World Economy

Merz

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර 

ජොහැන්නස් ස්ටර්න් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 11 දින “EU summit accelerates war course: Arms build-up, trade war, social cuts and anti-refugee measuresයන හිසින් පළවූ ජොහැන්නස් ස්ටර්න් විසින් ලියන ලද ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Merz
ජර්මානු චාන්සලර් ෆ්‍රෙඩ්රික් මර්ස් 2026 ජුනි 18-19 දිනවල බ්‍රසල්ස් හි පැවති EU සමුළුවේදී කතා කරයි. [AP ඡායාරූපය/මාරියස් බර්ගල්මන්]

බ්‍රහස්පතින්දා සහ සිකුරාදා බ්‍රසල්ස් හි පැවැත්වුණු යුරෝපා සංගම් (EU) සමුළුව සෑම අතින්ම යුද සමුළුවක් විය. “ආරක්ෂාව”, “තරඟකාරිත්වය”, “ප්‍රත්‍යස්ථතාව” සහ “සංක්‍රමණ” වැනි නිල සූත්‍රගත කිරීම් පිටුපස සැඟවී ඇත්තේ නැවත ප්‍රතිසන්නද්ධ වීම, යුද්ධය උත්සන්න කිරීම, සමාජ කප්පාදු සහ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිවාසිකම්වලට ප්‍රහාර එල්ල කිරීමේ පුළුල් වැඩපිළිවෙලකි.

යුක්රේනය සඳහා වන මිලිටරි ආධාර දැවැන්ත ලෙස පුළුල් කිරීමටත්, මුළු මහද්වීපය පුරාම ආයුධ නිෂ්පාදනය වේගවත් කිරීමටත්, 2030 වන විට යුරෝපා සංගමය යුද්ධයට සූදානම් කිරීමටත් යුරෝපා සංගමයේ රාජ්‍ය සහ ආණ්ඩු ප්‍රධානීහු තීරණය කළහ. එම සමගම ඔවුහු, මැදපෙරදිග කලාපය තුළ යුරෝපය සඳහා වඩාත් විශාල මිලිටරි භූමිකාවක්, චීනයට එරෙහිව වඩාත් දැඩි වෙළඳ යුද ප්‍රතිපත්තියක්, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ අවශ්‍යතාවලට වඩ වඩාත් යටත් කරන ලද නව යුරෝපා සංගම් අයවැයක් සහ සරණාගත ප්‍රතිපත්තිය තවදුරටත් දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළහ.

මෙම සමුළුව සෘජුවම ගලා ආවේ, සතියකට පෙර ජර්මන් චාන්සලර් ෆ්‍රීඩ්රික් මර්ස් විසින් බුන්ඩෙස්ටැග් (ජර්මන් පාර්ලිමේන්තුව) වෙත ඉදිරිපත් කරන ලද ඔහුගේ ආණ්ඩු ප්‍රකාශය මගින් පනවන ලද ප්‍රතිගාමී මාවතෙනි. මර්ස් ප්‍රකාශ කළේ, නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම, යුරෝපීය “තරඟකාරිත්වය” ශක්තිමත් කිරීම සහ සරණාගතයින් පලවා හැරීම යුරෝපා සංගමයේ කේන්ද්‍රීය කාර්යයන් විය යුතු බවයි. එම අවස්ථාවේදීම, එහි පිරිවැය දරාගත යුත්තේ කවුරුන්ද යන්න ඔහු පැහැදිලි කළේය: එනම් කම්කරු පන්තියයි. මිලිටරිමය වශයෙන් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමට ප්‍රතිපාදන සැපයීම සඳහා ජනගහනය “අනෙකුත් ක්ෂේත්‍රවලද සීමා කිරීම් පිළිගත යුතු” බව ඔහු පැවසීය.

දැන් බ්‍රසල්ස් හිදී සම්මත කරගෙන ඇති වැඩපිළිවෙල යනු මෙම යුද න්‍යාය පත්‍රය යුරෝපය  පුරා ක්‍රියාවට නැංවීමයි.

මෙහි කේන්ද්‍රයේ පැවතියේ, යුක්රේනය තුළ රුසියාවට එරෙහිව නේටෝව (NATO) ගෙන යන යුද්ධය තවදුරටත් උත්සන්න කිරීමයි. යුක්රේන ජනාධිපති වොලොඩිමියර් සෙලෙන්ස්කි පෞද්ගලිකවම මෙම සමුළුවට සහභාගී වූ අතර, තව තවත් ආයුධ, පතොරම්, ගුවන් ආරක්ෂක පද්ධති සහ කඩිනම් යුරෝපා සංගම් සාමාජිකත්වය ඉල්ලා සිටියේය. යුරෝපා සංගම් නායකයෝ යුක්රේනය සඳහා වන ඔවුන්ගේ “නොසැලෙන” සහයෝගය යළිත් සහතික කළ අතර, ඔවුන්ගේ දේශපාලන, මූල්‍ය, ආර්ථික සහ මිලිටරි ආධාර අඛණ්ඩව ලබා දීමට පොරොන්දු වූහ.

යථාර්ථය නම්, මෙය “සහයෝගයක්” වීම බොහෝ කලකට පෙර නතර වී ඇති අතර එය යුද්ධයට සෘජුවම සම්බන්ධ වීමක් බවට පත්ව ඇත. යුරෝපීය බලවත්තු යුක්රේන රාජ්‍ය අයවැයට ප්‍රතිපාදන සපයමින්, වඩ වඩාත් දිගු දුර විහිදෙන ආයුධ පද්ධති සපයමින්, යුක්රේන සෙබළුන් පුහුණු කරමින්, බුද්ධි තොරතුරු සපයමින් සහ යුක්රේන යුද මෙහෙයුම් ඔවුන්ගේම මිලිටරි සැලසුම්වලට වඩ වඩාත් සමීපව අනුකලනය කරමින් සිටිති. 2026 සහ 2027 වර්ෂ සඳහා වන යුරෝ බිලියන 90 ක ණය මුදලක පළමු වාරිකය ජුනි මස අවසානයට පෙර නිකුත් කරන බව සමුළුව යළිත් තහවුරු කළේය. එම අවස්ථාවේදීම, ඔවුන්ගේ ද්විපාර්ශ්වික මිලිටරි ආධාර අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස සාමාජික රටවලින් ඉල්ලා සිටින ලදී.

ආයුධ සහයෝගීතාව පිළිබඳ තීරණ විශේෂයෙන්ම භයානක ය. ගුවන් ආරක්ෂක පද්ධති, පතොරම්, ඩ්‍රෝන යානා සහ මිසයිල නිෂ්පාදනය හා බෙදා හැරීම “කඩිනමින්” වේගවත් කරන ලෙස යුරෝපා සංගමය ඉල්ලා සිටියි. යුරෝපීය සහ යුක්රේන ආයුධ කර්මාන්ත අතර සහයෝගීතාව තවදුරටත් ගැඹුරු කිරීමට නියමිතය. මෙඟින් යුක්රේනය යුරෝපීය යුද ආර්ථිකයට තවදුරටත් සෘජුවම සම්බන්ධ කෙරේ.

මෙහිදී ප්‍රමුඛ භූමිකාවක් ඉටු කරන්නේ ජර්මනියයි. මීට සති කිහිපයකට පෙර, ෆෙඩරල් ආණ්ඩුව කියෙව් (Kiev) පාලනය සමඟ එකඟ වූයේ, රුසියාවේ අභ්‍යන්තරයටම ප්‍රහාර එල්ල කළ හැකි දිගු දුර ඩ්‍රෝන යානා සහ අනෙකුත් ආයුධ පද්ධති ඒකාබද්ධව සංවර්ධනය කිරීමට සහ නිෂ්පාදනය කිරීමටයි. පිස්ටෝරියස්, මර්ස් සහ සෙලෙන්ස්කි එකල විවෘතවම පැහැදිලි කළේ, මෙය තවදුරටත් යුක්රේන භූමිය ආරක්ෂා කිරීම ගැන පමණක් නොව, රුසියානු නගර, පිරිපහදු, බලශක්ති පහසුකම්, මිලිටරි කඳවුරු සහ කාර්මික මධ්‍යස්ථානවලට ප්‍රහාර එල්ල කිරීම ගැන වන බවයි.

මෙහි ප්‍රතිවිපාක ගණන් බලාගත නොහැකි තරම්ය. යුක්රේන හමුදාව දැනටමත් රුසියාවේ අභ්‍යන්තරයටම නිරන්තරයෙන් ඩ්‍රෝන ප්‍රහාර එල්ල කරමින් සිටියි. එවැනි ප්‍රහාරයන්ට ඉඩ සලසන බටහිර රාජ්‍යයන් යුද්ධයේ පාර්ශවකරුවන් ලෙස සලකන බව ක්‍රෙම්ලිනය නැවත නැවතත් ප්‍රකාශ කර ඇත. ඒ සමගම, යුරෝපීය බලවත්තු යුක්රේනය සඳහා වන අනාගත “ආරක්ෂක සහතිකයන්” තුළ තමන්ම ප්‍රධාන භූමිකාවක් භාර ගැනීමටත්, තමන්ගේම යුරෝපා සංගම් සෙබළුන් පවා යුක්රේනයට අනුයුක්ත කිරීමටත් වඩ වඩාත් විවෘතව බලපෑම් කරමින් සිටිති.

සමුළුවේ නිල නිගමනවල සඳහන් වන්නේ: “යුක්රේනයේ සාමය කරා යන මාවත යුක්රේනය නොමැතිව තීරණය කළ නොහැක.” ඊට සෘජුවම පසුව තීරණාත්මක වාක්‍යය පැමිණේ: “යුරෝපා සංගමය එහි හැකියාවට හෝ එහි ආරක්ෂාවට බලපාන කරුණු පිළිබඳව තීරණය කරනු ඇත.” ඊළඟ කරුණ මෙසේ ඉදිරියට යයි: “ඕනෑම අනාගත සමථයකදී යුරෝපයට ඉටු කිරීමට ප්‍රධාන භූමිකාවක් ඇති අතර එය තම අවශ්‍යතා ආරක්ෂා කිරීමට සූදානම්ව සිටියි.”

අනාගත “ආරක්ෂක සහතික” පිළිබඳ ඡේදය ද විශේෂයෙන්ම දුරදිග යන්නකි. යුරෝපීය කවුන්සිලය ප්‍රකාශ කරන්නේ, යුරෝපා සංගමය සහ එහි සාමාජික රටවල් “විශේෂයෙන්ම කැමැත්ත ඇති අයගේ සන්ධානය (Coalition of the Willing) හරහා සහ එක්සත් ජනපදය සමඟ සහයෝගීතාවයෙන් යුක්රේනය සඳහා ශක්තිමත් සහ විශ්වසනීය ආරක්ෂක සහතිකයන් සඳහා දායක වීමට සූදානම්” බවයි. යුරෝපා සංගම් මිලිටරි ආධාර මෙහෙයුම (EU Military Assistance Mission-EUMAM Ukraine), යුරෝපා සංගම් උපදේශන මෙහෙයුම (EU Advisory Mission-EUAM Ukraine) සහ යුරෝපා සංගම් චන්ද්‍රිකා මධ්‍යස්ථානය මඟින් සටන් විරාම නිරීක්ෂණය කිරීම ඇතුළු ක්‍රම මඟින්, “දිගුකාලීනව ද ආක්‍රමණ වැළැක්වීමට සහ ඵලදායී ලෙස ආරක්ෂා වීමට” යුක්රේනයට ඇති හැකියාවට සහය දීම මෙයට ඇතුළත් වේ.

වෙනත් වචනවලින් කිවහොත්, අනාගත මිලිටරි-රාජ්‍ය තාන්ත්‍රික සමථයකදී, යුරෝපා සංගමය කියෙව් පාලනයේ හුදු ආධාරකරුවෙකු ලෙස පමණක් නොව, ස්වාධීන අධිරාජ්‍යවාදී බලවතෙකු ලෙස මේසයේ වාඩි වීමට සහ තමන්ගේම භූ-මූලෝපායික අවශ්‍යතා බලාත්මක කිරීමට ඇති අයිතිය පැහැදිලිවම කියා පාමින් සිටියි. වොෂින්ටනය සහ මොස්කව් තමන්ට උඩින් එකඟතාවයකට පැමිණීම වැළැක්වීමට යුරෝපීය බලවත්තු උත්සාහ කරති. ඉරාන යුද්ධය සහ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ අර්බුදය මඟින් වේගවත් කරන ලද, යුක්රේන යුද්ධයේ සෘජු නායකත්වයෙන් එක්සත් ජනපදය සාපේක්ෂව පසුබැසීම, බර්ලිනය, පැරිසිය, ලන්ඩනය සහ බ්‍රසල්ස් විසින් වඩාත් ආක්‍රමණශීලී ලෙස ක්‍රියා කිරීම සඳහා යොදා ගනිමින් තිබේ.

නේටෝ බලවතුන් සහ රුසියාව අතර සෘජු යුද්ධයක අනතුර දිනෙන් දින වර්ධනය වේ. මේ සතියේ ඉංග්‍රීසි ඕඩය (English Channel) තුළ බ්‍රිතාන්‍යය සහ රුසියාව අතර ඇති වූ ගැටුමෙන් මෙය විශේෂයෙන් පැහැදිලි විය. රුසියානු යුද නෞකාවක් බ්‍රිතාන්‍ය යාත්‍රාවක් අසලට අනතුරු ඇඟවීමේ වෙඩි ප්‍රහාර එල්ල කළේය. නිශ්චිත තත්ත්වයන් මතභේදාත්මක වුවද, නේටෝ රාජ්‍යයන් සහ රුසියාව අතර මිලිටරි ප්‍රකෝපකරනයක් හෝ ගැටුමක් පාලනය කළ නොහැකි උත්සන්න වීමකට කොතරම් ඉක්මනින් මඟ පෑදිය හැකිද යන්න මෙම සිදුවීමෙන් පැහැදිලි වේ.

ලෝක සමාජවාදී වෙබ් අඩවිය (WSWS) එහි ඉදිරිදර්ශන ලිපියක් වූ, “ඉංග්‍රීසි ඕඩයේ වෙඩි තැබීම් – බ්‍රිතාන්‍යය, රුසියාව සහ තුන්වන ලෝක යුද්ධයේ අනතුර” මඟින් අනතුරු ඇඟවූයේ, මෙම සිදුවීම යුරෝපීය කම්කරු පන්තිය විසින් අනතුරු ඇඟවීමක් ලෙස වටහා ගත යුතු බවයි: “ආණ්ඩු ඔවුන්ව රුසියාව සමඟ යුද්ධයකට වඩ වඩාත් සෘජුවම ඇද දමමින් සිටී. මෙම අනතුරු ඇඟවීම යුරෝපා සංගම් සමුළුව මඟින් හරියටම තහවුරු වේ. යුරෝපීය බලවත්තු වර්ධනය වන යුද අනතුරට ප්‍රතිචාර දක්වන්නේ සංයමයෙන් නොව, තව තවත් නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීම් සහ උත්සන්න කිරීම් සමඟිනි.”

සමුළුව නැවත වරක් රුසියාව යුරෝපා සංගමයට “පැවැත්ම පිළිබඳ අභියෝගයක්” (existential challenge) ලෙස ප්‍රකාශ කළ අතර 2030 වන විට යුරෝපයේ “ආරක්ෂක සූදානම” තීරණාත්මක ලෙස ඉහළ නැංවීමට කැඳවුම් කළේය. නිල නිගමනවලදී, ඩ්‍රෝන සහ ඩ්‍රෝන මර්දන පද්ධති, පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති, ගුවන් ආරක්ෂක, අභ්‍යවකාශ හැකියාවන් සහ “ගැඹුරු නිරවද්‍ය ප්‍රහාරක හැකියාවන්” (deep precision strike capabilities) කේන්ද්‍රීය ප්‍රමුඛතා ලෙස නම් කර ඇත. මෙම තාක්ෂණික යෙදුම පිටුපස සැඟවී ඇත්තේ නිරවද්‍ය ආයුධ මඟින් දුරස්ථ ඉලක්ක විනාශ කිරීමේ හැකියාවයි — එනම් රුසියාවට එරෙහිව ප්‍රහාරාත්මක බලයක් සංවර්ධනය කිරීමයි.

එම අවස්ථාවේදීම “මිලිටරි සංචලතාව” (military mobility) වේගවත් කිරීමට නියමිතය. ඊට අදාළ ව්‍යවස්ථාදායක යෝජනා වසර අවසානයට පෙර සම්මත කර ගැනීමට නියමිතය. මෙයින් අදහස් කරන්නේ යුරෝපය පුරා ඇති මාර්ග, දුම්රිය මාර්ග, පාලම්, වරායන්, ගුවන් තොටුපළවල් සහ දේශසීමා තරණ මාර්ග, සෙබළුන් සහ බර උපකරණ වේගයෙන් ගෙනයාම සඳහා පෙළගැස්මයි. මෙය ජර්මනියේ “ජර්මනියේ මෙහෙයුම් සැලැස්ම” (Operation Plan Germany) සමඟ හරියටම ගැළපෙන අතර, එමඟින් මුළු සමාජයම, ආර්ථිකය සහ යටිතල පහසුකම් නැඟෙනහිර පෙරමුණේ මහා යුද්ධයක් සඳහා සූදානම් කරනු ලබයි.

“ආරක්ෂාව” පිළිබඳ නිල වාක්‍ය ඛණ්ඩ හුදු විහිලුවකි. යුරෝපීය බලවත්තු න්‍යෂ්ටික බලවතෙකු වන රුසියාවට එරෙහිව අධිරාජ්‍යවාදී යුද්ධයක් සූදානම් කරමින් සිටිති. ජර්මානු පාලක පන්තිය එමඟින් තම අපරාධකාරී ඉතිහාසය යළිත් කරලියට ගනිමින් සිටී. සෝවියට් සංගමයට එරෙහි විනාශකාරී යුද්ධය ආරම්භ වී වසර අසූ පහකට පසු, ජර්මානු සටන් බලඇණියක් නැවත වරක් ලිතුවේනියාවේ ස්ථානගත වෙමින් පවතී; ජර්මානු ආයුධ සමාගම් රුසියාවට එරෙහි යුද්ධය සඳහා ආයුධ නිෂ්පාදනය කරමින් සිටී; එමෙන්ම බර්ලිනය යුරෝපයේ නායකත්වය ඉල්ලා සිටියි.

සමුළුවේ දෙවන ප්‍රධාන විදේශ ප්‍රතිපත්ති කේන්ද්‍රය වූ මැදපෙරදිග ද මිලිටරිවාදී ආක්‍රමණකාරීත්වයකින් සලකුණු වී ඇත. වොෂින්ටනය විසින් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද-ඉරාන ගිවිසුම, යුරෝපීය බලවතුන් දකින්නේ ආතතිය අඩු කිරීමේ පියවරක් ලෙස නොව, කලාපය තුළ තමන්ගේම භූමිකාව ශක්තිමත් කර ගැනීමේ අවස්ථාවක් ලෙසය. දැනටමත් G7 සමුළුවේදී, මර්ස්, මැක්‍රෝන්, ස්ටාමර් සහ මෙලෝනි සංඥා කර තිබුණේ ඔවුන් හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) යුරෝපීය නාවික බලයක් සූදානම් කරන බවයි. මර්ස් බුන්ඩෙස්ටැග් හිදී පැහැදිලිවම ප්‍රකාශ කළේ,  නිසි කොන්දේසි සකස් වූ වහාම හෝමුස් සමුද්‍ර සන්ධියේ ආරක්ෂාව තහවුරු කිරීමට සහභාගී වීමට ජර්මනිය සූදානම් බවයි.

මෙය තවත් අධිරාජ්‍යවාදී යුද පෙරමුණක් උත්සන්න කිරීමේ තර්ජනයක් මතු කරයි. හෝමුස් සමුද්‍ර සන්ධිය යනු ලෝකයේ වැදගත්ම බලශක්ති සහ වෙළඳ මාර්ගවලින් එකකි. එහි යුද නැව් ස්ථානගත කරන කවුරුන් වුවද, වෙළඳ නැව්ගත කිරීම් “ආරක්ෂා කිරීමේ” අරමුණ ලුහු බඳිනවා නොවේ; ඒ වෙනුවට මැදපෙරදිග බලශක්තිය, වෙළඳ මාර්ග සහ භූ-මූලෝපායික බලපෑම කෙරෙහි පාලනය සුරක්ෂිත කර ගැනීම සඳහා මිලිටරි මැදිහත්වීම් සූදානම් කරති. ඇමරිකානු ආධිපත්‍යයේ අර්බුදයට යුරෝපීය බලවත්තු ප්‍රතිචාර දක්වන්නේ, කලාපය තුළ තමන්ම අධිරාජ්‍යවාදී පිළිවෙලක් ඇති කරන බලවතුන් ලෙස පෙනී සිටීමට උත්සාහ කිරීමෙනි.

චීනය කෙරෙහි වන ප්‍රතිපත්තියට ද මෙය අදාළ වේ. “තරඟකාරිත්වය”, “ආර්ථික ආරක්ෂාව”, “මූලෝපායික පරායත්තතාවයන් අඩු කිරීම” සහ “ගෝලීය සාර්ව ආර්ථික අසමතුලිතතාවයන්” වැනි ප්‍රචාරක වදන් යටතේ, සමුළුව යුරෝපයේ වෙළඳ යුද ප්‍රතිපත්තිය දැඩි කිරීම පිළිබඳව සාකච්ඡා කළේය. තීරුබදු, අපනයන පාලනයන්, යුරෝපීය සංගත සඳහා සහනාධාර සහ යුරෝපයේම සැපයුම් දාමයන් ගොඩනැඟීම හරහා චීනයේ කාර්මික ශක්තියට එරෙහිව සටන් කළ යුතු ක්‍රමවේදයක් ලෙස චීනය වඩ වඩාත් විවෘතව පද්ධතිමය ප්‍රතිවාදියෙකු (systemic rival) ලෙස සලකනු ලබයි.

වෙළඳ යුද ප්‍රතිපත්තිය යුද ප්‍රතිපත්තිය සමඟ වෙන් කළ නොහැකි ලෙස බැඳී පවතී. ගෝලීය අධිරාජ්‍යවාදී තරඟකාරිත්වයේ අවශ්‍යතාවලට අනුකූලව යුරෝපා සංගමයට එහි කර්මාන්ත, බලශක්ති ප්‍රතිපත්තිය, අමුද්‍රව්‍ය සැපයුම, පර්යේෂණ සහ යටිතල පහසුකම් ප්‍රතිව්‍යුහගත කිරීමට අවශ්‍ය වී ඇත. මෙම සන්දර්භය තුළ, “තරඟකාරිත්වය” යන්නෙන් අදහස් කරන්නේ වැටුප් කප්පාදු, සමාජ කප්පාදු, නියාමනයන් ඉවත් කිරීම සහ බැංකු, සංගත සහ ආයුධ සමාගම් සඳහා දැවැන්ත රාජ්‍ය සහනාධාර ලබා දීමයි.

2028 සිට 2034 දක්වා වන නව බහු වාර්ෂික යුරෝපා සංගම් මූල්‍ය රාමුව පිළිබඳ විවාදයේදී මෙය විශේෂයෙන් පැහැදිලි වේ. කොමිසම යුරෝ ට්‍රිලියන 2 ක පමණ අයවැයක් යෝජනා කර තිබුණි. ජර්මනිය, නෙදර්ලන්තය, ඔස්ට්‍රියාව, ස්වීඩනය සහ අනෙකුත් ශුද්ධ දායකයින් (net contributors) වඩාත් ගැඹුරු කප්පාදු ඉල්ලා සිටිති. මර්ස් ප්‍රකාශ කළේ සංඛ්‍යාවන් “පහළට පැමිණිය යුතු” බවයි. ඒ හා සමගම, මෙහි අරමුණ ප්‍රතිසන්නද්ධවීම සීමා කිරීම නොවේ. ඊට පටහැනිව, කෘෂිකර්මාන්තය, සහයෝගීතාව සහ සිවිල් වැඩපිළිවෙලවල් සඳහා වන සාම්ප්‍රදායික වියදම් කප්පාදු කිරීමට හෝ වෙනතකට හැරවීමට නියමිත අතර, ආරක්ෂාව, ආයුධ කර්මාන්තය, දේශසීමා ආරක්ෂාව, කාර්මික ප්‍රතිපත්තිය සහ “මූලෝපායික” ආයෝජන ශක්තිමත් කරනු ලැබේ.

යුද මාවතේ සමාජීය තර්කනය මෙයයි. ආයුධ, උන්ඩ, ඩ්‍රෝන යානා, මිසයිල සහ යුද නැව් සඳහා බිලියන ගණන් වෙන් කරන අතරතුර, වැටුප් පහත හෙළීමටත්, විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමටත්, සෞඛ්‍ය හා අධ්‍යාපන වියදම් කපා හැරීමටත්, පොදු සේවාවන් විනාශ කිරීමටත් නියමිතය. මෙම ප්‍රතිපත්තිය වැඩි වර්ධනය වන ප්‍රතිරෝධයකට මුහුණ දෙන බව පාලක පන්තිය දනී. විදේශයන්හි ප්‍රතිසන්නද්ධ ගැන්වීම රට තුළ  ප්‍රතිසන්නද්ධ ගැන්වීම සමඟ අත්වැල් බැඳගෙන යන්නේ එබැවිනි.

සංක්‍රමණ ප්‍රතිපත්තිය දැඩි කිරීම සමුළුවේ තවත් ප්‍රධාන කරුණක් විය. යුරෝපා සංගම් නායකයෝ, සංක්‍රමණ ප්‍රතිපත්තියේ “සියලු අංශ ඔස්සේ”, විශේෂයෙන්ම එහි “බාහිර මානය” (external dimension) පිළිබඳව  කටයුතු අඛණ්ඩව කරගෙන යන බව යළිත් සහතික කළහ. මෙයින් අදහස් කරන්නේ සරණාගතයින් යුරෝපයට පැමිණීමට පෙර ඔවුන්ව වැළැක්වීම, තුන්වන රටවල කඳවුරු පිහිටුවීම සහ පිටුවහල් කිරීම් වේගවත් කිරීම සඳහා ඒකාධිපති සහ ඒකාධිපති ස්වරූපී පාලන තන්ත්‍රයන් සමඟ ගිවිසුම් ඇති කර ගැනීමයි.

සමුළුවට ඉතා ආසන්නව, යුරෝපීය පාර්ලිමේන්තුව යුරෝපා සංගමයෙන් පිටත “ආපසු හැරවීමේ මධ්‍යස්ථාන” (return hubs) ලෙස හැඳින්වෙන දෑ සඳහා ඉඩ සලසන නව ආපසු හැරවීමේ රෙගුලාසියකට මඟ පෑදීය. ඉතාලිය, ඩෙන්මාර්කය, ජර්මනිය, ඔස්ට්‍රියාව, නෙදර්ලන්තය සහ අනෙකුත් ආණ්ඩු යුරෝපය සීල් කර වසා දැමීමේ ඊටත් වඩා ම්ලේච්ඡ ප්‍රතිපත්තියක් සඳහා උත්සාහ කරමින් සිටිති. අධිරාජ්‍යවාදී බලවතුන් විසින්ම අවුලුවන ලද හෝ කර ගෙන යන යුද්ධවලින් පලා යන සරණාගතයින්ගේ අයිතිවාසිකම් උදුරා ගැනීමටත්, ඔවුන්ව සිර කිරීමටත්, පිටුවහල් කිරීමටත් නියමිතය.

සරණාගතයින්ට එරෙහි උද්ඝෝෂණය අරමුණු කිහිපයකට සේවය කරයි. එය අන්ත දක්ෂිනාංශය ශක්තිමත් කරයි, කම්කරු පන්තිය බෙදා වෙන් කරයි, සහ වැඩවර්ජන, විරෝධතා සහ යුද විරෝධී විපක්ෂයට එරෙහිව ද යොදා ගනු ලබන මර්දනකාරී රාජ්‍ය උපකරණයක් නිර්මාණය කරයි. යුද්ධය සඳහා බිලියන ගණන් වියදම් කරන ආණ්ඩුම, රෝහල්, පාසල්, නිවාස සහ සමාජ ආධාර සඳහා “මුදල් නොමැති” බව ප්‍රකාශ කරති. ඒ  පිළිබඳ සමාජ කෝපය සරණාගතයින් වෙත හරවා යැවීමට නියමිතය.

යුරෝපා සංගම් සමුළුව පෙන්වා දෙන්නේ සමස්ත යුරෝපීය පාලක පන්තියම — කොන්සර්වේටිව්වරුන්, සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්, ලිබරල්වාදීන්, හරිතයන් සහ නාමිකව වාම පක්ෂ — මෙම පිළිවෙත පිටුපස සිට ගන්නා බවයි. යුරෝපා සංගමය තුළ සාමකාමී හෝ ප්‍රගතිශීලී කල්ලියක් නොමැත. සියල්ලෝම යුරෝපීය අධිරාජ්‍යවාදය සහ ධනවාදය ආරක්ෂා කරති. ඔවුන්ගේ වෙනස්කම් පවතින්නේ, යුරෝපය ගෝලීය මිලිටරි බලවතෙකු ලෙස කොතරම් ඉක්මනින්, කුමන ක්‍රම මඟින් සහ කාගේ ජාතික නායකත්වය යටතේ සන්නද්ධ කළ යුතුද යන්න පිළිබඳ ප්‍රශ්නය සම්බන්ධයෙන් පමණි.

ජර්මනිය මෙම ක්‍රියාවලිය විශේෂයෙන් ආක්‍රමණශීලී ලෙස ඉදිරියට ගෙන යයි. මර්ස්-ක්ලින්බෙයිල් ආණ්ඩුව හිට්ලර්ගෙන් පසු විශාලතම නැවත ප්‍රතිසන්නද්ධ ගැන්වීමේ වැඩපිළිවෙල ක්‍රියාවට නංවමින්, යටිතල පහසුකම් යුද සැපයුම් පද්ධති බවට පරිවර්තනය කරමින්, අනිවාර්ය හමුදා සේවය නැවත හඳුන්වා දීමට සූදානම් වෙමින් සහ වියදම් ජර්මානු ප්‍රාග්ධනයේ මූලෝපායික අවශ්‍යතාවලට සෘජුවම සේවය නොකරන සෑම තැනකම යුරෝපා සංගම් අයවැය කප්පාදු කරන ලෙස ඉල්ලා සිටියි. ඒ සමගම, අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ඇලෙක්සැන්ඩර් ඩොබ්‍රින්ඩ් පොලිසිය, බුද්ධි ආයතන සහ සිවිල් ආරක්ෂක අංශ සන්නද්ධ කරමින් අධිපතිවාදී රාජ්‍ය උපකරණයක් ගොඩනැඟීම ඉදිරියට ගෙන යයි.

මෙම සමුළුව අනතුරු ඇඟවීමකි. යුරෝපයේ පාලක පන්තිය ලෝක ධනවාදයේ අර්බුදයට ප්‍රතිචාර දක්වන්නේ සහන දීමෙන් නොව, යුද්ධය, සමාජ කප්පාදු සහ ඒකාධිපතිත්වය සමඟිනි. රුසියාවට එරෙහිව උත්සන්න කිරීම න්‍යෂ්ටික අවිවලින් සන්නද්ධ බලවතුන් අතර සෘජු යුද්ධයක් බවට පත්වීමේ තර්ජනයක් මතු කරයි. මැදපෙරදිග මිලිටරි ප්‍රහාරය, චීනයට එරෙහි වෙළඳ යුද්ධය සහ සරණාගතයින්ට එල්ල කරන ප්‍රහාර එකම වර්ධනයක කොටස් වේ.

මීට එරෙහි විය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. යුද්ධයට එරෙහි අරගලයට ධනේශ්වර ක්‍රමයේ සියලුම පක්ෂවලින්, යුරෝපා සංගමයෙන් සහ නේටෝ යුද සන්ධානයෙන් බිඳීමක් අවශ්‍ය වේ. අවශ්‍ය වන්නේ කම්කරු පන්තියේ බලය බලමුලු ගන්වන, ආයුධ කර්මාන්තය අත්පත් කර ගන්නා, යුද ප්‍රතිපාදන නතර කරන සහ යුද්ධයට, ඒකාධිපතිත්වයට හා සමාජය අන්ත දූප්පත් කිරීමට හේතුව වන ධනවාදය වෙනුවට සමාජවාදී සමාජයක් ආදේශ කරන ජාත්‍යන්තර සමාජවාදී යුද විරෝධී ව්‍යාපාරයක් ගොඩනැඟීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

යුරෝපානු සංගම් (EU) සමුළුව යුද මාවත වේගවත් කරයි: ආයුධ ගොඩනැඟීම, වෙළඳ යුද්ධය, සමාජ කප්පාදු සහ සරණාගත විරෝධී පියවර  Read More »

Iran

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 ජුනි 16 දින “US imperialism’s debacle in Iranයන හිසින් පළවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran
2026 මාර්තු 8 වන ඉරිදා ඉරානයේ ටෙහෙරානයේ ඇමරිකානු-ඊශ්‍රායල ප්‍රහාරයකින් හානියට පත් තෙල් ගබඩා පහසුකමකින් ඝන දුමාරයක් නැඟී එයි. [AP ඡායාරූපය/වහීඩ් සලේමි]

පසුගිය පෙබරවාරි 28 වැනිදා ට්‍රම්ප් පරිපාලනය විසින් ආරම්භ කරන ලද යුද්ධයේ සටන් විරාම ගිවිසුමක් ඇමරිකා එක්සත් ජනපදය සහ ඉරානය විසින් ඉරිදා ප්‍රකාශයට පත් කරන ලදී. ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කරමින් සහ ගෝලීය ආහාර හා බලශක්ති අර්බුදයක් ඇති කර තිබියදීත්, ඇමරිකා එක්සත් ජනපදය තමන් යුද්ධයට අවතීර්ණ වූ අරමුණු සාක්ෂාත් කර ගැනීමට අසමත් වී ඇත.

ඉරිදා දින “අවබෝධතා ගිවිසුමක්” ඩිජිටල් ලෙස අත්සන් කරන ලද අතර, නිල අත්සන් කිරීමේ උත්සවයක් සිකුරාදා ස්විට්සර්ලන්තයේදී පැවැත්වීමට නියමිතය. වාර්තා වන පරිදි දින 60 ක කාලරාමුවක් සහිත මෙම ගිවිසුම මඟින් හෝර්මුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීම, ඇමරිකානු නාවික අවහිරය ඉවත් කිරීම සහ ලෙබනනය ඇතුළු ප්‍රදේශවල මිලිටරි මෙහෙයුම් වහාම අත්හිටුවීම අපේක්ෂා කෙරේ. එමඟින් ඉරානයේ න්‍යෂ්ටික වැඩසටහන, සම්බාධක සහ කලාපීය ආරක්ෂාව පිළිබඳව පසුව සාකච්ඡා කිරීමට දෙපාර්ශවයම බැඳී සිටී.

මෙම ගිවිසුම සැබවින්ම ක්‍රියාත්මක වේද යන්න තවමත් අවිනිශ්චිතය. එහි සැබෑ පිටපත මෙතෙක් ප්‍රසිද්ධ කර නොමැත. අත්හිටුවා තිබූ ඩොලර් බිලියන 25 ක පමණ ඉරාන වත්කම් නිදහස් කර ඇති බව ඉරානය ප්‍රකාශ කර ඇතත්, ඇමරිකාව එය හබ කර ඇත. ට්‍රම්ප් නැවතත් අවධාරණය කර ඇත්තේ “ඉරානයට කිසිදා න්‍යෂ්ටික ආයුධයක් හිමි කර ගැනීමට ඉඩ නොදෙන” බව වන අතර සාකච්ඡා අසාර්ථක වුවහොත් ඇමරිකාව “නැවතත් ඉරානයට ප්‍රහාර එල්ල කළ හැකි” බවට අනතුරු අඟවා ඇත. මෙම ගිවිසුමේ පාර්ශවකරුවෙකු නොවන ඊශ්‍රායලය එය ප්‍රතික්ෂේප කර ඇති අතර එදිනම ලෙබනනයට ප්‍රහාර එල්ල කිරීම ද දිගටම කරගෙන ගියේය.

කෙසේ වෙතත්, මෙහි ප්‍රතිඵලය ඇමරිකානු අධිරාජ්‍යවාදයට එල්ල වූ අවිවාදිත පරාජයක් (debacle) නිරූපණය කරයි. මෙය පාසල් භූමියක සිටින චණ්ඩියෙකු රණ්ඩුවක් පටන් ගෙන අවසානයේ ඇසක් කළු කරගෙන (ගුටි කා) පරාජය වීම වැනි තත්ත්වයකි. ඉරාන රජය තවමත් බලයේ පවතී. ඔවුන්ගේ න්‍යෂ්ටික වැඩසටහනට හානියක් වී නැත. මෙමඟින් ලැබුණු වඩාත්ම සැබෑ ප්‍රතිඵලය වන්නේ හෝර්මුස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීමයි, එනම් යුද්ධයට පෙර පැවති තත්ත්වයටම නැවත පත්වීමයි.

යුද්ධය ආරම්භ කරන විට පල කළ පාරට්ටු කර ගැනීම් (braggadocio) සහ එහි ප්‍රතිඵලයේ සැබෑ ස්වභාවය අතර විශාල පරතරයක් පවතී. ඉරානයේ “කොන්දේසි විරහිත යටත් වීමෙන්” යුද්ධය අවසන් වන බවට ට්‍රම්ප් පොරොන්දු විය. ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් (Pete Hegseth) මාර්තු 2 වැනිදා ප්‍රකාශ කළේ ඇමරිකා එක්සත් ජනපදය “කිසිදු මෝඩ සටන් නීති රීතිවලින් තොරව” ඉතිහාසයේ “වඩාත්ම මාරාන්තික ගුවන් බලශක්ති මෙහෙයුම” දියත් කරන බවයි. දින කිහිපයකට පසු ඔහු මාධ්‍යවේදීන්ට පොරොන්දු වූයේ “දවස පුරා අහසින් මරණය සහ විනාශය” ළඟා කර දෙන බවයි.

ඉරාන රජය බිඳ දැමීමට මේ වසර  පුරා උත්සාහ කරමින් සහ පෙබරවාරි මාසයේදී ඉරාන වැසියන්ගෙන් “ඔබේ රජය අත්පත්කර ගන්නා ලෙස” ඉල්ලා සිටි ට්‍රම්ප්, ඉරිදා වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) වෙත පැවසුවේ: “මම කවදාවත් පාලන තන්ත්‍රය වෙනස් කිරීම (regime change) ගැන තැකීමක් කළේ නැහැ” යනුවෙනි.

මාධ්‍ය පුරා ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය පිළිබඳ විවරණයන්ගෙන් පිරී පවතී. වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත මෙය හඳුන්වා දී ඇත්තේ “තම යුධ අරමුණු සාක්ෂාත් කර ගැනීමට නොහැකි වූ මූලූපායික පසුබැසීමක්” ලෙසය. 1991 දී සෝවියට් සංගමය (USSR) බිඳවැටීමත් සමඟ ආරම්භ වූ, අභියෝගයට ලක් නොවුණු ඇමරිකානු ආධිපත්‍යයේ යුගය අවසන් වී ඇති බවට ලෝකය ඉදිරියේ ප්‍රායෝගිකව පෙන්නුම් කළ අවස්ථාව මෙයයි.

ඇමරිකානු පාලක පන්තියේ ප්‍රතිචාරයේ දේශපාලන ස්වභාවය, ඩිමොක්‍රටික් පක්ෂය වෙනුවෙන් හඬ නඟන නිව්යෝර්ක් ටයිම්ස් (New York Times) පුවත්පත “ජනාධිපති ට්‍රම්ප් මේ යුද්ධය පැරදුණා” යන සිරස්තලයෙන් පළ කළ කතුවැකියෙන් මනාව පැහැදිලි වේ. ටයිම්ස් පුවත්පතේ කනස්සල්ල වී ඇත්තේ මෙම යුද්ධය මහා පරිමාණ මිනිස් ඝාතන සහ ඝාතන දේශපාලනයක් ඔස්සේ සිදු කිරීම ගැන නොව, එය අසාර්ථක වීම ගැනය.

“ට්‍රම්ප් මහතා මේ යුද්ධය ආරම්භ කිරීමෙන් බරපතල වැරැද්දක් කළා,” යැයි එම කතුවැකියේ සඳහන් වේ. “ඔහු එය මෙහෙයවූයේ පරිස්සම නොතකාම සහ නීතිය විවෘතව උල්ලංඝනය කරමිනි. ඇමරිකා එක්සත් ජනපදය මිලිටරිමය, රාජ්‍ය තාන්ත්‍රික සහ ආර්ථික වශයෙන් දුර්වලව ඉන් මතු වෙන අතර ඉදිරි වසර ගණනාව තුළ මෙහි මූලෝපායික පිරිවැය ගෙවීමට සිදුවනු ඇත.” ටයිම්ස් පුවත්පත දුක් වෙමින් පවසන්නේ “සමස්තයක් ලෙස ගත් කල, මෙම සිව්මස් යුද්ධයේ මූලෝපායික ජයග්‍රාහකයා ලෙස ඉරානය මතු වන” බවයි. ඇමරිකානු මිලිටරිය තමන් සතු දිගු දුර නිරවද්‍ය මිසයිල සහ ප්‍රතිරෝධක මිසයිල බොහොමයක් ක්ෂය කර දැමූවද, තමන්ට වඩා බෙහෙවින් කුඩා ප්‍රතිවාදියෙකු මර්දනය කිරීමට නොහැකි බව පෙන්වා දී ඇත. මෙම ප්‍රතිඵලය වෙනත් විභව (potential) ප්‍රතිවාදීන් අධෛර්යමත් කිරීමට (deter) මෙම රටට ඇති හැකියාවට හානි පමුණුවයි.”

එම කතුවැකියේ අවසන් නිගමනය මෙම ප්‍රකාශයට ලඝු වේ: “පෙන්ටගනයට නූතනකරණය වීමට සහ අනාගත යුද්ධ සඳහා සූදානම් වීමටද අවශ්‍ය වනු ඇත.”

අනාගත යුද්ධ. විශේෂයෙන්ම චීනය සහ රුසියාව සමඟ පවතින ස්ථිර අධිරාජ්‍යවාදී ගැටුම්කාරී රාමුව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සාමාන්‍ය දෙයක් ලෙස සලකන අතර, ඒ සඳහා පෙන්ටගනය “නූතනකරණය වී සූදානම් විය යුතුය”. මෙහිදී ප්‍රශ්නයකට ලක්ව ඇත්තේ එම රාමුව පාලනය කරනු ලබන දක්ෂතාවය (competence) පිළිබඳව පමණි.

කොංග්‍රස් මණ්ඩලයේ ඩිමොක්‍රටික් පාර්ශවයේ ප්‍රතිචාරයද ක්‍රියාත්මක වන්නේ එම රාමුව තුළමය. සෙනෙට් සභික ක්‍රිස් මර්ෆි (Chris Murphy) මෙම ගිවිසුම හැඳින්වූයේ “මූලික වශයෙන් ඉරානයට යටත් වීමක්” ලෙසය. නියෝජිත (සභික) සෙත් මෝල්ටන් (Seth Moulton) එය හැඳින්වූයේ “මූලික වශයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඉරානයේ උත්තරීතර නායකයා වෙත ලබා දුන් යටත් වීමේ ලේඛනයක්” ලෙසය. සෙනෙට් සභික ජැක් රීඩ් (Jack Reed) මැසිවිලි නැඟුවේ ඔබාමා යුගයේ න්‍යෂ්ටික ගිවිසුම වූ JCPOA යටතේ තිබූ ප්‍රමාණයටත් වඩා “අඩු දෙයක්” දැන් ඇමරිකාවට ලැබෙන බවයි. ඩිමොක්‍රටික් පාර්ශවය යුද්ධය ආරම්භ කරන විට එය අනුමත කළේය. ඔවුන් දැන් ඒ ගැන මැසිවිලි නඟන්නේ ඉරානය විනාශ නොකර යුද්ධය අවසන් වූ නිසා පමණි.

යුද්ධයට එරෙහිව දැවැන්ත ජනතා විරෝධයක් පැවති නමුත්, නිල දේශපාලන රාමුව තුළ එයට කිසිදු ප්‍රකාශනයක් (නියෝජනයක්) ලැබුණේ නැත.

යුද්ධයේ මෙම අදියර අවසන් වීමෙන් යුද්ධය මුළුමනින්ම අවසන් වූ බවක් අදහස් නොවේ. ඇමරිකානු අධිරාජ්‍යවාදය තම තත්ත්වය යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා නව යුද්ධ සූදානම් කරනු ඇත. ඔබාමා යටතේ පිහිටුවන ලද 2015 JCPOA රාමුව 2018 දී ට්‍රම්ප් විසින් අවසන් කරන ලද අතර එය 2026 යුද්ධයට මග පෑදීය. මෙම 2026 සටන් විරාම රාමුව ඊළඟට එන යුද්ධයට මග පාදනු ඇත.

කෙසේ වෙතත්, මෙම දැවැන්ත පරාජයේ වඩාත්ම කැපී පෙනෙන ප්‍රතිවිපාක දැකගත හැකි වන්නේ ඇමරිකා එක්සත් ජනපදය තුළමය.

මෙම යුද්ධය දියත් කරන ලද්දේ, එක් අතකින් ඇමරිකානු ධනවාදයේ ව්‍යුහාත්මක පරිහානිය නැවැත්වීමේ උත්සාහයක් වශයෙනි. යුරෝපීය මහ බැංකුව මේ මාසයේ වාර්තා කළේ රන්, යුරෝ මුදල් ඒකකය අභිබවා යමින් ලොව දෙවන විශාලතම සංචිත වත්කම බවට පත්ව ඇති බවයි. එය වසරකට පෙර පැවති 20% සිට ගෝලීය සංචිතවලින් 27% දක්වා ඉහළ ගොස් ඇත. ෆෙඩරල් ණය ප්‍රමාණය 1946 න් පසු පළමු වතාවට මාර්තු මාසයේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) 100% සීමාව පසු කළේය. යුද්ධයේ අසාර්ථකත්වය ඩොලරයේ පරිහානිය වේගවත් කර ඇති අතර යුද්ධයෙන් විසඳීමට බලාපොරොත්තු වූ ව්‍යුහාත්මක අර්බුදය තවදුරටත් උග්‍ර කර ඇත.

යුද්ධය දියත් කරන ලද්දේ සමාජ ගැටුම් උත්සන්න වෙමින් පැවති පසුබිමකය. යුද්ධය ආරම්භ වීමට සති කිහිපයකට පෙර, මිනියාපොලිස් හි ෆෙඩරල් ඒජන්තයින් විසින් 37 හැවිරිදි කවියෙකු වූ රෙනී නිකෝල් ගුඩ් (Renée Nicole Good) සහ 37 හැවිරිදි හෙදියක වූ ඇලෙක්ස් ප්‍රෙට්ටි (Alex Pretti) ඝාතනය කිරීමෙන් පසු ICE (ආගමන හා රේගු බලාත්මක කිරීමේ ආයතනය) ට එරෙහිව මහා පරිමාණ ජනතා විරෝධතා තීව්‍ර විය. ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධය දියත් කිරීම, අනෙකුත් කරුණු අතර, මෙම වර්ධනය වෙමින් පැවති විරෝධය දේශප්‍රේමී යුධ උණක් වෙත හරවා යැවීමේ උත්සාහයක් විය.

සමාජ විරෝධය දැන් තවදුරටත් උත්සන්න වනු ඇති අතර, එය වැඩි වැඩියෙන් කම්කරු පන්තිය කේන්ද්‍ර කර ගනු ඇත. ඇමරිකන් ඇක්සල් (American Axle) හි මෝටර් රථ කොටස් නිෂ්පාදන කම්කරුවන් මේ මාසයේ වැඩ වර්ජනයක නිරත විය. දුම්රිය සේවකයන්, මස් ඇසුරුම් කරන්නන්, ගුරුවරුන් සහ හෙදියන් සේවයෙන් ඉවත් වී ඇත (walked out). ඉරිදා ගිවිසුමේ ආරංචියත් සමඟ වෝල් ස්ට්‍රීට් කොටස් වෙළඳපොළ ඉහළ ගියද, ඉන්ධන සහ ආහාර මිල ගණන් තවමත් යුද්ධයට පෙර පැවති මට්ටමට වඩා බෙහෙවින් ඉහළ මට්ටමක පවතී. පුද්ගලික පරිභෝජන වියදම් (PCE) උද්ධමනය 3.8% දක්වා ඉහළ ගොස් ඇති අතර එය 2021 න් පසු ඉහළම වේගයයි. පාරිභෝගික විශ්වාසය (Consumer sentiment) ඉතිහාසයේ අවම මට්ටමක පවතින අතර, එය මහා අවපාතය (Great Recession) හෝ වසංගත කාලයටත් වඩා දරුණුය.

සමාගම් ලාභ ලබන අතරතුර, කම්කරුවන්ට සිදු වූයේ මිල ඉහළ යාම හරහා යුද්ධයේ බර දැරීමටය. මෙම ආර්ථික බලපෑම ඉදිරි වසර ගණනාව තුළ ඇමරිකාව තුළ මෙන්ම ජාත්‍යන්තරවද පන්ති අරගල සඳහා ඉන්ධන සපයනු ඇත. යුද්ධය ඇති කරන එම අර්බුදයම, යුද්ධයට එරෙහිව කම්කරු පන්තියේ ගෝලීය ව්‍යාපාරයක් ද බිහි කරමින් පවතී.

ගැඹුරු වන සමාජ විරෝධයට ට්‍රම්ප් පරිපාලනය ප්‍රතිචාර දක්වනු ඇත්තේ තමන් දැනටමත් ප්‍රදර්ශනය කර ඇති ක්‍රමවේදයන් මඟිනි: එනම් ICE වැටලීම්, මහා පරිමාණ රැඳවුම් යටිතල පහසුකම්, දේශීය විරෝධතාවලට එරෙහිව ජාතික ආරක්ෂක බලකාය (National Guard) යෙදවීම, දේශපාලන විරුද්ධවාදිකම් අපරාධකරණය කිරීම සහ ඒකාධිපති රාජ්‍ය බලය තහවුරු කිරීම මඟිනි. ඉරානය තුළ ලැබූ පරාජය මෙම ගමන මන්දගාමී නොකරනු ඇත; එය තවදුරටත් තීව්‍ර කරනු ඇත. විදේශයන්හි තම අධිරාජ්‍යවාදී ප්‍රහාරයේ අසාර්ථකත්වයට මුහුණ දෙන ඇමරිකානු පාලක පන්තිය, මෙරට කම්කරු පන්තියට එරෙහිව නව ම්ලේච්ඡත්වයකින් හැරෙනු ඇත.

දැන් පවතින කාර්යභාරය වන්නේ ජාත්‍යන්තර මට්ටමේ වපසරියක් සහිත, සමාජවාදී වැඩපිළිවෙළක් සහ තම අරමුණු පිළිබඳ දේශපාලනික සවිඥානිකත්වයක් ඇති කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන ව්‍යාපාරයක් ගොඩනැගීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඉරානය තුළ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ පරාජය Read More »

Cuba

රාවුල් කැස්ත්‍රෝට එරෙහි එක්සත් ජනපද අධිචෝදනාව සහ කියුබාවට එරෙහි CIA භීෂණයේ වාර්තාව

ඇන්ඩ්‍රියා ලෝබෝ විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 20 දින “The US indictment of Raúl Castro and the record of CIA terror against Cubaයන හිසින් පළවූ ඇන්ඩ්‍රියා ලෝබෝ විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cuba
1961 දී කියුබාවේ “බේ ඔෆ් පිග්ස්”(Bay of Pigs) හිදී සිරභාරයට ගන්නා ලද 2506 බ්‍රිගේඩයේ සාමාජිකයින්.

එක්සත් ජනපදය කියුබාවේ සිය හමුදාමය වාඩිලාගැනීම අවසන් කර, 1902 දී කියුබානු ජනරජය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර වසර 124ක් සනිටුහන් වූ මැයි 20 වනදා, ට්‍රම්ප් පරිපාලනය එම දූපතට එරෙහිව මෙතෙක් එල්ල කළ වඩාත්ම විවෘත තර්ජනය සිදු කළේය.

1996 දී මියාමි නුවර පදනම් කරගත් ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ (Brothers to the Rescue) නම් පිටුවහල් වූවන්ගේ සංවිධානය විසින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා දෙකක් බිම හෙළීමේ සිද්ධියට සම්බන්ධව, 94 හැවිරිදි රාවුල් කැස්ත්‍රෝට එරෙහිව මිනීමැරුම් සහ කුමන්ත්‍රණ චෝදනා ඇතුළත් අධිචෝදනා පත්‍රයක් එක්සත් ජනපද අධිකරණ දෙපාර්තමේන්තුව විසින් ප්‍රසිද්ධියට පත් කර තිබේ.

දශකයකට ආසන්න කාලයක් රාජ්‍ය නිලතලවලින් විශ්‍රාම ගෙන සිටින කැස්ත්‍රෝ, මීට පෙර කියුබාවේ ජනාධිපතිවරයා සහ එහි පාලක පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළේය. ඔහු 1959 දී බලයට පත් වූ, ඔහුගේ සහෝදර ෆිදෙල් විසින් මෙහෙයවන ලද ගරිල්ලා හමුදාවේ ප්‍රධාන අණදෙන නිලධාරියෙකු (comandante) ද විය.

අධිචෝදනා පත්‍රය ප්‍රකාශයට පත් කිරීමට පැය කිහිපයකට පෙර, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ කියුබානු ජනතාව වෙත සෘජුවම ආමන්ත්‍රණය කරමින් ස්පාඤ්ඤ භාෂාවෙන් වීඩියෝවක් පළ කළේය. එමඟින් පාලන තන්ත්‍රය වෙනස් කරන ලෙස ඉල්ලා සිටි ඔහු, වොෂින්ටනය විසින් සමස්ත ලතින් ඇමරිකාව පුරා ක්‍රියාවට නංවමින් සිටින නැවත යටත් විජිතකරණ ප්‍රතිපත්තිය වෙනුවෙන් පෙනී සිටියේය.

බදාදා මියාමි හිදී මෙම අධිචෝදනා පත්‍රය ප්‍රසිද්ධියට පත් කිරීම, නීතිමය ක්‍රියාවලියකට වඩා මැතිවරණ ප්‍රචාරක රැලියක ස්වරූපයක් ගත්තේය. එහිදී වොෂින්ටනයේ ප්‍රතිවිප්ලවවාදී නියෝජිතයන් රැස්ව සිටියේ ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් ජයඝෝෂා කිරීමට සහ කියුබාවට එරෙහිව සෘජු එක්සත් ජනපද හමුදාමය මැදිහත්වීමක් සිදු වීමේ ඇති ඉඩකඩට අත්පොළසන් දීමටය.

මෙම දක්ෂිණාංශික සැමරුම මධ්‍යයේ, එක් ප්‍රශ්නයක් කැපී පෙනෙන ලෙස නොසලකා හැර තිබුණි: එනම් කියුබාවට එරෙහිව වසර 66ක් තිස්සේ සිදු වූ, පාලනයකින් තොර එක්සත් ජනපද ප්‍රචණ්ඩත්වය, ඝාතන සහ භීෂණය සම්බන්ධයෙන් වගකීම දැරිය යුත්තේ කවුරුන්ද යන්නයි. 

රාවුල් කැස්ත්‍රෝට එරෙහි අධිචෝදනා පත්‍රය යනු මිලියන 10කට වඩා අඩු ජනගහනයක් සහිත දිළිඳු රටකට එරෙහිව සැලසුම් සහගත හමුදාමය ආක්‍රමණයක් සාධාරණීකරණය කිරීම සඳහා වූ පිළිකුල් සහගත දේශපාලන ප්‍රචාරක ක්‍රියාවකි.

අධිචෝදනා පත්‍රයේ සඳහන් වන දශක තුනක් පැරණි මෙම සිදුවීම නම්, 1996 පෙබරවාරි 24 වන දින ෆ්ලොරිඩා සමුද්‍ර සන්ධියට (Straits of Florida) ඉහළින් “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) ගුවන් යානා දෙකක් වෙඩි තබා බිම හෙළීමයි. බිල් ක්ලින්ටන්ගේ පරිපාලනයේ සිට බලයට පත් වූ සෑම එක්සත් ජනපද රජයක් විසින්ම මෙම සිදුවීම ක්‍රමානුකූලව වැරදි ලෙස අර්ථ දක්වා ඇත. ක්ලින්ටන් පරිපාලනය, රිපබ්ලිකන් පක්ෂය සහ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන යන සියල්ලම, සිවිල් ගුවන් යානාවලට එරෙහිව හමුදා බලය භාවිතා කිරීම තහනම් කරන ජාත්‍යන්තර නීති රීති උපුටා දක්වමින්, මෙය “අමානුෂික මිනීමැරුමක්” ලෙස හෙළා දුටහ. ප්‍රහාරයෙන් බේරී පලාගිය ගුවන් යානයේ නියමුවා වූ හොසේ බසුල්තෝ (José Basulto) සහ අනෙක් පුද්ගලයන්, එක්සත් ජනපද බුද්ධි අංශයෙන් වැටුප් ලබන නියෝජිතයන් නොවන බව සී.අයි.ඒ. (CIA) සංවිධානය තරයේ කියා සිටියේය.

මෙයින් කිසිවක් සත්‍ය නොවීය. එක්සත් ජනපදයේ කියුබානු තානාපති කාර්යාලය මෙම අධිචෝදනා පත්‍රයට ප්‍රතිචාර දක්වමින් මතක් කර දුන්නේ, 1994 සහ 1996 අතර කාලය තුළ ‘බ්‍රදර්ස් ටු ද රෙස්කියු’ (Brothers to the Rescue) සංවිධානය විසින් සිදු කරන ලද 25කට අධික දේශසීමා උල්ලංඝනය කිරීම් ප්‍රමාණයක් කියුබාව විසින් නිල වශයෙන් හෙළා දැක තිබූ බවයි. එම විරෝධතාවන්i වොෂින්ටනය විසින් ක්‍රමානුකූලව නොසලකා හරින ලදී.

මානුෂීය සංවිධානයක් වීම කෙසේ වෙතත්, “බ්‍රදර්ස් ටු ද රෙස්කියු” (Brothers to the Rescue) සංවිධානය සිය ගුවන් යානා භාවිතා කරමින් කියුබානු භූමියට ඉහළින් නැවත නැවතත් සතුරු ගුවන් ගමන් සිදු කළේය. ඇතැම් අවස්ථාවලදී ඔවුහු හවානා නගරයට ඉහළින් පහත් මට්ටමෙන් පියාසර කරමින්, රජයට එරෙහිව නැගී සිටින ලෙස කියුබානු ජනතාවගෙන් ඉල්ලා සිටින පත්‍රිකා බිම හෙළූහ. සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් මෙහෙයවන ලද “බේ ඔෆ් පිග්ස්” (Bay of Pigs) ආක්‍රමණයේ ප්‍රවීණයෙකු වූ බසුල්තෝ, පැනමාවේ පිහිටි එක්සත් ජනපද යුද හමුදාවේ “ස්කූල් ඔෆ් ද ඇමරිකාස්” (School of the Americas) ආයතනයෙන් තමන් භීෂණ උපක්‍රම පිළිබඳ පුහුණුව ලැබූ බවට පුරසාරම් දොඩා තිබුණි. ඔහු බෝට්ටුවක සිට හවානා නුවර හෝටලයකට ප්‍රහාර එල්ල කිරීමට සහභාගී වූ අතර, පසුව සී.අයි.ඒ. (CIA) මඟින් මෙහෙයවන ලද, නිකරගුවාවේ කොන්ට්‍රා (Contra) ත්‍රස්තවාදී ව්‍යාපාරයට සහයෝගය ලබා දුන්නේය.

ඔහුගේ කණ්ඩායමේ ක්‍රියාකාරකම්, කියුබාවට එරෙහිව එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කරවීම අරමුණු කරගත්, සැලසුම්සහගත ප්‍රකෝප කිරීමක් විය. මෙම වෙඩි තබා බිම හෙළීම, එක්සත් ජනපදයේ පිටුබලය ලත්, අඛණ්ඩ ආක්‍රමණශීලී ව්‍යාපාරයකට එරෙහිව සිදු කළ ආත්මාරක්ෂක ක්‍රියාවක් විය.

ක්ලින්ටන් පරිපාලනය හමුදාමය වශයෙන් ප්‍රතිප්‍රහාර එල්ල නොකළ නමුත්, හෙල්ම්ස්-බර්ටන් (Helms-Burton) පනත් කෙටුම්පතට එරෙහිව තමන් දැක්වූ විරෝධය වෙනස් කිරීමට කටයුතු කළේය. එම පනත මඟින් කියුබාව සමඟ ව්‍යාපාර කටයුතුවල නිරත වන විදේශීය සමාගම්වලට එරෙහිව දැඩි නව සම්බාධක පැනවූ අතර, එක්සත් ජනපද වෙළඳ තහනම (embargo) ඉවත් කිරීම ද වළක්වන ලදී.

යුද්ධය සඳහා ව්‍යාජ හේතුවක් ලෙස අධිචෝදනා පත්‍රය

දැන්, වසර 30කට පසුව, ට්‍රම්ප් පරිපාලනය අසීමිත වූ නරුමත්වයකින්  යුතුව කැස්ත්‍රෝට අධිචෝදනා නැඟීම සඳහා මෙම මවාගත් සිදුවීම වෙත නැවත හැරී බලයි. මෙම අධිචෝදනා පත්‍රය, ජනවාරි 3 වනදා කරකස් නුවරට එල්ල වූ එක්සත් ජනපද හමුදා ප්‍රහාරයකදී පැහැරගනු ලැබීමට පෙර, වංචනික මත්ද්‍රව්‍ය-ත්‍රස්තවාදී චෝදනා මත අධිචෝදනා ලැබූ වෙනිසියුලානු ජනාධිපති නිකොලස් මදුරෝට එරෙහිව භාවිතා කරන ලද ආකෘතියම හරියටම අනුගමනය කරයි.

මෙම අධිචෝදනා පත්‍රය සකස් කරන ලද්දේ කියුබානු නිලධාරීන්ට එරෙහිව පුළුල් ලෙස නඩු පැවරීම සඳහා, ෆ්ලොරිඩාවේ දකුණු දිස්ත්‍රික්කයේ එක්සත් ජනපද නීතිඥ ජේසන් රෙඩින් කිනියෝනස් (Jason Reding Quiñones) විසින් මාර්තු මාසයේදී පිහිටුවන ලද ක්‍රියාකාරී කණ්ඩායමක් විසිනි. කියුබානු සරණාගතයින්ගේ පුත්‍රයෙකු වන රෙඩින්, එක්සත් ජනපද යුද හමුදාවේ සහ ගුවන් හමුදාවේ දිගුකාලීන සේවාවකින් පසුව, ට්‍රම්ප්ගේ දෙවන ධුර කාලය තුළ, නම් කරන ලද පළමු රජයේ නීතිඥවරයා (prosecutor) විය. 

පසුගිය මාසයේදී ඔහු සංචිත (reserve- අඩ කාල හමුදා) කර්නල් ධුරයට උසස් කරනු ලැබුවා පමණක් නොව, ඉරානයට එරෙහි යුද්ධය ද ඇතුළුව මැදපෙරදිග පුරා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය විසින් සිදු කරනු ලබන යුද අපරාධ සම්බන්ධයෙන්, එක්සත් ජනපද මධ්‍යම විධානය (US Central Command) සඳහා “ජ්‍යෙෂ්ඨ සංචිත නීති උපදේශක” ලෙසද ඔහු දැනට කටයුතු කරයි.

මෙම අධිචෝදනා පත්‍රය, මාස ගණනාවක් තිස්සේ සිදුවෙමින් පවතින, ට්‍රම්ප් පරිපාලනය විසින් යුද්ධයක් සඳහා පුළුල් ලෙස පදනමක් මවාපෑමේ ක්‍රියාවලිය සමඟ සමගාමීව බැලිය යුතුය. රහසිගත බුද්ධි තොරතුරු උපුටා දක්වමින් නම සඳහන් නොකළ ධවල මන්දිර නිලධාරීන් කළ ප්‍රකාශ මත පදනම්ව මෑතකදී පළ වූ “ඇක්සියෝස්” (Axios) වාර්තාවක් කියා සිටියේ, කියුබාව රුසියාවෙන් සහ ඉරානයෙන් ඩ්‍රෝන යානා 300 කට වඩා ලබාගෙන ඇති බවයි. එමෙන්ම, ගුවන්තනාමෝ බේ (Guantánamo Bay) හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරට, එක්සත් ජනපද නාවික නැව්වලට සහ ෆ්ලොරිඩාවේ කී වෙස්ට් (Key West) ප්‍රදේශයට ප්‍රහාර එල්ල කිරීම සඳහා ඔවුන් “සැලසුම් සාකච්ඡා කරමින්” සිටි බවද එහි සඳහන් විය.

කියුබානු තානාපති කාර්යාලය එම වාර්තාවේම ඇති අභ්‍යන්තර විකාරරූපී බව මෙසේ හෙළිදරව් කළේය: “ඇක්සියෝස් (Axios) ආයතනය ‘ඩ්‍රෝන තර්ජනයක්’ මවාපාන නමුත්, ඡේද කිහිපයකට පසුව ‘එක්සත් ජනපද නිලධාරීන් කියුබාව සක්‍රීයව ප්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කරන බව විශ්වාස නොකරයි’ යනුවෙන් පාපොච්චාරණය කරයි.”ජනවාරි මාසයේදී පනවන ලද ඇමෙරිකානු බලශක්ති සම්බාධක හේතුවෙන් කියුබාවේ විදුලිබල පද්ධතිය බිඳවැටීමකට ලක්ව ඇති බවත්, කියුබාවට තෙල් විකුණන ඕනෑම රටකට එරෙහිව දණ්ඩනීය තීරුබදු පනවන බවට තර්ජනය කර ඇති බවත් පෙන්වා දෙමින් කියුබානු රජය වැඩිදුරටත් කියා සිටියේ “ප්‍රහාරයට ලක්ව ඇති රට කියුබාව” බවයි.

කියුබාවට එරෙහි එක්සත් ජනපද භීෂණයේ සහ ආක්‍රමණයේ වාර්තාව

නූතන ඉතිහාසයේ වඩාත්ම අඛණ්ඩ සහ රුදුරු ත්‍රස්තවාදී ව්‍යාපාරයන්ගෙන් එකක් වන, කියුබාවට එරෙහි එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ක්‍රියාකලාපය සම්බන්ධයෙන් වගකිවයුත්තන්ට අධිචෝදනා නැඟීම සඳහා මැයි 20 වනදා සුදුසුම දිනයක් වනු ඇත.

මෙම දිනයෙන් සනිටුහන් වන්නේ, ස්පාඤ්ඤ-ඇමරිකානු යුද්ධය අවසන් වීමෙන් පසුව එක්සත් ජනපදය විසින් ස්පාඤ්ඤයේ යටත් විජිතයන් වූ කියුබාව, පුවර්ටෝ රිකෝ, ගුවාම් සහ පිලිපීනය තම පාලනයට නතු කර ගැනීමෙන් පසු, 1902 දී කියුබානු ජනරජය ප්‍රකාශයට පත් කිරීමයි.

ඉන්පසුව, 1917 සහ 1923 අතර කාලය තුළ එක්සත් ජනපද මැරීන් භටයින් මෙම දූපත වාඩිලාගෙන සිටි අතර, ඔවුහු වැඩ වර්ජන මර්දනය කරමින් එක්සත් ජනපද සමාගම්වල ව්‍යාපාරික අවශ්‍යතා ආරක්ෂා කිරීමට කටයුතු කළහ.

එක්සත් ජනපද හමුදා වාඩිලාගැනීම නිල වශයෙන් අවසන් වීමත් සමඟ ප්ලැට් සංශෝධනය (Platt Amendment) පැනවීමට කටයුතු කෙරුණු අතර, එමඟින් තමන්ට සුදුසු යැයි හැඟෙන ඕනෑම අවස්ථාවක කියුබානු කටයුතුවලට හමුදාමය වශයෙන් මැදිහත් වීම සඳහා වොෂින්ටනයට අසීමිත “අයිතියක්” හිමි විය. ෆිදෙල් කැස්ත්‍රෝ රජය විසින් මැයි 20 වනදා නිල දින දර්ශනයෙන් ඉවත් කරනු ලැබුවේ, 1902 දී ලැබූ “නිදහස” යනු ජනරජ වෙස් ගත් යටත් විජිතවාදී වැඩපිළිවෙළක් පමණක් බව පිළිගනිමිනි.

පාලන තන්ත්‍රය වෙනස් කිරීම සඳහා දැනට තීව්‍ර වෙමින් පවතින උත්සාහය මෙන්ම, කියුබාවට එරෙහිව වසර 66ක් තිස්සේ අඛණ්ඩව ක්‍රියාත්මක වූ එක්සත් ජනපද භීෂණයේ අරමුණ වූයේ, 1959ට පෙර ප්ලැට් සංශෝධනය (Platt Amendment) සහ ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ (Fulgencio Batista) ආඥාදායකත්වය යටතේ පැවති ආකාරයේ සබඳතාවක් නැවත ඇති කිරීමට ඇති සෑම බාධකයක්ම ඉවත් කිරීමයි. එහි අරමුණ වන්නේ, එක්සත් ජනපද බැංකුවලට සහ සමාගම්වලට කියුබාවේ ඉඩම්, පොදු උපයෝගිතා සේවා, දුම්රිය මාර්ග සහ සීනි කර්මාන්තය පාලනය කිරීමට ඉඩ සලසන අතරම, එක්සත් ජනපද දේශපාලනඥයන් සහ ව්‍යාපාරිකයන් නිතර ගැවසුණු ගණිකා නිවාස සහ කැසිනෝ ශාලා පවත්වාගෙන යාමට මාෆියාවට (Mafia) පූර්ණ නිදහස ලබා දුන් යටත් විජිත පන්නයේ සබඳතා නැවත ඇති කිරීමයි. එම තත්ත්වය පවත්වාගෙන යාම සඳහා බැටිස්ටා විසින් පුද්ගලයන් 20,000ක් ඝාතනය කරන ලදී.

1959 දී ෆිදෙල් කැස්ත්‍රෝ විසින් එක්සත් ජනපදයේ පිටුබලය ලත් ෆුල්ජෙන්සියෝ බැටිස්ටාගේ ආඥාදායකත්වය පෙරළා දැමූ විට, වොෂින්ටනයේ ප්‍රතිචාරය ක්ෂණික විය. රහස්‍යභාවයෙන් මුදාහළ සී.අයි.ඒ. (CIA) ලේඛන මඟින් තහවුරු කරන්නේ, කැස්ත්‍රෝ සෝවියට් සංගමය සමඟ සන්ධානගත වීමටත් පෙර සිටම කියුබාවට එරෙහි එක්සත් ජනපදයේ රහසිගත මෙහෙයුම් ආරම්භ වී තිබූ බවයි. එනම්, මෙම ප්‍රහාරවලට සීතල යුද මතවාදයට වඩා වැඩි සම්බන්ධයක් තිබුණේ එම දූපත තුළ සිදුවූ එක්සත් ජනපද සමාගම්වල කොල්ලකෑම ආරක්ෂා කිරීම සමඟය.

වොෂින්ටනය ආයුධ විකිණීම ප්‍රතික්ෂේප කිරීමෙන් පසු, කියුබාවට යුරෝපයෙන් මිලදී ගැනීමට බලකෙරුණු ආයුධ ප්‍රවාහනය කරමින් තිබූ ‘ලා කුබ්රේ’ (La Coubre) නම් ප්‍රංශ නැවට 1960 මාර්තු මාසයේදී බෝම්බ ප්‍රහාරයෙන් ආරම්භ වූ, ඉන් අනතුරුව සිදුවූ එක්සත් ජනපද ත්‍රස්තවාදයේ වාර්තාව නූතන ඉතිහාසයේ වඩාත්ම පුළුල් ලෙස ලේඛනගත කර ඇති වාර්තාවන්ගෙන් එකකි. පළමු පිපිරීමට ප්‍රතිචාර දක්වමින් පැමිණෙන සහන සේවකයන් දෙවන පිපිරීමට හසු කර ගැනීම සඳහා, බෝම්බ එකින් එක පිපිරී යන පරිදි හිතාමතාම වේලාව සකස් කර තිබුණි. මෙයින් පුද්ගලයන් 100කට අධික සංඛ්‍යාවක් මියගිය අතර තවත් සිය ගණනක් තුවාල ලැබූහ. 

විශාලතම මැදිහත්වීම වූයේ 1961 අප්‍රේල් මස සිදුවූ ‘බේ ඔෆ් පිග්ස්’ (Bay of Pigs) ආක්‍රමණය වන අතර, එය සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් මෙහෙයවන ලද සහ මූල්‍ය ප්‍රතිපාදන සපයන ලද, දළ වශයෙන් 1,400ක් පමණ වූ පිටුවහල් කරන ලද කියුබානු කුලී හේවායන්ගෙන් සමන්විත බලකායක් විසින් සිදු කරන ලදී. එම කලාපය තුළ එක්සත් ජනපදය ලැබූ විශාලතම හමුදාමය පසුබෑම සනිටුහන් කරමින් කියුබාව එය පරාජය කිරීමට සමත් වූ නමුත්, ඒ වන විටත් පුද්ගලයන් 176 දෙනෙකු මියගොස් 300කට අධික සංඛ්‍යාවක් තුවාල ලබා තිබුණි. ඉන් අනතුරුව, කියුබාවට එරෙහිව එක්සත් ජනපද හමුදා ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා පෙරනිමිති සැපයීම පිණිස, එක්සත් ජනපද නගරවල ව්‍යාජ (false-flag) ත්‍රස්තවාදී බෝම්බ ප්‍රහාර සහ එක්සත් ජනපද ගුවන් යානා පැහැරගැනීම් සිදු කිරීම සඳහා වූ, දැනට රහස්‍යභාවයෙන් මුදාහැර ඇති යෝජනාවක් වන ‘ඔපරේෂන් නෝර්ත්වූඩ්ස්’ (Operation Northwoods) සැලැස්ම 1962 මාර්තු මාසයේදී ඒකාබද්ධ මාණ්ඩලික ප්‍රධානීන් (Joint Chiefs of Staff) විසින් කෙටුම්පත් කරන ලදී.

1975 චර්ච් කමිටුව (Church Committee) මඟින් 1960 සහ 1965 අතර කාලය තුළ ෆිදෙල් කැස්ත්‍රෝ ඝාතනය කිරීමට සී.අයි.ඒ. (CIA) සංවිධානය දැරූ උත්සාහයන් අටක් සාක්ෂි සහිතව තහවුරු කරන ලද අතර, පුපුරා යන මුහුදු බෙලිකටු, විෂ සහිත සුරුට්ටු, වස කැවූ පෑන් භාවිත කිරීම සහ මාෆියා සාමාජිකයන් සමඟ පැවැත්වූ සහයෝගීතාව එහිදී ලේඛනගත කෙරිණි. කියුබානු ප්‍රති-බුද්ධි (counterintelligence) අංශය විසින් සමස්තයක් ලෙස මෙවැනි වෙන් වෙන් ඝාතන කුමන්ත්‍රණ 638ක් ලේඛනගත කර ඇත.

විශේෂයෙන්ම ද්වේෂසහගත කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ලෙස, 1971 වසරේ ඇති වූ අප්‍රිකානු ඌරු උණ වසංගතය සහ ළමුන් 101 දෙනෙකු ඇතුළුව පුද්ගලයන් 158 දෙනෙකු මියගිය 1981 වසරේ ඇති වූ ඩෙංගු රක්තපාත උණ වසංගතය, ඇමෙරිකාවට සම්බන්ධ පාර්ශ්වයන් විසින් හිතාමතාම සිදු කරන ලද හඳුන්වා දීම් බව කියුබාව කියා සිටී.

කීත් බොලෙන්ඩර් (Keith Bolender) ඇතුළු පර්යේෂකයන් විසින් සම්පාදනය කරන ලද, කියුබානු රජයේ වාර්තා සහ පුද්ගලයන්ගේ සෘජු සාක්ෂි ඇසුරින් රැස්කරගත් මෙන්ම, රහස්‍යභාවයෙන් මුදාහළ වාර්තාවල ඇති වෙන් වෙන් සිදුවීම් සමඟ පුළුල් ලෙස සන්සන්දනය කරන ලද ලේඛනගත සංඛ්‍යාලේඛනවලට අනුව; 1959 සිට කියුබාවට එරෙහිව ක්‍රියාත්මක වූ එක්සත් ජනපදය විසින් මෙහෙයවන ලද හෝ එක්සත් ජනපදයට සම්බන්ධ ත්‍රස්තවාදය හේතුවෙන් සිදු වූ මරණ සංඛ්‍යාව 3,000කට වඩා වැඩි වන අතර තුවාල ලැබූ සංඛ්‍යාව 2,100කට ආසන්න වේ.

මෙම අපරාධ සිදුකළ කිසිදු අපරාධකරුවෙකු එක්සත් ජනපද රජය විසින් අපරාධමය වශයෙන් වගකීමට ලක් කර නොමැත. ඔවුන්ව පුහුණු කළ, සංවිධානය කළ, මූල්‍ය ප්‍රතිපාදන සැපයූ සහ නඩු පැවරීමෙන් වලක්වා ඔවුන්ව ආරක්ෂා කළ ජාලයන් ගොඩනඟන ලද්දේ සහ ආරක්ෂා කරන ලද්දේ සී.අයි.ඒ. (CIA) සංවිධානය සහ සමස්තයක් ලෙස එක්සත් ජනපද රාජ්‍යය විසිනි.

ලුයිස් පොසාඩා කැරිලස්ගේ (Luisu Posada Carriles) ක්‍රියාකලාපය මෙයට ඇති පැහැදිලිම උදාහරණයයි. කියුබාවේ උපත ලබා, ජෝර්ජියාවේ ෆෝර්ට් බෙනින් (Fort Benning) හිදී සී.අයි.ඒ. (CIA) සංවිධානය විසින් පුහුණු කරනු ලැබූ පොසාඩා, “බේ ඔෆ් පිග්ස්” (Bay of Pigs) ආක්‍රමණය සංවිධානය කිරීමට දායක විය.  ඉන් අනතුරුව එක්සත් ජනපද බුද්ධි අංශවල දැනුවත්භාවය, රැකවරණය සහ ඇතැම් අවස්ථාවලදී ඔවුන්ගේ සෘජු මඟපෙන්වීම යටතේ දශක ගණනාවක් තිස්සේ ක්‍රියාත්මක වෙමින්, බටහිර අර්ධගෝලයේ ඉතිහාසය තුළ වඩාත්ම ක්‍රියාකාරී ත්‍රස්තවාදියෙකු බවට පත් විය. ඔහු 1976 දී කියුබානා ගුවන් සේවයට අයත් 455 ගුවන් යානයට (Cubana Airlines Flight 455) සිදු කළ බෝම්බ ප්‍රහාරයේ ප්‍රධාන සංවිධායකයෙකු විය. එම ප්‍රහාරය 2001 සැප්තැම්බර් 11 දිනට පෙර ඇමරිකානු කලාපය තුළ සිදු වූ මාරාන්තිකම ගුවන් සේවා ත්‍රස්ත ක්‍රියාවයි. එමඟින් සමස්ත කියුබානු ජාතික කනිෂ්ඨ කඩු හරඹ (fencing) කණ්ඩායම ඇතුළුව එහි ගමන් ගත් මගීන් 73 දෙනාම ජීවිතක්ෂයට පත් වූහ.

1976 බෝම්බ ප්‍රහාරය සැලසුම් කරන ලද දේශය සහ පොසාඩා (Posada)  නීත්‍යානුකූලව  (ප්‍රජාකරණ) පුරවැසිභාවය ලබා සිටි රට වූ වෙනිසියුලාව, එම ප්‍රහාරය සම්බන්ධයෙන් ඔහුව අත්අඩංගුවට ගෙන වසර ගණනාවක් රඳවා තබා ගත්තේය. පසුව 1985 දී, ඔහුට එරෙහි නඩු විභාගය අපේක්ෂාවෙන් පසුවන අතරතුර, ඔහු බන්ධනාගාරයෙන් පලා ගියේය. 

ඔහු ඉතාලි ජාතික සංචාරක ෆැබියෝ ඩි සෙල්මෝ (Fabio Di Celmo) ජීවිතක්ෂයට පත් කළ 1997 හවානා හෝටල් බෝම්බ ප්‍රහාර මාලාව සංවිධානය කළ අතර, ෆිදෙල් කැස්ත්‍රෝට එරෙහි කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් 2000 නොවැම්බර් මාසයේදී පුපුරණ ද්‍රව්‍ය රාත්තල් 200ක් ද සමඟ පැනමා නගරයේදී අත්අඩංගුවට පත්විය. දැඩි එක්සත් ජනපද බලපෑම් මධ්‍යයේ, 2004 වසරේදී ධුරයෙන් නික්ම යන පැනමා ජනාධිපතිනි මිරේයා මොස්කොසෝ (Mireya Moscoso) විසින් ඔහුට සමාව ලබා දෙන ලදී.

දිගින් දිගටම එල්ල වූ ජාත්‍යන්තර බලපෑම් හමුවේ, බුෂ් පරිපාලනය විසින් පොසාඩාව අත්අඩංගුවට ගනු ලැබූ නමුත් වෙනිසියුලාවෙන් සහ කියුබාවෙන් ඉදිරිපත් වූ උදර්පණ (රටින් පිටුවහල් කර භාරදීමේ) ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන ලදී. වෙනිසියුලාවේ අවශ්‍යතා නියෝජනය කළ වොෂින්ටන් නීතිඥවරයෙකු වූ හොසේ පර්ටියෙරා (José Pertierra), තියුණු උපහාසයකින් යුතුව මෙසේ සඳහන් කළේය: “කියුබාව තුළ වධහිංසා පැමිණවීම් සම්බන්ධයෙන් මා දැක ඇති එකම සාක්ෂිය ලැබෙන්නේ ගුවන්තනාමෝ බොක්කේ (Guantánamo Bay) පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරෙන් පමණි.”

අවසානයේදී එක්සත් ජනපද රජය විසින් පොසාඩාට එරෙහිව ඉදිරිපත් කරන ලද එකම චෝදනාව වූයේ අසත්‍ය ප්‍රකාශ කිරීම (perjury) සම්බන්ධයෙන් වූ චෝදනාවයි; එනම්, ප්‍රජාකරණ (naturalization-පුරවැසිභාවය ලබාදීමේ) විභාගයකදී, හවානා හෝටල් බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් තමා සතු වූ දායකත්වය පිළිබඳව ආගමන විගමන නිලධාරීන්ට අසත්‍ය ප්‍රකාශ කිරීමයි. 2011 වසරේදී, එල් පැසෝ (El Paso) හි ෆෙඩරල් ජූරි සභාවක් විසින් ඔහුව එම චෝදනාවෙන් පවා නිදොස් කොට නිදහස් කරන ලදී. පොසාඩා කැරිලස් 2018 වසරේදී වයස අවුරුදු 90ක්ව සිටියදී, ෆ්ලොරිඩාවේ පිහිටි ප්‍රවීණ සේවා භටයන් රැකබලා ගන්නා නිවාසයකදී සාමකාමීව මියගියේය.

දැන්, මෙම අතීත වාර්තාවන් සම්පූර්ණයෙන්ම පරීක්ෂාවට ලක් නොකර, එම රජයම රාවුල් කැස්ත්‍රෝට (Raúl Castro) එරෙහිව අපරාධ චෝදනා පත්‍රයක් ප්‍රකාශයට පත් කරන්නේ, පොසාඩාගේ (Posada) සමීපතම හවුල්කරුවෙකු විසින් මෙහෙයවනු ලැබූ ජාලයක් මඟින් ක්‍රියාත්මක කරන ලද ගුවන් යානා අතරමඟදී අවහිර කිරීමට නියෝග කිරීම සම්බන්ධයෙනි.

කියුබාවට එරෙහිව සිදුවෙමින් පවතින මෙම ක්‍රියාවලිය අසාමාන්‍යයක් නොවේ. එය, තමන්ගේ ගෝලීය ආධිපත්‍යයට එල්ල වන සෑම අභියෝගයක්ම විනාශ කිරීම සඳහා එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන පුළුල් මෙහෙයුමක සංකේන්ද්‍රිත ප්‍රකාශනයකි. ඉරාකය, ඇෆ්ගනිස්ථානය, ලිබියාව සහ සිරියාව විනාශ කිරීමටත්, ගාසා හි ජනසංහාරයටත්, ඉරානය වටලෑමටත් සහ වෙනිසියුලාවේ මදුරෝව කොටු කර ගැනීමටත් හේතු වූයේ ද එම මෙහෙයුමමය වේ.

මැයි 14 වනදා, කියුබානු රජය සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ්ව හවානාහිදී පිළිගත් අතර, එහිදී ඔහු හිටපු ජනාධිපතිවරයාගේ මුනුපුරා වන රාවුල් ගිලර්මෝ “රාවුලිටෝ” රොද්‍රිගස් කැස්ත්‍රෝ සහ අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් සමඟ පැවැති හමුවකදී “මූලික වෙනස්කම්” සිදු කරන ලෙස   බලකර සිටියේය. මෙම හමුව මඟින් සංඥා කරන්නේ ජාතිකවාදී උපායමාර්ගය එහි ඓතිහාසික අවසානයට පැමිණ ඇති බවයි: එනම්, දශක හයක් තිස්සේ සී.අයි.ඒ. (CIA) ත්‍රස්තවාදයෙන් බේරී සිටි කැස්ත්‍රෝවාදී නායකත්වය, දැන් සී.අයි.ඒ. අධ්‍යක්ෂවරයා සමඟ එකම මේසයක වාඩි වී තමන්ගේම යටත් වීමේ කොන්දේසි පිළිබඳව සාකච්ඡා කරමින් සිටී. කියුබාවේ සහ ජාත්‍යන්තර වශයෙන් වෙසෙන කම්කරු පන්තිය මෙයින් අවශ්‍ය දේශපාලන නිගමනවලට එළඹිය යුතුය.

මේ අතර, මෙක්සිකෝව, බ්‍රසීලය සහ කොලොම්බියාව යන රටවල “වාම” ජාතිකවාදී ආණ්ඩු, කියුබාව සාගින්නට ඇද දමන ඉන්ධන අවහිරතාවයට සහ පාලන තන්ත්‍රය වෙනස් කිරීමේ මෙහෙයුමට සම්පූර්ණයෙන්ම හවුල් වී ඇත.

ඉදිරි මාවත රැඳී පවතින්නේ එක්සත් ජනපද, කියුබානු සහ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන දේශපාලන බලමුලු ගැන්වීම මතය: එනම්, අධිරාජ්‍යවාදී යුද්ධය සහ භීෂණය දේශපාලන ජීවිතයේ ප්‍රධාන ලක්ෂණ බවට පත් කරන ධනේශ්වර ක්‍රමයට එරෙහි තම අරගලයේ කොටසක් ලෙස, වරාය කම්කරුවන්, ප්‍රවාහන කම්කරුවන්, තෙල් කම්කරුවන් සහ අනෙකුත් පිරිස් මෙම අවහිරතාවය බලාත්මක කිරීම ප්‍රතික්ෂේප කිරීම සහ කියුබාවට එරෙහි හමුදා ප්‍රහාරයකට විරුද්ධ වීමයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

රාවුල් කැස්ත්‍රෝට එරෙහි එක්සත් ජනපද අධිචෝදනාව සහ කියුබාවට එරෙහි CIA භීෂණයේ වාර්තාව Read More »

Downing Street 10

ස්ටාර්මර් රජයේ, කම්කරු පක්ෂයේ සහ බ්‍රිතාන්‍ය ධනවාදයේ අර්බුදය

තෝමස් ස්ක්‍රිප්ස් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 18 දින “The crisis of the Starmer government, the Labour Party and British capitalismයන හිසින් පළවූ තෝමස් ස්ක්‍රිප්ස් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

බ්‍රිතාන්‍යය දේශපාලන අර්බුදයක නව අදියරකට අවතීර්ණ වී ඇත. ලේබර් පක්ෂ නායක කීර් ස්ටාමර්ගේ අගමැති ධුරය බිඳවැටීමේ අද්දරටම පැමිණ තිබේ. දැඩි බ්ලෙයාර්වාදී (Blairite) මතධාරියෙකු වන සෞඛ්‍ය ලේකම් වෙස් ස්ට්‍රීටින් ඇතුළු පිරිසකගෙන් ලැබුණු ඉල්ලා අස්වීමේ ලිපි සහ විශ්වාසභංග ලිපි හේතුවෙන් මෙම තත්ත්වය උද්ගත වී ඇති අතර, නායකත්වය සඳහා විවෘත අභියෝගයක් එල්ල වීමට අවශ්‍ය අවසන් නිමිත්ත මතුවන තෙක් දැන් එය බලා සිටියි.

සමාජවාදී ප්‍රතිචාරයක් ගොඩනැඟීම සඳහා, කම්කරුවන් සහ තරුණයින්, දේශපාලනය යනු ටෙලිනාට්‍යයක් හෝ පුද්ගල ගැටුමක් ලෙස පමණක් ලඝු කර දක්වන මාධ්‍ය ප්‍රහසනවලින් ඔබ්බට බැලිය යුතුය. ඒ වෙනුවට, ඔවුන් මෙම අර්බුදයට හේතු වී ඇති මූලික යථාර්ථයන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය.

ස්ටාමර් රජයේ මෙම අර්බුදය, එකිනෙකට බද්ධ වූ දිගුකාලීන ක්‍රියාවලීන් දෙකක ප්‍රතිඵලයකි. එනම්, ලෝක ධනවාදයේ කැලඹීම් මධ්‍යයේ බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ සිදුවන ගෝලීය පරිහානිය සහ ලේබර් පක්ෂය කෙරෙහි පැවති කම්කරු පන්තික ජන පදනම සම්පූර්ණයෙන්ම බිඳවැටීමයි.

1979 සිට 2007 දක්වා වූ වසර 30කට ආසන්න කාලය තුළ බ්‍රිතාන්‍යයට සිටියේ අග්‍රාමාත්‍යවරුන් තිදෙනෙකු පමණි. ඔවුන්ගෙන් දෙදෙනෙකු වන, කොන්සර්වේටිව් පක්ෂයේ මාග්‍රට් තැචර් සහ ලේබර් පක්ෂයේ ටෝනි බ්ලෙයාර්, අඛණ්ඩව වසර 10 බැගින් වූ ධුර කාලයන් දැරූහ. එතැන් සිට, වසර විස්සකටත් අඩු කාලයක් තුළ බ්‍රිතාන්‍යය තුළ අග්‍රාමාත්‍යවරුන් හත්දෙනෙකු මාරු වී ඇති අතර, ඉන් හත්දෙනෙකු, සහ මේ වන විට බොහෝ දුරට පස්දෙනෙකු, පත් වී ඇත්තේ පසුගිය වසර හතරක කාලය තුළ පමණි.

සෑම අවස්ථාවකදීම, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයෙකුගේ බිඳවැටීමට හේතු වී ඇත්තේ, බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදයේ ගෝලීය ස්ථාවරයේ පවතින බිඳෙනසුලු බව නිරාවරණය කරමින්, රට තුළ දේශීය පන්ති ප්‍රතිවිරෝධතාවන් තීව්‍ර කළ ජාත්‍යන්තර කම්පනයකි.

Downing Street 10
ඩව්නිං වීදියේ අංක 10 නිල නිවසේදී 2026 මැයි 9 වන දින, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාමර් (දකුණ) විසින් ගෝඩන් බ්‍රවුන් (වම) ගෝලීය මූල්‍ය හා සහයෝගීතාව පිළිබඳ විශේෂ නියෝජිතයා ලෙස පත් කරනු ලබයි [ඡායාරූපය: Number 10 Flickr / CC BY 4.0]

ලේබර් පක්ෂය විසින් බැංකු මූල්‍යමය වශයෙන් මුදාගනිමින් නව කප්පාදු කිරීමේ යුගයකට මාවත විවර කිරීමත් සමඟ, 2008 මූල්‍ය කඩාවැටීම හේතුවෙන් ගෝඩන් බ්‍රවුන්ගේ අග්‍රාමාත්‍ය ධුරය අවසන් විය. කප්පාදු ප්‍රතිපත්ති හේතුවෙන් උත්සන්න වූ මෙන්ම, බ්‍රිතාන්‍ය ආර්ථිකය ව්‍යාකූලත්වයට ඇද දමමින් සහ එක්සත් රාජධානියේ විදේශ ප්‍රතිපත්තිය අර්බුදයකට හෙළූ බ්‍රෙක්සිට් (Brexit) ජනමත විචාරණයෙන් පසුව ඩේවිඩ් කැමරන්ට සිය ධුරය අහිමි විය. එම ප්‍රතිවිපාකයන්ම තෙරේසා මේ (Theresa May) ද ධුරයෙන් ඇද වැටීමට හේතු විය.

කොන්සර්වේටිව් පක්ෂයේ නායකයන් වූ බොරිස් ජොන්සන්, ලිස් ට්‍රස් සහ රිෂි සුනක් යන අයගේ එක පිට එක සිදු වූ ධුරයන්ගෙන් නික්මයාම, අවසාන වශයෙන් පිළිඹිබු කළේ කොවිඩ්-19 වසංගතයේ සහ යුක්‍රේනය තුළ රුසියාවට එරෙහිව දියත් වූ ඇමරිකා-නැටෝ (US-NATO) යුද්ධයේ බලපෑමයි. මෙම සිදුවීම් ද්විත්වයම බ්‍රිතාන්‍ය ධනවාදයේ පවතින අතිශය බිඳෙනසුලු බව නිරාවරණය කළ අතර, එම යුද්ධය විසින් බ්‍රිතාන්‍ය අධිරාජ්‍යවාදය සහ මිලිටරිවාදය වෙත එල්ල කරන ලද ඉල්ලීම් කළමනාකරණය කිරීමට මෙම පුද්ගලයන් කිසිවෙකු හෝ සමත් වනු ඇතැයි පාලක පන්තිය විසින් සලකනු ලැබුවේ නැත.

බ්ලෙයාර්වාදී ලේබර් පක්ෂය, සමාජ විරෝධතා මර්දනය කිරීම සඳහා වූ නිර්දය කැපවීම සහ වසර ගණනාවක් තිස්සේ විශ්වසනීය මැතිවරණ අභියෝගයක් එල්ල කිරීමට පවා නොහැකි වන තරම් වූ දැඩි අප්‍රසාදයකින් යුක්ත වූ බැවින්, මෙම අර්බුදය විසඳීම සඳහා කොන්සර්වේටිව්වරුන්ට නැවත නැවතත් අවස්ථා ලැබුණි. තවද, මිලියන සංඛ්‍යාත ජනතාවක් බ්ලෙයාර්වාදයට වාමාංශික විකල්පයක ඇති හැකියාව වැළඳගත් විට, එම පොරොන්දුව මත තේරී පත් වූ ජෙරමි කෝබින්, පක්ෂයේ දක්ෂිණාංශයට යටත් වීමෙන්, තම ආධාරකරුවන් දේශපාලනිකව නිරායුධ කිරීමෙන් සහ ලේබර් පක්ෂයේ නායකයා ලෙස ගත කළ වසර පහ පුරාම ඕනෑම බරපතල ප්‍රතිප්‍රහාරයක් ක්‍රමානුකූලව කඩාකප්පල් කිරීමෙන් ඊට ප්‍රතිචාර දැක්වීය.

ටෝරිවරුන් කෙරෙහි වූ පිළිකුල සහ බ්‍රිතාන්‍යයේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන මැතිවරණ ක්‍රමය නිසා, පෙර නොවූ විරූ ලෙස අඩු ඡන්ද ප්‍රතිශතයකින් විශාල බහුතර බලයක් හිමි කරගනිමින්, මාධ්‍ය විසින් “කිසිදු ඇල්මක් නැති විශිෂ්ට ජයග්‍රහණයක්” ලෙස ඉතා උචිත ලෙස හඳුන්වනු ලැබූ තත්වයක් තුළ ස්ටාමර් අවසානයේදී බලයට පත් විය. දැන් ඔහු, ඉරානයේ යුද්ධයේ කම්පන තරංග සහ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ඇමරිකාව සහ එක්සත් රාජධානිය අතර පවතින “විශේෂ සබඳතාවය” පුපුරුවා හැරීම හේතුවෙන් පෙරළා දමනු ලැබ ඇත.

බ්‍රිතාන්‍යයේ පාලක පන්තිය වඩ වඩාත් දැඩි වන උගුලකට හසු වී ඇත. එහි එක් පැත්තක පවතින්නේ දරුණු මිල කම්පනයකි. මෙහිදී ආහාර ද්‍රව්‍යවල පිරිවැය 2021 මැද භාගයට වඩා 50-64% දක්වා ඉහළ අගයකින් යුතුව වසර අවසන් වනු ඇතැයි ඇස්තමේන්තු කර ඇත. ශීඝ්‍රයෙන් ඉහළ යන ඉන්ධන පිරිවැය වැඩකරන පන්තියේ පවුල් පීඩාවට පත් කරමින් කර්මාන්ත ක්ෂේත්‍රයට දැඩි බලපෑම් එල්ල කරයි. අනෙක් පැත්තෙන් පවතින්නේ දැවැන්ත  නැවත යුධෝපකරණ (rearmament) බලමුලු ගැන්වීමක් සඳහා වන ඉල්ලීමයි. ෆයිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත උපුටා දක්වූ ජ්‍යෙෂ්ඨ රජයේ උපදේශකයෙකු මෙය හඳුන්වා දුන්නේ, රටේ මිලිටරි අංශයෙහි පවතින අවම ආයෝජනය පිළිබඳව ලැබුණු “දැඩි සිහි කැඳවීමක්” ලෙසයි.

ස්ටාමර්ගේ රජය කෙරෙහි මහජන වෛරය දැඩි වෙමින් පවතින සහ එහි වේගවත් මැතිවරණ බිඳවැටීමක් දක්නට ලැබෙන පසුබිමක, මුළුමනින්ම ව්‍යාකූලත්වයට පත්ව සිටින දක්ෂිණාංශික බ්ලෙයාර්වාදීන් කල්ලියක් අතරම මෙම අර්බුදය විසඳා ගැනීමට මාවත සකස් කිරීම සඳහා ලේබර් පක්ෂයේ “වාමාංශය” නැවත වරක් තීරණාත්මක භූමිකාවක් ඉටු කරමින් සිටියි.

වැඩවර්ජන සහ විරෝධතා හරහා මුලපිරීම් තමන් අතට ගැනීමට කම්කරු පන්තිය දරන ඕනෑම උත්සාහයක් කලින්ම වැළැක්වීමේ අරමුණින්, “ක්‍රමවත් සංක්‍රමණයක්” සිදුවිය යුතු යැයි ජෙරමි කෝබින් යටතේ හිටපු සෙවනැලි (shadow) මුදල් ඇමතිවරයා වූ ජෝන් මැක්ඩොනල් ඉල්ලා සිටියි. ඔහු එසේ පෙනී සිටින්නේ ලේබර් පක්ෂය තුළ දිනෙන් දිනම හීන වෙමින් පවතින සමාජවාදී උද්ඝෝෂණ කණ්ඩායමේ (Socialist Campaign Group) පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම වෙනුවෙනි.

වෘත්තීය සමිති නිලධාරිවාදය ද ඒ හා සමාන උපදෙසක් ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ, “අග්‍රාමාත්‍යවරයා මීළඟ මැතිවරණයේදී ලේබර් පක්ෂය මෙහෙයවන්නේ නැති බව පැහැදිලි වන අතර, නව නායකයෙකු තේරී පත් කර ගැනීම සඳහා යම් අවස්ථාවක දී සැලසුමක් ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති” බවයි.

දේශපාලන විරුද්ධවාදිකම් දියකර හැරීම සඳහා කෝබින් දැරූ උත්සාහයන් නවතම පහත් අඩියකට ඇද වැටී ඇත. පසුගිය වසරේදී දින කිහිපයක් ඇතුළත 800,000 කට අධික පිරිසකගේ ලිපිනයන් ලැයිස්තුවක් එක්රැස් කරගත්, “ලේබර් පක්ෂයට වඩා වාමාංශික”(left-of-Labour) පක්ෂයක් බිහිකිරීම උදෙසා වූ “යුවර් පාටි” (Your Party) ව්‍යාපාරය අතරමග නතර කිරීමට ඔහු දියත් කළ මෙහෙයුම සම්පූර්ණයෙන්ම අසාර්ථක වී තිබේ. නමකට පමණක් සීමා වූ පක්ෂයක් වන එය, මෑතකදී පැවැත්වුණු පළාත් පාලන මැතිවරණයේ තරඟ වට 5,000 කට අධික සංඛ්‍යාවෙන් අපේක්ෂකයින් 20 දෙනෙකු පමණක් ඉදිරිපත් කළ අතර 50 දෙනෙකුට සහයෝගය පළ කළේය.

බ්‍රිතාන්‍ය ධනේශ්වර පන්තියේ ගෝලීය බලය දුර්වල වෙත්ම, ඔවුන් මුහුණ දුන් සෑම පාලන අර්බුදයකදීම ජාත්‍යන්තර මූල්‍ය ක්ෂේත්‍රයේ නියෝග සහ මිලිටරිවාදී අවශ්‍යතා වඩාත් ඍජු හා විවෘත අයුරින් ඉස්මතු වී ඇත. අනාගත අග්‍රාමාත්‍යවරයෙකු පත්වීම සම්බන්ධයෙන් ගත් කල, රටේ ජනතාවගේ අවශ්‍යතාවලට වඩා බැඳුම්කර වෙළඳපොළේ අපේක්ෂාවන් ඉටු කිරීම වෙනුවෙන් පුවත්පත් පිටු විශාල වශයෙන් වෙන් කර ඇති අතර ලේබර් පක්ෂයේ අභ්‍යන්තරිකයන්ගෙන් ලැබෙන නිර්නාමික තොරතුරුද ඒ සඳහා වැඩි වශයෙන් දායක වී ඇත.

XTB ආයෝජන සමාගමේ පර්යේෂණ අධ්‍යක්ෂිකා කැත්ලීන් බෲක්ස් (Kathleen Brooks) මෙම තත්ත්වය ඉතා පැහැදිලිව පෙන්වා දුන්නාය: “G7 කණ්ඩායමේ අනෙකුත් සාමාජික රටවලට සාපේක්ෂව තවමත් වැඩිම ණය ගැනීමේ පිරිවැයක් පවතින්නේ එක්සත් රාජධානියටයි. එමෙන්ම මැදපෙරදිග යුද්ධය ආරම්භ වූ දා සිට අපගේ බැඳුම්කර පොලී අනුපාත (yields) ඉහළ ගොස් ඇත්තේ ඉතා වේගයෙනි. කම්කරු පක්ෂයේ (Labour Party) වාමාංශික පාර්ශවයෙන් එල්ල වන අභියෝගය සම්පූර්ණයෙන්ම තුරන් කරන තුරු හෝ රජය ආර්ථික වර්ධනයට හිතකර ප්‍රතිපත්තියක් ක්‍රියාවට නංවන තුරු, එක්සත් රාජධානියේ බැඳුම්කර ඵලදායිතාවන් මෙතැන් සිට සැලකිය යුතු ලෙස පහත වැටෙනු ඇතැයි අප අපේක්ෂා කරන්නේ නැත.”

හමුදාමය පෙරමුණේදී, මෙම පාර්ලිමේන්තුවේ ඉතිරි කාලසීමාව සඳහා පත්වන කම්කරු පක්ෂයේ (Labour) අග්‍රාමාත්‍යවරයා කවුරුන් වුවද, සුබසාධන වියදම්වලින් බිලියන ගණනක මුදලක් යුද කටයුතු වෙත යොමු කිරීම මඟින් බ්‍රිතාන්‍ය සන්නද්ධ බලකායන්ගේ දීර්ඝකාලීන පිරිහීම නැවත හැරවීමට කටයුතු කරනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම ඉල්ලීම් වඩාත්ම අවම සමාජ වැඩසටහන් සමඟ වුවද එකඟ විය නොහැකි ඒවා වේ. ‘මෘදු වාමාංශික’ (soft left) ලෙස අතිශය වැරදි ලෙස නම් කර ඇති නායකත්ව අපේක්ෂකයින් වන ඇන්ඩි බර්න්හැම් (Andy Burnham) සහ ඇන්ජෙලා රේනර් (Angela Rayner), ආයතනික මූලස්ථාන වෙත යා යුතු අනිවාර්ය සංචාර දැනටමත් ආරම්භ කර ඇත. ඒ, ඔවුන් අතීතයේදී ප්‍රකාශ කළ සමාජ සංවේදී වාචාල අදහස්වලින් ඉතිරි වී ඇති යම්කිසි හෝ කොටසක් (ඔවුන් වෙත) පූජා කරමිනි. අවසාන තීරණය ගෝලීය මූල්‍ය ක්ෂේත්‍රය සතු වන බවට ඔවුහු යළිත් සහතික වෙති.

ලේබර් පක්ෂය මෙම බලවේගවල බලපෑමට ලක්ව සිටිනවා පමණක් නොවේ. තම පැරණි කම්කරු පන්ති ඡන්දදායකයින් සමඟ පැවති සියලු සබඳතා සහමුලින්ම බිඳ දමා ඇති එය, දැන් සර්වාංගයෙන්ම (කයින් සහ මනසින්ම) ආයතනික සහ මූල්‍ය ධනේශ්වර ප්‍රභූ තන්ත්‍රයේ දේශපාලන මෙවලමක් බවට පත්ව ඇත.

එය කොතරම්ද යත්, ජනවාරි මාසයේදී පවත්වන ලද YouGov සමීක්ෂණයකට අනුව, “උසස් කළමනාකරණ, පරිපාලන සහ වෘත්තීය රැකියාවල” නියුතු වූවන් අතර දැන් වඩාත්ම කැමති පක්ෂය වන්නේ මෙයයි.

ගෘහස්ථ ආදායම අඩු වීමත් සමඟ ලේබර් (Labour) පක්ෂයට ඇති සහයෝගය ද පහත වැටේ. එය “අතරමැදි මට්ටමේ රැකියාවල” නියුතු වූවන්ගේ ඡන්ද කැමැත්තෙන් 17%ක් පමණක් ද, “දෛනික සහ කායික ශ්‍රම රැකියාවල” නියුතු වූවන්ගේ ඡන්ද කැමැත්තෙන් 14%ක් පමණක් ද ලබා ගනී. මෙම කාණ්ඩ දෙකේදීම, පිළිවෙළින් 29%ක් සහ 39%ක් ලබා ගත් දැඩි දක්ෂිණාංශික රිෆෝම් (Reform) පක්ෂය හමුවේ එය බෙහෙවින් පහතට වැටී ඇති අතර, පිළිවෙළින් 23%ක් සහ 17%ක් ලබා ගත් ටෝරි (Tories) පක්ෂය විසින් ද එය පැහැදිලිවම පරාජය කරනු ලැබ ඇත.

රිෆෝම් (Reform) සහ ටෝරි (Tories) පක්ෂවල ජාතිකවාදය, විදේශිකභීතිකාව සහ ගතානුගතික සමාජ සම්මතයන් පිළිකුලෙන් යුතුව ප්‍රතික්ෂේප කරන වයස අවුරුදු 35ට අඩු ඡන්දදායකයන් අතර, හරිත පක්ෂය (Green Party) ලේබර් (Labour) පක්ෂයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් සිටී. ලේබර් පක්ෂය මේ වන විටත් දක්ෂිණාංශයේ සංක්‍රමණික-විරෝධී න්‍යාය පත්‍රයේ විශාල කොටසක් වැළඳගෙන ඇත. ස්ටාමර් (Starmer) සහ ඔහුගේ අනුප්‍රාප්තිකයා විය හැකි පුද්ගලයා නායකත්වය දෙන්නේ කිසිදු මහජන පදනමක් නොමැති, අභ්‍යන්තරය හිස් වූ පක්ෂයකට වන අතර, එය බැංකු සහ මහා පරිමාණ සමාගම්වල නියෝගවලට පමණක් ප්‍රතිචාර දක්වයි.

බ්‍රිතාන්‍යයේ ජාත්‍යන්තර ආර්ථික තරඟකාරිත්වය ඉහළ නැංවීම සහ වේගවත් ලෙස නැවත මිලිටරීකරණය සඳහා ප්‍රතිපාදන සැපයීම වෙනුවෙන්, කම්කරු පන්තියේ ජීවන තත්ත්වයන්ට නිර්දය ප්‍රහාරයක් එල්ල කිරීමෙන් පමණක් ලේබර් (Labour) පක්ෂයට මෙම ඉල්ලීම් සම්පූර්ණයෙන්ම ඉටු කළ හැකිය. ස්ටාමර් (Starmer) මෙම ක්‍රියාවලිය ආරම්භ කර ඇත්තේ යන්තමින් වන අතර, ඔහුට පැවරී ඇති කාර්යය වන්නේ එක්කෝ එය වේගවත් කිරීම, නැතහොත් එය සිදු කරන වෙනත් අයෙකුට ඉඩ දී පසෙකට වීමයි.

ද ටයිම්ස් (The Times) පුවත්පත මේ සඳහා පසුබිම සකසමින්, ස්ටාමර්ගේ උරුමය “පැරණි ලේබර් (Labour) පක්ෂයේ නරකම ලක්ෂණ පිළිබිඹු කර ඇති බව” පවසමින් ඔහුව හෙළා දකියි. එනම්: වසර 80කට පසු ඉහළම බදු බර, ශීඝ්‍රයෙන් ඉහළ යන සුබසාධන වියදම්, රැකියා විනාශ කරන නීති සහ ධනවතුන් රට හැර යාමයි. එමෙන්ම, ඔහු “බෝට්ටු (නීති විරෝධී සංක්‍රමණ) නැවැත්වීමට සහ යුදෙව් විරෝධී රැල්ල (එය ඊශ්‍රායලයට එරෙහි වීම හැඟවීම සඳහා භාවිත කරන වක්‍ර යෙදුමකි) මැඩපැවැත්වීමට අපොහොසත් වී ඇති” බවද එහි සඳහන් කරයි.

අන්ත දක්ෂිණාංශික උද්ඝෝෂණයක් සමඟ ගැටුම් ඇති විය හැකි බවට වන මුවාවෙන්, මේ සති අන්තයේ පැවැත්වෙන පලස්තීන හිතවාදී විරෝධතාවයකදී නිලධාරීන් 4,000ක්, ඩ්‍රෝන යානා, පුළුල් කරන ලද නැවැත්වීමේ සහ සෙවීමේ බලතල සහ සන්නද්ධ රථ යෙදවීමට ලන්ඩන් මෙට්‍රොපොලිටන් පොලිසිය සැලසුම් කර තිබීමෙන් මෙම නියෝගවල සමාජීය ප්‍රතිවිපාක පෙන්නුම් කෙරේ. එහිදී “ඉන්ටිෆාඩා” (intifada) යන වචනය භාවිතා කිරීම සම්බන්ධයෙන් වහාම අත්අඩංගුවට ගන්නා බවට විරෝධතාකරුවන්ට තර්ජනය කර ඇත.

ස්ටාමර්ගේ නායකත්වයෙන් යුත් ලේබර් (Labour) රජය, ඔහු තේරී පත් වූ දිනයේදී සමාජවාදී සමානතා පක්ෂය (Socialist Equality Party) විසින් කරන ලද තක්සේරුව වසර දෙකකටත් අඩු කාලයකදී සම්පූර්ණයෙන්ම සනාථ කර ඇත. එනම්, “බ්‍රිතාන්‍ය කම්කරු පන්තිය සමඟ ගැටුම්කාරී ගමනක නිරත වන ලේබර් රජයක ප්‍රධානියා ලෙස ‘නව ප්‍රතිගාමී රාක්ෂයෙකු’ බලයට පත් කර ඇති බවයි.”

2024 වසරේදී ව්‍යාජ-වාමාංශිකයන් විසින් ඉදිරිපත් කරන ලද “අඩු නපුර තෝරාගැනීමේ” ප්‍රතිපත්තියට (එනම්, මැතිවරණ කොට්ඨාස කිහිපයක හැර සෙසු සෑම තැනකදීම කම්කරු පක්ෂයට ඡන්දය දෙන ලෙස කළ ඉල්ලීමට) සමාජවාදී සමානතා පක්ෂය (SEP) දැක්වූ දැඩි විරෝධය මෙයින් නැවතත් තහවුරු වී ඇත. එමෙන්ම, ධනපති පක්ෂ රැසක් පෙළගස්වමින් “සමාජවාදී කම්කරු පක්ෂය”(SWP) පෙරමුණ ගෙන පිහිටුවූ “ටුගෙදර් එලායන්ස්” (Together Alliance) සන්ධානයට මෙන්ම, මහජන නොසන්සුන්තාවය “යුවර් පාටි” (Your Party) වැනි ව්‍යාපෘති වලට හෝ “විප්ලවවාදී කොමියුනිස්ට් පක්ෂය” (RCP) විසින් හරිත පක්ෂය ප්‍රවර්ධනය කිරීම වැනි උත්සාහයන් පිටුපසට කොටු කිරීමට පසුව ගන්නා ලද උත්සාහයන්ටද එම විරෝධය එලෙසම අදාළ වේ. මේවා සියල්ලම පැරණි කම්කරු පක්ෂ දේශපාලනයේම නව මුහුණුවරවල් පමණි. එනම්, රට තුළ ක්‍රියාත්මක වන අමතර පිරිවැය කප්පාදු කිරීම් (සංකෝචන ප්‍රතිපත්ති), විදේශයන්හි පවත්වාගෙන යන මිලිටරිවාදය සහ කම්කරු පන්තියේ ප්‍රතිරෝධය මර්දනය කිරීම යන ධනේශ්වර හිතවාදී වැඩපිළිවෙළම වෙනත් ඇසුරුම්වලින් ඉදිරිපත් කිරීමකි.

මීට වසර සියයකට පෙර, එනම් 1926 මහා වැඩවර්ජනය කරා දිවගිය කාල වකවානුවේදී, ලියොන් ට්‍රොට්ස්කි විසින් බ්‍රිතාන්‍යයේ “හදිසි මෙන්ම අඛණ්ඩව පිරිහෙමින් පවතින ලෝක භූමිකාව” ගැන මෙසේ ලියා තැබීය:

“මෙම ආපසු හැරවිය නොහැකි ක්‍රියාවලිය විප්ලවීය තත්ත්වයක් ද නිර්මාණය කරයි. ඇමරිකාව සමඟ සාමය ඇති කර ගැනීමටත්, පසුබැසීමටත්, උපායශීලීව කටයුතු කිරීමට සහ බලා සිටීමටත් බල කරනු ලැබ ඇති බ්‍රිතාන්‍ය ධනේශ්වර පන්තිය, දැඩි වෛරයකින් හා ක්‍රෝධයකින් පිරී යමින් සිටී. එය සිවිල් යුද්ධයකදී ඉතා දරුණු ආකාරවලින් බාහිරට ප්‍රකාශ වනු ඇත.”

මෙම සන්දර්භය තුළ ට්‍රොට්ස්කි මෙසේ අනතුරු ඇඟවීය:

“කිසිදු ව්‍යතිරේකයකින් තොරව එහි සියලුම විවිධත්වයන් සහ කණ්ඩායම් ඇතුළුව බ්‍රිතාන්‍ය කම්කරු පන්තියේ වත්මන් “උපරි ව්‍යුහය” සමස්තයක් ලෙස  විප්ලවය අඩාල කරන යාන්ත්‍රණයක් නිරූපණය කරයි.”

ලේබර් පක්ෂය සහ වෘත්තීය සමිති නිලධාරිවාදය සිය ක්‍රියාවන් මඟින් ට්‍රොට්ස්කිගේ මතය සනාථ කළහ. කොමින්ටර්නයේ (කොමියුනිස්ට් ජාත්‍යන්තරයේ) ස්ටාලින්වාදී කල්ලිය විසින් මහා බ්‍රිතාන්‍යයේ කොමියුනිස්ට් පක්ෂය මත පටවන ලද අවස්ථාවාදී පිළිවෙත, එනම් වෘත්තීය සමිති “වාමාංශිකයන්” උත්කර්ෂයට නැංවීම සහ වෘත්තීය සමිති කොංග්‍රසයේ දේශපාලන අධිකාරිය ආරක්ෂා කිරීම, ස්වාධීන විප්ලවවාදී ව්‍යාපාරයක් ගොඩනැගීම සඳහා වූ අරගලය යටපත් කර දැමුවේය. මෙහි ප්‍රතිඵලය වූයේ බ්‍රිතාන්‍ය ධනවාදයේ අර්බුදයට තමන්ගේම “විසඳුම්”සෙවීම සඳහා පාලක පන්තියට අවශ්‍ය කාලය සහ අවකාශය හිමි වීමයි: එනම් වැටුප් කප්පාදුව, මහා ආර්ථික අවපාතයේ (Great Depression) ප්‍රතිඵලයක් ලෙස සිදු වූ මහජනතාව සමූහ වශයෙන් දිළිඳුභාවයට පත්වීම සහ දෙවන ලෝක යුද්ධයෙන් කෙළවර වූ මිලිටරිවාදී (යුදකාමී) ගමනයි.

“බ්‍රිතාන්‍ය විප්ලවයට ඇති ප්‍රධානතම බාධාව වන්නේ, පසුබැසීමට පමණක් නොව පාවාදීමට ද නිරන්තරයෙන් සූදානමින් සිටින, ව්‍යාජ රාජ්‍යතාන්ත්‍රික වෙස්මුහුණක් පැළඳගත් ‘වාමාංශිකත්වය’” බව ට්‍රොට්ස්කි අවධාරණය කළේය.

1926 දී මෙන්ම 2026 දී ද තත්ත්වය එසේමය. කම්කරු පන්තියේ රැඩිකල් වෙමින් පවතින නැඹුරුවට එරෙහිව, කම්කරු පක්ෂයේ (Labour Party) දේශපාලනය ආරක්ෂා කරන ප්‍රමුඛ පෙළේ ආරක්ෂකයන් සහ උපකාරක ආධාරකරුවන් වන්නේ ජෙරමි කෝබින් සහ ඔහුගේ සගයන් ඇතුළු වර්තමාන “වාමාංශිකයන්” ය. නව සහ සැබෑ සමාජවාදී නායකත්වයක් ගොඩනැගීම සඳහා හෙළිදරව් කර පරාජය කළ යුත්තේ ඔවුන්වය.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ස්ටාර්මර් රජයේ, කම්කරු පක්ෂයේ සහ බ්‍රිතාන්‍ය ධනවාදයේ අර්බුදය Read More »

Iran war

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය සැලසුම් කරයි

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 18 දින “After Trump’s China trip, White House plans new attack on Iranයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Iran war
2026 මැයි 15 වන සිකුරාදා බෙයිජිං නුවරදී, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ජොංනන්හායි n (Zhongnanhai) උද්‍යානය හරහා යන මිත්‍රත්ව පාගමනකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (දකුණේ) සහභාගී වන ආකාරය . [ඒපී ඡායාරූපය/ඉවන් වුචි]

ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් බීජිං නුවර සිට ආපසු පැමිණ දින දෙකක් ගතවීමටත් මත්තෙන්, ඉරානයට එරෙහිව යළිත් දැඩි ප්‍රහාරයක් එල්ල කිරීම සඳහා ධවල මන්දිරය සක්‍රීය ලෙස සූදානම් වෙමින් සිටී. 

එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය, “ලබන සතිය තරම් ඉක්මනින්, සටන් විරාමය ක්‍රියාත්මක වූ දා සිට සිදු කෙරෙන විශාලතම ප්‍රහාරය ලෙස, ඉරානයට එරෙහි ප්‍රහාර නැවත ආරම්භ කිරීමේ හැකියාව වෙනුවෙන් දැඩි සූදානමක නිරතව සිටින” බව නිව් යෝර්ක් ටයිම්ස් පුවත්පත සිකුරාදා වාර්තා කළේය.

දශකයකට ආසන්න කාලයකට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයෙකු චීනයට පැමිණි ප්‍රථම අවස්ථාව වූ ට්‍රම්ප්ගේ බීජිං රාජ්‍ය සංචාරය පුරාම, ඉරාන යුද්ධය හේතුවෙන් හටගත් අර්බුදය ප්‍රධාන තැනක් ගත්තේය. ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ප්‍රසිද්ධියේ සුහදතාවක් ප්‍රදර්ශනය වුවද, ඉරාන අර්බුදය විසඳීම සම්බන්ධයෙන් කිසිදු පොදු එකඟතාවකට එළඹීමට නොහැකි වූ අතර, කිසිදු නිල ප්‍රකාශනයක් ද නිකුත් නොකෙරුණි.

ඉරාන ජාතිකයන් 3,000කට අධික පිරිසක් සමූලඝාතනය කර සහ සිවිල් ගොඩනැගිලි 81,000ක් විනාශ කර තිබියදීත්, එක්සත් ජනපදය සිය අරමුණු කිසිවක් සාක්ෂාත් කරගෙන නොමැත. එය ඉරාන රජය පෙරළා දැමීමට හෝ ඉරාන හමුදාව බිඳ දැමීමට හෝ හෝමුස් සමුද්‍ර සන්ධියේ පාලනය අත්පත් කර ගැනීමට හෝ සමත්ව නැත.

සටන් මෙහෙයුම් නැවත ආරම්භ කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ට්‍රම්ප් විසින් සිය ඉහළම ජාතික ආරක්ෂක කණ්ඩායම අඟහරුවාදා දින ‘සිටුවේෂන් රූම්’ (Situation Room) වෙත කැඳවීමට නියමිත බව ඇක්සියෝස් (Axios)  ඉරිදා වාර්තා කළේය. මෙම රැස්වීම පැවැත්වෙන්නේ, උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස්, රාජ්‍ය ලේකම් මාර්කෝ රූබියෝ, සී.අයි.ඒ. (CIA) අධ්‍යක්ෂ ජෝන් රැට්ක්ලිෆ් සහ මැදපෙරදිග විශේෂ නියෝජිත ස්ටීව් විට්කොෆ් යන අයගේ සහභාගීත්වයෙන් සෙනසුරාදා දින ට්‍රම්ප්ගේ වර්ජිනියා ගොල්ෆ් සමාජයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුවය.

ඉරිදා සවස, ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවැති දුරකථන ඇමතුමකින් පසුව, ට්‍රම්ප් ‘ටෘත් සෝෂල්’ (Truth Social) හි මෙසේ සටහන් කළේය: “ඉරානයට තිබෙන කාලය වේගයෙන් ගෙවී යමින් පවතී, එබැවින් ඔවුන් ඉතා ඉක්මනින් පියවරක් ගත යුතුය, නැතහොත් ඔවුන්ගෙන් කිසිවක් ඉතිරි නොවනු ඇත.”

මැදපෙරදිග සිතියමක් මත ඇමෙරිකානු ධජය සලකුණු කර, සෑම දෙසකින්ම ඉරානය දෙසට රතු ඊතල යොමු කර ඇති, කෘතිම බුද්ධිය (AI) මඟින් නිර්මාණය කරන ලද ඡායාරූපයක් ඉන් පසුව ඔහු ඉදිරිපත් කළේය. එමඟින් ඔහු ඉඟි කළේ ඇමෙරිකාව විසින් ඉරානය ගොඩබිමින් ආක්‍රමණය කිරීමට සූදානම් වන බවයි.

ට්‍රම්ප් ඉරානයට එරෙහිව න්‍යෂ්ටික අවි භාවිත කිරීම කෙරෙහි අවධානය යොමු කරමින් සිටින බවට නවතම ඉඟියක් පළ කරමින්, ඔහු විසින් මීට පෙර, පාලන පුවරුවක (command console) ඇති රතු බොත්තමක් ඔබන ආකාරය දැක්වෙන ඡායාරූපයක් සමාජ මාධ්‍ය වෙත මුදාහැර තිබුණි. එහි ඔහුට ඉහළින් ඇති තිරයක හතු ආකාර පිපිරුම් (න්‍යෂ්ටික පිපිරුම් mushroom-cloud explosions) දර්ශනය වෙමින් තිබුණි.

ටයිම්ස් (Times) පුවත්පතේ වාර්තාවට අනුව, පෙන්ටගනයේ සලකා බැලීමට ලක්ව ඇති විකල්ප අතර ඉරානය තුළ ඇමරිකානු හට පිරිස් යෙදවීම ද ඇතුළත්ය. එය ‘විශාල ජීවිත හානි සිදුවීමේ අවදානමක්’ සහිත වනු ඇත

ඉරාන යුද්ධය උත්සන්න කිරීමේදී, ට්‍රම්ප් කතා කරන්නේ තමා වෙනුවෙන් පමණක් නොව සමස්ත මූල්‍ය කතිපයාධිකාරය (ධනවත් පාලක පන්තිය) වෙනුවෙන් ද වේ. යුද්ධය ආරම්භ කිරීම මගින්, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කීර්තිය, ඉරානය යටත් කර ගැනීම මත ඔට්ටු තැබීමට ට්‍රම්ප් කටයුතු කර ඇත. එම අරමුණ ඉටු කර ගැනීමට අපොහොසත් වීම, ඇමරිකානු ධනවාදයේ නුබුන්වත් බව (solvancy- ‘ස්ථාවර බව’) රඳා පවතින ඩොලරය පදනම් කරගත් මූල්‍ය පද්ධතියේ බිඳ වැටීම වේගවත් කරන ව්‍යසනයක් ලෙස පාලක පන්තිය විසින් දකිනු ලබයි.

එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන, ඉරානය ආක්‍රමණය කිරීම සඳහා එරට පාබල හමුදාවන් යෙදවිය යුතු බවට ප්‍රසිද්ධියේ බලපෑම් කරමින් සිටියි. රේගන් සහ ජෝර්ජ් එච්. ඩබ්ලිව්. බුෂ් පරිපාලන සමයන්හි නාවික හමුදා හිටපු නියෝජ්‍ය උපලේකම්වරයෙකු වූ සෙත් ක්‍රොප්සි (Seth Cropsey), ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) පුවත්පතේ ඉරිදා දින පළ කළ ‘ඉරාන වැඩේ අවසන් කරන්නේ  කොහොමද?’ යන මැයෙන් යුත් ලිපියක සඳහන් කර තිබුණේ, ට්‍රම්ප් විසින් “මහා  ව්‍යසනකාරී  බලය භාවිතා කිරීමේ තර්ජනය ක්‍රියාවට නැංවිය යුතුයි, එයින් අදහස් කරන්නේ, ඉරාන රාජ්‍යයේ බිඳ වැටීම වේගවත් කිරීම සඳහා හෝමුස් සමුද්‍ර සන්ධිය බලහත්කාරයෙන් නැවත විවෘත කිරීමට, පාබල හමුදාවන් යෙදවීම ඇතුළු බහු-අදියර මෙහෙයුමක් සඳහා සූදානම් වීමයි” යනුවෙනි.

ක්‍රොප්සි (Cropsey) ඇමරිකානු අධිරාජ්‍යවාදය මුහුණ දී සිටින බරපතල අර්බුදය පෙන්වා දෙමින් මෙසේ පැවසීය: “මෙම වසරේ ඉතිරි කාලය පුරාම තෙල් බැරලයක මිල ඩොලර් 150 සීමාව ආසන්නයේ පැවතුණහොත්, උද්ධමනය තවදුරටත් වේගවත් වන අතර ප්‍රධාන කර්මාන්තයන්හි සැපයුම් දාමයන් බිඳ වැටීමට ලක්වනු ඇත. මෙම අර්බුදය වාසිදායක ලෙස අවසන් කිරීමටත්, හෝමුස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) නැවත විවෘත කිරීමටත්, ඇමරිකාවේ අවශ්‍යතා සහ කීර්තිය ආරක්ෂා කරගනිමින් ආර්ථිකය නැවත නගාසිටුවීමටත් ට්‍රම්ප් මහතාට ඇත්තේ සීමිත කාලයකි. නමුත් ඒ සඳහා සමස්ත ඇමරිකානු බලයම උපරිමයෙන් ක්‍රියාත්මක කිරීම අවශ්‍ය වේ.”

නැවත වරක් ප්‍රහාර එල්ල කිරීම සඳහා වන බලපෑම් ඉරිදා දින දේශපාලන සාකච්ඡා වැඩසටහන් හරහා ද තවදුරටත් ඉදිරියට ගෙන යන ලදී. ට්‍රම්ප්ගේ ප්‍රධානතම විදේශ ප්‍රතිපත්ති සහකරුවෙකු වන දකුණු කැරොලිනා ප්‍රාන්තයේ රිපබ්ලිකන් සෙනෙට් සභික ලින්ඩ්සේ ග්‍රැහැම් , “මීට් ද ප්‍රෙස්”(Meet the Press) වැඩසටහනට එක්වෙමින්, ඉරානයේ බලශක්ති යටිතල පහසුකම් වෙත නැවතත් බෝම්බ ප්‍රහාර එල්ල කරන ලෙස ඇමරිකා එක්සත් ජනපදයෙන් ඉල්ලා සිටියේය.”ජනාධිපති ට්‍රම්ප්  යුධමය වශයෙන් කර ඇති දේ විශිෂ්ටයි, නමුත් අපට පහර දිය හැකි තවත් ඉලක්ක ඉතිරිව තිබෙනවා. එමෙන්ම ඔවුන්ට රිදවීම සඳහා අපට කළ හැකි දේ තිබෙනවා. ඔවුන්ගේ බලශක්ති යටිතල පහසුකම් යනු ඔවුන්ගේ දුර්වලම ස්ථානයයි. ඔබ නැවත සටනට අවතීර්ණ වන්නේ නම්, මම ලැයිස්තුවේ ඉහළින්ම තබන්නේ බලශක්ති ක්ෂේත්‍රයයි.” ග්‍රැහැම් පැවසීය.

සැලසුම් කර ඇති  උත්සන්න කිරීම ගැන ඩිමොක්‍රටික් පක්ෂය කිසිදු විරෝධයක් දැක්වූයේ නැත. ඒ වෙනුවට, ඉරිදා සාකච්ඡා වැඩසටහන්වලට පෙනී සිටි ඩිමොක්‍රටික් පාක්ෂිකයන් ඔවුන්ගේ විදේශ ප්‍රතිපත්ති පිළිබඳ අදහස් දැක්වීම් බොහෝ දුරට වෙන් කළේ, බීජිං සමුළුවේදී ට්‍රම්ප් චීනය කෙරෙහි දැක්වූ ප්‍රවේශය ප්‍රමාණවත් තරම් දැඩි හෝ යුදකාමී නොවන බව පවසමින් එය හෙළා දැකීමටය.

ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ගෝලීය ආර්ථිකයේ ස්ථාවරත්වයේ නාමයෙන්, ට්‍රම්ප් විසින් තායිවානය පාවා නොදිය යුතුය” යැයි සෙනෙට් සභාවේ සුළුතරයේ නායක චක් ශූමර් ප්‍රකාශ කළේය. ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ චෝදනාව වන්නේ ට්‍රම්ප් විසින් ඉරානයට එරෙහිව ආරම්භ කරන ලද යුද්ධය හේතුවෙන්, චීනය සමඟ පවතින ගැටුම කෙරෙහි ඇමරිකා එක්සත් ජනපදයට තිබූ අවධානය  අපසරණය වී ඇති බවයි.

ඉරානයට එරෙහි යුද්ධය යනු එක විටම  ඇමරිකානු කම්කරු පන්තියට එරෙහිව කෙරෙන යුද්ධයක් ද වේ. යුද්ධය හේතුවෙන් හටගත් උද්ධමන අර්බුදය, බලශක්ති සහ ආහාර මිල ගණන් දැවැන්ත ලෙස ඉහළ යාමට හේතු වී තිබේ. පසුගිය මාස තුනක කාලය තුළ වාර්ෂික පදනමින් බලන කල, අලුත් එළවළු මිල සියයට 44 කට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ ගොස් ඇති බව NBC පුවත් සේවය වාර්තා කළේය. ඉන්ධන මිල ජාතික සාමාන්‍යයක් ලෙස ගැලුමක් ඇමරිකානු ඩොලර් 4.51 ක් වන අතර, යුද්ධය ආරම්භ වූ දා සිට බ්‍රෙන්ට් බොරතෙල් මිල දළ වශයෙන් සියයට 50 කින් පමණ ඉහළ ගොස් ඇත.

ජීවන වියදම දරුණු ලෙස ඉහළ යාමට ප්‍රතිචාර දක්වමින්, ට්‍රම්ප් මේ මාසයේදී ධවල මන්දිරයේ සිටි මාධ්‍යවේදීන් අමතා පැවසූවේ : “මම ඇමරිකානුවන්ගේ මූල්‍ය තත්ත්වය පිළිබඳව සිතන්නේ නැත.”  යනුවෙනි. 

විදේශයන්හි පවතින යුද්ධය සහ දේශීය සමාජ සුභසාධන වැඩසටහන් කප්පාදු කිරීම අතර පවතින සෘජු සැබැඳියාව රජය විසින් පැහැදිලිවම පෙන්වා දී ඇත. අප්‍රේල් 1 වනදා ධවල මන්දිරයේ පැවැති පාස්කු දිවා භෝජන සංග්‍රහයකදී ට්‍රම්ප් මෙසේ ප්‍රකාශ කළේය: ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), මෙඩිකෙයා (Medicare) වැනි මේ සෑම පෞද්ගලික අවශ්‍යතාවක්ම  බලා කියා ගැනීමට අපට හැකියාවක් නැත. අපට එක් ප්‍රධාන කරුණක් කෙරෙහි අවධානය යොමු කිරීමට සිදුව තිබේ, එනම් මිලිටරි ආරක්ෂාවයි.”” අප  යුද්ධ කරමින් සිටිමු” යි ඔහු  පැවසීය.

යුද්ධයේ පිරිවැය භාණ්ඩාගාරයට ද දැඩි බරක් වෙමින් පවතී.කඳවුරුවලට සිදුවූ හානි හැර, යුද්ධය වෙනුවෙන් ඩොලර් බිලියන 29ක් වැය වී ඇති බව පෙන්ටගනයේ ප්‍රධාන මූල්‍ය නිලධාරී (Comptroller) ජේ හර්ස්ට් පසුගිය සතියේ කොංග්‍රස් මණ්ඩලය හමුවේ සාක්ෂි දෙමින් පිළිගත්තේය. මේ අතර, හාවඩ් විශ්වවිද්‍යාලයේ රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ආර්ථික විද්‍යාඥ ලින්ඩා බිල්ම්ස් අප්‍රේල් මාසයේදී ‘ෆෝචූන්’ (Fortune) සඟරාවට පවසා තිබුණේ, “ඉරාන යුද්ධය වෙනුවෙන් අපට ඩොලර් ට්‍රිලියනයක් වැය වනු ඇති බව සහතික” බවයි.

ඉරානයට එරෙහි යුද්ධය උග්‍රවීම සිදුවන්නේ පන්ති අරගලයේ විශාල පිබිදීමක් මධ්‍යයේ ය. ලෝන්ග් අයිලන්ඩ් රේල් රෝඩ් (LIRR) සේවකයින් 3,500ක් පමණ සිකුරාදා මධ්‍යම රාත්‍රියේ සේවයෙන් බැහැර විය . ඒ අනුව, 1994න් පසු සිදු වූ පළමු LIRR වැඩ වර්ජනය සනිටුහන් කරමින්, එක්සත් ජනපදයේ කාර්යබහුලම මගී දුම්රිය මාර්ගයේ ධාවන කටයුතු සම්පූර්ණයෙන්ම ඇන හිටවුණි.

මිචිගන්හි සැගිනෝව් (Saginaw) හි පිහිටි නෙක්ස්ටියර් ඔටෝමෝටිව් (Nexteer Automotive) ආයතනයේ සේවය කරන “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” (United Auto Workers) සාමාජිකයින් 1,300 දෙනා පසුගිය සති හය තුළ දෙවතාවක්ම (හාම්පුතුන් හට) සහනදායී ගිවිසුම් ප්‍රතික්ෂේප කර ඇති අතර, වහාම වැඩවර්ජනයක් ක්‍රියාත්මක කරන ලෙස වෘත්තීය සමිතියට බලකර සිටී . එමෙන්ම, මිචිගන්හි ත්‍රී රිවර්ස් (Three Rivers) හි පිහිටි ඇමරිකන් ඇක්සල් (American Axle) කර්මාන්තශාලාවේ “එක්සත් මෝටර් රථ සේවක සංගමයේ” සාමාජිකයින් 1,000 දෙනා, මැයි 31 වනදා තමන්ගේ ගිවිසුම අවසන් වූ පසු වැඩවර්ජනයකට අවතීර්ණ වීම සඳහා සියයට 98 ක කැමැත්තකින් මැයි 12 වනදා අනුමැතිය ලබා දී ඇත.

මෙම අරගලවලට ආසන්නතම හේතුව වී ඇත්තේ යුද්ධය නිසා ඇති වූ ජීවන වියදම් අර්බුදයයි. කම්කරුවන්ගේ ජීවන තත්ත්වය ආරක්ෂා කිරීම, යුද්ධයට එරෙහි සටනින් බැහැර කළ නොහැකිය.

ඉරාන සමාජය මුළුමනින්ම විනාශ කරන බවට ට්‍රම්ප් කර ඇති තර්ජන පිළිබඳව ඉහළම මට්ටමේ දැඩි අවධානයක් යොමු කළ යුතුය. මෙම පාලනාධිකාරය යනු ඇමරිකානු පාලක පන්තියේ අවශ්‍යතා ඉදිරියට ගෙන යාම සඳහා න්‍යෂ්ටික ආයුධ භාවිතය ඇතුළු ඕනෑම ක්‍රියාවක නිරත වීමට පසුබට නොවන, අපරාධකාරී සහ මැර කල්ලි ස්වරූපී පාලනයකි.

ප්‍රවාහන සහ මෝටර් රථ කර්මාන්තයන්හි  අරගල, යුද්ධය සහ ආඥාදායකත්වය සඳහා වන ට්‍රම්ප්ගේ සැලසුම්වලට එරෙහි සටනේ ඉදිරි මාවත පෙන්වා දෙයි. මිනීමරු ට්‍රම්ප් පාලනයට සහ ඩිමොක්‍රටික් පක්ෂය තුළ සිටින ඔවුන්ගේ අනුබලදෙන්නන්ට එරෙහි විය යුත්තේ පන්ති අරගලයේ ක්‍රමවේදය සහ සමාජවාදී වැඩපිළිවෙළක් ඔස්සේ ය.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ට්‍රම්ප්ගේ චීන සංචාරයෙන් පසු, ඉරානයට එරෙහිව නව ප්‍රහාරයක් එල්ල කිරීමට ධවල මන්දිරය සැලසුම් කරයි Read More »

Trump-Xi

ඇමරිකා-චීන රාජ්‍ය නායක හමුවෙන් ගෝලීය යුද අන්තරාය සමනය වීමක් නැත

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 15 දින “US-China summit brings no respite in global war” යන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump-Xi
2026 මැයි 15 වන සිකුරාදා බෙයිජිං නුවරදී, චීන ජනාධිපති ෂී ජින්පින් සමඟ ජොංනන්හායි (Zhongnanhai) උද්‍යානය හරහා යන මිත්‍රත්ව පාගමනකට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් (දකුණේ) සහභාගී වන ආකාරය . [ඒපී ඡායාරූපය/ඉවන් වුචි]

ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ගෝලීය ව්‍යාප්තියේ කිසිදු අඩුවක් පෙන්නුම් නොකළ, චීනයේ දෙදින නිල රාජ්‍ය සංචාරය නිමවා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිකුරාදා දින නැවත වොෂින්ටන් බලා පැමිණියේය. මෙය දශකයකට ආසන්න කාලයකට පසු ඇමරිකානු ජනාධිපතිවරයෙකු එහි නිරත වූ පළමු සංචාරයයි. මෙම සංචාරය තුළින් ඉරානයට එරෙහි ඇමරිකානු අවහිරතා ලිහිල් කිරීමක්, තායිවානයට ඇමරිකාව විසින් ආයුධ සැපයීම අත්හිටුවීමක්, ට්‍රම්ප්ගේ චීන විරෝධී තීරුබදු අඩු කිරීමක් හෝ කිසිදු ඒකාබද්ධ නිල ප්‍රකාශනයක් (Communique) නිකුත් කිරීමක් සිදු නොවීය.

මෙම හමුව පැවැත්වුණේ, ඊට මාස තුනකටත් වඩා අඩු කාලයකට පෙර ඉරානයට එරෙහිව ඇමරිකාව දියත් කළ ප්‍රහාරයේ බලපෑම එල්ල වී තිබූ පසුබිමකය. ඇමරිකානු ප්‍රහාරයේ බිහිසුණු බව නොතකා, ඉරාන රජය පෙරළා දැමීම, එහි හමුදාව විනාශ කිරීම සහ හෝමුස් සමුද්‍ර සන්ධියේ (Strait of Hormuz) පාලනය අත්පත් කර ගැනීම වැනි තම අරමුණු සාක්ෂාත් කර ගැනීමට ට්‍රම්ප් පරිපාලනය අපොහොසත් වී තිබුණි.

චීනයේ බලශක්ති සැපයුම තම දැඩි ග්‍රහණයට ගනිමින්, එරටට කොන්දේසි පැනවීමට සූදානම් වූ ඉරානය ජයගත් පාලකයෙකු ලෙස බෙයිජිං නුවරට පැමිණීමට ට්‍රම්ප් බලාපොරොත්තු විය. නමුත් ඒ වෙනුවට, ඔහුට මුහුණ දීමට සිදු වූයේ භූදේශපාලනික ව්‍යසනයකට වන අතර, යුද්ධය නිසා ඇති වූ අර්බුදය විසඳා ගැනීම සඳහා ඔහු ෂීගේ සහය පැතුවේය.

ට්‍රම්ප්ගේ විනාශකාරී ඉරාන යුද්ධය නිසා ඇති වූ අර්බුදය, චීනයේ කේවල් කිරීමේ ස්ථාවරය ශක්තිමත් කර ගැනීම සඳහා භාවිතා කිරීමට ෂී උත්සාහ කළේය. ඔහු ට්‍රම්ප් ඉදිරියේ ගැති වීමේ පිළිකුල් සහගත ස්වරූපයක් ප්‍රදර්ශනය කළ අතර, ට්‍රම්ප් ‘එයාර් ෆෝස් වන්’ (Air Force One) ගුවන් යානයෙන් බැස එන විට ඔහුව පිළිගනු ලැබුවේ ඇමරිකානු සහ චීන ධජ වනමින් සිටි, කල්තියා සැලසුම් සහගතව මෙහෙයවන ලද පිරිසක් විසිනි. රාජ්‍ය භෝජන සංග්‍රහයේදී, “චීන ජාතියේ මහා පුනර්ජීවනය ළඟා කර ගැනීම සහ ඇමරිකාව නැවතත් ශ්‍රේෂ්ඨ කිරීම (MAGA) අත්වැල් බැඳගෙන එකට යා හැකි” බව පවසමින් සව්දිය පිරූ ෂී, දෙරට “තරඟකරුවන් නොව හවුල්කරුවන්” විය යුතු යැයි ට්‍රම්ප්ට පැවසීය.

මෙම රතු පලස් පිළිගැනීම පිරිනමනු ලැබුවේ ස්වෛරී රාජ්‍යයන්හි නායකයන් ඝාතනය කරන සහ පැහැරගන්නා, සමස්ත සමාජයන්ම සහමුලින්ම විනාශ කිරීමට නිරන්තරයෙන් තර්ජනය කරන, සහ සිවිල් ජනතාවට එරෙහිව න්‍යෂ්ටික ආයුධ භාවිතා කරන බවට ඉඟි පළ කරන ඝාතකයෙකුට සහ අපරාධකරුවෙකුටය.

එහෙත්, මේ සියලු බාහිර ප්‍රදර්ශනයන් මධ්‍යයේ, මෙම සමුළුවෙන් ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළ හැකි කිසිදු කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගැනීමට සමත් වූයේ නැත. එමෙන්ම, ඉරාන අර්බුදය විසඳීම සඳහා ෂීගේ සහයෝගය ලබා ගැනීමේ අරමුණින් ට්‍රම්ප් විසින් ඔහු වෙත ලබා දුන් ඕනෑම පෞද්ගලික පොරොන්දුවක් සම්පූර්ණයෙන්ම නිශ්ඵල ඒවා වෙයි.

ට්‍රම්ප් පාලන තන්ත්‍රය වර්ධනය වෙමින් පවතින දේශපාලන, සමාජීය සහ ආර්ථික අර්බුදයකට මුහුණ දී සිටී. ට්‍රම්ප්ගේ ජනප්‍රියතා අනුපාතය සියයට 34 දක්වා පහත වැටී ඇති අතර, එය ඔහුගේ ජනාධිපති ධුර කාලය තුළ වාර්තා වූ අවම අගයයි. ප්‍රධාන ණය ශ්‍රේණිගත කිරීම් ආයතන විසින් වෙන වෙනම සිදු කරන ලද  ශ්‍රේණිගත කිරීම් පහත හෙළීම් තුනෙන් නවතම අවස්ථාව සිදුවී වසරක් ගතවන තැන, ඇමරිකාවේ ජාතික ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් සියයට 100 දක්වා ළඟා වී ඇත. ලෝකයේ සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයට හිමි ස්ථානය පිළිබඳව මතුවෙමින් පවතින සැක සංකා ද මෙම සංචාරය පුරාම බලපා තිබුණි.

මෙම පසුබිම හමුවේ, පළමු ට්‍රම්ප් පාලන සමය යටතේ නිල වශයෙන් ආරම්භ වූ චීනය ආර්ථික වශයෙන් හුදකලා කර මර්දනය කිරීමට ඇමරිකාව දැරූ උත්සාහය අසාර්ථක වී ඇති බව මෙම සමුළුව මඟින් පැහැදිලි කළේය. 2018 ඔක්තෝබර් මාසයේදී, උප ජනාධිපති මයික් පෙන්ස් ප්‍රකාශ කළේ “විසිඑක්වන සියවසේ ආර්ථිකයේ ප්‍රමුඛතම ස්ථානයන්” අත්පත් කර ගැනීම එක්සත් ජනපදයේ අරමුණ බවයි. ඉන්පසුව තීරුබදු සහ අපනයන පාලනයන් හරහා දියත් කරන ලද ආර්ථික යුද ව්‍යාපාරය, බයිඩන් පාලන සමය පුරා මෙන්ම දෙවන ට්‍රම්ප් පාලන සමය දක්වාද අඛණ්ඩව ඉදිරියට ගෙන යන ලදී. කෙසේ වුවද, මෙම උත්සාහය මඟින් රොබෝ තාක්ෂණය, ස්වයංක්‍රීය පාලන පද්ධති සහ කෘත්‍රිම බුද්ධිය යන ක්ෂේත්‍රයන්හි ප්‍රධාන දියුණුවක් අත්කර ගෙන ඇති චීනයේ තාක්ෂණික අංශය විනාශ කිරීමට සමත්වී නැත.

මෙම දියුණුව පැවතියද, නැතහොත් එම දියුණුව හේතුවෙන්ම, ආර්ථික සහ මිලිටරිමය යුද්ධ හරහා තමන්ව මර්දනය කිරීමට සහ යටත් කර ගැනීමට අධිෂ්ඨාන කරගෙන සිටින, ඇමරිකාව ප්‍රමුඛ අධිරාජ්‍යවාදී ලෝක රටාවකට චීනයට මුහුණ දීමට සිදුව ඇත. ග්‍රීන්ලන්තය සහ පැනමා ඇළ අත්පත් කර ගැනීමට ඇමරිකාව දරන උත්සාහයන් මෙන්ම, ලතින් ඇමරිකාවේ සහ පර්සියානු බොක්ක කලාපයේ ඔවුන් සිදු කරන ආක්‍රමණශීලී ක්‍රියාකාරකම්, චීනය සමඟ සෘජු මිලිටරි ගැටුමකට සූදානම් වීම සඳහා ලෝකයේ මූලෝපායිකව වැදගත් වන සංවේදී ස්ථාන (Strategic Choke Points) අත්පත් කර ගැනීමේ ව්‍යාපාරයක කොටසක් වෙයි.

සමස්ත පැවතුනු යටත්විජිත ලෝකය සමඟ චීනයද තම යටත් විජිතයක් බවට පත්කිරීම අරමුණු කරගත් මෙම ආක්‍රමණශීලී පිළිවෙත හමුවේ, චීන ජනාධිපති ෂී ජින්පින් මෙම සමුළුව පුරාම උත්සාහ කළේ එක්සත් ජනපදය සහ චීනය අතර සාමකාමී සහයෝගීතාවයක් සඳහා ආයචනා කිරීමටය.

දෙරටට “‘තුසිඩිඩීස් උගුල’ (Thucydides Trap) ලෙස හැඳින්වෙන තත්ත්වය අතික්‍රමණය කර, මහා බලවතුන් අතර සබඳතා සඳහා නව ආදර්ශනයක් ගොඩනැඟිය හැකිද” යන්න විමසමින් ෂී සමුළුව ආරම්භ කළේය. “චීනය සහ එක්සත් ජනපදය අතර ඇති පොදු අවශ්‍යතා, අප අතර ඇති වෙනස්කම්වලට වඩා බෙහෙවින් වැඩි වන” බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

ඊට වෙනස්ව, ට්‍රම්ප් පරිපාලනය බීජිං (චීනය) සමඟ සබඳතාවල ඇති විය හැකි ඕනෑම යහපත් ප්‍රවණතාවක් දකින්නේ, ඇමරිකාවේ යළි ආයුධ සන්නද්ධ වීම වේගවත් කිරීමට සහ යුද්ධයක් සඳහා රට වඩාත් හොඳින් සූදානම් කිරීමට ලැබුණු අවස්ථාවක් ලෙසය.

මෙම ගණනය කිරීම් ඉදිරිපත් කරන ලද්දේ පළමු ට්‍රම්ප් පරිපාලනයේ රාජ්‍ය ලේකම් සහකාරවරයෙකු වූ මෙන්ම, වත්මන් පරිපාලනයේ ප්‍රමුඛ මූලෝපාය සකසන්නන්ගේ සමීපතම හිතවතෙකු ද වන වෙස් මිචෙල් (Wes Mitchell) විසිනි.”ෆොරින් එෆෙයාර්ස්” (Foreign Affairs) සඟරාවට ලිපියක් ලියමින් මිචෙල් විස්තර කළේ, මෙම [ට්‍රම්ප්] පරිපාලනය “අනාගතයේදී වඩාත් ශක්තිමත් ස්ථාවරයකට පැමිණීම සඳහා… කාලය ලබා ගැනීමට සහ අවශ්‍ය පසුබිම සකස් කර ගැනීමට” උත්සාහ කරන බවයි. එවැනි තත්ත්වයක් තුළ, “ජීවිතාරක්‍ෂක ඖෂධ නිපදවීම, ඇමරිකානු ආර්ථිකය බලගැන්වීම හෝ යුද්ධ කිරීමට අවශ්‍ය ද්‍රව්‍ය සපයා ගැනීම සඳහා තමන්ගේ ප්‍රධාන ප්‍රතිවාදියා [චීනය] මත යැපීම අවම කරන ලද, පුනර්ජීවනය ලැබූ ඇමරිකානු කර්මාන්ත ක්ෂේත්‍රයක සහාය ඇතිව වඩාත් ශක්තිමත් ආයුධ ගබඩාවක්” ඇමරිකාව සතු වනු ඇත.

ඇමරිකානු අධිරාජ්‍යවාදය සහ චීනය අතර සාමකාමී සහජීවනයක් පැවතිය නොහැක. අර්බුදවලින් පීඩිත වූ සහ ණයගැති වී ඇති ඇමරිකානු ධනවාදයට, චීනයේ අඛණ්ඩ ආර්ථික වර්ධනය ඉවසීමට නොහැකිය. චීනයේ ආර්ථික පිබිදීම පිළිගැනීම යනු, සමස්ත ඇමරිකානු බල ව්‍යුහයම රඳා පවතින, ඩොලරය මත පදනම් වූ ලෝක ක්‍රමයේ බිඳවැටීමයි.

අවසාන වශයෙන්, චීනය තම යටතට ගැනීමට ඇමරිකා එක්සත් ජනපදය දරන උත්සාහය පැනනඟින්නේ ධනවාදී ලෝක ක්‍රමයේ ව්‍යුහය තුළින්ම ය. එනම්, එය ගෝලීය වශයෙන් ඒකාබද්ධ වූ ආර්ථිකයක් සහ එකිනෙකා සමඟ තරඟ වදින ජාතික රාජ්‍යයන්ගෙන් සමන්විත පද්ධතියක් අතර පවතින විසඳිය නොහැකි ප්‍රතිවිරෝධතාවයයි. මෙහිදී සෑම ජාතික රාජ්‍යයක්ම තම තමන්ගේ පාලක පන්තියේ අවශ්‍යතා ආරක්ෂා කිරීමට ක්‍රියා කරයි.

චීන රාජ්‍යය කම්කරු රාජ්‍යයක්, සමාජවාදී රාජ්‍යයක් හෝ “සමාජවාදී වෙළඳපොළ ආර්ථිකයක්” පවා නොවේ. එය මෙහෙයවනු ලබන්නේ 1970 දශකයේ අගභාගයේදී ඩෙන් ෂියාඕපින්ගේ “ප්‍රතිසංස්කරණ සහ විවෘත කිරීම් (reform and opening up)” සමඟ ආරම්භ වූ දශක කිහිපයක් තිස්සේ දිවෙන ධනේශ්වර ප්‍රතිස්ථාපන ක්‍රියාවලියේ ප්‍රතිඵලයක් වන, සෑම දෙයක්ම ධනේශ්වර කතිපයාධිකාරයකට යටත් කරන පාලන තන්ත්‍රයක් විසිනි. මෙම ප්‍රතිස්ථාපන ක්‍රියාවලිය ස්ටැලින්වාදී ජාතිකවාදයේ මාඕවාදී ප්‍රභේදය තුළ මුල් බැසගත් පාවාදීමක් ලෙස හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව (ICFI) එහි සෑම පියවරකදීම විශ්ලේෂණය කළේය. එම ප්‍රතිස්ථාපනය මඟින් මිලියන සිය ගණනකගෙන් සමන්විත දැවැන්ත කම්කරු පන්තියක් බිහි කළ අතර, චීනය ලෝක ප්‍රාග්ධන පරිපථයන් සමඟ ඒකාබද්ධ කළේය. එමෙන්ම ගෝලීය වෙළඳපොළවල්, ජාත්‍යන්තර සැපයුම් දාමයන් සහ වොෂින්ටනය ආයුධයක් ලෙස භාවිත කරන ඩොලරය මත පදනම් වූ මූල්‍ය පද්ධතිය සමඟ බැඳී සිටින බිලියනපතියන්ගේ ස්ථරයක් ද එය විසින් නිර්මාණය කරන ලදී.

ෂී ජින්පින් යෝජනා කළ සාමකාමී සහජීවනය හුදු මනඃකල්පිතයකි. චීන සහ ඇමරිකානු ආර්ථිකයන් එකිනෙකට බැඳ තබන දැවැන්ත ආර්ථික සබඳතා පැවතියද, දැනට දක්නට ලැබෙන ප්‍රධානතම ප්‍රවණතාවය වන්නේ මිලිටරිමය (යුධමය) උත්සන්න වීමයි. 2023 මැයි දින රැළිය අමතමින් ඩේවිඩ් නෝර්ත් එය මෙසේ පෙන්වා දුන්නේය:

‘අද වන විට, ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “ඒක-ධ්‍රැවීය” ආධිපත්‍යය වෙනුවට “බහු-ධ්‍රැවීය” ලෝකයක් බිහිවීම පිළිබඳව බොහෝ කතාබහක් පවතී. “බහු-ධ්‍රැවීයතාව” පිළිබඳ ශාස්ත්‍රීය හා ව්‍යාජ-වාම සිද්ධාන්තකරුවන්ට අනුව, වොෂින්ටනයේ පාලනය වෙනුවට ධනේශ්වර රාජ්‍යයන්ගේ එකතුවක් (සන්ධානයක්) බිහිවනු ඇත. ඔවුන් සාමූහිකව සහ සුසංයෝගීව ගෝලීය සම්පත් වඩාත් සාමකාමී ලෙස බෙදා ගැනීමට නායකත්වය දෙනු ඇතැයි ඔවුහු විශ්වාස කරති.

‘සාමකාමී “ඇති-අධිරාජ්‍යවාදය “පිළිබඳ මෙම නව අනුවාදය (ප්‍රකාශනය), මීට සියවසකට පෙර ජර්මානු ප්‍රතිසංස්කරණවාදියෙකු වූ කාල් කෞට්ස්කි විසින් එය ප්‍රථම වරට ඉදිරිපත් කරන ලද සහ ලෙනින් විසින් සර්වසම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනු ලැබූ කාලයට වඩා අද න්‍යායාත්මකව එකඟ විය හැකි හෝ දේශපාලනිකව ප්‍රායෝගික එකක් නොවේ. ධනේශ්වර සහ අධිරාජ්‍යවාදී රාජ්‍යයන් අතර ගෝලීය සම්පත් සාමකාමී ලෙස බෙදා හැරීම සහ වෙන් කිරීම කළ නොහැක්කකි. ගෝලීය ආර්ථිකය සහ ධනේශ්වර ජාතික-රාජ්‍ය පද්ධතිය අතර පවතින පරස්පර විරෝධතාවල අවසාන ප්‍රතිඵලය වන්නේ යුද්ධයයි.

‘කෙසේ වෙතත්, “බහුධ්‍රැවීය” ලෝකයක් පිළිබඳ සංකල්පයේ පවතින වැරදි න්‍යායාත්මක පදනම් පසෙක තැබුවද, එය යථාර්ථයක් බවට පත් වීමට නම් වර්තමානයේ ප්‍රමුඛ අධිරාජ්‍යවාදී බලවතා වන ඇමරිකා එක්සත් ජනපදය ඊට සාමකාමීව එකඟ විය යුතුය. නමුත් එය ප්‍රායෝගිකව අපේක්ෂා කළ නොහැකි තත්ත්වයකි. සිය “ඒකධ්‍රැවීය” ආධිපත්‍යය වැළැක්වීමට දරන ඕනෑම උත්සාහයකට එරෙහි වීම සඳහා ඇමරිකා එක්සත් ජනපදය තමන් සතු සියලු උපක්‍රම සහ මාධ්‍යයන් භාවිත කරනු ඇත. එබැවින්, “ඒකධ්‍රැවීය” ලෝකයක් වෙනුවට “බහුධ්‍රැවීය” ලෝකයක් බිහි කිරීමට දරන මෙම මනඃකල්පිත උත්සාහය, එහිම පවතින විකෘති තර්කනය හේතුවෙන් අවසානයේදී තුන්වන ලෝක යුද්ධයකට සහ සමස්ත පෘථිවියේම විනාශයට මඟ පාදයි.

එක්සත් ජනපද අධිරාජ්‍යවාදයේ ගෝලීය නැගී ඒමට එරෙහිව කම්කරු පන්තිය තමන්ගේම ප්‍රතිචාරයක් සකස් කරගත යුතුය. එක්සත් ජනපද අධිරාජ්‍යවාදය විසින් දියත් කරනු ලබන ගෝලීය යුද්ධය, මෙරට (ඇමරිකාවේ) කම්කරු පන්තියට එරෙහි යුද්ධයක් වනු ඇති බව ට්‍රම්ප් දැනටමත් පැහැදිලි කර ඇත. අප්‍රේල් 1 වන දින ධවල මන්දිරයේ පැවැති පාස්කු දිවා භෝජන සංග්‍රහයකදී ඔහු මෙසේ ප්‍රකාශ කළේය: “ළමා සුරැකුම් මධ්‍යස්ථාන, මෙඩිකේඩ් (Medicaid), මෙඩිකෙයා (Medicare) වැනි මේ සෑම පෞද්ගලික අවශ්‍යතාවක්ම සොයා බැලීමට අපට හැකියාවක් නැත. අපට එකම එක දෙයක් ගැන පමණක් සොයා බැලීමට සිදු වී තිබේ; එනම් මිලිටරි (හමුදාමය) ආරක්ෂාවයි.” “අපි යුද්ධ කරමින් සිටිමු,” යැයි ඔහු පැවසීය.’

තම කර්මාන්තය විනාශ කළ ව්‍යාපාරික සමාගම්වල ලාභය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් කෙරෙන තීරුබදු යුද්ධයකින් ඇමරිකානු සේවකයාට කිසිදු වාසියක් අත් නොවේ. චීන සේවකයන් ද තේරුම් ගත යුත්තේ මෙම අර්බුදයට ජාතික මට්ටමේ විසඳුමක් නොමැති බවයි. චීනයේ තාක්ෂණික ප්‍රගතිය කොතරම් වැදගත් වුවත්, තමන්ව මර්දනය කිරීමට සැරසෙන අධිරාජ්‍යවාදී බලවතුන්ගේ යහපත් පාර්ශවයන්ගෙන් (හෘද සාක්ෂියෙන්) ඉල්ලීම් කිරීමෙන් පමණක් රටේ සංවර්ධනය සුරක්ෂිත කර ගැනීමට චීනයට නොහැකිය.

ලෝක යුද්ධයක් වැළැක්විය හැක්කේ, ධනපති පන්තියේ කිසිදු පාර්ශවයකින් තොරව ස්වාධීනව සංවිධානය වූ සහ සමාජවාදී ජාත්‍යන්තරවාදයේ වැඩපිළිවෙල වෙනුවෙන් සටන් වදින ජාත්‍යන්තර කම්කරු පන්තියට පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය විසින් සටන් වදින්නේ එම වැඩපිළිවෙල වෙනුවෙනි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

ඇමරිකා-චීන රාජ්‍ය නායක හමුවෙන් ගෝලීය යුද අන්තරාය සමනය වීමක් නැත Read More »

Cloudflare

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද?

ටොම් හෝල් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “How workers can fight the wave of AI layoffsයන හිසින් පළවූ ටොම් හෝල් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Cloudflare
2025 නොවැම්බර් 18 අඟහරුවාදා දින නිව්යෝර්ක් කොටස් වෙළඳපොළ පරිශ්‍රයේ ඇති ගනුදෙනු කුටියකට ඉහළින් ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගමේ ලාංඡනය ප්‍රදර්ශනය කර ඇති අයුරු. (AP Photo/Richard Drew) [AP Photo/Richard Drew]

කෘතිම බුද්ධි (AI) තාක්ෂණයන් හඳුන්වාදීමේ ප්‍රතිඵලයක් ලෙස, මහා පරිමාණ සමාගම් විසින් රැකියා අහෝසි කිරීමට, වැටුප් පහත හෙළීමට සහ මිලියන සංඛ්‍යාත සේවකයන් අතිරික්ත පිරිසක් ලෙස ප්‍රකාශ කිරීමට පියවර ගැනීමත් සමඟ, මහා පරිමාණ වශයෙන් රැකියා කප්පාදු කිරීමක් ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතී.

මැයි 7 වන දින, තාක්ෂණික ආරක්ෂණ සමාගමක් වන ක්ලවුඩ්ෆ්ලෙයාර් (Cloudflare) සමාගම සිය ශ්‍රම බලකායෙන් සියයට 20ක් කප්පාදු කරන බව නිවේදනය කළේය. එහිදී පීඩාවට පත් වූ සේවකයන් 1,100 දෙනා වෙත විද්‍යුත් තැපෑල (email) මාර්ගයෙන් දැනුම් දී තිබුණේ, ප්‍රධාන විධායක නිලධාරී මැතිව් ප්‍රින්ස් (Matthew Prince) විසින් “නියෝජිත කෘතිම බුද්ධි යුගය” (the agentic AI era) ලෙස හඳුන්වනු ලබන වටපිටාව තුළ ඔවුන්ගේ තනතුරු සඳහා තවදුරටත් අනාගතයක් නොමැති බවයි.

සමස්ත වෙබ් අඩවිවලින් පහෙන් එකකට වඩා වැඩි ප්‍රමාණයකට සේවා සපයන මෙම සමාගමේ අන්තර්ජාල ආරක්ෂණ සේවා සහ අන්තර්ගත බෙදාහැරීමේ ජාලය (Content Delivery Network)  අන්තර්ජාලයේ ව්‍යුහය තුළ ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. ෆෝර්චූන් 500 (Fortune 500) ලැයිස්තුවේ ඇති සමාගම්වලින් සියයට 35ක්ම තමන්ගේ සේවාවන් භාවිතා කරන බව ක්ලවුඩ්ෆ්ලෙයාර් සමාගම පවසන අතර, ඇමරිකානු ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ බුද්ධි අංශ සමඟ ද ඔවුන් සතුව ගිවිසුම් රැසක් පවතී. පෙබරවාරි මාසයේදී, ට්‍රම්ප්ගේ “ගෝල්ඩන් ඩෝම්” (Golden Dome) වැඩසටහනේ කොටසක් වන, මිසයිල ආරක්ෂක ඒජන්සියේ (Missile Defense Agency) ඩොලර් බිලියන151ක ෂීල්ඩ් (SHIELD) වැඩසටහන සඳහා වන එක් කොන්ත්‍රාත්කරුවෙකු ලෙස ද මෙම සමාගම ප්‍රකාශයට පත් කරන ලදී.

මෙම රැකියා කප්පාදු නිවේදන නිකුත් වූයේ, සමාගම සිය ඉතිහාසයේ ඉහළම කාර්තුමය ආදායම වන ඩොලර් මිලියන 639.8ක් වාර්තා කළ දිනයේදීමය. එය පෙර වසරේ අදාළ කාල සීමාවට සාපේක්ෂව සියයට 34ක වර්ධනයකි. එවැනි වාර්තාගත කාර්තුවකින් පසුව මෙතරම් බරපතළ කප්පාදුවක් සිදු කිරීම අත්‍යවශ්‍ය වූයේ මන්දැයි විශ්ලේෂකයෙකු ප්‍රශ්න කළ විට, ප්‍රින්ස් පිළිතුරු දුන්නේ, “ඔබ දැනටමත් ශක්තිමත් (fit) මට්ටමක සිටින පලියට, ඔබට ඊටත් වඩා ශක්තිමත් (fitter) විය නොහැකි බව ඉන් අදහස් වන්නේ නැත” යනුවෙනි.

මෙම නිවේදනය ගෝලීය ආර්ථිකය පුරා ව්‍යාප්ත වෙමින් පවතින මහා පරිමාණ රැකියා කප්පාදු රැල්ලක නවතම පියවර වන අතර, එහිදී කෘතිම බුද්ධිය (AI) යන්න රැකියා විනාශ කිරීම සහ ශ්‍රම පිරිවැය පහත හෙළීම සඳහා පාලක පන්තිය සතු වී ඇති බලගතුම නව මෙවලම බවට පත්ව ඇත.

මෙය වැඩකරන පන්තියට එරෙහිව දියත් කර ඇති ගෝලීය යුද්ධයක් වන අතර, රැකියා ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් ගෝලීය වශයෙන් සම්බන්ධීකරණය කරන ලද ව්‍යාපාරයකින් ඊට පිළිතුරු දිය යුතුය. මෙහි ඇති ප්‍රධානතම කරුණ වන්නේ, මෙම බලගතු නව තාක්ෂණයන්හි පාලනය මහා ව්‍යාපාරික කතිපයාධිකාරයේ (corporate oligarchy) ග්‍රහණයෙන් මුදවා ගැනීමයි. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (International Workers Alliance of Rank-and-File Committees) විසින්, ශීඝ්‍රයෙන් වේගවත් වන මෙම රැකියා සමූලඝාතනයට එරෙහිව මහා පරිමාණ ප්‍රතිරෝධයක් දැක්වීම දිරිගන්වන අතරම, එය සංවිධානය කරමින් ද සිටියි.

චැලෙන්ජර්, ග්‍රේ ඇන්ඩ් ක්‍රිස්මස් (Challenger, Gray & Christmas) නම් ප්‍රතිනියුක්ති සේවා සපයන (outplacement-රැකියා නියුක්ති උපදේශන) ආයතනයට අනුව, 2026 වසරේ පළමු මාස හතර තුළ ඇමරිකානු සේවායෝජකයන් විසින් රැකියා 300,000කට වඩා කප්පාදු කිරීමට නිවේදනය කර ඇත. එහිදී තාක්ෂණික අංශය (රැකියා 85,411ක්) ප්‍රමුඛස්ථානය ගෙන ඇති අතර, එය දෙවන ස්ථානයට පත් වූ ප්‍රවාහන අංශයට (33,479) වඩා දෙගුණයකටත් වඩා වැඩි අගයකි. පිට පිටම දෙවන මාසයටත්, මෙම රැකියා කප්පාදු සඳහා ප්‍රධානතම හේතුව ලෙස දක්වා තිබුණේ කෘතිම බුද්ධියයි (AI).

කම්කරු සංඛ්‍යාලේඛන කාර්යාංශයේ නවතම දත්තවලට අනුව, “තොරතුරු” අංශය පිට පිට මාස 16ක් තිස්සේ රැකියා අහිමිවීම්වලට මුහුණ දී ඇති අතර, 2022 නොවැම්බර් මාසයේ පැවති එහි උපරිම මට්ටමේ සිට රැකියා 342,000ක්,  එනම් සියයට 11ක්  අහිමි වී ඇත.

සමස්තයක් ලෙස ගත් කල, මෙලෙස රැකියා කප්පාදු කරන තාක්ෂණික සමාගම් ලාභ ලබනවා පමණක් නොව, කෘතිම බුද්ධි (AI) උත්පාතය (boom) තුළ ප්‍රධාන භූමිකාවක් ද ඉටු කරයි. ෆේස්බුක් හි මව් සමාගම වන මෙටා (Meta) සමාගම තනතුරු 8,000ක් අහෝසි කරමින් පවතින අතර, පුරප්පාඩුව පැවති තනතුරු 6,000ක් අවලංගු කරමින් සිටියි. එමෙන්ම ඔවුන් මෙම වසරේදී ඩොලර් බිලියන 145ක ප්‍රාග්ධන ආයෝජනයක් සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, ඉන් අතිමහත් බහුතර කොටසක්ම යොමු කර ඇත්තේ කෘතිම බුද්ධි යටිතල පහසුකම් සඳහාය. මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සිය වසර 51ක ඉතිහාසය තුළ පළමු වරට සේවකයන් 8,750ක් දක්වා ඉලක්ක කර ගනිමින් ස්වේච්ඡාවෙන් ඉල්ලා අස්වීමේ (buyout) වැඩසටහනක් ආරම්භ කර ඇත. ඔරකල් (Oracle) සමාගම සේවකයන් 30,000ක් දක්වා ඉවත් කරමින් සිටී. ටයිම් (Time) සඟරාව වෙත සේවකයන් ප්‍රකාශ කර ඇති පරිදි, පසුව තමන්වම අතිරික්ත සේවකයන් බවට පත් කිරීමට හේතු වූ කෘතිම බුද්ධි පද්ධති පුහුණු කිරීම සඳහා සිය අවසන් මාස කිහිපය කැප කළ පුද්ගලයන් ද ඒ අතර වෙති.

කොටස් වෙළඳපොළ විසින් මහා පරිමාණ රැකියා කප්පාදු නිවේදන සඳහා, විශේෂයෙන්ම ඒවා කෘතිම බුද්ධි (AI) ප්‍රතිව්‍යුහගතකරණයන් සමඟ සම්බන්ධ වන විට, ඊට වාසි සහගත ලෙස ප්‍රතිචාර දක්වමින් (rewarding) සිටින අතර, එය වෝල් ස්ට්‍රීට් ජර්නල් (Wall Street Journal) පුවත්පත විසින් “මහා පරිමාණ රැකියා කප්පාදු යුගය” (era of the mega-layoff) ලෙස හඳුන්වන වටපිටාවකට මග පාදා ඇත.

තාක්ෂණික ක්ෂේත්‍රය ශීඝ්‍රයෙන් වර්ධනය වන ලාභ සහ මහා පරිමාණ රැකියා කප්පාදු එකට ඒකාබද්ධ කරමින් සිටින අතරතුර, පාලක පන්තිය විසින් එක රැයකින් රැකියා විනාශ කිරීම සඳහා කාලාන්තරයක් තිස්සේ අත්හදා බැලූ ක්‍රමවේදයක් ලෙස බංකොලොත්භාවය ද යොදා ගනිමින් සිටියි. පසුගිය සතියේ එක රැයකින් බිඳ වැටීමට ලක්වෙමින්, සේවකයන් 17,000කට රැකියා අහිමි කළ ස්පිරිට් එයාර්ලයින්ස් (Spirit Airlines) සමාගම සම්බන්ධයෙන් සිදු වූයේ ද එයම ය. ඒ සඳහා ක්ෂණිකවම බලපෑ හේතුව වූයේ ඉරානයට එරෙහි යුද්ධය හේතුවෙන් ඉන්ධන මිල දෙගුණ වීමයි. ගුවන් සේවා කර්මාන්තයේ මීළඟ වටයේ සමාගම් ඒකාබද්ධ කිරීම් වේගවත් කිරීම සඳහා, ස්පිරිට් සමාගම මූල්‍යමය වශයෙන් මුදවා ගැනීම (bail out) ධවල මන්දිරය විසින් ප්‍රතික්ෂේප කරන ලදී.

කෘතිම බුද්ධිය (AI) ක්ෂණිකවම බලපාන සාධකයක් නොවන අනෙකුත් අංශවල ද මහා පරිමාණ රැකියා කප්පාදු දැනටමත් ක්‍රියාත්මක වෙමින් පවතී. භාණ්ඩ සැපයුම් (Logistics) ක්ෂේත්‍රයේදී, UPS සමාගම සිය ස්වයංක්‍රීය මහා පරිමාණ මධ්‍යස්ථාන (automated mega-hubs) හරහා තනතුරු 68,000ක් අහෝසි කර හෝ අහෝසි කිරීම ඉලක්ක කර ඇති අතර, මෙම වසරේ අගභාගයේදී තවත් මධ්‍යස්ථාන 26ක් වසා දැමීමට නියමිත බව ඔවුන් මෑතකදී නිවේදනය කළේය. මෝටර් රථ ක්ෂේත්‍රයේදී, වොක්ස්වැගන් (Volkswagen) සමාගම 2030 වන විට රැකියා 50,000ක් කප්පාදු කිරීමට ඉලක්ක කරන ඇත.  රෙනෝල්ට් (Renault) සමාගම සිය ඉංජිනේරු ශ්‍රම බලකායෙන් සියයට 15ත් 20ත් අතර ප්‍රමාණයක් කප්පාදු කරමින් සිටියි; එමෙන්ම ඇමරිකානු මෝටර් රථ නිෂ්පාදකයෝ ද දහස් ගණනින් සේවකයන් ඉවත් කරමින් සිටිති.

එසේ වුවද, පාලක පන්තියේ සමස්ත මහා පරිමාණ රැකියා කප්පාදු සැලසුම් තුළ කෘතිම බුද්ධිය (AI) සුවිශේෂී ලෙස කේන්ද්‍රීය භූමිකාවක් ඉටු කරමින් සිටියි. Cash App සහ Square යන සේවාවන්හි හිමිකාරීත්වය දරන මූල්‍ය තාක්ෂණික සමාගමක් වන බ්ලොක් (Block) සමාගමෙහි ප්‍රධාන විධායක නිලධාරී ජැක් ඩෝර්සි (Jack Dorsey), සමස්ත සමාගමෙන් සියයට 40ක් කප්පාදු කරමින් සිටින අතර ඔහු ප්‍රකාශ කරන්නේ, “ලබන වසර ඇතුළත බහුතරයක් සමාගම් මෙම නිගමනයටම එළඹෙනු ඇතැයි” තමන් විශ්වාස කරන බවයි. 

ඇන්ත්‍රොපික් (Anthropic) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඩාරියෝ ඇමඩේයි (Dario Amodei) අනාවැකි පළ කරන්නේ, වසරක් ඇතුළත සියලුම මෘදුකාංග කේත (software code) පාහේ කෘතිම බුද්ධිය (AI) මගින් ලියවෙනු ඇති බවයි. ගූගල් හි මව් සමාගම වන ඇල්ෆබට් (Alphabet) හි ප්‍රධාන විධායක නිලධාරී සුන්දර් පිච්චෙයි (Sundar Pichai) පවසන්නේ, ගූගල් හි නව කේතයන්ගෙන් හතරෙන් තුනක්ම දැනටමත් කෘතිම බුද්ධිය මගින් ලියා ඇති බවයි. ආයෝජක විනෝද් ඛෝස්ලා (Vinod Khosla) පුරෝකථනය කරන්නේ 2030 වන විට, “සියලුම රැකියාවලින් සියයට 80ක් කෘතිම බුද්ධියක් (AI) මගින් සිදු කිරීමේ හැකියාව ලැබෙනු ඇති” බවයි.

ගැටලුව පවතින්නේ කෘතිම බුද්ධිය (AI) තුළම නොවේ. එය වෙහෙසකර හා නීරස කාර්යයන් (drudgery) තුරන් කිරීමට සහ ඵලදායිතාව (productivity) විශාල වශයෙන් ඉහළ නැංවීමට මෙන්ම, මානව ඉගෙනීමේ විභවය (potential) අතිශයින් වේගවත් කරන අතරතුර, වැඩ කරන දිනය සෛද්ධාන්තිකව අවම මට්ටමක් දක්වා අඩු කිරීමේ හැකියාව පවතින අතිවිශිෂ්ට තාක්ෂණයකි.

මෙහි ඇති තීරණාත්මක ප්‍රශ්නය වන්නේ මෙම තාක්ෂණය පාලනය කරන්නේ කවුරුන්ද යන්නයි. එය පෞද්ගලික හිමිකාරීත්වයේ විලංගුවලින් නිදහස් කළ යුතුය. කෘතිම බුද්ධි (AI) පද්ධති සංවර්ධනය කිරීම සහ පුහුණු කිරීම යනු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම සමාජීය ශ්‍රමයකි (social labor), එබැවින් එහි ප්‍රතිලාභ සැමට හිමි විය යුතුය.

කෘතිම බුද්ධි පද්ධති ගොඩනැගී ඇත්තේ මිලියන සංඛ්‍යාත සේවකයන්ගේ සමුච්චිත ශ්‍රමය, දැනුම සහ නිර්මාණශීලී දායකත්වය මතය: මෘදුකාංග ඉංජිනේරුවන් විසින් ලියන ලද කේත (code), පාරිභෝගික සේවා නියෝජිතයන් විසින් මෙහෙයවන ලද සංවාද, පර්යේෂකයන් සහ දත්ත විද්‍යාඥයන් විසින් ඉදිරිපත් කරන ලද විශ්ලේෂණ ඒ අතර වේ.

කෘතිම බුද්ධිය (AI) ධනවාදී පද්ධතියේ පදනමටම මාරාන්තික ලෙස පහර දෙයි. අවශ්‍ය කරන ශ්‍රම ප්‍රමාණය වසර කිහිපයක් ඇතුළත සියයට 80කින් අඩු කළ හැකි බවට ඛෝස්ලා අනාවැකි පළ කරන විට, හෝ තාක්ෂණික විධායකයින් කෘතිම බුද්ධිය මගින් ජනිත වන “අතිරික්ත සම්පත්” (abundance) ගැන කතා කරන විට, ඒ පිළිබඳව ඔවුන්ටම වැටහීමක් නොමැති වුවද, ඔවුන් ඒ විස්තර කරන්නේ  ධනවාදය මුළුමනින්ම යල් පැන ගොස් ඇති බවට වන තත්වයන් ය. 

සැබවින්ම, ධනවාදය යටතේ මෙම තාක්ෂණයේ විභවය (potential) කිසිදා සාක්ෂාත් කර ගත නොහැක. මන්ද, ධනවාදයට පැවැත්ම සඳහා මෙම තාක්ෂණය සීමා කිරීමට, විකෘති කිරීමට සහ අවියක් ලෙස යොදා ගැනීමට සිදු වන බැවිනි. එය අතිරික්ත සම්පත් (abundance) වෙනුවට මහා පරිමාණ විරැකියාව නිර්මාණය කරයි. වෙහෙසකර හා නීරස කාර්යයන්ගෙන් (drudgery) මිනිසා නිදහස් කිරීම වෙනුවට, සේවයේ ඉතිරි වන පිරිස සඳහා එම වෙහෙස තවදුරටත් තීව්‍ර කරයි. මානව සංවර්ධනය වෙනුවට, සේවකයන්ගේම දැනුමෙන් ගොඩනැඟූ පද්ධති මගින්ම ඔවුන්ව “අතිරික්ත පිරිසක්” ලෙස නම් කරන පරම්පරාවක් එය විසින් බිහි කරනු ලබයි.

මේ අතර, නව තාක්ෂණය (new technology) සහ එය සංවර්ධනය කිරීමට අවශ්‍ය සම්පත් (resources) මෙන්ම සැපයුම් දාම (supply chains) කෙරෙහි පාලනය තහවුරු කර ගැනීම, අධිරාජ්‍යවාදී යුද්ධයේ (imperialist war) වර්ධනය කෙරෙහි වඩ වඩාත් කේන්ද්‍රීය සාධකයක් බවට පත්ව තිබේ—එම යුද්ධය අද ඉරානයට සහ රුසියාවට එරෙහිවත්, හෙට චීනයට එරෙහිවත් එල්ල වී ඇත.

මෙම ප්‍රහාරයට සමාජවාදී ප්‍රතිචාරය වන්නේ, ධනවාදී දේපළ අයිතියේ “අයිතිවාසිකමට” එරෙහිව වැඩකරන පන්තිය විසින් එල්ල කරනු ලබන සෘජු ප්‍රහාරයකි. කෘත්‍රිම බුද්ධිය (AI) නියාමනය කළ යුතු බවට, එය සම්පූර්ණයෙන්ම නතර කළ යුතු බවට හෝ වෘත්තීය සමිති-කළමනාකාරිත්ව මණ්ඩලවල පාලනයට යටත් කළ යුතු බවට බලකරමින් ප්‍රතිචාර දක්වන ව්‍යාජ-වම්මු (pseudo-left), එමඟින් පන්ති අරගලය පිළිබඳ වන කේන්ද්‍රීය ප්‍රශ්නය පිළිබඳ අවධානය වෙනතකට යොමු කරති. තවද බොහෝ අවස්ථාවලදී ඔවුන් මෙම විරෝධය යොමු කරනු ලබන්නේ තාක්ෂණික ප්‍රගතියට එරෙහි ප්‍රතිගාමී ප්‍රහාරයක් එල්ල කිරීම සඳහාය.

වෘත්තීය සමිති නිලධාරිවාදය මෙම අරගලය දියත් කිරීමට අසමත්ය. ඔවුන් එසේ කිරීමට අපේක්ෂා කළත් (ඇත්ත වශයෙන්ම ඔවුන්ට එවැනි වුවමනාවක් නැත), ධනවාදයට සහ ජාතිකවාදයට සහයෝගය දැක්වීමේ පදනම මත ඔවුන් කළමනාකාරිත්වය සමඟ සම්පූර්ණයෙන්ම ඒකාබද්ධ වී සිටීම මීට හේතුවයි.

මහා පරිමාණ සේවක දොට්ට දැමීම්වලට ඔවුන් දැක්වූ ප්‍රතිචාරය වී ඇත්තේ මුළුමනින්ම පාහේ, ඇත්ත වශයෙන්ම වරදකාරී වූ නිහඬතාවයකි. මෝටර් රථ කර්මාන්තය තුළ, එක්සත් මෝටර් රථ සේවක සමිතිය (UAW) පසුගිය වසර දෙකහමාරක කාලය තුළ සිදු වූ දහස් සංඛ්‍යාත රැකියා කප්පාදු පිළිබඳව කිසිවක් පවසා නැත. පසුගිය සතියේ, ස්ටර්ලින් හයිට්ස් එකලස් කිරීමේ කම්හලේ පැවැත්වීමට තිබූ වැඩවර්ජන ඡන්ද විමසීමක් අවසන් මොහොතේදී ඔවුන් අවලංගු කළේය. ඕස්ට්‍රේලියාවේ ජාතික වෘත්තීය සමිති සම්මේලනය මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම සමඟ විධිමත් ගිවිසුමකට එළඹ ඇති අතර, ඒ යටතේ කෘත්‍රිම බුද්ධිය (AI) මඟින් මෙහෙයවනු ලබන ප්‍රතිව්‍යුහගත කිරීම් සේවකයන්ට වාසිදායක දෙයක් ලෙස ඉදිරිපත් කරන්නේ කෙසේද යන්න පිළිබඳව මයික්‍රොසොෆ්ට් සමාගම විසින් වෘත්තීය සමිති නිලධාරීන්ට පුහුණුව ලබා දීමට නියමිතය. තවද, සේවා ස්ථාන තුළ කෘත්‍රිම බුද්ධිය භාවිතයට එරෙහිව සිදුවන ඕනෑම නියාමන මැදිහත්වීමකට එරෙහිව ඔවුහු මයික්‍රොසොෆ්ට් ආයතනය සමඟ එක්ව පෙනී සිටිති.

මහජන සහ ලෝක ව්‍යාප්ත කම්කරු පන්ති ව්‍යාපාරයකට නව සංවිධාන ආකෘතීන් අවශ්‍ය වේ: එනම් පවත්නා යාන්ත්‍රණයෙන් ස්වාධීනව ගොඩනගන ලද, වෙනත් අවශ්‍යතා පවතින නිලධාරිවාදයන්ගෙන් අවසර නොපතා ක්‍රියාමාර්ග සූදානම් කිරීමට සහ සම්බන්ධීකරණය කිරීමට හැකියාව ඇති ‘කම්කරු ක්‍රියාකාරී කමිටු’ (rank-and-file committees) වේ. කම්කරු ක්‍රියාකාරී කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය (IWA-RFC), ලොව පුරා කර්මාන්තශාලා තුළ ක්‍රියාකාරී කමිටු පිහිටුවමින් ලෝක පරිමාණයෙන් මෙම සංවිධාන ගොඩනැගීම සඳහා පෙනී සිටියි.

එවැනි ව්‍යාපාරයක ප්‍රධාන ඉල්ලීම් විය යුත්තේ:

  • කෘත්‍රිම බුද්ධිය හේතුවෙන් එකදු සේවක දොට්ට දැමීමක් හෝ සිදු නොකළ යුතුය! කෘත්‍රිම බුද්ධිය මඟින් සැබවින්ම ඵලදායිතාව ඉහළ නංවන්නේ නම්, එහි ප්‍රතිලාභ අයිති විය යුත්තේ එම ඵලදායිතාව බිහි කළ සේවකයන්ටය. වැටුප් කප්පාදුවකින් තොරව, සතිපතා වැඩ කරන කාලය ඊට සමානුපාතිකව කෙටි කළ යුතුය. 
  • නව තාක්ෂණය හඳුන්වා දීම කෙරෙහි සේවක පාලනයක් පැවතීම. ඵලදායිතා ප්‍රතිලාභ බෙදා හරින ආකාරය පිළිබඳව සම්පූර්ණ තොරතුරු ලබා ගැනීමට, සැබෑ නිෂේධ බලයක් (veto power) හිමි කර ගැනීමට සහ ඒ කෙරෙහි සැබෑ පාලනයක් පැවැත්වීමට සේවකයන්ට අවස්ථාව තිබිය යුතුය.
  • ස්පිරිට් (Spirit) සේවකයන් සහ තාක්ෂණික ක්ෂේත්‍රය තුළ රැකියා අහිමි වූ ලක්ෂ සංඛ්‍යාත පිරිස ද ඇතුළුව, යම් හේතුවක් නිසා දැනටමත් රැකියා අහිමි වී ඇති සියලුම සේවකයන් සඳහා හොඳ වැටුපක් සහිත, තෘප්තිමත් රැකියා ලබා දීම.
  • ප්‍රධාන පෙළේ තාක්ෂණික සමාගම්, බැංකු සහ මූල්‍ය ආයතන පොදු අයිතියට පවරා ගැනීම (රාජසන්තක කිරීම) සහ කෘත්‍රිම බුද්ධි තාක්ෂණයන්හි ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ අයිතිය ද ඇතුළුව, ඒවා වැඩකරන පන්තියේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය යටතේ පවතින පොදු උපයෝගිතා සේවාවන් බවට පරිවර්තනය කිරීම.

සේවක දොට්ට දැමීම්වලට සහ “කෘත්‍රිම බුද්ධි ප්‍රතිව්‍යුහගත කිරීම්වලට” එරෙහි අරගලය කර්මාන්තශාලාවෙන් කර්මාන්තශාලාවට හෝ රටින් රටට (තනි තනිව) දියත් කළ නොහැකිය. මහා පරිමාණ සමාගම් ගෝලීය මට්ටමින් ක්‍රියාත්මක වන අතර, දේශසීමා හරහා වැඩ මාරු කරමින් (shift)  සේවකයන් එකිනෙකා කෙටවීම සඳහා ජාතිකවාදය භාවිත කරයි. මීට ඇති එකම පිළිතුර වැඩකරන පන්තියේ ජාත්‍යන්තර එකමුතුවයි. එනම් තාක්ෂණ, සැපයුම් (logistics), නිෂ්පාදන, අධ්‍යාපන ඇතුළු සෑම ක්ෂේත්‍රයකම සේවකයන් පොදු අරගලයක් තුළට ඒකාබද්ධ කිරීමයි.

ජීවනෝපායන් විනාශ කරනවා වෙනුවට තාක්ෂණය මිනිස් සංවර්ධනයට සේවය කරන අනාගතයක් සහ වැඩකරන පන්තිය අතර බාධාවක්ව පවතින්නේ තාක්ෂණික ගැටලුවක් නොව, සමාජීය සහ දේශපාලනික ගැටලුවකි; එනම් නිෂ්පාදන මාධ්‍යයන්ගේ පුද්ගලික අයිතියයි. අප විසින් පරාජය කළ යුත්තේ එයයි.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

කෘතීම බුද්ධිය (AI) හේතුවෙන් සිදුවන රැකියා කප්පාදු රැල්ලට එරෙහිව කම්කරුවන්ට සටන් කළ හැක්කේ කෙසේද? Read More »

Trump visit

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ

අන්ඩ්‍රේ ඩෙමන් විසිනි. 

මෙහි පළවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) 2026 මැයි 13 දින “Trump and Xi to meet amid global eruption of imperialist warයන හිසින් පළවූ අන්ඩ්‍රේ ඩෙමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි. 

Trump visit
2026 මැයි 11 වන සඳුදා දින බීජිංහිදී, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සංචාරයට පෙර බීජිං ජාත්‍යන්තර අගනුවර ගුවන් තොටුපළ වෙත ළඟා වන ඇමරිකානු ගුවන් හමුදාවට අයත් බෝයිං C-17 ග්ලෝබ්මාස්ටර් III (Boeing C-17 Globemaster III) ප්‍රවාහන ගුවන් යානයක් මිනිසුන් විසින් රූපගත කරනු ලබයි. [AP ඡායාරූපය/ඇන්ඩි වොන්ග්]

වොෂින්ටනය විසින් දියත් කරන ලද අධිරාජ්‍යවාදී යුද්ධයක ගෝලීය ප්‍රචණ්ඩකාරී රැල්ලක් මධ්‍යයේ, ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ චීන ජනාධිපති ෂී ජින්පිං මේ සතියේදී බීජිංහිදී හමුවීමට නියමිතය.

දකුණු කොරියාවේ පැවැති ඒපෙක් (APEC) සමුළුවට සමගාමීව ඔවුන් අතර පැවැති හමුවෙන් පසු ගත වූ මාස හයක කාලය තුළ, එක්සත් ජනපදය වෙනිසියුලාවේ ජනාධිපතිවරයාව පැහැරගෙන, ඉරානයට එරෙහිව යුද්ධයක් දියත් කර ඇති අතර, ගෝලීය බලශක්ති සහ ආහාර අර්බුදයක් නිර්මාණය කරමින් හෝමුස් සමුද්‍ර සන්ධිය ද අවහිර කර ඇත. ඉරානය සහ වෙනිසියුලාව යන රටවල් දෙකෙහිම තෙල් අපනයනයන් සඳහා වන විශාලතම ගමනාන්තය චීනය වේ. එම රටවලට එරෙහිව ට්‍රම්ප් දියත් කර ඇති යුද්ධ, චීනයම ඉලක්ක කරගත් ගෝලීය ගැටුමක ආරම්භක ගැටුම් වේ.

ට්‍රම්ප් විසින් දියත් කරන ලද ලෝක ව්‍යාප්ත මහා යුද ගින්න මධ්‍යයේ, ‘නිව් යෝර්ක් ටයිම්ස්’ (New York Times) පුවත්පත සිය සඳුදා කලාපයේ ප්‍රධාන පුවත ලෙස “ට්‍රම්ප් බීජිං බලා යන විට, චීනය සටනකට ‘සන්නද්ධව සහ සූදානමින්’ (Locked and Loaded) සිටියි” යන මාතෘකාවෙන් යුත් ලිපියක් පළ කළේය.

සැබවින්ම, “සන්නද්ධව සහ සූදානමින්” (locked and loaded) සිටින්නේ ට්‍රම්ප්ගේ ධවල මන්දිරයයි. මාස ගණනාවක් තිස්සේ, එක්සත් ජනපද හමුදාව කැරිබියන් සහ පැසිෆික් කලාපයන්හි බෝට්ටු මුහුදේදීම පුපුරවා හරිමින්, සිවිල් වැසියන් මත්ද්‍රව්‍ය ජාවාරම් කළ බව පවසමින් ඔවුන්ව සමූල ඝාතනය කරමින් සහ “සම්බාධක පැනවූ” තෙල් ප්‍රවාහනය කළ බවට වන ව්‍යාජ හේතු මත ජාත්‍යන්තර මුහුදු සීමාවන්හිදී තෙල් නැව් (tanker) අත්අඩංගුවට ගනිමින් සිටී. ඇමරිකානු හමුදා ඉරාන ජාතිකයන් 3,000 කට වඩා ඝාතනය කර ඇති අතර, අප්‍රේල් 7 වන දින ට්‍රම්ප් තර්ජනය කළේ “සම්පූර්ණ ශිෂ්ටාචාරයක් අද රාත්‍රියේ විනාශ වී යනු ඇත, එය කිසිදා නැවත බිහි කළ නොහැකි වනු ඇත” යනුවෙනි.

ට්‍රම්ප් නායකත්වය දෙන්නේ දැඩි අර්බුදයකට මුහුණ දී සිටින රජයකටය. ඔහු ඉරාන යුද්ධය දියත් කළේ එයින් ඉරාන රජය කඩිනමින් පෙරළා දැමීමට හැකි වනු ඇතැයි යන විශ්වාසය ඇතිවය. දැන්, සිය යුද අරමුණු සාක්ෂාත් කර ගැනීමට අපොහොසත් වී ඇති බැවින්, ට්‍රම්ප් චීනයේ සහය පතමින් සිටින අතර, එය මෙම සංචාරයේ ප්‍රධානතම අරමුණක් ද වේ.

මැයි 4 වන දින මහා භාණ්ධාගාර ලේකම් ස්කොට් බෙස්න්ට් ෆොක්ස් නිවුස් (Fox News) නාලිකාවට පැවසූ පරිදි:

“එබැවින් මෙම ජාත්‍යන්තර මෙහෙයුමට සහය දැක්වීම සඳහා අප හා එක්වන ලෙස මම චීනයෙන් ඉල්ලා සිටිමි. සමුද්‍ර සන්ධියේ පූර්ණ පාලනය අප සතුව පවතී. ඔවුන් යම් රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ඔස්සේ ඉදිරියට පැමිණ, ඉරාන ජාතිකයන් ලවා සමුද්‍ර සන්ධිය විවෘත කරවා ගැනීමට කටයුතු කරන්නේ කෙසේදැයි අපි බලමු.”

චීන පාර්ශවයෙන්, ‘ග්ලෝබල් ටයිම්ස්’ (Global Times) පුවත්පතේ හිටපු කර්තෘ හූ සිජින් (Hu Xijin) මෙසේ ලියා තිබේ: “එක්සත් ජනපදය මෙම අදූරදර්ශී ලෙස අවුල් කරගත් යුද්ධය චීනයේ අවශ්‍යතාවලට හානි කිරීම සඳහා භාවිත කිරීමට උත්සාහ කරන්නේ නම්, එක්සත් ජනපදයට අහිමි වන දේට වඩා ලැබෙන දේ බෙහෙවින් අඩු බව තහවුරු කෙරෙන, භාවිත කළ හැකි බොහෝ තුරුම්පු චීනය සතුව පවතින බව මම විශ්වාස කරමි.” ‘ෆිනෑන්ෂල් ටයිම්ස්’ (Financial Times) පුවත්පතේ ගිඩියන් රැච්මන් මෙසේ අදහස් දක්වා තිබේ: “කෙසේ වුවද, සැබෑ තත්ත්වය නම්, එය ට්‍රම්ප් ප්‍රිය කරන වාක්‍ය ඛණ්ඩයක් භාවිත කරමින් පවසන්නේ නම් — ‘තුරුම්පු අතැතිව’ සිටින්නේ ෂී ජින්පිං” යන්නයි.

බීජිං වෙත පැමිණීමේදී, ට්‍රම්ප් තමන් සමඟ විවිධ ප්‍රතිලාභ මෙන්ම තර්ජන ද (carrots and sticks) රැගෙන එනු ඇත. ප්‍රතිලාභ ලබාදීමේ පාර්ශවය සැලකීමේදී, ඔහු සමඟ ප්‍රමුඛ පෙළේ ප්‍රධාන විධායක නිලධාරීන් සහ මූල්‍ය ප්‍රධානීන්ගෙන් සමන්විත පිරිසක් පැමිණ සිටිති. ඒ අතර ටිම් කුක් (Apple), ඉලොන් මස්ක් (Tesla), ලැරී ෆින්ක් (BlackRock), ස්ටීවන් ෂ්වාට්ස්මන් (Blackstone), ඩේවිඩ් සොලමන් (Goldman Sachs), ජේන් ෆ්‍රේසර් (Citi), මෙන්ම බෝයිං (Boeing), කාගිල් (Cargill), මෙටා (Meta), මයික්‍රෝන් (Micron), ක්වාල්කොම් (Qualcomm), වීසා (Visa) සහ මාස්ටර්කාඩ් (Mastercard) යන සමාගම්වල විධායක නිලධාරීහු ද වෙති. එහිදී දෙපාර්ශවයටම වාසිදායක වන විවිධ ගනුදෙනු ඉදිරිපත් කරනු ඇත.

කෙසේ වුවද, මේ සියල්ලටම යටින් දිවෙන්නේ බීජිං පාලනයට එරෙහිව ආර්ථික හා මිලිටරි ක්‍රියාමාර්ග විශාල වශයෙන් දැඩි කිරීමේ අඛණ්ඩ තර්ජනයයි.

ඇමරිකානු මූල්‍ය ප්‍රාග්ධනයේ ප්‍රමුඛ කොටස් වෙනුවෙන් පෙනී සිටිමින්, ‘වෝල් ස්ට්‍රීට් ජර්නල්’ (Wall Street Journal) කතුවැකි මණ්ඩලය බීජිං සමුළුව හඳුන්වා දෙන්නේ, ට්‍රම්ප්ව “ආතතීන් ලිහිල් කිරීමේ” (detente) පිළිවෙතකින් ඉවතට යොමු කළ හැකිද යන්න පිළිබඳ පරීක්ෂණයක් ලෙසය; ඔවුන්ගේ දෘෂ්ටියට අනුව, මෙම පිළිවෙත මඟින් ප්‍රධාන උපායමාර්ගික අවශ්‍යතා අත්හැර දැමීමේ අවදානමක් පවතී. ධවල මන්දිරයේ ප්‍රචාරය අනුව මෙය “‘ස්ථාවරත්වයක්’ සෙවීමක්” බව වුවද, ට්‍රම්ප්ගේ “පෞද්ගලික” රාජ්‍ය තාන්ත්‍රිකභාවය සහ ගනුදෙනු පසුපස හඹා යාම, ෂීගේ “ඇමරිකානු විරෝධී අරමුණු” ලෙස එම පුවත්පත විස්තර කරන දේ සමඟ ගැටිය හැකි බවට ජර්නල් පුවත්පත අනතුරු අඟවයි.

වැඩිම කරුණු ප්‍රමාණයක් අනාවරණය වන්නේ ජර්නල් පුවත්පතේ පුළුල් මූලෝපායික නිගමනයෙනි: එය චීනය එක්සත් ජනපද ප්‍රතිවාදීන් අතර “ප්‍රධාන මූල්‍ය හිමිකරු සහ කාර්මික පදනම” ලෙස දක්වන අතර, “දෙවන ට්‍රම්ප් පරිපාලනය ආතතීන් ලිහිල් කිරීමට (detente) උත්සාහ කරමින් සිටින බවත්, ට්‍රම්ප් මහතා එහි ප්‍රධාන සාමවාදියා (chief dove) වන බවත්” වීමේ අනතුර අඟවයි. නැවත සන්නද්ධ වීම සඳහා “ඩොලර් ට්‍රිලියන 1.5 ක ආරක්ෂක අයවැයක් සම්මත කරන ලෙස” පැහැදිලිවම ඉල්ලා සිටින එම පුවත්පත, (ගැටුම්වල ඇති වන) ඕනෑම විරාමයක් පිළිගත හැක්කේ නැවත සන්නද්ධ වීම සඳහා ලැබෙන සහන කාලයක් (breathing space) ලෙස පමණක් බව අවධාරණය කරයි. එය සෘජුවම මෙසේ අනතුරු අඟවයි: “ලෝකයේ ප්‍රමුඛතම බලවතා ලෙස පවතින එක්සත් ජනපදය පෙරළා දැමීම සඳහා ෂී මහතා දිගුකාලීන සැලසුමක (long game) නිරතව සිටියි.”

ට්‍රම්ප්-ෂී සමුළුව පැවැත්වෙන්නේ ඇමරිකානු පාලක පන්තිය මුහුණ දී සිටින මූලික උපායමාර්ගික අර්බුදය මධ්‍යයේ ය. එනම්, ඇමරිකාවේ ආර්ථික ආධිපත්‍යය දීර්ඝ කාලයක් තිස්සේ පිරිහීමට ලක්වීම හමුවේ එය පියවා ගැනීමට වොෂින්ටනය වඩ වඩාත් ආක්‍රමණශීලී යුද බලයක් භාවිතා කිරීමට උත්සාහ කර ඇත. චීනයේ අඛණ්ඩ වර්ධනය මෙම තත්ත්වය සමග සමපාත වී ඇති අතරම, එය තවදුරටත් තීව්‍ර කිරීමට ද හේතු වී තිබේ.

චීනය සමඟ යුද්ධයකට යොමු වීමේ මෙම ප්‍රවණතාවය තුළ සංස්ථාපිත මාධ්‍යයන් ප්‍රධාන භූමිකාවක් ඉටු කරයි. වෙළඳාම, ආයෝජන සහ කාර්මික ව්‍යාප්තිය හරහා මෙන්ම, දශක ගණනාවක් තිස්සේ එක්සත් ජනපදය විසින්ම ප්‍රවර්ධනය කරන ලද “නිදහස් වෙළඳ” නීති රීතිවල විධිමත් රාමුව තුළ චීනය ලබා ඇති ආර්ථික හා තාක්‍ෂණික දියුණුව, ඇමරිකාවට එල්ල වූ භෞතික තර්ජනයක් ලෙස එම මාධ්‍ය විසින් හුවා දක්වනු ලබයි. එමගින් චීනයට එරෙහිව බලහත්කාරය පෑම, සම්බාධක පැනවීම සහ යුද්ධය ආදිය “සාධාරණීකරණය” කිරීමට ඔවුන් උත්සාහ කරයි.

වසර ගණනාවක් පුරා එල්ල වූ ඉහළ යන තීරුබදු සහ තාක්ෂණික තහංචි මඟින් චීන කර්මාන්ත ක්ෂේත්‍රය අඩපණ කිරීමට හැකි වී නොමැත. ඒ වෙනුවට, එමඟින් සිදුව ඇත්තේ මූලික ගමන් මඟ වෙනස් කිරීමට අපොහොසත් වෙමින්, ඉහළ මිල ගණන් සහ ආර්ථික අස්ථාවරත්වය හරහා ඇමරිකානු කම්කරුවන් මත විශාල පිරිවැයක් පැනවීමයි. චීනයේ කාර්මික ස්ථාවරත්වය වඩාත් පැහැදිලි සංඛ්‍යාලේඛන මඟින් සනාථ වේ: BYD මෝටර් රථ සමාගම 2025 වසරේදී සම්පූර්ණ විද්‍යුත් මෝටර් රථ මිලියන 2.26ක් අලෙවි කරමින්, ගෝලීය වශයෙන් ටෙස්ලා (Tesla) සමාගමට වඩා වාහන 600,000කට වඩා වැඩි ප්‍රමාණයක් අලෙවි කර ඇත. එම වාහන ඇමරිකානු වෙළඳපොළට ඇතුළු වීම වළක්වා ඇත්තේ සියයට 247.5ක අසාමාන්‍ය තීරුබදු පැනවීමක් මඟින් පමණි.

වර්තමානයේ ලොව පුරා නිෂ්පාදනය වන සෑම මානවරූපී රොබෝවරුන් (humanoid robots) පස් දෙනෙකුගෙන් හතර දෙනෙකුම අපනයනය කරනු ලබන්නේ චීන සමාගම් විසිනි. එහිදී යුනිට්‍රී (Unitree) සමාගම පමණක් 2025 වසරේ ඒකක 5,500ක් අපනයනය කිරීමෙන් පසු, මෙම වසරේදී ඒකක 20,000ක ඉලක්කයක් කරා ගමන් කරයි. ඩී.ජේ.අයි (DJI) ඩ්‍රෝන නිෂ්පාදන සමාගම ඇමරිකානු පාරිභෝගික ඩ්‍රෝන වෙළඳපොළ ආක්‍රමණය කර ඇති අතර, ජාත්‍යන්තර වාණිජ ඩ්‍රෝන ක්ෂේත්‍රයේ ද ප්‍රමුඛ කොටසක් හිමිකරගෙන සිටියි. කෘතිම බුද්ධිය (AI) සම්බන්ධයෙන් ගත් කල, චීනයේ විවෘත මූලාශ්‍ර (open-source) මහා පරිමාණ භාෂා ආකෘති (large language models), ඇමරිකාවේ ප්‍රමුඛතම පද්ධතිවල පිරිවැයෙන් සුළු කොටසක් වැය කරමින් ඒවායේ මට්ටමට (benchmark points) ඉතා සමීප වීමට සමත්ව ඇත.

නමුත් ඇමරිකානු අධිරාජ්‍යවාදයේ ප්‍රකාශන කිසිවිටෙකත් පැහැදිලිව පෙනෙන්නට තිබෙන මෙම ප්‍රශ්නය නොඅසයි: චීනය මෙතරම් වේගයෙන් ඇමරිකානු ආර්ථිකයට සමීප වන්නේ සහ ඇතැම් ක්ෂේත්‍රවලින් ඇමරිකාව අභිබවා යන්නේ ඇයි? ඇත්ත වශයෙන්ම, එක්සත් ජනපදයට (ආරම්භයේදීම) ඉතා විශාල වාසියක් තිබුණි. 1980 වසරේදී ලෝක දළ දේශීය නිෂ්පාදිතයෙන් (GDP) සියයට 25ක් පමණ එක්සත් ජනපදය සතු වූ අතර, චීනයේ කොටස වූයේ සියයට 2ක් පමණි.

දශක ගණනාවක් තිස්සේ ඇමරිකානු ප්‍රතිපත්තිය මෙහෙයවනු ලැබුවේ එක් අරමුණක් මගිනි: එනම් කිනම් හෝ මිලක් ගෙවා පාලක ප්‍රභූ පැලැන්තිය අසීමිත ලෙස තරබාරු කිරීමයි. ඇමරිකානු අධිරාජ්‍යවාදය, එම පන්තිය පොහොසත් කළ, එක්සත් ජනපද කර්මාන්ත විනාශ වීමට මග පෑදූ සහ ලොව පුරා යුද්ධ දියත් කළ මූල්‍යකරණ (financialization) ප්‍රතිපත්තියක් අනුගමනය කළේය. ඇමරිකානු යුද්ධ, මිලිටරිවාදය සහ ධනවතුන් මුදාගැනීම සඳහා ලබා දුන් නිමක් නැති මූල්‍ය සහනාධාර (bailouts) මගින් පෝෂණය වූ ෆෙඩරල් ණය ප්‍රමාණය දැන් ඩොලර් ට්‍රිලියන 40කට ආසන්න වෙමින් පවතී.

ඇමරිකාවේ ඉහළ යන ණය බර සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් බටහිර මූල්‍ය පද්ධතියෙන් ඉවත් කිරීම සඳහා සම්බාධක දැඩි ලෙස භාවිතා කිරීම හේතුවෙන්, ලොව ප්‍රධාන සංචිත මුදල් ඒකකය ලෙස ඩොලරයේ සුරක්ෂිතභාවය පිළිබඳ සැකයන් මතු වී ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත සඳහන් කළේය.

ඇමරිකානු කතිපයාධිකාරය (Oligarchy) ලෝකය තුළ තමන් සතු බලය හීන වීම පිළිගැනීමට සූදානම් නැත. මෙම සමුළුවේ නිශ්චිත ප්‍රතිඵලය කුමක් වුවත්, ඇමරිකානු අධිරාජ්‍යවාදය සූදානම් වන්නේ මේ වසරේ ට්‍රම්ප්ගේ ක්‍රියාවන් මගින් පෙන්වා දුන් පරිදි චීනයට එරෙහි සෘජු යුද්ධයකට ය. ඉරානය, ලෙබනනය, යුක්රේනය, වෙනිසියුලාව සහ කැරිබියන් කලාපය තුළ පවතින ගැටුම් එම මහා යුද්ධය සඳහා වන පර්යේෂණාගාර, පෙරහුරු සහ මූලික ගැටුම් පමණි.

බීජිං පාලනය සමඟ පවතින ගැටුම කෙරෙහි ට්‍රම්ප් පරිපාලනය ප්‍රමාණවත් අවධානයක් යොමු නොකරන බවට ඩිමොක්‍රටික් පක්ෂය විවේචනය කර ඇත. සෙනෙට් සභා සන්නද්ධ සේවා කමිටුවේ ජ්‍යෙෂ්ඨ ඩිමොක්‍රටික් සාමාජිකයෙකු වන රෝඩ් අයිලන්ඩ් (Rhode Island) ප්‍රාන්තයේ සෙනෙට් සභික ජැක් රීඩ් ‘ෆොක්ස් නිව්ස් සන්ඩේ’ වැඩසටහනට පවසා ඇත්තේ, “ජනාධිපති ට්‍රම්ප් මෙම හමුවට සහභාගී වන්නේ අතිශය දුර්වල මට්ටමක සිට” බවයි. ඔහු වැඩිදුරටත් සඳහන් කළේ, “දැන් පවතින්නේ එකතැන පල්වෙන තත්ත්වයක්. ලෝක තෙල් සම්පතින් සියයට 20ක් ඉරානය විසින් අවදානමට ලක් කර තිබේ,” යනුවෙනි.

ඩිමොක්‍රටික් පාක්ෂිකයන්ගේ කනස්සල්ලට හේතුව යුද්ධයේ පවතින සාපරාධී බව නොව, මැදපෙරදිග කලාපයේ සිදුවන මෙම පසුබෑම හේතුවෙන් තම ප්‍රධාන අරමුණ වන චීනය සමඟ පවතින ගැටුම උත්සන්න කිරීම සඳහා අවශ්‍ය සම්පත් සහ විශ්වසනීයත්වය ගිලිහී යාමයි.

චීන නිලධාරිවාදය ද මින් මිදීමට ප්‍රගතිශීලී මාවතක් ඉදිරිපත් නොකරයි. එය ලෝක ධනේශ්වර වෙළඳපොළට සහ ජාතික රාජ්‍ය අවශ්‍යතා ආරක්ෂා කිරීමේ අරමුණට බැඳී පවතින අතර, නැවත නැවතත් අධිරාජ්‍යවාදය සමඟ එකඟතාවයකට පැමිණීමට උත්සාහ කර ඇත. එහෙත් වොෂින්ටනය එවැනි එකඟතාවයක් ලබා දීමට වඩ වඩාත් අකමැති වන අතරම, එසේ ලබා දීමටද නොහැක.

මෙම අර්බුදය විසඳිය හැක්කේ ජාත්‍යන්තර කම්කරු පන්තියේ ස්වාධීන මැදිහත්වීම හරහා පමණි. එනම්, යුද්ධයට, ආඥාදායකත්වයට සහ ඒ දෙකම නිර්මාණය කරන ධනේශ්වර පද්ධතියට එරෙහි පොදු අරගලයක් තුළ ඇමරිකා එක්සත් ජනපදය, චීනය සහ ලොව පුරා විසිරී සිටින කම්කරුවන් එක්සත් කිරීම මගිනි.

ජාත්‍යන්තර මැයි දින අන්තර්ජාල රැලිය සමාරම්භ කරමින්, ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (WSWS) ජාත්‍යන්තර කර්තෘ මණ්ඩල සභාපති ඩේවිඩ් නෝර්ත් මෙසේ ප්‍රකාශ කළේය: “ලෝක යුද්ධය යනු අනාගත තර්ජනයක් නොව, දැනටමත් දිගහැරෙමින් පවතින යථාර්ථයකි.’ දැනට සිදුවෙමින් පවතින යුද්ධ, ‘ලෝක ආර්ථිකය සහ ජාතික රාජ්‍ය පද්ධතිය අතර පවතින නොවිසඳුණු ප්‍රතිවිරෝධතාවය විසින් මෙහෙයවනු ලබන අඛණ්ඩ ගමන් පථයක අංගයන්” බව නෝර්ත් තවදුරටත් සඳහන් කළේය.

අධිරාජ්‍යවාදී ම්ලේච්ඡත්වයේ ගෝලීය පිපිරීම නැවැත්විය හැක්කේ සමාජවාදී වැඩපිළිවෙලක් පදනම් කරගත් ජාත්‍යන්තර කම්කරු පන්තියේ මැදිහත්වීමෙන් පමණි. හතරවන ජාත්‍යන්තරයේ ජාත්‍යන්තර කමිටුව, සමාජවාදී සමානතා පක්ෂ සහ ක්‍රියාකාරී කම්කරු කමිටුවල ජාත්‍යන්තර කම්කරු සන්ධානය එම අරගලය සඳහා වන සංවිධාන ලොව පුරා ගොඩනඟමින් සිටී.

(අවධාරණය පරිවර්තනයේදී එක් කෙරුණි)

අධිරාජ්‍යවාදී යුද්ධයේ ගෝලීය පිපිරීමක් මධ්‍යයේ ට්‍රම්ප් සහ ෂී හමුවේ Read More »

Iran war Video

ඉරානෙට “එක ලොකු එළියක්”— යුද්ධයේ බර ලෝකෙම පීඩිත මහජනතාව මත — YouTube Review

මෙහි පළවන්නේ අප වෙබ් අඩවියේ සංස්කාරක සංජය ජයසේකර සහෝදරයා ඉදිරිපත් කරන භූ-දේශපාලන විවරණයකි. එය ඔහුගේ YouTube නාලිකාවේ ප්‍රසිද්ධ කර ඇත. පහත හැඳින්වීම එමගින් උපුටා ගෙන ඇත:

2026 පෙබරවාරි 28 වෙනිදා ඇමරිකානු අධිරාජ්‍යවාදය (US imperialism) ඉරානයට (Iran) එරෙහිව පටන් ගත්ත මේ සාපරාධී යුද්ධය නිසා මුළු ලෝකයම දරුණු සමාජ ඒ වගේම ආර්ථික ව්‍යසනයකට මුහුණ දීලා තියෙන හැටි මේ වීඩියෝ එකෙන් විග්‍රහ කරනවා. ලෝක සමාජවාදී වෙබ් අඩවියේ කරපු විද්‍යාත්මක වාර්තා මෙන්ම වෙනත් මූලාශ්‍ර ඇසුරෙන් තමයි මේ විවරණය ඉදිරිපත් කරලා තියෙන්නෙ.

මේ වීඩියෝ එකෙන් ඔයාට බලන්න පුළුවන්:

  • හෝමූස් සමුද්‍ර සන්ධිය (Strait of Hormuz) වහලා දාපු එකෙන් ලෝක තෙල් මිලට වුණ බලපෑම ඒ වගේම වෙළඳපොළ බිඳවැටීම (market reckoning).
  • පොහොර මිල වැඩි වීම නිසා අප්‍රිකානු මහද්වීපයට වෙලා තියෙන දරුණු බලපෑම.
  • ශ්‍රී ලංකාවේ අනුර කුමාර දිසානායකගේ JVP/NPP ආණ්ඩුව IMF කප්පාදු වැඩපිළිවෙල හරහා යුද්ධයේ බර කම්කරුවන් මත පටවන හැටි.
  • ඉන්දියාවේ මෝදි ආණ්ඩුව ඇමරිකානු අධිරාජ්‍යවාදයේ “කණිෂ්ඨ හවුල්කරුවෙක්” විදිහට වැඩ කරමින් IRIS Dena නැව ගිල්වන්න හවුල් වුණ හැටි.
  • ට්‍රම්ප් පාලන තන්ත්‍රය ඇමරිකාව ඇතුළෙ කම්කරු පන්තියට එරෙහිව කරන ප්‍රහාරය.
    යුද්ධය කියන්නනෙ ඓතිහාසික සන්තිතියෙ උත්පප්‍රේරකයක් හා ත්වරකයක් කියන ලියොන් ට්‍රොට්ස්කිගේ අදහස අද ලෝකයට කොච්චර ගැලපෙනවද කියලා මෙතනදි පැහැදිලි කරනවා. ධනවාදී ක්‍රමය ඇතුළෙ මේ විනාශය නතර කරන්න බැහැ. ඒ නිසා ජාත්‍යන්තර සමාජවාදය මත පදනම් වුණ ස්වාධීන කම්කරු ව්‍යාපාරයක් ගොඩනැගීම ගැන මෙතනදි කතා කරනවා.

ඉරානෙට “එක ලොකු එළියක්”— යුද්ධයේ බර ලෝකෙම පීඩිත මහජනතාව මත — YouTube Review Read More »

687F3615 00DB 42F7 BE41 D74213C6609E

ට්‍රම්ප් සටන් විරාමය දික්කිරීමේ ඇත්ත හේතුව කුමක්ද? – YouTube Podcast

The Socialist World

අපි මේ පොඩ්කාස්ට් එකෙන් කතා කරන්නෙ ඇමරිකාව ඉරානයට එරෙහිව අරන් යන යුද්ධයේ ඊනියා සටන් විරාමය අවසන් මොහොතේ දික් කරන්න ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තීරණය කළේ ඇයි කියලා. මේක සංවරකමේ ලක්ෂණයක් නෙවෙයි, කඩා වැටෙන අධිරාජ්‍යවාදී උපායමාර්ගයක් අතරමැද කරපු උපක්‍රමික ප්‍රයෝගයක්. මේ දික් කිරීමෙන් ඇත්තටම මොකක්ද වෙන්නේ, යුද්ධය පිටිපස්සේ තියෙන භෞතික අවශ්‍යතා මේකෙන් පෙන්නුම් කරන්නේ කොහොමද වගේම, ලෝකේ පුරා ඉන්න කම්කරුවන්ට මේකෙන් ඇතිවන ක්ෂණික බලපෑම් මොනවාද කියලා අපි මේකෙදි විග්‍රහ කරනවා.

මේ චැනලය හරහා අපි ලෝක සමාජවාදී වෙබ් අඩවිය ආශ්‍රය කරගෙන ලෝක දේශපාලන ආර්ථික වර්ධනයන් ඒවායේ පුළුල් අධිරාජ්‍යවාදී සන්දර්භය ඇතුළෙ තියල කම්කරු පන්ති ආස්ථානයකින් වග විභාග කරනව. මේ විවරණය අහල, මේ පොඩ්කාස්ට් එක Like කරල, චැනල් එකත් Subscribe කරන්න කියල අපි ඔබට ආරාධනා කරනව. 

ට්‍රම්ප් සටන් විරාමය දික්කිරීමේ ඇත්ත හේතුව කුමක්ද? – YouTube Podcast Read More »

Scroll to Top