාහරණයක් ලෙස, විද්‍යුත් වාහන (EV) සඳහා බැටරි නිපදවීමට, ඩිජිටල් උපකරණ සහ අනෙකුත් අධි-තාක්‍ෂණික මෙහෙයුම් සඳහා අත්‍යවශ්‍ය ද්‍රව්‍ය තුනක් වන ලෝකයේ බොහොමයක් මැංගනීස්, කොබෝල්ට් සහ මිනිරන් (ග්‍රැෆයිට්) පිරිපහදු කිරීමේ වගකීම දරන්නේ චීන පිරිපහදු මධ්‍යස්ථාන වේ. දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපද සහ යුරෝපීය අධිරාජ්‍යවාදය චීනය ලෝකයේ ශ්‍රම සූරාකෑමේ මධ්‍යස්ථානය (sweatshop) ලෙස ගොඩනැගීම සඳහා එහි බිලියන සිය ගණනක් ආයෝජනය කර ඇත.

2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

IMG 1846
2010 දෙසැම්බර් 30 වන දින මධ්‍යම චීනයේ ජියැන්ග්සි පළාතේ ගන්ක්සියන් ප්‍රාන්තයේ දුර්ලභ පාංශු පතලක කම්කරුවන් යන්ත්‍රෝපකරණ භාවිතයෙන් කැණීම් කරන අයුරු. [AP ඡායාරූපය/Chinatopix via AP]

යුරෝපීය “තාක්‍ෂණික ස්වෛරීභාවය” සඳහා එනම්, එක්සත් ජනපදයෙන් සහ චීනයෙන් ස්වාධීනව විද්‍යුත් වාහන, පුනර්ජනනීය බලශක්ති යටිතල පහසුකම්, ස්මාර්ට්ෆෝන්, ඩිජිටල් යටිතල පහසුකම් සහ යුද්ධ කිරීම සඳහා වන උපකරණ නිෂ්පාදනය කිරීමේ හැකියාව සඳහා ලිතියම්, කොබෝල්ට්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය (REEs) සහ නිකල් වැනි ද්‍රව්‍ය කෙරෙහි සෘජු පාලනයක් තිබීම අත්‍යවශ්‍ය බවට වර්ධනය වන පිළිගැනීමක් CRMA පනතෙන් පිළිබිඹු වේ. යුරෝපා සංගම් කොමිසම සඳහන් කළේ, “බැටරි නිෂ්පාදනය සඳහා ලිතියම්, කොබෝල්ට් සහ නිකල් භාවිතා වේ; සූර්ය පැනල සඳහා ගැලියම් භාවිතා වේ; සුළං තාක්ෂණය සඳහා අමු බෝරෝන් භාවිතා වේ; අභ්‍යවකාශ සහ ආරක්ෂක අංශවල ටයිටේනියම් සහ ටංස්ටන් භාවිතා වේ” යනුවෙනි.

ඉදිරි දශක කිහිපය තුළ මෙම ද්‍රව්‍ය සමහරක් සඳහා ඇති ඉල්ලුම කිහිප ගුණයකින් වැඩි වනු ඇතැයි පුරෝකථනය කර ඇත. උදාහරණයක් ලෙස, යුරෝපා සංගමය 2024 දී පුරෝකථනය කළේ ලිතියම් සඳහා ඇති ඉල්ලුම 2030 වන විට 10 ගුණයකින් සහ 2040 වන විට 21 ගුණයකින් වැඩි වන අතර, එම කාලසීමාවන් තුළම දුර්ලභ පාංශු ලෝහ සඳහා ඇති ඉල්ලුම හය හෝ හත් ගුණයකින් ඉහළ යනු ඇති බවයි.

මෙයට ප්‍රතිචාර වශයෙන්, යුරෝපා සංගමය සම්පත් සබඳතා පිළිබඳ ගෝලීය ජාලයක් පිහිටුවීමට උත්සාහ කරයි.

ඉන්දු-පැසිෆික් කලාපය තුළ ඕස්ට්‍රේලියාව කේන්ද්‍රීය ස්ථානයක් ගනී. 2024 දී, යුරෝපා සංගමය ඕස්ට්‍රේලියාව සමඟ මූලෝපායික ඛනිජ පිළිබඳ අවබෝධතා ගිවිසුමකට අත්සන් තැබූ අතර, එමඟින් ලිතියම්, දුර්ලභ පාංශු මූලද්‍රව්‍ය, මිනිරන්, මැංගනීස් සහ කොබෝල්ට් සැපයුම ඉහළ නැංවීමේ යුරෝපා සංගමයේ අවශ්‍යතාවය හඳුනා ගන්නා ලදී. ඕස්ට්‍රේලියාවේ විශාල අමුද්‍රව්‍ය තැන්පතු වෙත ප්‍රවේශ වීම සඳහා යුරෝපීය ආයෝජන බැංකුවේ මූල්‍ය ආධාර ලැබෙනු ඇති අතර, පතල් කැණීමේ ව්‍යාපෘති, අමුද්‍රව්‍ය සැකසීම සහ ප්‍රවාහන යටිතල පහසුකම් සඳහා මූල්‍ය ආධාර සැපයීමට ඔවුන් 2025 අගභාගයේදී එකඟ විය.

මධ්‍යම ආසියාව යනු යුරෝපීය අධිරාජ්‍යවාදය එහි ස්වභාවික සම්පත් වෙනුවෙන් විනිවිදිමට අදිටන් කරගෙන සිටින තවත් එක් කලාපයක් වන අතර, එමඟින් යුරෝපා සංගමය, චීනයට, එක්සත් ජනපදයට සහ රුසියාවට එරෙහිව පෙළගැසෙයි. කසකස්තානය, උස්බෙකිස්තානය සහ ටජිකිස්තානය වැනි රටවල් සතුව යුරේනියම්, තඹ සහ දුර්ලභ පාංශු මූලද්‍රව්‍යවල (REEs) සැලකිය යුතු සංචිත පවතී. 2025 අප්‍රේල් මාසයේදී උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැති ප්‍රථම යුරෝපා සංගම්-මධ්‍යම ආසියානු සමුළුවේදී ද ඇතුළුව, මෙම කලාපය තුළ තම මැදිහත්වීම ගැඹුරු කිරීමට යුරෝපා සංගමය උත්සාහ කර ඇත. සමුළුවේ ප්‍රකාශය මඟින් යුරෝපා සංගමය සහ මධ්‍යම ආසියානු ජනරජයන් අතර “මූලෝපායික හවුල්කාරිත්වයක්” ඇති කිරීමට කැප වූ අතර, පසුව ඒකාබද්ධ සම්පත් ප්‍රයෝජනයට ගැනීමේ සැලසුම් සහ රුසියාව මඟ හැර යාම සඳහා ප්‍රවාහන කොරිඩෝ පිහිටුවීම පිළිබඳ සැලසුම් ගෙනහැර දක්වන ලදී.

සාම්ප්‍රදායිකව රුසියාවේ සමීප මිත්‍රයෙකු වන ආර්මේනියාවේ අගනුවර වන යෙරෙවන් හි මෑතකදී පැවැත්වුණු යුරෝපීය දේශපාලන ප්‍රජාවගේ සමුළුව, රුසියාව මඟහරිමින් මධ්‍යම ආසියාවේ සිට යුරෝපයට ගලා යන වෙළඳ ප්‍රවාහයන් සඳහා වන ප්‍රධාන ප්‍රවාහන මාර්ගයක් ලෙස එම රට පිහිටා තිබීම සමඟ බැඳී පැවතුනි. 2023 ආර්මේනියාව සහ අසර්බයිජානය අතර පැවැති යුද්ධයේදී අසර්බයිජානය විසින් නගෝර්නෝ-කරබාක් ප්‍රදේශය යටත් කර ගැනීමෙන් පසුව, අසර්බයිජානය තුර්කියෙන් වෙන් කරන ආර්මේනියානු භූමියේ සිහින් තීරුවක් වන සන්ගෙසුර් කපොල්ල (Zangezur Gap) හරහා ප්‍රවාහන කොරිඩෝවක් සංවර්ධනය කිරීමට එක්සත් ජනපදය මැදිහත් වූ අතර, එය ජාත්‍යන්තර සාමය සඳහා වන ට්‍රම්ප් මාර්ගය (Trump Route for International Peace) ලෙස නම් කර ඇත.

මතු සම්බන්ධයි.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරුණි]

මහා බලවතුන්ගේ ගැඹුරු වන එදිරිවාදිකම් මධ්‍යයේ යුරෝපීය අධිරාජ්‍යවාදීන් වෙළඳපල, ලාභ ශ්‍රමය සහ තීරණාත්මක අමුද්‍රව්‍ය වෙත ප්‍රවේශය සොයති—1 කොටස Read More »

IMG 1841

එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී

බැරී ග්‍රේ විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුලි 02 දින “The U.S. oligarchy’s crime boss: Trump pocketed $2.2 billion in 2025” යන හිසින් පළවූ බැරී ග්‍රේ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

IMG 1841
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් 2026 මාර්තු 9 වන සඳුදා, ෆ්ලොරිඩාවේ ඩොරල් හි ට්‍රම්ප් ජාතික ඩොරල් මියාමි හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කතා කරයි [AP ඡායාරූපය/මාර්ක් ෂීෆෙල්බයින්]

පසුගිය අඟහරුවාදා, ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන්ගේ 2025 වර්ෂය සඳහා වන අනිවාර්ය මූල්‍ය හෙළිදරව්ව ප්‍රකාශයට පත් කළේය. එයින් පෙන්නුම් කෙරුණේ ඔහුගේ දෙවන ධූර කාලයේ පළමු වසර තුළදී ඔහු තම පෞද්ගලික ආදායම තුන් ගුණයකට වඩා වැඩි කරගෙන ඇති බවයි; එනම් 2024 දී ඩොලර් මිලියන 622ක් වූ ආදායම පසුගිය වසරේදී අවම වශයෙන් ඩොලර් බිලියන 2.2ක් දක්වා ඉහළ නංවාගෙන ඇත.

ට්‍රම්ප් තමන්ගේ ධනය වර්ධනය කරගෙන ඇති පරිමාණය සමඟ සසඳන කල, ඇමරිකානු ඉතිහාසයේ මහා දූෂණ වංචාවන් කිසියම් ඇන්ටික් සුන්දරත්වයක් ගැබ් කරගත්තාක් සේ පවා පෙනී යයි. දේශපාලන සාපරාධීත්වයේ සංකේතයක් ලෙස සියවසක් පුරා පැවති 1920 ගණන්වල ‘ටීපොට් ඩෝම්’ (Teapot Dome) සිදුවීම කේන්ද්‍රගත වූයේ, එවකට අභ්‍යන්තර කටයුතු ලේකම් ඇල්බට් ෆෝල් විසින් නාවික තෙල් සංචිත බදු දීම වෙනුවෙන් ලබාගත් ඩොලර් 400,000ක (අද මුදලින් ඩොලර් මිලියන 8ක පමණ) අල්ලසක් වටාය. ෆෝල්ට බන්ධනාගාරගත වීමට සිදු විය. 1973 දී උප ජනාධිපති ස්පිරෝ ඇග්නියුට ඉල්ලා අස්වීමට සිදු වූයේ මේරිලන්ඩ් කොන්ත්‍රාත්කරුවන්ගෙන් මුදල් නෝට්ටු අඩංගු කවර මඟින් ලබාගත් සමස්තයක් ලෙස ඩොලර් 250,000ක පමණ අල්ලස් මුදලක් හේතුවෙනි. ට්‍රම්ප්ගේ ප්‍රමිතීන්ට අනුව බලන කල, මේවා ඉතා සුළු මුදල්ය.

මෙම වාර්තාව මඟින්, දේපළ වෙළඳාම් වංචාකරුවෙකු සහ මාධ්‍ය තොරම්බල් කාරයෙකුව සිට එක්සත් ජනපද ජනාධිපතිවරයා බවට පත්වූ පුද්ගලයාට තමන්ගේ සහ තම පවුලේ ධනය දැවැන්ත ලෙස වර්ධනය කර ගැනීමට මඟ පෑදූ බරපතල බියසැක නැති අත්තනෝමතික ගනුදෙනු සහ දූෂණ පිළිබඳ සමහර ඇඟවීම් සපයයි. පසුගිය සැප්තැම්බර් මාසය වන විට, ට්‍රම්ප් පවුලේ සමස්ත ධනය ඇස්තමේන්තුගත ඩොලර් බිලියන 10ක් ලෙස පැවති අතර, එය 2024 නොවැම්බර් මැතිවරණයෙන් පසුව දෙගුණයකින් පමණ ඉහළ ගොස් තිබුණි. ඩොනල්ඩ් ට්‍රම්ප් ජූනියර්ගේ ධනය ඩොලර් මිලියන 50 සිට ඩොලර් මිලියන 300 දක්වා ඉහළ ගිය අතර, එරික් ට්‍රම්ප්ගේ ධනය දස ගුණයකින් එනම් ඩොලර් මිලියන 400 දක්වා ඉහළ ගියේය.

එම වසරේදීම, ජාතික ආදායමෙන් ශ්‍රමයට හිමිවන කොටස වාර්තා තැබීම ආරම්භ කළ දා සිට අඩුම මට්ටම දක්වා පහත වැටුණි. 2025 තුන්වන කාර්තුවේදී ශ්‍රමයේ කොටස සියයට 53.8 දක්වා පහත වැටුණු අතර, එය 1947 දී සියයට 70ක් ලෙස පැවතුණි. මෙම සංඛ්‍යාලේඛන සැබෑ ජීවිතය තුළට පරිවර්තනය වන්නේ දරිද්‍රතා මට්ටමේ වැටුප්, දරාගත නොහැකි ඉහළ ගෙවල් කුලී සහ ජීවන වියදම් මෙන්ම කෝටි සංඛ්‍යාත කම්කරුවන්ට දිගු සේවා මුරයන්ට මුහුණ දීමට සිදුවීම ලෙසය.

ශ්‍රම සංඛ්‍යාලේඛන කාර්යාංශයේ (Bureau of Labor Statistics) පැය 40ක සේවා සතියක් මත පදනම් වූ සාමාන්‍ය මෝටර් රථ කම්කරුවෙකුගේ වැටුප් ඇස්තමේන්තුවට අනුව, ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු එක්සත් ජනපදයේ මෝටර් රථ කම්කරුවන් 37,931 දෙනෙකුගේ ආදායමට සමාන වේ. ඩොලර් බිලියන 2.2ක වාර්ෂික ආදායමක් යනු පැයකට ඩොලර් 251,000කි. එම අනුපාතයට අනුව, පුද්ගලයෙකු තත්පරයකට ඩොලර් 70ක් උපයන අතර, එය UAW මෝටර් රථ කම්කරුවෙකු පැයකට උපයන මුදල මෙන් දෙගුණයකටත් වඩා වැඩිය.

මේ සතියේ ඕවල් කාර්යාලයේ පැවති උත්සවයකදී, අඩු ආදායම්ලාභී නිවාස වර්ධනය කිරීමේ පනත් කෙටුම්පතකට අත්සන් තැබීම ප්‍රතික්ෂේප කිරීම සාධාරණීකරණය කරමින්, මිලියන සංඛ්‍යාත කම්කරු පන්තියේ ඡන්දදායකයන්ගේ ඡන්ද අයිතිය අහෝසි කිරීමේ තම සැලසුම මුලින්ම සම්මත කරන ලෙස කොන්ග්‍රස් මණ්ඩලයෙන් බලකර සිටීමටත්, එම නිවාස පනත “කම්මැලි කතාවක්” (big yawn) ලෙස හැඳින්වීමටත් ට්‍රම්ප් පෙළඹීම පුදුමයක් නොවේ.

2017 සහ 2021 අතර ඔහුගේ පළමු ධූර කාලය තුළදී, ට්‍රම්ප් තමන්ගේ මූල්‍ය කටයුතු තමන්ට පාලනය කළ නොහැකි භාරයන් (blind trusts) වෙත පැවරීමේ නූතන ජනාධිපතිවරුන්ගේ සම්ප්‍රදාය බිඳ දැමුවේය. ඔහු තම ව්‍යාපාරවලින් ඉවත් වීම ප්‍රතික්ෂේප කළ අතර, තවමත් තමන්ට ප්‍රවේශ විය හැකි භාරයක් තුළ ඒවා තැන්පත් කළේය. ඔහු වොෂින්ටන් ඩී.සී. හි පිහිටි තම ට්‍රම්ප් ඉන්ටර්නැෂනල් හෝටලය මුදල් උල්පතක් ලෙස භාවිතා කළ අතර, විදේශීය දූත පිරිස්, තැරැව්කරුවන් (lobbyists) සහ රිපබ්ලිකන් නිලධාරීන්ට එහි මුදල් වියදම් කිරීමට දිරිමත් කළ අතර එම මුදල් ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම් වෙත ගලා ගියේය. ඇමරිකා-චීන වෙළඳ සාකච්ඡා සිදුවෙමින් පවතින අතරතුරදීම, ඔහුගේ දියණිය වන ඉවන්කා ධවල මන්දිර උපදේශකවරියක ලෙස සේවය කරද්දී ඇයට චීන වෙළඳ ලකුණු (trademarks) කිහිපයක් ලබා දීමට ඔහු කටයුතු කළේය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ දෙවන ධූර කාලය සමඟ සසඳන කල ඒවා ඉතා සුළු දේවල් වේ. ඔහු තම පළමු ධූර කාලයේදී ලබාදුන් සදාචාරාත්මක ප්‍රතිඥාවට අත්සන් කිරීම ප්‍රතික්ෂේප කළ අතර, බයිඩන්ගේ ජනාධිපති සදාචාරාත්මක රීති අවලංගු කළේය, තවද 2025 මුල් භාගයේදී රජයේ සදාචාර කාර්යාලයේ (Office of Government Ethics) ප්‍රධානියා ඉවත් කර එය ස්ථිර අධ්‍යක්ෂවරයෙකු නොමැති තත්ත්වයට පත් කළේය.

ට්‍රම්ප් ඔහුගේ 2025 ආදායමෙන් වැඩි කොටසක් උපයා ගත්තේ ඔහුගේ ක්‍රිප්ටෝකරන්සි (cryptocurrency) ව්‍යාපාරවලින් වන අතර, එය ඩොලර් බිලියන 1.4ක් පමණ විය. නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පතේ විශ්ලේෂණයකට අනුව, $WLFI නමින් හැඳින්වෙන ඩිජිටල් මුදල් වර්ගයක් අලෙවි කරන ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයක් වන ‘වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල්’ (World Liberty Financial) ආයතනය පසුගිය වසරේදී ඩොලර් මිලියන 799ක් උපයා ඇති අතර, එය 2024 දී පැවතියේ ඩොලර් මිලියන 57ක් ලෙස පමණි.

ඔහුගේ දෙවන නිල කාලය ආරම්භයට දින තුනකට පෙර, ට්‍රම්ප් $TRUMP නමින් ‘මීම්කොයින්’ (memecoin) වර්ගයක් දියත් කිරීමට උදව් කළ අතර, එයින් තවත් ඩොලර් මිලියන 636ක් උපයා ඇත. ඔහු පසුගිය වසරේ මාරා-ලාගෝ (Mar-a-Lago) වෙතින් ඩොලර් මිලියන 77ක් උපයා ඇති අතර එය 2024 දී ඩොලර් මිලියන 50ක් විය. ඔහුගේ ට්‍රම්ප් නැෂනල් ඩොරල් ගොල්ෆ් ක්ලබ් වෙතින් ඩොලර් මිලියන 122ක් උපයා ඇති අතර එය ඩොලර් මිලියන 11ක වර්ධනයකි. ඔහු සතුව ට්‍රම්ප් මීඩියා ඇන්ඩ් ටෙක්නොලොජි (Trump Media & Technology) සමූහයේ ඩොලර් මිලියන 875ක් වටිනා කොටස් පවතී. 2025 අවසානය වන විට, ට්‍රම්ප් සතුව අවම වශයෙන් ඩොලර් මිලියන 857ක ආයෝජන වත්කම් පැවති අතර, එය පෙර වසරේ පැවතියේ ඩොලර් මිලියන 236ක් ලෙසය.

ජනාධිපතිවරයා ලෙස ට්‍රම්ප් ගත් ප්‍රතිපත්තිමය තීරණවලින් ඔහුගේ ක්‍රිප්ටෝ ව්‍යාපාරවලට සෘජු ප්‍රතිලාභ ලැබුණි. 2025 ජනවාරි මාසයේදී, ඔහුගේ නිල දිව්රුමට දින තුනකට පෙර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රජයට සම්බන්ධ ආයෝජන සමාගමක් වර්ල්ඩ් ලිබර්ටි ෆිනෑන්ෂල් ආයතනයේ සියයට 49ක කොටස් ප්‍රමාණයක් මිලදී ගත් අතර, එමඟින් ට්‍රම්ප් පවුලට ඩොලර් මිලියන 23ක ලාභයක් හිමි විය. ඉන් කෙටි කලකට පසු, ට්‍රම්ප් පරිපාලනය ඇමරිකාවෙන් එක්සත් අරාබි එමීර් රාජ්‍යයට කෘත්‍රිම බුද්ධිය (AI) බලගන්වන පරිගණක චිප්ස් අපනයනය කිරීම සඳහා ගිවිසුමකට එළඹුණි.

ට්‍රම්ප්ගේ මීම්කොයින් ව්‍යාපාරයට 2025 පෙබරවාරි මාසයේදී සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභාව (SEC) විසින් නිකුත් කරන ලද ප්‍රකාශයකින් සෘජු ප්‍රතිලාභ ලැබුණු අතර, එමඟින් කර්මාන්තයට දැනුම් දුන්නේ එවැනි ටෝකන (tokens) මුදල් ඒකක තවදුරටත් එම ආයතනයේ අධීක්ෂණයට යටත් නොවන බවයි. මෙය බයිඩන් පරිපාලන සමයේ එම කොමිසමේ සභාපතිවරයා දැරූ ස්ථාවරය සම්පූර්ණයෙන්ම වෙනස් කිරීමකි. තවද ට්‍රම්ප් පසුගිය ජූලි මාසයේදී ස්ටේබල්කොයින්ස් (stablecoins) ලෙස හැඳින්වෙන ක්‍රිප්ටෝ මුදල් වර්ගයක් ප්‍රවර්ධනය කිරීමේ නීති සම්පාදනයකට අත්සන් තැබුවේ, ඔහුගේ පවුලේ අනුග්‍රහය ලබන සමාගම තමන්ගේම ස්ටේබල්කොයින් එකක් හඳුන්වා දී මාස හතරකට පසුවය.

පසුගිය ඔක්තෝබර් මාසයේදී, ට්‍රම්ප් විසින් ක්‍රිප්ටෝ ක්ෂේත්‍රයේ ධනවත්ම මිනිසා වන බයිනෑන්ස් (Binance) නිර්මාතෘ චැංපෙන්ග් ෂාඕ වෙත ජනාධිපති සමාව ලබා දුන් අතර, ඔහු 2023 දී මුදල් විශුද්ධිකරණ විරෝධී නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වරදකරු වී මාස හතරක සිරදඬුවමක් විඳ තිබුණි. එතැන් සිට බයිනෑන්ස් ආයතනය ට්‍රම්ප් පවුලේ ක්‍රිප්ටෝ ව්‍යාපාරයේ වැදගත් ව්‍යාපාරික හවුල්කරුවෙකු බවට පත්ව ඇත.

කෙසේ වෙතත්, ට්‍රම්ප් තමන්ගේ ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීමට සහ පෞද්ගලික ධනය වැඩි කර ගැනීමට ධවල මන්දිරය භාවිතා කළ එකම ක්ෂේත්‍රය ක්‍රිප්ටෝ නොවේ. ඔහු සෞදි අරාබිය සහ කටාර් වැනි රටවල දේපළ සඳහා ‘ට්‍රම්ප්’ යන නාමය භාවිතා කිරීමට බලපත්‍ර ලබා දී ඇත. එම ගනුදෙනු දෙකෙන් පමණක් 2025 දී ට්‍රම්ප්ට ඩොලර් මිලියන 14කට වඩා වැඩි මුදලක් උපයා දී ඇත.

පසුගිය ඉරිදා, නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවති සෝවියට් සමූහාණ්ඩුවක් වන කසකස්තානයේ ටංස්ටන් (tungsten) පතල් සංවර්ධනය කිරීම සඳහා එක්සත් ජනපදය සහ කසකස්තානය අතර ඇති වූ ඩොලර් බිලියන ගණනක ගනුදෙනුවක් පිළිබඳ හෙළිදරව්වක් පළ කළේය. මෙම ව්‍යාපෘතියට ට්‍රම්ප්ගේ පුතුන් සහ ඔහුගේ වාණිජ ලේකම් හොවාර්ඩ් ලුට්නික් සෘජුවම සම්බන්ධ වී සිටිති. එක්සත් ජනපද වාණිජ දෙපාර්තමේන්තුවෙන් සහ අපනයන-ආනයන බැංකුවෙන් (Export-Import Bank) ඩොලර් බිලියන ගණනක ණය වෙන් කරනු ලබන්නේ මෙම පවුල් දෙකට මෙන්ම ජනාධිපතිවරයාගේ අනෙකුත් බිලියනපති හිතවතුන්ට විශාල ලාභයක් උපයා දීමට නියමිත ව්‍යාපාරයකට මුදල් සැපයීම සඳහාය.

එමෙන්ම, ධවල මන්දිරය විසින් සිදුකරනු ලබන බෝම්බ හෙලීම් සහ/හෝ ඉරානය සමඟ සාම සාකච්ඡා පිළිබඳ නිවේදන කල්තියා දැනගැනීම මත පදනම්ව තෙල් මිල පිළිබඳ අනාවැකි වෙළඳපොලවල් (predictive markets) හරහා මූල්‍ය ප්‍රභූ පැලැන්තියේ සාමාජිකයන් විසින් උපයන මිලියන ගණනක මුදල්ද පවතී. කතිපයාධිකාරීන් සහ ට්‍රම්ප් වැනි ඔවුන්ගේ අපරාධ කල්ලි නියෝජිතයන් විසින් පාලනය කරනු ලබන ලෝකයක, ගැණිය නොහැකි දහස් ගණනකගේ ජීවිත රිසි සේ හසුරුවන ලද වෙළඳපොලවල් හරහා ලාභ ලැබීමේ මෙවලම් බවට පත්වේ. ට්‍රම්ප්ගේ බෑණනුවන් වන ජැරඩ් කුෂ්නර් මැදපෙරදිග ප්‍රතිපත්ති සහ සාකච්ඡා වලදී තමන්ට හිමිවූ භූමිකාව භාවිතා කරමින් සෞදි අරාබියෙන් සහ අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් තමන්ගේ පෞද්ගලික ආයෝජන සඳහා දැවැන්ත මුදල් ප්‍රමාණයක් ලබාගෙන ඇති ආකාරය ගවේෂණාත්මක වාර්තා මඟින් ලේඛනගත කර ඇත.

මේවා සිදුවන්නේ, ධවල මන්දිර උත්සව ශාලාව සහ “පරාවර්තන තටාකය” (Reflecting Pool) වැනි ව්‍යාපෘති සඳහා රජය සමඟ ව්‍යාපාරික කටයුතු කරන ආධාරකරුවන්ට ටෙන්ඩර් කැඳවීමකින් තොරව කොන්ත්‍රාත්තු ලබා දීම ඇතුළු ට්‍රම්ප් පරිපාලනයේ සාමාන්‍ය දූෂණ ක්‍රියාවලට අමතරව ය.

ට්‍රම්ප් කරන්නේ නීති බිඳ දැමීම පමණක් නොවේ; ඔහු නීති නැවත ලියමින් සිටින්නේ තමන්ගේ ධනවත් වීම නීත්‍යානුකූලව අපරාධයක් ලෙස වර්ගීකරණය නොවන පරිදිය. දූෂණය රාජ්‍ය ප්‍රතිපත්තියේ මට්ටමට ඔසවා තැබෙයි — එනම් කොල්ලකන අතරතුරදීම එම කොල්ලය නීත්‍යානුකූල කිරීමකි.

මේවා තනි පුද්ගලයෙකුගේ අපරාධ නොවේ. නිව්යෝර්ක් හි දේපළ වෙළඳාම් සහ සූදු මාෆියාවේ ෆැසිස්ට්වාදී නිෂ්පාදනයක් වන ට්‍රම්ප්ව රාජ්‍ය නායකයා ලෙස පත් කර ඇත්තේ අතිශය ධනවත් සහ පරපෝෂිත මූල්‍ය කතිපයාධිකාරය විසිනි. නිල සමාජයේ ඉහළම ස්ථරයන් සම්බන්ධ කරන සහ එහි වසා ගැනීම් සඳහා ට්‍රම්ප්, ආයතනික මාධ්‍ය සහ සමස්ත දේශපාලන සංස්ථාපිතයම ඒකාබද්ධ කරන එප්ස්ටයින් (Epstein) අපචාරයට (scandal) වඩා හොඳින් මෙම නව වංශවත් පන්තියේ සිරිත් විරිත් හෙළි කරන වෙනත් කිසිවක් නැත.

නාමික විපක්ෂය වන ඩිමොක්‍රටික් පක්ෂය සම්බන්ධයෙන් ගත් කල, ඔවුන් තම දෑත් අඹරවමින් මැසිවිලි නැඟුවද මෙම කොල්ලකෑම් නැවැත්වීමට හෝ අපරාධකරුවන් වගවීමට බැඳීමට කිසිවක් නොකරයි, මන්ද ඔවුන්ද පාලනය කරනු ලබන්නේ එම කතිපයාධිකාරී පන්තිය විසින්ම වන අතර, ඔවුන් ලාභය සඳහා වන නිෂ්පාදනය සහ නිෂ්පාදන මාධ්‍යයන්ගේ පෞද්ගලික හිමිකාරිත්වය මත පදනම් වූ ක්‍රමය ආරක්ෂා කරන බැවිනි.

මෙම සමස්ත පන්තියේ දේපළ රාජසන්තක කළ යුතු අතර, කම්කරු පන්තිය විසින් නිෂ්පාදනය කරනු ලබන ධනය සමාජ අවශ්‍යතා සපුරාලීම සඳහා භාවිතා කළ යුතුය.

[අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි]

එක්සත් ජනපද කතිපයාධිකාරයේ අපරාධ කල්ලි නායකයා: ට්‍රම්ප් 2025 දී ඩොලර් බිලියන 2.2ක් සාක්කුවේ දමාගනී Read More »

Poster against CIMP

පන්හිඳ පාවාදීම: යෝජිත CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන්ගේ ප්‍රතිගාමී ආකල්පය පරාජය කරනු! 

​සංජය ජයසේකර විසිනි. 

මෙම ලිපිය ඉංග්‍රීසි බසින් “The Betrayal of the Pen: Defeat the Reactionary Attitude of Journalists Who Welcome the CIMP Bill” සිරසින් 2026 ජුනි 27 දින පළ විය.

වරලත් මාධ්‍යවේදීන්ගේ ​වෘත්තීය ආයතන (CIMP) පනත් කෙටුම්පත කෙරෙහි ආයතනගත (institutionalized) මාධ්‍යවේදීන් දක්වන නිශ්ශබ්දතාවය — සහ බොහෝ අවස්ථාවලදී දක්වන විවෘත උද්‍යෝගය — හෙළිදරව් කළ යුතු දේශපාලන අපකීර්තියකි. මෙම පනත් කෙටුම්පත තමන්ගේම ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට එල්ල වූ සෘජු ප්‍රහාරයක් ලෙස හඳුනා ගන්නවා වෙනුවට, ස්ථාපිත මාධ්‍ය වෘත්තිකයන්ගේ සැලකිය යුතු ස්ථරයක් එය වැළඳගෙන ඇත්තේ පෞද්ගලික අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙසය. ඔවුන් වරලත් ආයතනය දකින්නේ  සිර කූඩුවක් ලෙස නොව, වරප්‍රසාදිත තට්ටුවක “ක්ලබ්” එකක් ලෙසය: එනම් ඔවුන්ගේ වෘත්තීය තත්ත්වය සහතික කරන, හීලෑ නොවූ “අන්තර්ගත තනන්නන්ගේ” (content developers) මහා සමාජයෙන් සහ සමාජ මාධ්‍ය විචාරකයන්ගෙන් ඔවුන්ව වෙන් කර හඳුනා ගන්නා, සහ — වඩාත්ම වැදගත් දෙය නම් — රාජ්‍ය පිළිගැනීම මඟින් ලබා දිය හැකි ද්‍රව්‍යමය වරප්‍රසාද සඳහා දොරටු විවෘත කරන රාජ්‍ය මඟින් ක්‍රියාත්මක කරනු ලබන ආයතනයක් ලෙසය. මේ ද්‍රව්‍යම වාසි අතර විශ්‍රාම වැටුප්, රක්ෂණ ක්‍රම, සහනපොලී අනුපාත යටතේ බැංකු ණය, විදේශ වීසා පහසුකම්, රජයේ ප්‍රචාරණ සහ කොන්ත්‍රාත්තු සඳහා ප්‍රවේශය මෙන්ම බලවතුන් සමඟ මේසයේ අසුනක් ලබාගැනීම අන්තර්ගත වේ. 

​මෙය මාධ්‍ය නිදහසේ ආරක්ෂකයන්ගේ දැක්ම නොව, ධනේශ්වර රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම තුළින් තම තත්ත්වය සුරක්ෂිත කර ගැනීමට උත්සාහ කරන වරප්‍රසාදිත සුළු-ධනේශ්වර ස්ථරයක දැක්මයි. එය මාධ්‍යවේදියාගේ නොව, රාජ සභිකයෙකුගේ මානසිකත්වයයි. 

​අල්ලස සහ යදම්

​2026 පෙබරවාරි 17 වන දින, NPP/JVP රජයේ ජනමාධ්‍ය නියෝජ්‍ය අමාත්‍ය කෞශල්‍යා ආරියරත්න පාර්ලිමේන්තුවට ප්‍රකාශ කළේ, මාධ්‍යවේදීන්ගේ රැකියා සුරක්ෂිතතාව, වෘත්තීයභාවය, සෞඛ්‍ය රක්ෂණය සහ සුබසාධනය ප්‍රවර්ධනය කිරීම සඳහා රජය වරලත් ආයතනයක් පිහිටුවන බවත්, ශිෂ්‍යත්ව ක්‍රම අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවත්ය. 

​දිසානායක රජය මෙම දිරිගැන්වීම් ලබා දෙන්නේ ත්‍යාගශීලීකමකින් නොවේ. එය ධනේශ්වර රාජ්‍ය තාන්ත්‍රිකභාවයේ සම්භාව්‍ය මූලෝපායක් ක්‍රියාත්මක කිරීමකි: එනම් වෘත්තියේ මූලෝපායික ස්ථරයක් මුදලට ගැනීම, ඔවුන්ගේ ද්‍රව්‍යමය අවශ්‍යතා පාලන තන්ත්‍රයේ පැවැත්ම සමඟ ගැටගැසීම, සහ එමඟින් ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගෙල සිර කිරීමට එරෙහිව ඇති විය හැකි ඕනෑම විරෝධයක් කැබලි කිරීමයි. අද දින රාජ්‍ය සහතික ලත් අක්තපත්‍රයක්, පහසුකම් සහිත බැංකු ණයක් හෝ රජයේ විශ්‍රාම වැටුප් ක්‍රමයක් ලබා ගන්නා මාධ්‍යවේදියා හෙට දින ප්‍රාණ ඇපකරුවෙකු බවට පත්වේ. මෙම වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයටම ඒවා අවලංගු කිරීමටද හැක; CIMP පනත යටතේ, අවලංගු කිරීමේ යාන්ත්‍රණය දැනටමත් එහි ව්‍යුහය තුළම ගොඩනගා ඇත. 24 වන වගන්තිය මඟින් “වෘත්තීමය විෂමාචාරය” සඳහා “සාමාජිකයෙකුගේ නම ලියාපදිංචියෙන් ඉවත් කිරීමට” කවුන්සිලයට බලය පවරා ඇති අතර, එම පදය 23(2) වගන්තිය යටතේ හිතාමතාම නිර්වචනය නොකර තබා ඇත. එය පසුව එම කවුන්සිලය විසින්ම සාදනු ලබන රීති මඟින් සම්පූර්ණ කරනු ඇත. තමන් විශ්‍රාම වැටුපක් සුරක්ෂිත කර ගන්නා බව විශ්වාස කරන මාධ්‍යවේදියා සැබවින්ම කරන්නේ තමන්ගේ හිස තොණ්ඩුවකට හසු කර ගැනීමයි. 

​මෙය උපකල්පිතයක් නොවේ. මෙම ගතිකත්වය නැවත නැවතත් සිදුවන අයුරු අපි දැක ඇත්තෙමු. 2023 දී, ශ්‍රී ලංකා වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිතිය වන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය — තම සාමාජිකයන්ගේ සන්නිවේදනයන් රජය විසින් වාරණය කිරීමට එකඟ වූ අතර, එමඟින් වෘත්තීය සමිති රජය සහ සංස්ථා සඳහා කාර්මික පොලිසියක් ලෙස ක්‍රියා කරන්නේ කෙසේද යන්න පෙන්නුම් කළේය. එවැනි විධිවිධාන සාකච්ඡා කරන වෘත්තීය සමිති නිලධාරීහු තම සාමාජිකයන්ගේ අයිතිවාසිකම් පාවා දෙමින් තම තනතුරු සුරක්ෂිත කර ගනිති. CIMP පනත මෙම ආකෘතිය මාධ්‍යවේදයට ද ව්‍යාප්ත කරයි: එනම් වරලත් ආයතනයක් නිර්මාණය කිරීම, අවනත පුද්ගලයන් එයට පත් කිරීම සහ වෘත්තිය ඇතුළතින්ම විනයගත කිරීම සඳහා එය භාවිතා කිරීමයි. 

​පාවාදීමේ පන්ති ස්වභාවය 

​CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන් ක්‍රියා කරන්නේ නොදැනුවත්කම නිසා නොවේ. ඔවුන් ක්‍රියා කරන්නේ පන්ති උවමනාවන් මතය — එනම් රාජ්‍ය වාරණයට වඩා, කම්කරු පන්තියේ ස්වාධීන බලමුලු ගැන්වීමට සහ අන්තර්ජාලයේ නියාමනය නොකළ ප්‍රජාතන්ත්‍රවාදී කතිකාවට බිය වන, වරප්‍රසාදිත ස්ථරයක උවමනාවන් මතය. ශ්‍රී ලංකාවේ ප්‍රධාන ධාරාවේ ආයතනික මාධ්‍ය දැනටමත් කතිපයාධිකාරීන් (පරපුටු මහා ව්‍යාපාරික කිහිපය) සහ රාජ්‍යය විසින් දැඩි ලෙස පාලනය කරනු ලැබේ. එහි ජ්‍යෙෂ්ඨ වෘත්තිකයන් බොහෝ කලකට පෙර සිටම දේශපාලන බලය සමඟ සමාදාන වී ඇත. ඔවුන්ව භීතියට පත් කරන්නේ රජයේ මර්දනය නොව, ස්වාධීන මාර්ගගත (online) මාධ්‍යවල නැගීමයි — එනම් වෘත්තියේ ස්ථාපිත ධුරාවලියෙන් බැහැරව ක්‍රියා කරන සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කප්පාදු පියවර, පෞද්ගලීකරණය සහ අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ කෝපයට හඬක් දෙන බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය විචාරකයන්, යූ ටියුබ්කරුවන්, පුරවැසි මාධ්‍යවේදීන් සහ සමාජවාදී ප්‍රකාශනයි. 

​CIMP පනත, “අන්තර්ගතය තනන්නන්” රාජ්‍යයේ විනය උපකරණ යටතේට පත් කිරීම මඟින්, මෙම තරඟකාරිත්වය තුරන් කිරීමට පොරොන්දු වෙයි. ආයතනගත මාධ්‍යවේදියාට මෙම පනත මාධ්‍ය නිදහසට තර්ජනයක් නොවේ — එය ඔවුන්ගේ වෘත්තීය බලකොටුව වටා ඇති දිය අගලකි. ඔවුන්ව සහතික කරනු ලැබෙනු ඇත. ඔවුන්ගේ ප්‍රතිවාදීන් ලේඛනයෙන් ඉවත් කරනු ලැබෙනු ඇත. නිදහස් ප්‍රකාශනයේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය බලපත්‍රලාභී වරප්‍රසාදයක් බවට පරිවර්තනය කරනු ඇති අතර, ඔවුන් එම බලපත්‍රලාභීන් අතර සිටිනු ඇත. 

​මෙය වඩාත්ම භයානක ආකාරයේ ප්‍රතිගාමී ස්ථාවරයකි. වෘත්තීය සමිති නිලධාරී තන්ත්‍රය විසින් තැපැල් සේවකයන්ගේ, විදුලි සේවකයන්ගේ සහ සෞඛ්‍ය සේවකයන්ගේ වැඩ වර්ජන මර්දනය කිරීමට හේතු වූයේද මෙම මානසිකත්වයමය — එනම් රාජ්‍ය උපකරණ තුළ තම තනතුරු රැක ගැනීම සඳහා පුළුල් කම්කරු පන්තියේ අවශ්‍යතා පූජා කිරීමයි. එය මූල්‍ය ප්‍රාග්ධනයේ නියෝග ප්‍රවාහනය කරන වාහකයක් ලෙස සේවය කිරීම සඳහා යටත් විජිත සහ අර්ධ යටත් විජිත රටවල අධිරාජ්‍යවාදය විසින් පෝෂණය කරනු ලබන වරප්‍රසාදිත ස්ථරය වන කම්කරු ප්‍රභූතන්ත්‍රයේ (labor aristocracy) මානසිකත්වයයි. 

​උගුලක් මිස සෙවණක් නොවේ 

​CIMP පනතෙන් තමන්ට ප්‍රතිලාභ ලැබෙනු ඇතැයි සිතන මාධ්‍යවේදීන් මුළාවක පසුවෙති. වරප්‍රසාද ලබා දෙන රාජ්‍යයට ඒවා ආපසු ලබා ගත හැකිය. මාධ්‍ය අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන අන්තර්කාලීන කවුන්සිලය — අමාත්‍යාංශ ලේකම්වරයාගෙන් සහ දේශපාලන පත්වීම්ලාභීන් හය දෙනෙකුගෙන් සමන්විත වන අතර — “වෘත්තීය විෂමාචාරය” නිර්වචනය කරන රීති ලියනු ඇත. එම රීති ලියනු ලබන්නේ මාධ්‍යවේදයේ අවංකභාවය (integrity) ආරක්ෂා කිරීමට නොවේ. ඒවා ලියනු ලබන්නේ රජය විවේචනය කිරීම නිශ්ශබ්ද කිරීමටය. අද දින අක්තපත්‍ර පිළිගන්නා මාධ්‍යවේදියා, වැඩ වර්ජනයක් වාර්තා කිරීම, දූෂණ වංචාවක් හෙළිදරව් කිරීම හෝ IMF වැඩසටහන විවේචනය කරන ලිපියක් පළ කිරීම හේතුවෙන් හෙට දින සාමාජික ලේඛනයෙන් ඉවත් කරනු ලැබිය හැකිය. විශ්‍රාම වැටුප, බැංකු ණය, වීසා පහසුකම් — මේ සියල්ල මාධ්‍යවේදියා සීමාවෙන් ඔබ්බට පියවර තබන මොහොතේම අතුරුදහන් වනු ඇත. 

​මාධ්‍ය නිදහසේ එකම විශ්වාසදායක සහතිකය රාජ්‍යය විසින් නිකුත් කරන ලද වෘත්තීයභාවය පිළිබඳ සහතිකයක් නොවේ. එම සහතිකය වන්නේ කම්කරු පන්තියේ සංවිධානාත්මක බලයයි. රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම මඟින් රාජ්‍ය මර්දනයෙන් තමන්ව ආරක්ෂා කර ගැනීමට උත්සාහ කරන මාධ්‍යවේදීන්ට පෙනී යනු ඇත්තේ, ඔවුන් තමන්ව එයට වඩාත් ගොදුරු කර දී ඇති බව පමණි. ඔවුන් තම ස්වාධීනත්වය කැඳ කෝප්පයක් වෙනුවෙන් පාවා දී ඇති අතර, නියමිත වේලාවට ඔවුන්ව ගිල දමනු ඇත. 

​මාධ්‍යවේදීන් කම්කරු පන්තිය සමඟ බැඳීගත යුතුය 

​CIMP පනත මුලින් වෘත්තීය අභිවෘද්ධිය සඳහා වූ අවස්ථාවක් ලෙස සැලකූ අය ඇතුළුව සියලුම අවංක මාධ්‍යවේදීන්ගෙන් ශ්‍රී ලංකාවේ හා දකුණු ආසියාවේ සමාජවාදී නායකත්වය (SLLA) ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිගාමී දිශානතියෙන් තීරණාත්මක ලෙසම මිදෙන ලෙසයි. CIMP පනතට එරෙහි සටන වෘත්තීය ප්‍රභූ පැලැන්තියක වරප්‍රසාද සඳහා වන සටනක් නොවේ. එය සමස්ත කම්කරු පන්තියේ, සියලුම “අන්තර්ගත නිර්මාණකරුවන්ගේ” (content creators) ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් සඳහා වන සටනකි. ධනේශ්වර රාජ්‍යයේ අනුග්‍රහය සෙවීමෙන් මාධ්‍යවේදීන්ට තම ප්‍රකාශන අයිතිය ආරක්ෂා කර ගත නොහැක. ඔවුන්ට එය ආරක්ෂා කර ගත හැක්කේ එම රාජ්‍යය පෙරළා දැමීමට බලය ඇති පන්තිය සමඟ එක්වීමෙන් පමණි. 

  • ​අල්ලස ප්‍රතික්ෂේප කරනු! රක්ෂණ, විශ්‍රාම වැටුප්, ණය සහ වීසා පිළිබඳ රජයේ පොරොන්දුව ඔබේ යදම් සදහා ගෙවන මිලයි. කිසිදු ද්‍රව්‍යමය දිරිගැන්වීමක් මාධ්‍ය නිදහස පාවා දීමට තරම් වන්නේ නැත! 
  • ​රාජ්‍යය සමඟ සහයෝගයෙන් කටයුතු කරන ආයතනගත මාධ්‍යවේදීන්ගෙන් මිදෙනු! ඔවුන්ගේ “වෘත්තීයභාවය” පන්ති පාවාදීම සඳහා වූ වැස්මකි. ඔවුන් මාධ්‍යවේදය වෙනුවෙන් කතා නොකරයි — ඔවුන් කතා කරන්නේ තමන්ගේම වෘත්තීය ජීවිතය වෙනුවෙනි! 
  • ​මාධ්‍යවේදීන් හා කම්කරු පන්තියේ එක්සත්කම සඳහා සටන් කරනු! මාධ්‍ය නිදහස සඳහා වන සටන IMF කප්පාදු පියවරවලට එරෙහිව, අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහිව සහ සමාජයේ සමාජවාදී ප්‍රතිසංවිධානය සඳහා වන සටනෙන් වෙන් කළ නොහැක! 
  • ආයතනික මාධ්‍ය හිමිකරුවන්ගෙන්, වෘත්තීය සමිති නිලධාරිවාදයෙන් සහ රාජ්‍යයෙන් ස්වාධීනව, බාධාවකින් තොරව ප්‍රකාශනය කිරීමේ අයිතිය වෙනුවෙන් සටන් වැදීම සදහා ​මාධ්‍ය කම්කරුවන්ගේ ක්‍රියාකාරී කමිටු ගොඩනගනු! 
  • ​CIMP පනත පරාජය කරනු! මාධ්‍යවේදීන් රාජ්‍ය බලපත්‍රගත කිරීමට එරෙහි වනු! මාධ්‍ය නිදහස යනු අයිතිවාසිකමකි, වරප්‍රසාදයක් නොවේ! 

​රාජ්‍යයට සේවය කරන ​පන්හිද රාජ්‍යය විසින්ම බිඳ දමනු ඇත. කම්කරු පන්තියට සේවය කරන ​පෑන කම්කරු පන්තිය විසින් ආරක්ෂා කරනු ඇත. මාධ්‍යවේදීන් තමන් සිටින්නේ කුමන පාර්ශවයේද යන්න තෝරා ගත යුතුය. 

​*Sri Lankan union agrees to government censorship of health employees (07 August 2023) https://www.wsws.org/en/articles/2023/08/,07/rhjc-a07.html

පන්හිඳ පාවාදීම: යෝජිත CIMP පනත පිළිගන්නා මාධ්‍යවේදීන්ගේ ප්‍රතිගාමී ආකල්පය පරාජය කරනු!  Read More »

Scroll to Top