Thermonuclear

ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කරයි

ඇන්ඩ්‍රේ ඩේමන් විසිනි. 

මෙහි පලවන්නේ ලෝක සමාජවාදී වෙබ් අඩවියේ (ලෝසවෙඅ) 2025 ඔක්තෝම්බර් 31 දින ‘Trump announces resumption of US nuclear weapons testing’ යන හිසින් පලවූ ඇන්ඩ්‍රේ ඩේමන් විසින් ලියන ලද ඉදිරිදර්ශන ලිපියේ සිංහල පරිවර්තනය යි.

Thermonuclear
1952 නොවැම්බර් 1 වන දින මාෂල් දූපත් වල එනෙවෙටැක් අටෝල් මත ලොව ප්‍රථම තාප න්‍යෂ්ටික උපාංගයක් (හයිඩ්‍රජන් බෝම්බයක්) අත්හදා බැලීමෙන් පසු හතු වලාකුළ.[AP ඡායාරූපය/ලොස් ඇලමොස් ජාතික රසායනාගාරය]

තුන්වන ලෝක යුද්ධය සඳහා වන සූදානම සීමා කරන ඉතිරිව ඇති සියලුම ආරක්ෂක වැටවල් ඉවත් කිරීම සදහා  එක්සත් ජනපදය ගත් නවතම පියවර ලෙස, බ්‍රහස්පතින්දා(29), ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කලේය. ලෝකයේ සියලුම රටවල් නිල වශයෙන් න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කර තිබියදී, මෙම පියවර මගින් එක්සත් ජනපදය මෙම ක්‍රියාවට ඉඩ දෙන ලෝකයේ එකම රට බවට පත්වේ.

මාරාන්තික විකිරණ වායුගෝලයට විසුරුවා හැරීම සහ භූගත ජලය දූෂණය කිරීමට අමතරව, න්‍යෂ්ටික අත්හදා බැලීම්, වැරදි ගණනය කිරීම් හෝ හිතාමතා ප්‍රකෝප කිරීම් හරහා හෝ න්‍යෂ්ටික යුද්ධයක හැකියාව පුළුල් කරන දැවැන්ත යුද උන්මාදී ක්‍රියාවක් ලෙස විශ්වීය වශයෙන් වටහාගෙන ඇත.

කියුබානු මිසයිල අර්බුදයේදී එක්සත් ජනපදය සහ සෝවියට් සංගමය න්‍යෂ්ටික යුද්ධයක අද්දරට පැමිණ වසරකට පසු, 1963 දී, කෙනඩි පරිපාලනය අර්ධ න්‍යෂ්ටික පරීක්ෂණ තහනම් ගිවිසුම (Partial Nuclear Test Ban Treaty) සාකච්ඡා කළ අතර, එමඟින් භූගතව සිදු කරන ලද ඒවා හැර අනෙකුත් සියලුම න්‍යෂ්ටික අත්හදා බැලීම් තහනම් කරන ලදී. 1992 දී, සෝවියට් සංගමය විසුරුවා හැරීමෙන් පසුව, ජනාධිපති ජෝර්ජ් එච්.ඩබ්ලිව්. බුෂ් න්‍යෂ්ටික අත්හදා බැලීම් සඳහා ඒකපාර්ශ්වික තහනමක් ප්‍රකාශයට පත් කළේය.

අත්හදා බැලීම් තහනම් කිරීමට පෙර දශක කිහිපය තුළ, න්‍යෂ්ටික පිපිරීම් 2,000 කට වඩා සිදු කරනු ලැබ ඇති අතර, ඉන් අඩකට වඩා සිදු කරන ලද්දේ එක්සත් ජනපදය විසිනි. මෙම පරීක්ෂණ ඇමරිකානු බටහිර ඇතුළත සහ දකුණු පැසිෆික් කලාපය පුරා ප්‍රජාවන් රෝගාතුර කළ අතර මුළු ප්‍රදේශම ජනාවාස කළ නොහැකි තත්ත්වයට පත් කළේය.

ට්‍රම්ප් මෙම නිවේදනය නිකුත් කළේ, දැනට ක්‍රියාත්මක වන ඇමරිකානු-චීන වෙළඳ යුද්ධය පිළිබඳව දකුණු කොරියාවේ සාකච්ඡා සඳහා චීන ජනාධිපති ෂී ජින්පින් හමුවීමට ටික වේලාවකට පෙරය. ට්‍රම්ප් ඇමරිකානු න්‍යෂ්ටික අවි ගබඩාව ලෝක වේදිකාවේ ඇමරිකානු අධිරාජ්‍යවාදයේ කොල්ලකාරී අවශ්‍යතා සුරක්ෂිත කිරීමේ මාධ්‍යයක් ලෙස භාවිතා කලේ, න්‍යෂ්ටික යුද්ධය හරහා සමූලඝාතනය කිරීමේ තර්ජනය මානව වර්ගයාගේ හිසට ඉහළින් ලෙලවමිනි.

ලොව විශාලතම න්‍යෂ්ටික වැඩසටහන එක්සත් ජනපදය සතුව ඇති අතර, රුසියාව සහ චීනය එක්ව වැය කරන මුදල මෙන් දෙගුණයක් න්‍යෂ්ටික අවි සඳහා වැය කරයි. දෙවන ලෝක යුද්ධය අවසානයේ සෝවියට් සංගමයට තර්ජනය කිරීම සඳහා හිරෝෂිමා සහ නාගසාකි හි අනාරක්ෂිත ජනගහනය සමූලඝාතනය කරමින් න්‍යෂ්ටික අවි භාවිතා කළ එකම රට ද එක්සත් ජනපදයයි.

ට්‍රම්ප්ගේ නිවේදනය වාර්තා කිරීමේදී, එක්සත් ජනපද මාධ්‍ය එයට කිසිදු ඓතිහාසික සන්දර්භයක් හෝ පූර්වගාමීත්වයක් ඉදිරිපත් කිරීමට අපොහොසත් වී ඇත. එහෙත්, එම නිවේදනය හුදෙක් ක්ෂණික සිතුවිල්ලක් වීමට වඩා වෙනස්ව, අවම වශයෙන් 2020 සිට එක්සත් ජනපද හමුදා සැලසුම්කරුවන් න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම පිළිබඳව ක්‍රියාකාරීව සාකච්ඡා කරමින් සිට ඇත.

මෙම පියවර නිවේදනය කරමින් ට්‍රම්ප් විසින්ම කරන ලද සටහන, එය පැහැදිලිවම එක්සත් ජනපද න්‍යෂ්ටික අවි ගබඩාව වසර ගණනාවක් තිස්සේ ගොඩනැගීමේ සන්දර්භය තුළ තැබීය. ඔහු ලිවීය, “වෙනත් කිසිදු රටකට වඩා එක්සත් ජනපදය සතුව න්‍යෂ්ටික අවි තිබේ. පැවති ආයුධ සම්පූර්ණයෙන් යාවත්කාලීන කිරීම සහ ප්‍රතිසංස්කරණය කිරීම ඇතුළුව මෙය සාක්ෂාත් කර ගන්නා ලද්දේ මගේ පළමු ධුර කාලය තුළයි.”

“ඊට සමාන පදනමකින් අපගේ න්‍යෂ්ටික අවි අත්හදා බැලීම ආරම්භ කරන ලෙස මම යුද දෙපාර්තමේන්තුවට උපදෙස් දී තිබෙනවා. එම ක්‍රියාවලිය වහාම ආරම්භ වේවි”, ඔහු තවදුරටත් පැවසීය.

කෙසේ වෙතත්, ට්‍රම්ප්ගේ සටහන පැවසුවේ කතාවේ කොටසක් පමණකි . ඔහු පුරසාරම් දෙඩූ න්‍යෂ්ටික ගොඩනැගීම ඇත්ත වශයෙන්ම ඔබාමා පරිපාලනය යටතේ ආරම්භ කරන ලද අතර එය ට්‍රම්ප්ගේ පළමු ධුර කාලය තුළ, බයිඩන්ගේ ධුර කාලය තුළ සහ දැන් දෙවන ට්‍රම්ප් ධුර කාලය තුළ ද අඛන්ඩව ක්‍රියාත්මක විය. ඇමරිකානු ජනගහනයෙන් අතිමහත් බහුතරයක් නොදන්නා මෙම න්‍යෂ්ටික ගොඩනැගීම, ඩොලර් ට්‍රිලියන 1 කට වඩා වැඩි වියදමක් දරමින්  පූර්ණ ද්විපාර්ශ්වික (ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂවල) සහයෝගය ඇතිව දිගටම පැවතුනි.

වසරකට පෙර, නිව් යෝර්ක් ටයිම්ස් “චංචල නව න්‍යෂ්ටික යුගයක් සඳහා නවීන අවි ගබඩාවක්” නිර්මාණය කිරීම හරහා “ඇමරිකාව නැවතත් න්‍යෂ්ටික බවට පත් කිරීම” සඳහා කැප වූ රහස් සැලැස්ම පිළිබඳ පුළුල් විශේෂාංග ප්‍රවෘත්තියක් ප්‍රකාශයට පත් කරන ලදී.

“ඔබ සබ්මැරීන වෑල්ඩින් කරන හෝ මිසයිල කටාරම් හාරා ඇති ස්ථානයක ජීවත් නොවන්නේ නම්, එය සිදුවන බව ඔබ නොදැන සිටීමට බොහෝ අවස්ථාවක් තිබේ,”ටයිම්ස් ලිවීය. “කොංග්‍රස් මණ්ඩල විභාග සහ මූලෝපා පත්‍රිකා වල හැර, සැලැස්ම ගැන හෝ වියදම් කරන  අති විශාල මුදල ගැන, ෆෙඩරල් රජය ප්‍රසිද්ධියේ  එතරම් කතා කර නැත. සැලකිය යුතු විවාදයක් සිදුවී නොමැත. ඩොලර් බිලියන ගණන් වල  වැඩසටහන් රේඩාර් වලට  යටින්  ගමන් කරයි.”

එම ලිපිය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු වසර තුළ, දැවැන්ත එක්සත් ජනපද න්‍යෂ්ටික ගොඩනැගීම සහ ඒ වටා ඇති නිහඬතාවයේ කුමන්ත්‍රණය යන දෙකම අඛණ්ඩව පැවත ඇත. දෙසැම්බර් මාසයේදී, න්‍යෂ්ටික නවීකරණ උත්සාහයන් සඳහා වාර්තාගත අරමුදල් සම්පාදනයක් හා මානව ඉතිහාසයේ ඕනෑම රටක විශාලතම මිලිටරි අයවැය ද වන ඩොලර් බිලියන 895 ක ජාතික ආරක්ෂක බලය පැවරීමේ පනත (NDAA) කොංග්‍රසය අනුමත කළේය.

ජනවාරි මාසයේදී ට්‍රම්ප් නිවේදනය කළේ එක්සත් ජනපදය “අති නවීන යකඩ මිසයිල ආරක්ෂක පලිහක් (Iron Dome) ඉදිකිරීම වහාම ආරම්භ කරන” බවයි. එහෙත්, ආරක්ෂක පියවරක් වීමට විපරීතව, මිසයිල පලිහ එක්සත් ජනපදය පළිගැනීමේ ක්‍රියාවන්ගෙන් ආරක්ෂා කරනු ඇතැයි  අපේක්ෂා කරන බැවින්, මෙම ඊනියා “ගෝල්ඩන් ඩෝමය” ධවල මන්දිරය පූර්ව-භංග න්‍යෂ්ටික පළමු ප්‍රහාරයකින් අනෙකුත් රටවලට තර්ජනය කිරීමට දිරිගන්වනු ඇත.

එක්සත් ජනපදයේ අඛණ්ඩ න්‍යෂ්ටික ගොඩනැගීමේ කොටසක් ලෙස, ට්‍රම්ප් පරිපාලනය න්‍යෂ්ටික අවි භාවිතය සඳහා ඇති සියලු සීමාවන් ඉවත් කිරීමට උත්සාහ කර ඇත. වඩාත්ම කැපී පෙනෙන දෙය නම්, 2019 අගෝස්තු මාසයේදී–නැවතත්, ට්‍රම්ප් යටතේම–එක්සත් ජනපදය අතරමැදි පරාස න්‍යෂ්ටික බලකා (INF) ගිවිසුමෙන් ඉවත් වීමයි.

2018 ඔක්තෝම්බර් මාසයේදී ට්‍රම්ප් විසින් එක්සත් ජනපදය INF ගිවිසුමෙන් ඉවත් වන බවට කළ නිවේදනයට ප්‍රතිචාර වශයෙන්, රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ප්‍රකාශ කළේ, පොසයිඩන් ලෙස හඳුන්වන දිය යට ඩ්‍රෝන යානයක් සහ බුරෙවෙස්ට්නික් ලෙස හඳුන්වන නව දිගු දුර කෲස් මිසයිලයක් ඇතුළුව නව න්‍යෂ්ටික  (ප්‍රහාර) සැපයුම්  යාන්ත්‍රණ මාලාවක් සංවර්ධනය කිරීම රුසියාව ආරම්භ කරන බවයි.

රුසියාව මෑතකදී එකී පද්ධති දෙකෙහිම න්‍යෂ්ටික අවි නොවන බෙදාහැරීමේ  (ප්‍රහාර)  යාන්ත්‍රණයන් පිළිබඳ පරීක්ෂණ සිදු කළ අතර, එය දිගු කලක් තිස්සේ සැලසුම් කර තිබූ සහ දිගු කලක් සාකච්ඡා කරන ලද එක්සත් ජනපද න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම නිවේදනය කිරීම සඳහා ට්‍රම්ප් විසින් ප්‍රයෝජනයට ගන්නා ලදී.

INF ගිවිසුමෙන් ඉවත් වීමෙන් පසුව, එක්සත් ජනපදය ගිවිසුම යටතේ කලින් තහනම් කරන ලද න්‍යෂ්ටික අවි, රුසියාවට සහ චීනයට පහර දිය හැකි ස්ථානවල ස්ථානගත කිරීමට පියවර ගෙන තිබේ. පෙන්ටගනය එහි ඉලක්ක ගත ප්‍රහාරක මිසයිලයේ (Precision Strike Missile) පරාසය පුළුල් කර ඇති අතර SLCM-N ලෙස හඳුන්වන නව න්‍යෂ්ටික සන්නද්ධ, මුහුදේ දියත් කරන කෲස් මිසයිලයක් සංවර්ධනය කිරීම සඳහා ඩොලර් මිලියන සිය ගණනක් වැය කර ඇත.

INF ගිවිසුම යටතේ කලින් තහනම් කරන ලද බැලස්ටික් සහ කෲස් මිසයිල සංවර්ධනය කිරීම, රුසියාවේ ගැඹුරු අභ්‍යන්තරයට  නේටෝ නියෝජිත වන  යුක්රේනයේ සෘජු ප්‍රහාර උත්සන්න කිරීම සමඟ ඒකාබද්ධ වී ඇත. මෙම මාසයේ, වෝල් ස්ට්‍රීට් ජර්නලය,“බටහිර සහචරයින් විසින් සපයන ලද සමහර  දිගු දුර මිසයිල යුක්රේනය භාවිතා කිරීම සඳහා පනවා තිබූ ප්‍රධාන සීමාවක් ට්‍රම්ප් පරිපාලනය ඉවත් කර ඇත” යනුවෙන් වාර්තා කල අතර, ඒ අනුව මේ මාසයේ දකුණු රුසියාවේ බ්‍රයන්ස්ක් නගරයට එක්සත් රාජධානිය විසින් සපයන ලද ස්ටෝම් ෂැඩෝ මිසයිල භාවිතා කරමින් ප්‍රහාරයක් එල්ල විය.

මේ මස මුලදී, ට්‍රම්ප් තහවුරු කළේ යුක්රේනයට ටොමාහෝක් මිසයිල යැවීම ගැන සලකා බලන බවයි. ට්‍රම්ප්ගේ තර්ජනයට ප්‍රතිචාර දක්වමින් හිටපු රුසියානු ජනාධිපති දිමිත්‍රි මෙඩ්විඩෙව් නිරීක්ෂණය කළේ, “ගුවනේදී න්‍යෂ්ටික ටොමාහෝක් මිසයිලයක් සාම්ප්‍රදායික එවැන්නකින්  වෙන්කර හඳුනා ගැනීමට නොහැකි” බවයි. ටොම්හෝක් මිසයිලවලට දිගු කලක් තිස්සේ න්‍යෂ්ටික යුධ ශීර්ෂ රැගෙන යාමේ හැකියාව තිබුණි.

රුසියානු සහ චීන දේශසීමා වල කෙටි දුර න්‍යෂ්ටික අවි ස්ථානගත කිරීම, නේටෝව විසින් සපයන ලද දිගු දුර අවි රුසියානු නගරවලට ප්‍රහාර එල්ල කිරීම සඳහා උසි ගැන්වීම සහ න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කිරීම යන මේවා අතර, මුළු ලෝකයම න්‍යෂ්ටික යුද්ධයක කොකා ගස්සන කෙස් ගසක අද්දරට ගෙන යනු ඇත.

නේටෝවේ අර්ධ-නිල සහචර යුක්රේනයෙන් “සාම්ප්‍රදායික” මිසයිලයක් වෙඩි තබන ඕනෑම අවස්ථාවක, නැතහොත්,  ඊනියා ” වියරු මිනිසා න්‍යායේ” ලොව ප්‍රමුඛතම වෘත්තිකයා වන ට්‍රම්ප් විසින් නියෝග කරන ලද එක්සත් ජනපදයේ අනපේක්ෂිත න්‍යෂ්ටික අත්හදා බැලීමක් සිදු කරන සෑම අවස්ථාවකම රුසියාවේ සහ චීනයේ සැලසුම්කරුවන් තමන්ගෙන්ම මෙසේ අසනු ඇත: “අපි න්‍යෂ්ටික ප්‍රහාරයකට ලක්ව සිටිත්ද?”

රුසියාව සහ චීනය යටපත් කර ගැනීම සඳහා ගණන් බලමින් එක්සත් ජනපදය අවදානම් සීමාවට යෑම,  අසීමාන්තික ප්‍රතිවිපාක සහිත දැවැන්ත යුද උත්සන්නියේ සර්පිලයක් අවුලුවාලිය හැකිය.

අධිරාජ්‍යවාදී මිලිටරිවාදයේ නැගීම එක්සත් ජනපදයේ කම්කරු පන්තියට එල්ල වන ප්‍රහාරය සමඟ වෙන්කළ නොහැකි සේ බැඳී පවතී. එක්සත් ජනපදය න්‍යෂ්ටික අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බවට ට්‍රම්ප් කළ නිවේදනය, ආහාර මුද්දර සඳහා අරමුදල් සැපයීම අවසන් කිරීමට නියමිත දින කිහිපයකට පෙර පැමිණ ඇති අතර, එමඟින් ස්තුති දීමේ නිවාඩුවට (Thanksgiving) සහ නත්තල් නිවාඩුවට ආසන්න පෙරාතුවේ  ඇමරිකානුවන් දස මිලියන සංඛ්‍යාත පිරිසකට අත්‍යවශ්‍ය ජීවනාලියක් අහිමි කෙරේ.

මේ දෙක අතර සෘජු සම්බන්ධයක් තිබේ. මෙම මාසයේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක, ඩිමොක්‍රටික් පක්ෂයට පක්ෂපාත බෲකින්ස් ආයතනය, ඩිමොක්‍රටික් සහ රිපබ්ලිකන් පක්ෂ දෙකෙන්ම සහාය දක්වන ප්‍රතිපත්තියක් වෙනුවෙන් කතා කරමින්, “යොදා ගත හැකි සියලුම රාජ්‍ය සහ පෞද්ගලික මෙවලම් උපයෝගී කර ගන්නා ඔරොත්තු දීමේ සමස්ත සමාජ මූලෝපායක්: පූර්ණ යුද්ධ යුගයක් සඳහා පූර්ණ ආරක්ෂාව” ඉල්ලා සිටියේය.

දෙවන ලෝක යුද්ධ සමයේදී ජර්මානු හමුදා නායකත්වය විසින් පුරෝගාමී කරන ලද්දා වූ සහ නාසි පාලන තන්ත්‍රය යටතේ රාජ්‍ය මූලධර්මය ලෙස දිගටම පැවතියා වූ “පූර්ණ යුද්ධයේ” මූලධර්මය, ජාතික මිලිටරි සාර්ථකත්වයේ නාමයෙන් කම්කරු පන්තියෙන් “කැපකිරීම” ඉල්ලා සිටිමින්, සමස්ත සමාජයම යුධ ප්‍රයත්නයට යටත් කරන ලදී.

“පූර්ණ යුද්ධයේ” මූලධර්මය යටතේ, නාසි ජර්මනියේ නායකයින් නැගෙනහිර යුරෝපය පුරා සමූලඝාතන යුද්ධයක් දියත් කළාක් මෙන් නිසැකවම ජර්මනියේ මහජනතාව මත ව්‍යසනයක් ගෙන ආහ. දැන්, සමස්තයක් ලෙස ඇමරිකානු කතිපයාධිකාරය වෙනුවෙන් කතා කරන ට්‍රම්ප්, නාසි තන්ත්‍රය, එක්සත් ජනපදයේ ඒකාධිපතිත්වයට පමණක් නොව, ලොව පුරා මිලිටරි ප්‍රචණ්ඩත්වයට ආදර්ශයක් ලෙස දකී.

පාලක පන්තිය, තම රට තුළ කම්කරු පන්තියට එල්ල කරන ප්‍රහාරය විදේශයන්හි මිලිටරි උත්සන්න කිරීම සමඟ බද්ධ කරයි. කම්කරු පන්තිය තම සමාජ හා ආර්ථික අයිතීන් ආරක්ෂා කිරීම අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි අරගලය සමඟ ඒකාබද්ධ කිරීමෙන් ප්‍රතිචාර දැක්විය යුතුය. මෙම මස මුලදී පැවති “රජුන් එපා” රැලිය ට්‍රම්ප් පරිපාලනයේ ඒකාධිපතිත්වය සහ කප්පාදු ප්‍රතිපත්තිවලට මහා ජන විරෝධයක් පවතින බව පෙන්නුම් කළේය. අධිරාජ්‍යවාදී යුද්ධයට එරෙහි සටන ධනවාදයට එරෙහි සහ සමාජවාදය සඳහා වන සටනට බද්ධ කරන කම්කරු පන්තියේ ව්‍යාපාරයක් ලෙස මෙම විරුද්ධත්වය වර්ධනය කළ යුතුය.

ට්‍රම්ප් එක්සත් ජනපද න්‍යෂ්ටික අවි අත්හදා බැලීම් නැවත ආරම්භ කරන බව නිවේදනය කරයි Read More »