අන්ඩ්‍රියා ලෝබෝ විසිනි.
මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මාර්තු 18 වන දින “Washington’s assault on Cuba and Latin America: A key front in the capitalist drive to abolish the 20th century” යන හිසින් පළවූ අන්ඩ්‍රියා ලෝබෝ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.
මතන්සාස්, කියුබාව [ඡායාරූපය Greg0611 / CC BY 4.0]
සඳුදා දිවයින (කියුබාව) පුරා සම්පූර්ණ විදුලි කප්පාදුවකට සමගාමීව, එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වාර්තාකරුවන්ට පුරසාරම් දෙඩුවේ, “කියුබාව අල්ලා ගැනීමේ ගෞරවය මට ලැබෙනු ඇතැයි මම විශ්වාස කරවා. ඒක ලොකු ගෞරවයක්”,යනුවෙනි.
“මම ඒක නිදහස් කළත්, ලබා ගත්තත්, මට හිතෙනවා ඒකෙන් මට ඕන දෙයක් කරන්න පුළුවන් කියලා,” ඔහු එය පැවසුවේ, “බිග් ස්ටික්” ( Big Stick) රාජ්‍ය තාන්ත්රිකත්වයේ නිර්මාතෘ වන තියඩෝර් රූස්වෙල්ට් පවා ලැජ්ජාවට පත් කරන ආකාරයේ මැර කල්ලිවාදයකිනි.
ජනවාරි 29 වන දින ට්‍රම්ප් විසින් කියුබාව “ජාතික හදිසි අවස්ථාවක්” ලෙස නම් කිරීමෙන් සහ මෙම දූපත් රාජ්‍යයට එරෙහිව සම්පූර්ණ බලශක්ති සම්බාධක පැනවීමෙන් පසු හවානා විසින් ලබා දුන් ප්‍රධාන අත් හැරීම් මාලාවකින් පසුව මෙම උද්දච්ච ප්‍රකාශ නිකුත් විය.
සති කිහිපයක් ඇතුළත, කියුබානු රජය විසින් පෞද්ගලික ව්‍යාපාර පුළුල් කරමින් සහ රාජ්‍ය-පෞද්ගලික හවුල්කාරිත්වයන්ට ඉඩ සලසමින් පුළුල් ආර්ථික “ප්‍රතිසංස්කරණ” නිවේදනය කර ඇත. කියුබානු-ඇමරිකානු ත්රස්තවාදීන්ගේ සන්නද්ධ ආක්‍රමණයක් විමර්ශනය කිරීමට උදව් කිරීම සඳහා දිවයිනට FBI “විශේෂඥයින්”ට ආරාධනා කර තිබේ. මියාමි හි එක්සත් ජනපද සංගත සහ පිටුවහල් “ගුසානෝ (gusano)”ධනපතියන් හා සමග සබදකම් සදහා විවෘතව තැත් කර ඇත. එමෙන්ම ඉන්ධන අවහිර කිරීම සහ “ආරක්ෂක සහයෝගීතාව” සම්බන්ධයෙන් ට්‍රම්ප් පරිපාලනය සමඟ අඛණ්ඩ සාකච්ඡා තහවුරු කර ඇත.
බදාදා දින, කියුබාවේ ජනාධිපති මිගෙල් ඩියාස්-කැනල් විසින් “දිනපතාම පාහේ” ට්‍රම්ප් සිදු කරනු ලබන තර්ජන හෙළා දුටු අතර, ඊට “නොනැමෙන ප්‍රතිරෝධය” ප්‍රකාශ කළ නමුත් ඔහුගේ පරිපාලනයේ ක්‍රියාමාර්ග යටත් වීමක් පෙන්නුම් කරයි. නියෝජ්‍ය අගමැති ඔස්කාර් පෙරෙස්-ඔලිවා එන්බීසී ප්‍රවෘත්ති වෙත පැවසුවේ “ඇමරිකානු සමාගම් සමඟ සහ එක්සත් ජනපදයේ වෙසෙන කියුබානුවන් සහ ඔවුන්ගේ පරම්පරාවන් සමඟ ද නම්‍යශීලී වාණිජ සම්බන්ධතාවයක් පැවැත්වීමට කියුබාව විවෘත” බවයි.
මෙය ෆිදෙල් කැස්ත්‍රෝ විසින් පිටුවහල් ප්‍රාග්ධනය සඳහා දීර්ඝ කාලයක් තිස්සේ පනවා තිබූ තහනමේ ඓතිහාසික ආපසු හැරීමකි. ආක්‍රමණ, ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සහ ඝාතන උත්සාහයන් හරහා අර්ධ යටත් විජිත යුගය නැවත ඇති කිරීමට උත්සාහ කළ ස්ථරවලට එරෙහිව ආරක්ෂාවක් ලෙස මෙය යුක්ති සහගත කරන ලදී.
එහෙත් මෙය පාලන තන්ත්‍ර වෙනසක් සඳහා ධවල මන්දිර බල කිරීම් සන්සුන් කිරීමට කිසිවක් කර නැත. අඟහරුවාදා ඕවල් කාර්යාලයේ ට්‍රම්ප් අසල වාඩි වී සිටි රාජ්‍ය ලේකම් මාර්කෝ රුබියෝ, හවානාහි ව්‍යාපාරික-ගැති පියවර ප්‍රමාණවත් නොවන බව පවසා ප්‍රතික්ෂේප කළේය: “ඔවුන්ට එය නිවැරදි කළ නොහැක. එබැවින් ඔවුන් බරපතල ලෙස වෙනස් විය යුතුය. ඔවුන් ඊයේ නිවේදනය කළ දෙය ප්‍රමාණවත් තරම් නාටකාකාර නොවේ. එය එය නිවැරදි කිරීමට සමත් නැත.”
කැස්ත්‍රෝ පවුල දිවයිනේ අඛණ්ඩව රැඳී සිටීම ගැනත්, ඩයස්-කැනල් සම්බන්ධයෙන් “ඉවත් කිරීමේ” පියවරක් ගැනීම සහ “වරාය, බලශක්තිය සහ සංචාරක ව්‍යාපාරය සම්බන්ධ ගණුදෙනු” – වෙනත් වචන වලින් කිවහොත්, එකඟතාවයට එළඹුණු නැවත-යටත්විජිතකරණ පැකේජයක්– පිළිබඳව ට්‍රම්ප්ගේ කණ්ඩායම සාකච්ඡා කරමින් සිටින බව USA Today වාර්තා කර ඇත.
එක්සත් ජනපදය කියුබාව වටලෑම, අර්ධගෝලයේ සෑම රටකම ඉරණම සෘජුවම නියම කිරීමට සහ ඔවුන්ගේ සියලු සම්පත් අත්පත් කර ගැනීමට වොෂින්ටනයට ඇති අයිතිය තහවුරු කරන මොන්රෝ මූලධර්මයේ ට්‍රම්ප්ගේ “ට්‍රම්ප් අනුෂංගය” (Trump Corollary) යටතේ වන පුළුල් අධිරාජ්‍යවාදී ප්‍රහාරයක සංරචකයකි.
ඇමරිකානු මහජනතාවට එය අලෙවි කරන ආකාරය පිළිබඳ විවාදවලට අමතරව, පාලන තන්ත්‍රයන් වෙනස් කිරීමේ ජන සංහාරක මෙහෙයුමට පක්ෂ දෙකම සහ සංගත (large company) මාධ්‍ය සහාය දක්වයි. පක්ෂයේ “ප්‍රගතිශීලී” පාර්ශ්වයේ කොටසක් ලෙස සැලකෙන ඩිමොක්‍රටික් කොන්ග්‍රස් සභික රෝ ඛන්නා, X සමාජ මාධ්‍යය තුළ එයට අනුමැතිය දෙමින් “(එවැනි) ගිවිසුමක් ඇමරිකානු සහ කියුබානු ව්‍යවසායකයින්ට කියුබාවේ ආයෝජනය කිරීමට සහ කියුබාව ආර්ථික වශයෙන් යථා තත්ත්වයට පත් කිරීමට සහ නවීකරණය කිරීමට උපකාරී වනු ඇත,” යනුවෙන් ලිව්වේය.
මේ මස මුලදී මියාමි හි පැවති ෂීල්ඩ් ඔෆ් ද ඇමරිකාස් (Shield of the Americas) සමුළුවේදී, ට්‍රම්ප් විසින් ආර්ජන්ටිනාව, ඉක්වදෝරය, පැරගුවේ, චිලී සහ අර්ධගෝලයේ වෙනත් තැන්වල අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්‍ර සහ සහචරයින් පොදු වැඩසටහනක් සඳහා එක් කරන ලදී. එමගින් හමුදාකරණය, මහජන මර්දනය සහ ජීවන තත්වයන්ට සහ සමාජ වැඩසටහන් වලට දැවැන්ත ප්‍රහාරයක් එල්ල කිරීම අරමුණු කර ගෙන ඇත.
ට්‍රම්ප් ෆැසිස්ට්වාදී කලාපීය නායකයින්ට පැවසුවේ “කියුබාව එහි ජීවිතයේ අවසාන මොහොතේ පසුවෙන,” බවයි. ඊට ඔවුහු අත්පොළසන් දෙමින් ප්‍රතිචාර දැක්වූහ.
“මත්ද්‍රව්‍ය-ත්රස්තවාදීන්ට” එරෙහිව සටන් කරන බව පවසමින්, “සම්පූර්ණ සමූලඝාතන මෙහෙයුම” යටතේ එක්සත් ජනපදය ඉක්වදෝරයට හමුදා යොදවා FBI සහ හමුදා කාර්යාල විවෘත කර ඇත. මෙම ඒකාබද්ධ ප්‍රහාරයෙන් ගොවීන්ගේ නිවාස ගිනි තැබීම, ග්‍රාමීය ප්‍රදේශවලට බෝම්බ හෙලීම සහ කම්කරුවන්ට වධහිංසා පැමිණවීම පමණක් නොව, ඉක්වදෝරයෙන් දියත් කරන ලද ගුවන් ප්‍රහාරයකින් තම භූමියේ පුද්ගලයින් 27 දෙනෙකු ඝාතනය වීම කොලොම්බියාව විසින් හෙළා දැකීමද සිදුවුණි. මේ අතර, ඉක්වදෝර අධිකරණ විසින් ප්‍රධාන ධනේශ්වර විරුද්ධ පක්ෂය වන රෆායෙල් කොරියාගේ “ පුරවැසි විප්ලවය ව්‍යාපාරය” අත්හිටුවා තිබේ.
පෙන්ටගනයේ දක්ෂිණ අධිකාරිය කලාපය පුරා තම කඳවුරු පිහිටුවා ගැනීමේ අයිතිවාසිකම් ආක්‍රමණශීලී ලෙස අත්කර ගනිමින් ද, කැරිබියන් සහ පැසිෆික් කලාපයේ නාවික මෙහෙයුම් පුළුල් කරමින් ද සිටී. මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ සාක්ෂි නොමැතිව චෝදනා කරනු ලැබූ ධීවරයින් 157 දෙනෙකුගේ ජීවිත බිලිගත් දැනුදු කෙරීගෙන යන අඛණ්ඩ බෝම්බ හෙලීමේ ව්‍යාපාරයක් ද ඊට ඇතුළත් ය.
පැනමා ඇළ සහ ග්‍රීන්ලන්තය මිලිටරිමය වශයෙන් අත්පත් කර ගන්නා බවට ට්‍රම්ප් නැවත නැවතත් තර්ජනය කර ඇති අතර, මෙක්සිකෝව ආක්‍රමණය කර බෝම්බ හෙලීම සඳහා නිතර කැඳවුම් කරයි.
වෙනිසියුලාව යටත් කරගත් භූමියක් ලෙස සලකමින්, කැනඩාව පිළිබඳ ඒ හා සමාන ප්‍රකාශයන් අනුගමනය කරමින්, ට්‍රම්ප් මෑතකදී සමාජ මාධ්‍ය ඔස්සේ යෝජනා කළේ, වෙනිසියුලාව එක්සත් ජනපදයේ 51 වන රාජ්‍යය බවට පත්විය හැකි බවයි. කැරකස් හි බෝම්බ හෙලීමේ ව්‍යාපාරයක් අතරතුර ජනාධිපති නිකොලස් මධුරෝ සහ ඔහුගේ බිරිඳ පැහැර ගැනීම, සීඅයිඒ සංවිධානයට රට විවෘත කර ඇති අතර, එහි තෙල් හා ඛනිජ සම්පත් කොල්ලකෑම සඳහා සංගතවලට විවෘත කර තිබේ.
ට්‍රම්ප්ගේ භාණ්ඩාගාර ලේකම්වරයා ආර්ජන්ටිනාව කලාපයේ ඇමරිකානු මූලෝපායික මාර්ගයේ “කේන්ද්‍රස්ථානය” ලෙස ප්‍රකාශ කිරීමත් සමඟ, හාවියර් මිලී, චීන ධීවර මෙහෙයුම්වලට එරෙහි වීමේ මුවාවෙන් දකුණු අත්ලාන්තික් සාගරයේ පාලනය පෙන්ටගනයට පවරා දී, වසර 100 කට වැඩි කාලයක් තිස්සේ කම්කරුවන්ගේ ජයග්‍රහණ මකා දැමීම අරමුණු කරගත් කම්කරු “ප්රතිසංස්කරණයක්” ක්‍රියාත්මක කර, එක්සත් ජනපද පිටුබලය ලත් අවසන් මිලිටරි ආඥාදායකත්වයේ අපරාධ ආරක්ෂා කර ඇත.
ආර්ජන්ටිනා, හොන්ඩුරාස් සහ කොස්ටාරිකාවේ අන්ත දක්ෂිණාංශික අපේක්ෂකයින් සදහා සිදුකල සමාන ආකාරයේ බලහත්කාරී අනුමත කිරීම් වලින් පසුව, මිලීගේ ප්‍රතිපත්ති අනුගමනය කරමින් ආර්ථික කම්පන-චිකිත්සක (shock therapy) වැඩසටහනක් දැනටමත් දියත් කරමින් සිටින, ඔගස්ටෝ පිනෝචෙට් ඒකාධිපතිත්වයේ විවෘත රසිකයෙකු වන හොසෙ ඇන්ටෝනියෝ කස්ට්ගේ චිලී මැතිවරණ ව්‍යාපාරයට ට්‍රම්ප් සහාය දැක්වීය.
මෙය හුදෙක් භූ දේශපාලනය නොවේ; එය පන්ති යුද්ධය යි. 20 වන සියවස පුරා මුළු ඇමරිකානු කලාපයේම කම්කරුවන් දිනා ගන්නා ලද සමාජ හා ප්‍රජාතන්ත්‍රවාදී ජයග්‍රහණ අතුගා දැමීම මෙහි අරමුණයි. එය පසුගිය සියවසේ මිලිටරි ඒකාධිපතිත්වයන් විසින් උත්සාහ කරන ලද සමාජ ප්රතිවිප්ලවය සම්පූර්ණ කිරීමකි. මෙය දේශීයව ෆැසිස්ට් තන්ත්‍රයක් ගොඩනැගීමට ට්‍රම්ප් දරන උත්සාහයන්ගෙන් වෙන් කළ නොහැකිය.
කියුබාවට සාමූහිකව දඬුවම් කිරීම
දිවයිනට එකදු මිසයිලයක් වත් එල්ල නොකර වුවද, කියුබාවේ ආර්ථික ගෙල සිර කිරීම මගින් සිදු කරන විනාශයේ පරිමාණය යුද්ධයේ විනාශයට සමාන වේ. 2026 මුල් භාගයේදී මදුරෝ ඉවත් කිරීමෙන් පසුව, එක්සත් ජනපදය විසින් කියුබාව වෙනිසියුලානු තෙල් නැව්ගත කිරීම් කපා හැර ඇති අතර කියුබාවට ඉන්ධන අපනයනය කළහොත් මෙක්සිකෝව සහ අනෙකුත් සැපයුම්කරුවන්ට ආර්ථික අඩපණ කෙරෙන තීරුබදු පැනවීමට තර්ජනය කළේය. මෙක්සිකෝවේ ජනාධිපති ක්ලෝඩියා ෂයින්බෝම් ජනවාරි මාසයේදී තෙල් නැව්ගත කිරීම් නැවැත්වූවාය. “වාම” නායකයින් සහ ප්‍රධාන තෙල් අපනයනකරුවන් විසින් පාලනය කරනු ලබන බ්‍රසීලය සහ කොලොම්බියාව ද සම්බාධක බිඳ දැමීම ප්‍රතික්ෂේප කර ඇත.
මෙය හුදෙක් යටත් වීමක් නොව, අර්ධගෝලය කපා කොටස් කිරීමේ වොෂින්ටනයේ නව යටත් විජිතවාදී ප්‍රතිපත්තියේ කනිෂ්ඨ හවුල්කරුවන් ලෙස තමන්ව ස්ථානගත කිරීමට උත්සාහ කරන දේශීය ධනේශ්වර අවශ්‍යතා ආරක්ෂා කිරීමට සහාය වීමකි.
කියුබාවේ හුදකලාව තියුණු ය. ඉක්වදෝරය කියුබානු රාජ්‍ය තාන්ත්‍රිකයින් නෙරපා හැරියේය; නිකරගුවාව කියුබානුවන් සඳහා වීසා රහිත ගමන් සීමා කළේය; එසේම, සහ ග්වාතමාලාව, හොන්ඩුරාස් සහ ජැමෙයිකාව, ඩොලර ඇතුලු ප්‍රධාන විදේශ මුදල් සැපයූ වෛද්‍ය සහයෝගීතා ගිවිසුම් අවසන් කිරීමට පියවර ගෙන තිබේ.
බර බොරතෙල් දහනය කරන පැරණි සෝවියට් යුගයේ තාප බලාගාර සහ ඩීසල් ජනක යන්ත්‍ර ජාලයක් මත යැපෙන කියුබානු විදුලිබල ජාලය බිඳවැටීමේ ලක්ෂ්‍යයෙන් ඔබ්බට තල්ලු කර දමා ඇත. මාර්තු 16 වන දින, මුළු ජාතික විදුලිබල පද්ධතියම බිඳ වැටීමෙන් මුලු දිවයිනම අන්ධකාරයට ඇද වැටුණි . ඉන් පැය 29 කට පසුව, විදුලිය අර්ධ වශයෙන් පමණක් යථා තත්ත්වයට පත් කරන ලදී.
මැටන්සාස් හි සේවිකාවක් WSWS වෙත පැවසුවේ ඇගේ අසල්වැසි ප්‍රදේශයේ විදුලිය නොමැතිව දින ගණනක් ගෙවී ගොස් ඇති බවයි. පානීය ජලය සීමිත වුවද, ඉවුම් පිහුම් සඳහා අවශ්‍ය වන ගෑස් සොයා ගැනීමට නැත. සෞඛ්‍ය සේවා පද්ධතියේ බිඳවැටීමේ ප්‍රතිඵලයක් ලෙස දැනටමත් ගණන් කළ නොහැකි ජීවිත ප්‍රමාණයක් අහිමි කරමින් පවතීම නිසා සමීප ඥාතියෙකු මෑතකදී මිය ගිය බව ඇය විස්තර කළාය.
වෛද්‍ය පද්ධතියෙ හි “හදිසි නොවන” ක්‍රියා පටිපාටි 100,000 කට ආසන්න සංඛ්‍යාවක පොරොත්තු ලේඛනයක් ඇති අතර, එයට ළමුන් 11,000 කට වඩා ඇතුළත් වේ. බොහෝ අවස්ථාවලදී, “හදිසි නොවන” යන්නෙහි සරල තේරුම “තවමත් මිය ගොස් නැත” යන්නයි.
බලශක්ති විශ්ලේෂක ජෝර්ජ් පිනෝන් අනතුරු අඟවා ඇත්තේ: “ඉන්ධනවලින් සියයට සියයක්ම අතුරුදහන් වන රටක් මම කිසි දිනෙක දැක හෝ අධ්‍යයනය කර නැත.”යනුවෙනි.
මෙම තත්වයන් යටතේ, කුඩා නමුත් සැලකිය යුතු විරෝධතා පැන නැගී ඇත: බිඳ වැටෙන අධ්‍යාපනයට එරෙහිව විශ්ව විද්‍යාල සිසුන් වාඩිලා ගැනීම, කම්කරු පන්ති නිවහන් ප්‍රදේශ වල භාජන වලට ගසමින්, විදුලිය සහ ආහාර ඉල්ලා සිටීම, මෑතකදී විරෝධතාකරුවන් විසින් කොමියුනිස්ට් පක්ෂ කාර්යාලයක ගෘහ භාණ්ඩ ගිනි තැබූ මොරොන්හි ඇති වූ කෝලාහල වැනි දේ සදහන් කල හැක.
20 වන සියවස අහෝසි කිරීමේ ගාමකයේ පෙරමුණක්
කියුබාවට එරෙහි අධිරාජ්‍යවාදී ප්‍රහාරය සුවිශේෂී ලෙස පළිගැනීමේ ස්වභාවයක් ගනී. වොෂින්ටනය හුදෙක් සංගත වල හා මූල්‍ය අවශ්‍යතා පසුපස හඹා යනවා පමණක් නොව, ඇමරිකානු රූකඩ පාලන තන්ත්‍ර පෙරලා දැමූ 1959 කියුබාවේ සහ 1979 ඉරානයේ විප්ලව දෙකකට එරෙහිව එකවර ඓතිහාසික පළිගැනීමේ ව්‍යාපාරයක් දියත් කරමින් සිටී.
හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව අවධාරනය කළ පරිදි, කියුබානු විප්ලවය කම්කරු පන්තියේ සවිඥානික නායකත්වය යටතේ ධනේශ්වර දේපළ සබඳතා සමාජවාදී ලෙස පෙරළා දැමීමක් නියෝජනය කළේ නැත. ඒ වෙනුවට, එක්සත් ජනපද සංගත වල දේපළ අත්පත් කර ගැනීම, ඉඩම් ප්‍රතිසංස්කරණ සහ සෞඛ්‍ය හා අධ්‍යාපනයේ සමාජ පියවර ක්‍රියාවට දැමිණි. ඒවා 20 වන සියවසේ ලොව බොහෝ ප්‍රදේශවල බලයට පත් වූ ධනේශ්වර ජාතිකවාදී සහ යටත් විජිත විරෝධී ව්‍යාපාරවල රැඩිකල් ප්‍රභේදයක් වූ අතර අවසාන විග්‍රහයේදී 1917 රුසියානු විප්ලවයෙන් ආභාෂය ලැබීය.
අද, ගෝලීය ධනේශ්වර අර්බුදයේ සහ යුද ධාවනයේ කස පහර යටතේ, පාලක පන්ති “20 වන සියවස අහෝසි කිරීමට” අධිෂ්ඨාන කරගෙන සිටී. එනම්, නග්න සූරාකෑම, යටත් විජිතකරණය සහ සීමා නොකළ පොලිස් මිලිටරි පාලනයන් පිහිටුවීම ආදීය මගින් මානව වර්ගයා 19 වන සියවසේ පැවැති තත්වයන්ට නැවත ගෙන ඒමයි.
ජනවාරි මාසයේ වාර්තාවක එක්සත් ජනපද චින්තන පර්ෂදයක් වන ජේම්ස්ටවුන් පදනම (Jamestown Foundation) සඳහන් කළේ, කියුබාවේ ඇද වැටීම “ රුසියාවට, චීනයට හෝ වෙනත් කිසිවෙකුට විකල්ප බල මධ්‍යස්ථානයක් ලෙස ක්‍රියා කිරීමට ඇති නොහැකියාව පිළිබඳ අවසාන සාක්ෂියක් ලෙස ගෝලීය දකුණ විසින් සැලකෙනු ඇති ” බවයි.
කියුබාවේ දුක්ඛිත තත්ත්වයට, ලතින් ඇමරිකාවේ ඊනියා “රෝස රැල්ලේ” (pink tide) රජයන් හා රුසියාව සහ චීනය දක්වන ප්‍රතිචාරය, ඔවුන්ගේ බංකොලොත්භාවය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයට ප්‍රතිවිරුද්ධ බලයක් ලෙස “කලාපීය ඒකාබද්ධතාවයෙ” නැතහොත් BRICS හි වංචාව හෙළිදරව් කරයි.
නමුත් කියුබාවට එරෙහි දරුණු ප්‍රහාරය සහ ලතින් ඇමරිකාවේ අන්ත දක්ෂිණාංශික පාලන තන්ත්රයන්ගේ ප්‍රති-විප්ලවවාදී අක්ෂයක් ගොඩනැගීමට දරන උත්සාහය, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ශක්තියේ සලකුණු නොව එහි ගැඹුරු දුර්වලතාවයේ සලකුණු වේ.
කියුබාවේ කටුක වේදනාව, එක්සත් ජනපද ආර්ථික හා මිලිටරි ආධිපත්‍යය මත රැදුනු 1945 න් පසු ලෝක පර්යායේ පුළුල් බිඳවැටීම සහ බහු ධ්‍රැවීයතාව ඇතුළු වෙනත් කිසිදු ධනේශ්වර පදනමක් මත මෙම පර්යාය ප්‍රතිනිර්මාණය කිරීමේ නොහැකියාව සමඟ බැඳී ඇත.
ජාත්‍යන්තර කම්කරු පන්තික ප්‍රහාරයක් දෙසට
කියුබාවේ ගෙල සිර කිරීම, ඊට අනුබල දෙන ධනේශ්වර-ජාතිකවාදී ආණ්ඩුවලට ආයාචනා කිරීමෙන් නැවැත්විය නොහැකි නම්, එයට විරුද්ධ විය හැක්කේ කුමන සමාජ පදනමක් මතද?
පිළිතුර පවතින්නේ ජාත්‍යන්තර කම්කරු පන්තිය සතුවය. කියුබාව වටලෑම එක්සත් ජනපදය ඇතුළු සෑම තැනකම කම්කරුවන්ට එල්ල කරන ප්‍රහාරයෙන් වෙන් කළ නොහැකි ය. ඉරානයට එරෙහි සාපරාධී යුද්ධයෙන් මෙහෙයවනු ලබන තෙල් මිල ඉහළ යාම දැනටමත් උද්ධමනයට සහ කප්පාදුවලට ඉන්ධන සපයන අතර එය 1970 ගණන්වල සිදුවීම් සිහිපත් කරයි. එහි දී ඇති වූ තෙල් කම්පන මගින් ලතින් ඇමරිකාව සහ ඉන් ඔබ්බට දැවැන්ත පන්ති අරගල පුපුරුවා හැරියේය.
කියුබාවට සිදු කරනු ලබන වධහිංසාවට එරෙහිව පන්ති ප්‍රතිචාරය අධිරාජ්‍යවාදී යුද්ධයට සහ සමාජ ප්‍රතිවිප්ලවයට එරෙහි පුළුල් අරගලයක කොටසක් ලෙස සංවිධානය කළ යුතුය. කියුබානු කම්කරු පන්තියේ සාගින්න අවසන් කිරීම සඳහා එක්සත් ජනපදය, කැනඩාව, ලතින් ඇමරිකාව ඇතුළු ජාත්‍යන්තර කම්කරු පන්තිය විසින් සම්බාධක සහ සියලු අවහිර කිරීම් වහාම සහ කොන්දේසි විරහිතව අවසන් කරන ලෙස ඉල්ලා සිටිය යුතු අතර එමඟින් එයට (කම්කරු පන්තියට) තමන්ගේ පාලක ප්‍රභූව සමඟ ගණුදෙනු බේරා ගැනීමට ඉඩ සැලැසෙනු ඇත.
කියුබාව සුරැකීම ස්ටැලින්වාදී සහ ව්‍යාජ වාම සංවිධාන විසින් දිගු කලක් තිස්සේ ඔසවා ආරක්ෂා කරන ලද අර්ථයෙන් “ජාතික” ප්‍රශ්නයක් නොවේ.
ඩේවිඩ් නෝර්ත් ඔහුගේ 1993 “නොනවතින විප්ලවය සහ අද දින ජාතික ප්‍රශ්නය” දේශනයේදී පැහැදිලි කළ පරිදි, අධිරාජ්‍යවාදය “ජාතික රාජ්‍යයේම මළ බෙරය වැයූ බව” ට්‍රොට්ස්කි පෙන්වා දුන්නේය. එපමණක් නොව, “අධිරාජ්‍යවාදයේ යුගයේ දී, ජාතික පදනමක් මත මානව වර්ගයාගේ කිසිදු මූලික ගැටලුවක් විසඳීමේ නොහැකියාව”, ස්වදේශික ධනේශ්වර නායකත්වයක් යටතේ “ජාතික විමුක්තිය” පිළිබඳ ඉදිරිදර්ශනය ප්‍රතිගාමී යුතෝපියාවක් බවට පත් කර ඇත. කැස්ත්‍රෝ සහ අසංඛ්‍ය සංඛ්‍යාත “ජාතික විමුක්ති” සංකේතවල වාර්තාව මෙය සනාථ කර ඇත: ඔවුන් සියල්ල ජාතික-රාජ්‍ය රාමුවක් මත රඳා පැවතුනි; අධිරාජ්‍යවාදය සහ ස්ටැලින්වාදය අතර සමතුලිතතාවය සදහා උත්සාහ කළ අතර, ඔවුන්ගේ මතුපිට ජයග්‍රහණ බිඳ වැටුණු විට ඒ සදහා මිල ගෙවීම කම්කරු පන්තිය මත පැටවුනි.
කියුබාවේ සහ වෙනිසියුලාවේ රජයන් සමඟ “රෝස රැල්ලේ” ඉතිරි රටවල් වල වත්මන් යටත් වීමේ රැල්ල, ට්‍රොට්ස්කිගේ නොනවතින විප්ලව න්‍යාය නිශේධනීය ලෙස සනාථ කරයි: එනම්, අධිරාජ්‍යවාදී යුගයේ දී, පීඩිත රටවල් මුහුණ දෙන මූලික ප්‍රජාතන්ත්‍රවාදී සහ සමාජීය කාර්යයන් කිසිවක්, ධනේශ්වර හෝ සුලු ධනේශ්වර නායකත්වයන් යටතේ ජාතික පදනමක් මත විසඳා ගත නොහැක. කියුබාව ආරක්ෂා කිරීම සඳහා සහ 20 වන සියවසේ කම්කරුවන් විසින් දිනා ගන්නා ලද සියලු ජයග්‍රහණ ආරක්ෂා කිරීම සඳහා ඇති ඇති එකම ශක්‍ය පදනම නම්, ලෝක සමාජවාදී විප්ලවයේ කොටසක් ලෙස බලය සඳහා කම්කරු පන්තිය ස්වාධීනව, ජාත්‍යන්තරව බලමුලු ගැන්වීමයි.
මෙහි තේරුම නම්, ඉදිරියේදී ඇතිවන පන්ති අරගලයට අවශ්‍ය දැනුවත් සමාජවාදී නායකත්වය ලබා දීම සඳහා කියුබාව තුළ සහ ලතින් ඇමරිකාව පුරා හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුවේ කොටස් ලෙස සැබෑ විප්ලවවාදී පක්ෂ ගොඩනැගීමයි.
(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)