World Economy

Cloudflare

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද?

ටොම් හෝල් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “How workers can fight the wave of AI layoffsයන හිසින් පළවූ ටොම් හෝල් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cloudflare
2025 නොවැම්බර් 18 අඟහරුවාදා දින නිව්යෝර්ක් කොටස් වෙළඳපොළ පරිශ්‍රයේ ඇති ගනුදෙනු කුටියකට ඉහළින් ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගමේ ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති අයුරු. (AP Photo/Richard Drew) [AP Photo/Richard Drew]

කෘතිම බුද්ධි (AI) තාක්ෂණයන් හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස, මහා පරිමාණ සමාගම් විසින් රැකියා අහෝසි කිරීමට, වැටුප් පහත හෙළීමට සහ මිලියන සංඛ්‍යාත සේවකයන් අතිරික්ත පිරිසක් ලෙස ප්‍රකාශ කිරීමට පියවර ගැනීමත් සමඟ, මහා පරිමාණ වශයෙන් රැකියා කප්පාදු කිරීමක් ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

මැයි 7 වන දින, තාක්ෂණික ආරක්ෂණ සමාගමක් වන ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගම සිය ශ්‍රම බලකායෙන් සියයට 20ක් කප්පාදු කරන බව නිවේදනය කළේය. එහිදී පීඩාවට පත් වූ සේවකයන් 1,100 දෙනා වෙත විද්‍යුත් තැපෑල (email) මාර්ගයෙන් දැනුම් දී තිබුණේ, ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ප්‍රින්ස් (Matthew Prince) විසින් “නියෝජිත කෘතිම බුද්ධි යුගය” (the agentic AI era) ලෙස හඳුන්වනු ලබන වටපිටාව තුළ ඔවුන්ගේ තනතුරු සඳහා තවදුරටත් අනාගතයක් නොමැති බවයි.

සමස්ත වෙබ් අඩවිවලින් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට සේවා සපයන මෙම සමාගමේ අන්තර්ජාල ආරක්ෂණ සේවා සහ අන්තර්ගත බෙදාහැරීමේ ජාලය (Content Delivery Network)  අන්තර්ජාලයේ ව්‍යුහය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ෆෝර්චූන් 500 (Fortune 500) ලැයිස්තුවේ ඇති සමාගම්වලින් සියයට 35ක්ම තමන්ගේ සේවාවන් භාවිතා කරන බව ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම පවසන අතර, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමඟ ද ඔවුන් සතුව ගිවිසුම් රැසක් පවතී. පෙබරවාරි මාසයේදී, ට්‍රම්ප්ගේ “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) වැඩසටහනේ කොටසක් වන, මිසයිල ආරක්ෂක ඒජන්සියේ (Missile Defense Agency) ඩොලර් බිලියන151ක ෂීල්ඩ් (SHIELD) වැඩසටහන සඳහා වන එක් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ද මෙම සමාගම ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම රැකියා කප්පාදු නිවේදන නිකුත් වූයේ, සමාගම සිය ඉතිහාසයේ ඉහළම කාර්තුමය ආදායම වන ඩොලර් මිලියන 639.8ක් වාර්තා කළ දිනයේදීමය. එය පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 34ක වර්ධනයකි. එවැනි වාර්තාගත කාර්තුවකින් පසුව මෙතරම් බරපතළ කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය වූයේ මන්දැයි විශ්ලේෂකයෙකු ප්‍රශ්න කළ විට, ප්‍රින්ස් පිළිතුරු දුන්නේ, “ඔබ දැනටමත් ශක්තිමත් (fit) මට්ටමක සිටින පලියට, ඔබට ඊටත් වඩා ශක්තිමත් (fitter) විය නොහැකි බව ඉන් අදහස් වන්නේ නැත” යනුවෙනි.

මෙම නිවේදනය ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මහා පරිමාණ රැකියා කප්පාදු රැල්ලක නවතම පියවර වන අතර, එහිදී කෘතිම බුද්ධිය (AI) යන්න රැකියා විනාශ කිරීම සහ ශ්‍රම පිරිවැය පහත හෙළීම සඳහා පාලක පන්තිය සතු වී ඇති බලගතුම නව මෙවලම බවට පත්ව ඇත.

මෙය වැඩකරන පන්තියට එරෙහිව දියත් කර ඇති ගෝලීය යුද්ධයක් වන අතර, රැකියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ව්‍යාපාරයකින් ඊට පිළිතුරු දිය යුතුය. මෙහි ඇති ප්‍රධානතම කරුණ වන්නේ, මෙම බලගතු නව තාක්ෂණයන්හි පාලනය මහා ව්‍යාපාරික කතිපයාධිකාරයේ (corporate oligarchy) ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees) විසින්, ශීඝ්‍රයෙන් වේගවත් වන මෙම රැකියා සමූලඝාතනයට එරෙහිව මහා පරිමාණ ප්‍රතිරෝධයක් දැක්වීම දිරිගන්වන අතරම, එය සංවිධානය කරමින් ද සිටියි.

චැලෙන්ජර්, ග්‍රේ ඇන්ඩ් ක්‍රිස්මස් (Challenger, Gray & Christmas) නම් ප්‍රතිනියුක්ති සේවා සපයන (outplacement-රැකියා නියුක්ති උපදේශන) ආයතනයට අනුව, 2026 වසරේ පළමු මාස හතර තුළ ඇමරිකානු සේවායෝජකයන් විසින් රැකියා 300,000කට වඩා කප්පාදු කිරීමට නිවේදනය කර ඇත. එහිදී තාක්ෂණික අංශය (රැකියා 85,411ක්) ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර, එය දෙවන ස්ථානයට පත් වූ ප්‍රවාහන අංශයට (33,479) වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයකි. පිට පිටම දෙවන මාසයටත්, මෙම රැකියා කප්පාදු සඳහා ප්‍රධානතම හේතුව ලෙස දක්වා තිබුණේ කෘතිම බුද්ධියයි (AI).

කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව, “තොරතුරු” අංශය පිට පිට මාස 16ක් තිස්සේ රැකියා අහිමිවීම්වලට මුහුණ දී ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ පැවති එහි උපරිම මට්ටමේ සිට රැකියා 342,000ක්,  එනම් සියයට 11ක්  අහිමි වී ඇත.

සමස්තයක් ලෙස ගත් කල, මෙලෙස රැකියා කප්පාදු කරන තාක්ෂණික සමාගම් ලාභ ලබනවා පමණක් නොව, කෘතිම බුද්ධි (AI) උත්පාතය (boom) තුළ ප්‍රධාන භූමිකාවක් ද ඉටු කරයි. ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා (Meta) සමාගම තනතුරු 8,000ක් අහෝසි කරමින් පවතින අතර, පුරප්පාඩුව පැවති තනතුරු 6,000ක් අවලංගු කරමින් සිටියි. එමෙන්ම ඔවුන් මෙම වසරේදී ඩොලර් බිලියන 145ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අතිමහත් බහුතර කොටසක්ම යොමු කර ඇත්තේ කෘතිම බුද්ධි යටිතල පහසුකම් සඳහාය. මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සිය වසර 51ක ඉතිහාසය තුළ පළමු වරට සේවකයන් 8,750ක් දක්වා ඉලක්ක කර ගනිමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ (buyout) වැඩසටහනක් ආරම්භ කර ඇත. ඔරකල් (Oracle) සමාගම සේවකයන් 30,000ක් දක්වා ඉවත් කරමින් සිටී. ටයිම් (Time) සඟරාව වෙත සේවකයන් ප්‍රකාශ කර ඇති පරිදි, පසුව තමන්වම අතිරික්ත සේවකයන් බවට පත් කිරීමට හේතු වූ කෘතිම බුද්ධි පද්ධති පුහුණු කිරීම සඳහා සිය අවසන් මාස කිහිපය කැප කළ පුද්ගලයන් ද ඒ අතර වෙති.

කොටස් වෙළඳපොළ විසින් මහා පරිමාණ රැකියා කප්පාදු නිවේදන සඳහා, විශේෂයෙන්ම ඒවා කෘතිම බුද්ධි (AI) ප්‍රතිව්‍යුහගතකරණයන් සමඟ සම්බන්ධ වන විට, ඊට වාසි සහගත ලෙස ප්‍රතිචාර දක්වමින් (rewarding) සිටින අතර, එය වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත විසින් “මහා පරිමාණ රැකියා කප්පාදු යුගය” (era of the mega-layoff) ලෙස හඳුන්වන වටපිටාවකට මග පාදා ඇත.

තාක්ෂණික ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වන ලාභ සහ මහා පරිමාණ රැකියා කප්පාදු එකට ඒකාබද්ධ කරමින් සිටින අතරතුර, පාලක පන්තිය විසින් එක රැයකින් රැකියා විනාශ කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ අත්හදා බැලූ ක්‍රමවේදයක් ලෙස බංකොලොත්භාවය ද යොදා ගනිමින් සිටියි. පසුගිය සතියේ එක රැයකින් බිඳ වැටීමට ලක්වෙමින්, සේවකයන් 17,000කට රැකියා අහිමි කළ ස්පිරිට් එයාර්ලයින්ස් (Spirit Airlines) සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ ද එයම ය. ඒ සඳහා ක්ෂණිකවම බලපෑ හේතුව වූයේ ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල දෙගුණ වීමයි. ගුවන් සේවා කර්මාන්තයේ මීළඟ වටයේ සමාගම් ඒකාබද්ධ කිරීම් වේගවත් කිරීම සඳහා, ස්පිරිට් සමාගම මූල්‍යමය වශයෙන් මුදවා ගැනීම (bail out) ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෘතිම බුද්ධිය (AI) ක්ෂණිකවම බලපාන සාධකයක් නොවන අනෙකුත් අංශවල ද මහා පරිමාණ රැකියා කප්පාදු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. භාණ්ඩ සැපයුම් (Logistics) ක්ෂේත්‍රයේදී, UPS සමාගම සිය ස්වයංක්‍රීය මහා පරිමාණ මධ්‍යස්ථාන (automated mega-hubs) හරහා තනතුරු 68,000ක් අහෝසි කර හෝ අහෝසි කිරීම ඉලක්ක කර ඇති අතර, මෙම වසරේ අගභාගයේදී තවත් මධ්‍යස්ථාන 26ක් වසා දැමීමට නියමිත බව ඔවුන් මෑතකදී නිවේදනය කළේය. මෝටර් රථ ක්ෂේත්‍රයේදී, වොක්ස්වැගන් (Volkswagen) සමාගම 2030 වන විට රැකියා 50,000ක් කප්පාදු කිරීමට ඉලක්ක කරන ඇත.  රෙනෝල්ට් (Renault) සමාගම සිය ඉංජිනේරු ශ්‍රම බලකායෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් කප්පාදු කරමින් සිටියි; එමෙන්ම ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයෝ ද දහස් ගණනින් සේවකයන් ඉවත් කරමින් සිටිති.

එසේ වුවද, පාලක පන්තියේ සමස්ත මහා පරිමාණ රැකියා කප්පාදු සැලසුම් තුළ කෘතිම බුද්ධිය (AI) සුවිශේෂී ලෙස කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටියි. Cash App සහ Square යන සේවාවන්හි හිමිකාරීත්වය දරන මූල්‍ය තාක්ෂණික සමාගමක් වන බ්ලොක් (Block) සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි (Jack Dorsey), සමස්ත සමාගමෙන් සියයට 40ක් කප්පාදු කරමින් සිටින අතර ඔහු ප්‍රකාශ කරන්නේ, “ලබන වසර ඇතුළත බහුතරයක් සමාගම් මෙම නිගමනයටම එළඹෙනු ඇතැයි” තමන් විශ්වාස කරන බවයි. 

ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ ඇමඩේයි (Dario Amodei) අනාවැකි පළ කරන්නේ, වසරක් ඇතුළත සියලුම මෘදුකාංග කේත (software code) පාහේ කෘතිම බුද්ධිය (AI) මගින් ලියවෙනු ඇති බවයි. ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet) හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි (Sundar Pichai) පවසන්නේ, ගූගල් හි නව කේතයන්ගෙන් හතරෙන් තුනක්ම දැනටමත් කෘතිම බුද්ධිය මගින් ලියා ඇති බවයි. ආයෝජක විනෝද් ඛෝස්ලා (Vinod Khosla) පුරෝකථනය කරන්නේ 2030 වන විට, “සියලුම රැකියාවලින් සියයට 80ක් කෘතිම බුද්ධියක් (AI) මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇති” බවයි.

ගැටලුව පවතින්නේ කෘතිම බුද්ධිය (AI) තුළම නොවේ. එය වෙහෙසකර හා නීරස කාර්යයන් (drudgery) තුරන් කිරීමට සහ ඵලදායිතාව (productivity) විශාල වශයෙන් ඉහළ නැංවීමට මෙන්ම, මානව ඉගෙනීමේ විභවය (potential) අතිශයින් වේගවත් කරන අතරතුර, වැඩ කරන දිනය සෛද්ධාන්තිකව අවම මට්ටමක් දක්වා අඩු කිරීමේ හැකියාව පවතින අතිවිශිෂ්ට තාක්ෂණයකි.

මෙහි ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය පාලනය කරන්නේ කවුරුන්ද යන්නයි. එය පෞද්ගලික හිමිකාරීත්වයේ විලංගුවලින් නිදහස් කළ යුතුය. කෘතිම බුද්ධි (AI) පද්ධති සංවර්ධනය කිරීම සහ පුහුණු කිරීම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජීය ශ්‍රමයකි (social labor), එබැවින් එහි ප්‍රතිලාභ සැමට හිමි විය යුතුය.

කෘතිම බුද්ධි පද්ධති ගොඩනැගී ඇත්තේ මිලියන සංඛ්‍යාත සේවකයන්ගේ සමුච්චිත ශ්‍රමය, දැනුම සහ නිර්මාණශීලී දායකත්වය මතය: මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ලියන ලද කේත (code), පාරිභෝගික සේවා නියෝජිතයන් විසින් මෙහෙයවන ලද සංවාද, පර්යේෂකයන් සහ දත්ත විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ ඒ අතර වේ.

කෘතිම බුද්ධිය (AI) ධනවාදී පද්ධතියේ පදනමටම මාරාන්තික ලෙස පහර දෙයි. අවශ්‍ය කරන ශ්‍රම ප්‍රමාණය වසර කිහිපයක් ඇතුළත සියයට 80කින් අඩු කළ හැකි බවට ඛෝස්ලා අනාවැකි පළ කරන විට, හෝ තාක්ෂණික විධායකයින් කෘතිම බුද්ධිය මගින් ජනිත වන “අතිරික්ත සම්පත්” (abundance) ගැන කතා කරන විට, ඒ පිළිබඳව ඔවුන්ටම වැටහීමක් නොමැති වුවද, ඔවුන් ඒ විස්තර කරන්නේ  ධනවාදය මුළුමනින්ම යල් පැන ගොස් ඇති බවට වන තත්වයන් ය. 

සැබවින්ම, ධනවාදය යටතේ මෙම තාක්ෂණයේ විභවය (potential) කිසිදා සාක්ෂාත් කර ගත නොහැක. මන්ද, ධනවාදයට පැවැත්ම සඳහා මෙම තාක්ෂණය සීමා කිරීමට, විකෘති කිරීමට සහ අවියක් ලෙස යොදා ගැනීමට සිදු වන බැවිනි. එය අතිරික්ත සම්පත් (abundance) වෙනුවට මහා පරිමාණ විරැකියාව නිර්මාණය කරයි. වෙහෙසකර හා නීරස කාර්යයන්ගෙන් (drudgery) මිනිසා නිදහස් කිරීම වෙනුවට, සේවයේ ඉතිරි වන පිරිස සඳහා එම වෙහෙස තවදුරටත් තීව්‍ර කරයි. මානව සංවර්ධනය වෙනුවට, සේවකයන්ගේම දැනුමෙන් ගොඩනැඟූ පද්ධති මගින්ම ඔවුන්ව “අතිරික්ත පිරිසක්” ලෙස නම් කරන පරම්පරාවක් එය විසින් බිහි කරනු ලබයි.

මේ අතර, නව තාක්ෂණය (new technology) සහ එය සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් (resources) මෙන්ම සැපයුම් දාම (supply chains) කෙරෙහි පාලනය තහවුරු කර ගැනීම, අධිරාජ්‍යවාදී යුද්ධයේ (imperialist war) වර්ධනය කෙරෙහි වඩ වඩාත් කේන්ද්‍රීය සාධකයක් බවට පත්ව තිබේ—එම යුද්ධය අද ඉරානයට සහ රුසියාවට එරෙහිවත්, හෙට චීනයට එරෙහිවත් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයට සමාජවාදී ප්‍රතිචාරය වන්නේ, ධනවාදී දේපළ අයිතියේ “අයිතිවාසිකමට” එරෙහිව වැඩකරන පන්තිය විසින් එල්ල කරනු ලබන සෘජු ප්‍රහාරයකි. කෘත්‍රිම බුද්ධිය (AI) නියාමනය කළ යුතු බවට, එය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට හෝ වෘත්තීය සමිති-කළමනාකාරිත්ව මණ්ඩලවල පාලනයට යටත් කළ යුතු බවට බලකරමින් ප්‍රතිචාර දක්වන ව්‍යාජ-වම්මු (pseudo-left), එමඟින් පන්ති අරගලය පිළිබඳ වන කේන්ද්‍රීය ප්‍රශ්නය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරති. තවද බොහෝ අවස්ථාවලදී ඔවුන් මෙම විරෝධය යොමු කරනු ලබන්නේ තාක්ෂණික ප්‍රගතියට එරෙහි ප්‍රතිගාමී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.

වෘත්තීය සමිති නිලධාරිවාදය මෙම අරගලය දියත් කිරීමට අසමත්ය. ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළත් (ඇත්ත වශයෙන්ම ඔවුන්ට එවැනි වුවමනාවක් නැත), ධනවාදයට සහ ජාතිකවාදයට සහයෝගය දැක්වීමේ පදනම මත ඔවුන් කළමනාකාරිත්වය සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී සිටීම මීට හේතුවයි.

මහා පරිමාණ සේවක දොට්ට දැමීම්වලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය වී ඇත්තේ මුළුමනින්ම පාහේ, ඇත්ත වශයෙන්ම වරදකාරී වූ නිහඬතාවයකි. මෝටර් රථ කර්මාන්තය තුළ, එක්සත් මෝටර් රථ සේවක සමිතිය (UAW) පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සිදු වූ දහස් සංඛ්‍යාත රැකියා කප්පාදු පිළිබඳව කිසිවක් පවසා නැත. පසුගිය සතියේ, ස්ටර්ලින් හයිට්ස් එකලස් කිරීමේ කම්හලේ පැවැත්වීමට තිබූ වැඩවර්ජන ඡන්ද විමසීමක් අවසන් මොහොතේදී ඔවුන් අවලංගු කළේය. ඕස්ට්‍රේලියාවේ ජාතික වෘත්තීය සමිති සම්මේලනය මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සමඟ විධිමත් ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් මෙහෙයවනු ලබන ප්‍රතිව්‍යුහගත කිරීම් සේවකයන්ට වාසිදායක දෙයක් ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වෘත්තීය සමිති නිලධාරීන්ට පුහුණුව ලබා දීමට නියමිතය. තවද, සේවා ස්ථාන තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට එරෙහිව සිදුවන ඕනෑම නියාමන මැදිහත්වීමකට එරෙහිව ඔවුහු මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ එක්ව පෙනී සිටිති.

මහජන සහ ලෝක ව්‍යාප්ත කම්කරු පන්ති ව්‍යාපාරයකට නව සංවිධාන ආකෘතීන් අවශ්‍ය වේ: එනම් පවත්නා යාන්ත්‍රණයෙන් ස්වාධීනව ගොඩනගන ලද, වෙනත් අවශ්‍යතා පවතින නිලධාරිවාදයන්ගෙන් අවසර නොපතා ක්‍රියාමාර්ග සූදානම් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති ‘කම්කරු ක්‍රියාකාරී කමිටු’ (rank-and-file committees) වේ. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ලොව පුරා කර්මාන්තශාලා තුළ ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් ලෝක පරිමාණයෙන් මෙම සංවිධාන ගොඩනැගීම සඳහා පෙනී සිටියි.

එවැනි ව්‍යාපාරයක ප්‍රධාන ඉල්ලීම් විය යුත්තේ:

  • කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් එකදු සේවක දොට්ට දැමීමක් හෝ සිදු නොකළ යුතුය! කෘත්‍රිම බුද්ධිය මඟින් සැබවින්ම ඵලදායිතාව ඉහළ නංවන්නේ නම්, එහි ප්‍රතිලාභ අයිති විය යුත්තේ එම ඵලදායිතාව බිහි කළ සේවකයන්ටය. වැටුප් කප්පාදුවකින් තොරව, සතිපතා වැඩ කරන කාලය ඊට සමානුපාතිකව කෙටි කළ යුතුය. 
  • නව තාක්ෂණය හඳුන්වා දීම කෙරෙහි සේවක පාලනයක් පැවතීම. ඵලදායිතා ප්‍රතිලාභ බෙදා හරින ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට, සැබෑ නිෂේධ බලයක් (veto power) හිමි කර ගැනීමට සහ ඒ කෙරෙහි සැබෑ පාලනයක් පැවැත්වීමට සේවකයන්ට අවස්ථාව තිබිය යුතුය.
  • ස්පිරිට් (Spirit) සේවකයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ රැකියා අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස ද ඇතුළුව, යම් හේතුවක් නිසා දැනටමත් රැකියා අහිමි වී ඇති සියලුම සේවකයන් සඳහා හොඳ වැටුපක් සහිත, තෘප්තිමත් රැකියා ලබා දීම.
  • ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්, බැංකු සහ මූල්‍ය ආයතන පොදු අයිතියට පවරා ගැනීම (රාජසන්තක කිරීම) සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ අයිතිය ද ඇතුළුව, ඒවා වැඩකරන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින පොදු උපයෝගිතා සේවාවන් බවට පරිවර්තනය කිරීම.

සේවක දොට්ට දැමීම්වලට සහ “කෘත්‍රිම බුද්ධි ප්‍රතිව්‍යුහගත කිරීම්වලට” එරෙහි අරගලය කර්මාන්තශාලාවෙන් කර්මාන්තශාලාවට හෝ රටින් රටට (තනි තනිව) දියත් කළ නොහැකිය. මහා පරිමාණ සමාගම් ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, දේශසීමා හරහා වැඩ මාරු කරමින් (shift)  සේවකයන් එකිනෙකා කෙටවීම සඳහා ජාතිකවාදය භාවිත කරයි. මීට ඇති එකම පිළිතුර වැඩකරන පන්තියේ ජාත්‍යන්තර එකමුතුවයි. එනම් තාක්ෂණ, සැපයුම් (logistics), නිෂ්පාදන, අධ්‍යාපන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සේවකයන් පොදු අරගලයක් තුළට ඒකාබද්ධ කිරීමයි.

ජීවනෝපායන් විනාශ කරනවා වෙනුවට තාක්ෂණය මිනිස් සංවර්ධනයට සේවය කරන අනාගතයක් සහ වැඩකරන පන්තිය අතර බාධාවක්ව පවතින්නේ තාක්ෂණික ගැටලුවක් නොව, සමාජීය සහ දේශපාලනික ගැටලුවකි; එනම් නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියයි. අප විසින් පරාජය කළ යුත්තේ එයයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද? Read More »

Trump visit

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “Trump and Xi to meet amid global eruption of imperialist warයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump visit
2026 මැයි 11 වන සඳුදා දින බීජිංහිදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට පෙර බීජිං ජාත්‍යන්තර අගනුවර ගුවන් තොටුපළ වෙත ළඟා වන ඇමරිකානු ගුවන් හමුදාවට අයත් බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III (Boeing C-17 Globemaster III) ප්‍රවාහන ගුවන් යානයක් මිනිසුන් විසින් රූපගත කරනු ලබයි. [AP ඡායාරූපය/ඇන්ඩි වොන්ග්]

වොෂින්ටනය විසින් දියත් කරන ලද අධිරාජ්‍යවාදී යුද්ධයක ගෝලීය ප්‍රචණ්ඩකාරී රැල්ලක් මධ්‍යයේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මේ සතියේදී බීජිංහිදී හමුවීමට නියමිතය.

දකුණු කොරියාවේ පැවැති ඒපෙක් (APEC) සමුළුවට සමගාමීව ඔවුන් අතර පැවැති හමුවෙන් පසු ගත වූ මාස හයක කාලය තුළ, එක්සත් ජනපදය වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව පැහැරගෙන, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති අතර, ගෝලීය බලශක්ති සහ ආහාර අර්බුදයක් නිර්මාණය කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය ද අවහිර කර ඇත. ඉරානය සහ වෙනිසියුලාව යන රටවල් දෙකෙහිම තෙල් අපනයනයන් සඳහා වන විශාලතම ගමනාන්තය චීනය වේ. එම රටවලට එරෙහිව ට්‍රම්ප් දියත් කර ඇති යුද්ධ, චීනයම ඉලක්ක කරගත් ගෝලීය ගැටුමක ආරම්භක ගැටුම් වේ.

ට්‍රම්ප් විසින් දියත් කරන ලද ලෝක ව්‍යාප්ත මහා යුද ගින්න මධ්‍යයේ, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත සිය සඳුදා කලාපයේ ප්‍රධාන පුවත ලෙස “ට්‍රම්ප් බීජිං බලා යන විට, චීනය සටනකට ‘සන්නද්ධව සහ සූදානමින්’ (Locked and Loaded) සිටියි” යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ කළේය.

සැබවින්ම, “සන්නද්ධව සහ සූදානමින්” (locked and loaded) සිටින්නේ ට්‍රම්ප්ගේ ධවල මන්දිරයයි. මාස ගණනාවක් තිස්සේ, එක්සත් ජනපද හමුදාව කැරිබියන් සහ පැසිෆික් කලාපයන්හි බෝට්ටු මුහුදේදීම පුපුරවා හරිමින්, සිවිල් වැසියන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව පවසමින් ඔවුන්ව සමූල ඝාතනය කරමින් සහ “සම්බාධක පැනවූ” තෙල් ප්‍රවාහනය කළ බවට වන ව්‍යාජ හේතු මත ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිදී තෙල් නැව් (tanker) අත්අඩංගුවට ගනිමින් සිටී. ඇමරිකානු හමුදා ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කර ඇති අතර, අප්‍රේල් 7 වන දින ට්‍රම්ප් තර්ජනය කළේ “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ විනාශ වී යනු ඇත, එය කිසිදා නැවත බිහි කළ නොහැකි වනු ඇත” යනුවෙනි.

ට්‍රම්ප් නායකත්වය දෙන්නේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින රජයකටය. ඔහු ඉරාන යුද්ධය දියත් කළේ එයින් ඉරාන රජය කඩිනමින් පෙරළා දැමීමට හැකි වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. දැන්, සිය යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති බැවින්, ට්‍රම්ප් චීනයේ සහය පතමින් සිටින අතර, එය මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණක් ද වේ.

මැයි 4 වන දින මහා භාණ්ධාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ පරිදි:

“එබැවින් මෙම ජාත්‍යන්තර මෙහෙයුමට සහය දැක්වීම සඳහා අප හා එක්වන ලෙස මම චීනයෙන් ඉල්ලා සිටිමි. සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය අප සතුව පවතී. ඔවුන් යම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට පැමිණ, ඉරාන ජාතිකයන් ලවා සමුද්‍ර සන්ධිය විවෘත කරවා ගැනීමට කටයුතු කරන්නේ කෙසේදැයි අපි බලමු.”

චීන පාර්ශවයෙන්, ‘ග්ලෝබල් ටයිම්ස්’ (Global Times) පුවත්පතේ හිටපු කර්තෘ හූ සිජින් (Hu Xijin) මෙසේ ලියා තිබේ: “එක්සත් ජනපදය මෙම අදූරදර්ශී ලෙස අවුල් කරගත් යුද්ධය චීනයේ අවශ්‍යතාවලට හානි කිරීම සඳහා භාවිත කිරීමට උත්සාහ කරන්නේ නම්, එක්සත් ජනපදයට අහිමි වන දේට වඩා ලැබෙන දේ බෙහෙවින් අඩු බව තහවුරු කෙරෙන, භාවිත කළ හැකි බොහෝ තුරුම්පු චීනය සතුව පවතින බව මම විශ්වාස කරමි.” ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතේ ගිඩියන් රැච්මන් මෙසේ අදහස් දක්වා තිබේ: “කෙසේ වුවද, සැබෑ තත්ත්වය නම්, එය ට්‍රම්ප් ප්‍රිය කරන වාක්‍ය ඛණ්ඩයක් භාවිත කරමින් පවසන්නේ නම් — ‘තුරුම්පු අතැතිව’ සිටින්නේ ෂී ජින්පිං” යන්නයි.

බීජිං වෙත පැමිණීමේදී, ට්‍රම්ප් තමන් සමඟ විවිධ ප්‍රතිලාභ මෙන්ම තර්ජන ද (carrots and sticks) රැගෙන එනු ඇත. ප්‍රතිලාභ ලබාදීමේ පාර්ශවය සැලකීමේදී, ඔහු සමඟ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන්ගෙන් සමන්විත පිරිසක් පැමිණ සිටිති. ඒ අතර ටිම් කුක් (Apple), ඉලොන් මස්ක් (Tesla), ලැරී ෆින්ක් (BlackRock), ස්ටීවන් ෂ්වාට්ස්මන් (Blackstone), ඩේවිඩ් සොලමන් (Goldman Sachs), ජේන් ෆ්‍රේසර් (Citi), මෙන්ම බෝයිං (Boeing), කාගිල් (Cargill), මෙටා (Meta), මයික්‍රෝන් (Micron), ක්වාල්කොම් (Qualcomm), වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) යන සමාගම්වල විධායක නිලධාරීහු ද වෙති. එහිදී දෙපාර්ශවයටම වාසිදායක වන විවිධ ගනුදෙනු ඉදිරිපත් කරනු ඇත.

කෙසේ වුවද, මේ සියල්ලටම යටින් දිවෙන්නේ බීජිං පාලනයට එරෙහිව ආර්ථික හා මිලිටරි ක්‍රියාමාර්ග විශාල වශයෙන් දැඩි කිරීමේ අඛණ්ඩ තර්ජනයයි.

ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රමුඛ කොටස් වෙනුවෙන් පෙනී සිටිමින්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) කතුවැකි මණ්ඩලය බීජිං සමුළුව හඳුන්වා දෙන්නේ, ට්‍රම්ප්ව “ආතතීන් ලිහිල් කිරීමේ” (detente) පිළිවෙතකින් ඉවතට යොමු කළ හැකිද යන්න පිළිබඳ පරීක්ෂණයක් ලෙසය; ඔවුන්ගේ දෘෂ්ටියට අනුව, මෙම පිළිවෙත මඟින් ප්‍රධාන උපායමාර්ගික අවශ්‍යතා අත්හැර දැමීමේ අවදානමක් පවතී. ධවල මන්දිරයේ ප්‍රචාරය අනුව මෙය “‘ස්ථාවරත්වයක්’ සෙවීමක්” බව වුවද, ට්‍රම්ප්ගේ “පෞද්ගලික” රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගනුදෙනු පසුපස හඹා යාම, ෂීගේ “ඇමරිකානු විරෝධී අරමුණු” ලෙස එම පුවත්පත විස්තර කරන දේ සමඟ ගැටිය හැකි බවට ජර්නල් පුවත්පත අනතුරු අඟවයි.

වැඩිම කරුණු ප්‍රමාණයක් අනාවරණය වන්නේ ජර්නල් පුවත්පතේ පුළුල් මූලෝපායික නිගමනයෙනි: එය චීනය එක්සත් ජනපද ප්‍රතිවාදීන් අතර “ප්‍රධාන මූල්‍ය හිමිකරු සහ කාර්මික පදනම” ලෙස දක්වන අතර, “දෙවන ට්‍රම්ප් පරිපාලනය ආතතීන් ලිහිල් කිරීමට (detente) උත්සාහ කරමින් සිටින බවත්, ට්‍රම්ප් මහතා එහි ප්‍රධාන සාමවාදියා (chief dove) වන බවත්” වීමේ අනතුර අඟවයි. නැවත සන්නද්ධ වීම සඳහා “ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් සම්මත කරන ලෙස” පැහැදිලිවම ඉල්ලා සිටින එම පුවත්පත, (ගැටුම්වල ඇති වන) ඕනෑම විරාමයක් පිළිගත හැක්කේ නැවත සන්නද්ධ වීම සඳහා ලැබෙන සහන කාලයක් (breathing space) ලෙස පමණක් බව අවධාරණය කරයි. එය සෘජුවම මෙසේ අනතුරු අඟවයි: “ලෝකයේ ප්‍රමුඛතම බලවතා ලෙස පවතින එක්සත් ජනපදය පෙරළා දැමීම සඳහා ෂී මහතා දිගුකාලීන සැලසුමක (long game) නිරතව සිටියි.”

ට්‍රම්ප්-ෂී සමුළුව පැවැත්වෙන්නේ ඇමරිකානු පාලක පන්තිය මුහුණ දී සිටින මූලික උපායමාර්ගික අර්බුදය මධ්‍යයේ ය. එනම්, ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පිරිහීමට ලක්වීම හමුවේ එය පියවා ගැනීමට වොෂින්ටනය වඩ වඩාත් ආක්‍රමණශීලී යුද බලයක් භාවිතා කිරීමට උත්සාහ කර ඇත. චීනයේ අඛණ්ඩ වර්ධනය මෙම තත්ත්වය සමග සමපාත වී ඇති අතරම, එය තවදුරටත් තීව්‍ර කිරීමට ද හේතු වී තිබේ.

චීනය සමඟ යුද්ධයකට යොමු වීමේ මෙම ප්‍රවණතාවය තුළ සංස්ථාපිත මාධ්‍යයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. වෙළඳාම, ආයෝජන සහ කාර්මික ව්‍යාප්තිය හරහා මෙන්ම, දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය විසින්ම ප්‍රවර්ධනය කරන ලද “නිදහස් වෙළඳ” නීති රීතිවල විධිමත් රාමුව තුළ චීනය ලබා ඇති ආර්ථික හා තාක්‍ෂණික දියුණුව, ඇමරිකාවට එල්ල වූ භෞතික තර්ජනයක් ලෙස එම මාධ්‍ය විසින් හුවා දක්වනු ලබයි. එමගින් චීනයට එරෙහිව බලහත්කාරය පෑම, සම්බාධක පැනවීම සහ යුද්ධය ආදිය “සාධාරණීකරණය” කිරීමට ඔවුන් උත්සාහ කරයි.

වසර ගණනාවක් පුරා එල්ල වූ ඉහළ යන තීරුබදු සහ තාක්ෂණික තහංචි මඟින් චීන කර්මාන්ත ක්ෂේත්‍රය අඩපණ කිරීමට හැකි වී නොමැත. ඒ වෙනුවට, එමඟින් සිදුව ඇත්තේ මූලික ගමන් මඟ වෙනස් කිරීමට අපොහොසත් වෙමින්, ඉහළ මිල ගණන් සහ ආර්ථික අස්ථාවරත්වය හරහා ඇමරිකානු කම්කරුවන් මත විශාල පිරිවැයක් පැනවීමයි. චීනයේ කාර්මික ස්ථාවරත්වය වඩාත් පැහැදිලි සංඛ්‍යාලේඛන මඟින් සනාථ වේ: BYD මෝටර් රථ සමාගම 2025 වසරේදී සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථ මිලියන 2.26ක් අලෙවි කරමින්, ගෝලීය වශයෙන් ටෙස්ලා (Tesla) සමාගමට වඩා වාහන 600,000කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇත. එම වාහන ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීම වළක්වා ඇත්තේ සියයට 247.5ක අසාමාන්‍ය තීරුබදු පැනවීමක් මඟින් පමණි.

වර්තමානයේ ලොව පුරා නිෂ්පාදනය වන සෑම මානවරූපී රොබෝවරුන් (humanoid robots) පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම අපනයනය කරනු ලබන්නේ චීන සමාගම් විසිනි. එහිදී යුනිට්‍රී (Unitree) සමාගම පමණක් 2025 වසරේ ඒකක 5,500ක් අපනයනය කිරීමෙන් පසු, මෙම වසරේදී ඒකක 20,000ක ඉලක්කයක් කරා ගමන් කරයි. ඩී.ජේ.අයි (DJI) ඩ්‍රෝන නිෂ්පාදන සමාගම ඇමරිකානු පාරිභෝගික ඩ්‍රෝන වෙළඳපොළ ආක්‍රමණය කර ඇති අතර, ජාත්‍යන්තර වාණිජ ඩ්‍රෝන ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛ කොටසක් හිමිකරගෙන සිටියි. කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ගත් කල, චීනයේ විවෘත මූලාශ්‍ර (open-source) මහා පරිමාණ භාෂා ආකෘති (large language models), ඇමරිකාවේ ප්‍රමුඛතම පද්ධතිවල පිරිවැයෙන් සුළු කොටසක් වැය කරමින් ඒවායේ මට්ටමට (benchmark points) ඉතා සමීප වීමට සමත්ව ඇත.

නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රකාශන කිසිවිටෙකත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන මෙම ප්‍රශ්නය නොඅසයි: චීනය මෙතරම් වේගයෙන් ඇමරිකානු ආර්ථිකයට සමීප වන්නේ සහ ඇතැම් ක්ෂේත්‍රවලින් ඇමරිකාව අභිබවා යන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයට (ආරම්භයේදීම) ඉතා විශාල වාසියක් තිබුණි. 1980 වසරේදී ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 25ක් පමණ එක්සත් ජනපදය සතු වූ අතර, චීනයේ කොටස වූයේ සියයට 2ක් පමණි.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ එක් අරමුණක් මගිනි: එනම් කිනම් හෝ මිලක් ගෙවා පාලක ප්‍රභූ පැලැන්තිය අසීමිත ලෙස තරබාරු කිරීමයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, එම පන්තිය පොහොසත් කළ, එක්සත් ජනපද කර්මාන්ත විනාශ වීමට මග පෑදූ සහ ලොව පුරා යුද්ධ දියත් කළ මූල්‍යකරණ (financialization) ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඇමරිකානු යුද්ධ, මිලිටරිවාදය සහ ධනවතුන් මුදාගැනීම සඳහා ලබා දුන් නිමක් නැති මූල්‍ය සහනාධාර (bailouts) මගින් පෝෂණය වූ ෆෙඩරල් ණය ප්‍රමාණය දැන් ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වෙමින් පවතී.

ඇමරිකාවේ ඉහළ යන ණය බර සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් බටහිර මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා සම්බාධක දැඩි ලෙස භාවිතා කිරීම හේතුවෙන්, ලොව ප්‍රධාන සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයන් මතු වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

ඇමරිකානු කතිපයාධිකාරය (Oligarchy) ලෝකය තුළ තමන් සතු බලය හීන වීම පිළිගැනීමට සූදානම් නැත. මෙම සමුළුවේ නිශ්චිත ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් වන්නේ මේ වසරේ ට්‍රම්ප්ගේ ක්‍රියාවන් මගින් පෙන්වා දුන් පරිදි චීනයට එරෙහි සෘජු යුද්ධයකට ය. ඉරානය, ලෙබනනය, යුක්රේනය, වෙනිසියුලාව සහ කැරිබියන් කලාපය තුළ පවතින ගැටුම් එම මහා යුද්ධය සඳහා වන පර්යේෂණාගාර, පෙරහුරු සහ මූලික ගැටුම් පමණි.

බීජිං පාලනය සමඟ පවතින ගැටුම කෙරෙහි ට්‍රම්ප් පරිපාලනය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කර ඇත. සෙනෙට් සභා සන්නද්ධ සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් සාමාජිකයෙකු වන රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ සෙනෙට් සභික ජැක් රීඩ් ‘ෆොක්ස් නිව්ස් සන්ඩේ’ වැඩසටහනට පවසා ඇත්තේ, “ජනාධිපති ට්‍රම්ප් මෙම හමුවට සහභාගී වන්නේ අතිශය දුර්වල මට්ටමක සිට” බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැන් පවතින්නේ එකතැන පල්වෙන තත්ත්වයක්. ලෝක තෙල් සම්පතින් සියයට 20ක් ඉරානය විසින් අවදානමට ලක් කර තිබේ,” යනුවෙනි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කනස්සල්ලට හේතුව යුද්ධයේ පවතින සාපරාධී බව නොව, මැදපෙරදිග කලාපයේ සිදුවන මෙම පසුබෑම හේතුවෙන් තම ප්‍රධාන අරමුණ වන චීනය සමඟ පවතින ගැටුම උත්සන්න කිරීම සඳහා අවශ්‍ය සම්පත් සහ විශ්වසනීයත්වය ගිලිහී යාමයි.

චීන නිලධාරිවාදය ද මින් මිදීමට ප්‍රගතිශීලී මාවතක් ඉදිරිපත් නොකරයි. එය ලෝක ධනේශ්වර වෙළඳපොළට සහ ජාතික රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණට බැඳී පවතින අතර, නැවත නැවතත් අධිරාජ්‍යවාදය සමඟ එකඟතාවයකට පැමිණීමට උත්සාහ කර ඇත. එහෙත් වොෂින්ටනය එවැනි එකඟතාවයක් ලබා දීමට වඩ වඩාත් අකමැති වන අතරම, එසේ ලබා දීමටද නොහැක.

මෙම අර්බුදය විසඳිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම හරහා පමණි. එනම්, යුද්ධයට, ආඥාදායකත්වයට සහ ඒ දෙකම නිර්මාණය කරන ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ලොව පුරා විසිරී සිටින කම්කරුවන් එක්සත් කිරීම මගිනි.

ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය සමාරම්භ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කළේය: “ලෝක යුද්ධය යනු අනාගත තර්ජනයක් නොව, දැනටමත් දිගහැරෙමින් පවතින යථාර්ථයකි.’ දැනට සිදුවෙමින් පවතින යුද්ධ, ‘ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින නොවිසඳුණු ප්‍රතිවිරෝධතාවය විසින් මෙහෙයවනු ලබන අඛණ්ඩ ගමන් පථයක අංගයන්” බව නෝර්ත් තවදුරටත් සඳහන් කළේය.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ ගෝලීය පිපිරීම නැවැත්විය හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් පදනම් කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීමෙන් පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කම්කරු කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය එම අරගලය සඳහා වන සංවිධාන ලොව පුරා ගොඩනඟමින් සිටී.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ Read More »

Iran war Video

ඉරානෙට “එක ලොකු එළියක්”— යුද්ධයේ බර ලෝකෙම පීඩිත මහජනතාව මත — YouTube Review

මෙහි පළවන්නේ අප වෙබ් අඩවියේ සංස්කාරක සංජය ජයසේකර සහෝදරයා ඉදිරිපත් කරන භූ-දේශපාලන විවරණයකි. එය ඔහුගේ YouTube නාලිකාවේ ප්‍රසිද්ධ කර ඇත. පහත හැඳින්වීම එමගින් උපුටා ගෙන ඇත:

2026 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකානු අධිරාජ්‍යවාදය (US imperialism) ඉරානයට (Iran) එරෙහිව පටන් ගත්ත මේ සාපරාධී යුද්ධය නිසා මුළු ලෝකයම දරුණු සමාජ ඒ වගේම ආර්ථික ව්‍යසනයකට මුහුණ දීලා තියෙන හැටි මේ වීඩියෝ එකෙන් විග්‍රහ කරනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කරපු විද්‍යාත්මක වාර්තා මෙන්ම වෙනත් මූලාශ්‍ර ඇසුරෙන් තමයි මේ විවරණය ඉදිරිපත් කරලා තියෙන්නෙ.

මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුළුවන්:

  • හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහලා දාපු එකෙන් ලෝක තෙල් මිලට වුණ බලපෑම ඒ වගේම වෙළඳපොළ බිඳවැටීම (market reckoning).
  • පොහොර මිල වැඩි වීම නිසා අප්‍රිකානු මහද්වීපයට වෙලා තියෙන දරුණු බලපෑම.
  • ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායකගේ JVP/NPP ආණ්ඩුව IMF කප්පාදු වැඩපිළිවෙල හරහා යුද්ධයේ බර කම්කරුවන් මත පටවන හැටි.
  • ඉන්දියාවේ මෝදි ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “කණිෂ්ඨ හවුල්කරුවෙක්” විදිහට වැඩ කරමින් IRIS Dena නැව ගිල්වන්න හවුල් වුණ හැටි.
  • ට්‍රම්ප් පාලන තන්ත්‍රය ඇමරිකාව ඇතුළෙ කම්කරු පන්තියට එරෙහිව කරන ප්‍රහාරය.
    යුද්ධය කියන්නනෙ ඓතිහාසික සන්තිතියෙ උත්පප්‍රේරකයක් හා ත්වරකයක් කියන ලියොන් ට්‍රොට්ස්කිගේ අදහස අද ලෝකයට කොච්චර ගැලපෙනවද කියලා මෙතනදි පැහැදිලි කරනවා. ධනවාදී ක්‍රමය ඇතුළෙ මේ විනාශය නතර කරන්න බැහැ. ඒ නිසා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වුණ ස්වාධීන කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම ගැන මෙතනදි කතා කරනවා.

ඉරානෙට “එක ලොකු එළියක්”— යුද්ධයේ බර ලෝකෙම පීඩිත මහජනතාව මත — YouTube Review Read More »

ට්‍රම්ප් සටන් විරාමය දික්කිරීමේ ඇත්ත හේතුව කුමක්ද? – YouTube Podcast

The Socialist World

අපි මේ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නෙ ඇමරිකාව ඉරානයට එරෙහිව අරන් යන යුද්ධයේ ඊනියා සටන් විරාමය අවසන් මොහොතේ දික් කරන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ ඇයි කියලා. මේක සංවරකමේ ලක්ෂණයක් නෙවෙයි, කඩා වැටෙන අධිරාජ්‍යවාදී උපායමාර්ගයක් අතරමැද කරපු උපක්‍රමික ප්‍රයෝගයක්. මේ දික් කිරීමෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ, යුද්ධය පිටිපස්සේ තියෙන භෞතික අවශ්‍යතා මේකෙන් පෙන්නුම් කරන්නේ කොහොමද වගේම, ලෝකේ පුරා ඉන්න කම්කරුවන්ට මේකෙන් ඇතිවන ක්ෂණික බලපෑම් මොනවාද කියලා අපි මේකෙදි විග්‍රහ කරනවා.

මේ චැනලය හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුළෙ තියල කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කරනව. මේ විවරණය අහල, මේ පොඩ්කාස්ට් එක Like කරල, චැනල් එකත් Subscribe කරන්න කියල අපි ඔබට ආරාධනා කරනව. 

ට්‍රම්ප් සටන් විරාමය දික්කිරීමේ ඇත්ත හේතුව කුමක්ද? – YouTube Podcast Read More »

Cuba

කියුබාවට සහ ලතින් ඇමරිකාවට එරෙහි වොෂින්ටනයේ ප්‍රහාරය: 20 වන සියවස අහෝසි කිරීමේ ධනවාදී ධාවනයේ මුඛ්‍ය පෙරමුණක්

අන්ඩ්‍රියා ලෝබෝ විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 18 වන දින  “Washington’s assault on Cuba and Latin America: A key front in the capitalist drive to abolish the 20th centuryයන හිසින් පළවූ අන්ඩ්‍රියා ලෝබෝ  විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cuba
මතන්සාස්, කියුබාව [ඡායාරූපය Greg0611 / CC BY 4.0]

සඳුදා දිවයින (කියුබාව) පුරා සම්පූර්ණ විදුලි කප්පාදුවකට සමගාමීව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පුරසාරම් දෙඩුවේ, “කියුබාව අල්ලා ගැනීමේ ගෞරවය මට ලැබෙනු ඇතැයි මම විශ්වාස කරවා. ඒක ලොකු ගෞරවයක්”,යනුවෙනි.

“මම ඒක නිදහස් කළත්, ලබා ගත්තත්, මට හිතෙනවා  ඒකෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා,” ඔහු එය පැවසුවේ, “බිග් ස්ටික්” ( Big Stick) රාජ්‍ය තාන්ත්‍රිකත්වයේ නිර්මාතෘ වන තියඩෝර් රූස්වෙල්ට් පවා ලැජ්ජාවට පත් කරන   ආකාරයේ මැර කල්ලිවාදයකිනි.

ජනවාරි 29 වන දින ට්‍රම්ප් විසින් කියුබාව “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස නම් කිරීමෙන් සහ මෙම දූපත් රාජ්‍යයට එරෙහිව සම්පූර්ණ බලශක්ති සම්බාධක පැනවීමෙන් පසු හවානා විසින් ලබා දුන් ප්‍රධාන අත් හැරීම් මාලාවකින් පසුව මෙම උද්දච්ච ප්‍රකාශ නිකුත් විය. 

සති කිහිපයක් ඇතුළත, කියුබානු රජය විසින් පෞද්ගලික ව්‍යාපාර පුළුල් කරමින් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්ට ඉඩ සලසමින් පුළුල් ආර්ථික “ප්‍රතිසංස්කරණ” නිවේදනය කර ඇත. කියුබානු-ඇමරිකානු ත්‍රස්තවාදීන්ගේ සන්නද්ධ ආක්‍රමණයක් විමර්ශනය කිරීමට උදව් කිරීම සඳහා දිවයිනට FBI “විශේෂඥයින්”ට ආරාධනා කර තිබේ. මියාමි හි එක්සත් ජනපද සංගත සහ පිටුවහල් “ගුසානෝ (gusano)”ධනපතියන් හා සමග  සබදකම් සදහා විවෘතව තැත් කර ඇත. එමෙන්ම ඉන්ධන අවහිර කිරීම සහ “ආරක්ෂක සහයෝගීතාව” සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සමඟ අඛණ්ඩ සාකච්ඡා තහවුරු කර ඇත.

බදාදා දින, කියුබාවේ ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් විසින් “දිනපතාම පාහේ” ට්‍රම්ප් සිදු කරනු ලබන තර්ජන හෙළා දුටු අතර, ඊට “නොනැමෙන ප්‍රතිරෝධය” ප්‍රකාශ කළ නමුත් ඔහුගේ පරිපාලනයේ ක්‍රියාමාර්ග යටත් වීමක් පෙන්නුම් කරයි. නියෝජ්‍ය අගමැති ඔස්කාර් පෙරෙස්-ඔලිවා එන්බීසී ප්‍රවෘත්ති වෙත පැවසුවේ “ඇමරිකානු සමාගම් සමඟ සහ එක්සත් ජනපදයේ වෙසෙන කියුබානුවන් සහ ඔවුන්ගේ පරම්පරාවන් සමඟ ද නම්‍යශීලී වාණිජ සම්බන්ධතාවයක් පැවැත්වීමට කියුබාව විවෘත” බවයි.

මෙය ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පිටුවහල් ප්‍රාග්ධනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පනවා තිබූ තහනමේ ඓතිහාසික ආපසු හැරීමකි. ආක්‍රමණ, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සහ ඝාතන උත්සාහයන් හරහා අර්ධ යටත් විජිත යුගය නැවත ඇති කිරීමට උත්සාහ කළ ස්ථරවලට එරෙහිව ආරක්ෂාවක් ලෙස මෙය යුක්ති සහගත කරන ලදී.

එහෙත් මෙය පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ධවල මන්දිර බල කිරීම් සන්සුන් කිරීමට කිසිවක් කර නැත. අඟහරුවාදා ඕවල් කාර්යාලයේ ට්‍රම්ප් අසල වාඩි වී සිටි රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, හවානාහි ව්‍යාපාරික-ගැති පියවර ප්‍රමාණවත් නොවන බව පවසා ප්‍රතික්ෂේප කළේය: “ඔවුන්ට එය නිවැරදි කළ නොහැක. එබැවින් ඔවුන් බරපතල ලෙස වෙනස් විය යුතුය. ඔවුන් ඊයේ නිවේදනය කළ දෙය ප්‍රමාණවත් තරම් නාටකාකාර නොවේ. එය එය නිවැරදි කිරීමට සමත් නැත.”

කැස්ත්‍රෝ පවුල දිවයිනේ අඛණ්ඩව රැඳී සිටීම ගැනත්, ඩයස්-කැනල්  සම්බන්ධයෙන් “ඉවත් කිරීමේ” පියවරක් ගැනීම සහ “වරාය, බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධ ගණුදෙනු” – වෙනත් වචන වලින් කිවහොත්, එකඟතාවයට එළඹුණු නැවත-යටත්විජිතකරණ පැකේජයක්– පිළිබඳව ට්‍රම්ප්ගේ කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින බව USA Today වාර්තා කර ඇත.

එක්සත් ජනපදය කියුබාව වටලෑම, අර්ධගෝලයේ සෑම රටකම ඉරණම සෘජුවම නියම කිරීමට සහ ඔවුන්ගේ සියලු සම්පත් අත්පත් කර ගැනීමට වොෂින්ටනයට ඇති අයිතිය තහවුරු කරන මොන්රෝ මූලධර්මයේ ට්‍රම්ප්ගේ “ට්‍රම්ප් අනුෂංගය” (Trump Corollary) යටතේ වන පුළුල් අධිරාජ්‍යවාදී ප්‍රහාරයක සංරචකයකි.

ඇමරිකානු මහජනතාවට එය අලෙවි කරන ආකාරය පිළිබඳ විවාදවලට අමතරව, පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ ජන සංහාරක මෙහෙයුමට පක්ෂ දෙකම සහ සංගත (large company) මාධ්‍ය සහාය දක්වයි. පක්ෂයේ “ප්‍රගතිශීලී” පාර්ශ්වයේ කොටසක් ලෙස සැලකෙන ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික රෝ ඛන්නා, X සමාජ මාධ්‍යය තුළ එයට අනුමැතිය දෙමින් “(එවැනි) ගිවිසුමක් ඇමරිකානු සහ කියුබානු ව්‍යවසායකයින්ට කියුබාවේ ආයෝජනය කිරීමට සහ කියුබාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සහ නවීකරණය කිරීමට උපකාරී වනු ඇත,” යනුවෙන් ලිව්වේය.

මේ මස මුලදී මියාමි හි පැවති ෂීල්ඩ් ඔෆ් ද ඇමරිකාස් (Shield of the Americas) සමුළුවේදී, ට්‍රම්ප් විසින් ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, පැරගුවේ, චිලී සහ අර්ධගෝලයේ වෙනත් තැන්වල අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍ර සහ සහචරයින් පොදු වැඩසටහනක් සඳහා එක් කරන ලදී. එමගින් හමුදාකරණය, මහජන මර්දනය සහ ජීවන තත්වයන්ට සහ සමාජ වැඩසටහන් වලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම අරමුණු කර ගෙන ඇත. 

ට්‍රම්ප් ෆැසිස්ට්වාදී කලාපීය නායකයින්ට පැවසුවේ “කියුබාව එහි ජීවිතයේ අවසාන මොහොතේ පසුවෙන,” බවයි. ඊට ඔවුහු අත්පොළසන් දෙමින් ප්‍රතිචාර දැක්වූහ. 

“මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදීන්ට” එරෙහිව සටන් කරන බව පවසමින්, “සම්පූර්ණ සමූලඝාතන මෙහෙයුම” යටතේ එක්සත් ජනපදය ඉක්වදෝරයට හමුදා යොදවා FBI සහ හමුදා කාර්යාල විවෘත කර ඇත. මෙම ඒකාබද්ධ ප්‍රහාරයෙන් ගොවීන්ගේ නිවාස ගිනි තැබීම, ග්‍රාමීය ප්‍රදේශවලට බෝම්බ හෙලීම සහ කම්කරුවන්ට වධහිංසා පැමිණවීම පමණක් නොව, ඉක්වදෝරයෙන් දියත් කරන ලද ගුවන් ප්‍රහාරයකින් තම භූමියේ පුද්ගලයින් 27 දෙනෙකු ඝාතනය වීම කොලොම්බියාව විසින් හෙළා දැකීමද සිදුවුණි. මේ අතර, ඉක්වදෝර අධිකරණ විසින් ප්‍රධාන ධනේශ්වර විරුද්ධ පක්ෂය වන රෆායෙල් කොරියාගේ “ පුරවැසි විප්ලවය ව්‍යාපාරය” අත්හිටුවා තිබේ.

පෙන්ටගනයේ දක්ෂිණ අධිකාරිය   කලාපය පුරා තම  කඳවුරු පිහිටුවා ගැනීමේ අයිතිවාසිකම් ආක්‍රමණශීලී ලෙස අත්කර ගනිමින් ද, කැරිබියන් සහ පැසිෆික් කලාපයේ නාවික මෙහෙයුම් පුළුල් කරමින් ද සිටී.  මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ සාක්ෂි නොමැතිව චෝදනා කරනු ලැබූ  ධීවරයින් 157 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැනුදු කෙරීගෙන යන අඛණ්ඩ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයක් ද ඊට ඇතුළත් ය.

පැනමා ඇළ සහ ග්‍රීන්ලන්තය මිලිටරිමය වශයෙන් අත්පත් කර ගන්නා බවට ට්‍රම්ප් නැවත නැවතත් තර්ජනය කර ඇති අතර, මෙක්සිකෝව ආක්‍රමණය කර බෝම්බ  හෙලීම සඳහා නිතර කැඳවුම් කරයි.

වෙනිසියුලාව යටත් කරගත් භූමියක් ලෙස සලකමින්, කැනඩාව පිළිබඳ ඒ හා සමාන ප්‍රකාශයන් අනුගමනය කරමින්, ට්‍රම්ප් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ යෝජනා කළේ, වෙනිසියුලාව එක්සත් ජනපදයේ 51 වන රාජ්‍යය බවට පත්විය හැකි බවයි. කැරකස් හි බෝම්බ හෙලීමේ ව්‍යාපාරයක් අතරතුර ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම, සීඅයිඒ සංවිධානයට රට විවෘත කර ඇති අතර, එහි තෙල් හා ඛනිජ සම්පත් කොල්ලකෑම සඳහා සංගතවලට විවෘත කර තිබේ.

ට්‍රම්ප්ගේ භාණ්ඩාගාර ලේකම්වරයා ආර්ජන්ටිනාව කලාපයේ ඇමරිකානු මූලෝපායික මාර්ගයේ “කේන්ද්‍රස්ථානය” ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ, හාවියර් මිලී, චීන ධීවර මෙහෙයුම්වලට එරෙහි වීමේ මුවාවෙන් දකුණු අත්ලාන්තික් සාගරයේ පාලනය පෙන්ටගනයට පවරා දී, වසර 100 කට වැඩි කාලයක් තිස්සේ කම්කරුවන්ගේ ජයග්‍රහණ මකා දැමීම අරමුණු කරගත් කම්කරු “ප්‍රතිසංස්කරණයක්” ක්‍රියාත්මක කර, එක්සත් ජනපද පිටුබලය ලත් අවසන් මිලිටරි ආඥාදායකත්වයේ අපරාධ ආරක්ෂා කර ඇත.

ආර්ජන්ටිනා, හොන්ඩුරාස් සහ කොස්ටාරිකාවේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයින් සදහා සිදුකල  සමාන ආකාරයේ බලහත්කාරී අනුමත කිරීම් වලින් පසුව, මිලීගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ආර්ථික කම්පන-චිකිත්සක (shock therapy) වැඩසටහනක් දැනටමත් දියත් කරමින් සිටින, ඔගස්ටෝ පිනෝචෙට් ඒකාධිපතිත්වයේ විවෘත රසිකයෙකු වන හොසෙ ඇන්ටෝනියෝ කස්ට්ගේ චිලී මැතිවරණ ව්‍යාපාරයට ට්‍රම්ප් සහාය දැක්වීය.

මෙය හුදෙක් භූ දේශපාලනය නොවේ; එය පන්ති යුද්ධය යි. 20 වන සියවස පුරා මුළු ඇමරිකානු කලාපයේම කම්කරුවන් දිනා ගන්නා ලද සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ අතුගා දැමීම මෙහි අරමුණයි. එය පසුගිය සියවසේ මිලිටරි ඒකාධිපතිත්වයන් විසින් උත්සාහ කරන ලද සමාජ ප්‍රතිවිප්ලවය සම්පූර්ණ කිරීමකි. මෙය දේශීයව ෆැසිස්ට් තන්ත්‍රයක් ගොඩනැගීමට ට්‍රම්ප් දරන උත්සාහයන්ගෙන් වෙන් කළ නොහැකිය.

කියුබාවට සාමූහිකව දඬුවම් කිරීම

දිවයිනට එකදු මිසයිලයක් වත් එල්ල නොකර වුවද, කියුබාවේ ආර්ථික ගෙල සිර කිරීම මගින් සිදු කරන විනාශයේ  පරිමාණය යුද්ධයේ විනාශයට සමාන වේ.  2026 මුල් භාගයේදී මදුරෝ ඉවත් කිරීමෙන් පසුව, එක්සත් ජනපදය විසින් කියුබාව වෙනිසියුලානු තෙල් නැව්ගත කිරීම් කපා හැර ඇති අතර කියුබාවට ඉන්ධන අපනයනය කළහොත් මෙක්සිකෝව සහ අනෙකුත් සැපයුම්කරුවන්ට ආර්ථික අඩපණ කෙරෙන තීරුබදු පැනවීමට තර්ජනය කළේය. මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජනවාරි මාසයේදී තෙල් නැව්ගත කිරීම් නැවැත්වූවාය. “වාම” නායකයින් සහ ප්‍රධාන තෙල් අපනයනකරුවන් විසින් පාලනය කරනු ලබන බ්‍රසීලය සහ කොලොම්බියාව ද සම්බාධක බිඳ දැමීම ප්‍රතික්ෂේප කර ඇත.

මෙය හුදෙක් යටත් වීමක් නොව, අර්ධගෝලය කපා කොටස් කිරීමේ වොෂින්ටනයේ නව යටත් විජිතවාදී ප්‍රතිපත්තියේ කනිෂ්ඨ හවුල්කරුවන් ලෙස තමන්ව ස්ථානගත කිරීමට උත්සාහ කරන දේශීය ධනේශ්වර අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහාය වීමකි.

කියුබාවේ හුදකලාව තියුණු ය. ඉක්වදෝරය කියුබානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරියේය; නිකරගුවාව කියුබානුවන් සඳහා වීසා රහිත ගමන් සීමා කළේය; එසේම, සහ ග්වාතමාලාව, හොන්ඩුරාස් සහ ජැමෙයිකාව,  ඩොලර ඇතුලු ප්‍රධාන විදේශ මුදල් සැපයූ වෛද්‍ය සහයෝගීතා ගිවිසුම් අවසන් කිරීමට පියවර ගෙන තිබේ.

බර බොරතෙල් දහනය කරන පැරණි සෝවියට් යුගයේ තාප බලාගාර සහ ඩීසල් ජනක යන්ත්‍ර ජාලයක් මත යැපෙන කියුබානු විදුලිබල ජාලය බිඳවැටීමේ ලක්ෂ්‍යයෙන් ඔබ්බට තල්ලු කර දමා ඇත. මාර්තු 16 වන දින, මුළු ජාතික විදුලිබල පද්ධතියම බිඳ වැටීමෙන් මුලු දිවයිනම අන්ධකාරයට ඇද වැටුණි . ඉන් පැය 29 කට පසුව, විදුලිය අර්ධ වශයෙන් පමණක් යථා තත්ත්වයට පත් කරන ලදී.

මැටන්සාස් හි සේවිකාවක් WSWS වෙත පැවසුවේ ඇගේ අසල්වැසි ප්‍රදේශයේ විදුලිය නොමැතිව දින ගණනක් ගෙවී ගොස් ඇති බවයි. පානීය ජලය සීමිත වුවද, ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය වන ගෑස් සොයා ගැනීමට නැත. සෞඛ්‍ය සේවා පද්ධතියේ බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් ගණන් කළ නොහැකි ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින් පවතීම නිසා සමීප ඥාතියෙකු මෑතකදී මිය ගිය බව ඇය විස්තර කළාය.

වෛද්‍ය පද්ධතියෙ හි “හදිසි නොවන” ක්‍රියා පටිපාටි 100,000 කට ආසන්න සංඛ්‍යාවක පොරොත්තු ලේඛනයක් ඇති අතර, එයට ළමුන් 11,000 කට වඩා ඇතුළත් වේ. බොහෝ අවස්ථාවලදී, “හදිසි නොවන” යන්නෙහි සරල තේරුම “තවමත් මිය ගොස් නැත” යන්නයි.

බලශක්ති විශ්ලේෂක ජෝර්ජ් පිනෝන් අනතුරු අඟවා ඇත්තේ: “ඉන්ධනවලින් සියයට සියයක්ම අතුරුදහන් වන රටක් මම කිසි දිනෙක දැක හෝ අධ්‍යයනය කර නැත.”යනුවෙනි. 

මෙම තත්වයන් යටතේ, කුඩා නමුත් සැලකිය යුතු විරෝධතා පැන නැගී ඇත: බිඳ වැටෙන අධ්‍යාපනයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් වාඩිලා ගැනීම, කම්කරු පන්ති නිවහන් ප්‍රදේශ වල භාජන වලට ගසමින්, විදුලිය සහ ආහාර ඉල්ලා සිටීම, මෑතකදී විරෝධතාකරුවන් විසින් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයක ගෘහ භාණ්ඩ ගිනි තැබූ මොරොන්හි ඇති වූ කෝලාහල වැනි දේ සදහන් කල හැක. 

20 වන සියවස අහෝසි කිරීමේ ගාමකයේ පෙරමුණක්    

කියුබාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරය සුවිශේෂී ලෙස පළිගැනීමේ ස්වභාවයක් ගනී. වොෂින්ටනය හුදෙක් සංගත වල  හා මූල්‍ය අවශ්‍යතා පසුපස හඹා යනවා පමණක් නොව, ඇමරිකානු රූකඩ පාලන තන්ත්‍ර පෙරලා දැමූ 1959 කියුබාවේ සහ 1979 ඉරානයේ විප්ලව දෙකකට එරෙහිව එකවර ඓතිහාසික පළිගැනීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටී.

හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවධාරනය කළ පරිදි, කියුබානු විප්ලවය කම්කරු පන්තියේ සවිඥානික නායකත්වය යටතේ ධනේශ්වර දේපළ සබඳතා සමාජවාදී ලෙස පෙරළා දැමීමක් නියෝජනය කළේ නැත. ඒ වෙනුවට, එක්සත් ජනපද සංගත වල දේපළ අත්පත් කර ගැනීම, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සෞඛ්‍ය හා අධ්‍යාපනයේ සමාජ පියවර ක්‍රියාවට දැමිණි. ඒවා 20 වන සියවසේ ලොව බොහෝ ප්‍රදේශවල බලයට පත් වූ ධනේශ්වර ජාතිකවාදී සහ යටත් විජිත විරෝධී ව්‍යාපාරවල රැඩිකල් ප්‍රභේදයක් වූ අතර අවසාන විග්‍රහයේදී 1917 රුසියානු විප්ලවයෙන් ආභාෂය ලැබීය.

අද, ගෝලීය ධනේශ්වර අර්බුදයේ සහ යුද ධාවනයේ කස පහර යටතේ, පාලක පන්ති “20 වන සියවස අහෝසි කිරීමට” අධිෂ්ඨාන කරගෙන සිටී. එනම්, නග්න සූරාකෑම, යටත් විජිතකරණය සහ සීමා නොකළ පොලිස් මිලිටරි පාලනයන් පිහිටුවීම ආදීය මගින් මානව වර්ගයා 19 වන  සියවසේ පැවැති තත්වයන්ට නැවත ගෙන ඒමයි. 

ජනවාරි මාසයේ වාර්තාවක එක්සත් ජනපද චින්තන පර්ෂදයක් වන ජේම්ස්ටවුන් පදනම (Jamestown Foundation) සඳහන් කළේ, කියුබාවේ ඇද වැටීම “ රුසියාවට, චීනයට හෝ වෙනත් කිසිවෙකුට විකල්ප බල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ අවසාන සාක්ෂියක් ලෙස ගෝලීය දකුණ විසින් සැලකෙනු ඇති ” බවයි.

කියුබාවේ දුක්ඛිත තත්ත්වයට, ලතින් ඇමරිකාවේ ඊනියා “රෝස රැල්ලේ” (pink tide) රජයන් හා රුසියාව සහ චීනය දක්වන ප්‍රතිචාරය, ඔවුන්ගේ බංකොලොත්භාවය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට ප්‍රතිවිරුද්ධ බලයක් ලෙස “කලාපීය ඒකාබද්ධතාවයෙ” නැතහොත් BRICS හි වංචාව හෙළිදරව් කරයි.

නමුත් කියුබාවට එරෙහි දරුණු ප්‍රහාරය සහ ලතින් ඇමරිකාවේ අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍රයන්ගේ ප්‍රති-විප්ලවවාදී අක්ෂයක් ගොඩනැගීමට දරන උත්සාහය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ශක්තියේ සලකුණු නොව එහි ගැඹුරු දුර්වලතාවයේ සලකුණු වේ. 

කියුබාවේ කටුක වේදනාව, එක්සත් ජනපද ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය මත රැදුනු  1945 න් පසු ලෝක පර්යායේ පුළුල් බිඳවැටීම සහ බහු ධ්‍රැවීයතාව ඇතුළු වෙනත් කිසිදු ධනේශ්වර පදනමක් මත මෙම පර්යාය ප්‍රතිනිර්මාණය කිරීමේ නොහැකියාව සමඟ බැඳී ඇත.

ජාත්‍යන්තර කම්කරු පන්තික ප්‍රහාරයක් දෙසට

කියුබාවේ ගෙල සිර කිරීම, ඊට අනුබල දෙන ධනේශ්වර-ජාතිකවාදී ආණ්ඩුවලට ආයාචනා කිරීමෙන් නැවැත්විය නොහැකි නම්, එයට විරුද්ධ විය හැක්කේ කුමන සමාජ පදනමක් මතද?

පිළිතුර පවතින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සතුවය. කියුබාව වටලෑම එක්සත් ජනපදය ඇතුළු සෑම තැනකම කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරයෙන් වෙන් කළ නොහැකි ය. ඉරානයට එරෙහි සාපරාධී යුද්ධයෙන් මෙහෙයවනු ලබන තෙල් මිල ඉහළ යාම දැනටමත් උද්ධමනයට සහ කප්පාදුවලට ඉන්ධන සපයන අතර එය 1970 ගණන්වල සිදුවීම් සිහිපත් කරයි. එහි දී ඇති වූ තෙල් කම්පන මගින් ලතින් ඇමරිකාව සහ ඉන් ඔබ්බට දැවැන්ත පන්ති අරගල පුපුරුවා හැරියේය. 

කියුබාවට සිදු කරනු ලබන වධහිංසාවට එරෙහිව පන්ති ප්‍රතිචාරය අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහි පුළුල් අරගලයක කොටසක් ලෙස සංවිධානය කළ යුතුය. කියුබානු කම්කරු පන්තියේ සාගින්න අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය, කැනඩාව, ලතින් ඇමරිකාව  ඇතුළු ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සම්බාධක සහ සියලු අවහිර කිරීම් වහාම සහ කොන්දේසි විරහිතව අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු අතර එමඟින් එයට (කම්කරු පන්තියට) තමන්ගේ පාලක ප්‍රභූව සමඟ ගණුදෙනු බේරා ගැනීමට ඉඩ සැලැසෙනු ඇත.

කියුබාව සුරැකීම ස්ටැලින්වාදී සහ ව්‍යාජ වාම සංවිධාන විසින් දිගු කලක් තිස්සේ ඔසවා ආරක්ෂා කරන ලද අර්ථයෙන් “ජාතික” ප්‍රශ්නයක් නොවේ.

ඩේවිඩ් නෝර්ත් ඔහුගේ 1993 “නොනවතින විප්ලවය සහ අද දින ජාතික ප්‍රශ්නය” දේශනයේදී පැහැදිලි කළ පරිදි, අධිරාජ්‍යවාදය “ජාතික රාජ්‍යයේම මළ බෙරය වැයූ බව”  ට්‍රොට්ස්කි  පෙන්වා දුන්නේය. එපමණක් නොව, “අධිරාජ්‍යවාදයේ යුගයේ දී, ජාතික පදනමක් මත මානව වර්ගයාගේ කිසිදු මූලික ගැටලුවක් විසඳීමේ නොහැකියාව”, ස්වදේශික ධනේශ්වර නායකත්වයක් යටතේ “ජාතික විමුක්තිය” පිළිබඳ ඉදිරිදර්ශනය ප්‍රතිගාමී යුතෝපියාවක් බවට පත් කර ඇත. කැස්ත්‍රෝ සහ අසංඛ්‍ය සංඛ්‍යාත  “ජාතික විමුක්ති” සංකේතවල වාර්තාව මෙය සනාථ කර ඇත: ඔවුන් සියල්ල ජාතික-රාජ්‍ය රාමුවක් මත රඳා පැවතුනි; අධිරාජ්‍යවාදය සහ ස්ටැලින්වාදය අතර සමතුලිතතාවය සදහා උත්සාහ කළ අතර, ඔවුන්ගේ මතුපිට ජයග්‍රහණ බිඳ වැටුණු විට  ඒ සදහා මිල ගෙවීම කම්කරු පන්තිය මත පැටවුනි.

කියුබාවේ සහ වෙනිසියුලාවේ රජයන් සමඟ “රෝස රැල්ලේ” ඉතිරි රටවල් වල වත්මන් යටත් වීමේ රැල්ල, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය නිශේධනීය ලෙස  සනාථ කරයි: එනම්, අධිරාජ්‍යවාදී යුගයේ දී, පීඩිත රටවල් මුහුණ දෙන මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය කාර්යයන් කිසිවක්, ධනේශ්වර හෝ සුලු ධනේශ්වර නායකත්වයන් යටතේ ජාතික පදනමක් මත විසඳා ගත නොහැක. කියුබාව ආරක්ෂා කිරීම සඳහා සහ 20 වන සියවසේ කම්කරුවන් විසින් දිනා ගන්නා ලද සියලු ජයග්‍රහණ ආරක්ෂා කිරීම සඳහා ඇති ඇති එකම ශක්‍ය පදනම නම්, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස බලය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව, ජාත්‍යන්තරව බලමුලු ගැන්වීමයි.

මෙහි තේරුම නම්, ඉදිරියේදී ඇතිවන පන්ති අරගලයට අවශ්‍ය දැනුවත් සමාජවාදී නායකත්වය ලබා දීම සඳහා කියුබාව තුළ සහ ලතින් ඇමරිකාව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස සැබෑ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

කියුබාවට සහ ලතින් ඇමරිකාවට එරෙහි වොෂින්ටනයේ ප්‍රහාරය: 20 වන සියවස අහෝසි කිරීමේ ධනවාදී ධාවනයේ මුඛ්‍ය පෙරමුණක් Read More »

Hormuz

එක්සත් ජනපදය හෝමූස් සමුද්‍ර  සන්ධිය අවහිර කිරීමෙන් ප්‍රධාන බලවතුන් අතර ගැටුම් ගැඹුරු වේ

ජෝර්ඩන් ෂිල්ටන් විසිනි.

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 16 වන දින  ‘US blockade of Strait of Hormuz deepens conflicts between major powers’ යන හිසින් පළවූ ජෝර්ඩන් ෂිල්ටන් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

සඳුදා සිට වොෂින්ටනයේ හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම බලාත්මක වූ අතර එය ඉරානයට එරෙහි යුද්ධයේ ප්‍රධාන  තීව්‍රවීමක් සනිටුහන් කරයි. ඉරාන වරායන් වෙත සහ ඉන් පිටතට යන සියලුම තෙල් නැව් වල ගමනාගමනය නැවැත්වීමට එක්සත් ජනපද හමුදා දරන උත්සාහයේ අරමුණ වන්නේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය සදහා පුළුල් සහන ලබා දීමට ටෙහෙරානයට බල කිරීම සහ, බලශක්ති ආනයනයන්ගෙන් වැඩි ප්‍රමාණයක් සඳහා ඉරානයෙන් සහ පුළුල් ගල්ෆ් කලාපයෙන් ලැබෙන ලාභ තෙල් මත යැපෙන චීනයේ අවශ්‍යතා වලට වල  කැපීමයි.

Hormuz
එක්සත් ජනපද-ඊශ්‍රායල් හමුදා මෙහෙයුම අතරතුර පසුගියදා ගුවන් ප්‍රහාර කිහිපයකින් ඉරානයේ කෙෂ්ම් දූපතේ වරායේ ධීවර තොටුපළට සිදු වූ හානිය. හෝමුස් සමුද්‍ර සන්ධියේ නැව් පසුබිමේ. 2026 අප්‍රේල් 13 වන සඳුදා. [AP ඡායාරූපය/අස්ගාර් බෙෂාරති]

ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වැන්ස් අඟහරුවාදා පැහැදිලි කළේ, මෙම ඇමරිකානු ආක්‍රමණශීලී යුද්ධය මැද පෙරදිග ප්‍රතිව්‍යුහගත කිරීම අරමුණු කරගත් එකක් බවයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් “කුඩා ගනුදෙනු” ගැන උනන්දුවක් නොදක්වන නමුත් ඉරානය සමඟ “මහා කේවල් කිරීමක්” සොයන බවත්, එමඟින් එක්සත් ජනපදය ඉරානයට “ආර්ථික වශයෙන් සාමාන්‍ය රටක් ලෙස” සලකනු ඇති බවත් ඔහු උත්සවයකදී ප්‍රකාශ කළේය. ට්‍රම්ප් සහ වැන්ස්ට අවශ්‍ය වන්නේ මිලියන 93 ක ජනතාවක් සිටින, 1979 දී ඉරාන විප්ලවය මගින් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ මූල්‍ය හා මිලිටරි ආධිපත්‍යය අවසන් කළ මෙම රට,1979 ට පෙර පැවති තත්ත්වය කරා ආපස්සට හැරවීමටයි.

යුද්ධයේ ආරම්භයේ සිටම ට්‍රම්ප් කළ ප්‍රකාශවලින් පෙනී යන්නේ, ලෝකයේ වැදගත්ම බලශක්ති අපනයන කලාපය කෙරෙහි තම ප්‍රමුඛත්වය සුරක්ෂිත කර ගැනීම සඳහා ඇමරිකානු අධිරාජ්‍යවාදය ඉතාමත් කුරිරු ම්ලේච්ඡත්වයට යොමු වනු ඇති බවයි. ඔහු ඉරානය “ආපසු ගල් යුගයට” ඇද දැමීමට, බෝම්බ හෙලන බවට සපථ කළ අතර, අප්‍රේල් 7 වන දින, “සම්පූර්ණ ශිෂ්ටාචාරයක්” අතුගා දැමිය හැකි බවට වන සමූල ජන සංහාරක (genocidal) තර්ජනයක් කළේය.ඉරානයට එල්ල කරන ලද ඇමරිකානු/ඊශ්‍රායල බෝම්බ හෙලීම අවිචාරවත් ලේ පිපාසිත  මනසකින් සිදු කරන ලද අතර, යුද්ධයේ පළමු දිනයේම, ළමුන් 160 කට වැඩි පිරිසක් මරා දැමීමට හේතු වූ බාලිකා පාසලක් විනාශ කිරීමෙන් එය පෙන්නුම් කළේය. පසුගිය සතියේ සටන් විරාමයෙන් පසුව නිකුත් වූ ස්වාධීන විමර්ශන සහ භූමි වාර්තාවලින් හෙළි වූයේ එක්සත් ජනපදය හමුදා ඉලක්කවලට පහර දෙන බව ප්‍රකාශ කළ විට පවා, අවට සිවිල් යටිතල පහසුකම් සහ නේවාසික ගොඩනැගිලිවලට සිදු වූ අනුබද්ධ හානිය (collateral damage) පුළුල් බවයි.

මේ සතියේ ෆොක්ස් බිස්නස් සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී, යුද අපරාධකරු ට්‍රම්ප් ඉරානය ඇමරිකානු අධිරාජ්‍යවාදී නියෝගවලට හිස නැමීම ප්‍රතික්ෂේප කළහොත් තවත් යුද අපරාධ සිදු කරන බවට තර්ජනය කළේය. මාෆියා නායකයෙකු මෙන් කතා කරමින් ට්‍රම්ප් පැවසුවේ, “මම දැන් ඔක්කොම පටන් ගත්තොත්, ඒ රට නැවත ගොඩනැගීමට ඔවුන්ට වසර 20 ක් ගතවනු ඇත. එමෙන්ම අපි ඉවර නැහැ… අපට ඔවුන්ගේ සෑම පාලමක්ම පැයකින් විනාශ කළ හැකියි.…. ඔවුන්ගේ සෑම බලාගාරයක්ම”

ට්‍රම්ප් ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් කතා කරන අතර, එය එක්සත් ජනපදය මුදල් සපයන ලද ෂා රජුගේ මර්දනකාරී ආඥාදායකත්වය පෙරලා දැමූ 1979 විප්ලවය සඳහා ඉරාන ජනතාවට කිසි විටෙකත් සමාව දී නැත. ඔහුගේ  උත්සුකය ඉරාන ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම් ගැන තබා ඉරාන “ත්‍රස්තවාදය” ගැනවත් නොවේ. ඒ වෙනුවට, බර්ලිනයේ හම්බෝල්ට් විශ්ව විද්‍යාලයේ මෑතකදී පැවති දේශනයකදී එක්සත් ජනපද අධිරාජ්‍යවාදය සහ ඉරානය අතර ඓතිහාසික සම්බන්ධතාවය සාරාංශ ගත කරන විට ඩේවිඩ් නෝර්ත් පැවසූ පරිදි, ඒ සියල්ල “තෙල්, භූ දේශපාලනික බලපෑම සහ ඇමරිකානු ධනවාදයේ පන්ති අවශ්‍යතා” දක්වා  සිඳ වේ.

බ්‍රහස්පතින්දා යුද්ධය පිළිබඳ පැවති සාකච්ඡාවකදී, ෆැසිස්ට් යුද ලේකම් පීට් හෙග්සෙත්, එක්සත් ජනපද හමුදාව “උන්ඩ යලි පුරවමින්  සිටින” බවට අනතුරු ඇඟවූ අතර, ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන්ගේ සභාපති ඩෑන් කේන් ප්‍රකාශ කළේ “වචනාර්ථයෙන් මොහොතක දැනුම්දීමකින්” හමුදාවට නැවත සටන් ආරම්භ කළ හැකි බවයි. ඉරාන වරාය අවහිර කිරීම ආරම්භ වූ දා සිට නැව් 13 ක් ආපසු හැරී ඇති බව කේන් තවදුරටත් පැවසීය. පසුව එම දිනම මෙම අගය 14 දක්වා වැඩි කරන ලදී.

ලෝකයේ සිව්වන විශාලතම තෙල් සංචිත සහ දෙවන විශාලතම ස්වාභාවික ගෑස් සංචිත ඇති රට වන ඉරානය, එහි තෙල්වලින් සියයට 80 ත් 90 ත් අතර ප්‍රමාණයක් චීනයට අපනයනය කළේය. ට්‍රම්ප් සිය පළමු ධුර කාලය තුළ 2018 දී ටෙහෙරානය සමඟ එක්සත් ජාතීන්ගේ අනුග්‍රහය ලත් න්‍යෂ්ටික ගිවිසුම ඒකපාර්ශ්විකව අවලංගු කළ විට, ඔහු රටට පනවන ලද කුරිරු සම්බාධක හේතුවෙන් මෑත වසරවලදී ඉරාන තෙල් අඩු මිලට  ලබා ගැනීමෙන් බීජිනය ප්‍රතිලාභ ලබා ඇත. 2021 දී, චීනය ඉරානය සමඟ වසර 25 ක  මූලෝපායික හවුල්කාරිත්වයක් අත්සන් කළ අතර එයට චීන ආර්ථිකය සඳහා ඩොලර් බිලියන 400 ක තෙල් සැපයුමට හුවමාරුවක්  ලෙස ඉරාන යටිතල පහසුකම් සඳහා ප්‍රධාන ආයෝජන ඇතුළත් විය. වොෂින්ටනය දැන් බලාපොරොත්තු වන්නේ තම සම්බාධක මගින් ඉටු කළ නොහැකි දේ ම්ලේච්ඡ මිලිටරි බලයෙන් ලබා ගත හැකි බවයි. නමුත් මෙම යුද්ධයේ පළමු සති හය තුළ පෙන්නුම් කර ඇත්තේ ලෝකයේ බලවත්ම හමුදාවට පවා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ දිග්ගැස්සුනු  ජරපත් වීමේ බලපෑම ජය ගත නොහැකි බවයි.

යුද්ධයට පෙර චීනය ඉරානයෙන් දිනකට තෙල් බැරල් මිලියන 1.4 ක් සහ සමස්තයක් ලෙස ගල්ෆ් කලාපයෙන් දිනකට බැරල් මිලියන 5 කට වඩා ලබා ගනිමින් සිටියේය. එක්සත් ජනපද අවහිරය අනෙකුත් ගල්ෆ් රාජ්‍යයන්ගෙන් චීනයට සිදු කරන අපනයනය කිරීම් වලට සෘජුවම බාධාවක් නොවුනත්, කලාපයේ නිෂ්පාදනය යුද්ධයෙන් තියුනු ලෙස පීඩාවට පත්ව ඇති අතර එය ගෝලීය ආර්ථික  අවුල් කිරීමට  තර්ජනය කරයි. වාර්තා වන පරිදි චීනයේ මාස 5 ක ඉල්ලුම සපුරාලීමට හැකි තෙල් සංචිත ඇති නමුත්, සැපයුමේ දිගුකාලීන අඩුවීම් එහි දැනටමත් බිඳෙනසුලු ආර්ථිකය බරපතල ලෙස දුර්වල කළ හැකිය. එපමණක් නොව, මෙම සතියේ IMF වාර්තාවකින් මතු කරන ලද ගෝලීය ආර්ථික අවපාතයක අපේක්ෂාව, ආර්ථික වර්ධනය පවත්වා ගැනීම සඳහා බීජිංහි ස්ටැලින්වාදී තන්ත්‍රය විශ්වාසය තබන චීන අපනයන සඳහා ක්ෂීන වන වෙළඳපොළක් අදහස් කරනු ඇත.

බදාදා බීජිං සංචාරයකදී රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් ප්‍රකාශ කළේ මැදපෙරදිග යුද්ධය හේතුවෙන් චීනයට ඇති වන ඕනෑම තෙල් හිඟයක්, මොස්කව් මගින් පියවා ගත හැකි බවයි. කෙසේ වෙතත්, මෙම ප්‍රකාශය සැක සහිත ය. රුසියාව සහ චීනය අතර නල මාර්ග දැනටමත් සම්පූර්ණ ධාරිතාවයෙන් ක්‍රියාත්මක වන බව වාර්තා වන අතර, චීනයට ළඟා වන දිනකට තෙල් බැරල් මිලියන 2 ක් පමණ වන තෙල් පරිමාව සැලකිය යුතු ලෙස වැඩි කිරීමට අවශ්‍ය  තෙල් ප්‍රවාහන යාත්‍රා රුසියාවට නොමැත. ඉරාන තෙල් අපනයන සම්පූර්ණයෙන්ම පියවා ගැනීමට සහ අනෙකුත් ගල්ෆ් රටවලින් ලැබෙන තෙල් වල පහත වැටීමෙන් කොටසක් හෝ  ආවරණය කිරීම සඳහා, රුසියාව චීනයට කරන වර්තමාන අපනයන, දෙගුණයකට වඩා වැඩි කිරීමට සිදුවනු ඇත.

දෙවන ලෝක යුද්ධ සමයේ නාසි පාලන තන්ත්‍රයෙන් පසු ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අසමසම ආක්‍රමණශීලීත්වය සහ අපරාධකාරීත්වයට මුහුණ දී සිටින බීජිනය, සියලු රාජ්‍යයන්ගේ අවශ්‍යතාවලට ගරු කරන ස්ථාවර “බහු-ධ්‍රැවීය ලෝකයක” අපේක්ෂාව ඉදිරිපත් කරමින් එක්සත් ජනපද අවහිරයට ප්‍රතිචාර දක්වා ඇත. ෂින්හුවා වාර්තාවකට අනුව, බීජිනය සහ මොස්කව් “බහුපාර්ශ්වික සහයෝගීතාව ශක්තිමත් කළ යුතු අතර, බහුපාර්ශ්විකත්වය ස්ථිරව ආරක්ෂා කර ක්‍රියාත්මක කළ යුතුය. එක්සත් ජාතීන්ගේ අධිකාරය සහ ජීව ශක්තිය පුනර්ජීවනය කිරීමට අත්වැල් බැඳ ගත යුතු අතර, ෂැංහයි සහයෝගිතා සංවිධානයේ (Shanghai Cooperation Organization) සහ බ්‍රික්ස් රටවල රාමු තුළ සමීප සම්බන්ධීකරණය හා සහයෝගීතාවයේ නිරත විය යුතුය. ජාත්‍යන්තර පිළිවෙල වඩාත් සාධාරණ හා යුක්තිසහගත දිශාවකට සංවර්ධනය කිරීම ප්‍රවර්ධනය කළ යුතු” බව ෂී ජින්පින් ලැව්රොව්ට පැවසීය.

සෝවියට් ස්ටැලින්වාදී නිලධරයේ “සාමකාමී සහජීවනය” පිළිබඳ ප්‍රතිපත්තියේ මෙම නවීන අනුවාදය, 20 වන සියවසේදී, ස්ටැලින්වාදීන් රුසියානු ධනවාදය අධිරාජ්‍යවාදී ලෝක පර්යායට ඒකාබද්ධ කිරීමේ අසාර්ථක උත්සාහයක දී සෝවියට් සංගමය දියකර හැරීමට හේතු වූ විට, ලෝක ධනවාදයේ යථාර්ථයන් තුළ එයට තිබූ පදනමට වඩා අඩු පදනමක් අද තිබේ. ‘වෙන්ඩ-ඒකාධිපති’ (ඒකාධිපති වීමට නියමිත) ට්‍රම්ප් යටතේ, ඇමරිකානු අධිරාජ්‍යවාදය එහි වේගවත් වන ආර්ථික පරිහානිය මධ්‍යයේ එහි ගෝලීය ආධිපත්‍යය ආරක්ෂා කර ගැනීම සඳහා තුන්වන ලෝක යුද්ධයක් දියත් කිරීමට සම්පූර්ණයෙන්ම කැපවී සිටී. ඉරාන ශිෂ්ටාචාරය අතුගා දැමීමට ට්‍රම්ප්ගේ ලේ  කැටි ගැස්සෙන තර්ජන සාක්ෂි දරන්නේ ඇමරිකානු අධිරාජ්‍යවාදය තමන්ගේ වියදමින් “බහුපාර්ශ්විකත්වයේ”  ධජය යටතේ චීන සහ රුසියානු බලපෑම පුළුල් කිරීම සාමකාමීව පිළිගන්නේ නැති බවයි.

වසර ආරම්භයේ සිට ට්‍රම්ප්ගේ ක්‍රියාමාර්ගවලින් නිසැකවම පැහැදිලි වී ඇත්තේ ඔහුගේ අවසාන ඉලක්කය චීනයේ නැගීම අවහිර කිරීම බවයි. චීනයයේ ප්‍රධාන තෙල් සැපයුම්කරුවෙකු වන වෙනිසියුලාව මත මිලිටරි ප්‍රහාරයක් දියත් කළේ, එහි ජනාධිපතිවරයා අල්ලා ගැනීමට සහ රටේ බලශක්ති සංචිත ඇමරිකානු ප්‍රාග්ධනයට විවෘත කිරීම  උදෙසා එක්සත් ජනපද රූකඩ පාලනයක් ස්ථාපිත කිරීම සඳහා ය. ඉරානයට එරෙහිව මෙහෙයුමක් පහසුවෙන් කළ හැකි බවට විශ්වාස කරමින් එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විනාශකාරීව වැරදි ලෙස ගණනය කළ ද, කෙසේ වෙතත් එය සමස්ත මැද පෙරදිග පුරා චීන ආර්ථික සබඳතා කඩාකප්පල් කිරීමේ ඉලක්කය හඹා යමින් සිටී. මෙය යුද්ධය අඛණ්ඩව පවත්වාගෙන යාමේ ස්වරූපයක් ගත්තද නැතහොත් ඉරානය සමඟ “මහා කේවල් කිරීමක” ස්වරූපයක් ගත්තද, ධනවාදය යටතේ විසඳිය නොහැකි මෙම ගැටුමේ වෛෂයික තර්කනය න්‍යෂ්ටික සන්නද්ධ බලවතුන් අතර විනාශකාරී මිලිටරි ගැටුමකි. නෝර්ත් ඔහුගේ බර්ලින් දේශනයේදී නිරීක්ෂණය කළ පරිදි,

“(මෙහිදී), ඉතිහාසය තමන් විසින්ම පනවන ලද ඓතිහාසික සමාන්තරය වන්නේ 1991 ගල්ෆ් යුද්ධය හෝ 2003 ඉරාක ආක්‍රමණය නොව, 1914 අගෝස්තු මාසයයි. පළමු ලෝක යුද්ධය බෝල්කන් කලාපයේ කලාපීය ගැටුමක් ලෙස ආරම්භ වූ අතර, සන්ධාන වල තර්කනය, අධිරාජ්‍ය එදිරිවාදිකම් සහ වැරදි ගනන් බැලීම්  හරහා අධිරාජ්‍ය හතරක් විනාශ කර මිලියන 20 ක ජනතාවක් මරා දැමූ ගෝලීය ව්‍යසනයක් දක්වා ව්‍යාප්ත විය.”

මෙයින් ගැලවිය හැකි එකම මග වන්නේ ධනේශ්වර ලාභ ක්‍රමය අවසන් කර සමාජවාදය ස්ථාපිත කිරීම සඳහා කම්කරු පන්තිය විසින් මෙහෙයවනු ලබන ජාත්‍යන්තර යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැගීමයි. ඉරානයේ සහ මැද පෙරදිග පුරා කම්කරුවන් අධිරාජ්‍යවාදී ආක්‍රමණයට එරෙහි ඔවුන්ගේ අරගල, නිමක් නැති යුද්ධ සහ මූල්‍ය කතිපයාධිකාරයේ පොහොසත් කිරීම සඳහා තම ජීවන තත්වයන් මත දරුණු ප්‍රහාරයකට මුහුණ දෙන උතුරු ඇමරිකාවේ සහ යුරෝපයේ අධිරාජ්‍යවාදී මධ්‍යස්ථානවල කම්කරු පන්තිය සමඟ සහ චීනයේ සහ රුසියාවේ  ධනවාදී-පුනස්ථාපන පාලන තන්ත්‍ර දෙක,  අර්බුද- ග්‍රස්ථ ධනවාදය තුළට තමන්ව ගලපාගෙන ස්ථානගත කර ගැනීමට දරන උත්සාහයන් සමඟ ගැටෙන  කම්කරුවන් සමඟ ඒකාබද්ධ කළ යුතුය. මෙය හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව සහ ලෝක සමාජවාදී වෙබ් අඩවිය විසින් සටන් වදින  වැඩ පිළිවෙළයි.
(අවධාරණය පරිවර්තනයේදී එකතු කෙරිණි)

එක්සත් ජනපදය හෝමූස් සමුද්‍ර  සන්ධිය අවහිර කිරීමෙන් ප්‍රධාන බලවතුන් අතර ගැටුම් ගැඹුරු වේ Read More »

Economic crisis

ළඟදීම ලෝක ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් ? YouTube Podcast

The Socialist World.


නිර්මාණය වෙමින් තියෙන ගෝලීය ආර්ථික පසුබෑමක් (downturn එකක්) පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුද පසුගියදා තියුණු අනතුරු ඇඟවීමක් කළේය.  ටෙහෙරානය හා බීජිං  ඉලක්ක කරගත් යුද්ධයක් වශයෙන් දැන් වෙමින් තියෙන ඉරානයට එරෙහි එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධයේ සන්දර්භය තුළ තැබුවගොත්, මේ අනතුරු ඇඟවීමෙන් අදහස් වෙන්නෙ කුමක් ද?  මේ පිළිබඳ මේ පොඩ්කාස්ට් එක හරහා අපි කෙටියෙන් පැහැදිලි කරන්නේ මූලිකවම IMF එකේ ලෝක ආර්ථික දැක්ම (World Economic Outlook එක) සහ ගෝලීය මූල්‍ය ස්ථායීතාව පිළිබඳ වාර්තාව (Global Financial Stability report) යන  වාර්ථා දෙකත්, ලෝක සමාජවාදී වෙබ් අඩවියෙ ආර්ථික  විශ්ලේෂක නික් බීම්ස් සිදුකර ඇති විශ්ලේෂන ද පදනම් කරගෙනයි. 

මේ චැනලය හරහා ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරමින් ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුළෙ තබා කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කෙරේ.

මෙම දැනුම බෙදා හරින්න. මේ අරගලයට එක්වන්න. 

ළඟදීම ලෝක ආර්ථික අවපාතයක් හා මූල්‍ය අර්බුදයක් ? YouTube Podcast Read More »

ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම: ඉරාන යුද්ධයේ ඊළඟ අදියර

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 අප්‍රේල් 13 වන දින  “Trump’s blockade of the Strait of Hormuz: The next phase in the Iran warයන හිසින් පළවූ ඇන්ඩෲ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Image Not Found
2026 මාර්තු 18 වන දින එපික් ෆියුරි මෙහෙයුම අතරතුර ආර්ලී බර්ක් පන්තියේ නියෙමු මිසයිල විනාශ කරන යාත්‍රාවක් වන USS ෆ්‍රෑන්ක් ඊ. පීටර්සන් ජූනියර්, අරාබි මුහුදේ යාත්‍රා කරන ආකාරය [ඡායාරූපය: එක්සත් ජනපද නාවික හමුදාව]

පකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් විසින් දින හයකට පෙර ප්‍රකාශයට පත් කරන ලද සටන් විරාමය, එක්සත් ජනපදය විසින් සඵල ලෙස අවලංගු කිරීම සනිටුහන් කරමින්,ඉරාන වරායන්ට ඇතුළු වන හෝ පිටවන සියලුම නැව් අවහිර කිරීම ආරම්භ කර ඇති බව එක්සත් ජනපද හමුදාව සඳුදා නිවේදනය කළේය. එය ඉරානයට එරෙහි එක්සත් ජනපද යුද්ධයේ ප්‍රධාන උත්සන්න වීමක් සලකුණු කරයි. 

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරිදා ඔහුගේ Truth Social  වේදිකාවේ  ප්‍රකාශ කළේ නාවික හමුදාව “හෝමූස් සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට හෝ පිටව යාමට උත්සාහ කරන ඕනෑම සහ සියලුම නැව් අවහිර කිරීමේ ක්‍රියාවලිය ආරම්භ කරන” බවයි. සෙනසුරාදා, නියෙමු මිසයිල ඩිස්ට්‍රොයර් (guided-missile destroyers) යාත්‍රා දෙකක් සමුද්‍ර සන්ධියට ඇතුළු වූ අතර, වෝල් ස්ට්‍රීට් ජර්නලය වාර්තා කළේ අවහිරය  බලාත්මක කිරීම සඳහා එක්සත් ජනපද යුද නැව් 15 ක් දැන් යොදවා ඇති බවයි.

මෙම අවහිර කිරීම යුද ක්‍රියාවක් සහ ජාත්‍යන්තර මුහුදු කොල්ලකාරී ක්‍රියාවකි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය ඉරානයට සහ සමස්ත ලෝකයේ කම්කරු පන්තියට එරෙහිව එල්ල කරන ලද මෙම සාපරාධී ක්‍රියාව හෙළා දකී. ඉහළ යන බලශක්ති පිරිවැය, ආහාර හිඟය සහ නිරන්තරයෙන් පුළුල් වන මිලිටරි ගැටුමක අන්තරාය මගින් කම්කරු පන්තිය එහි  මිල ගෙවනු ඇත. 

ට්‍රම්ප්ගේම වාක්‍ය ඛණ්ඩයම භාවිතා කරන්නේ නම්, සටන් විරාමය යුද්ධයේ ඊළඟ අදියර සඳහා “උණ්ඩ නැවත පුරවා ගැනීමට” අවස්ථාවක් වූ බව ඔප්පු වී තිබේ. එනම් 2025 ජනවාරි මාසයේ ගාසා තීරයේ සිට 2025 ජුනි මාසයේදී ඉරානය දක්වා වූ සටන් විරාමය සහ සටන් විරාමයෙන් පැය කිහිපයකට පසු මධ්‍යම බේරූට් වෙත ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් 250 කට වැඩි පිරිසක් මිය ගිය, අප්‍රේල් 7 වන දින ඉරාන සටන් විරාමය දක්වා, ට්‍රම්ප් මැද පෙරදිග ප්‍රකාශයට පත් කර ඇති සෑම සටන් විරාමයක්ම, ඊළඟ ප්‍රහාරය සඳහා නැවත කණ්ඩායම් ගත වීමමේ  විරාමයක් වී තිබේ.

හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය, සහ ඒ සමඟ ඉරානයේ සහ සමස්තයක් ලෙස පර්සියානු ගල්ෆ් කලාපයේ තෙල් නිෂ්පාදනය සහ බෙදා හැරීම පාලනය කිරීම ආරම්භයේ සිටම යුද්ධයේ කේන්ද්‍රීය මූලෝපායික ඉලක්කයක් වී පැවතිණි.

යුද්ධය ආරම්භ වූ දා සිට, සමුද්‍ර සන්ධිය හරහා නවුක ගමනාගමනය බිඳ වැටී ඇත. යුද්ධයට පෙර මට්ටමට වඩා ප්‍රවාහන පරිමාවන් සියයට 90 කට වඩා පහත වැටී ඇත. ඉතිරිව ඇති ගමනාගමනය මත ආධිපත්‍යය දැරුවේ ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 80 සිට 90 දක්වා ප්‍රමාණයක් ආනයනය කරන එහි විශාලතම පාරිභෝගිකයා වන චීනයට බොරතෙල් රැගෙන යන ග්‍රීසියට අනුබද්ධ තෙල් නැව් සහ ඉරානයේ සෙවනැලි නැව් කණ්ඩායම  (shadow fleet)  විසිනි. ඉරානය තමන්ගේ මිතුරු වෙළඳ හවුල්කරුවන්ගේ, අන් සියල්ලටත් වඩා චීනයේ නැව්වලට ගමන් කිරීම සඳහා දිගටම  ඉඩ දී ඇත.

දැන්, ඉරාන වරායකට ළඟා වීම සඳහා සමුද්‍ර සන්ධියට ඇතුළු වීමට උත්සාහ කරන ඕනෑම නෞකාවක් ඇමරිකානු අවසරයකින් තොරව එසේ කරන අතර, ඉරානය සමඟ නාවික වෙළඳාමේ යෙදෙන ඕනෑම රටකට එරෙහිව භෞතික ප්‍රහාරයක් එල්ල කිරීමේ හැකියාව විවෘත කරයි. චීන ආරක්ෂක අමාත්‍ය ඩොං ජුන් සඳුදා ප්‍රකාශ කළේ: “අපගේ නැව් හෝමූස් සමුද්‍ර සන්ධිය තුළට සහ ඉන් පිටතට ගමන් කරමින් තිබේ. අපට ඉරානය සමඟ වෙළඳ හා බලශක්ති ගිවිසුම් තිබේ. අපි ඒවාට  ගරු කරන්නෙමු, ඒවා ඉටු කරන්නෙමු, එමෙන්ම අපගේ වැඩකටයුතු වලට සෙසු අය මැදිහත් නොවේ ඇයි අපේක්ෂා කරමු.”

ප්‍රායෝගිකව, හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම, ඉරානයට එරෙහිව මෙන්ම චීනයට එරෙහිව ද ආර්ථික යුද්ධ ක්‍රියාවකි. චීනයේ තෙල්වලින් අඩක් පමණ සහ එහි ද්‍රව ස්වාභාවික වායුවෙන් (liquefied natural gas) තුනෙන් එකකට වඩා හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගලා යයි. මෙම අවහිර කිරීම මගින් ඇමරිකානු හස්තය එහි ප්‍රධාන ප්‍රතිවාදියාගේ [චිනයේ] බලශක්ති සැපයුම මත තබන අතරම, එම ප්‍රවාහයන් මතම රඳා පවතින, ජපානය, දකුණු කොරියාව සහ යුරෝපීය සංගමයේ රාජ්‍යයන් ආදී එහි “සගයන්ගේ” බලශක්ති සැපයුම මත ද අත තබයි. 

සඳුදා පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් එක්සත් ජනපද හමුදා මූලෝපායඥයින්ගේ චින්තනය ගැන ඉඟි කළේ: “අපට මෙම වෙළඳාම අවශ්‍ය නැත. අපට අවශ්‍ය ප්‍රමාණයට වඩා අපේම තෙල්, ගෑස් තිබේ. … එබැවින් අපට එය අවශ්‍ය නැත, නමුත් ලෝකයට එය අවශ්‍ය වන අතර, මේ අප කතා කරද්දීම, බොහෝ නැව් බඩු පවටා ගැනීම පිණිස අපේ රටට යමින් සිටී.” යනුවෙනි. 

මෙම අවහිර කිරීම ලෝකයේ මූලෝපායික ඇවිරුම් ස්ථාන (chokepoints), එනම් හෝමූස් සමුද්‍ර සන්ධිය, පැනමා ඇළ, ග්‍රීන්ලන්තය සදහා වන වන ප්‍රවේශයන් ආදිය අල්ලා ගැනීමේ පුළුල් එක්සත් ජනපද ව්‍යාපාරයක කොටසකි. දිගුකාලීන ආර්ථික පරිහානියක නිමග්න ඇමරිකානු අධිරාජ්‍යවාදය, ගෝලීය වෙළඳ මාර්ගවල මිලිටරි ආධිපත්‍යය  හරහා එම පරිහානිය පියවා ගැනීමට උත්සාහ කරමින් සිටී. ලෝකයේ ජල මාර්ග සහ අමුද්‍රව්‍ය තමන්ටම සුරක්ෂිත කර ගනිමින් සහ  ඒවා තම ප්‍රතිවාදීන්ට, විශේෂයෙන් චීනයට, අහිමි කරමින් සිටී.

2025 දෙසැම්බර් මාසයේදී, වෙනිසියුලානු වෙරළට ඔබ්බෙන්, වෙනිසියුලානු බොරතෙල් බැරල් මිලියන 1.8 ක් රැගෙන  චීනය බලා යන තෙල් ටැංකියක් එක්සත් ජනපද හමුදා විසින් අල්ලා ගන්නා ලදී. හෝමූස් අවහිර කිරීම එම පූර්වාදර්ශය පර්සියානු ගල්ෆ් කලාපය දක්වා  විහිදුවන  අතර  එක්සත් ජනපද යුද නැව් චීනය බලා යන තෙල් නැව් හරවා යැවීමට උත්සාහ කළහොත් චීනය සමඟ මිලිටරි ගැටුමක සෘජු අනතුර මතු කරයි.

ඉරානයට එරෙහි ඇමරිකානු අධිරාජ්‍යවාදයේ සාපරාධී යුද්ධයේ ආර්ථික ප්‍රතිවිපාක දැනටමත් විනාශකාරී ය. අවහිර කිරීමට පෙර පවා, හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමනාගමනය සැලකිය යුතු ලෙස කපා හැරීම, ජාත්‍යන්තර බලශක්ති ඒජන්සිය ( International Energy Agency) විසින් ඉතිහාසයේ නරකම තෙල් අර්බුදය ලෙස හැඳින්වූ දෙය ජනනය කර ඇති අතර එය 1979 අර්බුදය ඉක්මවා ගියේය. තෙල් බැරලය ඩොලර් 100 ට වඩා වැඩිය, පෙට්‍රල් මිල ජාතිකව ගැලුමකට ඩොලර් 4.13 ක් වන අතර, නැව් 600 කට වැඩි ප්‍රමාණයක් ගල්ෆ් කලාපයේ සිරවී ඇත. ගෝල්ඩ්මන් සැක්ස් (Goldman Sachs) ආයතනය විසින් එක්සත් ජනපද අවපාතයක සම්භාවිතාව සියයට 30 දක්වා ඉහළ නංවා තිබේ.

ගෝලීය පොහොර සැපයුමෙන් තුනෙන් එකක් සාමාන්‍යයෙන් මේ සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරයි. යුද්ධය ක්ෂණික වෙළඳාමට බාධා ඇති කළා පමණක් නොව, ඉදිරි කන්නයේ බෝග අස්වැන්න කෙරෙහි ද දැඩි බලපෑමක් ඇති කරනු ඇත. එනම්, අප්‍රිකාව, දකුණු ආසියාව සහ ලතින් ඇමරිකාව පුරා අස්වනු අඩු කරනු ඇති අතර, ගල්ෆ් කලාපය හා සෘජු බැඳීමක් නොමැති රටවල ආහාර මිල කම්පන ඇති කරනු ඇත. මිලියන සිය ගණනක් ආහාර අනාරක්ෂිතභාවයට මුහුණ දෙන අතර මිලියන ගණනක් මිය යා හැකිය. ගෝලීය සාගතයක සැබෑ හැකියාවක් පවතී. 

ලෝක ආධිපත්‍යය සඳහා වූ එහි සැලැස්ම තුළ, යුද්ධයේ සැබෑ හැසිරීම වඩ වඩාත් මංමුලා සහගත අනුවර්තනය වීම් මගින් සංලක්ෂිත වී ඇත. පෙබරවාරි 28 වන දින එක්සත් ජනපදය යුද්ධය දියත් කර උත්තරීතර නායක අලි කමේනි සහ ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරීන් දුසිම් ගනනක් ඝාතනය කළේය. ට්‍රම්ප් ඉරාන වැසියන්ට ඔවුන්ගේ රජයට එරෙහිව නැගී සිටින ලෙස ඉල්ලා සිටි නමුත් ඔවුන් එසේ කළේ නැත. ඉන්පසු සිදුකළ බෝම්බ හෙලීමේ ව්‍යාපාරය ඉරානයේ විදුලි සංදේශ පද්ධතිය විනාශ කළ අතර එහි නගරවල දිස්ත්‍රික්ක සමතලා කළ නමුත් ඉරානය යටත් වූයේ නැත. මාර්තු මාසය පුරාම ඉරාන නායකයින් තවදුරටත් ඝාතනය කිරීමෙන්ද රජය ඇද වැටුණේ නැත. නාවික ගමන් අවහිර කිරීම ඊළඟ පියවරයි.

ඉරාන මිසයිල බැටරි, වෙරළබඩ ආරක්ෂක පද්ධති සහ දහස් ගණනක් නාවික බෝම්බ වලින් වට වූ පටුම ස්ථානයේ සමීප පරාසයේ සැතපුම් 21 ක් පළල ජල මාර්ගයක් තුළ ඇමරිකානු යුද නැව් දැන් ක්‍රියාත්මක වේ. මෙම නාවික අවහිරයට ළඟා වන ඕනෑම ඉරාන නෞකාවක් “වහාම වනසන” බව ට්‍රම්ප් සඳුදා පැවසීය.

ඩිස්ට්‍රොයර් නෞකාවක් අහිමි වීම හෝ විශාල ජීවිත හානි සිදුවීමක් හේතුවෙන්, ඉරානයේ තෙල් අපනයනයෙන් සියයට 90 ක් සැකසෙන කාර්ග් දූපත අත්පත් කර ගැනීම ඇතුළුව භූමි ආක්‍රමණයක් සඳහා ඇමරිකානු දේශපාලන සංස්ථාපිතය තුළ ඇති ඉල්ලීම් තීව්‍ර වනු ඇත. 82 වන ගුවන් අංශයේ  භට පිරිස් හා මැරීන් භටයින් දැනටමත් යොදවා ඇති අතර, 50,000 කට වැඩි එක්සත් ජනපද භට පිරිසක් රංග පතයේ සිටිති. පෙබරවාරි 28 වන දින සිට එක්සත් ජනපද හමුදා සාමාජිකයින් දහතුන් දෙනෙකු මිය ගොස් ඇත.

ට්‍රම්ප් පාලනය පුදුමාකාර නොසැලකිලිමත්කමකින් යුතුව ඉදිරියට යමින් සිටී. එක්සත් ජනපදය ඉරානයේ තෙල් අත්පත් කර ගන්නා බව ඔහු විවෘතව පවසා ඇත. එය, පසුගිය පරිපාලනයන් සම්බාධක සහ ජාත්‍යන්තර නීතියේ භාෂාව පිටුපස සැඟව සිට සිදුකළ ආකාරයේ කොල්ලකාරී ප්‍රකාශයකි. අපරාධකාරී පාතාලයේ ක්‍රම දැන් නිල රාජ්‍ය ප්‍රතිපත්තිය වී ඇත. 

දේශපාලන සංස්ථාපිතය ප්‍රතිපත්තිමය වශයෙන් මේ කිසිවකට විරුද්ධ නොවේ. නිව් යෝර්ක් ටයිම්ස් කතුවැකි මණ්ඩලය ට්‍රම්ප්ගේ හැසිරීම “පැහැදිලි  නොහැකියාව” ලෙස හැඳින්වූ අතර “කොංග්‍රසය සම්බන්ධ කර ගනිමින් හා ඇමරිකානු සහචරයින්ගෙන් උදව් ලබා ගන්නා ලෙස” ඔහුගෙන් ඉල්ලා සිටියේය. එය, යුද්ධයේ ඊළඟ අදියර ක්‍රියාත්මක කිරීමේදී ද්විපාර්ශ්වික සහයෝගීතාවයක් සඳහා කරන  කැඳවීමකි. වෝල් ස්ට්‍රීට් ජර්නලය ට්‍රම්ප්ගේ ජයග්‍රහණ ප්‍රකාශය  නිසි කලට පෙර කළ එකක් ලෙස හැඳින්වූ අතර “වැඩේ කොහෙත්ම අවසන් වී නැත” යනුවෙන් අනතුරු ඇඟවීය.

ඩිමොක්‍රටික් පක්ෂ සෙනෙට් සභික Tim Kaine ඉරිදා ABC ප්‍රවෘත්ති සේවය වෙත පැවසුවේ ඉරානය “කලාපීය තර්ජනයක්” බවත් “ඉරානයට න්‍යෂ්ටික අවියක් නොලැබෙන බවට අප සහතික විය යුතු” බවත්ය. ට්‍රම්ප් සතියකට පෙර “සටන් විරාමය” නිවේදනය කළ විට, හෝමූස් සමුද්‍ර සන්ධියේ පාලනය ඉරානය අත ඉතිරි කිරීම මත පදනම්ව ඩිමොක්‍රටික් පක්ෂය එය විවේචනය කිරීමට  පැන ගත්තේය. ඩිමොක්‍රටික් පක්ෂය මූලෝපායික අරමුණු පිළිගන්නා අතර  ක්‍රියාවට නැගීම පිළිබඳව  පමණක් විරුද්ධ වේ.

ඇමරිකානු දේශපාලන සංස්ථාපිතයේ සෑම අංශයක්ම යුද්ධය අනුමත කරන්නේ නම්, එයට එරෙහි විරෝධය පැමිණිය හැක්කේ මුළුමනින්ම සංස්ථාපිතයට පිටතින් පමණි. කම්කරු පන්තිය තමන්ගේම ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම හරහා නාවික අවහිර කිරීමට සහ සමස්තයක් ලෙස යුද්ධයට විරුද්ධ විය යුතුය. වැඩ කරන ජනතාවගේ ජීවත් වීම සඳහා පවතින සමාජ වැඩසටහන් වලට ඓතිහාසික ප්‍රහාරයක් එල්ල කිරීම හරහා යුධ වියදම්  ගෙවනු ලැබේ. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ දිවා  භෝජනයකදී ට්‍රම්ප් පැවසුවේ රජය යුද්ධ කරන බැවින් මෙඩිකෙයාර් (Medicare) ,මෙඩිකේඩ් (Medicaid) සහ අනෙකුත් සමාජ වැඩසටහන් සඳහා මුදල් ගෙවිය නොහැකි බවයි.

අත්‍යවශ්‍ය වැඩසටහන් කපා හැරීමෙන් යුද්ධය සඳහා ගෙවීම් කරන ලෙස ඉල්ලා සිටිනු ලබන එම පන්තියෙන්ම (කම්කරු පන්තියෙන්ම) යුද්ධය සඳහා සටන් කිරීමටද කැඳවුම් කරනු ලැබේ.

2026 ජාතික ආරක්ෂක බලය පැවරීමේ ( National Defense Authorization Act) පනතේ කොටසක් ලෙස ට්‍රම්ප් විසින් අත්සන් කර නීති ගත කරන ලද, වයස අවුරුදු 18 සිට 26 දක්වා සියලුම පිරිමින් සඳහා  හමුදාවලට බැඳීමේ ස්වයංක්‍රීය ලියාපදිංචිය, 2026 දෙසැම්බර් මාසයේදී ක්‍රියාත්මක වේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය වෙනුවෙන් චීනයෙන් බලශක්ති සැපයුම සුරක්ෂිත කිරීම සඳහා, වානේ කම්කරුවන්ගේ සහ ගබඩා සේවකයින්ගේ, පතල් කම්කරුවන්ගේ සහ සංක්‍රමණික ගොවිපල කම්කරුවන්ගේ දරුවන්, ඩිස්ට්‍රෝයර් යාත්‍රා මත හා පර්සියානු ගල්ෆ් වෙරළ තීරය මත මිය යාමට යවනු ලැබේ. 

යුද්ධයට එරෙහි සටන, සමාජ වැඩසටහන් විනාශ කිරීමට, බලහත්කාරයෙන් හමුදා සේවයට බඳවා ගැනීමට සහ මිලිටරි-පොලිස් ආඥාදායකත්වයක් ස්ථාපිත කිරීමට එරෙහි සටනෙන් වෙන් කළ නොහැකි ය. රැකියා, වැටුප් සහ ජීවන තත්වයන් ආරක්ෂා කිරීමේ සටන අධිරාජ්‍යවාදී යුද්ධයට සහ මෙම සමාජ ව්‍යාධීන්ගේ මූල හේතුව වන ධනේශ්වර ක්‍රමයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කළ යුතුය. (අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ට්‍රම්ප් හෝමූස් සමුද්‍ර සන්ධිය අවහිර කිරීම: ඉරාන යුද්ධයේ ඊළඟ අදියර Read More »

Blockade

හෝමුස් අවහිර කිරීම, චීනය සහ කම්කරු පන්තිය: ඉරාන යුද්ධයේ ඊළඟ අදියර – YouTube Podcast

ඉරාන වරායන් කරා මෙන්ම ඉන් පිටතට නැව් ගමනාගමනය යුද නැව් මගින් අවහිර කරන බවට එක්සත් ජනපදය නිවේදනය කිරීම – ඉරානයේ imports සහ exports අවහිර කිරීම – යුදමය ක්‍රියාවක් මෙන්ම ආර්ථික කොල්ලකෑම් ක්‍රියාවක්. මේ අවහිර කිරීම ඉරානයේ ගෙල සිර කිරීමක් පමණක් නොව ලෝක බලශක්ති සහ අමුද්‍රව්‍යවල වැදගත් මර්මස්ථාන ඇමරිකානු ග්‍රහනයට ගැනීම අරමුණු කර ගනී.

මේ පිළිබඳ අපගේ YouTube නාලිකාව වන The Socialist World හි පළකෙරුණු පැහැදිලි කිරීම අසන්න. ඔබගේ හිතවතුන් අතර එය බෙදා හරින්න. ජාත්‍යන්තර යුද විරෝධී සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩ නගන්න. සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නගන්න. අප හා එක්වන්න.

හෝමුස් අවහිර කිරීම, චීනය සහ කම්කරු පන්තිය: ඉරාන යුද්ධයේ ඊළඟ අදියර – YouTube Podcast Read More »

“සටන් විරාම” ප්‍රෝඩාව: ලෙබනනයේ සහ මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධය දිගටම – YouTube Video

එක්සත් ජනපදය සහ ඉරානය අතර සටන් විරාමයක් ඇති කර ගැනීමෙන් පැය කිහිපයක්  ගත වීමට මත්තෙන් එම සටන් විරාමය ව්‍යාජයක් බව නෙතන්‍යාහු ලෙබනනයට දැවැන්ත බෝම්බ ප්‍රහාරයක් එල්ල කිර්‍ර්මෙන් හෙළිදරව්  විය.

මේ පිළිබඳ අපගේ YouTube නාලිකාව වන The Socialist World හි පළකෙරුණු පැහැදිලි කිරීම අසන්න. ඔබගේ හිතවතුන් අතර එය බෙදා හරින්න. ජාත්‍යන්තර යුද විරෝධී සමාජවාදී ජාත්‍යන්තරවාදී ව්‍යාපාරයක් ගොඩ නගන්න. සමාජවාදී සමානතා පක්ෂය ගොඩ නගන්න. අප හා එක්වන්න.

“සටන් විරාම” ප්‍රෝඩාව: ලෙබනනයේ සහ මැද පෙරදිග අධිරාජ්‍යවාදී යුද්ධය දිගටම – YouTube Video Read More »

Scroll to Top